කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව – 25.06.2020

(25.06.2020 – 10:04 +0530 – sinhala.adaderana.lk)

කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සහ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (25) පැවැත්වුනු මාධ්‍ය හමුව :

++++++++++++++++++++++

සිනමා ශාලා යළි ඇරඹීමට පියවර – විශේෂ සාකච්ඡාවක් හෙට අගමැති ප්‍රධානත්වයෙන් – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

(25.06.2020 – sinhala.news.lk)

ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීම හේතු කොට ගෙන තාවකාලික ව නවතා දමා තිබූ හෙළ සිනමා කර්මාන්තය යළි ආරම්භ කිරීමට අවශ්‍ය විධිවිධාන ගෙන ඇති බවත්, ඒ අනුව ජූලි මස 02 වන දින සිට නැවත සිනමා ශාලා ආරම්භ කිරීමට පියවර ගනු ලබන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්යය බන්දුල ගුණවර්ධන මහතා අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

මෙරට වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට පෙර තිබූ වේදිකාව, කලා රසාස්වාද වැඩසහටහන් මෙන්ම සිනමා කර්මාන්තය යන ක්ෂේත්‍රයන් පසුගිය කාලය පුරාවටම තාවකාලිකව නවතා දමා තිබුණි. එහෙත් එලෙස නවතා දැමීම නිසා කලා ක්ෂේත්‍රයෙහි නිරත වූ කලා කරුවන් විශාල පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට ලක්ව සිටියහ. ඒ අනුව, ජූලි 02 වන දින සිට ආරම්භ කෙරෙන සියලුම සිනමා ශාලා වලට 50% පමණක් වූ ආසන පහසුකම් ලබා දීමට කටයුතු කෙරෙන බවත් මෙහි දී සඳහන් කෙරුණු අතර එම ආසන පහසුකම් ඉදිරියේ දී වැඩි කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ඡාවක් සිනමා ශිල්පින් සහ එකී විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) පැවත්වෙනු ලබන බව ද අමාත්‍යවරයා විසින් මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය

++++++++++++++++++++++

රටෙන් පිටතට සිදු කෙරෙන ප්‍රේෂණයන් සීමා කිරීමේ නියෝග ඇතුළත් ගැසට් නිවේදනයේ කාලය තවත් මාස 6 ක් දීර්ඝ කරයි

(25.06.2020 – sinhala.news.lk)

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට විදේශ විනිමය ගලා ඒම් සහ ගලා යාම් මාස 03 කාලයක් පාලනය කර තිබූ අතර එම කාළය එළඹෙන ජූලි මස 02වන දා සිට තවත් මස හයකින් මසකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අතර විදේශ විනිමය අනුපාතයට ඇතිවන අහිතකර බලපෑම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිණි.

තවද විශේෂ තැන්පත් ගිණුම් මාර්ගයෙන් රට තුළට විදේශ විනමය ප්‍රේෂණය කිරීම උනන්දු කරවීම පිණිස පවත්නා නීති රීති සංශෝධනය කර තිබේ.

ඒ අනුව දැනට පවතින විදේශ විනිමය නීතිය, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම වැළැක්වීමට අදාළ නීතිවල පවතින විධිවිධාන හේතුවෙන් පැනැ නැගී ඇති ගැටලු අවම කිරීම සඳහා 2020.04.18 දිනැති ගැසට් නිවේදනය සංශෝධන කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එතෙර සිටින ශ්‍රී ලංකිකයන්ට වැඩි වරප්‍රසාද සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති විශේෂ ගිණුමේ මුදල් ප්‍රේෂණය කළ හැකි අතර එහි පොළී අනුපාතය සාමාන්‍ය‍ පොළී අනුපාතයට වඩා සියයට දෙකකින් වැඩි බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

මුදල් ප්‍රේෂණය සම්බන්ධ නීතිරීති ලිහිල් කර ඇති මේ මොහොතේ එම ගිණුමට මුදල් ප්‍රේෂණය කර සිටින ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

++++++++++++++++++++++

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන නිෂ්චිත දින වකවානු පිළිබඳව ඉදිරියේ දී තීරණයක් – පෞද්ගලික පන්ති පැවැත්වීම ගැනත් සාකච්ඡාවක්

(25.06.2020 – sinhala.news.lk)

අ.පො.ස උසස් පෙළ උපකාරක පංති පැවැත්වීමේදී දැනට ලබා දී ඇති සියයේ සීමාව තුළ මහා පරිමාණ පංති පැවැත්වීමට අසීරු බවත් ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර හැකි ඉක්මනින් ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

ඒ අනුව මේ පිළිබඳව සළකා බලා අදාළ විෂය නිර්දේශ ආවරණය කර ගනිමින්, වැඩි දරුවන් ප්‍රමාණයකට ඉඩ ප්‍රස්ථාව සළසා දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බවද බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තවද අ.පෙ.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නිෂ්චිත දින වකවානු පිළිබඳවද ඉදිරියේදී තීරණයක් ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විටත් අධ්‍යාපන බලධාරින්, ගුරු සංගම්, ඇතුළු පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සියළු නිලධාරින් සමග අධ්‍යාපන අමාත්‍යවරයා අවශ්‍ය සාකච්ඡා සිදු කරන බවද කීය.

++++++++++++++++++++++

එතනෝල් තහනම තවදුරටත් ඉවත් නොකෙරේ

(25.06.2020 – 21:05 +0530 – hirunews.lk/sinhala)

එතනෝල් තහනම කිසි ලෙසකින්වත් ඉවත් නොකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.

මේ අතර, කොවිඩ් 19 හේතුවෙන් ආර්ථික බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට බදු සහන කිහිපයක් ලබාදීමටද රජය තීරණය කර තිබෙනවා.

***************************************

මන්නාරම දූපත ඛණිජ වැලි කැනීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමකට බදු දීලා – හිටපු ඇමති රිෂාඩ්ගේ තවත් කොල්ලයක්

(25.06.2020 – 13:52 +0530 – lankaleadnews.com)

‘ටයිටේනියම් සෑන්ඩ්’ නම් වූ ඕස්ට්‍රේලියාවේ සමාගමක් 2018 වසරේ සිට මේ වන තුරු මන්නාරම දූපතේ ටයිටේනියම් අඩංගු ඛණිජ වැලි කැනීමේ ව්‍යාපෘතියක ගවේෂණ කටයුතු කරගෙන යන බවට වාර්තාවේ.

වර්ග කිලෝමීටර් 200 කට අධික ප්‍රෙද්ශයක සිදු කරන මෙම කැනීම් සදහා පතල් කාර්යංශයේ බලපත්‍රයක් ලබාගෙන නොමැති අතර පරිසර වාර්තාවක්ද ලබාගෙන නැත. ඊට අමතරව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයක්ද ලබාගෙන නැත.

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ උවමනාව මත රජයට අයත් ඛණිජ වැලි සංස්ථාව මගින් මෙම නීතිවිරෝධී අවසරය ලබා දී ඇති බව සහ ඒසඳහා විශාල මුදල් හුවමාරුවක් සිදුවී ඇති බවටද චෝදනා එල්ලවේ ෴

***************************************

එදා පේ‍්‍රමදාස රජයෙන් බෙදා දුන් ගිනි අවි හිස්බුල්ලාගෙන් සහරාන්ටත් ලැබිලා – ජනපති කොමිසමේදී මාධ්‍යවේදියාගේ සාක්ෂියෙන් හෙළිවේ

(25.06.2020 – 09:29 +0530 – lankaleadnews.com)

රණසිංහ පේ‍්‍රමදාස ජනපතිවරයා එම ධුරය දැරූ එම ආණ්ඩුවේ අනුග‍්‍රහය මත බෙදූ ටී-56 ගිනි අවි සහරාන් හෂීම්ට ලැබී ඇති බව පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනපති කොමිෂන් සභාවේදී හෙළි විය.

එදා පේ‍්‍රමදාස රජය මෙම ගිනි අවි ලබාදී ඇත්තේ හිටපු ආණ්ඩුකාරවරයකු මෙන්ම ඇමැතිවරයකු වූ ඒ.එල්.එම්. හිස්බුල්ලාට වන අතර ඒවා පසුව සහරාන් හෂීම්ට ලැබී ඇති බව හෙළිව තිබිණි.

මේ කරුණු අනාවරණය වූයේ සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ප‍්‍රවීණ මාධ්‍යවේදී කි‍්‍රස්ටෝපර් කමලේන්‍ද්‍රන් මහතා ඊයේ (24 දා) ලබාදුන් සාක්ෂියෙනි.

2009 දී මෙම මාධ්‍යවේදියා කාත්තන්කුඩියේදී සහරාන් හෂීම් හමුවී ඇති අතර එහිදී සහරාන්ගේ කාමරයේ ටී-56 අවියක් තිබූ බව ඔහු කොමිසමට හෙළි කර ඇත.

1990 කාත්තන්කුඩි පල්ලියට ප‍්‍රහාර එල්ල වීමෙන් පසුව එවක පැවැති රජය ඒ. එල්. එම්. හිස්බුල්ලාට ටී-56 ගිනි අවි ලබාදී ඇති බවත් පසුව හිස්බුල්ලා විසින් ප‍්‍රසිද්ධියේම තමන්ට එම අවි ලබාදුන් බව සහරාන් හෙළි කළ බව මාධ්‍යවේදියා මෙහිදී අනාවරණය කර තිබේ ෴

***************************************

කරුණා අම්මාන් CIDයට පැමිණෙයි

(25.06.2020 – 10:43 +0530 – hirunews.lk/sinhala)

අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

පසුගිය 17 වනදා පැවති අදාළ රැස්වීමේදී ඔහු සඳහන් කළේ තමන් කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී හමුදා සාමාජිකයින් 2000 ක්, 3000 ක් අතර ප්‍රමාණයක් එක් රැයකදී ඝාතනය කළ බවයි.

මෙම ප්‍රකාශය පිළිබඳව සමාජයේ පුළුල් කථාබහක් ඇතිවූ අතර, දේශපාලනඥයින් මෙන්ම ආගමික නායකයින් තවමත් ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටිනවා.

කෙසේ වෙතත් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසයි.

ඒ අනුව එදිනම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කරුණා අම්මාන්ට දැනුම්දුන් නමුත් ඔහු පැමිණියේ නැහැ.

ඒ තමන් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින්.

මේ අතර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දුන්නේ ජාතික හෙළ උරුමයේ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් එම දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලක් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදියි.

ඒ අනුව අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් සංස්කරණය කළ සහ නොකළ වීඩියෝ පට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස අධිකරණය විද්‍යුත් නාලිකාවලට නියෝග කළා.

මේ අතර කරුණා අම්මාන්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශය සුරැකීමේ විද්වත් එකමුතුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

+++++++++++++++++++++++++++++++++++

කරුණාඅම්මාන්ට විමල්ගෙන් සැර උත්තරයක්

+++++++++++++++++++++++++++++++++++

පැය 7 ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු කරුණා අම්මාන් CID යෙන් පිටව යයි

(25.06.2020 – 17:35 +0530 – hirunews.lk/sinhala)

අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ පැය 7 ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.

කරුණා අම්මාන් අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

පසුගිය 17 වනදා පැවති අදාළ රැස්වීමේදී ඔහු සඳහන් කළේ තමන් කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී හමුදා සාමාජිකයින් 2000 ක්, 3000 ක් අතර ප්‍රමාණයක් එක් රැයකදී ඝාතනය කළ බවයි.

මෙම ප්‍රකාශය පිළිබඳව සමාජයේ පුළුල් කථාබහක් ඇතිවූ අතර, දේශපාලනඥයින් මෙන්ම ආගමික නායකයින් තවමත් ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටිනවා.

කෙසේ වෙතත් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය සඳුදා (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසයි.

ඒ අනුව එදිනම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කරුණා අම්මාන්ට දැනුම්දුන් නමුත් ඔහු පැමිණියේ නැහැ.

ඒ තමන් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින්.

***************************************

කුඩා දැරිවියන් විවාහ කරගැනීම ගැන පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්‍රි තමාගේ ස්ථාවරය පැවසිය යුතුයි

(25.06.2020 – colombotoday.com)

ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට වැඩකරනවා කියන පොරොන්දුවෙන් පැමිණි පොදු ජන පෙරමුණ තමන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකතත්වයක් ලබා දීම සඳහා මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ නම ඉදිරිපත් කර ඇති බැවින් ළමා දැරිවියන් විවාහ කරගැනීම පිළිබඳව තමන්ගේ මතය ඔහු පැවසිය යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

පෙරේදා (23) පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය ඥානසාර හිමියන් මෙම අදහස් පළකර සිටි අතර මීට ඉහතදී මොහොමඩ් අලි සබ්‍රි මහතා දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන පුද්ගලයෙක් බවට භික්ෂුන් වහන්සේලා රාශියකගෙන් චෝදනා එල්ල විය.

***************************************

ජනපතිට භාරදුන් MCC සමාලෝචන අවසන් වාර්තාව ජනතාව හමුවට

(25.06.2020 – 17:55 +0530 – hirunews.lk/sinhala)

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබුවා.

කමිටු වාර්තාව අනතුරුව ජනතා අවධානයට යොමු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06 ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය කර තිබෙනවා.

පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට (02) අත්සන් තබා ඇති බවයි එය භාරදෙමින් කමිටු සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ප්‍රකාශ කලේ.

ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4 ක් සහ මිලියන 2.6 ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි ද ඔහු සඳහන් කර තිබෙනවා.

විශ්ලේෂණ භාර රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු ක්ෂේත්‍රීය ආවරණයක් කර නැති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

නීත්‍යානුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ඉඩම් කොමසාරිස්වරයා ද පැහැදිලි කර තිබෙනවා.

ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බව ද ගුණරුවන් මහතා සඳහන් කළා.

නියෝජිතයන් දෙදෙනෙකුට (02), ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට හැකි අතර එවැනි තීරණයක් පාර්ලිමේන්තු පරමාධිපත්‍යය උල්ළංඝනය කිරීමක් වනවා.

නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් ඉන් නිර්මාණය වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර තිබෙනවා.

එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බව නිරීක්ෂණය වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

කිසිදු බාහිර පාර්ශ්වයක මැදිහත්වීමකින් තොරව මධ්‍යස්ථ වාර්තාවක් සම්පාදනය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ජනාධිපතිවරයාට ප්‍රසාදය පළ කර තිබෙනවා.

සියලු කරුණුවලට සවන් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නේ වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙසයි.

2019 දෙසැම්බර් මස 18 වැනි දින කැබිනට් මණ්ඩලය‍ ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණ. ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා.

කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවේ පෙබරවාරි 17 වනදායි ෴

+++++++++++++++++++++

***************************************

දඹාන ආදිවාසී ගම්මානය යළි විවෘත වෙයි

(25.06.2020 – 17:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරකයන්ට තාවකාලිකව වසා දැමූ දඹාන ආදිවාසී ගම්මානය අද (25) සිට යලි සංචාරකයන් සඳහා විවෘත කර තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් දඹාන ආදිවාසී ගම්මානය හා ආදිවාසී කෞතුකාගාරය පසුගිය මාර්තු මස 16 වන දින සිට සංචාරකයන්ගෙන් තොර කලාපයක් ලෙස පත්කිරීමටයි ආදිවාසී නායක වන්නිලා ඇත්තන් කටයුතු කරනු ලැබුවේ.

සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ආදිවාසී ගම්මාන‍ය හා ආදිවාසී කෞතුකාගාරය අද (25) දින සිට සංචාරකයින්ට විවෘත කළ බව ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ පවසනවා.

ආදිවාසී චාරිත්‍රාණුකූලව ‘කිරි කොරහා’ ශාන්ති කර්මය සිදු කර රට, ලොවට කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට සෙත් ප්‍රාර්ථනා කිරීමෙන් අනතුරුවයි දඹාන ආදිවාසී ගම්මානය දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත වුණේ.

***************************************

කෝටි 12 කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ බහාලුම් දෙකක් අත්අඩංගුවට

(25.06.2020 – 15:31 +0530 – hirunews.lk/sinhala)

නූල් අඩංගු බවට පවසමින් ඉන්දියාවේ චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෝටි 12 කට අධික වටිනාකමකින් යුත් බීඩී කොළ කිලෝග්‍රෑම් 24,000 ක් ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශය මගින් අද (25) අත්අඩංගුවට ගත්තා.

අඩි 40 බහාලුම් දෙකක මෙම බීඩි කොළ ගෙන්වා ඇත්තේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලාවකට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන මුවාවෙන්.

සිද්ධියට අදාළව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙතෙක් මෙරටදී අත්අඩංගුවට ගත් විශාලතම නීතිවිරෝධී බීඩිකොළ තොගය මෙය බවයි රේගුව සඳහන් කළේ.

+++++++++++++++++++++

***************************************

CID ය මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 5 කගෙන් ප්‍රශ්න කරයි

(25.06.2020 – 19:11 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයට ගැනීමට තිබූ හෙරොයින් සිය භාරයට නොගෙන යළි ජාවාරම්කරුවන්ට අලෙවි කළ බවට පොලිස් නිලධාරියෙකුට චෝදනාවක් එල්ලවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පොලිස් නිලධාරියෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සම්බන්ධතාවක් පැවැත්වූයේදැයි පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙකු (04) ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගැනීමට තිබූ හොරොයින් සිය භාරයෙට නොගෙන උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් යළි ජාවාරම්කරුවන්ට අලෙවි කළ බවට හෙළිව ඇත්තේ මිනුවන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවෙකුවන ‘ටයිල් චමින්ද’ නමැත්තා සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී.

මිනුවන්ගොඩ පොලිස් සිර මැඳිරියේ රඳවා සිටි ජාවාරම්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මත්කුඩු තොගයක් සඟවා ඇති ස්ථානයක් පිළිබඳවද තොරතුරු හෙළිකර තිබෙනවා.

ඒ අනුව, එම ස්ථානය වැටලීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇති අතර, එම ස්ථානයේ අදාළ මත්කුඩු තොගය තිබී නැහැ.

ප්‍රදේශවාසීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඊට දින කිහිපයකට පෙර වෑන් රථයකින් කිහිපදෙනෙකු පැමිණ අදාළ ස්ථානය පරීක්ෂා කර ඇති බවයි.

‘ටයිල් චමින්ද’ නමැති ජාවාරම්කරු මිනුවන්ගොඩ පොලිස් සිර මැදිරිය තුළ රඳවා සිටියදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු එහි පැමිණ සැකකරු හමුවී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් වැටලීමට පැමිණිමට පෙර මත්කුඩු තොගය සඟවා තිබූ ස්ථානයට පැමිණ ඇත්තේ අදාල උපපොලිස් පරීක්ෂකවරයා විසින් කුලී පදනම මත ලබා ගත් වෑන් රථයක් බවයි.

ඊට අමතරව අදාළ උප පොලිස් පරීක්ෂකවරයා එම ප්‍රදේශයේ සැරිසරා ඇති බවට දුරකථන කුළුණු සංඥා දත්ත මගින් තහවුරු වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඩුබායිහි සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුද මෙම සිද්ධියට සම්බන්ධ බවයි.

***************************************

ත්‍රිකුණාමලය – සාම්බල්තිව් කලපුව අධි සංවේදී පරිසර කලාපයක් ලෙස ගැසට් කිරීමට රජයේ අවධානය

(25.06.2020 – 21:28 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – සාම්බල්තිව් කලපුව අධි සංවේදී පරිසර කලාපයක් ලෙස ගැසට් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

‘හිරු සී.අයි.ඒ.’ හරහා සාම්බල්තිව් කලපුව ආශ්‍රිතව සිදුවන ඉඩම් ගොඩ කිරීම් ජාවාරම හෙළි කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය දිසාපතිවරයාද ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණියා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක්වන සාම්බල්තිව් කලපුව ඉවක් බවක් නොමැතිව ගොඩකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප පෙරේදා හෙළි කළා.

සාම්බල්තිව් කලපු තීරයේ අක්කර 150 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය කාලය පුරා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය මත මේ වන විටත් ගොඩ කර අවසන්ව ඇති අයුරු අප එම පුවත හරහා පෙන්වා දුන්නා.

එම අනාවරණයත් සමඟ ඊයේ (24) මධ්‍යම පරිසර අධිකාරිය ධීවර දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් මෙම ස්ථානයට පැමිණියේ ත්‍රිකුණාමලය දිසාපතිවරයාද සමඟයි.

එහිදී අනවසරයෙන් කලපුව ගොඩ කරමින්, වැට මායිම් සලකුණු කරමින් සාම්බල්තිව් කලපුව වනසා ඇති ආකාරය නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වුණා.

සම්බල්තිව් කලපුවේ අයිතිය හිමිවන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි.

එහෙත් පසුගිය කාලය පුරා ව්‍යාජ ඔප්පු සකස් කරමින් මෙම ගොඩකිරීම් සිදුකර ඇති බවයි ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණ කරගත්තේ.

***************************************

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්ගෙන් සහ ලොරිවලින් කප්පම් ගත් කණ්ඩායමක 5 ක් CCD අත්අඩංගුවට

(25.06.2020 – 21:23 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්ගෙන් සහ ලොරි රථවලින් කප්පම් ලබාගැනීමේ කණ්ඩායමක සාමාජිකයන් 5 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ විවිධ අදහස්

(25.06.2020 – 22:35 +0530 – hirunews.lk/sinhala)

“මෙවර මහ මැතිවරණය සැඟවුණු අමුත්තා තෝරනවා වගේ” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් පවසන්නේ සමගි ජන බලවේගය රටේ බලය තහවුරු කරන බවයි.

එජාපයට මේ කපේදී ආණ්ඩුවක් ගත නොහැකි බව ඇමති දුමින්ද දිසානායක පවසනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ පරාජය සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි චෝදනා කරනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පවසන්නේ එජාපය ආරක්ෂා කරගත යුතු බවයි.

මේ අතර 6 වෙනිදා ප්‍රතිඵල එනකොට සජිත්ට සිරිකොත දොරවල් ඇරෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසනවා.

ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ 6 වෙනිදා උදේ දුරකතනය විසන්ධි වන බවයි.

පොරකන අපේක්ෂකයන්ට එජාපයේ නායකක් වීමට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසන්නේ සජිත් තව අවුරුදු 20 ක් සිහි කල්පනාව ඇතිව වැඩ කළ හැකි නායකයෙක් බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *