දේශපාලන පළිගැනීම් කොමිසම අදත් (30) සාක්ෂි විමසයි

(30.06.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩු සමයේදී යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනිකරණයට ලක්ව තිබූ බව හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ප්‍රකාශ කළා.

ඒ, දේශපාලන පලි ගැනීම් පිලිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් ඇතුළු වගඋත්තරකරුවන් පිරිසක් ද අද (30) කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.

හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතාගෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසුරිය මහතා මෙහිදී විමසා සිටියේ එම්.වී. මහනුවර නෞකාවේ නඩුව සම්බන්ධයෙන් කුමන හෝ පාර්ශ්වයක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ ද යන්න පිළිබඳවයි.

අරලියගහ මන්දිරයේ දී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ කිහිප අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඔහු ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ද අදාළ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව සඳහන් කළ ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද රාජ්‍ය නිලධාරීන් කැඳවා නඩු කටයුතු සම්බන්ධව විමසූ බවයි කියා සිටියේ.

එය මුළුමනින්ම වැරදි පූර්වාදර්ශයක් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා.

මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක “නිශ්ශංක සේනාධිපතිට රට යන්න අවසර දීල තියෙනවා කවුරු හරි නිලධාරියෙක්. ඔහුගේ වැඩ තහනම් කරන්න ඕනේ” යනුවෙන් මේසෙට ගහලා කිව්වා යනුවෙන්ද සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව සාක්ෂි ඇත්නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ද පාඨලී චම්පික හිටපු අමාත්‍යවරයා තමාට දැනුම් දුන් බව සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු 08 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නිතීපතිවරයා පවරා ඇති නඩුවේ චෝදනා ඉදිරියටත් පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මුලික විරෝධතාව අද ප්‍රතික්ෂේප කෙරුණා.

ඒ ඊට අදාල පෙත්සම ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැදිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද (30) කැඳවූ අවස්ථාවේදියි.

චෝදනා 19 ක් යටතේ නීතීපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා. නඩු විභාගය සඳහා දැනටමත් නොවැම්බර් මස 02 වනදා දින නියම කර ඇති අතර නඩුව කැඳවීමේ දින ලබන මස 30 වනදා නියම කිරිමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.

***************************************

ඉඩම් වංචා වැළැක්වීමට ඉ-ඉඩම් ලියාපදිංචිය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

(30.06.2020 – 21:33 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමයට) ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි මේ බව සඳහන් කර ඇත්තේ.

වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටීම හේතුවෙන් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

ඉඩම් ලියාපදිංචිය ආශ්‍රිත ආයතන අතර ඒකාබද්ධතාවක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළ අතර වනජීවි, වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශ ද ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩසටහන කඩිනම් කරන්නැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇති බව සඳහන්.

ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය යටතේ ඔප්පුව, පත්ඉරුව, පරිගණකගත කෙරෙන අතර පත්ඉරු ලබාගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත්, නීතිඥවරුන්ට, නොතාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට හෝ online ක්‍රමයට ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව සැලසීම මගින් ඉඩම් වංචාවන්ට තිත තැබීමට හැකිවන බව නිලධාරීහු පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමග එක්ව අගෝස්තු මාසය වන විට වැඩසටහන ජනගත කිරීමට අපේක්ෂා කෙරෙන බවයි එහිදී වැඩිදුරටත් සඳහන් වූයේ.

මෙලෙස ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) යටතේ ලියාපදිංචි කෙරෙන ඉඩම් වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික පාස් පොතක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් ෴

***************************************

වෘත්තීය පුහුණු ආයතන ජුලි මස 06 වනදා සිට විවෘතයි

(30.06.2020 – 11:42 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සතු සියලුම වෘත්තීය පුහුණු ආයතන ජුලි මස 06 වනදා සිට සිසුන් සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ අකිල දනුෂ්ක නාගහවත්ත මහතා මේ බව සඳහන් කරයි.

මේ පිළිබඳ විමසා තොරතුරු 011 727 0270 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය ෴

***************************************

ඇතැම් මුස්ලිම් නායකයින්ගේ අසත්‍ය ප්‍රචාර ගැන යළි සිතා බැලිය යුතුයි – අගමැති

(29.06.2020 – 22:09 +0530 – sinhala.adaderana.lk)

මෙරට මුස්ලිම් ජනතාව ඇතැම් මුස්ලිම් නායකයන් ගෙන යන අසත්‍ය ප්‍රචාර ගැන යළි සිතා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (30) දෙහිවල පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුස්ලිම් සම්මේලනය අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“පාසල් හා එයාර්පෝට් වහන්න තීරණය කළා. හමුදාව යෙදෙව්වා. හමුදාව යොදවපු නිසයි මේක මර්දනය කරන්න පුළුවන් වුණේ පුච්චනවාද වළදානවාද කියන ප්‍රශ්නය ආවා. අපි ගත්ත තීරණයක් නෙමෙයි. විශේෂඥ කණ්ඩායමක් ගත්ත තීන්දුවක්. වෛද්‍යවරුන්ගේ මතයට විරුද්ධ වෙන්න බෑ. මේකත් අපේ පිටට දැම්මා. මේ දවස්වල රවුෆ් හකීම් තමයි කතාකරන්නේ. හකීම් කියන ඒවා දෙපාරක් හිතලා අහන්න. පසුගිය වතාවේ අපිට වැඩි සහායක් නොලැබුණ බවට මතයක් තියෙනවා.

සහයෝගය දෙන පිරිසක් හිටියා. අපිට බුරියානි ඡන්දේ අලියාට. දැන් බුරියානිත් හම්බ වෙනවා, ඡන්දෙත් හම්බ වෙනවා.

සජිත් කියනවා ගෝඨාභය එක්ක වැඩ කරන්න පුළුවන්ලු. ප්‍රේමදාස මහත්තයාට වඩා හොඳට අපිට වැඩ කරන්න පුළුවන්.”

***************************************

මහ බැංකුවට කළ හැකි දේ ගැන හිටපු අධිපති කියයි

(29.06.2020 – 20:52 +0530 – sinhala.adaderana.lk)

මහ බැංකුව, ව්‍යාපාර ක්ෂේත්‍රය ගොඩ නැගීමට අවශ්‍ය කටයුතු සිදු නොකර ද්‍රවශීලතාව වැඩි කළ පමණින් ආර්ථිකයට යහපතක් සිදු නොවන බව මහ බැංකු හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

එසේ නොකළහොත් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ආර්ථික ඉලක්ක ඉටු කිරීමට නොහැකි වන බව අන්තර් ජාලයේ සංවාදයකට එක්වෙමින් හිටපු මහබැංකු අධිපතිවරයා පෙන්වාදෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසීය.

“බැංකු පද්ධතියේ මුළු ණය ට්‍රිලියන 9.2 යි. බිලියන දහසක් පමණ ප්‍රශ්නසහගත ණය. තව බිලියන 200 ක් ලබා දුන්නා නම් වැඩි පුර දෙන ණයට මහ බැංකුව වග කියන්න. එතකොට ව්‍යාපාරවලට මුදල් යනවා. 1% ක වගේ අඩු පොලියට දෙන්න පුළුවන් සල්ලි හම්බකිරීම නෙවෙයි අවශ්‍යතාව. ආර්ථිකය ගොඩනගාගන්න. ද්‍රවශීලතාව වැඩි කළාට අවශ්‍ය දේ වෙන්නේ නෑ. ව්‍යාපාර ක්ෂේත්‍රය ඉක්මණින් නැගිට්ටවන්න ඕන. අගමැතිගේ වැදගත් යෝජනාව. වසර 2 ක ණය විරාමයක් ඉල්ලලා. ජනාධිපතිතුමා එවැනිම ඉල්ලීමක් කළා. මහ බැංකුව මේවාට ක්‍රියාත්මක වෙන්න ඕන. ඉල්ලීමක් කරලා තියෙනවාද? අනිත් රටවල් එක්ක සාකච්ඡා කරන්න ඕන. ඒවා නොකළ හිටියොත්. තව සැරයක් ඇඟිල්ල දික්කරන්න වෙයි.”

***************************************

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් අඩුකළ හැටි හමුදාපති හෙළිකරයි

(29.06.2020 – 18:58 +0530 – sinhala.adaderana.lk)

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 300 කට පමණ සීමාකර ගැනීමට හැකි වූයේ කොවිඩ් නයින්ටීන් වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රීලංකාව ගෙන ගිය වැඩපිළිවෙල බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දෙරණ ‘Big Focus’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

යුද හමුදාපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව අනුගමනය කළ ක්‍රමවේදය ලොව වඩාත් සාර්ථක ක්‍රමවේදය බවට බොහෝදෙනා පිළිගන්නා බවය.

මේ අතර කොවිඩ්-19 තත්ත්වය පාලනයට ආරක්ෂක හමුදාව මුල් අදියරේදීම යොදවා ගැනීමට ජනාධිපතිවරයා බුද්ධිමත් තීරණයක් ගත් බව ඒ මහතා වැඩිදුටත් පැවසීය.

හමුදාපතිවරයා කියා සිටියේ, චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග මෙරට තුළ ජනාධිපති කාර්යසාධක බලකාය ජනවාරි මස 26 වනදා පත්කළ බවය.

කොවිඩ්-19 තත්ත්වය පාලනයට සිදුකරන සම්පූර්ණ ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

***************************************

ඒටීඑම් යන්ත්‍රයේ දමාගොස් තිබූ ලක්ෂය හිමිකරු සොයා බාරදීලා

(29.06.2020 – gossiplankanews.com)

අම්බලන්තොට රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයේ අමතක වූ රුපියල් ලක්ෂයක මුදල ඊට පසු පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන එම රාජ්‍ය බැංකුවේ කළමනාකරු අතට පත් කිරීමෙන් පසු එම මුදල හිමිකරු බැංකුවට ගෙන්නා ඔහුගේ අතටම එම මුදල ලබාදීමේ පුවතක් අම්බලන්තොට නගරයෙන් වාර්තාවේ.

අම්බලන්තොට මහජන බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණි අම්බලන්තොට මහඇළකණ්ඩිය, කොග්ගල්ල පදිංචි ඩී. සජිත් තිවංක නමැත්තා රුපියල් ලක්ෂයක මුදල යන්ත්‍රයෙන් පිටතට නොගෙන කාඩිපත පමණක් රැගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

ඊට පසුව යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණි හුංගම විජයබා ජාතික පාසලේ ගුරුවරයකු වන වයි.අයි. ලක්මාල් මහතා එම රුපියල් ලක්ෂයේ මුදල අතට ගෙන බැංකුවේ කළමනාකරු අතට ලබාදීමෙන් පසු මුදල් අයිතිකරු කවුරුන්ද යන්න සොයා බලා ඔහුට දුරකතන ඇමතුමක් ලබා දී ඔහු බැංකුවට ගෙන්වා මුදල අයිතිකරු අතට ලබාදීම මහජන බැකුවේ අම්බලන්තොට ශාඛාවේ මෙහෙයුම් කළමනාකරු ඉදිරියේදී සිදුකෙරිණි.

මුදල් අයිතිකරුට දුරකතන ඇමැතුම ලබා දෙන විටදිටත් මුදල් තමා අතේ නොමැති බව ඔහු නොදැන සිටි බවද, හදිසියේ කාඩ් පත පමණක් යන්ත්‍රයෙන් රැගෙන එම මුදල් වෙනත් කෙනෙකුට ලබා දීමට ගමන් කරමින් සිටියදී දුරකතන ඇමැතුම ලැබුණු බවත්. එවිට මුදල් අතේ නොමැති බව තේරුම් ගිය බවත් මුදල් අයිතිකරු පැවසු බව කළමනාකරු කීය.

(අම්බලන්තොට සනත් ගමගේ)

***************************************

මූල්‍ය ආයතනයකින් බැංකුවට එවූ මිලියන 21 ක් හැක් කළ සැකකරු 08 දා තෙක් රිමාන්ඩ්

(30.06.2020 – mawbima.lk)

මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවකට එවනු ලැබූ රුපියල් මිලියන 21 ක් හැක් කර සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකු ලබන මස (ජූලි) 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

අදාළ පුද්ගලයා ‘බාල රවීන්ද්‍ර රුමේෂ්’ නමැත්තෙකි. අදාළ පුද්ගලයා තමන්ගේ බිරියගේ බැංකු ගිණුම් අංකය ලබාදී සිද්ධියට සම්බන්ධ වී ඇති බවද ඔහු ඒ සම්බන්ධයෙන් රුපියල් මිලියන 2 ක කොමිස් මුදලක් ලබාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය. අදාළ පුද්ගලයා එම මුදලින් රුපියල් එක්ලක්ෂ පහළොස් දහසක් (1,15,000) වටිනා සැම්සුන් ගැලැක්සි වර්ගයේ ජංගම දුරකථනයක්, රන්මාල 2 ක් ඇතුළුව රත්රන් වළලු කිහිපයක් මිලදීගෙන ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටිනු ලැබිණි. එම සිද්ධිය පිටුපස සංවිධානාත්මක කල්ලියක් සිටින බවට කරුණු අනාවරණය වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දැනුම් දුන් අතර සිද්ධියට සම්බන්ධ වී ඇති මොහොමඩ් සනුත් මොහොමඩ් සහාන්තු නමැති පුද්ගලයකු සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමක් පනවන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබීය. එය සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා ඊට අදාළ විදේශ ගමන් තහනම නිකුත් කෙරිණි.

ඊට අමතරව, ඊට සමගාමීවූ සිද්ධියට මේ වනවිට බෝගම්බර බන්ධනාගාරයේ සිටින ‘ස්ටෙෆන්ස් පිලිප්’ නමැති පුද්ගලයකුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධව සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා ඊට අදාළ නියෝගය නිකුත් කළේය.

සොරකම් කරන ලද මුදලින් විත්තිකරු විසින් මිලදී ගෙන ඇති භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ ජංගම දුරකථන ඇතුළු රත්රන් භාණ්ඩ නඩු භාණ්ඩ වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට භාරදෙනු ලැබිණි. සිද්ධියට අදාළ නඩුව ලබන මස 08 වැනිදා කැඳවීමට නියමිතය.

– අමිල අබේරත්න

***************************************

69 ලක්ෂයේ අපේක්ෂාව ඉටු කරන ජනපතිඳුන්ගේ අධිෂ්ඨානය සඵල කරන ‘හරි මග’ : පශ්චාත් කොවිඩ් 19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් ‘උපාය මාර්ගික ප්‍රවේශය කෘතිය’ ජනගත වෙයි

(30.06.2020 – 14:22 +0530 – lankaleadnews.com)

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය(25) දින කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණගාරයේ දී විශේෂ නියෝජිත සමුළුවක් කැඳවා ‘හරිමග : පශ්චාත් කොවිඩ් -19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය’ කෘතිය ජනගත කළේය.

මෙම ජනතා නියෝජිත සමුළුව අමතා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි, සාහිත්‍යසූරි ආචාර්ය ගුණදාස අමරසේකර හා ජානිපෙ නායක විමල් වීරවංශ යන මහත්වරු ද අදහස් දැක්වූහ.

‘හරිමග : පශ්චාත් කොවිඩ් -19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය’ කෘතිය කියවීමට / බාගත කරගැනීමට :

[ https://lankaleadresearch.blogspot.com/2020/06/69-19.html ]

***************************************

පොලිසිය කුඩු සමග හෙලුවෙන්?

(00.07.2020 – aruna.lk – කතුවැකිය)

​කොතරම් තරු පටි තිබුණත් අමුඩයකින් පමණක් විලි වසාගෙන සිටි පොලිසියේ ඒ අමුඩයද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කඩා දමා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම නිරුවත් කර තිබේ. මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන්ගේ සිට මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයන් දක්වා වූ අපරාධකාරයන්, පාතාලයන්ගෙන් පොලිසිය ජරාව කන බව කවුරුත් දන්නා කාරණයකි. නමුත් දැන් පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සමග හවුලේ ජාවාරම් කරන්නා සේම, කොන්ත්‍රාත් ක්‍රමයට ඔවුන් යටතේ සේවය කරන බවද අනාවරණ වී තිබේ. මේ වන විට එවැනි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළුව පොලිසියේ හතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කුඩු ජාවාරමෙන් ඔවුන් උපයාගත් රුපියල් කෝටි ගණනක මුදල් හා දේපොළ ද සොයාගෙන ඇත. වාර්තා වන අන්දමට මේ හවුල් කුඩු ව්‍යාපාරයේ යෙදුණු තවත් පොලිස්කාරයෝ සිටිති.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, සුරාබදු දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව යන මේ රාජ්‍ය ආයතන සියල්ලම රටේ කුඩු ජාවාරමට වගකිව යුතු බව අපි මීට පෙරද පෙන්වා දී ඇත්තෙමු. අප කියූ දේ සනාථ කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ කෙරුවාව මේ වන විට හෙළිදරව් වී තිබේ. මේ ගැන තවදුරටත් විධිමත්ව පරීක්ෂණ කළහොත් තව තවත් පොලිස් කුඩුකාරයන් ගැන තොරතුරු හෙළිදරව් වනු ඇත. ඒ අතර දැන් ඉන්නා පොලිස්කාරයන් සේම හිටපු පොලිස්කාරයන්ද සිටින්නට ඉඩ තිබේ.

අප යෝජනා කරන්නේ මේ ආකාරයටම සුරාබදු දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙන්ම නාවික හමුදාවේද මත්ද්‍රව්‍ය වැටලීම් හා සම්බන්ධ නිලධාරින් ගැන විමර්ශනය කළ යුතු බවය. චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නිලධාරියකු වූ බෝ ෂිලායි නමැත්තා දූෂිතයකු බව හෙළි වූයේ ඔහු අත පැලඳ සිටි මිල අධික ඔර්ලෝසුවක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙනි. මේ නිසා ඉහත රාජ්‍ය ආයතන නිලධාරින්ගේ හා ඔවුන්ගේ පවුල්වල වත්කම් ගැන සොයා බැලුවහොත් කුඩු ජාවාරමට ඔවුන්ගේ ඇති සම්බන්ධය සොයාගත හැකිවනු ඇත.

කුඩු ජාවාරමේ නිරතව සිට ඇත්තේ පොලිසියේ ඉන්නා ඉතාමත් සුළු පිරිසක් විය හැකිය. එහෙත් අවමානය සමස්ත දෙපාර්තමේන්තුවටමය. මේ නිසා සමස්ත පොලිසියම රස කර කර කියන පරීක්ෂණ මෙහෙයුම් ගැන දෙවරක් නොව කිහිප වරක්ම කල්පනා කරන්නට සිදුව තිබේ. පසුගිය මැයි 14 දා මිනුවන්ගොඩදී හෙරොයින් කිලෝග්‍රෑම් 225 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවට පැමිණ කීවේ, පොලිසිය ෂර්ලොක් හෝම්ස් පන්නයේ මෙහෙයුමක් කළ ආකාරයටය. නමුත් ඒ මත්කුඩු තොගය බෑග්වලට අසුරා ඇත්තේද, කොළඹට ප්‍රවාහනය කර ඇත්තේද පොලිස් නිල ඇඳුම ඇඳගත් කුඩුකාරයන් පිරිසක් විසිනි. එපමණක්ද අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය හමුවේ පෙන්වන කුඩු තොගද යළිත් කුඩු මුදලාලිලාටම විකුණා තිබේ. ඉතින් මේ දක්වා පොලිසිය තමන්ගේ සූර වීරකම් ලෙස ජනතාවට කියූ වැටලීම්, මෙහෙයුම් සිදුවන්නට ඇත්තේද මේ ආකාරයට විය නොහැකිද?

පසුගිය කාලයේ නිතර නිතර කුඩු කිලෝ සියදහස් ගණන් හසු වූයේ මේ අන්දමට විය නොහැකිද? එසේම කුඩු ඇල්ලීමට පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා නාවික හමුදාව අතර තරගයක් තිබූ බවද අපට මතකය. මේ අසාමාන්‍ය උනන්දුවට හේතුවද මේ කාරණය විය නොහැකි යැයි සහතික විය හැක්කේ කාටද? අනෙක් අතට ඒ දිනවල අත්අඩංගුවට ගත් කුඩු ප්‍රමාණයේ තරමට රටේ කුඩු හිඟයක් ඇති වූයේ නැත. එසේම කොයිතරම් කුඩු තොග සොයා ගත්තත්, ඒවා මෙරටට ගෙන ආ හෝ බෙදා හරින්නට සූදානම් කළ බල්ලෙකුවත් පොලිසියට අසු වූයේද නැත. එසේ වූයේ පොලිසිය හා කුඩු ජාවාරම්කරුවන් එක්ව රචනා කරන පිටපතකට අනුව මෙම වැටලීම් සිදුවන නිසාය.

පොලිසිය මේ හොරා පොලිස් ජාවාරම වසන්කොට ජනතාව නොමග යැවීමට, මාධ්‍ය ලෙස අපද වගකිව යුතුය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ වෙනත් නිලධාරියකුගේ තොරතුරු මත පමණක් පදනම්ව වාර්තා කරන අපද මේ දක්වා ජනතාවට වාර්තාකොට ඇත්තේ, සත්‍ය ලෙසින් බෞතීස්ම කරන ලද පොලිසියේ බොරුය. දැන් කුඩු පොලිස් ජාවාරමක් හෙළි වූ බවත්, ඊට සම්බන්ධ පොලිස්කාරයන් හා බඩු භාණ්ඩ අත්අඩංගුවට ගත් බවත්, ජනතාවට කියන්නේද පොලිසියේම තොරතුරු මත පදනම්වය. ඒ තොරතුරුත් සත්‍යම තොරතුරු යැයි අපට ඇති සහතිකය කුමක්ද? මෙයත් පොලිසියේ ප්‍රබන්ධයක් විය නොහැකිද?

මත්ද්‍රව්‍ය මර්දනය සඳහාම විශේෂ කොට ඇති පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කර ඇත්තේ, දේවාලයේ පූජකයා දේව පිළිමය සොරකම් කළා වැනි වැඩකි. දැන් මේ නිසා රටේ මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් වෙනම වැඩපිළිවෙළකට යෑමට ආණ්ඩුවට සිදුවනු ඇත. මේ සඳහා දැනට ඇති සියලුම ආයතන දූෂිත වී ඇති තරම අනුව ඒවා යළි පිරිසුදු කරන්නට උත්සාහ කිරීම පල රහිත ක්‍රියාවක් බැවිනි. මේ නිසා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ප්‍රධානියාට මාරුවීමක් ලබා දීමෙන් පමණක් මෙම ප්‍රශ්නය විසඳෙනු ඇතැයි අප කල්පනා කරන්නේ නැත. එසේම පොලිසිය වේවා, වෙනත් රාජ්‍ය ආයතනයක් වේවා කියන දේ එලෙසින්ම වාර්තා නොකර, සත්‍ය තොරතුරු සොයා ගැනීම කරන්නේ කෙසේදැයි මාධ්‍යයේ අපටද සිතා බැලීමට සිදුවනු ඇත. නැතහොත් පොලිසිය පිළිබඳ ඇති විශ්වාසය බිඳ වැටී ඇති ආකාරයටම අප ගැන ඇති විශ්වාසයද බිඳ වැටීම වළක්වාගත නොහැකි වනු ඇත ෴

***************************************

රණසිංහ ප්‍රේමදාස LTTE යට ආයුද ලබාදුන් බවට UNP ජ්‍යෙෂ්ඨයෙක් කළ ප්‍රකාශය ජාත්‍යන්තර අර්බුදයකට යා හැකියි

(30.06.2020 – 22:08 +0530 – hirunews.lk/sinhala)

දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ආසන 126 ක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළා.

එළඹෙන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක් පමණක් හිමිවන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්. බී. දිසානායක මහතා සඳහන් කළේ.

මේ වනවිට ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලාපොරොත්තුව සුන් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා.

මේ අතර මැතිවරණය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ වත්මන් විපක්ෂයේ අර්බුදය හේතුවෙන් ජනතාව මැතිවරණයේදී තුනෙන් දෙකකටත් වඩා බලයක් තම පක්ෂයට ලබාදෙන බවයි.

මැතිවරණ වේදිකාවේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප්‍රකාශ කළේ මේ වනවිට ආණ්ඩුවේ තුනෙන් දෙකේ අපේක්ෂාව බහුතරය දක්වා අඩුවී ඇති බවයි.

රණසිංහ ප්‍රේමදාස LTTE යට ආයුද ලබාදුන් බවට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් කළ ප්‍රකාශය ජාත්‍යන්තර අර්බුදයකට යා හැකි මට්ටමේ ප්‍රකාශයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණ වේදිකාවේදී MCC ගිවිසුම ඉරාදමන බවට සඳහන් කළ පුද්ගලයන් මේ වනවිට එයට වැඳ නමස්කාර කරන බව ප්‍රකාශ කළේ හිටපු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසින්.

ඉතිහාසය පුරා සෑම ආණ්ඩුවක්ම බලය ලබාගැනීම සඳහා බොරුව භාවිත කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.

මේ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළකරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශේශාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ එය වත්මන් රජයට අදාළ ගිවිසුමක් නොවන බවයි.

දිගින් දිගටම සිදුවන පහරදීම් හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමට කැපවිය යුතු බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

01-07-2020

+++++++++++++++++++++

01-07-2020

***************************************

ඉහල පොලිස් නිලධාරීන්ට ආරක්ෂක ලේකම් කළ ඉල්ලීම සහ නියෝගය

(30.06.2020 – 22:41 +0530 – hirunews.lk/sinhala)

තම බල ප්‍රදේශවල නීති විරෝධී ක්‍රියා සිදුවන්නේ නම් ඉහළ පොලිස් නිලධාරීන් වෙතද එම වගකීමෙන් කොටසක් පැවරෙන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර අද (30) පැවති හමුවකදී ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළා.

***************************************

ගොඩබෑමට කටයුතු නොකළ දොඹකර 3 ට ලක්ෂ 900 ක නෞකා ගාස්තුවක් ගෙවන්න වෙයි

(30.06.2020 – 22:58 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය වෙනුනේ රැගෙන ආ දොඹකර 3 ක් මෙතෙක් නෞකාවෙන් ගොඩබෑමට කටයුතු නොකිරීම හේතුවෙන් නෞකා ගාස්තු ලෙස පමණක් රුපියල් ලක්ෂ 900 ක පමණ මුදලක් ගෙවීමට සිදුව තිබෙනව බව වරාය වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

අද (30) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් වෘත්තිය සමිති නියෝජිතයන් සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීම අත්හිටුවීමට වත්මන් රජය කටයුතු නොකළහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සහ මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය චීනයෙන් ඇනවුම් කළ ග්‍රැන්ටි දොඹකර 3 ක් ZPMC නෞකාව මගින් මෙරටට රැගෙන විත් තිබුණේ පසුගිය 20 වැනිදායි.

ඒ සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 25.5 ක් බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

එහෙත් මේ දක්වා එම දොඹකර ගොඩබෑමට කටයුතු කර නැහැ.

මේ හේතුවෙන් නෞකා ගාස්තු ලෙස පමණක් දිනකට රුපියල් ලක්ෂ 94 බැගින් මේ දක්වා ගෙවීමට සිදුව ඇති මුදල රුපියල් ලක්ෂ 900 ඉක්මවන බව එම වෘත්තිය සමිති පෙන්වා දෙනවා.

ඔවුන් චෝදනා කරන්නේ පසුගිය රජය ඇතිකරගත් ගිවිසුම් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

+++++++++++++++++++++

දොඹකරයක නැග වරාය වෘත්තීය සමිති නායකයින් තුන්දෙනෙකු විරෝධතාවක

(01.07.2020 – 13:27 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සවි කිරීම සඳහා චීනයෙන් ගෙන්වූ ග්‍රැන්ටි දොඹකර, කඩිනමින් එහි ස්ථාපිත කරන ලෙස ඉල්ලා වරාය වෘත්තීය සමිති නායකයින් තුන්දෙනෙකු අඩි 187 කින් යුත් දොඹකරයක නැගී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

අදාළ ඉල්ලීමට විසඳුම් ලබා නොදුනහොත් මාරාන්තික උපවාසයක් දක්වා එය ක්‍රියාත්මක කරන බවයි කොළඹ වරායේ වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

***************************************

මුඛ ආවරණ පැළඳ නොසිටි තවත් පිරිසක් ස්වයං නිරෝධායනයට

(01.07.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 162 නෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

එමෙන්ම, මුඛ ආවරණ නිසියාකාරව පැළඳ නොසිටි පුද්ගලයින් 905 දෙනෙකු තරයේ අවවාද කර මුදා හැරීමට කටයුතු කර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

ඊයේ (30) පෙරවරු 6 සිට අද (01) උදෑසන 5 දක්වා මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

මේ අතර, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ 402 නෙකු එම කාලසීමාව තුළ දී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් 159 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවටයි.

ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 155ක්. අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සන්තකයේ තබා ගැනීම හේතුවෙන් පුද්ගලයින් 91 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *