රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශය වෙන වෙනම කටයුතු කළ නිසා පාස්කු ප්‍රහාරයේ තතු හෙළි නොවීම ගැන, ජනපති කොමිසමේදී තවත් හෙළිදරව්වක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශය වෙන වෙනම කටයුතු කළ නිසා පාස්කු ප්‍රහාරයේ තතු හෙළි නොවීම ගැන, ජනපති කොමිසමේදී තවත් හෙළිදරව්වක්

• හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4 කට සිතාසි නිකුත් කිරීම ගැන ජනපති කොමිසමේ අවධානය

• අම්බලන්තොට දුම්රියපොළේ සිදුවීම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්න – අමාත්‍ය මහින්ද අමරවීර

• අමෙරිකාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

• ශ්‍රමිකයින් 160 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තලින් දකුණු කොරියාවට

• කොරෝනා ආසාධිත සැක සහිත පිරිසක් යාපනයේ මීසාලේ ප්‍රදේශයේදී අනතුරට පත් වෙයි

• හෝමාගම – කැන්දලන්ද ප්‍රදේශයේදී ගිලන් රථ 04 ක් ගැටී සිදුවූ අනතුර (විඩියෝ)

• විදේශයන් හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෛරස් ප්‍රභේදය ගැන සොයන්න – වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්

• කොරෝනා නිසා වැසුණු අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (28) සිට විවෘතයි

• 19 වන සංශෝධනයේ ගම්මන්පිලට හසුවූ හොඳ (විඩියෝ)

• සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම නිසා අසරණ වූ මොණරාගල වට්ටක්කා ගොවීන් (විඩියෝ)

• වසර 150 කට පසු බිත්තර දැමූ සංචාරක පක්ෂියා (විඩියෝ)

• ‘හිරු රතු මිනිත්තුව’ : සුන්දර මීමුරේ දුෂ්කර ජීවිත (විඩියෝ)

• වාසුගෙන් විපක්ෂයේ මන්ත්‍රී වරුන්ට චෝදනාවක් (විඩියෝ)

• පේදුරුතුඩුවේ පිපිරීමකින් පොලිස් නිලධාරියෙකුට තුවාල

• 2021 සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ

• සරසවි ප්‍රවේශයට ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජූනි 2 වනදායින් අවසන්

• කොරෝනා පාලනයට රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ සියලු බදු වලින් නිදහස් – ඇමති ප්‍රසන්න රණතුංග

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශය වෙන වෙනම කටයුතු කළ නිසා පාස්කු ප්‍රහාරයේ තතු හෙළි නොවීම ගැන, ජනපති කොමිසමේදී තවත් හෙළිදරව්වක්

(27.05.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශය වෙන වෙනම කටයුතු කළ නිසා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය වෙත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි තොරතුරක් වාර්තා නොවූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (26) අනාවරණ වුණා.

ඒ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ එවක වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී බී.අයි.අයි. ප්‍රසන්න සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම සියලු‍ අංශ එක්ව කටයුතු කළේ නම් ප්‍රහාරය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට හැකියාව තිබූ බවයි.

එසේම 2019 වසරේ අප්‍රේල් 11 තෙක් බස්නාහිර පළාතේ බුද්ධි කොට්ඨාසයට ප්‍රහාරයක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලැබුණු බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ.

කොමිසම එහිදී ප්‍රශ්න කළේ 2016 වසරේ පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරයෙකු වන විජේදාස රාජපක්ෂ මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳ තමන් දැනුවත්ද යන්නයි.

එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන්ට මතකයක් ඇති බව පැවසූ සාක්ෂිකරු ප්‍රකාශ කළේ ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවයි.

ඒ අනුව 2016 වසරේ අලු‍ත්ගම දර්ගා නගරයේ ඇති වූ සිද්ධියෙන් පසු අබ්දුල් අමීද් නැමති පුද්ගලයා සිය ෆෙස්බුක් ගිණුම හරහා පළ කර තිබූ “ඉස්ලාමීය අඳුරු අසිපත කොළඹ අහසේ ලෙළදෙනවා, මීට ශ්‍රී ලාංකික අයි.එස්.අයි.එස්. සාමාජික” යන සටහන අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

එහිදී කොමිසම විමසුවේ ඔබේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ පිළිබඳ දැනුවත් කළේද යන්නයි.

සාක්ෂිකරු පැවසුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරූ පූජිත් ජයසුන්දර මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවයි.

කොමිසම යළි ප්‍රශ්න කළේ එවකට ශ්‍රී ලාංකිකයෙකු අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී විදේශයකදී මියගිය බවට සාක්ෂිකරු දැනුවත්ද යන්නයි.

තමන් ඒ පිළිබද දැනුවත් බවත් ඔහු ගලේවෙල ප්‍රදේශයේ පුද්ගලයකු වන අතර ඊශ්‍රාලයේදී මියගිය බවට තොරතුරු ලැබුණු බව ඔහු පසුව සඳහන් කළා.

එමෙන්ම අදාළ කාලවකවානුව තුළ අයි.එස්. සංවිධානය මෙරට තුළ තහනම් සංවිධානයක් නොවූ අතර, එම සංවිධානයට සම්බන්ධ 100 දෙනෙකු මෙරට තුළ රැඳීසිටි බවට තමා දැනුවත් වූ බව සාක්ෂිකරු පැවසුවා.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කළ අතර ජාතික ආරක්ෂාවට ඉස්ලාම් අන්තවාදීන්ගෙන් අවදානමක් ඇතිවිය හැකි බවට සාකච්ඡාවක් පැවති බව සාක්ෂිකරු සඳහන් කළා.

මෙවැනි ආගමික අන්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු විවිධ අංශවලට නොලැබීමට හේතුව කුමක්දැයි කොමිසම විමසුවා.

බුද්ධි අංශ යටතේ අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් පිළිබඳ සෙවීම සඳහා පුහුණු නිලධාරීන් සහ පහසුකම් දෙපාර්තමේන්තුව තුළ තිබුණත් බස්නාහිර බුද්ධි කොට්ඨාසයට එවන් කිසිදු පහසුකමක් නොතිබූ බව සාක්ෂිකරු සඳහන් කළා.

ඒ හේතුවෙන් තමන්ට ඉහළ අංශවලින් කිසිදු ආකාරයක තොරතුරු හුවමාරුවක් සිදුනොවූ බවයි සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස තොරතුරු නොදුන්නේ කවුරුන්දැයි කොමිසම විමසුවා.

රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශය එලෙස තොරතුරු නොදුන් බවත්, එම අංශ 2 තනි තනිව ගමනක් ගිය නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු තම අංශය වෙත නොලැබුණු බව සාක්ෂිකරු කොමිසමට අනාවරණ කළා.

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරයෙන් පසු මෙම සියලු‍ අංශ එක්ව කටයුතු කළ නිසා කෙටිකලකදී සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4 කට සිතාසි නිකුත් කිරීම ගැන ජනපති කොමිසමේ අවධානය

(27.05.2020 – 08:30 +0530 – sinhala.adaderana.lk)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ අවධානය යොමුව තිබේ.

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ (26) දිනයේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම සඳහා ඔවුන් කටයුතු කළ බවයි.

ඒ අනුව එම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරියේදී සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව එම ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (26) දිනයේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබුණි.

මේ අතර අද (27) දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නාවික හමුදා නිලධාරීන් 11 දෙනෙකුට සිතාසි නිකුත් කර තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කර ඇති බව පවසමින් එම නාවික හමුදා නිලධාරීන් විසින් ජනපති කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

ඊට අදාලව එම නාවික හමුදා නිලධාරීන්ට සිතාසි නිකුත් කළ ද ඉන් කිහිපදෙනෙකු කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක්වෙමින් සිටින නිසා කොමිසම වෙත පැමිණිය නොහැකි බව දැනුම් දී ඇති බව සඳහන්ය ෴

***************************************

අම්බලන්තොට දුම්රියපොළේ සිදුවීම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්න – අමාත්‍ය මහින්ද අමරවීර

(27.05.2020 – 09:45 +0530 – sinhala.adaderana.lk)

ඊයේ (26) අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් යාමට පැමිණි මගීන් පිරිසක් විසින් කළහකාරි ලෙස හැසිරීම හා එමගින් උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (26) පස්වරුවේ ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරුණු විමසීය.

එහිදී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයින් පිරිසක් විසින් දුම්රියෙන් ප්‍රවේශපත් නොමැතිව යාමට කළ උත්සාහයක් බවත් , ඊට ඉඩ නොදීම නිසා මෙම තත්ත්වය ඇති වූ බවත් තමන්ට ආරංචි වී ඇති බවයි.

අමාත්‍යවරයා කියා සිටියේ රාජකාරි සඳහා වාර්තා කරන කිසිදු රාජ්‍ය සේවකයෙක් වාර ප්‍රවේශ පත්‍රයක් තමන් වෙත නොමැති නම් ප්‍රවේශ පත්‍රයක් මිල දී නොගෙන හොරෙන් හෝ බලාත්කාරයෙන් ගමන් කිරීමට උත්සාහ දරනවා යැයි කීම තමන් කිසිසේත්ම පිළිනොගන්නා බවයි.

නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් පසුබිම් සිදුවීමක් තිබිය හැකි බව තමන් විශ්වාස කරන බව අමාත්‍යවරයා කීය.

ඊයේ (26) සිට පොදු ප්‍රවාහණ සේවා ආරම්භ කිරීමේ දී කල් තියා ආසන වෙන් කර ගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයට වාර්තා කරන පිරිස්වලට අවසර දී තිබිනි.

අනුව මෙම සතිය තුළ දුම්රියෙන් ගමන් කිරීම සඳහා මගීන් 18,800 ක් ලියාපදිංචි වී ඇති අතර ඊයේ (26) දිනය තුළ පැමිණ සිටියේ 16,282 ක් තරම් පිරිසකි.

නමුත් කල් තියා ආසන වෙන් කර නොගත්ත ද සේවා ස්ථානවලට වාර්තා කිරීමට පැමිණෙන්නේ නම් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලබා ගෙන ගමන් කිරීමට අවස්ථාව සළසන්නැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දී තිබිනි.

එමනිසා මේ සම්බන්ධව විමසීමක් කර තමන්ට සම්බන්ධව තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය.

එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඇඳිරි නීතිය ලිහිල් කළ මුල්ම අවස්ථාවේ දුම්රිය ප්‍රවේශ පත් නිකුත් නොකර මගීන්ට නොමිලයේ ගමන් කිරීමට ඉඩ දුන්නේ කෙසේ දැයි අමාත්‍යවරයා විමසා සිටියේය.

මේ සම්බන්ධව වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

රජය විසින් විශාල මුදලක් වැය කර නඩත්තු කරන දුම්රිය සේවාව පවත්වා ගැනීම හා මහජන විශ්වසනීයත්වය ගොඩ නගා ගනිමින් ප්‍රවර්ධනය කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවක මණ්ඩලවල වගකීමක් බව අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වුවද ඊයේ (26) අම්බලන්ගොඩ දී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දුන්නේය.

ඊයේ (26) පස්වරුවේ මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විනි ෴

+++++++++++++++++++++++++++++++++++

අමෙරිකාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

(27.05.2020 – 08:44 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකාවේ කොවිඩ්-19 වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

එරටින් මේ වන විට පුද්ගල මරණ 100,580 ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරටින් ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 775 කි.

අමෙරිකාවෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 1,725,155 දෙනෙකු හදුනාගෙන ඇති අතර සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 478,392 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින් 5,678,026 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 351,668 කි ෴

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රමිකයින් 160 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තලින් දකුණු කොරියාවට

(27.05.2020 – 10:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් තත්ත්වයත් සමඟ මෙරටට පැමිණි දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රමිකයින් 160 දෙනෙකු මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද අලුයම යළි එරට බලා පිටත්ව ගියා.

ඒ, මියන්මාර ගුවන් සේවයට අයත් යානයකින්.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මඟ පෙන්වීම යටතේ සංචාරක ආයතනයක් විසින් මියන්මාර යානය මෙම ගුවන් ගමන සඳහා එක් කර ගැනීමට කටයුතු කර තිබුණා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාධිත සැක සහිත පිරිසක් යාපනයේ මීසාලේ ප්‍රදේශයේදී අනතුරට පත් වෙයි

(27.05.2020 – 10:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අසාදිතයන් යැයි සැක සහිත රෝගීන් පිරිසක් රැගත් යාපනය ශික්ෂණ රෝහලේ ගිලන් රථයක් යාපනයේ මීසාලේ ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් ගිලන් රථයේ සහායක සුළු තුවාල ලබා චාවකච්චේරී රෝහලට ඇතුලත් කර පසුව යාපනය ශික්ෂණ රෝහලට මාරු කෙරුණා.

මීසාලේ පොලීසිය මේ අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යනවා ෴

+++++++++++++++++++++++++++++++++++

හෝමාගම – කැන්දලන්ද ප්‍රදේශයේදී ගිලන් රථ 04 ක් ගැටී සිදුවූ අනතුර

(26.05.2020 – 20:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිත 24 දෙනෙකු මින්නේරිය ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සිට හෝමාගම මූලික රෝහල වෙත රැගෙන එමින් තිබූ ගිලන් රථ 04 ක් ගැටී හෝමාගම – කැන්දලන්ද ප්‍රදේශයේදී අද (26) පස්වරුවේ අනතුරක් සිදුවුණා.

පොලිසිය පැවසුවේ ඉදිරියෙන් ගමන් කළ ගිලන් රථය එක්වරම තිරිංග ක්‍රියාත්මක කිරීමත් සමඟ පසුපසින් පැමිණි තවත් ගිලන් රථ 03 ක් එහි ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් කොරෝනා ආසාදිතයන්ට හෝ වෙනත් කිසිවෙකුට තුවාල සිදුව නැහැ.

+++++++++++++++++++++++++++++++++++

විදේශයන් හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෛරස් ප්‍රභේදය ගැන සොයන්න – වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්

(27.05.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසයේ කුමන ප්‍රභේදය ද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ අවදානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (27) උදෑසන එක්වෙමින් ඔහු කියා සිටියේ කොරෝනා දෙවන රැල්ලක් ඇති වීමේ අවධානම වැළැක්වීම සඳහා එය අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ගයක් වන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා වැසුණු අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (28) සිට විවෘතයි

(27.05.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (28) සිට යළි විවෘත කිරීමට නියමිතයි.

එම තානාපති කාර්යාලය නිවේදනය කළේ එරට සෞඛ්‍ය අධිකාරිය විසින් නියම කර ඇති පූර්ව සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ සහ තානාපති කාර්යාලයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමිනුයි සේවා කටයුතු සිදුකරන බවයි.

කොරෝනා ආසාදිත සේවකයින් 5 දෙනෙකු සොයා ගැනීමෙන් පසුව අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමුණේ පසුගිය 21 වන දායි ෴

+++++++++++++++++++++++++++++++++++

19 වන සංශෝධනයේ ගම්මන්පිලට හසුවූ හොඳ

(26.05.2020 – 20:32 +0530 – hirunews.lk/sinhala)

දැඩි විවේචනයට ලක්වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එක් යහපත් ලක්ෂණයක් හේතුවෙන් මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය වූ බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදියි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

රත්නජීවන් හූල් බෙදුම්වාදී එන්.ජී. ඕ. කාරයෙක් – හිටපු මන්ත්‍රී ජයන්ත සමරවීර

+++++++++++++++++++++

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා

***************************************

සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම නිසා අසරණ වූ මොණරාගල වට්ටක්කා ගොවීන්

(27.05.2020 – 14:15 +0530 – hirunews.lk/sinhala)

සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මොණරාගල වට්ටක්කා ගොවීන් දැඩි දුෂ්කරතාවට මුහුණ දී සිටිනවා.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ සිය අස්වනු මිලදී ගැනීම සඳහා මැදිහත් වන ලෙසයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ – කහම්බාන – ඉත්තෑකටුව – පෙණගල්ලන්ද ඇතුළු ගම්මාන කිහිපයක ගොවීන් මෙවර ඉහළ වට්ටක්කා අස්වැන්නක් ලබා තිබෙනවා.

නමුත් මේ වනවිට ඔවුන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුව වන්නේ සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීමයි.

ගොවීන් පවසන්නේ පැවැති සාකච්ඡා කිහිපයකදීම සිය අස්වනු මිලදී ගැනීම සඳහා මැදිහත් වන බවට බලධාරීන් පොරොන්දු ලබා දුන්න ද මෙතෙක් එය ඉටුවී නොමැති බවයි.

***************************************

වසර 150 කට පසු බිත්තර දැමූ සංචාරක පක්ෂියා

(27.05.2020 – 14:00 +0530 – hirunews.lk/sinhala)

සංක්‍රමණික පක්ෂියෙකු වන සිලුටු දෑ තුඩුවා වසර 148 කට පසු මෙරට දී පැටවුන් බෝ කර ඇති බව බුන්දල ජාතික වනෝද්‍යානයේ භාරකරු අජිත් රණසිංහ මහතා පවසනවා.

වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ ගමන් කරන අතුරු මාර්ගයක පිහිටි විශාල ගසක මෙම පක්ෂියාගේ බිත්තර සහිත කැඳැලි කිහිපයක් හමුවූ බව ඔහු සඳහන් කළා.

***************************************

‘හිරු රතු මිනිත්තුව’ : සුන්දර මීමුරේ දුෂ්කර ජීවිත

(27.05.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් මීමුරේ ගම්මානය කොතරම් සුන්දර වුවත් ඒ ගමේ ජතාවගේ ජිවිතය නම් එතරම්ම සුන්දර නැති බව ‘හිරු රතු මිනිත්තුව’ට වාර්තා වුණා.

මහනුවර – උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීමුරේ ගම්මානය දීර්ඝ කාලයක් තිස්සේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් සුන්දර පාරාදීසයක්.

ඒ ගම්මානය කෙතරම් සුන්දර වුවත් ඒ ගම්වැසියන්ගේ ජිවිත එතරම් සුන්දර නැති බව එහි ගිය අපට දක්නට ලැබුණා.

ගම්මානයට ඇතුළු වන කිලෝමීටර 33 ක මාර්ගයේ ඇතැම් ස්‌ථානවල ගමන් කිරීම අතුරේ යෑමක් බව ගම්වාසීන් පවසනවා.

***************************************

වාසුගෙන් විපක්ෂයේ මන්ත්‍රී වරුන්ට චෝදනාවක්

(27.05.2020 – 13:54 +0530 – hirunews.lk/sinhala)

අපරාධකරුවන් දේශපාලනඥයන් වූ පමණින් අපරාධ වලින් වසන් වීමට නොහැකි බව හිටපුපාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අද කොළඹදී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

***************************************

පේදුරුතුඩුවේ පිපිරීමකින් පොලිස් නිලධාරියෙකුට තුවාල

(27.05.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

පේදුරුතුඩුව – වල්ලිපුරම් – බෝගහ හන්දිය ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධයක් අසළ සිදුවූ සුළු පිපිරීමකින් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ වැලි ප්‍රවාහනය කරන රථ පරීක්ෂා කිරීම සඳහා යොදා තිබූ පොලිස් මාර්ග බාධයක් අසළ අද (27) උදෑසන මෙම පිපිරිම සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, පිපිරීම සිදුවූ ස්ථානයට මේ වන විට බෝම්බ නිශ්ක්‍රීය අංශය කැදවා ඒ පිළිබද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මේ අතර, අදාළ පිපිරීම සහ වැලි ජාවාරම්කරුවන් අතර යම් සම්බන්ධයක් ඇත්ද යන්න සම්බන්ධයෙන් පේදුරුතුඩු පොලීසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

+++++++++++++++++++++

යාපනයේ පිපිරීමක් – පොලිස් නිලධාරියෙකුට තුවාල

(27.05.2020 – 14:34 +0530 – lankaleadnews.com)

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක් ආසන්නයේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා.

අද (27) උදෑසන 07:10 ට පමණ පිපිරීම සිදුව ඇති අතර පිපිරීමෙන් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

පිපිරීම සිදු වූයේ කුමක් ද යන්න සොයා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙනවා.

***************************************

2021 සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ

(27.05.2020 – 15:11 +0530 – hirunews.lk/sinhala)

2021 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම සඳහා වන අයදුම්පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

***************************************

සරසවි ප්‍රවේශයට ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජූනි 2 වනදායින් අවසන්

(27.05.2020 – 15:04 +0530 – hirunews.lk/sinhala)

2019 – 2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත් කැඳවීම ලබන මස 2 වනදා අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පාසල් යළි ආරම්භ කර සති දෙකක් යනතෙක් මෙම අයදුම්පත් භාරගැනීම වැඩිදුරටත් දීර්ඝ කර තිබුණා.

කෙසේ වෙතත් රටේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බැවින් මෙම තීරණය ගත් බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා නිවේදනය කළේ.

1. Click on image
2. Use ‘Ctrl’ + ‘+’ keys to increase the size of the Image

***************************************

කොරෝනා පාලනයට රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ සියලු බදු වලින් නිදහස් – ඇමති ප්‍රසන්න රණතුංග

(27.05.2020 – 12:35 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ හා උපාංග සියලු බදු වලින් නිදහස් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊට අදාළව ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන වෙත ලබා දිමට හෝ ප්‍රදානය කිරීමට ගෙන්වනු ලබන සෞඛ්‍ය උපකරණ හා උපාංග සියලුම බදු වලින් නිදහස් කෙරේ.

ඒ අනුව එම උපකරණ හා උපාංග ගෙන්වීමේ දී රේගු බදු හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද , සෙස් හා වැට් බදු ඇතුළු සියලු බදු වලින් නිදහස් වන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

මෙම බදු සහන මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා හිමි වන බව බවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමගතව ඇති කර්මාන්තකරුවන්ට ද මෙම සහනය සැලසෙන බවයි.

මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද කැබිනට් මණ්ඩලයේ දී අනුමත වී තිබේ.

අදාළ කැබිනට් පත්‍රිකාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. එම කැබිනට් පත්‍රිකාවට අනුව සැකසුණු ගැසට් නිවේදනයට තමන් පසුගිය සතියේ අත්සන් තැබු බව ද ඇමතිවරයා කියා සිටී ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *