ජනපති කොමිසමේදී ETI තැන්පත් කරුවන් සාක්ෂි ලබා දෙයි

(08.07.2020 – 14:18 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ආයතනයේ දිවයින පුරා පිහිටි ශාඛා බොහොමයක නිලධාරීන් ගනුදෙනුකරුවන් නොමග යවා ඇති බව ගනුදෙනුකරුවන් ප්‍රකාශ කරනවා.

මේ බව හෙළිවුණේ ETI සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීමේදීයි.

ගත වූ දින දෙක තුළදීම කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණියේ ETI, ස්වර්ණමහල් ෆයිනෑන්ස් මෙන්ම ස්වර්ණමහල් ජුවලර්ස් යන ආයතනවල මුදල් තැන්පත් කළ තැන්පත් කරුවන්.

සාක්ෂි ලබා දීමේදී ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය සඳහන් කර සිටියේ ETI ආයතනයේ මීගමුව ශාඛාවේ එවකට කළමණාකරු ලෙස කටයුතු කළ තැනැත්තා තමන් තෙමසක ස්ථාවර තැන්පතුවක් සිදු කළද එම මුදල වෙනුවෙන් වසරක කාලයක් ලෙස සඳහන් සහතික පත්‍රයක් තමන් වෙත ලබා දුන් බවයි.

මේ බව විමසූ විට වෙනත් කොළයක් අමුණා එහි නිල මුද්‍රාව තබා අත්සන යොදා මාස 3 කින් මුදල් අවශ්‍යනම් ලබා ගැනීමේ හැකියාව තිබෙන බව සදහන් කර තිබෙනවා.

පසුව මුදල් ලබාගැනීම සඳහා ඊ.ටී.අයි. ප්‍රධාන ශාඛාවට ගිය විට එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කර ඇත්තේ ඊ.ටී.අයි. ආයතනය මහ බැංකුව විසින් නියාමනයට ලක්කළ බව පුද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය කර ඇති බවයි.

ඒ නිසා සියලු තැන්පත්කරුවන් එකවර මුදල් ලබාගත හොත් ආයතනය කඩා වැඩෙන නිසා තැන්පතු ලබාදීම තාවකාලිකව මහ බැංකුව මගින් අත්හිටුවා ඇති බව ඔවුන් ඇයට පවසා තිබෙනවා.

ඉන් අනතුරුවත් ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය වරින්වර රැස්වීම් පවත්වා සඳහන් කර ඇත්තේ තමන්ට ආයෝජකයෙකු හමුවන තුරු අධිකරණ ක්‍රියාමාර්ගයකට නොයන ලෙසයි.

ගම්පොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුද සාක්ෂි දෙමින් කියා සිටියේ ඔහු ඊ.ටී.අයි. ආයතනයේ රුපියල් මිලියන 155 ක් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ස් ආයතනයේ රුපියල් මිලියන 200 ක පමණ මුදලක් තැන්පත් කළ බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් හරහා මහ බැංකුව පිළිගත් මූල්‍ය සමාගම් ලෙස මෙම ආයතන ප්‍රකාශයට පත්කර තිබීම නිසා තමන් මුදල් තැන්පත් කිරීමට බිය නොවූ බවත් ඔහු පැවසුවා.

තවත් සාක්ෂිකාරියක් කොමිසම හමුවේ කියා සිටියේ වසර ගණනාවක සිට වරින්වර තැන්පත් කළ මුදල් තමාගේ ශල්‍ය කර්මයක් සඳහා යළි ලබා ගැනීමට ගිය විට මහ බැංකු නියාමන වැඩපිළි‍වෙළ හේතුවෙන් නැවත තැන්පතු මුදල ලබාදීමට නොහැකි බව ඊ.ටී.අයි. ආයතනය සඳහන් කළ බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට වරින් වර පැමිණිලි කළ ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරියෙකු හමුවීම සඳහා තමාට අවස්ථාවක් නොලද බවත් ඇය සඳහන් කළා.

තවත් සාක්ෂිකරුවෙකු කොමිසම හමුවේ සඳහන් කර සිටියේ තමාගේ දියණියන් දෙදෙනාගේ විවාහ මංගල උත්සව වෙනුවෙන් මුදල් එක්රැස් කර ගැනීමේ අරමුණින් ඊ.ටී.අයි. ආයතනය තුළ මුදල් තැන්පත් කළ බවයි.

එම මුදල් නැවත ලබා ගැනීමට නොහැකිවීම නිසා දියණියන් දෙදෙනාගේ විවාහ මංගල කටයුතු තවමත් සිදුකර ගැනීමට නොහැකි වූ බවත්, වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 36 ක් බවත් ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

***************************************

කැළණිය සරසවියේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 ඇරඹේ

(08.07.2020 – 15:15 +0530 – hirunews.lk/sinhala)

කැළණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වනදා ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි ලේඛකාධිකාරිවරයා සඳහන් කළේ විද්‍යා, වානිජ හා කළමනාකරණ අධ්‍යයන, පරිගණක හා තාක්ෂණ පීඨවල සිව්වන (4) වසරේ සිසුන්ට ඒ අනුව අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බවයි.

එම පීඨවල නේවාසිකව සිටින සියලුම සිසුන් ලබන 12 වනදා පෙරවරු 9 ත් පස්වරු 5 ත් අතර කාලය තුල නේවාසිකාගාර වෙතට වාර්තා කළ යුතු වනවා ෴

***************************************

පාසල් අධ්‍යයන කාර්ය මණ්ඩල ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස්

(08.07.2020 – 16:12 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියට අදාළ ව පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම සහ පිටවීම සිදුකළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

මතුව ඇති අවදානම හමුවේ පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර ජුලි 06 – ජුලි මස 17 දක්වා හා දෙවැනි අදියර ජුලි මස 20 – ජුලි 24 දක්වා තුළ දී පාසල තුළ පිරිස් ඒකරාශී වීම අවම කරගැනීමේ අරමුණින් පාසල් වෙත ගෙන්වා යුතු වන්නේ පන්ති කාලසටහන් ලබාදී ඇති සහ වෙනත් කළමනාකරණ, පරිපාලන විනය හා සෞඛ්‍ය කටයුතු ආදී වශයෙන් වගකීම් පවරා ඇති ගුරුවරුන් බව එම උපදෙස් ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා.

තව ද, කිසිදු රාජකාරියක් නොපවරන ලද සහ ඉගැන්වීම් කාලසටහන් නොමැති ගුරුවරුන් එම අදියරවල දී පාසලට ගෙන්වා ගැනීම සිදු නොකළ යුතු බවත්, වගකීම් පවරන ලද ගුරුවරුන් පෙරවරු 7.30 වනවිට සේවයට වාර්තා කළ යුතු වන අතර, තම නියමිත රාජකාරී නිමකිරීමෙන් අනතුරු ව බැහැර යාමට අවස්ථාව ලබාදිය යුතු බවටයි විදුහල්පතිවරුන් දැනුවත් කර තිබෙන්නේ.

එමෙන් ම තෙවැනි අදියරේ ජුලි මස 27 දින සිට සියලු ම ගුරුවරුන් සුපුරුදු පරිදි පෙ.ව. 7.30 වනවිට සේවයට වාර්තා කළ යුතු අතර, ප.ව 1.30 දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවත්, පස්වරු 3.30 දක්වා කාලසටහන් ලබා දී ඇති ගුරුවරුන් එම කාලසීමාව දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවට ද මේ යටතේ උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, ජුලි මස 27 වැනි දා සිට සේවයට වාර්තා කරන සියලු ම අධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් නියමිත පැමිණීමේ ලේඛනයේ (පොදු 18) සුපුරුදු පරිදි පැමිණීම හා පිටවීම අත්සන් කළ යුතුයි.

සියලු ම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු ම විදුහල්පතිවරුන් වෙත මෙම උපදෙස් ඇතුළත් ලිපිය මේ වනවිටත් යොමු කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටින්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

පාසල් විවෘත වීමත් සමග, දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගත හැක්කේ කෙසේද ?

(08.07.2020 – 18:25 +0530 – hirunews.lk/sinhala)

පාසල් විවෘත වීමත් සමග දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගැනීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරින්ගේ සංගමය අවධාරණය කරනවා.

ලෝකය තුළ මේ වන විටත් කොරෝකා ආසාදනය ව්‍යාප්ත වෙමින් තිබුණද ශ්‍රී ලංකාව එය සමාජය තුළ පැතිරිමකට නොයා පාලනය කර ගැනීමට සමත්ව තිබෙන බවත්, කොරෝනා ආසාදනය පැතිරීමත් සමග වසා දැමූ පාසල් ඉදිරි සතියේ සිට අදියර කීපයකට ආරමිභ කිරීමට තීරණය කොට ඇති බවත්, එම සංගමය පවසනවා.

කොරෝනා ආසාදනය තව දුරටත් ශ්‍රී ලංකාව තුල අඛණ්ඩව පාලනය කොට ගෙන යාමට නම් පාසල් පරිශ්‍ර තුළද මෙතෙක් අප විසින් අනුගමනය කරන ලද සෞඛ්‍යමත් පුරුදු පිළිපැදිය යුතු බවයි ඔවුන් පවසන්නේ.

දෙමවිපියන් තම දරුවන් කොරෝනා ආසාදනයෙන් බේරා ගැනීමට නම් මෙම සෞඛ්‍ය උපදෙස් අනුව මූලිකව අවශ්‍ය වන සෞඛ්‍යාරක්ෂිත උපකරණ සූදානම් කර ගත යුතු අතර සෞඛ්‍ය අංශ හා පාසල් මගින් ලබා දෙන සෞඛ්‍යමත් උපදෙස් පිළිපැදීමට තම දරුවන් දැනුවත් කිරිමද කළ යුතු බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිළධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

ඒ අනුව පාසල් විවෘත වුවත් තම දරුවන්ට උණ, කැස්ස, උගුරේ වේදනාව හෝ ශ්වසන ආබාධ ඇත්නම් පාසලට එවීමෙන් වැළකී සිටීමට දෙමවිපියන් වග බලා යුතු බවයි ඔවුන් කියා සිටින්නේ.

එමෙන්ම දරුවන් පාසල් යාමට පිටත් වීමට පෙර නිවසින් පිට වන විටදීම මුව ආවරණයක් පැළදිය යුතු අතර අතිරේක මුව ආවරණ 02 ක් පාසල් බෑගය තුළ තැබිය යුතුයි.

පාසල් විවෘත වුවත් පාසල් ආපන ශාලා විවෘත කිරීමට අවසර දී නොමැති බැවින් හා දරුවන්ට එක් රොක් වී ආහාර ගැනීමට ඉඩ ප්‍රස්ථා නොමැති බැවින්ද තම දරුවාට කෑම පෙටිටියකට ආහාරද බීමට උණු කර නිවා ගත් ජලය බෝතලයකට දමා පාසලට එවිය යුතුයි.

පාසල තුලදී ආහාර, ජලය, පෑන්, පොත් ආදිය හුවමාරු කොට නොගන්නා ලෙසද නිතරම දෑත් සේදීම සිදු කිරීමට දරුවන් හුරු කිරීමෙන්ද පාසල් පරිශ්‍රය තුළ කොරෝනා ආසාදනය පැතිරීම වළක්වා ගත හැකි බවද එම සංගමයේ සභාපති නයනී විජේවික්‍රම මහත්මිය පෙන්වා දෙනවා ෴

***************************************

තරඟ පාවාදීම ගැන විශේෂ විමර්ශන ඒකකයේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට

(08.07.2020 – 16:41 +0530 – hirunews.lk/sinhala)

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයේදී කිසිදු පාවාදීමක් සිදුකර නොමැති බව සඳහන් කරමින් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය භාරදුන් වාර්තාව, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ එම වාර්තා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා උපදෙස් ඉල්ලා එය නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි ෴

***************************************

කැස්බෑව හෝටල්හිමිකරු ඝාතනය කළ අයුරු හෙළිවේ

(08.07.2020 – 16:52 +0530 – hirunews.lk/sinhala)

කැස්බෑව – ගුරුගම්මාන පාරේ පිහිටි හෝටලයක් තුලදී එහි හිමිකරුගේ ඝාතනය සිදුව ඇත්තේ මොට ආයුධයකින් හිසට සිදුවූ පහරදීමක් හේතුවෙන් බවට අනාවරණ වී තිබෙනවා.

ඒ ඊට අදාල පශ්චාත් මරණ පරීක්ෂණ අද (08) කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකළ අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පිලියන්දල පොලීසිය ප්‍රකාශ 30 කට අධික ප්‍රමාණයක් සටහන් කර ගෙන ඇති අතර, අවට සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමට ද කටයුතු කර තිබෙනවා.

ඊයේ (07) පස්වරුවේ 50 හැවිරිදි මොහුගේ මළ සිරුර හමුවූ අතර, සිද්ධිය වන අවස්ථාවේ නිවස තුළ සිටියේ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනායි.

තුවාල සහිතව සිටි බිරිඳ පසුව කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු අතර අද (08) ඇයව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත්තේ හිසෙහි පරීක්ෂණයක් සිදුකිරීම සඳහායි.

කාමරයේ තිබී මුගුරක් ද හමුවී ඇති අතර, සිද්ධිය වූ දින අලුයම් කාලයේ පුද්ගලයින් දෙදෙනෙකු නිවස සහ යාබද හෝටලය පිහිටි පරිශ්‍රය දෙසට පැමිණෙන අයුරු සී.සී.ටී.වී. කැමරා වල සටහන් වී ඇති බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 8 ක් යොදවා විමර්ශන ක්‍රියාත්මකයි. මෙම අඹුසැමි යුවලගෙන් ආරවුල් සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී පොලීසිය වෙත පැමිණිලි ලැබී තිබෙනවා.

මේ අතර, බලංගොඩ – රාවණාකන්ද ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් අධික රුධිරය වහනයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 24 හැවිරිදි තරුණයෙකු අපයෝජන චෝදනා යටතේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සිසුවිය එම තරුණයා සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර, දැරිය නිවසින් අතුරුදන්වීම නිසා දෙමව්පියන් කළ සොයා බැලීමකදී ඇය තරුණයාගේ නිවසේ සිහිසුන්ව සිටියදී සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අධික රුධිර වහනය හේතුවෙන් දැරිය බලංගොඩ රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

සිසුවියගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් චෝදනා කරන්නේ අත්අඩංගුවට ගත් තරුණයා විසින් දැරිය පැහැර ගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති බවටයි.

***************************************

පාසැල් සිසුන් ප්‍රවාහණය කෙරෙන වෑන් රථ සහ බස් රථ සඳහා කහ වර්ණය අනිවාර්ය කෙරේ

(08.07.2020 – 17:28 +0530 – hirunews.lk/sinhala)

පාසැල් සිසුන් ප්‍රවාහණය කෙරෙන වෑන් රථ සහ බස් රථ සඳහා කහ වර්ණය පමණක් භාවිතා කිරීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ (07) බත්තරමුල්ල ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා, පාසැල් සිසු දරුවන් ප්‍රවාහණය කෙරෙන වාහන සංගම් හා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර ඊට පොලිස් නිලධාරින්ගේ මෙන්ම සිසු දරුවන් ප්‍රවාහණය කෙරෙන සංගම්වල නියෝජිතයෝද එකඟත්වය පළ කර ඇති බවයි වාර්තාවන්නේ.

දැනට අප රටේ මාර්ගවල දී පාසැල් සිසු දරුවන් ගමන් කරන වෑන් රථ සඳහා කිසිදු ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ නැති බවත් ඇතැම් බර වාහන පාසැල් සිසු දරුවන් ගමන් ගන්නා වාහන අසලින්ම ධාවනය කිරීම නිසා ඇතැම් කුඩා දරුවන් බියපත් වනවා මෙන්ම ඇතැම් විට හදිසි අනතුරුවලට පවා ලක් වෙන බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

මාර්ග තුළ විනය පවත්වාගෙන යාම සඳහා මෙම කාරණය හේතුවන අතර පාසැල් සිසු ප්‍රවාහණ වෑන් රථ කහ වර්ණ ගැන්වීමේ දී දැනට භාවිතා කරන වෙනත් වර්ණයන්ගෙන් යුත් වෑන් රථ කහ වර්ණය ආලේප කිරීමටත්, ඉදිරියේ දී පාසල් සිසු දරුවන් ප්‍රවාහනයට ආනයනය කෙරෙන වාහන කහ වර්ණයෙන්ම පමණක් ආනයනය කිරීමටත් තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

පාසැල් සිසු දරුවන් ප්‍රවාහණය කෙරෙන වාහන සඳහා ලෝකයේ සෑම රටකම මහාමාර්ගය තුළ ධාවනය කිරීමේ දී ඊට ප්‍රමුඛස්ථානය හිමිවේ.

ඊට හේතුව වන්නේ රටේ අනාගතය වන දරුවන් ගේ සුරක්ෂිතතාවය උදෙසා එම රජයන් විසින් පියවර ගෙන තිබීමයි.

බොහෝවිට පාසැල් සිසු දරුවන් ප්‍රවාහණය කෙරෙන වාහන සඳහා කහ වර්ණය භාවිතා වන නිසා එකී වැන් රථ පාසැල් දරුවන් ප්‍රවාහණය කරන වෑන් රථ බව සෙසු වාහන රියදුරන්ට පහසුවෙන් අවබෝධ කර ගත හැකිවීමයි. මේ නිසා එම වාහනවලට ඉදිරියට ගමන් කිරීමට ප්‍රමුඛතාව හිමිවේ.

මීට අමතරව දැනට විවිධ අපහසුතා මද්‍යයේ පවත්වාගෙන යන පාසැල් සිසු ප්‍රවාහණ වෑන් රථ සේවාව සඳහා යම් යම් සහන ලබා දීමටත් පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා ෴

***************************************

මැතිවරණය සම්බන්ධ සිද්ධීන් දැනුම්දීමට පොලිසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

(08.07.2020 – 18:00 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණය සම්බන්ධයෙන් වන සියලු ගැටළු දැනුම්දීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇතිබව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළා.

ඊට අදාල දුරකථන අංක පහතින් :

1933
011 247 2757
011 597 8701

ඊට අදාල ෆැක්ස් අංක පහතින් :

011 234 5553

මීට අමතරව මැතිවරණය සම්බන්ධ සිද්ධීන් දැනුම්දීම සඳහා හඳුන්වා දී ඇති විශේෂ ඊමේල් ලිපිනය වන igp.cr@police.lk ඔස්සේ ද විශේෂ මෙහෙයුම් මැදිරියට තොරතුරු යොමුකළ හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ ෴

***************************************

විදෙස් ශ්‍රම බලකායට ජනපති දුන් විශේෂ පණිවුඩය

(08.07.2020 – 18:08 +0530 – hirunews.lk/sinhala)

‘කොවිඩ් 19 සහ වැඩකරන ලෝකය – වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම’ තේමාව යටතේ අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව අද පැවැත්වුනා.

එම සමුළුව අමතමින් ජනපති සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින් :

‘කොවිඩ් 19 සහ වැඩකරන ලෝකය – වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම’ තේමාව කොටගත් අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව සමග මගේ අදහස් බෙදා හදා ගැනීමට ලද මේ අවස්ථාව පිළිබඳව මම ඉතා සතුටුවෙමි.

කොවිඩ් 19 වසංගතයට එරෙහිව අප සියලු දෙනා සටන් වැද සිටින මේ සංවේදී කාල පරිච්ඡේදයේදී සිය ‘වැඩ ලෝකය’ නොබිඳී පවත්වාගෙන යාම සඳහා සෑම රටක්ම ගත් ක්‍රියා මාර්ග මම අගය කරමි.

ඇතැම්විට වර්තමාන ලෝකය මුහුණ දෙන ප්‍රබලතම මානව අර්බුදය කොවිඩ් 19 විසින් නිර්මාණය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, පශ්චාත් කොවිඩ් 19 සමයේදී සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ද ‘වැඩ ලෝකය’ එකසේ සුවිසල් ප්‍රතිසංවිධානයකට ලක්ව පවතී.

ශ්‍රී ලංකාව බාහිර නිර්ණායකයන්ට සංවේදී වන, සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයකි. මේ වසංගතය නිසා ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑමෙන් නිර්මාණය වූ කම්පනයෙන් අපේ ශ්‍රම බලකාය ආරක්ෂා කර ගැනීමට අපි විශේෂයෙන් අවධානය යොමු කළෙමු.

අපේ සක්‍රීය ශ්‍රම බලකාය මිලියන 8.6 කි. ඉන් මිලියන 3.5 කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික අංශයේ සේවයෙහි නිරතව සිටිති. කොවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේ අප හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ පියවර මගින් ශ්‍රම බලකායේ සෑම අංශයක්ම ආවරණය කෙරිණි.

අප්‍රේල්, මැයි කාලවකවානුව තුළ වඩාත් පීඩාවට පත් ස්වයං රැකියාවල නිරත කණ්ඩායම් සඳහා රු.5,000 බැගින් ස්ථාවර මාසික දීමනාවක් ප්‍රදානය කිරීම ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. දෛනික වැටුප් ලබන සියලු සේවකයන් සේම පෙරපාසල් ගුරුවරු සහ ස්වයං රැකියාවල නිරත වූවන් වැනි අවදානමට පත් පාර්ශ්ව ඉන් ආවරණය වූහ.

රටෙන් පිටත සේවය කරන විශාල ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතුව ඇත. ගුවන් ගමන් සඳහා වාරණ පනවා තිබූ අවස්ථාවේදීත්, විදේශයන්හී සිට ශ්‍රී ලාංකිකයන් 15,000 කට ආසන්න පිරිසක් නැවත මව් රටට ගෙන්වා ගන්නා ලදී. මේ තත්ත්වය අපගේ සමස්ත සේවා නියුක්ති ව්‍යුහයට වෙනසක් ඇතිකළද, අ‍පේ අරමුණ වූයේ සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාවයි.

මේ කාණ්ඩයට අයත් සේවා නියුක්තිකයන්ට, නැවතත් තමන් කලින් රැකියාව කළ විදේශ රටවලට නොගොස් දේශීය ශ්‍රම වෙළඳ පොළට දායකවීමේ අවස්ථාව නිර්මාණය වී ඇත. මෙය අපේ වැඩ ලෝකයේ නව මුහුණුවර හැඩගස්වනු ඇත.

ශ්‍රී ලංකාවේ නිපුණතා අංශ පශ්චාත් කොවිඩ් 19 වකවානුවට අනුරූප වන අයුරින් නැවත සිතාබැලීමක් කළ යුතුව තිබේ. අර්බුද සමය තුළ රැකියා අහිමිවූවන් බල ගැන්වීම සඳහා වන අපේ වැඩ සැලැස්මෙන් සේවක නිපුණතා යලි පෙළ ගැස්වීම හා විධිමත් කිරීම සපුරා ගනු ලැබේ.

***************************************

අගමැති මහින්ද වෙනුවෙන් රෝහිත රාජපක්ෂ කුරුණෑගලට

(08.07.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කුමන ආකාරයක ව්‍යවස්ථා සංශෝදනයකින් හෝ සිදුවිය යුත්තේ රටට විශාල සංවර්ධනයක් සහ රටට හොඳ දෙයක් බව රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මාවතගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී අශෝක ප්‍රේමදාස මහතා ඇතුළු ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.

මාධ්‍යවේදීන් සජිත් ප්‍රේමදාස පිළිබඳව විමසූ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ විපක්ෂය කුමක් කළද ආණ්ඩුවේ වැඩපිළිවෙල යහපත් නම් හොඳ ඉදිරිගමනක් ඇති බවයි.

***************************************

සෞදියේදී මියගිය ශ්‍රී ලාංකිකයෙකුගේ අවසන් කටයුතුවලදී උණුසුම් තත්වයක්

(08.07.2020 – 22:24 +0530 – hirunews.lk/sinhala)

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් සෞදි අරාබියේදී මියගිය ශ්‍රී ලාංකිකයෙකුගේ දේහය මෙරටට රැගෙනවිත් ආදාහනය කිරීම සඳහා බොරැල්ල සුසාන භූමියට අද (08) රැගෙන ආ අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ සෞඛ්‍ය අංශ අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ මියගිය පුද්ගලයාගේ දේහයට දැකගැනීමට සෞඛ්‍ය අංශ ඉඩ ලබා නොදීම හේතුවෙන්. කෙසේ වෙතත් පොලිසිය මැදිහත්වීමෙන් දේහය ආදාහනය සඳහා පියවර ගත් අතර, එහිදී ආදාහනය සඳහා ස්විචය මියගිය පුද්ගලයාගේ පුත්‍රයෙකු විසින් ක්‍රියාත්මක කිරිම සංවේදී දසුනක් වුණා.

***************************************

පසුගිය ආණ්ඩුව තම පවුලෙන් පළිගත්තා මිස රටට සේවයක් සිදුකළේ නෑ – අගමැති

(08.07.2020 – 21:22 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ආණ්ඩුව තම පවුලෙන් පළිගැනීමට කටයුතු කළා මිස රටට සේවයක් සිදු නොකළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පන්නල දී ඊයේ (07) පැවති ජනහමුවකට එක්වෙමින්.

***************************************

අමරපුර මහා නිකායේ ආදිකර්තෘන්වහන්සේ සැමරුම ජනපති සහභාගිත්වයෙන් සිදුකෙරේ

(08.07.2020 – 21:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදිකර්තෘන් වහන්සේ ස්මරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ සහභාගිත්වයෙන් අද (08) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුනා.

පූජ්‍ය වැලිතර, මහකරාවේ ඥානවිමලතිස්ස හිමියන් කළ සුවිශාල කැපකිරීමකින් පසු 1803 වර්ෂයේ දී අමරපුර මහා නිකාය ස්ථාපනය කෙරුනා.

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය, අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්වර වැනි මහා නා හිමිවරු අමරපුර මහා නිකායට නායකත්වය දුන් අතර, පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත, වාදීභසිංහ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි සම්බුද්ධ ශාසනය උද්දීපනය කළ මහා යථිවරයාණන් වහන්සේ අමරපුර මහා නිකායෙන් බිහිවී තිබෙනවා.

වසර 218 ක් පුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කළ සියලුම ආදිකර්තෘන් වහන්සේ සිහි කරමින් අමරපුර දිනය සමරනු ලැබුවා.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් උත්සවයේ මුලසුන හෙබවූ අතර එහිදී ආදිකර්තෘන්වහන්සේට පුෂ්පෝපහාර පිළිගැන්වීම ජනාධිපතිතුමා විසින් සිදු කෙරුණා.

මෙම උත්සවයේදී අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ චරිතාපදනය එළිදක්වනු ලැබූ අතර, ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් වෙත පිළිගන්වනු ලැබුවා.

අමරපුර නිකායට අයත් සියලු විහාරස්ථානවල තොරතුරු ඒකරාශි කොට ලියැවුණු ‘අමරපුර විහාරස්ථාන නාමාවලිය’ ග්‍රන්ථය ද මෙහිදී එළිදැක්වීම සිදුකෙරුනා.

අමරපුර දිනය සිහි ගන්වමින් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ සහ ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර හිමියෝ ජනාධිපතිතුමා වෙත සිහිවටනයක් ද පිළිගැන්වූහ.

ත්‍රෛනිකායික මහා නායක, අනුනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ගිහි පැවිදි පිරිසක් සමරු උළෙලට එක්ව සිටියා.

= සේයාරූ =

***************************************

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩුකරයි

(09.07.2020 – 07:47 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය පොලී අනුපාත පදනම් ඒකක 100 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 4.5 ක් වනු ඇති. ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 5.5 ක් ලෙසයි දැක්වෙන්නේ.

ඒ අනුව ස්ථාවර නිකුතු අනුපාතය සමඟ සැකසෙන බැංකු පොලී අනුපාතය සියයට 8.5 ක් වන බවයි මහ බැංකුව සඳහන් කළේ.

එමෙන්ම ස්ථාවර සංචිත අනුපාතයද සියයට 2 ක් ලෙස නොවෙනස්ව පවතිනු ඇති ෴

***************************************

විදෙස් රැකියා දෙන බවට මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට

(09.07.2020 – 08:38 +0530 – sinhala.adaderana.lk)

කැනඩාවෙහි රැකියා ලබා දෙන පවසා මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් වංචාවන් කිහිපයක් සිදුකර රුපියල් 10,422,535 ක මුදලක් වංචාවක් සම්බන්ධයෙන් මෙම සැකකරු ඊයේ (08) දහවල් 01:30 ට පමණ බම්බලපිටිය හන්දියේ දී අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් 32 හැවිරිදි සැකකරු අද (09) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *