සිසුන් නොමැතිව පාසල් හෙට (29) විවෘත කෙරේ – උපකාරක පන්තිත් ඇරඹේ

(28.06.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල්, දින 105 කට පසු හෙට (29) විවෘත වනවා.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ එම අමාත්‍යාංශයේ නිලධාරින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අදියර හතරක් (4) යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව හෙට (29) පාසල් විවෘත වුවද, සිසුන් පැමිණීම සිදුවන්නේ නැහැ.

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය හෙට (29) පාසල වෙත කැඳවා ඇති අතර සතියක කාලයක් පාසල පිරිසිදු කිරීම ආදිය ඔවුන්ගේ මැදිහත්වීම යටතේ සිදුකෙරෙනු ඇති.

සිසුන් පාසල් වෙත කැඳවීමට තීරණය කර ඇත්තේ ලබන 6 වනදායි.

රජයේ පාසල් ආරම්භ කරන ආකාරයෙන්ම කතෝලික පාසල්ද ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්‍ෂ අයිවන් පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, හෙට (29) සිට පෞද්ගලික උපකාරක පන්තිද විවෘත කෙරෙන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මීට පෙර ඒ සඳහා අවසර ලබා දී තිබුණේ සීමිත සිසුන් සංඛ්‍යාවක් සහභාගි කරවාගෙන පන්ති පැවැත්වීම සඳහා පමණයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අධ්‍යාපන අංශ බලධාරින් සමග තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව පෞද්ගලික උපකාරක පන්ති සඳහා 500 ක සිසුන් පිරිසක් සහභාගි කරවා ගැනීමට අවසර ලබාදී තිබෙනවා.

සමාජ දුරස්ථභාවය අනුව ආසන පනවමින් විෂබීජානුහරණ නියමයන්ට යටත්වයි මෙම අවසරය ලබාදී ඇත්තේ ෴

***************************************

අග්‍රාමාත්‍යවරයාගෙන් ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වලට ඉල්ලීමක්

(28.06.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

පශ්චාත් කොවිඩ් 19 අවධියේදී සමාජයේ පීඩිත පුද්ගලයින්ගේ ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ණය අයකර ගැනීම් තාවකාලිකව නතර කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා.

සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ණය ආපසු ගෙවීමේ සහනයක් සලසා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ යුනිසෙෆ් සංවිධානයේ සාමාජිකයින් සමග අරලියගහ මන්දිරයේ පැවති හමුවකදියි.

සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ණය සහන ලබාදීමට කටයුතු කිරීම මගින් එම රටවල ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

ලක් රජය සෑමවිටම ළමා අයිතීන් සහ අවශ්‍යතා ප්‍රමුඛ කොට සලකන බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

එසේම, කොරෝනා වසංගතයට එරෙහිව මෙතෙක් ලක් රජය ගෙන ගිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන් අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශංසාව ද පළ කර තිබෙනවා ෴

***************************************

අඛණ්ඩව සිව්වන (4) වරටත් අනුරුද්ධ පාදෙණියට වෛද්‍ය සංගම් සභාපති ධුරය

(27.06.2020 – 22:24 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා යළි තේරී පත්වුණා.

ඒ, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදියි.

එහිදී සභාපතිවරයා ඇතුලු නිලධාරී මඩුල්ල නිතරගයෙන් තේරී පත්වීමද විශේෂත්වයක්.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නිතරගයෙන් සභාපති ධුරයට පත්වූයේ අඛණ්ඩව හතරවන (4) වතාවට වන අතර, ඔහු පසුගිය වසර 10 ක කාලය පුරාවටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය හොබවනු ලැබුවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පත්වූ අතර, උප ලේකම්වරුන් ලෙස වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සහ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පත්වුණා ෴

***************************************

පාස්කු ප්‍රහාරයෙන් මාස 14 කට පසු නිවසට පැමිණි තිළිණි

(27.06.2020 – 22:11 +0530 – hirunews.lk/sinhala)

මීට මාස 14 කට පමණ එපිට සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය තවමත් ලක්වාසීන්ගේ මෙන්ම ලෝ වාසීන්ගේත් හදවත් තුළ දෝංකාර දෙන ඛේදවාචකයක්.

2019 වසරේ අප්‍රේල් 21 වැනිදා නිවසින් පිටව ගොස් පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වූ තිදරු මවක් මාස 14 කුත් දින 02 කට පසු නිවසට පැමිණෙන්නේ එකී ඛේදවාචකයේ තවත් අමිහිරි මතක රැසක් සමඟින්.

මේ ඇය සහ ඇගේ සමීපතමයින් අවධි කළ ඒ අඳුරු මතකයයි.

***************************************

උණුසුම්වන දේශපාලන වේදිකාවේ අදත් (27) පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(27.06.2020 – 21:16 +0530 – hirunews.lk/sinhala)

උණුසුම්වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් (27) විවිධ අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක එස් එම් චන්ද්‍රසේන මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ සජිත් ප්‍රේමදාසට තම පක්ෂයේ ලකුණු පවා හඳුනා ගැනීමට නොහැකි වු බවයි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර වෙනසක් නොමැති අතර රාජපක්ෂවරුන් සමග ගිවිසුමක් නොමැති බව නවීන් දිසානායක කියාසිටියා.

මේ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල කියාසිටියේ රනිල් වික්‍රමසිංහ සමග රජයක් පිහිටුවීමට සූදානම් නොමැති බවයි.

කෙසේවෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජන හමුවක් අමතමින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් වුව ද මහනුවරින් මන්ත්‍රී ආසන තුනක් (3) හෝ ලබාගැනීමට නොහැකි බවයි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන විශ්වාස නොකරන බව ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

මේ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂක ජේ.සී අලවතුවල සඳහන් කළේ මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදෙන්නේ නම් එය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමක් වන බවයි.

***************************************

තාප්පයෙන් බන්ධනාගාරයට විසි කිරීමට සූදානම් කළ පාර්සල් රැසක් සොයා ගැනේ

(27.06.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ නව මැගසින් බන්ධනාගාරය තුළට එහි තාප්පෙන් විසිකිරීමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමට බොරැල්ල පොලීසිය සිදුකළ විශේෂ වැටලීමකදී සමත් වී තිබෙනවා.

ඒ තාප්පයෙන් පිටතට වැටී තිබී හමුවූ පාර්සලයක් හමුවීමත් සමගයි.

ඊයේ (26) උදෑසන 8 ට පමණ වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ තාප්පය සහ බේස්ලයින් මාර්ගය අතර හිස් භූමියේ වැටී තිබූ සැක සහිත පාර්සලයක් බන්ධනාගාර නිලධාරින්ගේ නිරීක්ෂණයට ලක්වීමෙන් පසුව ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී තිබුණා.

බොරැල්ල පොලීසිය බෝම්බ නිෂ්ක්‍රිය අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ එම පාර්සලය නිරීක්ෂණය කර ඇත්තේ එහි පුපුරණ ද්‍රව්‍ය ඇති බවට මතුවූ සැකයක් මතයි.

කෙසේ වෙතත්, පාර්සලය විමර්ශනයේදී ඒ තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 12 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09 ක්, දුම්කොළ ග්‍රෑම් 32 ක්, ජංගම දුරකථනයක් සහ චාජරයක් සොයා ගැණුනා.

පෙරදින රාත්‍රියේ බේස්ලයින් මාර්ගයේ සිට මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් අදාළ පාර්සලය විසිකිරීමට තැත් කර ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පසුව බොරැල්ල පොලීසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් මැගසින් බන්ධනාගාරය අසල සීවලී පටුමගේ විශේෂ වැටලීමක් සිදුකර ඇති අතර, එහිදී බන්ධනාගාරය තුළට විසිකිරීමට සූදානම් කර තිබූ තවත් පාර්සල් කිහිපයක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියට අදාළව එම පටුමගේ පදිංචිකරුවන් සිව් දෙනෙකු (4) ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස ඇසුරුම් කර තිබූ පාර්සල් තුල මාවා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 136 ක්, දුම්කුඩු පැකට් 10 ක්, ජංගම දුරකථන 08 ක්, ජංගම දුරකථන බැටරි 119 ක්, චාජර් 21 ක්, හෑන්ඩ්ෆ‍්‍රී 03 ක්, පවර් බෑන්ක් 03 ක්, ඖෂධ, සුවඳ විලවුන් සහ පිසින ලද ආහාර ද තිබූ බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසිය භාරයට ගත් අදාළ භාණ්ඩ නිරීක්ෂණය සඳහා පැමිණියා.

මේ අතර, මීගමුව බන්ධනාගාරයේ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළා.

%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B7%84+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

+++++++++++++++++++++

***************************************

අගමැති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංවිධානය අමතයි

(27.06.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala)

දරුණු වසංගත තත්ත්වයක් හමුවේ වුවද සෑම රටකම ළමා අයිතිවාසිකම් සුරැකීමට සහ ප්‍රතිලාභ සැලසීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට ගෝලීය ප්‍රජාව සහය විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංවිධානයේ 33 වැනි වාර්ෂික සැසිවාරය අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබාදිය හැකි සහන මෙවර අයවැයෙන් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිනමා ක්ෂේත්‍රයේ පවතින ගැටළු පිළිබදව සිනමා ක්ෂේත්‍රයේ නියුතු වූවන් සමඟ ඊයේ (26) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

කොරෝනා වසංගතය හේතුවෙන් දින 100 කට වැඩි කාලයක් සිනමාශාලා වසා තිබුණ ද ඒවා යාවත්කාලීව පවත්වාගෙන යාම සඳහා තමන්ට වැඩි පිරිවැයක් දැරීමට සිදුවූ බව මෙහිදී සිනමා ක්ෂේත්‍රයේ නියුතු වූවන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර, සිනමාශාලා විවෘත කිරීම අද සිට සිදුවන අතර, ඊට අදාළ සෞඛ්‍ය උපදෙස් සිනමාශාලා හිමියන් වෙත මීට පෙර යොමුකරනු ලැබුවා.

***************************************

මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අගෝස්තු 06 වනදා රාත්‍රී 10 ට පෙර

(28.06.2020 – 17:33 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයේ සමස්ත ජන්ද ප්‍රතිඵලය අගෝස්තු 06 වනදා රාත්‍රී 10 ට පෙර ප්‍රකාශයට පත් කල හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (28) පැවති විශේෂ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් 9 දෙනෙකුට තුවාල

(28.06.2020 – 16:45 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව පිවිසුම අතර අද (28) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන් තුන්දෙනෙකුගේ (03) තත්ත්වය බරපතල බවයි.

කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කළ මෝටර් රථයක්, වෑන් රථයක් පසුකර යෑමට උත්සාහ කිරීමේදී එම වෑන් රථයේ ගැටී පසුව ආරක්ෂිත වැටෙහිද ගැටී ඇති අතර, වෑන් රථය ඊට පිටුපසින් පැමිණි බස් රථයක ගැටී ඇති බවයි වාර්තාවන්නේ ෴

***************************************

රහස් පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාගේ මිනුවන්ගොඩ නිවසින් තවත් භාණ්ඩ හමුවෙයි

(28.06.2020 – 16:09 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසෙහි තිබී රුපියල් 9,40,000 ක මුදලක් ඇතුළු තවත් උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාංශය සඳහන් කළේ එම උප පොලිස් පරීක්ෂකවරයාගේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී මුදල්වලට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් බවට පැවසෙන මෝටර් රථයක්, යතුරුපැදියක්, තියුණු ආයුධයක් සහ ක්‍රෙඩිට් කාඩ්පත් 4 ක් ද සොයා ගත් බවයි.

මීට අමතරව සැටලයිට් දුරකථනයක් සහ ජී.පී.එස්. උපකරණයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පැවැත්වූ බවට චෝදනා එල්ල වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 4 දෙනෙකු සහ සිවිල් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.

එම නිලධාරීන් 4 දෙනා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ බෙදා හැරීමට සහය ලබාදීමෙන් රුපියල් ලක්ෂ 311 ක පමණ මුදලක් උපයාගෙන ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

***************************************

උණුසුම්වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළකළ අදහස්

(28.06.2020 – 15:43 +0530 – hirunews.lk/sinhala)

මුක්කු ගහල අවුරුදු දෙකහමාරකින්, හතරකින් ආණ්ඩු භාරදීලා යන්න වුණු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතා පිටසක්වල ජීවියෙක් බවයි.

ආණ්ඩුවට ඇති විශාලතම අභියෝගය සමගි බලවේගය බව සමගි ජන බලවේගයේ අපේක්ෂක ජේ.සී. අලවතුවල පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක දුමින්ද දිසානායක පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති බවට පත්කරන විට බලාපොරොත්තු රැසක් පැවතී බවයි.

ආර්ථිකය ශක්තිමත් කිරීමේ කප් ගහන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එජාප අපේක්ෂක අකිල විරාජ් කාරියවසම් ජන හමුවකදී පැවසුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක එස්. බී. දිසානායක මහතා පවසන්නේ සජිත් ප්‍රේමදාස ළඳ බොළඳ දේශපාලඥයෙක් බවයි.

***************************************

කොංක්‍රීට් ස්මාරකයකට සීමා වූ අකුරැස්සේ වැව

(28.06.2020 – 14:48 +0530 – hirunews.lk/sinhala)

අහසින් වැටෙන සෑම ජල බිඳක්ම ප්‍රයෝජනවත් යැයි පැවසුවද, එකී කියමන වල් වැදෙමින් පවතින කොංක්‍රීට් ස්මාරකයකට පමණක් සීමා වූ මේ පුවත ‘රතු මිනිත්තුව’ට වාර්තාවන්නේ අකුරැස්ස ප්‍රදේශයෙන්.

මේ අකුරැස්ස – දෙනියාය මාර්ගය ආසන්නයේ පිහිටා ඇති අකුරැස්ස – මාරඹ වැවයි.

වසර සිය ගණනක සිට ප්‍රදේශයේ ගොවිතැන් සරුසාරවත් කිරීමට ජලය සැපයූ මේ වැව අද වන විට නිසි නඩත්තුවක් නොමැති කම හේතුවෙන් වල් බිහිවූ මඩ වඟුරක් බවට පත්ව තිබෙනවා.

වරින් වර නොයෙක් සංවර්ධනයන් සිදු කළ ද බලධාරීන් විසින් එහි ප්‍රගතියක් හෝ පසු විපරමක් කිසිදු විටෙක සිදු කර නොමැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

එදා කුඹුරු අක්කර 400 කට අධික ප්‍රමාණයකට ජලය සපයමින්, ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතා සපුරමින්, ප්‍රදේශයට සුන්දරත්වයක් එක් කළ මෙම වැව දකුණු පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන යොදවා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව 2006 වසරේදී ද ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කර තිබෙනවා.

මිනිසාගේ නොමනා ක්‍රියා නිසා වල් බිහි වූ මාරඹ වැව නිසි ප්‍රමිතියකින් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කර දෙන්නැයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

වසර ගණනාවක් දෙකන්නයේ කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම්හි වගාවන් සරු කරගන්නට නොඅඩුව ජලය සැපයූ මාරඹ වැව බලධාරීන්ගේ මැදිහත්වීමෙන් යලි පණ ගන්වනතුරු හිරු රතු මිනිත්තුව අවධානයෙන්.

***************************************

නිසි ප්‍රමිතියකින් සංවර්ධනය නොවූ අධිවේගය

(28.06.2020 – 14:44 +0530 – hirunews.lk/sinhala)

නිසි ප්‍රමිතියෙන් යුක්තව සිදු නොවූ සංවර්ධනයක් නිසා පීඩාවට පත්ව සිටින ගම්වැසියන් පිරිසක් පිළිබඳ තොරතුරු සූරියවැව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සූරියවැව පිවිසුම වැටී ඇත්තේ නබඩගස් වැව – හස්තිපුර ගම්මානය හරහායි.

අධිවේගී මාර්ගයත් සමඟ පැවති බොරළු පාරවල් වෙනුවට ඉදිවූ කොංක්‍රීට් පාරවල්,කොංක්‍රීට් බෝක්කු මේ ප්‍රදෙශයේ ජනතාවට ගෙනාවේ සංවර්ධනයේ නැවුම් බලාපොරොත්තු රැසක්.

අධිවේගී මාර්ගය සමඟ ගම්මානයට යොජිත පාරවල්, කානු පද්ධති, පාලම් බෝක්කු ඇතුළු සියලු නව ඉදි කිරීම් භාරව ඇත්තේ චීන සමාගමකටයි.

නමුත්, ගම්මානය හරහා ඉදි වූ සියලු ඉදි කිරීම් නිසි ප්‍රමිතියකින් සිදුව නොමැති බවට ගම්වාසීන් චෝදනා කරනවා.

කොන්ත්‍රාත් කාලය අවසන් වී අදාල සමාගම ප්‍රදේශයෙන් ඉවත් වන බවට ලද තොරතුරක් මත ප්‍රදේශවාසීන් චීන සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡාවකද නිරත වුණා.

එමෙන්ම කෘෂිකාර්මික දිවි පෙවතකට උරුමකම් කියන මේ ගම්වැසියන්ට යල මහ වගාවන් සදහා නිසි ලෙස ජලය ලබා ගත නොහැකි තරමටම නව සංවර්ධනය ගැටලුවක් වී තිබෙනවා.

ගම්වැසියන් චෝදනා කරන්නේ අවස්ථා ගණනාවකදී අදාළ බලධාරීන් දැනුවත් කලත් ඔවුන් ඒ පිලිබද නෑසූකන්ව සිටීම නිසා මෙම ගැටළු සහගත තත්ත්වය උදාවී ඇති බවටයි.

අධිවේගී මාර්ගයේ අපජල පද්ධතිය ගම්මානයට පිවිසෙන මාර්ගයට ඉහළින් පිහිටා තිබීමද අද මේ ගම්වැසියන්ට උරුම කර දී ඇත්තේ තවත් ගැටලුවක්.

සංවර්ධයේ බලාපොරොත්තු පිලිබඳ අපේක්ෂා සුන්ව සිටින මේ ගම්වැසියන් ඉල්ලා සිටින්නේ මෙම සමාගම හරහා කළ සියලු ඉදි කිරීම් නිසි ප්‍රමිතියකින් යුක්තව නිමකර දෙන ලෙසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *