ත්‍රීරෝද සංගමයේ සභාපතිට පහරදී ඝාතනය කළ සිද්ධියේ මැර ලීසිං ආයතනය ගැන ….

(11.06.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

ත්‍රීරෝද සංගමයේ සභාපති පහරදී ඝාතනය කළ සිද්ධියේ ලීසිං ආයතනය ගැන අනාවරණය වූ අලුත්ම කතාව මෙන්න

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට අද (11) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සුනිල් ජයවර්ධන මහතාට මිරිහාන ප්‍රදේශයේදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබුණේ ඊයේ (10) පස්වරුවේදීයි.

බරපතල තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වුණා.

තම සංගමයට අයත් ත්‍රීරෝද රථ හිමියෙකුගේ රථයක් කල්බදු සමාගමකින් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදීයි එම සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදුකර තිබුණේ.

Chanmil Investment (Pvt) Ltd

මිරිහාන ප්‍රදේශයේ පිහිටි ලීසිං සහ ණය පහසුකම් ලබාදෙන පෞද්ගලික ආයතනයක්, හිඟ වාරික නොගෙවීම හේතුවෙන් අදාළ සංගමයේ ත්‍රීරෝද රථ රියදුරෙකුගේ රථය නැවත එම ආයතනය වෙත රැගෙනවිත් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා අදාළ ත්‍රීරෝද රථ හිමිකරු ඊයේ (10) පස්වරු 06:20 ට පමණ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සමඟ එම ආයතනයට ගොස් තිබුණා.

අදාළ මූල්‍ය ආයතනය සිදුකළ බව කියන අකටයුතුකම් ගැන එහිදී ඇති වූ සංවාදය සුනිල් ජයවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමේ ප්‍රචාරය කර තිබුණා.

වාරික තුනක එකතුව රුපියල් 31,200 ක් වූවද, මෙම මූල්‍ය සමාගම එම කාලයට අදාළව පොලියද එකතු කර රුපියල් 35,000 ක් එකවර ගෙවන ලෙස දන්වා අදාළ ත්‍රිරෝද රථය පැහැරගෙන තිබුණේ රජය විසින් ත්‍රීරෝද රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සඳහා සහනයක් ලබාදී තිබූ පසුබිමකයි.

සුනිල් ජයවර්ධන මහතාට පහරදෙන ආකාරය ඒ අසලින් ගමන් කළ අයෙකු ජංගම දුරකතනයකින් පටිගත කර තිබූ අතර, එය මේ වනවිට මාධ්‍යයටද නිකුත් වී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණ වුණේ මිරිහානේ මෙන්ම ප්‍රදේශ කිහිපයක මෙම ලීසිං ආයතනයේ ශාඛා පිහිටා තිබුණත්, ඔවුන් මහ බැංකුවේ ලියාපදිංචිය ලබාගෙන නොමැති බවයි.

මේ අතර, කොරෝනා වසංගත තත්ත්වය බලපෑ කාලසීමාවේදී රජය විසින් සහන සලසන ලෙසට දුන් නියෝග ඇතැම් රාජ්‍ය සහ පෞද්ගලික, වානිජ බැංකු ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් චෝදනා එල්ල වනවා.

ඊයේ (10) පැවති කැබිනට් හමුවේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති අතර, ඉදිරි සතියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි කොළඹ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++

mawbima.lk

+++++++++++++++++++++

සුනිල් ජයවර්ධන ඝාතනය : සිද්ධියට මැදි වූ ත්‍රීරෝද රථ හිමිකරු ඇත්ත හෙළි කරයි

(11.06.2020 – 19:44 +0530 – lankaleadnews.com)

සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාව මිරිහානේදී පහරදී ඝාතනය කර තිබේ.

එම සිද්ධියට මැදි වූ ත්‍රීරෝද රථ රියදුරු වන මංජුල කිත්සිරි මහතා අද (11) යූටියුබ් සමාජජාල වෙබ් අඩවියක අදහස් දක්වා තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ත්‍රිරෝද රථයේ වාරික ත්‍රිත්වයක් නොගෙවූ බැවින් සිය ත්‍රිරෝද රථය බලහත්කාරයෙන් පැහැර ගත් බවත් මාර්තු, අප්‍රේල් හා මැයි මාසවල පමණක් වාරිකය නොගෙවූ බවත් ඔහු පවසයි.

පෙබරවාරි 18 වනදා සිය වාරිකය ගෙවූ බවත් මාර්තු 18 වන දින වාරිකය ගෙවීමට තිබුණද ඒ වන විට රටේ පැවති තත්වය හමුවේ රටම වසා දැමීම සිදු වූ නිසා එය ගෙවා දැමීමට නොහැකි වූ බවද ඔහු වැඩිදුරටත් සඳහා කරයි.

+++++++++++++++++++++

ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිව පහරදී මරයි – ලිසිං කොම්පැණියක මැරයන් ප්‍රසිද්ධියේ මිනී මැරූ හැටි හෙළිවෙයි!

(11.06.2020 – colombotribune.com)

මිරිහාන ප්‍රදේශයේදී ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ, ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට පහර දී ඝාතනය කර තිබෙනවා.

මිරිහාන ප්‍රදේශයේ කල්බදු සමාගමක් තුළදී ත්‍රීරෝද රථයක් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (10) රාත්‍රීයේ පහරදීම සිදුව ඇතැයි පොලීසීය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

පහරදීම සිදුවූ අවස්ථාවේ වීඩියෝව :

+++++++++++++++++++++

+++++++++++++++++++++

සීසර්මැරයෝ සුනිල්ව උස්සලා යකඩ ගේට්ටුවේ ගැහුවා

(12.06.2020 – mawbima.lk)

“සීසර්කාරයෝ සුනිල්ව උස්සලා යකඩ ගේට්ටුවේ ගැහුවා”

බිම වැටුණු දුරකථනය ඇහිඳ ගැනීමට නැමුණු ඔහු උස්සා ෆිනෑන්ස් සමාගමේ ඉදිරිපස යකඩ ගේට්ටුවේ ගැසුවා. ඉන් පසු බිම ඇදවැටුණු ඒ මහතාගේ හිස එතැන තිබූ කොන්ක්‍රීට් බිමේ වැදුණා. ඉන්පසුව අට දෙනකු (08) විනාඩි විස්සක් (20) පමණ අතින් පයින් සහ කොස්සකින් ඔහුට පහර දෙනු අපි දැක්කා.

ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ මැරප්‍රහාරයට ලක්වන අයුරු ඇසින් දුටුවකු ‘මව්බිම’ට ඊයේ (11) පැවසුවේය.

මේ අතර සිද්ධියට අදාල ත්‍රිරෝද රථයේ හිමිකරුවන මංජුල කිත්සිරි මහතා මෙසේ සඳහන් කළේය :

“ණය හා වාරික මුදල් ගෙවන්න රජයෙන් සහන කාලයක් දීලා තියෙනවා නේද කියලා ඇහුවා. වාරික හිඟ මුදල් ගෙවලා වාහනේ අරන් යන්න කියලා ඒ අය කීවා. රුපියල් තිස් දහසක් (30,000) සහ සීසර් ගාස්තු වශයෙන් රුපියල් හාරදහස් හත්සිය (4700) ගාණකුත් ගෙවන්න කියලා කිව්වා. සුනිල් මහත්තයට මේ ගැන මම ගිහින් කිව්වා. ඒ ගැන අහන්න තමයි අපි කාර්යාලයට ගියේ.”

“අපි එළියට එනකොට පිටුපස්සෙන් පන්නගෙන ආපු සීසර්ලා අපිට පන්න පන්න පහර දුන්නා. සුනිල් අයියා බිමට වැටුණා. බිම වැටිලා හිටිය සුනිල් අයියට පොලුවලින් ගහගෙන ගහගෙන ගියා.” යැයි ඇඹුල්දෙණිය ප්‍රදේශයේදී සීසර්ලාගේ පහරකෑමෙන් මියගිය ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය සම්බන්ධව අදහස් දැක්වූ මංජුල කිත්සිරි මහතා තවදුරටත් කියා සිටියේය.

මෙම පහරදීම්වලින් පනස්තුන් (53) හැවිරිදි තිදරු පියකු වූ සුනිල් ජයවර්ධන මහතා මියගිය අතර පොලිසිය ඝාතනයට සම්බන්ධ බවට සැකකරන අටදෙනකු (08) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මියගිය සුනිල් ජයවර්ධන මහතා ලබන මහ මැතිවරණයට ස්වාධීනව තරග කිරීමේ අපේකෂාවෙන් පසු වූවෙකි.

මෙම ත්‍රිරෝද රථ සම්බන්ධව කටයුතු කළ ලීසිං ආයතනය වන ‘සී/ස චන්මිල් ඉන්වෙස්ට්මන්ට් සමාගම’ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත ආයතනයක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවැසීය.

ඝාතනයට ලක්වූ ජයවර්ධන මහතා කැස්බෑව, තානායම පාරේ පදිංචි කරුවෙකි.

ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයකු ලබාගෙන තිබූ ත්‍රිරෝද රථයක් සඳහා වාරික හා පොලී සම්බන්ධව දින හතරක (04) පමණ කාලයක් තිස්සේ අදාළ ෆිනෑන්ස් සමාගම හා එම සාමාජිකයා අතර ප්‍රශ්නයක් තිබී ඇත.

ඒ අනුව ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා දෙපාර්ශ්වය අතර ගැටලුව සාකච්ඡා කර විසඳා ගැනීමට මැදිහත් වී තිබේ.

රජය මඟින් මාස කිහිපයකට දී තිබෙන වාරික හා පොලී ගෙවීමේ සහනය සම්බන්ධ මෙහිදී ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා අදාළ මූල්‍ය ආයතනයට පෙන්වාදී ඇත. කෙසේ වෙතත් ඒ සම්බන්ධ කතා බහ අතරතුර එම ආයතනයට සම්බන්ධ ‘සීසර්’ලා (වාහන උස්සන පුද්ගලයන්) ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයාට පහර දී තිබේ. එම පහරදීම්වලින් තුවාල ලැබූ ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කර සිටියදී පෙරේදා (10 දා) රාත්‍රියේ මියගොස් ඇත.

මියගිය සුනිල් ජයවර්ධන මහතා එළැඹෙන මහ මැතිවරණයට පාපන්දුව ලකුණින් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයකු ලෙස තරග වැදීමට නියමිතව සිටියදී මෙලෙස පහරකෑමට ලක්ව මියගොස් තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් අදහස් පළ කළ අදාළ ෆිනෑන්ස් පහසුකම් ලබාගත් ත්‍රිරෝද රථ හිමිකරු වන මංජුල කිත්සිරි මහතා ‘මව්බිම’ට විස්තර කළේ මෙලෙසිනි :

“මමත් මගේ ත්‍රීවීල් රථය ලීසිං වාරික ‘ඇරියස්’ එකක් තියෙනවා කියලා මේ කොම්පැනියෙන් ගොනාවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අපිට මේ ත්‍රීවීල් රස්සාව හරියට කරගන්න බැරිවුණා. සල්ලි තිබුණේ නෑ වාරික ගෙවන්න. රජයෙන් මාස හයක (06) සහනයක් පවා ලබා දුන්නේ ඒ නිසයි. මගේ වාහනය ‘සීස්’ කරලා මේ ආයතනයට ගෙනාවාම මමයි මගේ නෝනයි ඇවිත් අපේ දුක කිව්වා ගෙවන්න විධියක් නෑ කියලා. රජයෙන් සහන කාලයක් දීලා තියෙනවා නේද කියලත් ඇහුවා. ආයතනයේ අය අපිට කිව්වා වාහනේ ගෙනියන්න වාරික හිඟ මුදල ගෙවන්න කියලා. රුපියල් තිස්දහසක් සහ සීසර් ගාස්තු ‘වශයෙන් රුපියල් භාරදහස් හත්සිය ගාණකුත් ගෙවන්න කියලා. අපි කිව්වා ගෙවන්න විධියක් නෑ කියලා. ගෙවනකන් දෙන්නේ නෑ කියලා මේ අය අපිව එළවා ගත්තා.”

“මම ගිහින් අපේ සංගමයේ සභාපති සුනිල් මහත්තයට මේ විස්තරේ කිව්වා. එතකොට සුනිල් මහත්තයා කිව්වා අපි ගිහින් කතා කරමු කියලා. අපි මේ ගැන රජයටත් දැනුම් දුන්නා. නිලධාරියෙක් දුරකථනයෙන් මේ කොම්පැනියට කතා කරලා කිව්වා වාහනේ වෙන ‘ඇරියස්’ නැත්නම් මට භාර දෙන්න කියලා. මමයි, සභාපතිතුමයි, ලේකම්තුමයි වාහනේ ගන්න ඇඹුල්දෙණිය ආයතනයට ආවාම වාහනය දෙන්න බෑ කියලා කිව්වා. අපි එළියට එනකොට පිටිපස්සෙන් පන්නගෙන ඇවිත් සීසර්ලා අපිට හොඳටම ගැහුවා. මම මෙහාට වෙන කොට සභාපතිතුමා වැටුණා. හත් අට දෙනෙක් සුනිල් මහත්තයාට පොලුවලින් බිම දාගෙන ගැහුවා.”

“රෝහල්ගත කළාට පස්සේ සුනිල් මහත්තයා මිය ගියා. මේක හරි අසාධාරණයක්. මම වෙනුවෙන් පෙනී හිටපු ඒ මහත්තයාගෙ වටිනා ජීවිතය මේ විධියට අවසාන වීම දරාගත නොහැකි දුකක්.”

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ ලේකම් මහින්ද කුමාර මහතා :

“අපි මේ ආයතනයට ගොස් ත්‍රිරෝද රථයක් සම්බන්ධ ගැටලුවක් කතා කරලා එළියට ආවා. අපි ආපු ත්‍රීවීල් එකට නැඟලා යන්න හදනකොට සුනිල් මහත්තයාව එළියට ඇදලා අරන් ගහන්න පටන් ගත්තා. මමත් පැනලා බේරන්න හදනකොට අපිට හොඳටම ගැහුවා. මගේ අත් කකුල් සේරම තුවාලයි. බලන් හිටපු අය 119 ට කතා කරලා පොලිසියට කිව්වේ නැත්නම් අපි තුන්දෙනාවම උන් මරනවා. යන්තම් පණ බේරුණේ. මේ කොම්පැනිය රජයේ ලියාපදිංචි එකක් නොවෙයි. බලධාරීන් මේ මැරයන්ට නිසි දඬුවම් දෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.”

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා :

“කොරෝනා වසංගත කාල සීමාව තුළ රජය ණය සහන ලබාදුන්නා. මේ ත්‍රිරෝද රථ රියැදුරාටත් වයිරස ව්‍යාප්තිය නිසා අදාළ වාරික තුනක් (03) පමණ ගෙවාගත නොහැකිව අසරණ වී සිටියා. එහෙම තිබියදී තමයි මේ සීසර්ලා පහරදීම කළේ. ඔහුගේ අභාවය මහ අපරාධයක්. මේ පිළිබඳ නිසි පරීක්ෂණයක් කරන්න. ඒ දරු පවුල අසරණ වෙලා.”

සුනිල් ජයවර්ධන මහතාට මැර ප්‍රහාරයක් එල්ල වූයේ 10 වැනිදා සවස 6.00 ට පමණයි. නුගේගොඩ සිට සුනිල් ජයවර්ධන මහතා සහ සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමයේ ලේකම් ත්‍රිරෝද රථයකින් පැමිණෙන අවස්ථාවේ අදාළ ෆිනෑන්ස් සමාගම අසලදී සිදු වූ බහින්බස් වීම දුර දිග යෑමෙන් මෙම මරණය සිදු වූ බව එම ස්ථානයට රැස් වූ පිරිස් අප සමඟ කීය.

සිද්ධිය ඇසින් දුටුවන් කියා සිටියේ ෆිනෑන්ස් සමාගම ඇතුළේ සිටි අයකු පහර දුන් බවයි. එම පහර කෑ සුනිල් ජයවර්ධන මහතා බිම ඇද වැටී ඇත. ඔහුගේ ජංගම දුරකථනය පාරට විසි වී තිබේ. වැටුණු දුරකථනය ඇහිඳ ගැනීමට නැමුණු ඔහු උස්සා ෆිනෑන්ස් සමාගමේ ඉදිරිපස යකඩ ගේට්ටුවේ ගැසුවා. ඉන් පසු බිම ඇදවැටුනු ඒ මහතාගේ හිස එතැන තිබූ කොන්ක්‍රීට් බිමේ වැදුණා. ඉන්පසුව අට දෙනකු විනාඩි විස්සක් පමණ අතින් පයින් සහ කොස්සකින් ඔහුට පහර දුන්නා.

කොට්ටාව පාර, නුගේගොඩ යන ලිපිනයෙහි පිහිටි ‘චැන්මිල් ඉන්වෙස්ට්මන්ට්’ නමැති ෆිනෑන්ස් ආයතනය වෙත රැගෙන ගොස් තිබූ ෆිනෑන්ස් වාරික නොගෙවන ලද ත්‍රිරෝද රථයක් රැගෙන ඒම සඳහා එම ආයතනය වෙත ගිය ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද සංගමයේ සභාපතිවරයාට අමානුෂික ලෙස අතින්පයින් හා පොලුවලින් පහර දී ඝාතනය කළ බව කියන එම ආයතනයේ කළමනාකරුවකු ඇතුළු සැකකරුවන් 08 දෙනකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් මෙම මස 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ (11 දා ) නියෝග කළේය.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අංගොඩ, හිඹුටානේ පදිංචි ප්‍රදීප් කුමාර කාරියවසම්, මහරගම ගොඩිගමුව පදිංචි චමිල මධුශංඛ, රාජගිරියේ බණ්ඩාරනායක පුර පදිංචි කමල් සජාන් ගයාෂන, රාජගිරියේ පොල්වත්තේ පදිංච ගිහාන් ලක්මාල්, රාජගිරියේ නාවල පාරේ පදිංචි ‍දොන් සුරේෂ් කුමාර, මහරගම ගොඩිගමුවේ පදිංචි සුබෝධ කාලිංග මධුශංක, රාජගිරියේ ඔබේසේකරපුර පදිංචි කැලුම් ප්‍රභාත් දේශාන් හා බොරලැස්ගමුවේ කටුවාවල පදිංචි අමිල් උදයංග නමැති සැකකරුවන් අට දෙනෙකි.

නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා ඊයේ (11 දා) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය කළ අතර කළුබෝවිල මෘත ශරීරාගාරයේ තිබෙන ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද කළුබෝවිල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය.

තවද ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර ඔහුගේ බිරියට භාරදෙන ලෙසට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනගමනය කරමින් දේහය කැස්බෑව සුසාන භූමියේදී මිහිදන් කරන ලෙසද නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා මිරිහාන පොලිස් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ කොස්තාපල්වරුන් කෝසල (82128) හා බණ්ඩාර (84638) යන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී පොලිසිය අධිකරණය වෙත ‘බී’ වාර්තාවක් ගොනු කරමින් කියා සිටියේ ඉහත කී සුනිල් පෙරේරා මහතාගේ හිතවතකුගේ ත්‍රිරෝද රථයක් ඉහත කී ෆිනෑන්ස් ආයතනය මඟින් රැගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමසීම සඳහා ඔහු තවත් දෙදෙනකු සමඟ එම ආයතනය වෙත ගිය අවස්ථාවේදී ඇති වූ බහින්බස්වීමක් අතරතුර සැකකරුවන් ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති බවත් පසුව ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවත්ය.

සැකකරුවන් වෙනුවෙන් ප්‍රදීප් සිල්වා, මංජුල රණවීර, වෙනුර යොහාන් ගමගේ, ශ්‍යාමලි ආතාවුදගේ, අජිත් කාරියවසම්, පී ඒකනායක, දනෝෂා පී. පෙරේර යන නීතිඥ මහත්ම මහත්මීහු පිරිසක් පෙනී සිටියහ ෴

+++++++++++++++++++++

මරා දැමීමට පෙර ‘ත්‍රීරෝද රථ සභාපති පටිගත කළ වීඩියෝව’ හමුවේ – ජනපතිට පණිවිඩයක් දීලා

(11.06.2020 – 16:03 +0530 – truenews.lk)

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

පහර දීමෙන් ජිවිතක්ෂයට පත්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා එම කල්බදු ආයතනයේ නිලධාරින් සමග සිදුකළ සාකච්ජා කරමින් සිටියදී ගනු ලැබූ වීඩියෝවක් ලැබී තිබෙනවා.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරන ඒ මහතා සදහන් කරන්නේ කල් බදු ආයතන මැරයන් යොදා වාහන පැහැරගැනීම සිදු කිරීම නවත්වන ලෙසයි.

එම වීඩියෝව :

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=IIZASqWp72k

+++++++++++++++++++++

සුනිල් ජයවර්ධන ඝාතනයට මුල් වූ ලීසිං ආයතනය ගැන මහබැංකුවෙන් විමර්ශන

(12.06.2020 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ලක්වීමත් සමඟ එම සිද්ධියට මුල් වූ ලීසිං සහ ණය පහසුකම් ලබාදෙන ආයතනය පිළිබඳව මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, වාහන ණය පදනම මත ලබාදෙන මෙවැනි ආයතන මූල්‍ය සමාගම් හෝ ලීසිං සමාගම් ගණයට අයත් නොවන බවයි මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් අද (12) උදෑසන සඳහන් කළේ.

එය එසේ වූවද, රටේ මූල්‍ය කටයුතුවලට මැදිහත්වීමත් සිදුකරන අවස්ථාවලදී ඒ පිළිබඳව සොයා බැලීමට මහ බැංකුව සතුව ප්‍රතිපාදන පවතිනවා.

ඊයේ (11) පොලිසිය සඳහන් කළේ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ලක්වීමේ සිද්ධියට අදාළ පෞද්ගලික ආයතනයේ හිමිකරු සම්බන්ධයෙන්ද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) නියෝග කළා.

ඝාතනයට ලක්වූ ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය මේ වනවිට කැස්බෑවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ද අද (12) පෙරවරුවේ මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා.

එමඟින් සඳහන් කර තිබුණේ මෙම ඝාතනය පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර, සිද්ධිය සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

සුනිල් ජයවර්ධනගේ අවසන් කටයුතු අනිද්දා කැස්බෑවේදී

(12.06.2020 – 18:57 +0530 – hirunews.lk/sinhala)

පහරදී ඝාතනය කළ, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (14) කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

තම සංගමයට අයත් ත්‍රිරෝද රථයක් මිරිහාන ප්‍රදේශයේ පිහිටි කල්බදු සමාගමකින් නිදහස් කරගැනීමට ගිය අවස්ථාවේදී එහි නියෝජිතයන් සහ සීසර්වරුන් පිරිසක් සිදුකළ පහරදීමකින් පෙරේදා (10) පස්වරුවේ ඔහු ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ දේහය ඊයේ (11) පස්වරුවේ කැස්බෑවේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආ අතර, දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝ රත්නය, දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු බොහෝ පිරිසක් පැමිණ සිටියා.

මෙම ඝාතන සිද්ධියට අදාළ මූල්‍ය සමාගම සහ එහි හිමිකරු සම්බන්ධයෙන්ද පොලීසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගැනීමද මේ වනවිට ආරම්භ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා වෘත්තිය සමිති කිහිපයක් අද (12) පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහෙත් ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක එක්ව අදහස් පළ කිරීමට උත්සාහ කිරීමත් සමඟ උණුසුම් තත්වයක් හටගත්තා.

+++++++++++++++++++++++++++++++++++

කල්බදු සමාගම් වාහන බලෙන් රැගෙන යෑම මංකොල්ලකෑමක් – යු. ආර්. ද සිල්වා

(12.06.2020 – 11:38 +0530 – sinhala.adaderana.lk)

කල්බදු සමාගම්වල ගෙවිම් පැහැර හැර ඇති වාහනයක් බලහත්කාරයෙන් රැගෙන ගියහොත් එය මංකොල්ලකෑමක් ලෙස සැලකිය හැකි බව ජනාධිපති නීතිඥ යු. ආර්. ද සිල්වා මහතා පවසයි.

ගෙවිම් පමාවීමක් වූ අවස්ථාවක වාහනය පැහැර ගැනීමට හෝ පුද්ගලයින්ට පහරදීමට කිසිදු නිත්‍යානුකූල අයිතියක් එම සමාගම්වලට නොමැති බවද ඊයේ (11) ‘අද දෙරණ’ වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ වාරික ගෙවිම් සම්බන්ධයෙන් ආදාළ කල්බදු සමාගම් සමග ඇති කර ගත් ගිවිසුම ප්‍රකාරව පමණක් ක්‍රියාකිරිමේ නීතිමය වටපිටාවක් ආදාළ සමාගම් සතු වන බවය.

“ගෙවීම් පැහැර හැරිම්වලදී හිමිකරු විසින් වාහනය සඟවා ගෙන සිටීම හෝ එහි අමතර කොටස් ගැලවීම සිදු නොකළ යුතුයි”.

අදාළ වාහනය කල්බදු සමාගම විසින් බලහත්කාරයෙන් රැගෙන යාමක් සිදුවුවහොත් එයට ප්‍රතිවිරෝධය දැක්වීම හේතුකොට ගෙන යම් අවස්ථාවක දී පහරදීමන් සිදුකළ හොත් එය කරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිමය වශයෙන් ක්‍රියා කළ හැකි බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මේ අතර, පසුගිය කාලසීමාව තුළ ඇතිවූ කොරෝනා වසංගතය හේතුවෙන් වාහන සඳහා ගෙවීමට ඇති කල්බදු මුදල සහ ඊට අදාළ පොළීය ගෙවීම සඳහා යම් සහන කාලයක් ගනු දෙනුකරුවන්ට ලබාදෙන ලෙස රජය විසින් මූල්‍ය සමාගම් වෙත දැනුම් දී තිබූ බව ඒ මහතා පැවසීය.

ලියාපදිංචි නොවූ ව්‍යාජ ආයතන පිළිබඳ ව සැලකිලිමත් විය යුතු බවත් එවැනි සමාගම් පවත්වා ගෙනයාම නිත්‍යානූකූල නොවන බවත් ජනාධිපති නීතිඥ යු. ආර්. ද සිල්වා මහතා වැඩිදුටත් පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙන්න එපා – ජනපතිගෙන් පොලීසියට නියෝග

(12.06.2020 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කර තිබෙනවා.

ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් නොකරන අතර ඔවුන් පොලීසියට පැමිණිලි කරන්නේ වාහනය අත්පත් කරගැනීමෙන් පසුවයි.

බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැරගැනීම් ඇතැම් විට බරපතල ප්‍රචණ්ඩත්වයට මුල් වී තිබෙනවා.

අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු භාර නොගන්නා ලෙසටයි ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත්තේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය සමග පීඩාවට පත් විවිධ කණ්ඩායම් වලට රජය ප්‍රදානය කළ සහන සමූහය යටතේ ත්‍රීවිල් රථ හිමියන් විසින් ගෙවනු ලබන ලීසිං ණය වාරික අයකරගැනීම මාස 6 කට අත්හිටුවනු ලැබුවා.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කරන ලද 16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියේ ඒ බව පැහැදිලිව සඳහන් වනවා.

එසේ තිබියදී ණය වාරිකය නොගෙවීම මත වාහන අත්පත් කරගැනීම රජයේ නියමය කඩ කිරීමක් වන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

එබැවින් ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කරගැනීමට ඉඩ නොතබන ලෙස ද ඔහු පොලීසියට දැනුම් දී තිබෙනවා.

***************************************

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත භාර DIG අද (11) දුන් සාක්ෂිය

(11.06.2020 – 21:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අද (11) පෙනී සිටියේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතායි.

පෙරවරු 10 ට පමණ කොමිසම හමුවේ පෙනී සිටි ඔහුගෙන් මේවන විටත් ප්‍රශ්න කරමින් සිටිනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ කාලවකවානුවේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නන්දන මුණසිංහ මහතා සාක්ෂි දුන් අවස්ථාවේදී රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥවරිය විමසුවේ ප්‍රහාරයට පෙර තව්හිද් ජමාත් සම්ංවිධානයේ යම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැනුවත් වූයේද යන්නයි.

පසුගිය වසරේ අප්‍රේල් 9 වැනිදා අතිශ්‍ය රහසිගත ලිපියක් පොලිස්පතිවරයා විසින් තමන් වෙත යොමුකර තිබුනද රාජකාරී කටයුත්තක් සදහා කාර්‍යාලයෙන් පිටතට ගොස් සිටි නිසා අදාල ලිපිය ඊට පසු දින අප්‍රේල් 10 වැනි දින පෙරවරු 10 ට පමණ විවෘත කල බව සාක්ෂිකරු එහිදී කියා සිටියා.

එම ලිපිය ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත යොමුව තිබූ බව සාක්ෂිකරු පැවසුවා.

එය සකසා තිබුනේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් සැපයූ තොරතුරක් මත බවද එම ලිපියේ සටහන් වූ බව නන්දන මුණසිංහ මහතා සදහන් කළා.

නන්දන මුණසිංහ මහතා එහිදී කිව්වේ, ජාතික බුද්ධි ප්‍රධානියා විසින් එවන ලද ලිපිය සමඟ එවක පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් අත්සන සහිත මුල් පිටපත ද තමන් වෙත එවා තිබුණු බවයි.

එමෙන්ම එම ලිපියෙහි “Secret and Top priority” හෙවත් රහසිගතයි, ඉහළ ප්‍රමුඛතාවයක් හිමි විය යුතුයි යනුවෙන් සඳහන් වූ බවත් ඔහු කියා සිටියා.

එය එවක පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අත් අකුරෙන් සටහන් කර තිබු බවත් නන්දන මුණසිංහ මහතා එහිදී ප්‍රකාශ කළා.

එසේම එම ලිපියෙහි FNA ලෙස සටහන් කර එමගින් ‘for necessary action’ හෙවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්න යනුවෙන් සඳහන් ව තිබූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී පැවසුවා.

එහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ මුල් අත්සන හා සටහන ඇතුලත් ලිපිය ඔබ වෙත ලැබුණාට පසු පොලිස්පතිවරයා අමතා වැඩිදුර තොරතුරු විමසුවේද යන්නයි.

තමන් පොලිස්පතිවරයාගෙන් ඒ පිළිබඳ විමසීමක් නොකල බවත්, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට පවා මරාගෙන මැරෙන ප්‍රහාරයක් පළමු වරට එල්ල කිරීමට වසර දහයක් පමණ ගතවු බැවින් ලිපියේ සඳහන් ආකරයේ සංවිධානයක් සුලු කාලයකදී එතරම් මට්ටමක නැතැයි තමන් සිතූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළා.

එහිදී කොමිසම විමසුවේ මෙම ලිපියේ අන්තර්ගත වුනේ බුද්ධි තොරතුරු බැවින් බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් හෝ වැඩිදුර තොරතුරු විමසුමක් නොකලේද යන්නයි.

ඊට පිළිතුරු දුන් නන්දන මුණසිංහ මහතා පැවසුවේ ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ඇමතීමක් නොකල බවත් දින දෙකකින් පමණ පසු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්‍ත ජයවර්ධන මහතා අමතා මේ පිළිබඳ විමසීමක් කල බවයි.

රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් විමසුවේ මෙම ලිපිය ලැබීමට පෙර ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් අන්තවාදය පැවති බවට ඔබ සහභාගී වූ වැඩමුළු හෝ සම්මන්ත්‍රණවලදී සාකච්ඡාවට ලක්වුනේද යන්නයි.

එවැනි අන්තවාදි කටයුතු සමබන්ධයෙන් කතාබහ නොකලද ශ්‍රී ලාංකිකයකු සිරියාවේදි ත්‍රස්ත ක්‍රියාවකට සමබන්ධ වි ජීවිතක්ෂයට පත්වු බව ද නන්දන මුණසිංහ එහිදී පැවසුවා.

කොමිසම එහිදී ප්‍රශ්න කලේ 2019 වසරේ ජනවාරි මස 16 වනදා වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවත් එහිදී මුස්ලිම් ජාතික සැකකරුවන් සිවු දෙනෙකු (04) අත්අඩංගුවට ගත් බවත් පොලිස්පතිවරයාගේ ලිපිය ලැබෙන විට ඔබ දැන සිටියේද යන්නයි.

ඒ පිළිබද තමන් දැනුවත්ව සිටියද එහි වැඩිදුර තොරතුරක් CID ය තමන් වෙත ලබාදී නොතිබු නිසා පොලිස්පතිවරයා එවූ ලිපිය හා වනාතවිල්ලුවේ සිද්ධිය අතර තමන්ට සැකයක් නොතිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා එහිදී පැවසුවා.

කොමිසම එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළේ එවක පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් එවු මුල් ලිපිය මේ වනවිට තමන් සතුව ඇත්ද යන්නයි.

එම ලිපිය පසුගිය වසරේ ජුනි දහවනදා (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කල බව සාක්ෂිකරු සදහන් කලා.

ප්‍රහාරයෙන් දෙමසකටත් වඩා වැඩි කාලයක් අදාල ලිපිය ගොනුගත නොකර තමන් සන්තකයේ තබාගත්තේ ඇයිදැයි කොමිසම සාක්ෂිකරුගෙන් පෙරලා ප්‍රශ්න කලා.

ඊට පිළිතුරු දෙමින් නන්දන මුණසිංහ මහතා සදහන් කලේ ලිපි ගොනුගත කර තබාගත යුතු ලෙස නීතියක් නැති නිසා එය තමන් සන්තකයේ තබාගත් බවයි.

එමෙන්ම ලිපියේ වලංගුතාවක් නැත්නම් ඇතැම්විට එය විනාශ කර දමන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී පැවසුවා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමතිය පල කළ කොමිසම පොලිස්පතිවරයා අතිශ්‍ය රහසිගත ලිපියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදු කළ එම ප්‍රකාශය පිළිබඳව සිය අප්‍රසාදයද පල කළා.

මෙහිදී රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥවරිය ප්‍රශ්න කලේ, පොලිස්පතිවරයාගේ ලිපිය ලැබුනු පසු ඒ සම්බන්ධයෙන් කිසියම් සාකච්ඡාවක් ඔහු සමග පැවත්වුවේද යන්නයි.

ප්‍රහාරය සිදු වන තෙක් එලෙස කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වු බව සාක්ෂිකරු සදහන් කලා.

ඔහු වැඩිදුරටත් සදහන් කලේ, පසුගිය කාලය පුරා මාධ්‍ය ඔස්සේ අනාවරණ වූ තොරතුරු අනුව පෙනීයන්නේ රාජ්‍ය බුද්ධි සේවය විසින් මෙම මුස්ලිම් අන්තවාදී සංවිධානය පිලිබදව කර ඇති දැනුවත් කිරීම් පිලිබද වැඩිදුරටත් සාකච්ඡාවක් පැවැත්වූවේනම් පාස්කු ඉරුදින විනාශය අවම කරගැනීමේ පැහැදිලි හැකියාවක් පැවති බවයි.

+++++++++++++++++++++

(11.06.2020 – 20:01 +0530 – sinhala.adaderana.lk)

මේ අතර මොහොමඩ් ඊබ්‍රාහීම් ඉල්හාම් මොහොමඩ්ට අයත් මාතලේ හතමුණ ගාල ප්‍රදේශයේ අක්කර 25 මෙම කෘෂි ඉඩමෙහි ප්‍රදේශවාසීන් විසින් ගම්මිරිස් නෙලීමට ගොස් ඇති බවට පසුගිය දින කිහිපයේදී ප්‍රාදේශීය ලේකම්වරියට පැමිණිලි ලැබී තිබේ.

මෙම ඉඩම පිළිබඳ තොරතුරු පසුගිය අප්‍රේල් මස තිස්වැනිදා පොලිසිය හා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේය.

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයට පෙර අනතුරු ඇගවීම් ලැබුණු බවට කොමිසමේදී හෙළිවෙයි

(12.06.2020 – 14:11 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර දින ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට නිශ්චිත තොරතුරු ලැබී තිබුණු බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඊයේ (11) ලබාදුන් සාක්ෂි අනුවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (11) පෙරවරු 10:00 සිට පස්වරු 07:10 පමණ වන තෙක් ඔහු සාක්ෂි ලබාදුන්නා.

මෙහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ තවුහිද් ජමාත් සංවිධානය ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට මීට පෙර තොරතුරු අනාවරණය වූයේද යන්නයි.

ඊට පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු කියා සිටියේ පසුගිය වසරේ අප්‍රේල් මස 20 වැනිදා පස්වරු 05:47 ට පමණ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගෙන් ඇමතුමක් ලැබුණු අතර, එහිදී පාස්කු ඉරිදා දින හෙට බැවින් ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් දේවස්ථානයේ ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලා සිටි බවයි.

එය එසේ සිදුකරන බව පවසා දුරකථනය විසන්ධි කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා.

පසුව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන එදින පස්වරු 05:55 ට පමණ ඇමතුමක් ලබා ගනිමින් මීට පෙර ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව දේවස්ථාන වලට සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් සිදුවිය හැකි බැවින් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසට ඉල්ලා සිටි බව ද සාක්ෂිකරු කියා සිටියා.

එමෙන්ම කල්මුණේ සිදුවූ යතුරුපැදි පුපුරුවා හැරීම, පෙරහුරුවක් ලෙස සිදුකළ බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවද, ඒ මොහොතේදී නිලන්ත ජයවර්ධන සඳහන් කළ බව සාක්ෂිකරු පැවසුවා.

ත්‍රස්ත සංවිධානයක් සාක්ෂි ඉතිරි කරමින් එලෙස පුපුරුවා හැරීමක් සිදුකරන්නේද යන්න තමන් නිලන්ත ජයවර්ධනගෙන් විමසා සිටි බවත්, එහිදී ඔහු සඳහන් කළේ ඒ සියලු පරීක්ෂණ සිදුකළ බවත් 21 වැනිදා ප්‍රහාරය විය හැකි බවට පොලිස්පති දැනුවත් කළ බවයි.

කතෝලික දේවස්ථානවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට නිලන්ත ජයවර්ධන විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව පැවසුවේද යන්න එවිට කොමිසම විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදුන් සාක්ෂිකරු සඳහන් කළේ කතෝලික දේවස්ථානවලට 21 වැනිදා ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි.

පසුව කොමිසම විමසා සිටියේ එහිදී කාදිනල් හිමියන්ව දැනුවත් කිරීමට කටයුතු නොකළේ මන්ද යන්නයි.

සාක්ෂිකරු පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ තමන් එලෙස දැනුම්දීමක් සිදු නොකළ බවයි.

පසුව කොමිසම විමසා සිටියේ 21 වැනිදා ප්‍රහාරය දැනුවත් වූ පසු එය වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.

21 වැනිදා ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තමා යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් 04 දෙනා දැනුවත් කළ බව සාක්ෂිකරු සඳහන් කළා.

ඒ අතරතුර පොලිස්පතිවරයා තමන්ට ඇමතුමක් ලබාදී නිලන්තගෙන් පණිවුඩයක් ලැබුණේද යන්න විමසා සිටි බවත්, එය ඔව් යනුවෙන් තමන් පිළිතුරු දුන් බවත් සාක්ෂිකරු කොමිසමට සඳහන් කළා.

21 වැනිදා උදෑසන 08:29 ට ප්‍රහාරය සිදුවීමට පෙර නිලන්ත යළිත් දුරකථන ඇමතුමක් ලබාදෙමින් ‘ඩියුටි දාලාද තියෙන්නේ’ යනුවෙන් විමසා සිටි අතර, මෙතෝදිස්ත පල්ලි කොහේද තියෙන්නේ යනුවෙන් විමසූ බව සාක්ෂිකරු සඳහන් කළා.

එයට පිළිතුරු ලබා දෙමින් ‘ඩියුටි දාලා තියෙන්නේ’ යනුවෙන් සඳහන් කළ අතර මෙතෝදිස්ත පල්ලියක් කොහේද යන්න තමන් නොදන්නා බව සඳහන් කළා.

පසුව ලලිත් පතිනායක ගෙන් විමසා, කොල්ලුපිටියේ මොතෝදිස්ත පල්ලියක් තිබෙන බවට සදහන් කළා.

එවිට නිලන්ත ජයවර්ධන කියා සිටියේ එම පල්ලියට ප්‍රහාරයක් එල්ල වන බවයි.

එම ප්‍රකාශයත් සමඟ තමන් කොල්ලුපිටිය දේවස්ථානයට ආරක්ෂාව ලබා දෙන ලෙස දැනුම් දුන්නා යනුවෙන් සාක්ෂිකරු කොමිසමට සඳහන් කළා.

පසුව නැවතත් නිලන්ත දුරකථන ඇමතුමක් ලබාදී විමසා සිටියේ මෙම දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව කුමක්ද යන්නයි.

පල්ලියේ උද්ඝෝෂණයක් පැවති බවත් දැනට පල්ලියේ ආරක්ෂාව ලබා දෙන්න යනුවෙන් නන්දන මුණසිංහ සදහන් කළ බව සාක්ෂිකරු සඳහන් කළා.

කොටහේන ග්‍රෑන්ඩ්පාස්වල පිහිටි දේවස්ථාන දෙකකට ඉක්මනින් ආරක්ෂාව ලබාදෙන ලෙස නිලන්ත ජයවර්ධන තමන්ට යළි ඇමතුමක්දී සඳහන් කළ බව සාක්ෂිකරු කොමිසමට අනාවරණ කළා.

පසුව ඒ බව නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකව දැනුවත් කළ බවයි සාක්ෂිකරු කියා සිටියේ.

දේවස්ථානවලට ප්‍රහාර එල්ලවන බවට සඳහන් වනවිටත් දේව මෙහෙයන් පැවැත්වීම වැළැක්වීමට කටයුතු නොකළේ මන්ද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා.

ඒ මොහොතේ දේව මෙහෙයන් නැවැත්වීමට කටයුතු කළා නම්, හොඳ බව තමන්ට දැන් වැටහුණද ඒ මොහොතේ ප්‍රහාරයක් සිදු නොවුණේ නම් පාස්කු දේව මෙහෙය කඩාකප්පල් කිරීම පිළිබඳව චෝදනා එල්ලවන බවත්, එම තීරණය තමන්ට ගැනීමට නොහැකි බවත්, ඒ සඳහා ඉහළ නිලධාරීන් සිටින බව සාක්ෂිකරු සඳහන් කළා.

ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණයක් සිදුකරන්න සූදානම් වනවිට පොලිසිය අධිකරණ නියෝග ගෙන ඊට මැදිහත් වෙනවා.

ඇයි මෙයට එවන් ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වූයේ යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා.

කලින් දවසේ නිලන්ත ජයවර්ධන පැහැදිලිවම සඳහන් කළා, මේ සිද්ධිය පොලිස්පති දැනුවත් බවට එය සිදුකළ යුත්තේ පොලිස්පති බව සාක්ෂිකරු සදහන් කළා.

මේ අතර, ඊයේ (11) රාත්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණද සාක්ෂි ලබාදුන්නා.

+++++++++++++++++++++

***************************************

නීතිය නොතකන අර්ජුන් ඇලෝෂියස්ගේ කෙරුවාව එළියට

(11.06.2020 – 16:00 +0530 – hirunews.lk/sinhala)

කොටුව වානිජ අධිකරණය මගින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අයිතිය පවරා දුන්නද ව්‍යාපාරය පවත්වාගෙන යෑමට අර්ජුන් ඇලෝසියස්ගේ පරිපාලනය අවස්ථාව නොදෙන බවට නව හිමිකරු චෝදනා කරනවා.

ඒ අනුව පිස්කල් නිලධාරීන් ඊයේ (10) පැමිණ අදාල නියෝගය ආයතන පරිශ්‍රයේ අලවා යෑමට පියවර ගත්තා.

වැලිසර මහබාගේ පිහිටි ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ හිමිකාරීත්වය පැවතුණේ මහබැංකු බැඳුම්කර සිද්ධියේදී චෝදනා එල්ල වූ අර්ජුන් ඇලෝසියස්ටයි.

නමුත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සමයේ මෙම ආයතනය මාස 6 ක පමණ කාලයක් වසා දමා තිබුණා.

එම කාලයේදී මෙන්ඩිස් සමාගමේ පරිපාලනය ව්‍යාපාරය පවත්වාගෙන යෑම සඳහා තවත් ව්‍යාපාරිකයෙක් වන ගාමිණී කරුණාරත්න යන අයට 2018 වසරේ අප්‍රේල් මාසයේදී ගිවිසුමක් මාර්ගයෙන් පවරා දී තිබෙනවා.

***************************************

ලක්ෂ 79 යේ කොල්ලයට ඇල්ලූ දොස්තර – අනුරාධපුර රෝහලේ කොල්ලයට සම්බන්ධ දැයි සැක

(11.06.2020 – 14:20 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ සිදු වූ රුපියල් ලක්ෂ 79 යේ කොල්ලයට අත්අඩංගුවට ගත් විශේෂඳ පුහුණුව ලබමින් සිටි වෛද්‍යවරයා අනුරාධපුර රෝහලේ පසුගිය වසරේ සිදු වූ රුපියල් ලක්ෂ 62 කොල්ලයට සම්බන්ධ දැයි සෙවීමට පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව හෙට (12) දිනයේදී මේ සම්බන්ධයෙන් සෙවීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි අනුරාධපුර පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

2019 වසරේ මාර්තු මස තුන්වනදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේප්පුව කඩා එහි තිබූ මුදල් කොල්ල කා තිබුණා.

ඊට පෙර දිනයේ එම ගොඩනැගිල්ලට ඇතුළු වී සේප්පුවේ අගුල විවෘත කර කොල්ලය සිදු කර ඇති බවටයි හෙලි වුණේ.

ඒ සඳහා පැමිණි සැකකරුවන් බොරු කොණ්ඩ පැලඳගෙන ඇති බවට තොරතුරු වාර්තාවුණා.

කෙසේ නමුත් වසරකට අධික කාලයක් ගත වුවත් ඊට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නැහැ.

කොළඹ ජාතික රෝහලේ කොල්ලයට අදාල වෛද්‍යවරයා පැමිණ තිබුණේ ද ව්‍යාජ කොණ්ඩයක් පැළඳගෙනයි.

එසේම අනුරාධපුර රෝහලේ කොල්ලය සිදුවන අවස්ථාවේ එම වෛද්‍යවරයා එම රෝහලේ සේවය කරමින් සිට තිබෙනවා.

ඒ අනුවයි අනුරාධපුර සිද්ධිය සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසිය සූදානම් වන්නේ.

මෙම වෛද්‍යවරයා දැනට රදවා ගැනීමේ නියෝග මත මරදාන පොලිස් භාරයේ සිටින අතර ඔහු කොළඹ ජාතික රෝහලේ සිදු වූ ලක්ෂ 79 කොල්ලය සම්බන්ධයෙන් අද යලි මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴

***************************************

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1877 ක් දක්වා ඉහළට

(12.06.2020 – 06:00 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 1877 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

ඒ, නව ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟයි.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 716 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 28 දෙනෙකු ඊයේ (11) දිනයේ ද පුර්ණ සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 1150 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *