දෙවනගල ඔත්තු සේවය වසා දැමූ ‘හිරු සී.අයි.ඒ.’ මෙහෙයුම

(04.07.2020 – 20:45 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන බැතිමතුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ලෙස ඔවුන්ව නිරීක්ෂණය කිරීමට අන්‍යාගමික පුද්ගලයෙකු සවිකර තිබු සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ගලවා දැමීමට එහි හිමිකරුට සිදුවුණා.

‘හිරු සී.අයි.ඒ.’ මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී රටට හෙළි කළ අතර සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

ඓතිහාසික මාවනැල්ල දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ඔවුන්ව නිරීක්ෂණය කිරීම සදහා අන්‍යාගමිකයෙකු විසින් සී.සී.ටී.වී. පද්ධතියක් සවිකර තිබුණේ මේ ආකාරයෙන්.

අදාළ පුද්ගලයා පළාත් සභා මැතිවරණයකට ද තරග කර ඇති අතර ඔහු නමින් ‘තාහීර් හාජියාර්’ නැමැත්තෙක්.

අදාල මැතිවරණ සමයේ ඓතිහාසික දෙවනගල ගල්තලාවේ පුරා විද්‍යාත්මක වටිනාකම තඹයකටවත් මායිම් නොකළ ඔහු මෙලෙස තම ප්‍රචාරක කටයුතු කර තිබුනේ එකල මෙරට නීතිය ක්‍රියාත්මකවීම පිළිබදව සිතන්නට යමක් ඉතිරි කරමින්.

බැතිමතුන් නිරීක්ෂණය කිරීමට ඔහු ආරක්ෂක කැමරා පද්ධතිය සවි කිරීමත් සමග තවත් පුද්ගලයෙකු එය අනුගමනය කරමින් දෙවනගල භාරකාර හිමියන් වැඩවසන ආවාසගෙයට යන එන පුද්ගලයන්ද නිරීක්ෂණය කිරීමට තවත් සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවිකර තිබුණා.

කෙසේ වෙතත්, දෙවනගල පුදබිම අවට පැතිරගිය මේ අමුතු ඔත්තු බැලීමේ ක්‍රියාවලිය ‘හිරු සී.අයි.ඒ.’ හරහා හෙළිකිරීමත් සමග ඒ පිළිබද මාවනැල්ල පොලිසියේ අවධානයද යොමුවුණා.

පොලිසියේ අවවාද කිරීම් මත අදාල නිවෙස් හිමියාට සිදුවුණේ CCTV කැමරා පද්ධතියේ දිශාව මෙලෙස වෙනස් කිරීමටයි.

මාවනැල්ල පොලිසිය විසින් පෙරේදා දෙවනගල පුරාවිද්‍යා ස්මාරකයට යන මාර්ගයේ සවිකර තිබු ආරක්ෂක කැමරා පද්ධතිය පිළිබදව මාවනැල්ල අධිකරණයට කරුණු වාර්තා කළ අතර ප්‍රශ්නගත ආරක්ෂක කැමරා පද්ධතිය ගලවා පොලිසියට භාරදෙන ලෙස අදාළ පුද්ගලයාට නියෝග කෙරුණා.

ඒ අනුව ඊයේ (03) අදාළ ආරක්ෂික කැමරා හා උපාංග පොලිස් භාරයට ලබාගත් අතර තාහීර් නම් සැකකරු අත්අඩංගුවටගෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළා.

සිද්ධිය පිළිබද පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක අතර මාවනැල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කරන ලෙසයි.

මෙලෙස දෙවනගල උරුමයට එරෙහි බලපෑම් වෙත නීතිය ක්‍රියාත්මක වීම අගය කළ යුත්තක්.

එමෙන්ම දෙවනගල පුරාවිද්‍යාත්මක භූමියේ අයිතිය පිළිබඳව ඉදිරියේදීත් ‘හිරු සී.අයි.ඒ.’ අවධානයෙන්.

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(04.07.2020 – 21:26 +0530 – hirunews.lk/sinhala)

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා ජන හමුවක් අමතමින් සඳහන් කළේ පරාජයේදී එක්ව සිටි කණ්ඩායම මතක තබා ගත යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද ජන හමුවක් අමතමින් අදහස් පළ කළා.

ඔහු පෙන්වා දුන්නේ දේශපාලන වේදිකාවේ කෑගසනු ලබන්නේ චෝදනා ඇති පුද්ගලයන් බවයි.

වැල යා යුතු අත තීරණය කර එම දිශාවට මැස්ස ගැසූ බව විමල් වීරවංශ මහතා ජන හමුවක් අමතමින් කියාසිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රවි කරුණානායක සජිත් ප්‍රේමදාස ලබාදෙන බව කියන රුපියල් විසි දහසේ දීමනාව පිළිබඳ අදහස් පළකළා.

ජාතික සමගි බලවේගයේ අපේක්ෂක නලින් බණ්ඩාර සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ට ගමකට ගොස් රැස්වීමක් හෝ පැවැත්වීමට නොහැකි බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ඇති හැකියාවක් පිළිබඳ රෝහිත අබේගුණවර්ධන මහතා අදහස් පළකළා.

***************************************

ජනපති තන්තිරිමලේ සහ වෙහෙරබැන්ද කුටිය රජමහා විහාරස්ථාන වැඳපුදාගනී

(05.07.2020 – 07:09 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර – වෙහෙරබැන්ද කුටිය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානවල ආගමික වතාවත්වල නිරත වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා ඊයේ (04) වෙහෙරබැන්ද කුටිය රජමහා විහාරස්ථානය වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය වැලිසර සිරිජිනවංශ තිස්ස හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි.

ක්‍රිස්තු වර්ෂ 5 සහ 6 වැනි ශත වර්ෂවල පළමුවැනි භාතිය රජු විසින් වෙහෙරබැන්ද කුටිය විහාරස්ථානය ඉදිකර තිබෙනවා.

ජනාධිපතිවරයා සිල් සමාදන්ව සිටි උවැසි උවැසියන් සහ ප්‍රදේශවාසීන් සමග ද මෙහිදී සුහද පිළිසඳරක නිරත වුණා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්ව තිබෙනවා.

ඊයේ (04) පස්වරුවේ පුද බිමට පැමිණි ජනාධිපතිවරයා අෂ්ඨඵල බෝධීන් වහන්සේ උදෙසා ඖෂධ පූජාවක් ද සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී කොරෝනා වෛරසය පාලනයට ජනාධිපතිවරයා කළ මෙහෙවර පිළිබඳ විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන් ප්‍රසාදය පළ කර තිබෙනවා.

පොළොන්නරුව ගල් විහාරයේ ඇති සැතපෙන බුද්ධ ප්‍රතිමාවට සමාන තන්තිරිමලේ ඓතිහාසික ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වුනා.

විහාරස්ථානයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේ ජනතාවගේ වන්දනාව වෙනුවෙන් විවෘත කිරීමට එක්වූ ජනාධිපතිවරයා ඒවා වැඳ පුදා ගැනීමට ද එක්වුනා.

***************************************

ලොව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් ඊයේ (04) වාර්තාවෙයි – මැලේරියා සහ එච්.අයි.වී. ඖෂධ කොරෝනා රෝගීන්ට ලබාදීම අත්හිටුවයි

(05.07.2020 – 07:24 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (04) දිනයේදී ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2074 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ වාර්තා වූ ආසාදිතයින් බංග්ලාදේශය, කටාර්, මැඩගස්කරය සහ ඇමරිකා එක්සත් ජනපදයේ සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බවයි.

රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙකු (22) ඊයේ (04) පිටව යාමත් සමඟ පූර්ණ සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,885 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178 ක්.

කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 904 දෙනා අතරින්, 879 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 25 ක්.

මේ අතර මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත ළඟාවුණා.

බහරේනයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් එමඟින් යළි දිවයිනට පැමිණ තිබෙනවා.

එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා සිට ද තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියේ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.

මීට අමතරව ඩුබායි රාජ්‍යයේ සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (02) ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

ලොව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (04) වාර්තාවූ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 212,326 ක් වාර්තාවී ඇති බවයි.

ඉන් වැඩිම ආසාදිතයන් වර්ධනයක් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාවෙන් වාර්තාවී තිබෙනවා.

මීට පෙර දිනකදී වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව එනම් නව ආසාදිතයන් 189,077 ක් වාර්තාවූයේ පසුගිය ජූනි 28 වනදායි.

එමෙන්ම ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාවේ දිනක සාමාන්‍ය 5,000 ක් ලෙස තවදුරටත් පවතිනවා.

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් 11,371,989 ක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ 532,861 ක් ලෙසයි.

මේ අතර කොරෝනා වෛරස ආසාදිතයන් සඳහා හයිඩ්‍රොක්සික්ලෝරක්වීන් මැලේරියා ඖෂධය ලබාදීම නතර කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.

එමෙන්ම එච්.අයි.වී. ආසාදිතයන් සඳහා ලබාදෙන ඖෂධ දෙකක්ද (02) කොරෝනා රෝගීන් සඳහා ලබාදීම නතර කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත්තේ එමඟින් කොරෝනා මරණ සංඛ්‍යාව පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන්.

ඒ අනුව එම ඖෂධ අත්හදාබැලීම ලෙස කොරෝනා රෝගීන්ට ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ. එමඟින් කොවිඩ් 19 ගෝලීය වසංගතයක් ලෙස නම් කෙරුණේ පසුගිය මාර්තු 11 වනදායි ෴

+++++++++++++++++++++++++++++++++++

[ Dealing with Covid-19: Lessons from the experience of Sri Lanka ]

(30.06.2020 – indianexpress.com)

***************************************

ගැන්ටි‍්‍ර දොඹකර ගැන වෘත්තීය සමිති විමර්ශනයක් ඉල්ලයි

(05.07.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට චීනයෙන් ආනයනය කළ ගැන්ටි‍්‍ර දොඹකර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය ඉල්ලීමක් කරනවා.

එහි ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා කියා සිටියේ මෙම ගැන්ටි‍්‍ර දොඹකර 3 ජයබහලූ පර්යන්තයේ යෝජනා කෙරුණු පස්වන (5) අදියර සඳහා පසුගිය ආණ්ඩු සමයේ ඇණවුම් කළ බවයි.

කෙසේ වෙතත්, ජයබහලූ පර්යන්තයේ 5 වන අදියර ශක්‍යතා අධ්‍යයන වාර්තාවෙන් අනතුරුව අසමත් වීම හේතුවෙන් අදාළ ගැන්ටි‍්‍ර දොඹකර ජයබහලූ පර්යන්තයේ දැනට ක්‍රියාත්මක අදියර වල සක්‍රීය ගැන්ටි‍්‍ර දොඹකර 3 ක් ගලවා සවි කිරීමට සැලසුම් කර තිබෙනවා.

එහෙත්, එවක වෘත්තීය සමිති විරෝධය පළ කිරීම හේතුවෙන් චීනයෙන් ඇණවුම් කළ මෙම ගැන්ටි‍්‍ර දොඹකර නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමටයි තීරණය කෙරුණේ.

මෙම ගැන්ටි‍්‍ර දොඹකර 3 ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඇමරිකානු ඩොලර් මිලියන 25.7 කට ලබා ගත්තද, එහිදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා කියා සිටියේ.

මේ අතර, කොළඹ වරායේ ජයබහාලූ සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් ද පත් කරනු ලැබුවා.

වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා එහි සභාපතිවරයායි.

දින 45 ක් ඇතුළත කමිටුව විසින් ඊට අදාළ වාර්තාව ඉදිරිපත් කළ යුතුයි ෴

***************************************

දින 113 කට පසු සිසුන් සඳහා පාසල් හෙට (06) විවෘත කිරීමට සූදානම්

(05.07.2020 – 08:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලූ පාසල්, දින 113 කට පසු සිසුන්ට හෙට (06) විවෘත වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අදියර හතරක් (4) යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව හෙට (06) දිනයේ පාසල්වලට පැමිණිය යුත්තේ 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිවල සිසුන් පමණයි.

සෙසු ශ්‍රේණිවල සිසුන් තවත් අදියර කිහිපයක් යටතේ ඉදිරියේදී කැඳවීමට නියමිතයි.

පසුගිය සඳුදා පාසල්වලට ගුරුවරුන්, අනධ්‍යයන සේවකයින් සහ සෙසු කාර්ය මණ්ඩලය කැඳවූ අතර කාල සටහන් නිර්මාණය කිරීම, සෞඛ්‍ය උපදෙස්වලට අනුව සිසුන් ක්‍රියාකළ යුතු ආකාරය එහිදී සාකච්ඡාවට ලක්වුණා.

එම සතිය වෙන් කර තිබුණේ අදාළ කටයුතු මෙන්ම, විෂබීජහරණය කටයුතු සඳහායි.

ඒ අනුව හෙට (06) දිනයේ පැමිණෙන 13 වන ශ්‍රේණියේ සිසුන් උසස් පෙළ විභාගයටත් පෙනී සිටින හෙයින් ඔවුන්ට පාසල් කාලය උදෑසන 7.30 සිට 3.30 දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද සඳහන් කළේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පාසල් කාලය සුපුරුදු පරිදි උදෑසන 7.30 සිට 1.30 දක්වා ක්‍රියාත්මකයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ එම කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බවයි.

අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව සෑම ගුරුවරයෙකුම පාසල් ආරම්භ කෙරෙන පෙරවරු 7.30 ටම පැමිණීම අනිවාර්ය නොවන අතර, එම ගුරුවරයාට ඉගැන්වීමට නියමිත විෂය පැවැත්වෙන කාලපරිච්ඡේදයට විනාඩි 30 කට පෙර පාසලට පැමිණීම ප්‍රමාණවත් වනවා.

10 සහ 12 ශ්‍රේණි සඳහා තෙවන අදියර යටතේ පාසල් ආරම්භ කෙරෙන්නේ ජුලි මස 20 වනදා සිට වන අතර, හතරවන අදියර යටතේ ජුලි 27 වනදා 3, 4, 6, 7, 8 සහ 9 යන ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට නියමිතයි.

පළමු (1) සහ දෙවන (2) ශ්‍රේණිවල සිසුන්ට පාසල් යළි ආරම්භ කරනු ලබන්නේ අගෝස්තු 10 වනදා සිට බවයි අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ.

කෙසේ වෙතත්, පාසල් ආරම්භ කිරීම සඳහා කටයුතු සූදානම් කළද ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ සහ උපදෙස් සම්බන්ධයෙන් බරපතල ගැටලු ගණනාවක් පැන නැගී ඇති බව ගුරු සංගම් පවසනවා.

විශේෂයෙන්ම පාසල්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම මෙන්ම, ගුරුවරුන් සේවාව ලබාදිය යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය විවිධ පළාත්වල අධ්‍යාපන ලේකම්වරුන් විවිධාකාරයෙන් අනුගමනය කිරීම ගැටලු සහගත බවයි ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ ෴

***************************************

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රිඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

(05.07.2020 – 08:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පානදුර හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහුගේ මෝටර් රථයේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියයාම හේතුවෙන්.

අද (05) උදෑසන 5 ට පමණ පානදුර උතුර – හොරේතුඩුව ප්‍රදේශයේ පරණ ගාලුපාරේ මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී මොරටුව දෙසින් පානදුර දෙසට ධාවනය වූ කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී ඇත්තේ පාපැදිකරුවෙක්.

පානදුර උතුර -ගොරකපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම 64 හැවිරිදි පුද්ගලයා අනතුරෙන් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පානදුර රෝහලේ තබා ඇති අතර, පානදුර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

+++++++++++++++++++++

***************************************

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අත්අඩංගුවට

(05.07.2020 – 10:07 +0530 – hirunews.lk/sinhala)

උතුර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී අද (05) උදෑසන අත්අඩංගුවට ගැණුනා.

වරෙන්තුවක් මත වැල්වැටිතුරෙයි, අම්මාන් කෝවිල්අඩි ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඔහු අත්අඩංගුවට ගැණුනු බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

2018 වසරේ මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් වෙත මෙම වරෙන්තුව නිකුත් කර තිබුණා.

අධිකරණය මග හැරීම හේතුවෙන් එම වරෙන්තුව නිකුත් කර ඇති අතර, ඔහු අද (05) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම්.කේ. සිවාජිලිංගම්, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සන්ධානය යටතේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයෙක් ෴

***************************************

හොරොයින් සහ මුදල් සමග අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වූ ‘බන්ටි’ පොලිස් දැලේ

(05.07.2020 – 11:04 +0530 – hirunews.lk/sinhala)

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා ලෙස සැලකෙන ‘බත්තරමුල්ලේ බන්ටි’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තලංගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයි.

මොහු බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවකට හෙරොයින් බෙදා හැරීමේ නිරත වූ ප්‍රධාන ජාවාරම්කරු බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සිටි නිවසේ තිබී හෙරොයින් මත්කුඩු සහ මුදල් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා අත්අඩංගුවේ සිටි පාතාල නායක සමයං ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස ද බත්තරමුල්ලේ බන්ටි සැලකෙනවා.

එමෙන්ම, බත්තරමුල්ල ප්‍රදේශයේ සිදුවූ තවත් වෙඩි තැබීම් සිද්ධීන් දෙකකට (2) මොහු සම්බන්ධ බවට අනාවරණ වී ඇති අතර, අපරාධ ක්‍රියා සඳහා යොදා ගත් මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත් බවයි තලංගම පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර, පසුගිය 3 වනදා රාත්‍රී 12 සිට ඊයේ (04) මධ්‍යම රාත්‍රිය දක්වා පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී හෙරොයින්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 502 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පොලිස් භාරයට ගැණුනු හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 170 ක්.

එමෙන්ම, රිපීටර් වර්ගයේ ගිනි අවි 3 ක්, පිස්තෝලයක් සහ කඩුවක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මීට අමතරව, නීතිවිරෝධී මත්පැන් සිද්ධීන් සම්බන්ධයෙන් ද සැකකරුවන් 517 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, වරෙන්තුකරුවන් 488 දෙනෙකු සහ වෙනත් වැරදි සම්බන්ධ සැකකරුවන් 838 දෙනෙකු එම කාලය තුළ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *