හෝමාගමින් සොයාගත්තේ මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයා ගත් වැඩිම ගිනි අවි තොගයයි : ටී-56 න් 12 ක් සහ ටී-81 න් 01 ක්

(29.06.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයා ගත් වැඩිම ගිනි අවි තොගය අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද (29) සමත් වුණා.

ඒ, හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පිහිටි සිව්මහල් වෙළඳසැලක සඳවා තිබියදීයි.

මේවා දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙලේ පාතාල නායකයෙකු වන තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරකගේ බවට විශ්වාස කෙරෙනවා.

ටී-56 වර්ගයේ ගිනි අවි 12 ක් සහ ටී-81 වර්ගයේ ගිනි අවියක් (01) මෙහිදී සොයා ගැණුනු අතර, මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදී තිබුණේ පසුගියදා මීගොඩ – ඉන්ගම්මාරුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් ‘පොට්ට කපිල’ හෙවත් මඩපාතගේ කපිල කුමාර නමැත්තා විසින්.

2018 වසරේ ජුනි 22 වනදා මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් කොස්ගොඩ තාරක ඇතුළු පිරිසක් කොල්ලකෑමට පැමිණියේ වෑන් රථයකින් සහ ත්‍රිරෝද රථ 3 කිනුයි.

අදාළ වෑන් රථය ‘පොට්ටකපිල’ නමැත්තා පදවා ඇති බව පසුව හෙළි වුණා.

මෙම ගිනි අවි පසුගිය මැයි මාසයේ අදාළ වෙළඳසැලට ‘පොට්ටකපිල’ නමැත්තා විසින් රැගෙනවිත් එහි හිමිකරුට ලබාදී ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය සැක කරනවා.

එහෙත්, වෙළඳසැලේ හිමිකරු සඳහන් කර ඇත්තේ තමාට මරණ තර්ජන එල්ල කිරීම නිසා අදාළ ගිනි අවි වෙළඳසැල තුළ සඟවාගෙන සිටි බවයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ දැනට බන්ධනාගාරයේ සිටින කොස්ගොඩ තාරකට දුරකථන ඔස්සේ සම්බන්ධ විය නොහැකි නිසා බන්ධනාගාර ගතව සිටින ඔහුගේ සමීපතමයෙකු වන ‘ගගන’ නමැත්තෙකු විසින් අදාළ ගිනි අවි තොගය ‘පොට්ටකපිල’ නමැත්තාට ලබාදී ඇති බවයි.

මෙම ගිනි අවි අදාළ ස්ථානයේ සඟවා තිබුණේ කුමන හේතුවකට ද යන්න සහ මේවා රැගෙන ආවේ කුමන ප්‍රදේශයක සිට ද යන්න සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

+++++++++++++++++++++

හෝමාගම ගිනි අවි තොගයේ අවි අංක මැකෙයි – CID යෙන් විශේෂ විමර්ශනයක්

(30.06.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – පිටිපන ප්‍රදේශයේ සිව් මහල් වෙළඳසැලක සඟවා තිබියදී සොයා ගත් පාතාල කල්ලි සාමාජිකයින්ට අයත් ගිනි අවිවල අවි අංක මකා දමා ඇති බව හෙළි වී තිබෙනවා.

මෙහි පරීක්ෂණ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති අතර, අදාළ අවිවල අවි අංකය පරීක්ෂා කිරීම සිදුවන බවයි පොලීසිය සඳහන් කළේ. කෙසේ වෙතත්, ඇතැම් ගිනි අවිවල අවි අංකය පාතාල සාමාජිකයින් විසින් හිතාමතා මකා දමා ඇති බැවින් එම අංක සෙවීම සඳහා ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයා ගත් වැඩිම ගිනි අවි තොගයෙන් තවත් ගිනි අවි 7 ක් අතුරුදන් වී ඇති බවට දැනට පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇති කරුණක්.

හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පිහිටි සිව්මහල් වෙළඳසැලක සඟවා තිබියදී ටී-56 වර්ගයේ ගිනි අවි 11 ක් සහ ටී-81 වර්ගයේ ගිනි අවියක් ඊයේ (29) සොයා ගත්තා.

එම ගිනි අවි දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙලේ පාතාල නායකයෙකු වන තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරකගේ බවට විශ්වාස කෙරෙනවා.

ගිනි අවි පිළිබඳව තොරතුරු ලබාදී තිබුණේ පසුගියදා මීගොඩ – ඉන්ගම්මාරුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් පොට්ට කපිල හෙවත් මඩපාතගේ කපිල කුමාර නමැත්තා විසින්.

සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවි සඟවා තැබූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

බන්ධනාගාර බසයේදී කන්ජිපානි ඉම්රාන් මරන්න හදයි.. ඊට පෙර සියලු අවි STF අල්ලයි – ගිනි අවි ගබඩාවේ තොරතුරු මෙන්න

(30.06.2020 – 10:09 +0530 – truenews.lk)

හෝමාගම, පිටිපන ප‍්‍රදේශයේ පිහිටි වෙළඳ ආයතනයක සගවා තිබියදී ඊයේ (29) සොයා ගැනුණු ගිනිඅවි තොගය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘කොස්ගොඩ තාරක’ නමැත්තාට අයත් බව කියන මෙම ආයුධ තොගය අදාල ගොඩනැගිල්ල තුළ සඟවා ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තා ඝාතනය කිරීමට බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

‘කොස්ගොඩ තාරක’ සහ ‘කංජිපානි ඉම්රාන්’ රඳවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේ වෙන් වෙන් සිරමැදිරි තුළයි. කංජිපානි ඉම්රාන් නඩු කටයුතු සඳහා අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවක ඔහු ඉලක්ක කර වෙඩිතැබීමට අදාල ගිනිඅවි ගෙනවිත් ඇති බවටයි සැක කෙරෙන්නේ.

මේ අතර අදාළ වෙළඳසැලේ හිමිකරු 2011 වසරේදී එම ගොඩනැගිල්ල අසලදී වෙඩි ප‍්‍රහාරයකට ලක්වු තැනැත්තෙක්. ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කඩුවෙල වසන්ත’ නමැත්තාගේ සමීපතමයෙකු සමග ද සම්බන්ධතා පවත්වා ඇතැයි අනාවරණ වී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකාය ඊයේ (29) සිදුකළ මෙම වැටලීමේදී ගිනි අවි 12 ක් සොයා ගැනුණු අතර එය වාර්තා වූයේ මෙරට කි‍්‍රයාත්මක පාතාල කල්ලියක් සන්තකයේ තිබී සොයා ගැනුණු වැඩිම ගිනිඅවි ප‍්‍රමාණය ලෙසයි.

එලෙස සොයා ගැනුණු ගිනිඅවි අතරට ටී 56 වර්ගයේ ගිනි අවි 11 ක් සහ ටී 81 වර්ගයේ ගිනිඅවියක් ද අයත්. එම ගිනිඅවි, දැනට බන්ධනාගාර ගත කර සිටින ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ගගන’ නමැත්තාට අයත් බවයි පොලීසිය පැවසුවේ. අදාළ ගිනි අවි සමග ගගන නමැත්තාගේ ගෝලයෙකු බව පැවසෙන ‘පොට්ට කපිල’ නමැත්තෙකු ද පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (29) අත්අඩංගුවට ගැනුණා.

ඔහු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා. ඊට අමතරව ගිනිඅවි සගවා තිබූ වෙළඳසැලේ හිමිකරු, ඔහුගේ බිරිඳ, සහ එහි සේවකයින් 08 දෙනෙකු ද පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගැනුණා. ඔවුන් ද විශේෂ ආරක්ෂාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා ෴

***************************************

ඊ.ටී.අයි. සහ ‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න – ජනපතිගෙන් මහබැංකුවට උපදෙස්

(29.06.2020 – 17:13 +0530 – hirunews.lk/sinhala)

අර්බුදයට ගොස් ඇති ඊ.ටී.අයි. මූල්‍ය සමාගම සහ ‘ද ෆිනෑන්ස්’ ආයතනය සම්බන්ධව නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහබැංකු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති කාර්යාලය, මහබැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක්‍රියාමාර්ග අධීක්ෂණය කරන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

ඊ.ටී.අයි. සහ ‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සිදුවන ආකාරය පිළිබදව ජනාධිපති කාර්යාලයේ අද (29) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.

+++++++++++++++++++++

***************************************

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව පසුගියදා කොච්චිකඩේදී අත්අඩංගුවට ගත් විදේශිකයා, යේමන් ජාතිකයෙකු බව ආනාවරණය වෙයි

(29.06.2020 – 15:44 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවීම සම්බන්ධයෙන් පසුගිය 27 වනදා කොච්චිකඩේ – පලගුතුරේ ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගත් සැකකරු එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුරවැසියෙකු නොව, යේමන් ජාතිකයෙකු බව මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලය පවසනවා.

ඒ, නිවේදනයක් නිකුත් කරමින්.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පසුගිය 27 වනදා අදාල යේමන් ජාතික පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකාර යේමන් ජාතිකයාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී මූල්‍ය වංචා සඳහා යොදා ගන්නා බවට සැක සහිත ක්‍රෙඩිට් කාඩ්පත්වල වැදගත් දත්ත කිහිපයක් ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මීට අමතරව විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ ඡායාරූප හා වීඩියෝපට ඇතුළත් දර්ශන කිහිපයක් ද ජංගම දුරකථනයෙන් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ලැගුම්හල තුළ සැකකරු සඟවා තිබූ වායු රයිෆලයක් ද මෙහිදී සොයා ගත් බවයි ෴

***************************************

අපොස සා.පෙළ ප්‍රතිපල නැවත සමික්ෂණ සදහා අයැදුම් පත්‍ර කැදවීම අරඹයි

(29.06.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ලබන මස 17 වන දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

නැවත සමීක්ෂණ අයදුම්පත්‍රයේ ආදර්ශ ආකෘතිය පසුගිය 26 වන දින ජාතික පුවත්පත්වල පළ කළ අතර, එය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙබ් අඩවියෙන් ද බා ගත කර ගත හැකියි.

මේ සම්බන්ධයෙන් විමසීම් කිරීමට අවශ්‍ය නම් පාසල් ඇගයීම් විභාග ශාඛාවේ 011 278 5231 සහ 011 278 5216 යන දුරකථන අංකවලින් මෙන්ම ක්ෂණික ඇමතුම් අංකය වන 1911 යන අංකවලින් ද විමසිය හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

***************************************

නාකොටික් ප්‍රධානියාට ස්ථාන මාරුවක්

(30.06.2020 – 07:18 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් සුභසාධන කොට්ඨාශය වෙත මාරු කිරීමට පොලිස් කොමිසම නිර්දේශ කර තිබෙනවා.

වැඩ බලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 4 දෙනාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මෙම නිලධාරින් 4 දෙනෙකු සහ සිවිල් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.

එම නිලධාරීන් 4 දෙනා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ බෙදා හැරීමට සහය ලබාදීමෙන් රුපියල් ලක්ෂ 311 ක පමණ මුදලක් උපයාගෙන ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වුණේ.

එමෙන්ම, උප පොලිස් පරීක්ෂකවරයාගේ මිනුවන්ගොඩ නිවසේ තිබී රුපියල් 9,40,000 ක මුදලක් ඇතුළු තවත් උපකරණ මෙන්ම වාහන ද සොයාගනු ලැබුවා.

(30.06.2020 – 09:02 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති කේ. අපොන්සු මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසම ආවරණ අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙම පත් කිරීමට අනුමැතිය ලැබී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවීමත් සමඟයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් සුබසාධක කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යැවීමටයි කොමිසමේ අනුමැතිය ලැබුනේ.

මේ අතර, ඊයේ (29) දිනයේදී මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා එල්ල වී ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබුණා ෴

***************************************

මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අද (30) සිට

(30.06.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අද (30) සිට සිදුකෙරෙනවා.

ඒ අනුව අද (30), හෙට (01) සහ අනිද්දා (02) යන තෙදින තුළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ලියකියවිලි ඇතුළත් රක්ෂණ පැකට්ටු දිවයින පුරා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි කාර්යාල වෙත ලබාදීමට නියමිතයි.

මෙවර මහමැතිවරණයට අදාළව තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 7,05,085ක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම එළඹෙන ජුලි මස 14, 15, 16, 17 සහ 20, 21 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම අද (30) රැස්වීමට නියමිතයි.

මීට පෙර ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම රැස්වූ අවස්ථාවේදී ඊට අදාළ මූලික කරුණු කිහිපයක් සාකච්ඡාවට බඳුන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

MOH, PHI සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ජුලි 13 තැපැල් ඡන්දය භාවිත කිරීමට අවසර

(30.06.2020 – 14:58 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා තවත් දිනයක් වෙන් කිරීමට මැතිවරණ කොමිසන් සභාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර නම් කළ දින 6 ට අමතරව ජූලි මස 13 වනදා තැපෑලෙන් ඡන්දය භාවිත කිරීම සඳහා අවස්ථාව හිමිවන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ටයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සළකුණු කිරීම ජූලි මස 14 සහ 15 වනදා සිදුකිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කළේ.

එසේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල තැපැල් ඡන්ද සළකුණු කිරීම ජූලි මස 16 සහ 17 වනදා සිදු කෙරෙනවා.

එම දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව නොලැබෙන තැපැල් ඡන්ද හිමියන්ට ජූලි මස 20 සහ 21යන දිනවලදී සිය ඡන්දය භාවිත කළ හැකියි ෴

+++++++++++++++++++++++++++++++++++

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට එන රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම්දීමක්

(30.06.2020 – 18:08 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වන ඕනෑම පුද්ගලයෙකුට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිනොවන බව මැතිවරණ කොමිසම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පෙන්වාදෙන්නේ ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිසම විසින් නිකුත්කරන තාවකාලික හැඳුනුම්පත එහිදී පිළිගනු ලබන බවයි.

මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඡන්දය ලකුණු කිරීම සඳහා පැමිණෙන විට සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් සියලු ඡන්ද දායකයන් පැමිණිය යුතු බවයි.

එසේම ඡන්දය ලකුණු කිරීම සඳහා නිල් / කළු පැහැති පෑනක් රැගෙන ඒම සුදුසු බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

***************************************

මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 වන දින රාත්‍රී 8 ට

(30.06.2020 – 11:09 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 වන දින රාත්‍රී 8 ට පමණ නිකුත් කිරීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ, ස්වෛරීත්වය උදෙසා කැප වන බව ඇමරිකාව කියයි

(30.06.2020 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඊයේ (29) දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා මෝගන් ඔර්ටේගස් සඳහන් කළේ එහිදී රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ පවතින අඛණ්ඩ ඇමරිකානු සබඳතාව තහවුරු කළ බවයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ස්වෛරීත්වය උදෙසා ඇමරිකා එක්සත් ජනපදයේ කැපවීම ඔහු අවධාරණය කළ බවත් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව කියා සිටියා.

කොවිඞ් නයින්ටීන් ගෝලීය වසංගතය මර්දනය කිරීම සඳහා දෙරටටම පවතින පොදු අවශ්‍යතාව අවධාරණය කළ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සහ තිරසර වර්ධනය උදෙසා ඇමරිකාව කැප වන බව ද සඳහන් කර තිබෙනවා.

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීම පිළිබදව ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සාකච්ඡා කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවට මෙතෙක් ලබාදී ඇති මූල්‍යාධාරය ඩොලර් මිලියන 6 ක් පමණ වන බවයි රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව කියා සිටියේ.

සෞඛ්‍ය සහ මානුෂීය කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන සබඳතාව මෙහිදී ඇගයීමට ලක් වී තිබෙනවා.

දෙරටටම පොදු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්, මානව හිමිකම්වලට ගරු කිරීම සහ දෙරටේ ජනතාවගේ දිගුකාලීන ස්ථාවරභාවය සහ සශ්‍රීකත්වය උදෙසා විනිවිදභාවයේ වැදගත්කම පිළිබදව ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ සබඳතා අමාත්‍යවරයා සාකච්ඡා කළ බව සඳහන්.

+++++++++++++++++++++

***************************************

පොහොය දින උපකාරක පන්ති නතර කිරීමට වෘත්තීය දේශකවරුන් එකඟ වෙයි

(30.06.2020 – 08:09 +0530 – hirunews.lk/sinhala)

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැන නැගී ඇති ගැටළු විෂය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කර තිබෙනවා.

කොරෝනා වෛරසය නිසා වසා දැමුණු උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (29) සාකච්ඡාවක් පැවැත්වුණා.

දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්ති සිසුන් 250 කට සීමා කිරීම අසීරු බව එම සාකච්ඡාවේදී දේශකවරුන් පෙන්වා දී තිබෙනවා.

ඒ පිළිබදව අවධානය යොමු කළ ජනාධිපතිවරයා කාල පරාස දෙකකදී සිසුන් 500 කට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් ද උපදෙස් සහිතව අනුමැතිය ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ද දැඩි අපහසුතාවකට මුහුණ දී ඇති බව දේශකවරුන් එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එබැවින් මෙම කරුණු සැලකිල්ලට ගෙන අදාළ විභාග පැවැත්වීමේ දින වෙනස් කිරීමට අවධානය යොමු කරන ලෙසටයි දේශකවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

එහිදී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන්නේ ගුරුවරුන්, දෙමව්පියන් සහ සිසුන් සමඟ පූර්ණ අධ්‍යයනයකින් පසු විභාග දින තීරණය කිරීම යළිත් සලකා බලන ලෙසටයි.

සියයට 24 ක් වූ අධ්‍යාපන සේවා බදු ප්‍රතිශතය සංශෝධනය කිරීම සඳහා උපකාරක පන්ති ගුරුවරුන් කළ ඉල්ලීම සලකා බැලීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29) පැවති සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා.

එමෙන්ම, උපකාරක පන්ති ප්‍රචාරණය සඳහා අත්පත්‍රිකා බෙදා හැරීම්, සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව කිරීමට ද ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මීට අමතරව කතාබහට ලක්ව ඇති පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන්ම නතර කිරීමට ද ගුරුවරුන්ගේ කැමැත්ත පළ වී තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

මිල්ලන්ගොඩ ඇත් පන්තියේ ජයන්ති මිය යයි

(30.06.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව කිහිප අවස්ථාවක වැඩම කර වූ කෑගල්ල ‘මිල්ලන්ගොඩ ජයන්ති’ ඇතා මිය ගොස් තිබෙනවා.

ඊයේ (29) මෙම ඇතා මිය යන විට වයස අවුරුදු 70 ක් පමණ විය.

වයස අවුරුදු හතරේදී (4) දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප්‍රසිද්ධ වෙන්දේසියකදී රුපියල් 5000 ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දී එස්.ආර්.එස්. මිල්ලංගොඩ මහතා විසින් එම ඇතා මිලදී ගෙන තිබුණි.

මෙම ඇතා ‘පොඩි රාජා’ නමින්ද, හඳුන්වයි.

1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඇතා මිලදි ගෙන තිබු නිසා ඇතාට ‘ජයන්ති’ නම යොදා තිබෙනවා.

ඇතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය.

මෙම ඇතා 2017 වසරේ ශ්‍රී දළදා මාලිගාවේ රන්දෝලි පෙරහැරේ ප්‍රථමවරට සදාතුක කරඬුව වැඩම වූ බව වාර්තාවනවා.

+++++++++++++++++++++

දළඳා කරඬුව වැඩම වු මිල්ලන්ගොඩ පොඩි රාජා මියයයි

+++++++++++++++++++++

***************************************

නිරෝධායන නීති කැඩූ 39 ක්‌ අත්අඩංගුවට

(30.06.2020 – 08:50 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ ඊයේ (29) දිනය තුල නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් 39 දෙනාට එරෙහිව ඉදිරි දිනවල අධිකරණයේ නඩු පැවරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++++++++++++

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල හැසිරුණු තවත් පුද්ගලයින් 1441 දෙනෙකු දින 7 ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

බස්නාහිර පළාත තුළ ඊයේ (29) දිනයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස හඳුනාගෙන ඇති අතර, ඉන් අනතුරුවයි මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කර ඇත්තේ.

මීට පෙර ද බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල රැදී සිටි තවත් පුද්ගලයින් 1217 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබුණා ෴

***************************************

වරාය වෘත්තීය සමිතිවලින් රතු එළියක්

(30.06.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය වෘත්තිය සමිති වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සැරසෙනවා.

වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා කියා සිටියේ නැගෙනහිර බහලුම් පර්යන්තය පෞද්ගලිකරණය කිරීමේ තීරණය වෙනස් කිරීම සඳහා පැය 24 ක කාලයක් රජයට ලබා දී ඇති බවයි.

එසේ නොවුනහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීම සඳහා පසුගිය රජය අදාළ පිඹුරුපත් සකස් කරනු ලැබුවා.

පසුව වත්මන් රජය විසින් එහි කිරීම් කටයුතු සිදුකිරීම සඳහා චීන සමාගමකට අයත් නෞකාවකින් ග්‍රැන්ටි දොඹකර 3 ක් කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබුවේ පසුගිය 21 වන දායි. එහෙත් එය මේ වන තෙක් ගොඩබෑම ප්‍රමාද කරමින් සිටින බවයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

කෙසේ වෙතත්, අදාළ ග්‍රැන්ටි දොඹකර නැගෙනහිර පර්යන්තයේ ගොඩබෑම සිදුකර එම පර්යන්තය පෞද්ගලීකරණය කිරීම නතර කරන ලෙසටයි වෘත්තිය සමිති චෝදනා කරන්නේ.

එසේ කිරීමට රජය අපොහොසත් වුවහොත් වරාය සියළුම වෘත්තීය සමිති එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *