ආර්ථිකය යළි නගා සිටුවීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නව ණය වැඩසටහන් ක්‍රියාවට නංවයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ආර්ථිකය යළි නගා සිටුවීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නව ණය වැඩසටහන් ක්‍රියාවට නංවයි

• ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් දක්වා අඩු කරයි

• ජනාධිපතිගේ කතාව සම්පූර්ණ නිවැරදියි.. මහ බැංකුව වැරදියි.. – හිටපු මහ බැංකු ලොක්කා හරියටම පහදයි.. (විඩියෝ)

• සජිත්ගේ දේශපාලන ප්‍රතිපත්ති නිසා UNPයේ දේශපාලන බලකනු විනාශ වූවා (විඩියෝ)

• හිරු රතු මිනිත්තුව ඵල දරා ජනපති දුන් බතික් සහනය (විඩියෝ)

• පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ 39 දෙනෙකුට ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් ප්‍රතිපාදන

• තේ කොළ වලට සීනි කවලම් කරන අය ගැන විමර්ශන

• නීතිවිරෝධීව පැවැත්වු ‘ආවා’ කල්ලි නායකයෙකුගේ උපන්දින සාදයක් වටලයි

• ශ්‍රී ලංකා පොලිසියේ බව පවසමින් ඉන්ටපොල් හැඳුනුම්පතක් ගන්න උත්සහකල මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

• ඇඳිරි නීතිය පනවා තිබියදී අත්අඩංගුවට ගත් වාහන නැවත හිමිකරුවන්ට ලබාදීමට තීරණයක්

• ෂැංග්‍රිලා ප්‍රහාරයට ලංකාවෙන් සොයා නොගත් රසායනික ද්‍රව්‍ය යොදා ගෙන ඇතැයි කොමිසමට කියයි

• ධනවතුන්ගේ බැංකු ගිණුමට රිංගා සල්ලි සොරකම් කළ පරිගණක ‘හැකර්ලා’

• ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (18) ජල කප්පාදුවක්

• රට විරුවන් වෙනුවෙන් තැන්පතු ගිණුමක්

+++++++++++++++++++++++++++++++++++

ආර්ථිකය යළි නගා සිටුවීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නව ණය වැඩසටහන් ක්‍රියාවට නංවයි

(16.06.2020 – 23:11 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටී ඇති අතර, වහා ම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් කොවිඩ්-19 වසංගතය ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව මත ඉදිරි කාලයේ දී දැඩි බලපෑමක් ඇති කළ හැකි නිසා ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප්‍රයත්නයන්ට සහාය දීමක් වශයෙන්, 1949 අංක 58 දරන මුදල් නීති පනතෙහි 83 වගන්තිය යටතේ නව ණය වැඩසටහන් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය විසින් 2020 ජූනි 16 දින පැවැති රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 2020 මාර්තු මස 27 වැනි දින හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27.5 ට අමතර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1.00 ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දෙනු ඇති අතර, එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා ‌බෙදී යෑම සහතික කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් 4.00 ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇති.

මෙම යෝජනා ක්‍රමය සහ දැනට පවතින ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය මගින් කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150 ක් සැපයෙනු ඇති.

මීට අමතර ව, ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදු කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමාන ව රජය විසින් නිකුත් කෙරෙන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් සම්පාදනය කෙරෙමින් එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන බවද සඳහන්.

මෙම නව ණය යෝජනා ක්‍රම පිළිබඳ මෙහෙයුම් උපදෙස් හැකි ඉක්මනින් ඉදිරි කාලයේ දී නිකුත් කරන බවද මහා බැංකුව පවසනවා ෴

***************************************

ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් දක්වා අඩු කරයි

(16.06.2020 – biz.adaderana.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට තීරණය කළේ ය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115 ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි.

ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150 කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550 කින් අඩු කිරීම ඇතුළු ව, දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතර ව අද දින මෙම තීරණයත් සමඟ 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300 කින් පහළ දමා ඇත.

අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමෙහි ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොර ව ලබා දීම සඳහා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩ ව සුපරීක්ෂණය කරනු ඇති අතර, ඉදිරි කාලයේ දී ආර්ථික ක්‍රියාකාරිත්වයෙහි තිරසාර නඟා සිටුවීමකට සහාය වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගනු ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ජනාධිපතිගේ කතාව සම්පූර්ණ නිවැරදියි.. මහ බැංකුව වැරදියි.. – හිටපු මහ බැංකු ලොක්කා හරියටම පහදයි..

(17.06.2020 – 08:40 +0530 – lankacnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගැන සිදු කර ඇති ප්‍රකාශය තමන් පූර්ණ වශයෙන් පිළිගන්නා බවත් හිටපු මහ බැංකු අධිපති, අග‍්‍රාමාත්‍ය ආර්ථික කටයුතු උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

විශේෂයෙක් ද ෆිනෑන්ස් සිදුවීමේදී අර්බුදයක් ඇති නොවන ආකාරයට මැදිහත් වීමට මහ බැංකුවට අවස්ථාවක් තිබුණද එය ඉටු නොකළ බව ඔහු පැවසීය.

මීට පෙර මෙවැනි තත්ත්වයන් ඇති වූ විට මනා ලෙස එය කළමනාකරය ගත් තැනැත්තෙකු ලෙස ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන්නද මහබැංකුවේ ස්ථාවරය වූයේ එම ආයතනය වසා දැමීමේ යයිද කබ්රාල් මහතා පැවසීය.

දැනට සිදුව ඇති වැරදි වහා නිවැරදි කර ද ෆිනෑන්ස් ආයතනය නැවත ස්ථාපිත කර ආර්ථිකය මෙහෙයවීමේ ක්‍රියාවලියට අනුගත කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

නමුත් දැනට ඉන්නා කණ්ඩායම් සමග එය සිදුකල නොහැකි බවද හිටපු මහබැංකු අධිපති පැවසීය.

ජනතාවගේ පාර්ශවයෙන් කල්පනා කරමින් මුදල් මණ්ඩලය ගෙන ඇති තීරණ ආපසු හැරවීමට සිදුව තිබෙන බවත් එය කළ හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

***************************************

සජිත්ගේ දේශපාලන ප්‍රතිපත්ති නිසා UNPයේ දේශපාලන බලකනු විනාශ වූවා

(16.06.2020 – 21:24 +0530 – hirunews.lk/sinhala)

සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බලකනු විනාශ වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතාද එක්ව සිටියා.

***************************************

හිරු රතු මිනිත්තුව ඵල දරා ජනපති දුන් බතික් සහනය

(16.06.2020 – 20:43 +0530 – hirunews.lk/sinhala)

අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයන කිරීම අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සම්බන්ධයෙන් දේශීය බතික් කර්මාන්තකරුවන් සිය ප්‍රසාදය පළ කරනවා.

ඊයේ ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණේ රටේ ආර්ථිකය පෝෂණය කිරීමට ශක්තියක් වූ දේශීය බතික් නිර්මාණශිල්පීන්ට ධෛර්යක් පිණිස මෙම තීරණය ක්‍රියාත්මක කරන ලෙසයි.

පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ ද අප මේ පිළිබඳව අනාවරණ කළා.

***************************************

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ 39 දෙනෙකුට ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් ප්‍රතිපාදන

(16.06.2020 – 20:17 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා විශේෂ ප්‍රතිකාර ලබන විශේෂ රෝගීන් 39 දෙනෙකුට සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ ප්‍රතිපාදන යොදාගෙන ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳ ව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුවත් කිරීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (16) පෙරවරුවේ අගරදගුරු නිවසේදී උන්වහන්සේ බැහැදුටු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ කුඩා දරුවන්, වැඩිහිටියන් ඇතුළු පිිරිස ශ්‍රී ජයවර්ධනපුර රෝහලට යොමු කර ජිවිතාන්තය දක්වා ප්‍රතිකාර සේවාවන් ලබාදීමටත්, තවදුරටත් ශල්‍යකර්ම සිදුකිරීමට අවශ්‍ය නම් එම කටයුතු සිදුකිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමටත් සෞඛ්‍ය ඇමතිවරිය, නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ප්‍රහාරය සිදුවී වසරක් ඉක්මවා තිබුණද තවමත් ප්‍රහාරයට ලක්වූ 139 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

***************************************

තේ කොළ වලට සීනි කවලම් කරන අය ගැන විමර්ශන

(16.06.2020 – 20:30 +0530 – lankaleadnews.com)

තේ කොළ වලට සීනි කවලම් කර වෙළඳ පොළට එවනු ලබන කම්හල් පිළිබඳව විමර්ශන කටයුතු තවදුරටත් දැඩි කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පතී මොල්ලිගොඩ මහතා පැවැසීය.

වැටලීම් පමණක් නොව අති නවීන විද්‍යාගාර පහසුකම්වලින් සතිපතා සිදුකරන පරික්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම නිසා වෙළඳපොලට එන ප්‍රමිතියෙන් තොර තේ හඳුනා ගැනීම පහසුවී ඇතැයි ද මොල්ලිගොඩ මහතා කියා සිටියේය.

තේ වෙන්දේසියට ලැබෙන තේ සතිපතා නිරන්තරව අහඹු ලෙස තෝරාගත් තේ කුඩු නියැදි පරීක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය.

තේ කම්හල් 700 ක් දිවයින පුරා පිහිටා ඇති අතර සතිපතා එයින් 695 කට ආසන්න ප්‍රමාණයකින් වෙන්දේසියට තේ එන බවත් මෙසේ අහඹු ලෙස නිරන්තර නියැදි තෝරා ගැනීම නිසා බොහෝ තේ කම්හල්වල නිෂ්පාදන පරීක්ෂාවට ලක්වන බවත් මොල්ලිගොඩ මහතා කීය.

කෙසේ වෙතත් තේ කොලවලට සීනි දමා තිබියදී හසුවූ කම්හලේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇතැයි පැවසූ සභාපතිවරයා ඒ පිළිබඳ සිදුවන පරික්ෂණවලින් පසු වැරදිකරු වුවහොත් කම්හල සම්පූර්ණයෙන්ම වසාදැමීමට කටයුතු කරන බව ද කීය.

එම කම්හල් හිමියන්ගේම තවත් කම්හලක් මේ වනවිටත් වසාදැමීමට තේ මණ්ඩලය කටයුතු කොට ඇත්තේ එහි නිෂ්පාදනවල ද සීනි මුසුකිරීමේ සිද්ධියක් හසුවීමෙන් පසුව යැයි ද කියා සිටියේය ෴

***************************************

නීතිවිරෝධීව පැවැත්වු ‘ආවා’ කල්ලි නායකයෙකුගේ උපන්දින සාදයක් වටලයි

(16.06.2020 – colombotoday.com)

යාපනය මරුදනගර් ප්‍රදේශයේදී නීතිවිරෝධීව උපන්දින සාදයකට සහභාගී වූ තරුණයින් 26 දෙනෙකු ඊයේ (15) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවට යාපනය පොලීසිය පවසයි.

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි නායකයෙකුගේ උපන්දින සාදයක් නීතිවිරෝධීව පැවත්වෙන බවට යාපනය පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් විසින් අදාල උපන්දින සාදය පැවති ස්ථානය වටලා සිදු කරන ලද සෝදිසියකදී එහි සිටි 26 දෙනෙකු හා යතුරුපැදි 08 ක් අත්අඩංගුවට ගෙන ඇත.

නිරෝධායන නීතියට පටහැනිව රැස් වීම හා නියමිත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකොට උපන්දින සාදය පැවත්වීම යන චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිසෙහි සාමාජිකයින් මීට පෙර පහරදීම් හා මංකොල්ල කෑම් මෙන්ම ආවා කල්ලි වැනි කල්ලිවලට සමබන්ධ පිරිස්දැයි යන්න සෙවීමටද පරික්ෂණයක් යාපනය පොලීසිය විසින් ආරම්භ කොට ඇත.

අත්අඩංගුවට ගත් පිරිස් මරුදනගර් ඇතුලු යාපනය ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර එම පිරිස් යාපනය අධකිරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය ෴

***************************************

ශ්‍රී ලංකා පොලිසියේ බව පවසමින් ඉන්ටපොල් හැඳුනුම්පතක් ගන්න උත්සහකල මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

(16.06.2020 – colombotoday.com)

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරියෙකු බව සඳහන් කරමින් ජාත්‍යන්තර පොලිස් සංගමයේ කොළඹ කාර්යාලයෙන් ඉන්ටපොල් (Interpol) හැඳුනුම්පතක් ලබා ගැනීමට උත්සහ කල මුස්ලිම් ජාතිකයෙකු අද (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමන් පොලිස් නිලධාරියෙකු බව සඳහන් කරමින් මුස්ලිම් ජාතික පොලිස් නිලධාරියෙකුට අයත් අංකයක් ද මෙම තැනැත්තා ඉදිරිපත් කර ඇත. සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 23 වියැති මොහොමඩ් ශකීල් මොහොමඩ් බිලාල් ලෙස හඳුනාගෙන ඇත.

මෙම තැනැත්තා පිළිබඳව සැක සිතූ නිලධාරීන් ඔහු පොලිසියට බාර දී ඇති අතර 2018 වසරේදී ඉංදියාවට ගොස් සිටියදී එරටින් පිටුවහල් කරන ලද පුද්ගලයෙකු බවට ද හඳුනාගෙන ඇත.

අද (16) දිනයේදී මෙම තැනැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි ෴

***************************************

ඇඳිරි නීතිය පනවා තිබියදී අත්අඩංගුවට ගත් වාහන නැවත හිමිකරුවන්ට ලබාදීමට තීරණයක්

(15.06.2020 – colombotoday.com)

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට තීරණය කෙරේ.

ඒ සදහා අදාළ පියවර ගන්නා ලෙස රජය වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ ෴

***************************************

ෂැංග්‍රිලා ප්‍රහාරයට ලංකාවෙන් සොයා නොගත් රසායනික ද්‍රව්‍ය යොදා ගෙන ඇතැයි කොමිසමට කියයි

(16.06.2020 – 21:53 +0530 – lankadeepa.lk)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා මෙතෙක් ලංකාවෙන් සොයා නොගත් යූරියා නයිට්‍රේට් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බෝම්බ නිෂ්පාදනය කර තිබෙන බව හිටපු රජයේ රස පරීක්ෂක ඒ.වැලිඅංගේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (16) සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.

එමෙන්ම එම බෝම්බ සඳහා වැඩි දියුණු කරන ලද ඩෙටනේටර් යොදා ගෙන තිබෙන බවද වැලිඅංගේ මහතා සඳහන් කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී සාක්ෂි විමසීම පැවැත්විණි ෴

***************************************

ධනවතුන්ගේ බැංකු ගිණුමට රිංගා සල්ලි සොරකම් කළ පරිගණක ‘හැකර්ලා’

(13.06.2020 – lankadeepa.lk)

= පොලිස් පොතේ ලියැවුණු කතාවක් =

පසුගිය දිනවල මුහුණු පොතේ වඩාත් සංසරණය වූ පණිවුඩයක් වූයේ ‘ඔබේ මුහුණු පොතේ ගිණුමට හෝ ඔබේ අන්තර්ජාල ලිපිනයට එන නොහඳුනන පණිවුඩ විවෘත කරන්න එපා. ඒවා විවෘත කළහොත් ඔබේ සියලු අන්තර්ජාල රහස්‍ය තොරතුරු වෙනත් අයෙකුට අනාවරණය විය හැකිය’‍ යන්නය.

මෙවැනි පණිවුඩ නොසලකා හරිමින් කටයුතු කළ ලියුම්කරු දන්නා හඳුනන කීප දෙනෙකුගේම මුහුණු පොත් ගිණුම් පසුගිය කාලයේදි කිසියම් පිරිසක් විසින් හැක් කර තිබුණි. ඔවුන්ගේ අන්තර්ජාල ගිණුම්වලට සිදුවූ මේ අනවසර පිවිසුම නිසාම තම අන්තර්ජාල සබඳතාවල පිවිසුම් රහසිගත කේත (පාස්වර්ඩ්) වෙනස් කිරීමට පමණක් නොව තම ගිණුම් අලුතින් සැකසීමට පවා ඔවුන්ට සිදුවිය.

ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ වූ නවතම වහළ සෙවිලි තහඩු වර්ගයක් ආනයනය කොට බෙදාහරින ව්‍යාපාරික ආයතනයක් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටා තිබේ. දිනපතාම තම ව්‍යාපාරික කටයුතුවලට අදාළ ගිණුමේ විස්තර පරීක්ෂා කර බැලීම මෙම ව්‍යාපාරික ආයතනයේ හිමිකරු පුරුද්දක් කරගෙන සිටියේය. ඔහු වැඩි වශයෙන්ම ගනුදෙනු කරමින් තම බැංකු කටයුතු පවත්වාගෙන ගියේ ප්‍රකට පෞද්ගලික බැංකුවක කුරුණෑගල නගරයේ පිහිටි ශාඛාවකය. තම ගිණුම මගින් දිනපතා සිදු කරනු ලබන සියළුම බැංකු ගනුදෙනු හා සම්බන්ධ තොරතුරු අන්තර්ජාලය හරහා ඔහුගේ ජංගම දුරකථනයට ලැබෙන්නට විය. මේ නිසාම ඔහුට තම ව්‍යාපාරික කටයුතු ඉතාම නිරවුල්ව හා සාර්ථකව කරගෙන යාමට මෙම ක්‍රමවේදය පහසුවක් වී තිබුණි.

ඒ ආකාරයට පසුගිය 14 වන දින රුපියල් ලක්ෂ 15 ක මුදලක් තම ගිණුමෙන් තවත් ගිණුමකට බැරවූ බව සඳහන් කෙටි පණිවුඩයක් එම බැංකුවෙන් ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට ලැබුණි. එවැනි ව්‍යාපාරික ගනුදෙනුවක් එදින සිදු නොවූ බව ඔහුගේ මතකයේ විය. යම් ව්‍යාපාරික අවශ්‍යතාවක් සඳහා තම ආයතන ගිණුමෙන් ලක්ෂ 15 ක මුදලක් වෙනත් ගිණුමකට යැවුවාදැයි ඔහු තම ගිණුම් කළමනාකරුගෙන් විමසූ අවස්ථාවේදී ඔහුගේ පිළිතුර වූයේද එවැනි කිසිදු ගනුදෙනුවක් එදින සිදුකර නැති බවය.

තම බැංකු ගිණුම හරහා යම් මූල්‍ය වැරැද්දක් හෝ අතපසුවීමක් සිදුව ඇති බව ව්‍යාපාරිකයා වහා තේරුම් ගත්තේය. මොහොතක් හෝ ප්‍රමාද නොවූ ඔහු ඉක්මණින් බැංකු ශාඛාව වෙත ගොස් එහි කළමනාකරු හමුවී සිදුව ඇති දේ විමසීය.

“සර්ගෙන් අපිට එවලා තිබුණු ඊ මේල් එකක් නිසා තමයි අපි ඒ මුදල ගෙවුවේ. වෙනදාත් සර්ගේ ලෙටර්හෙඩින්වලින් එවන ඊ මේල් අපිට පුරුදු නිසා මේ ඊ මේල් එකෙන් කියලා තිබුණු විදිහට අපි වෙන ගිණුමකට ලක්ෂ පහළොවක් සර්ගේ ගිණුමෙන් යැවුවා…”‍ බැංකු කළමනාකරු ව්‍යාපාරිකයාට පැහැදිලි කළේය.

“පිස්සුද මම එහෙම සල්ලි ගෙවන්න කියලා බැංකුවට ඊ මේල් එකක් එවලා නැහැ…” ව්‍යාපාරිකයා කේන්තියෙන් සඳහන් කළේය.

“සර් නැහැ කියන්නේ කොහොමද. මේ තියෙන්නේ සර් වෙනදාට එවන ඊ මේල් ලිපිනයයි. සර්ගේ කම්පැණි එකේ ලෙටර් හෙඩින් එකයි නේද…”‍ බැංකු කළමනාකරු ව්‍යාපාරිකයාට එසේ එවූ බව කියන ඊ මේල් පණිවුඩය පෙන්වීය.

එම ඊ මේල් පණිවුඩය දැකීමෙන් ව්‍යාපාරිකයා අන්දමන්ද විය. සැබැවින්ම එය තම ව්‍යාපාරික ආයතනයේ ලිපි ශීර්ෂය සහ තම අන්තර්ජාල ලිපිනය බව ව්‍යාපාරිකයාට හැඟී ගියේය. වායු සමනය කළ බැංකු පරිශ්‍රය තුළ වුවද ඔහුගේ සිරුර දහඩියෙන් තෙමී ගියේය. එම බැංකු ගිණුමෙන් කිසිවෙකු විසින් ලක්ෂ 15 ක විශාල මුදලක් හොරෙන් ලබාගෙන ඇති බව පැහැදිලි වීමට ඔවුන් දෙදෙනාටම එතරම් කාලයක් ගත නොවීය.

දිගු කාලයක සිට තම බැංකුවත් සමඟ ඉතා විශ්වාසවන්තව මහා පරිමාණයෙන් ගනුදෙනු කරන එම ව්‍යාපාරිකයාගේ ගිණුමට කිසිවෙකු අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත සොරාගෙන (හැක් කර) ලක්ෂ 15 ක් ලබාගෙන ඇති බව වටහාගත් බැංකු කළමනාකරු අප්‍රමාදව ඒ බව තම ප්‍රධාන කාර්යාලය දැනුම්වත් කිරීමට පියවර ගත්තේය.

ප්‍රධාන කාර්යාලයෙන් ලද උපදෙස් අනුව සිදුව තිබූ එම මූල්‍ය වංචාව පිළිබඳව බැංකු කළමණාකරු විසින් කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ඒ.ජේ.වයි.බී. ක්‍රිශාන්ත මහතා වෙත වැඩි වේලාවක් නොගොස්ම පැමිණිලි කිරීමට පියවර ගත්තේ මෙය ඉතා බරපතළ ගනයේ මූල්‍ය වංචාවක් බවට තේරුම් යාම නිසාය.

බැංකුවෙන් ලද තොරතුරු අනුව මෙය අන්තර්ජාලය ඔස්සේ හැකරුන් විසින් කර ඇති මහා පරිමාණ මුදල් වංචාවක් බව ක්ෂණිකවම වටහාගත් පොලිස් අධිකාරි ක්‍රිශාන්ත මහතා ඒ සම්බන්ධයෙන් තම උසස් පොලිස් නිලධාරීන් වූ වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහත්වරු දැනුම්වත් කිරීමට පියවර ගත්තේය. ඔවුන්ගෙන් ලද උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවීම තමා යටතේ පවතින කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ඩී.ආර්. ගුණතිලක මහතා වෙත පැවරීමට ක්‍රිශාන්ත මහතා තීරණය කළේය.

බැංකු ශාඛාව වෙත ගිය ගුණතිලක මහතා සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අවශ්‍ය සියළු තොරතුරු ලබාගෙන එහි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තම ඒකකයේ සේවය කරන තවත් දක්ෂ විමර්ශන නිලධාරියෙකු වූ පොලිස් පරීක්ෂක ආර්.එච්. සෙනෙවිරත්න මහතා සහ සැරයන් (27627) නවරත්න මහතා සහාය කර ගත්තේය.

ඒ අනුව විමර්ශන ඇරැඹූ මේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ මූලික අවධානය යොමු වූයේ අන්තර්ජාලය හරහා එම ලක්ෂ 15 ක මුදල බැරවූයේ කුමන ගිණුමකටදැයි සොයා බැලීමය. ඒ අනුව බත්තරමුල්ල පන්නිපිටිය පාරේ අංක 769 දරන ලිපිනයෙහි පදිංචි රජීව රොෂාන් රූපසිංහ නමැති අයෙකු විසින් නාවල පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක පවත්වාගෙන යන ගිණුමකට රුපියල් ලක්ෂ 15 ක මුදල බැරවී ඇති බව අනාවරණය කර ගැනීමට හැකි විය.

එම බැංකු ශාඛාවද මූල්‍ය වංචාව සිදුවූ කුරුණෑගල බැංකු ශාඛාවේම තවත් ශාඛාවක් වීමද විශේෂත්වයකි. එම ගිණුමට අදාළ තොරතුරු වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී එනමින් රජයේ සහ පෞද්ගලික අංශයේ තවත් මූල්‍ය ආයතන හයකම ගිණුම් පවත්වාගෙන යන බවද අනාවරණය කර ගැනීමට හැකි විය. වැඩිදුරටත් සොයා බැලීමේදී මේ නමින් යුත් පුද්ගලයෙකු හෝ එවැනි ලිපිනයක් නොමැති බව අනාවරණය වූ අතර එනිසාම බැංකුවට ලබාදී තිබූ මෙම හැඳුනුම්පත ව්‍යාජ එකක් බව තේරුම් ගැනීමට පොලිස් නිලධාරීන්ට අපහසු නොවීය.

රජීව් රොෂාන් රූපසිංහ නමැත්තාගේ ගිණුමට අදාළව තොරතුරු විමර්ශනය කිරීමේදී ලබාගත් එම සැකකරුට අයත් දුරකතන අංකයක් පරීක්ෂාවට ලක්කර ඊට අදාළව දුරකතන ඇමතුම් වාර්තා ලබා ගැනීමට පියවර ගත් පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා ඒ ඔස්සේ සැකකරුවන් කොටුකර ගැනීමේ ඉදිරි විමර්ශන දියත් කළේය.

එම දුරකතන වාර්තා වැඩිදුරටත් විශ්ලේෂණය කිරීමේදී සැකකරු කොළඹ නාවල, රාජගිරිය, බත්තරමුල්ල, රත්මලාන, ගල්කිස්ස සහ නුගේගොඩ ආශ්‍රිත ප්‍රදේශවල සිට මෙම ඇමතුම් ලබාගෙන ඇති බව සෙනෙවිරත්න මහතාට පෙනී ගියේය.

මේ ආකාරයට පරීක්ෂණ කටයුතු සිදු වෙත්දී සැකකරු විසින් පවත්වාගෙන යන බවට අනාවරණය කරගෙන තිබූ බැංකු ආයතනවලට මෙම සැකකරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා විසින් දැනුම්දී තිබුණි. හඳුනාගෙන සිටින මෙම සැකකරු කුමන මොහොතක හෝ එම බැංකු ශාඛාවකට පැමිණිය හැකි බවට ගුණතිලක මහතා විශ්වාස කළේය. ඔහුගේ එම විශ්වාසය සීයට සීයක්ම නිවැරැදි විය. ඒ අනුව පසුගිය සතියේ දිනක නාවල පිහිටි එම බැංකු ශාඛාව වෙත සැකකාර පුද්ගලයා පැමිණ සිටින බව හඳුනාගත් එම බැංකුවේ කළමනාකරු ඒ බව වහාම ගුණතිලක මහතාට දැන්වීය.

එම පණිවිඩය ලද සැණින්ම ඉදිරි පියවර තීරණය කළ ගුණතිලක මහතා සැකකරුට නොදැනෙන ආකාරයට ඔහු පැමිණි වාහනය සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන කෙසේ හෝ එහි අංකය හඳුනාගැනීමට කටයුතු කරන ලෙස බැංකුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බැංකු නිලධාරීහුද එම උපදෙස් අකුරටම පිළිපදිමින් සැකකරු පැමිණි වාහනයේ අංකය සහ එහි පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගේ රුව හඳුනාගනු ලැබූහ.

සැකකරු පැමිණි වාහනය WP අංක දරන කළු පැහැති සුඛෝපභෝගී ජීප් රථයක් විය. එහි හිමිකරු රත්මලාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බව ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂාවකදී හෙළිකර ගැනීමට පුළුවන් විය. ඒ අනුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ එම ජීප් රථය කුලී පදනම මත ලබා දෙන බවට ඔහු අන්තර්ජාලයේ පළ කරන ලද දැන්වීමකට අනුව පැමිණි ස්ටෙෆන් පිලිප් නමැත්තෙකු විසින් රුපියල් අසූ දහසක මාසික කුලියකට එම වාහනය ලබාගෙන සිටින බවය.

මේ අනුව අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය කර බැලූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා එම වාහනයේ හිමිකරු ලවා කුලී පදනමට ලබාගත් පුද්ගලයාව කෙසේ හෝ සම්බන්ධ කරගන්නා ලෙස පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතාට උපදෙස් දුන්නේය. එම උපදෙස් අනුව ක්‍රියා කළ සෙනෙවිරත්න මහතා වාහනයේ හිමිකරු ලවා කුලී පදනමට වාහනය ලබාගත් ස්ටෙෆන් පිලිප් නමැත්තාට දුරකතනයෙන් කතා කරවා හදිසි අවශ්‍යතාවක් සඳහා වාහනය ආපසු අවශ්‍ය බව දැනුම් දීමට පියවර ගත්තේය. එම ඇමතුමට පිලිප් නමැත්තා ලබාදුන් පිළිතුර වූයේ ක්ෂයරෝගයට ගොදුරු වීමෙන් තමන් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් වාහනය ලබාදීමට නොහැකි බවය.

එම තොරතුරු ඉදිරි පරීක්ෂණ සඳහා ඉතා වැදගත් විය හැකි යැයි සිතූ සෙනෙවිරත්න මහතා ඒ බව ගුණතිලක මහතාට දන්වා තම සහායකයා වූ සැරයන් නවරත්න මහතා සමග එම අවස්ථාවේදීම ජයවර්ධනපුර රෝහල වෙත ගොස් මේ කියන ස්ටෙෆන් පිලිප් නමැත්තා සැබෑවටම එහි ප්‍රතිකාර ලබමින් සිටිනවාදැයි සොයා බැලූහ. එම තොරතුරු නිවැරැදි විය.

රෝහලේ අංක 305 දරන ගෙවන වාට්ටුවක ක්ෂයරෝගයට එම පුද්ගලයා නේවාසිකව නැවතී ප්‍රතිකාර ලබමින් සිටින බවත් ප්‍රතිකාර අවසන් වීම හේතුවෙන් ඔහු එදිනම රෝහලෙන් පිටව යාමට නියමිත බවත් දැනගැනීමට ලැබුණි.

එසේ සහතික කරගත් තොරතුරු අනුව එම සැකකරු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට කලබල නොවූ පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහු රැගෙන යාම සඳහා කුලී පදනමට ගත් ජීප් රථය පැමිණේදැයි රෝහලේ කොටසකට වී කිසිවෙකුටත් සැක නොසිතෙන ආකාරයට රැඳී සිටියහ. මීට අමතරව වැඩිදුර ආරක්ෂාව සඳහා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජයවර්ධනපුර රෝහලේ ආරක්ෂක අංශය දැනුම්වත් කිරීමටද ඔවුහු කටයුතු කළහ.

වැඩි වේලාවක් ගත නොවී ඔවුන් බලාපොරොත්තුව සිටි කළු පැහැති ජීප් රථය රෝහලේ රථගාල වෙත පැමිණි ආකාරය පොලිස් නිලධාරීන් දෙදෙනාට දර්ශනය විය. ඔවුන් දෙදෙනා පුදුමයට පත් කරමින් එහි රියැදුරු අසුනින් බැස ගත්තේ සැකකාර බැංකු ගිණුමේ හිමිකාර තරුණයාය. හැඳුනුම්පතේ සිටින ආකාරයට වඩා යම් තරමකට ඔහුගේ යටි රැවුල වැවී තිබුණද මේ හැඳුනුම්පත හිමි තරුණයාම බව හඳුනාගැනීමට අපරාධ විමර්ශනයෙහිලා පළපුරුදු මේ දක්ෂ නිලධාරීන් දෙදෙනාට එතරම් අපහසු නොවීය.

දැන් තමන් අබියස සිටින්නේ මේ මූල්‍ය වංචාවට සම්බන්ධ නියම සැකකරුවන් දෙදෙනාම බවට සැකහැර දැනගත් පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා තවමත් ඉක්මන් නොවී ස්ටෙෆන් පිලිප් නමැත්තා රෝහලෙන් එළියට පැමිණෙන තෙක්ම ඉවසිලිමත්ව බලා සිටියේය.

ඒ අනුව සිවිල් ඇඳුමෙන් සැරසී සිටි නිලධාරීන් දෙදෙනා ජීප් රථයෙන් පැමිණි තරුණයා පසුපස සැක නොසිතෙන ආකාරයට ගොස් සැකකරුවන් දෙදෙනා වාට්ටුවෙන් නික්ම බිම් මහලට පැමිණීම සඳහා විදුලි සෝපානයට ගොඩවන අවස්ථාව තෙක් බලා සිටියහ. ඒ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ අවස්ථාව විය. ඔවුන් දෙදෙනාද දුවවිත් විදුලි සෝපානයට ගොඩ වූහ.

එතුළ සිටි ස්ටෙෆන් පිලිප් නමැත්තා දෙස බැලූ පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා “හලෝ ස්ටෙෆන් කොහොමද…?”‍ කියා ඇමතීය. ආගන්තුකයින් වෙතින් ලද එම ඇමතුමෙන් ස්ටෙෆන් විමතියට පත්වෙද්දී දෙදෙනාගේම දෙඅත්වලට විලංගු වැටී අවසානය.

“ඇයි මේ… මොකක්ද අපි කළ වරද…?” ස්ටෙෆන් පිලිප් විමසීය. “කලබල නොකර අපිත් එක්ක යමු. හේතුව පස්සේ කියන්නම්…” සෙනෙවිරත්න මහතා පිළිතුරු දුන්නේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අපහසුවකින් තොරවම කුරුණෑගලට රැගෙන ඒමෙන් පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ විය.

එම ප්‍රශ්න කිරීම්වලින් පසුව සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක්ම අනාවරණය කර ගැනීමට කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට හැකි විය. ඒ අනුව මෙහි ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටින ප්‍රී. ස්ටෙෆන් පිලිප් නමැත්තා නැවතී සිටින නුගේගොඩ ජයමංගල පාරේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයක්ද පරීක්ෂාවට ලක් කළහ.

සැකකරු පිලිප් නමැත්තා දිනකට රුපියල් පන්දහස බැගින්වූ කුලියකට එහි සුඛෝපභෝගී නිවෙසක් ගෙන එහි නැවතී සිටියේය. ඒ තනියම නොව එක්දරු මවක් වූ අවුරුදු විසිපහක් පමණ වයසැති රූමත් කාන්තාව සමගය. ඇය ඔහුගේ අනියම් බිරිය බව අනාවරණය විය. ඇගේ විවාහක සැමියා මත්ද්‍රව්‍ය චෝදනාවකට වැරැදිකරු වී සිර දඬුවමකට ලක්ව සිටි අතර ඉන් පසුව ඇය පිලිප් නමැත්තා සමග අනියම් සබඳතාවක් පවත්වමින් මෙම නිවාස සංකීර්ණයේ තම දරුවාද සමග නැවතී සිටියාය.

සැකකරු නැවතී සිටි එම නිවසේ තිබී රුපියල් දෙලක්ෂ දසදහසක මුදලක් සමග බැංකු ගිණුම් පොත් 6 ක්, බැංකු ක්‍රෙඩිට් කාඩ් පත් 14 ක්, ජංගම දුරකථන 5 ක්, ලැප්ටොප් පරිගණකයක්, අන්තර්ජාල සබඳතා සඳහා භාවිත කරන රවුටරයක් සොයා ගැනීමටද පොලිස් නිලධාරීන්ට හැකි විය.

වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් දෙදෙනාගෙන් කුරුණෑගලදී සිදු කළ බැංකු වංචාවට අදාළ තොරතුරු සහ තවත් මූල්‍ය වංචා ගණනාවකම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය.

පිලිප් නමැති 37 හැවිරිදි ප්‍රධාන සැකකරු බර්ගර් ජාතිකයෙකි. වෘත්තියෙන් පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවකු වන ඔහු විවාහක තිදරු පියෙකි. පරිඝණක ක්ෂේත්‍රයේ තම රැකියාව කරමින් බිරිඳ හා දරුවන්ද සමග දිගු කලක සිට එංගලන්තයේ වෙසෙන ඔහු මීට මාස හයකට පමණ ඉහතදී ලංකාවට පැමිණ ඇත. ඒ බිරිඳ සමග ඇතිකරගත් ආරාවුලකින් පසුව ඇය සමග අමනාප වීමෙන් පසුවය.

එසේ පැමිණි ඔහුට මෙරටේදී කිරීමට රැකියාවක් නොවූ තැන ඔහු පහසුම රැකියාවක් තෝරා ගත්තේය. ඒ සඳහා ඔහු තම වෘත්තීය පරිඝණක දැනුමද අපූරුවට උපයෝගී කර ගත්තේය. අනුන්ගේ බැංකු ගිණුම්වලට හොර රහසේ ඇතුළුවී ඒවායේ දත්ත සොරාගෙන එම ගිණුම්වලින් මුදල් සොරා ගැනීම ඔහු තෝරාගෙන තිබූ මාර්ගය විය. ඔහු තම පරිගණක දැනුම යොදා ගනිමින් ඉතා සූක්ෂමව මේ වැඩේ කිරීමට සමත් විය. ඒ සඳහා ඔහු තෝරාගෙන තිබුණේ සාමාන්‍ය ගිණුම් හිමි පුද්ගලයන් නොව දිවයිනේ විවිධ ව්‍යාපාර හිමි ධනවත් පුද්ගලයන් වීමද විශේෂත්වයකි.

සැකකරු අවස්ථා ගණනාවකදීම රුපියල් ලක්ෂ 15 සිට ඉහළට විවිධ ප්‍රමාණයෙන් අනුන්ගේ මුදල් ඔවුන් දෙදෙනා විවෘත කර ඇති බැංකු ගිණුම්වලින් ලබාගෙන ඇති බවද අනාවරණය වී ඇත. එසේ ලබාගත් මුදලින් මොවුන් දෙදෙනා රාත්‍රී සමාජ ශාලාවලට යමින් සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කර ඇති බවද අනාවරණය වී තිබේ.

මේ වනවිටත් මෙම සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි ධනවත් පුද්ගලයන්ගේ බැංකු ගිණුම් හැක් කර ඒවායේ ඇති මිලියන ගණනින් වූ මුදල් සූක්ෂ්මව ලබාගෙන තිබෙන්නට පුළුවන් බව ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා සඳහන් කළේය. එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කර ගැනීම සඳහා සැකකරුවන් දෙදෙනාගේම බැංකු ගිණුම් පරීක්ෂා කර බැලීමට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට අවසර දුන්නේය. එතෙක් සැකකරුවන් දෙදෙනා ලබන මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියම කළේය.

සේයාරූ / සටහන : පුෂ්පකුමාර ජයරත්න

(ගිණුම්හිමියෙකු බැංකු ශාඛාව වෙත එවූ ඊ මේල් පණිවුඩයක් මත පිහිටා එම ගිණුමෙන් වෙනත් අයෙකුගේ ගිණුමකට මුදල් මාරුකිරීමක් බැංකු ශාඛාව විසින් කෙරෙනු ඇතැයි විශ්වාස කළහැකිද? – අමරසර)

***************************************

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (18) ජල කප්පාදුවක්

(17.06.2020 – 11:11 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (18) උදෑසන 9 සිට පැය 12 ක කාලයක් වැලිසර, මහබාගේ, මාබෝල, කඳාන, නාගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

එමෙන්ම, කෙරවලපිටිය, මටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්ඕවිට ධීවර වරාය ප්‍රදේශය මෙන්ම, බෝපිටිය, පමුණුගම සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ ෴

***************************************

රට විරුවන් වෙනුවෙන් තැන්පතු ගිණුමක්

(17.06.2020 – 07:59 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියා සඳහා පිටත් වීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 50 ක විශේෂ තැන්පතු ගිණුමක් ආරම්භ කිරීමට විදේශ සබඳතා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය අවාධනය යොමුව තිබෙනවා.

එහි නියමු ව්‍යාපෘතිය ලෙස විදේශ රැකියා සඳහා පිටත් වීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයින්ගේ නමින් විශේෂ තැන්පතු ගිණුමක් විවෘත කර ඊට ඇමරිකානු ඩොලර් 5 මූලික මුදලක් කාර්යාංශය විසින් තැන්පත් කෙරෙනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *