මැයි 24 (ඉරිදා) සහ 25 (සඳුදා) දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මැයි 24 (ඉරිදා) සහ 25 (සඳුදා) දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි (විඩියෝ)

• පසුගිය දින විස්ස (20) තුළදී රට තුළින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නෑ

• වන සත්ව මස් වෙළඳාමට එරෙහිව චීනයෙන් දැඩි පියවර

• පාස්කු ප්‍රහාරය ගැන දැනුවත්ව තිබියදී කොටුව පොලිසීයේ නිලධාරීන් වගකීම් විරහිතව ක්‍රියා කර ඇතැයි හෙළිවෙයි (විඩියෝ)

• දෙවනගල උරුමය සොයාගිය ‘හිරු සී.අයි.ඒ.’ මෙහෙයුම (විඩියෝ)

• මැතිවරණය පැවැත් වීමේ දිනය අභියෝග කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම අඟහරුවාදා උදේ 10 ට

• මැතිවරණ ක්‍රියාදාමය නිරෝධායන ක්‍රියාවලියට අනුව පවත්වාගෙන යා හැකියි – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මැතිවරණ බලධාරීන්ට දැනුම් දෙයි

• මහමැතිවරණයට එරෙහි පෙත්සම් නිශ්ප්‍රභ කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

• මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීම තවදුරටත් දීර්ඝ කෙරේ

• ආනයනික ආහාර ද්‍රව්‍ය විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කරයි

• සංගා මහේල අගමැති මහින්ද හමුවී කී කතාව (විඩියෝ)

• ශාසන පරිහානියට අදාළ සමාජ මාධ්‍ය පුවත් ගැන අමරපුර මහා සංඝ සභාවෙන් නිවේදනයක්

• පාසල් දරුවන්ගේ දිවා ආහාරය වෙනුවට පෝෂණ මල්ලක්

• පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළ ගැන අසත්‍ය ප්‍රචාර පතුරවන්න එපා – අධ්‍යාපන ඇමති (විඩියෝ)

• කොළඹ රෝහල්වල සායනික අපද්‍රව්‍ය පල්ලමට

• සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සව පවත්වන ලෙසට දැනුම්දීමක්

• 107 දෙනෙකු රැගත් ගුවන්යානයක් කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී කඩා වැටෙයි (විඩියෝ)

• ‘ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී.’ ආයතනයේ බලපත්‍රය අවලංගු කෙරේ

+++++++++++++++++++++++++++++++++++

මැයි 24 (ඉරිදා) සහ 25 (සඳුදා) දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි

(22.05.2020 – 10:24 +0530 – sinhala.adaderana.lk)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැයි 24 දා ඉරිදා සහ 25 දා සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට (23) රාත්‍රී 08:00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26 වනදා අඟහරුවාදා උදේ 05:00 ට ලිහිල් කෙරෙයි.

මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 08:00 සිට අලුයම 05:00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ හෙටත් (23) ක්‍රියාත්මක අතර මැයි 26 වන දා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යනු ලැබේ.

කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීතියට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.

+++++++++++++++++++++++++++++++++++

පසුගිය දින විස්ස (20) තුළදී රට තුළින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නෑ

(22.05.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට කොරෝනා රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදාවෙන් සහ විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ප්‍රකාශ කළා.

පසුගිය දින විස්ස (20) තුළදී රට තුළින් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ.

මේ අතර, ආසාදිතයින් 27 දෙනෙකු ඊයේ (21) දිනයේ හමුවීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 1055 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 15 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක්.

වාර්තා වූ අනෙක් ආසාදිතයන් 12 දෙනාගෙන් 11 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් වන අතර, ඉතිරි පුද්ගලයා කුවේටයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක්.

මේ වනවිට මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 620 ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 426 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ අතර, විදේශගත ශ්‍රමිකයින් 350 දෙනෙකු පමණ කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

ඉන් 200 දෙනෙකු පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින් බවයි එහි සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.එම්.වී. වන්සේකර මහතා කියා සිටියේ.

එමෙන්ම, නිවාඩු සඳහා පැමිණ සිටින දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රමිකයින් 160 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් ලබන 27 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

වන සත්ව මස් වෙළඳාමට එරෙහිව චීනයෙන් දැඩි පියවර

(22.05.2020 – 12:16 +0530 – hirunews.lk/sinhala)

වන සතුන් දඩයමට සහ වන සත්ත්ව මස් වෙළඳාමට දැඩි දඬුවම් පමුණුවන බව චීනය පවසනවා.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පසුගිය වසරේ දෙසැම්බරයේ ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරයේ වන සත්ත්ව මස් වෙළඳපොළෙන් බව වෛද්‍ය විශේෂඥයන්ගේ විශ්වාසයයි.

වෛරසයේ ව්‍යාප්තියත් සමඟ චීනය වන සත්ත්ව මස් වෙළදාම තහනම් කළ අතර, වන සත්ත්ව දඩයම, මස් සඳහා සතුන් බෝ කිරීම මෙන්ම ප්‍රවාහනය ද එරට ප්‍රාන්ත රැසක් තහනම් කරනු ලැබුවා.

මෙලෙස වන සත්ත්ව මස් පාරිභෝජනයට එරෙහි දඬුවම් දැඩි කිරීම හේතුවෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දෙන පැන්ගෝලින් වැනි සතුන් සංරක්ෂණයට ඉඩ සැලසෙන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා ෴

***************************************

පාස්කු ප්‍රහාරය ගැන දැනුවත්ව තිබියදී කොටුව පොලිසීයේ නිලධාරීන් වගකීම් විරහිතව ක්‍රියා කර ඇතැයි හෙළිවෙයි

(22.05.2020 – 08:54 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය පිළිබඳ පැහැදිලි පූර්ව දැනුවත් කිරීමක් කර තිබියදී, රටේ ප්‍රධාන මර්මස්ථාන 33 ක ආරක්ෂාව භාරව ඇති කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් දැඩි ලෙස වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බව ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණ වුණි.

එමෙන්ම එම වගකීම් පැහැර හැරීම වසන් කිරීම සඳහා එම පොලිස් ස්ථානයේ නිලධාරින් කොමිසම ඉදිරියේ පරස්පර සාක්ෂි ලබාදෙන්නට උත්සාහ කරන්නේද යන්න පිළිබඳත් ඊයේ (21) කොමිසම අවධානය යොමු කළා.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිෂන් සභාවට ඊයේ (21) කොටුව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරික්ෂක ලලන්ත ප්‍රියදර්ශන මහතා කැඳවා තිබුණි.

ඒ, ත්‍රස්ත ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ ලලන්ත ප්‍රියදර්ශන මහතා කොටුව පොලිස් ස්ථානයේ රාජකාරි භාරව සිටි බවට එදින වැඩ බැලූ ස්ථානාධිපති සරත් කුමාරසිංහ මහතා ලබාදී තිබු සාක්ෂියකට අනුවයි.

ඊයේ (21) සාක්ෂි දුන් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසුවේ අප්‍රේල් 20 වැනිදා සවස එදින ස්ථානාධිපති ලෙස වැඩ බැලූ ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් කුමාරසිංහ දුරකතනයෙන් තමන් අමතා කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් ආරක්ෂාව තර කරන ලෙස උපදෙස් ලබාදුන් බවයි.

නමුත් ප්‍රහාරයක් එල්ල වන දිනයක් හෝ වෙලාවක් සඳහන් නොකළ බව ඔහු කියා සිටියේය.

කෙසේවෙතත් මෙම සාක්ෂිකරු මින් පෙර ජනාධිපති කොමිසමේ පොලිස් එකකයට ලබාදුන් ලිඛිත සාක්ෂිය තුළ “අද දින ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් පැය 23 සිට ආරක්ෂාව තර කරන ලෙස” වැඩ බැලූ ස්ථානාධිපතිවරයා තමන්ට දැන්වූ බව ප්‍රකාශ කර තිබීම කොමිසමේ අවධානයට යොමු වුණි.

එබැවින් කොමිසම නියම කළේ එම දුරකතන ඇමතුමෙන් ලබාදුන් පණිවිඩය පිළිබඳ පොලිස් සටහන් පොතේ එදින තැබු සටහන කියවන ලෙසයි.

එහිදි සාක්ෂිකරු එම පණිවුඩය පිළිබඳ සකස් කරගෙන පැමිණි උදෘතයක් කොමිසම හමුවේ කියවූවේය.

නමුත් එහි අද දිනයේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවක් හෝ පැය 23 සිට අරක්ෂාව යොදන ලෙස උපදෙස් දුන් බවක් එහි සටහන්ව තිබුණේ නොමැත.

මුල් ප්‍රකාශයේ සහ කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂියේ පරස්පරතා පිළිබඳ ජනාධිපති කොමිසම එහිදී දැඩිව ප්‍රශ්න කළා.

සාක්ෂිකරු සඳහන් කළේ “අද සහ පැය 23” යන වචන, ප්‍රකාශය සිදුකිරීමේදි තමන්ගේ අතින් එකතු වූ වචන බවයි.

කොමිසමේ සභාපතිවරයා සාක්ෂිකරුගෙන් විමසුවේ කවුරුන් හෝ ඉහළ නිලධාරියෙකු තමාගේ සාක්ෂිය කෙරෙහි බලපෑමක් කළේද යන්නයි.

“තමන් කළ රාජකාරිය ගැන පමණක් කියන්න වැඩි විස්තර කියන්න එපා” යනුවෙන් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා තමන්ට උපදෙස් දුන් බව ඔහු කියා සිටියේය.

මෙහිදී කොමිසමේ සභාපතිවරයා දැඩිව ප්‍රශ්න කළේ සාක්ෂිකරු පොලිස් එකකයට ලබාදුන් මුල් ප්‍රකාශයේ සඳහන් වූ පැය 23 යන වචනය උදෘතයෙන් ඉවත් කිරීමට කවුරුන් හෝ උපදෙස් දුන්නේද යන්නයි.

එම ප්‍රශ්නයට සාක්ෂිකරු කිසිදු පිළිතුරක් නොදී නිහඩව සිටියේය.

එසේම වැඩබලන ස්ථානාධිපතිවරයා ප්‍රහාරයක් සම්බන්ධයෙන් කළ දැනුවත් කිරීම පිළිබඳ මාර්ග බාධකවල සිටි නිලධාරින් දැනුවත් කළේද යන්න ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේය

එහිදීත් සාක්ෂිකරු පළමුව කියා සිටියේ ඒ පිළිබඳ මාර්ග බාධක නිලධාරින් දැනුවත් කළ බවයි.

නමුත් ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම ගැන විශේෂ දැනුම්දීමක් නොකළ බව සාක්ෂිකරු යළිත් පැවසුවේ සාක්ෂි පිළිබඳ නැවත පරස්පරතාවක් මතු කරමින්.

එහිදි ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ අප්‍රේල් 20 වන දින වන විට ලැබී තිබු අනතුරු ඇගවීම්වලට අනුව මාර්ග බාධකවල පරීක්ෂණ තර කළේ නම් එක් ත්‍රස්තවාදියෙකු හෝ අල්ලා ගැනීමට හැකියාව තිබු බව පිළිගන්නේද යන්නයි.

මාර්ග බාධක නිසි ලෙස ක්‍රියාත්මක කළේ නම් එක ත්‍රස්තවාදියෙකු හෝ අල්ලා ගැනීමට හැකියාව තිබු බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තේය.

ඉන් අනතුරුව කොමිසම හමුවට කැඳවූයේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.කේ.සී.පී. කලුආරච්චි මහතායි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දෙවස්ථානයකින් කඩු සොයාගැනීම සිද්ධිය පිළිබද කොමිසම ඔහුගෙන් විමසා සිටියේය.

එහිදි සාක්ෂිකරු සඳහන් කළේ එම මුස්ලිම් දෙවස්ථානයේ මවුලවිවරයා රැඳී සිටි කාමරයේ ඇඳ යට තිබි එංගලන්තයේ නිෂ්පාදිත නවතම කඩු 46 ක් සොයාගත් බවයි.

මාවනැල්ල බුදුපිළිමවලට පහරදිමේ සිද්ධියෙන් පසු මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ලවුවහොත් භාවිත කිරීම සඳහා එම කඩු ගෙන්වා ගත් බව සැකකාර මවුලවිවරයා පැවසුවේ යැයි සාක්ෂිකරු කියා සිටියේය.

ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ එම කඩු කැලයක් කැපීමට ගෙනවිත් තිබු බව හිටපු තැපැල් අමාත්‍ය මොහොමඩ් හලීම් මහතා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කුමන අදහසක් දරන්නේද යන්නයි.

එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ ප්‍රහාරය එල්ල වූ සමයේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි මුස්ලීම් දෙවස්ථාන 10 ම තමන් පරික්ෂා කළත් එම කිසිදු ස්ථානයක, කැපීමට තරම් ඝනව වැවුණු කැලයක් තමන්ට හමු නොවූ බවයි.

***************************************

දෙවනගල උරුමය සොයාගිය ‘හිරු සී.අයි.ඒ.’ මෙහෙයුම

(21.05.2020 – 21:43 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික මාවනැල්ල දෙවනගල පූජා භූමියට අයත් ඉඩම් රැසක් පසුගිය කාලයේ දේශපාලන මැදිහත්වීම මත බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇතැයි එම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් පවසනවා.

අද ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය දෙවනගල පුදබිමට අද අත්ව ඇති ඉරණම පිළිබඳවයි.

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ – මාවනැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති දෙවනගල රජමහ විහාරය අක්කර 72 ක් පුරා පැතිරුණු විශාල ගල් තලාවක් මත ඉදිව ඇති සුන්දර පුදබිමක්.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට මෙන්ම ගෞරවයට ද පාත්‍ර වන මෙම පුදබිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වූවක්.

පුරා විද්‍යා තොරතුරු අනුව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාධක සහිත දෙවනගල විහාරය අනුරාධපුර යුගයේ ධාතුසේන රජ සමයේ ඉදිකරවූ විහාරස්ථානයක්.

මෙම පෞරාණික ස්ථානය පොළොන්නරු යුගයේ සහ මහනුවර යුගයේ සෙල්ලිපි දෙකකින් ද, මහනුවර යුගයේ මූර්ති සහ සිතුවම් සහිත ටැම්පිට විහාරයකින් මෙන්ම පෞරාණික සිරිපතුලකින් යුතු ස්මාරක වලින් ද සමන්විතයි.

කෙසේ වෙතත්, මෙම ස්ථානයේ පිහිටා ඇති පුරාණ සෙල්ලිපිවලට කලකට ඉහත ඇසිඩ් හා යම් රසායනික වර්ගයක් යොදා හානි කිරීමට කිසියම් පිරිසක් උත්සාහ ගෙන තිබුණා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වූවත් මෙම ස්ථානයේ පාදම පරිශ්‍රය මේ වනවිටත් අනවසර ඉදිකිරීම් හේතුවෙන් විනාශ වී අවසන්.

ඓතිහාසික දෙවනගල විහාරස්ථාය පසුගිය කාලය පුරා ඉඩම් ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතුව තිබුණේ පසුගිය යහපාලන ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයෙකුගේ ද සහය ඇතුවයි.

මීට වසර දෙකකට පමණ පෙර දෙවනගල විහාරස්ථානයේ භාරකාර හිමියන් ලෙස පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් පත්වීමත් සමඟ සඟවා තැබීමට උත්සාහ කළ දෙවනගල විහාරස්ථානයට අයත් භූමි පිළිබඳව අනාවරණ කර ගත්තා.

දෙවනගල විහාරයේ භාරකාර හිමියන් පෙන්වා දෙන පරිදි පසුගිය කාලයේ පුරාණ සෙල්ලිපියට හානි කර ඇති හේතුව ද මේ වනවිට හෙළිවෙමින් පවතිනවා.

‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම දෙවනගල විහාරස්ථානයේ උරුමය සොයා ගිය අවස්ථාවේදී වංචනික අන්දමින් විහාරස්ථානය සතු කුඹුරු ඉඩම් ද, ගොඩ ඉඩම් බවට පත්කළ ජාවාරමක් පිළිබඳව සොයා ගත්තා.

ඒ පිළිබඳ සියලු තොරතුරු හෙට (22) හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කිරීමට අප සූදානමින්.

***************************************

මැතිවරණය පැවැත් වීමේ දිනය අභියෝග කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම අඟහරුවාදා උදේ 10 ට

(22.05.2020 – 15:04 +0530 – sinhala.adaderana.lk)

ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම 26 වනදා අඟහරුවාදා උදෑසන 10 තෙක් කල් තබා තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද (22) පස්වන දිනටත් පෙත්සම් කැඳවනු ලැබීය.

අදාළ පෙත්සම් බලා වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22) පෙරවරුවේ වැඩිදුරටත් කරුණු දැක්වීම ආරම්භ කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

මැතිවරණ ක්‍රියාදාමය නිරෝධායන ක්‍රියාවලියට අනුව පවත්වාගෙන යා හැකියි – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මැතිවරණ බලධාරීන්ට දැනුම් දෙයි

(22.05.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

දැනට රටේ පවතින නිරෝධායන ක්‍රියාවලියට අනුව මැතිවරණ ක්‍රියාදාමය පවත්වාගෙන යා හැකි බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා, මැතිවරණ බලධාරීන්ට දැනුම්දීමක් සිදුකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අද (22) ප්‍රකාශ වුණා.

ඒ, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කල ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද (22) 5 වන දිනටත් ආරම්භ වූ අවස්ථාවේදියි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අතර, එහිදී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව සඳහන් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා එලෙස දැනුම්දීමක් කර තිබියදී මැතිවරණ කොමිසම, මැතිවරණය යළි කල් දැමීම ගැටළුසහගත බවයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ.

පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් සිදුවෙමින් පවතිනවා.

මේ අතර, මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොතිබියදි ඇතැම් අපේක්ෂකයින් සිය අංකය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටින බවට තොරතුරු ලැබි ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

අපේක්ෂක නාම ලේඛනයේ ආකාරාදි පිලිවෙල අනුව ඇතැමුන් මනාප අංකය ප්‍රසිද්ධ කර ඇති අතර, ඡන්දය කඩිනමින් පැවත්වුවහොත් ජනතාවට මනාප අංකය ප්‍රසිද්ධ කිරීමේ කාලය සීමා වනු ඇතැයි යන බියෙන් ඔවුන් ඒ සඳහා පෙළඹී ඇති බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.

කෙසේ වෙතත්, මනාප අංක ගැසට් කිරීම සඳහා මේ වන විට මුද්‍රණයට යවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නියෝගයට අනුව අදාළ කටයුතු සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ නමුත්, මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ මෙලෙස ගැසට් නිවේදනය නිකුත් වීමට පෙර අපේක්ෂකයින් මනාප අංක ප්‍රසිද්ධ කිරීම යෝග්‍ය නොවන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

මහමැතිවරණයට එරෙහි පෙත්සම් නිශ්ප්‍රභ කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

(22.05.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් පදනමක් හෝ නීතිමය වලංගුතාවයක් නොමැති බැවින් විභාගයකින් තොරව නිශ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නීතිපති දප්පුල ද ලිවේරා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් බවයි අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

***************************************

මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීම තවදුරටත් දීර්ඝ කෙරේ

(22.05.2020 – 15:19 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවත් මසකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව රටේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති ආරක්ෂක ක්‍රියාදාමයේ දිගුවක් ලෙසින් ෴

***************************************

ආනයනික ආහාර ද්‍රව්‍ය විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කරයි

(22.05.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, රතුළුණු, අර්තාපල්, සුදුළුණු, පරිප්පු, හාල්මැස්සන්, සැමන් යන භාණ්ඩවල මෙන්ම, දොඩම්, මිදි සහ ඇපල් යන ආනයනික පළතුරු වර්ග සඳහා පනවා ඇති බදු සංශෝධනය කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා කියා සිටියේ.

දේශිය නිෂ්පාදන දිරිමත් කිරීමේ අරමුණින් රජය විසින් මෙම තීරණය ගෙන ඇති බව ද ඔහු සඳහන් කළා.

21-05-2020 දින ගැසට් අංක 2176-18 : 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ නියමය (pdf file)

( මුදල් අමාත්‍යාංශය – මහා භාණ්ඩගාරය, ශ්‍රී ලංකාව )

***************************************

සංගා මහේල අගමැති මහින්ද හමුවී කී කතාව

(22.05.2020 – 12:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සහ දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

එහිදී පසුගිය 17 වැනිදා පටන් බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වූ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවීමට තීරණය කළා.

මේ අතර එම සාකච්ඡාවේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් වන මහේල ජයවර්ධන මහතා සහ කුමාර් සංගක්කාර මහතා පළකළ අදහස් පහතින් :

***************************************

ශාසන පරිහානියට අදාළ සමාජ මාධ්‍ය පුවත් ගැන අමරපුර මහා සංඝ සභාවෙන් නිවේදනයක්

(22.05.2020 – 09:38 +0530 – hirunews.lk/sinhala)

ශාසන පරිහානියට අදාළ සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන ඇතැම් වීඩියෝ පට හා සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර කරුණු වෙතොත් ඒ සම්බන්ධයෙන් දැනුම්දෙන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අමරපුර පාර්ශව සංඝ සභාව ඉල්ලාසිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ලේඛකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බටපොළ මේධානන්ද නායක මාහිමිපාණන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ආන්දෝලනාත්මක වීඩියෝ පටයේ පෙනී සිටින බොරැල්ලේ සිරි සුමන හිමි පිළිබඳව සොයා බැලීම සඳහා උන්වහන්සේ වැඩවෙසෙන කඩවත පිහිටි ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කළ බවයි.

අදාළ නිවේදනය පහතින් :

***************************************

පාසල් දරුවන්ගේ දිවා ආහාරය වෙනුවට පෝෂණ මල්ලක්

(22.05.2020 – 08:20 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන්ගේ දිවා ආහාරය වශයෙන් වෙන්කර තිබූ මුදලින් රුපියල් දහසකට (1000) ආසන්න වටිනාකමකින් යුත් පෝෂණ මල්ලක් ඔවුන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් දැනට නිවෙස්වලට වී සිටින දරුවන්ට මෙම පෝෂණ මල්ල ලබාදීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළේ.

ඉදිරියේදී පාසල් විවෘත කරන ආකාරය පිළිබඳව පළාත් මට්ටමින් සිදුකරන සාකච්ඡා සඳහා වව්නියාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා ෴

+++++++++++++++++++++++++++++++++++

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළ ගැන අසත්‍ය ප්‍රචාර පතුරවන්න එපා – අධ්‍යාපන ඇමති

(22.05.2020 – 15:38 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ගෙන යන අසත්‍ය ප්‍රචාර හෙළාදකින බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

කොරෝනා හදිසි තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයන් හි ප්‍රගතිය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේ අද (22) පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටම අභියෝගයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ රජය, පාසල් දරුවන් හෝ ඔවුන්ගේ දෙමව්පියන් අපහසුතාවට ලක්කිරීමට කිසිසේත් කටයුතු නොකරන බවයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ නැවත පාසල් ආරම්භ කිරීමට තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා සුදුසු පසුබිමක් රට තුළ ගොඩනැගී ඇති බවට ලබාදෙන පූර්ණ තහවුරුවකින් පසුව පමණක් බවයි.

***************************************

කොළඹ රෝහල්වල සායනික අපද්‍රව්‍ය පල්ලමට

(22.05.2020 – 08:16 +0530 – hirunews.lk/sinhala)

පල්ලම – ආඬිගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) දහවල් ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ ප්‍රදේශයේ රෝහල්වලින් බැහැර කරන සායනික අපද්‍රව්‍ය රැගත් ලොරි රථයක් මීට පෙර අවස්ථා කිහිපයකදී ප්‍රදේශයට පැමිණි බව සිද්ධිය පොලිසියට දැනුම්දුන් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉඩමේ හිමිකරුට සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම වෙනුවෙන් අදාළ රෝහල්වලින් මුදල් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සව පවත්වන ලෙසට දැනුම්දීමක්

(22.05.2020 – 15:41 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් රට පුරා පොසොන් උත්සව සැමරුම් පවත්වන ලෙසට සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කොවිඩ් 19 වෛරසය මේවන විට සෞඛ්‍ය අංශ පාලනයේ පවතින බැවින් දුරස්ථභාවය රැකෙන ආකාරයෙන් පොසොන් පොහොය දින ශීල ව්‍යාපාර පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

“ආරෝග්‍යා පරමා ලාභා” තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැද මළුවේදී පැවැත්වෙනවා.

ඊයේ (21) පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ ලොවම සෞඛ්‍ය ගැටළුවකට මුහුණදී සිටින මෙම අවස්ථාවේ රාජ්‍ය වෙසක් උත්සවය සැමරූ “ආරෝග්‍යා පරමා ලාභා” තේමාව පොසොන් උත්සවය සැමරීමට යොදා ගැනීම සුදුසු බවයි.

ඒ අනුව මිහින්තලා පුද භූමියේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය, අටමස්ථාන ආශ්‍රිතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පිංකම් ද ඇතුළුව රට පුරා පැවැත්වෙන පිංකම් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කෙරෙනවා.

අවදානම් පිරිස් ලෙසට සැලකෙන යම් යම් රෝග තත්වයන් පවතින පුද්ගලයන් සහ වයස්ගත පිරිස් ශීල ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් වළකින ලෙසටයි සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ලබා ගනිමින් විහාරස්ථාන අවට සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ශීල ව්‍යාපාර පැවැත්වීමට හැකියාව ලැබෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දැනුවත් කෙරෙනු ඇති.

මෙවර පොසොන් පොහොයේදී පෙරහර පිංකම් අතශ්‍යවශ්‍ය අංග පමණක් සහභාගී කර ගනිමින් විහාරස්ථාන භූමියට පමණක් සීමා කිරීම මගින් ජන සහභාගීත්වය අවම කිරීමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අංශ දැනුම්දී තිබෙනවා ෴

***************************************

107 දෙනෙකු රැගත් ගුවන්යානයක් කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී කඩා වැටෙයි

(22.05.2020 – 16:04 +0530 – hirunews.lk/sinhala)

පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේදී 107 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

එහි මගීන් 99 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 8 දෙනෙකු ගමන් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබු යානයකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ.

කරච්චි ගුවන්තොටුපල ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයකට A320 වර්ගයේ මෙම යානය කඩා වැටී තිබෙනවා.

අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

මේවන විට ගුවන්යානය කඩා වැටී ස්ථානයට ගිලන් රථ සහ සහන කණ්ඩායම් පැමිණ තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ පකිස්ථානය තුල මෙවැනි ගුවන් අනතුරු රැසක් සිදුවන බවයි.

2010 වසරේදී පෞද්ගලික සමාගමකට අයත් ගුවන්යානයක් ඉස්ලාමාබාද් නුවර ආසන්නයේදී අනතුරට ලක්වුනා.

එහිදී පුද්ගලයන් 152 ක් ජීවිතක්ෂයට පත්වූ අතර එය පකිස්ථාන ඉතිහාසයේ දරුණුතම අනතුර ලෙසටයි සැලකෙන්නේ.

2012 වසරේදී බෝයිං 737 වර්ගයේ යානයක් අයහපත් කාලගුණික තත්වය හමුවේ රාවල්පින්ඩි නුවරදී කඩා වැටුනා.

එහිදී කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ද සමගින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 127ක්.

එමෙන්ම තවත් පකිස්ථාන ගුවන්යානයක් ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරමින් සිටියදි කඩාවැටුනේ පුද්ගලයන් 47 දෙනෙකුට දිවි අහිමි කරමින්.

***************************************

‘ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී.’ ආයතනයේ බලපත්‍රය අවලංගු කෙරේ

(22.05.2020 – 17:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

‘ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී’ ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධව මහ බැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේයි :

“2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ‘ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනය’, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එය උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් විය.

විවිධ උපායමාර්ග ඔස්සේ ආයතනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැරූ සියලු ප්‍රයත්නයන් අසමත් වී ඇති අතර වර්තමාන තත්ත්වය යටතේ ආයතනය ක්‍රියාත්මක වීම තවදුරටත් තැන්පතුකරුවන්ගේ හා අනෙකුත් ඇල්මැති පාර්ශ්වයන්ගේ යහපත අවම කිරීමට හේතු වනු ඇත. තව ද පසුගිය මාස 15ක කාලය තුළ දී තම තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට තැන්පතුකරුවන් හට නො හැකි වී ඇත.

මීට ඉහත දී 2019 ඔක්තෝබර් මස 23 දින මාධ්‍ය නිවේදනය මගින් දැනුම් දුන් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ඇල්මැති පාර්ශ්වයන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමක් නිකුත් කරන ලදී.

මුදල් ව්‍යාපාර පනත ප්‍රකාර ව නියම කර ඇති කාල රාමුව තුළ දී බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමට එදිරි ව ලිඛිත ව වලංගු විරෝධතාවක් ගොනු කිරීමට ආයතනය අසමත් විය. මේ අනුව 2019 දෙසැම්බර් 21 දිනෙන් පසු ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාව මුදල් ව්‍යාපාර පනත ප්‍රකාර ව පැවතිණ. කෙසේ වුව ද ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනයේ ඉල්ලීමට අනුව ආයතනයේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු එනම් හා ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත සැලැස්මක් සහ වලංගු ශේෂ තහවුරුවක් සමඟ විශ්වසනීය ආයෝජකයෙකු හඳුනා ගැනීමට කැමැත්ත පළ කිරීමේ ලියවිලි කැඳවීමට නැවත වරක් මුදල් මණ්ඩලය විසින් අවසර ලබා දුන්න ද එවැනි ආයෝජකයෙකු හඳුනා ගැනීමට ආයතනය මේ දක්වා අසමත් වී ඇත.

එම නිසා 2020 මැයි 22 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරන ලදී. මේ අනුව ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයට 2020 මැයි 22 දින සිට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑමට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අනුව අවසර නොමැත.

තව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත 2000 අංක 56 දරණ කල්බදු මුල්‍යකරණ පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි කරන ලද කල්බදු මුල්‍යකරණ ආයතනයක් ලෙස නිකුත් කර ඇති ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මගින්, එහි රක්ෂණය කර ඇති තැන්පතුකරුවන් සඳහා, පවතින නීති හා විධිවිධාන යට‍තේ තැන්පතු සඳහා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති අතර එමගින් ආයතනයේ සමස්ත තැන්පතුකරුවන්ගෙන් 93%කට (තැන්පතුකරුවන් 145,172ක් අතරින් 135, 100කට) තම මුළු මුදල ම ආවරණය කරගැනීමට හැකියාවක් ඇති අතර අනෙකුත් 7%ක (තැන්පතුකරුවන් 10,072කට) තැන්පතුකරුවන් හට තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් වශයෙන් රු. 600,000ක මුදලක් ලැබෙන අතර ඉතිරි මුදල ආයතනය ඈවර කරන අවස්ථාවේ දී හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත් ව ආවරණය කර ගැනීමේ හැකියාවක් පවතී. වන්දි මුදල් ගෙවීම සම්බන්ධ ව වැඩිදුර තොරතුරු ඉදිරියේ දී සන්නිවේදනය කරනු ඇත.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *