මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

(02.06.2020 – 15:20 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

දින 10 ක් පුරා පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

වැඩිදුරටත් තීරණය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු වරයා සඳහන් කළේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වය විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇති බවයි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව ඉකුත් දින 10 ක් තිස්සේ සිදු කරනු ලැබූ කරුණු සලකා බැලීම ඊයේ (01) සවස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කළේය.

ඉන් අනතුරුව එහි තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.

ජුලි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පාර්ශව 07 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළේය.

එම පෙත්සම් වලට එරෙහිව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ඇතුළු පාර්ශව 15 ක් විසින් අතරමැදි පෙත්සම් ගොනුකර තිබුණි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඡන්ද දිනය, හෙට (03) මැතිවරණ කොමිසමේ සාකච්ඡාවකින් පසු

(02.06.2020 – 15:39 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණය පැවැත්වෙන දිනය, හෙට (03) පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

අද (02) ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමටයි පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේ.

දින 10 ක් පැවති පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කළා.

එහිදි අගවිනිසුරුවරයා සඳහන් කළේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් ප්‍රතික්ෂේප කිරීමටද තීරණය කළ බවයි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව සිදුකරනු ලැබූ කරුණු සළකා බැලීම ඊයේ (01) අවසන් කෙරුණා.

ජූනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුලු පාර්ශව හතක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබුණා.

ඡන්ද පත්‍රිකා අද (02) සිට මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

+++++++++++++++++++++

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි

(02.06.2020 – 18:16 +0530 – sinhala.adaderana.lk)

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අද (02) සිට ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

ඒ අනුව මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා 1,70,00,000 අධික සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට නියමිතයි.

කොවිඩ් නයින්ටීන් වසංගත රෝග තත්ත්වය හේතුවෙන් සේවකයින් සහභාගී කරවා ගැනීමේ යම් යම් ගැටලු මතුව තිබුණ ද හැකිතාක් ඉක්මණින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මුද්‍රණාලයාධිපතිනිය ‘අද දෙරණ’ සමඟ සඳහන් කළේය ෴

***************************************

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන්ගෙන්, ස්ථාන 6 ක පුහුණු කඳවුරු 10 ක් – ජනපති කොමිසමේදී හෙළිවේ

(02.06.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් දිවයිනේ ස්ථාන 06 කදී කඳවුරු 10 ක් තුල අවි පුහුණුවීම් සිදුකර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

ඊයේ (01) දිනයේ තුන්වනවරටත් සාක්ෂි ලබාදුන් එම නිලධාරියා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කල ත්‍රස්තවාදීන් ප්‍රහාරයට පෙර දින පටිගත කළ වීඩියෝපටය මගින් ශ්‍රී ලංකාව තුල එවැනි ප්‍රහාර මාලාවක් සිදුකිරීමට හේතු වූ කරුණු අනාවරණ වූ බව ප්‍රකාශ කළා.

සහරාන් හෂීම් විසින් පුද්ගලයින්ට අවි පුහුණුව ලබාදුන් ස්ථාන සම්බන්ධයෙන් කොමිසම සිදුකල විමසුමට පිළිතුරු ලබාදෙමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරියා ප්‍රකාශ කළේ ඔහු,

දිවයිනේ ස්ථාන 06 ක දී පුහුණු කඳවුරු 10 ක් පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ අනුව හම්බන්තොට – සිප්පුකුලම, මහනුවර – ලේවැල්ල, මල්වාන – යටිහේන, නුවරඑළිය – බ්ලැක් පූල් සහ ශාන්ත පුර ප්‍රදේශවල මෙන්ම මැදවච්චිය රබෑව සහ තල්ගස්වැව ප්‍රදේශවල එම කඳවුරු ක්‍රියාත්මක වී ඇති බව සාක්ෂිකරු ප්‍රකාශ කළා.

තවදුරටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කලේ මල්වාන – යටිහේන කඳවුරේ හැර සෙසු සියලු කඳවුරු වල අවි පුහූණුව ලබා දී ඇති අතර, ඒ සඳහා ටි-56 සහ පිස්තෝල අවි භාවිතා කර ඇති බවයි.

සෑම කඳවුරකටම 25 ත් 30 ත් අතර පිරිසක් සහභාගි වී ඇති බවත්, ඒවාට එක්වූ පුහුණුකරුවන් කඳවුරු කිහිපයකටත්, පුහුණුව සඳහා සහභාගිවූවන් එක් කදවුරකින් තවත් කදවුරකටත් වෙනස් වූ බවටත් තොරතුරු ලැබී ඇති බවයි සාක්ෂිකරු කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් සදහන් කලේ අවි පුහුණුව ලබා දුන් අය අතරින් කිහිපදෙනෙකු ප්‍රහාරය සිදුවු දිනයේදී මිය ගොස් ඇති අතර, තවත් කිහිපදෙනෙකු මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බවයි.

ප්‍රහාරය සදහා පුපුරන ද්‍රව්‍ය ලබා ගෙන ඇත්තේ කොළඹ හා වාලච්චෙන ප්‍රදේශවලින් වන අතර රන් භාණ්ඩ නිෂ්පාදන ආයතන වලින් සහ පොහොර අලෙවි සැල් මගින්ද අමුද්‍රව්‍ය මිලදි ගෙන ඇති බවද සාක්ෂිකරු කොමිසම සිදුකල ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළා.

+++++++++++++++++++++

පාස්කු කොමිසම හමුවේ තවත් හෙළිදරව්වක්

(02.06.2020 – 13:48 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම ඊයේ (01) දිනයේත් සාක්ෂි විමසීම සිදුකරනු ලැබුවේය.

එහිදී සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට දේශපාලන රැකවරණය ලැබී ඇති බවට බුද්ධි අංශයෙන් තොරතුරු ලැබුණත් විමර්ශනයේ දී එවැනි දෙයක් අනාවරණය නොවුණු බවයි.

ඉකුත් සිකුරාදා දිනයේ (29) කොමිසම හමුවේ සාක්ෂි දුන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියා යලි ඊයේ (01) දිනයේත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

එහිදී ඔහු කොමිසමට ඉදිරිපත් කර සිටියේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඔහුගේ ෆේස් බුක් ගිණුමේ පළ කර තිබූ අන්තවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන ගොනු සම්බන්ධයෙන් වූ තොරතුරුයි.

ඒ අනුව සහරාන් හෂීම් විසින් 2018 ජනවාරි 06 වැනි දා සිට අවස්ථා රැසකදී විවිධ අන්තවාදී මාතෘකා යටතේ වූ ප්‍රකාශයන් ඔහුගේ ෆේස් බුක් ගිණුමට එක් කර තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.

සමාජ ජාලා ගිණුම් මඟින් දැඩි මත සහ සමාජයේ කරුණු විවේචනය කරමින් කල ප්‍රකාශවලින් ජාතික තවුහිත් ජමාත් සංවිධානයට මෙතෙක් එක් නොවුණු මුස්ලිම් තරුණ පිරිස් ඒ වෙත එක් කර ගැනීමක් සිදුවී ඇති බවත්, ඉදිරි කාලයේදී රට තුළ කලබලයක් ඇති විය හැකි නිසා මොහුට විරුද්ධව පියවර ගත යුතු යැයි සඳහන් කරමින් 2018 මාර්තු 16 වැනි දා එවක පොලිස්පතිවරයාට විමර්ශන ලිපි ගොනු යැවූ බවයි විමර්ශන නිලධාරියා සඳහන් කළේ.

මීට අමතරව කාත්තන්කුඩි ප්‍රදේශයේ සහරාන් සහ තවත් මුස්ලිම් කණ්ඩායමක් අතර ඇති වූ ගැටුමෙන් පසු ඔහු සහ ඔහුගේ සොහොයුරා වූ රිල්වාන් ද ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි බව ද සාක්ෂිකරු පවසා සිටියේය.

මෙලෙස තමන් සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් වූ තොරතුරු අවස්ථා රැසකදී පොලිස්පතිවරයාට යවා තිබුණත් ඔහු ඒ සම්බන්ධයෙන් සිදු කර තිබුණේ වැඩිදුර වාර්තා ඉල්ලීම බවයි සාක්ෂිකරු පැවසුවේ.

එහිදී පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සිදු කර තිබෙන්නේ වැඩිදුර වාර්තා කැඳවීම පමණක්ද යන්න කොමිසමේ සභාපති විනිසුරුවරයා නැගූ ප්‍රශ්නයට විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළේ “ඔව්” යන්නයි.

ඔහු සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවකදී නියෝගයක් පොලිස්පතිවරයා විසින් සිදු කර නැද්ද යන්න යළි කොමිසම විමසා සිටියේය.

ඊට සාක්ෂිකරු ලබා දුන්නේ “නැත” යන පිළිතුරයි.

ඉන් අනතුරුව කොමිසම හමුවේ ඉදිරිපත් කෙරුණේ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් පොලිස්පතිවරයාට 2018 4.12 දින යොමු කරන ලද ලිපියක්.

එහි සඳහන් කර තිබුණේ සහරාන් හෂීම් විසින් 2018 මාර්තු 5 වැනි දා ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබූ අන්තවාදී ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

දිගන හා තෙල්දෙණිය යන ප්‍රදේශවල ඇතිවූ සිද්ධියෙන් පසු මුස්ලිම්වරු ඊට විරුද්ධව අවි ආයුධ රැගෙන පෙළගැසිය යුතු බව එහි සඳහන්ව තිබුණු අතර ජාතික බුද්ධි ප්‍රධානියා පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණේ සහරාන් හෂීම්ගේ අදාළ ප්‍රකාශය තවත් පුද්ගලයින් 96 දෙනෙකු විසින් ප්‍රචාරයකර ඇති නිසා මේ ගැන අවශ්‍ය පියවර ගෙන සහරාන්ව වළක්වන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිය කොට්ඨාශය මගින් සිදු කළ බවත් කාත්තන්කුඩියේ ක්‍රියාත්මක වන ජාතික තවුහිත් ජමාත් සංවිධානය සහ සහරාන් හෂීම් ජන වර්ග අතර ගැටුම් ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම නිසා ඉදිරියේදී ප්‍රචණ්ඩත්වයක් ඇති විය හැකි බව තමා පොලිස්පතිවරයාට දන්වා යැවූ බව ද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

එමෙන්ම සහරාන් හෂීම්ට එරෙහිව අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට සිටින බවත්, ඒ පි‍ළිබඳ ඉදිරි පියවර ගැනීම සඳහා සිය කොට්ඨාශය සකස් කළ ලිපි ගොනුවක් 2017/06/07 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවට යැවූ බවත් විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළේය.

එම ලිපි ගොනුව අධ්‍යයනය කරමින් සිටියේ මලික් අසීස් නම් නිලධාරියා බවයි සාක්ෂිකරු පැවසුවේ.

නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගෙන තිබුණේ දැයි කොමිසම නැගූ ප්‍රශ්නයට සාක්ෂිකරු සඳහන් කළේ නැත යන්නයි.

සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට දේශපාලන රැකවරණය ලැබී තිබුණේ දැයි කොමිසම විමසා සිටියේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතා සහරාන්ට දේශපාලන රැකවරණය දුන් බවට බුද්ධි අංශයෙන් තමාට දැන ගන්නට ලැබුණත් තමා සිදු කළ විමර්ශනයේ දී එවැනි දෙයක් අනාවරණය නොවුණු බව සාක්ෂිකරු කොමිසමට ප්‍රකාශ කළේය.

අනතුරුව විමර්ශන නිලධාරීයා කොමිසමට ඉදිරිපත් කළේ සහරාන්ගේගේ facebook ගිණුම සම්බන්ධයෙන් ඔහු ගත් ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳවයි.

සහරාන් හෂීම් වසර ගණනාවක සිට අන්තවාදී ප්‍රකාශ සිය ෆේස්බුක් ගිණුම මඟින් සිදු කරමින් සිටි පසු බිමක සිය කොට්ඨාශය ෆේස්බුක් ආයතනයෙන් ඔහුගේ ගිණුම අත්හිටුවන්නැයි අවස්ථා රැසකදී ඉල්ලීම් සිදු කළ බවද ඔහු පැවසුවේය.

නමුත් ඊට නිසි පිළිතුරක් නොලැබුණු පසු බිමක එහි අවසාන උත්සාහය ලෙස 2019 අප්‍රේල් 10 වන දා ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදයේ ද මැදිහත් වීමෙන් ඒකාබද්ධ ඉල්ලීමක් සිදු කිරීමෙන් පසු ඊට දින දෙකකට පසු සහරාන් ගේ අන්තවාදී මත පළ කළ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට facebook ෆේස්බුක් ආයතනය කටයුතු කර තිබුණු බවයි සාක්ෂිකරු පැවසුවේ.

***************************************

ආසාදිතයින්ගෙන් වෛරසය සමාජගතවීමේ, අවදානමක් නොමැති බවට හමුදාපති සහතික වෙයි

(02.06.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගත් නාවික හමුදා සාමාජිකයින්ගෙන්, යුද හමුදා නිලධාරියාගේ සමීපතමයින්ගෙන් සහ විදෙස් රටවල සිට පැමිණෙන ලාංකිකයන්ගෙන් වෛරසය සමාජගත වී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා.

ඊයේ (01) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වූ අතර, එහිදී මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් (02), යුද හමුදා සාමාජිකයෙකුගේ ආශ්‍රිතයන් දෙදෙනෙක් (02) මෙන්ම ඉන්දුනිසියාව හා බෙලරූස් රාජ්‍යයෙන් පැමිණි දෙදෙනෙකු (02) සහ බංග්ලාදේශයෙන් පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 04 දෙනෙකු ද වනවා.

මේ අතර, අද (02) දිනයේදීත් කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 04 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 415 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, දැනට වැඩි වශයෙන් ආසාදිතයින් ලෙස වාර්තා වන නාවික හමුදා සහ විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් බාහිර සමාජයට වෛරසය ආසාදනය වී නොමැති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (02) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණෙනු ඇති.

මීට අමතරව ලබන සෙනසුරාදා ද එක්සත් රාජධානියේ රැදී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.

මෙවන් පසුබිමක විදෙස් රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ගේ පී.සී.ආර්. සාම්පල ලබා ගැනීම ගුවන් තොටුපළේදීම සිදුකිරීමේ ක්‍රියාවලිය අදත් (02) ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, මෙරට කොරෝනා ව්‍යාප්ත වූයේ නිසි කාලසීමාවේදී ගුවන් තොටුපළ වසා නොදැමීම හේතුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

ඒ, හිරු ටී.වී. ඔස්සේ ඊයේ (01) රාත්‍රියේ විකාශය වූ සලකුණ දේශපාලන සංවාදයට එක්වෙමින්.

නමුත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හිරු ටී.වී. ඔස්සේ අද (02) උදෑසන විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් එම චෝදනාවට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ නිසි වේලාවට ගුවන් තොටුපළ වසා දැමීම සඳහා වත්මන් රජය කටයුතු කළ බවයි.

මේ වන විට වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 811 ලෙස සටහන් වන අතර, පුද්ගලයින් 821 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

++++++++++++++

කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු (02) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1645 දක්වා ඉහළගොස් තිබෙනවා. (17:44 +0530)

++++++++++++++

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු අද (02) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්. ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම මේ වනවිට සිදු කෙරෙන බව කටුනායක ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළා.

මීට අමතරව ලබන සෙනසුරාදා (06) ද එක්සත් රාජධානියේ රැදී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතයි. (16:34 +0530)

+++++++++++++++++++++++++++++++++++

පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු පිළිබඳව විශේෂ අවධානයක්

(02.06.2020 – 12:29 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු පිලිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) රැස් වූ බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

කොවිඩ් 19 අවධානම ශ්‍රී ලංකාවෙන් ක්‍රමයෙන් පහව යන නිසා පවතින වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේ.

කොවිඩ් 19 නිසා ජනතාව නිවෙස්වල රැදී සිටීමත් පාසල් වසා දැමීම හා කර්මාන්ත ශාලා ක්‍රියාත්මක නොවීම නිසා මේ කාලය තුල ඩෙංගු රෝගීන් අවම අගයක් වාර්තා වන අතර ප්ලාස්ටික් යෝගට් කෝප්ප වෙනුවට කාඩ්බෝඩ් වලින් සකසන ලද යෝගට් කෝප්ප භාවිතය ගැන ඊයේ (01) රැස් වූ ඩෙංගු පිලිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායේ විශේෂ අවධානය යොමු වූ බව ඔහු වැඩිදුරටත් කියසිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (02) උදැසන ‘හිරු ටීවි පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින්.

***************************************

පාතාල නායකයන් බන්ධනාගාරයේ සිට කරන මෙහෙයුම් නතර විය යුතු බව ජනපති අවධාරණය කරයි

(02.06.2020 – 12:28 +0530 – hirunews.lk/sinhala)

පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ආරක්ෂක අංශයේ ප්‍රධානීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු නිළධාරීන් පිරිසක් සමඟ බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය කිරිම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (01) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

***************************************

සංචාරක නියෝජිතයින් ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම් වැට් බද්දෙන් නිදහස්

(02.06.2020 – 11:16 +0530 – hirunews.lk/sinhala)

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයින් මෙරටට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය අප්‍රේල් මස 1 වන දා සිට එය ක්‍රියාත්මක බවයි.

සංචාරක නියෝජිත ආයතනවල ඉල්ලීම් සලකා බැලීමෙන් පසු ඊට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය දා අනුමැතිය හිමි වුණා.

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා රජය මෙම පියවර ගත් බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

***************************************

බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමේ සූදානමක්

(02.06.2020 – 16:15 +0530 – sinhala.adaderana.lk)

බේකරි කර්මාන්තය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයන්ගේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කරන්නේ රජය විසින් පසුගියදා ආනයනික භාණ්ඩ මත පැනවූ අධික බදු, අමුද්‍රව්‍යවල මිල ඉහළයාම සඳහා බලපා ඇති බවයි.

මේ වන විට බේකරි නිෂ්පාදනයට යොදා ගන්නා අමු ද්‍රව්‍ය මිල අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බවත් මේ වන විට රජයට ලිඛිතව මේ පිළිබඳව දැනුම් දී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව විසඳුම් ලබා නොදුණහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල වැඩි මුදලකින් ඉහළ දැමීමට සිදු වනු ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

***************************************

සඳුදා (08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ තීරණයක්

(02.06.2020 – 14:04 +0530 – sinhala.adaderana.lk)

එළඹෙන සඳුදා (08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය අද දින (02) තීරණය කර ඇත.

විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම් හා සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් සැලකිල්ලට ගනිමින් පොදු ප්‍රවාහන සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙනයාමට තීරණය වූ බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේදී මතුවන ගැටළු හා අභියෝගවලට මුහුණදෙන ආකාරය පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය අනිවාර්ය කර ඇති බැවින් ඒ සඳහා ප්‍රමාණවත් බස් රථ නොමැති වීමේ ගැටළුව පිළිබද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බවයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව දැනට පවතින පුද්ගලික හා ලංගම බස් රථ උපරිමයෙන් ධාවනය කිරීමට නියමිත අතර පාසල් ප්‍රවාහන බස් රථ, විනෝද හා වන්දනා චාරිකා සඳහා යොදාගන්නා බස්රථ මෙන්ම ලියාපදිංචි කිරීමේ පොරොත්තු ලේඛනයේ ඇති සියලු බස්රථ මගී ප්‍රවාහනය සඳහා තාවකාලිකව යොදා ගැනීමට නියමිතයි.

එම බස් රථ තාවකාලිකව ලියාපදිංචි කිරීම හෙට (03) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව ද ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේය ෴

***************************************

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

(02.06.2020 – colombotoday.com)

දෙවනගල පුදබිමට එරෙහි මුස්ලිම් ආක්‍රමණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (2) බොදු බල සේනා සංවිධානය මාධ්‍ය හමුවක් පැවැත්වුවා.

මේ සඳහා සහභාගී වූ දෙවනගල රජමහා විහාරාධිපති මැදිරිගිරියේ පුඥ්ඥසාර හිමි විසින් සිදුකල දැනුවත් කිරීම :

+++++++++++++++++++++

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි

(02.06.2020 – 21:56 +0530 – hirunews.lk/sinhala)

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා (31) ඓතිහාසික මාවනැල්ල – දෙවනගල පුදබිමට කඩා වැදුණු සංවිධානාත්මක පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කර පළා ගොස් තිබෙනවා.

අදාළ පිරිස විහාරස්ථානයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ ඔවුන්ගේ ජංගම දුරකතන වලින් රූගත කරගත් බවයි විහාර අධිකාරී පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි ප්‍රකාශ කළේ.

***************************************

“දේශප්‍ර්මි මුහුණුවරකින් කඩුව අරගෙන අපිට කොටන්න පුළුවන්” අලි සබ්‍රි ගැන ඉත්තෑකන්දේ හිමිගෙන් ප්‍රකාශයක්

(01.06.2020 – colombotoday.com)

අල් ජසීරාවට සිදුකල ප්‍රකාශයේ වැරදි පෙන්වාදීම හේතුවෙන් පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට විරුද්ධව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි විසින් නඩු දමා ඇති බව ඊයේ (31) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සඳහන් කර සිටියා.

වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ හිමියෝ :

“මේ අන්තවාදීන් කියන අය කොහෙද කොතන ද ලැගුම්ගෙන ඉන්නේ කියන එක අමුතුවෙන් කියන්න ඕනි නෑ. අපි දන්නවා රිෂාඩ් බදුර්දීන් ලා අන්තවාදී කටයුතු සිද්ධ කරනකොට මේ රටට එරෙහිව ඔවුන්ගේ අවි ඔසවනකොට මේ රටට එරෙහිව වැඩ කරනකොට ඔවුන් මේ රටේ මුල්‍ය ආයතන බදු අරගෙන ඒවා විනාශ කරනකොට අපි පෙළ ගැහිලා පෙනී හිටියා. ඒ රිෂාඩ් ලා අයින් කරලා තව රිෂාඩ් ලා ගෙන්න අපිට උවමනාවක් තිබුනේ නෑ. ඒක නිසා අපි දන්නවා මේ අන්තවාදීන්ගේ සිරිතක් තියෙනවා ඔවුන්ගෙන් ගිලිහෙන කඩුව නැවත දේශප්‍රේමී මුහුණුවරකින් ඒ කඩුව අරගෙන අපිට කොටන්න පුළුවන්ය කියන හැඟීම අපි ළඟ තියෙනවා. ඒක නිසා අපි අමතක කරන්නේ නෑ දේශප්‍රේමී මුවාවෙන් එන සතුරා ද සතුරා මුවාවෙන් එන සතුරා ද අපිට හොඳට දැනෙනවා යැයි කියන එක අපි සිහිපත් කරනවා. ඒක ආණ්ඩුවත් මතක තියා ගත්තොත් හොඳයි කියන එක පැහැදිලිව කියනවා.”

+++++++++++++++++++++

පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිත් අලි සබ්‍රිට එරෙහි වෙයි

(03.06.2020 – colombotoday.com)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි විසින් පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට විරුද්ධව නඩු පැවරීම පිළිබඳව මඩකලපුව මංගලාරාම විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

පොහොට්ටුවෙන් නාමයෝජනා ගෙන භික්ෂුන් මර්ධනයට සුදානම් වීම පිළිබඳව ඒ හිමියෝ එහිදී අදහස් දක්වා ඇත.

පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි දැක්වූ අදහස් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ anti-election petition: absolutely the correct judgement by the Supreme Courts. Sumanthiran the cat’s paw of terrrorist diaspora and UNP/ samagi jana bala sabatoeurs, as well as the infiltrator Hoole, hopefully, have learnt a lesson. These are the real but covertly acting enemies of the people trying to deny their voting rights and the country theleadership of a strong working government in the country. It would be much better this man Hoole is sent back to the US from where he came and Sumanthiran could return to his mother country Tamil nadu. Give kallathonis some recognition and we wil sure get traitors and sabatoeurs.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *