හිරු සී.අයි.ඒ. : මුහුදු මහා විහාර සතු ඉඩම් අයථා ලෙස බෙදා දුන් අයට එරෙහිව පරීක්ෂණයක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හිරු සී.අයි.ඒ. : මුහුදු මහා විහාර සතු ඉඩම් අයථා ලෙස බෙදා දුන් අයට එරෙහිව පරීක්ෂණයක් (විඩියෝ)

• මුහුදු මහා විහාරයේ ඉඩම් රකින්නට ගිය නිලධාරීන්ටත් එරෙහිව පරීක්ෂණ

• ජනාධිපති නීතිඥ අලි ෂබ්රි ජාතිවාදී ප්‍රකාශයක් සිදුකර ඇතැයි චෝදනා (විඩියෝ)

• ස්ථාන මාරුවට පිටුපෑ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකට විරෝධය (විඩියෝ)

• පොදු ප්‍රවාහන සේවා නිසි ලෙස සපයා නොමැති බවට මගීන්ගෙන් චෝදනා (විඩියෝ)

• ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 893 ක් වෙයි (විඩියෝ)

• ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිත කරනවා – ආයෝජන මණ්ඩලය කියයි (විඩියෝ)

• සංචාරක ආයතන සහ පුද්ගලයන්ට වසරක ගාස්තු නිදහසක්

• පවුල් 40,000 කට නිවාස ඉදිකිරීමේ තවත් අදියරක් හෙට (14)

• විදුලි බිල්පත් ඉහළගොස් ඇති බවට පාරිභෝගිකයින්ගෙන් චෝදනා – මනු කියවන්නෙකුට ප්‍රහාරයක් (විඩියෝ)

• ශ්‍රීලාංකේය ආගන්තුක සත්කාර ලොව පුරා ප්‍රසිද්ධියට (විඩියෝ)

• සාමාන්‍ය පෙළ සිසුන්ගේ හැඳුනුම්පත් අයැදුම්පත් කඩිනමින් එවන්න

+++++++++++++++++++++++++++++++++++

හිරු සී.අයි.ඒ. : මුහුදු මහා විහාර සතු ඉඩම් අයථා ලෙස බෙදා දුන් අයට එරෙහිව පරීක්ෂණයක්

(13.05.2020 – 21:03 +0530 – hirunews.lk/sinhala)

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් මුහුදු මහා විහාර සතු ඉඩම් අයථා ලෙස බෙදා දුන් අයට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ, ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු මුහුදු මහා විහාරයේ ඉඩම් ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් අද (13) පැවති රාජ්‍ය නිලධාරීන්ගේ හමුවකදී.

නැගෙනහිර පළාතේ පොතුවිල් හි පිහිටා ඇති මුහුදු මහා විහාරයේ කලක පටන් සිදුවන ඉඩම් කොල්ලය ‘හිරු සී.අයි.ඒ.’ දිගින් දිගටම බලධාරීන්ගේ අවධානයාට ලක් කළා.

ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක් සඳහා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න මහතා පුරාවිද්‍යා, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු ආදී රාජ්‍ය නිලධාරීන් පිරිසක් පරිසර අමාත්‍යාංශ කාර්යාලයට කැදවා තිබුනා.

+++++++++++++++++++++

මුහුදු මහා විහාරයේ ඉඩම් රකින්නට ගිය නිලධාරීන්ටත් එරෙහිව පරීක්ෂණ

(13.05.2020 – 19:13 +0530 – lankadeepa.lk)

පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියේ අනවසරයෙන් අල්ලා ගෙන කණු ගසා තිබු ප‍්‍රදේශයක, පුරා විද්‍යා හා වෙරළ සංරක්ෂණ නිලධාරින් විසින් පොලිස් ආරක්ෂාව ද සහිතව එම කණු ඉවත් කිරීමෙන් පසු පොතුවිල් පොලිසිය එම කණු ඉවත් කළ පුරා විද්‍යා හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍යංශයේ අද (13) පැවති රැස්වීමක දී හෙළි විය.

පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති ඉඩම හා ඊට යාව ඇති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරළ තීරය අල්ලා ගනිමින් මෙම පිරිස කණු සිටවා ඇතැයි එම දෙපාර්තමේන්තු දෙකට ලැබී තිබූ පැමිණිල්ලක් මත පරිසර අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන, වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුද පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් හා වෙරළ සංරක්ෂක නිලධාරින් ද අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් ද සමග ඉකුත් 3 දා එහි ගොස් කළ පරික්ෂාවක දී මෙම ඉඩම් අල්ලා ගැනීම දැක ගැනීමට හැකි වී ඇත.

අනතුරුව එම නිලධාරින් විසින් එම ඉඩම්වල ගසා ඇති කණු ඉවත් කරන ලෙසත් එසේ නොකල හොත් නීතිය ක‍්‍රියාත්මක කරන බවත් අදාල පිරිසට දන්වා ඒ පිළිබදව පොතුවිල් පොලිසියේ පැමිණිල්ලක් ද සටහන් කර ඇත

කෙසේ වෙතත් එම පැමිණිල්ල පිළිබදව කිසිදු විභාගයක් සිදු වී නැති නිසා ඉකුත් 12 වැනිදා පොලිස් ආරක්ෂාව ද සහිතව එහි ගොස් එම කණු ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ නිලධාරින් හා පුරා විද්‍යා නිලධාරින් කටයුතු කර තිබේ.

පුරා විද්‍යා පනත අනුව මෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු පනත අනුව ද මේ සදහා නිලධාරින්ට බලය පවතින බැවින් එසේ ඉවත් කළ බවත් ඉන් අනතුරුව එම ඉඩම් අල්ලා ගත් පිරිස පොතුවිල් පොලිසියේ කර ඇති පැමිණිල්ලකට අනුව එකී කණු ඉවත් කළ රජයේ නිලධාරින්ට එරෙහිව පොතුවිල් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ලංකාදීපයට පැවැසීය.

ඇදිරි නීතියට මුවාවී ජාතික උරුමයන් විනාශ කරන පිරිසකට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකල පොලිසිය එම උරුමය රකින්නට ක‍්‍රියාත්මක වන රජයේ නිලධාරින්ට එරෙහිව විමර්ශන ආරම්භ කිරීම පුදුමයට කරුණක් යැයි ද චන්ද්‍රකීර්ති මහතා කීය.

මුහුදු මහා විහාරයේ ඉඩම් සීමාව හදුනාගැනීම හා ගැසට් කිරීම පිළිබදව පරිසර අමාත්‍යංශයේ අද (13) පැවති සාකච්ඡාවක දී වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයා මේ මේ තොරතුරු හෙළි කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

ජනාධිපති නීතිඥ අලි ෂබ්රි ජාතිවාදී ප්‍රකාශයක් සිදුකර ඇතැයි චෝදනා

(13.05.2020 – 20:45 +0530 – hirunews.lk/sinhala)

‘අල් ජසීරා’ ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය වෙත අදහසක් පළකරමින් ජනාධිපති නීතිඥ අලි ෂබ්රි මහතා ජාතිවාදී ප්‍රකාශයක් සිදුකර ඇති බව සිංහලේ සංවිධානය සහ නව සිංහල සංවිධානය චෝදනා කරනවා.

අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී ඔවුන් මෙම අදහස් පළ කළා.

අප මෙම චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගෙන් විමසීමක් කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

Colombo Today පුවතින් පසු aljazeera කැළඹෙයි. අලි සබ්‍රි ජාතිවාදය ගැන කිවූ කොටස ඉවත් කර ගනියි

අල් ජසීරාවේ තිබූ ප්‍රකාශය රහසේම ඉවත් කර ගනියි. අලි සබ්‍රි බබා වෙන්න දඟලයි. සාක්ෂි සාධක සහිතව ඇත්ත මෙන්න

+++++++++++++++++++++

14-05-2020

***************************************

ස්ථාන මාරුවට පිටුපෑ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකට විරෝධය

(13.05.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇති ස්ථාන මාරුව ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධුරයේ රැදී සිටීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය අද (13) විරෝධතාවක නිරත වුණා.

එහිදී ඔවුන් රෝහල් අධ්‍යක්ෂවරයාට රාජකාරියට වාර්තා කිරීමට ඉඩලබා නොදුන් අතර එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් හට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව දිගින් දිගටම මතුවූ විරෝධතා හමුවේ පසුගිය 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කෙරුණා.

එහෙත් ඔහු එම ස්ථාන මාරුව ප්‍රතික්ෂේප කරමින් අඛන්ඩව සේවයට වාර්තා කිරීමටයි පියවර ගෙන තිබුණේ.

ඒ අනුව, ‘කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ’ සාමාජිකයින් අද (13) පෙරවරුවේ රෝහල් අධ්‍යක්ෂවරයා රාජකාරියට වාර්තා කිරීමට පැමිණි අවස්ථාවේදී ඊට බාධා කරමින් රෝහලේ ප්‍රධාන ඇතුළුවීමේ දොරටුව වසා දැමීමට කටයුතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

***************************************

පොදු ප්‍රවාහන සේවා නිසි ලෙස සපයා නොමැති බවට මගීන්ගෙන් චෝදනා

(13.05.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

ඇදිරි නීතිය ලිහිල් කෙරෙන දිස්ත්‍රික්කවල ශ්‍රී ලංගම, පෞද්ගලික බස් රථ සහ දුම්රියෙහි ආසන ගණනට මගීන් ගෙන යාම අද (13) සිට ආරම්භ කෙරුණා.

එහෙත් ඇතැම් ප්‍රදේශවල බස් රථ මගීන්ගෙන් පිරීගොස් තිබූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය නිරිදේශ මත ප්‍රවාහන කටයුතු සිදුකෙරෙනවා.

කොළඹ නගරයේ රාජ්‍ය හා පෞද්ගලික රැකියා සඳහා පැමිණි මගීන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම අදත් (13) කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලදී සිදුකෙරුණා.

කෙසේ වෙතත්, පොදු ප්‍රවාහන සේවා නිසි ලෙස සපයා නොමැති බවට මගීන් අදත් චෝදනා කළා.

මේ අතර, ලංකා ස්වයං රැකියා වෘත්තීකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කොළඹදී අද (13) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ත්‍රිරෝද රථ වෘත්තීකයන් හැර වෙනත් පුද්ගලයන් ද ත්‍රිරෝද රථ රැකියාවට අවතීර්ණ වීම නිසා තමන් ගැටලු රැසකට මුහුණදී ඇති බවයි.

මේ අතර, ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 53,081 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති රථ වාහන 14,088 ක්.

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 893 ක් වෙයි

(13.05.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 893 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයන් දෙදෙනෙකු (02) හඳුනා ගැනීමත් සමගයි.

අද (13) දිනයේ මේ දක්වා හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 04 ක්.

ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 502 ක් මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 382 ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 09 ක්.

මේ අතර අද (13) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව, වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 382 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

අයි.ඩී.එච්. රෝහල, නැගෙනහිර කොළඹ මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල සහ හෝමාගම මූලික රෝහලෙන් සුවය ලැබූ පිරිස් මෙලෙස පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ අද (13) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 47 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි.

ඒ අනුව මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කර සිටි නාවික හමුදා සාමාජිකයින් 109 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇති බව ඔහු කියා සිටියා.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමුකිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (13) වාර්තා වූ ආසාදිතයින් දෙදෙනාම (02) නාවික හමුදා සෙබළුන් බවයි.

ආසාදිතයින් 500 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

එසේම, දින 13 ක් තුළ කොළඹ නගරයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළා.

කොළඹින් අවසන් කොරෝනා ආසාදිතයා වාර්තා වී ඇත්තේ පසුගිය මැයි 01 වැනිදා වන අතර, කොළඹ නගරයෙන් පමණක් මේ වනවිට වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 127 ක්.

කෙසේවෙතත්, කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීම සඳහා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ජෛව පටල සාම්පල ලබා ගැනීම කොළඹ නගර සීමාවට අයත් කෙසෙල්වත්ත – බණ්ඩාරණායක මාවතේදී අදත් (13) සිදුකෙරුණා.

වවුනියාව – පොම්පෙමඩු සහ දම්මින්න යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල සහ අනුරාධපුර නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් 214 දෙනෙකු අද (13) නිරෝධායන කාලසීමාව අවසන් කර පිටව ගියා.

එසේම යුද හමුදාව පවත්වාගෙන යනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමුකර සිටි පුද්ගලයින් 127 දෙනෙකුද අද (13) නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව නිවෙස් වෙත පිටත් කර යවා තිබෙනවා.

ඔවුන් පසුගිය 28 වැනිදා දිවයිනට පැමිණි ඉන්දියාවේ බැංගලෝර් හි විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි පිරිසක්.

මේ අතර, රටවල් කිහිපයක් සඳහා යළි මගී ගුවන් සේවා ආරම්භ කිරීමත් සමඟ පළමු ගුවන් ගමන ලෙස මගීන් 110 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දෝහා බලා ඊයේ (12) පිටත්ව ගිය බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිත කරනවා – ආයෝජන මණ්ඩලය කියයි

(13.05.2020 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා හැකිතාක් සුරක්ෂිත කර ගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසනවා.

ඇඟලුම් කර්මාන්තශාලා නැවත ඇරඹීම යන තේමාව යටතේ, ‘හිරු ටී.වී.’ ඔස්සේ අද (13) විකාශය වූ ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

+++++++++++++++++++++++++++++++++++

සංචාරක ආයතන සහ පුද්ගලයන්ට වසරක ගාස්තු නිදහසක්

(13.05.2020 – 15:41 +0530 – hirunews.lk/sinhala)

සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා පුද්ගලයින්ගේ ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සඳහා අය නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි සංචාරක සංවර්ධන අධිකාරිය විසින්.

ඒ අනුව දැනටමත් අදාළ ගාස්තුව ගෙවා ඇති පුද්ගලයින් සහ ආයතන ලබන වසරේදී එම ගාස්තුවෙන් නිදහස් කෙරෙන අතර, මේ වසර සඳහා තවමත් ලියාපදිංචිය අලුත් කර නොමැති පුද්ගලයින් හා ආයතනවලට ගාස්තු ගෙවීමකින් තොරව ලියාපදිංචිය අලුත්කර ගැනීමට හැකියාව පවතිනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ කෙටි කාලීන වැඩපිළිවෙලේ පියවරක් ලෙස මෙම තීරණයට එළඹි බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

පවුල් 40,000 කට නිවාස ඉදිකිරීමේ තවත් අදියරක් හෙට (14)

(13.05.2020 – 23:33 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නගරයේ අවිධිමත් ජනාවාසවල වෙසෙන පවුල් 40,000 ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරිමේ තවත් පියවරක් හෙට (14) පෙ.ව. 09:00 ට රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවත අසලින් ආරම්භ කිරීමට නියමිතයි.

නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප‍්‍රියත්බන්දු වික‍්‍රම, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් නවාස ඒකක 300 කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ.

මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිකෙරෙන එක් නිවසක ප‍්‍රමාණය වර්ග අඩි 550 කි.

ආසියානු යටිතල පහසුකම් හා ආයෝජන බැංකුවේ ණය ආධාර යටතේ ඉදිකෙරන මෙම මහල් නිවාස සංකීර්ණය වෙනුවෙන් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 1733.24 කි.

වසර 2½ ක් ඇතුළත ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත අතර, නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධික්ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ සුභසිංහ කොන්ත්‍රාත් සමාගම මගිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂක මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොළඔ නගරයේ පැල්පත් වාසින් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස 40,000 ක් ඉදිකිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මගින් පසුගිය දා ආරම්භ කෙරිණ.

කොළඔ නගරයේ පැල්පත්වාසි පවුල් 60,000 ක් වෙනුවෙන් මහල් නිවාස සංකිර්ණ ඉදිකිරිම් කටයුතු ආරම්භ කෙරුණේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රජපක්‍ෂ මහතා එවකට රාජ්‍ය ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරන අවස්ථාවේදීය.

එම කාළය තුළ නිවාස ඒකක 20,000 ක් පමණ ඉදිකිරිමට හැකිවිය.

පසුගිය වසර කිහිපය තුළ වඩාත් මන්දගාමීව පැවති එම කි‍්‍රයාවලිය සඳහා නැවතත් නව ජීවයක් ලබා දෙමින් එම වැඩසටහන නැවත මෙසේ ආරම්භ වන අතර, කොළඹ හා තදාසනන් නගර කේන්ද්‍ර කර ගනිමින් වඩාත් විධිමත් හා සැලසුම් සහගත ක‍්‍රමවේදයක් යටතේ තවදුරටත් මෙම නිවාස ව්‍යාපෘති නාගරික සංවර්ධන අධිකාරියට හා රජයට බරක් නොවන ලෙස පවත්වාගෙන යාම සඳහා ද, සැලසුම් සකස් කර ඇත.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය ආධාර යටතේ ක‍්‍රියාත්මක මෙම ව්‍යාපෘතීන් හි පදිංචි කිරීමට යෝජිත ජනතාව වඩාත් ඵලදායි ලෙස ආර්ථික යාන්ත්‍රනයට දායක වන ලෙස මෙහිදි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

විදුලි බිල්පත් ඉහළගොස් ඇති බවට පාරිභෝගිකයින්ගෙන් චෝදනා – මනු කියවන්නෙකුට ප්‍රහාරයක්

(13.05.2020 – 22:56 +0530 – sinhala.adaderana.lk)

කහවත්ත, පැල්මඩුල්ල ප්‍රදේශයේ විදුලි බිල්පත සටහන් කිරීම සඳහා පැමිණි මනු කියවන්නෙකුට පසුගියදා පහරදීමක් සිදුව තිබේ.

ඒ, පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින්ය.

විදුලි බිල වැඩිවීම හේතුවෙන් මනු කියවන්නා සමග ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාම මෙම ගැටුමට හේතුවී තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ, තුවාල ලැබූ මනු කියවන්නා කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

පහරදුන් පුද්ගලයින්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් පවසා තිබේ.

කෙසේ වෙතත් ‘අද දෙරණ ප්‍රවෘත්ති අංශය’ ඇමතූ විදුලි හා ජල පාරිභෝගිකයින් පැවසුවේ, තම බිල්පත් වෙනදාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මාසික විදුලි බිල ගණනය කිරීමේදී 0-30 ත් අතර ඒකකයක් සඳහා රුපියල් 2.50 ක අයකරන අතර රුපියල් 30 ස්ථාවර ගාස්තුවක් ද ඊට එක්වෙයි.

ඒකක 31-60 යි අතර නම් ඒකකය මිල සටහන් වන්නේ, රුපියල් 4.85 ක් ලෙසයි. එහි ස්ථාවර ගාස්තුව රුපියල් 60 කි.

60 ට වැඩි ඒකකයක් සඳහා රුපියල් 7.85 ක් අයකෙරෙන අතර එහි ස්ථාවර ගාස්තුව රුපියල් 90 කි.

ඒකක 61 ත් – 90 ත් අතර නම් ඒකකයක මිල රුපියල් 10 ක් වෙයි.

ඒ අනුව මාසිකව භාවිත කරන ඒකක ගනන ඉහළ යන විට විදුලි ඒකකයක මිල සහ ස්ථාවර ගාස්තුව ක්‍රමයෙන් ඉහළ යනවා.

විදුලි පාරිභෝගිකයින් පවසන්නේ, මාසිකව භාවිත කරන ඒකක ගනන මාස කිහිපයකට එකතු කර ගණනය කිරීම විදුලි බිල ඉහළයාමට හේතුව බවයි.

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රීලාංකේය ආගන්තුක සත්කාර ලොව පුරා ප්‍රසිද්ධියට

(13.05.2020 – 19:26 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ ගුවන් ගමන් සේවා අත්හිටුවීමත් සමඟ සංචාරකයින් මිලියන ගණනින් විදෙස් රටවල සිරවී සිටියි.

සිය නිවෙස්වලින් බැහැර සමීපතමයින්ගෙන් ඈත්ව දැඩි අසීරුතා මධ්‍යයේ සිටින එවැනි සංචාරකයින් බලාගන්නා එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

ලොව සෙසු රටවලට ආදර්ශයක් දෙමින් අපේ රටේ මිනිස්සු දැක්වූ සද්කාරකත්වය ලොවටම හඩ නඟා කිව්වේ ප්‍රකට වීඩියෝ බ්ලොග්වරයෙකු වන ඊශ්‍රායල් ජාතික Nuseir Yassin.

Nuseir Yassin වීඩියෝවේ සඳහන් වන්නේ, මේ අර්බුදය විසඳීමට උත්සාහ ගන්නා එකම රට ශ්‍රී ලංකාව බවයි.

ඇල්ල නගරයේ අතරමංවී සිටින සංචාරකයින් පිළිබඳව ‘අද දෙරණ’ ද පසුගියදා වාර්තාවක් ගෙන ආවේය.

ඒ ඔවුන් මුහුණදී ඇති ගැටලු සහ ඒවා නිරාකරණය කිරීමට ඇල්ල ප්‍රදේශයේ ජනතාව දක්වන සහයෝගය පිළිබඳව.

Nuseir Yassin සිය වීඩියෝ මගින් අවධාරණය කරන්නේ, මේ වන විට ලොව වෙනසත් රටවල් මෙන් ශ්‍රී ලංකාවේද සංචාරක කර්මාන්තය මියගොස් ඇති බවයි.

Nuseir Yassin මෙම වීඩියෝව මගින් ලෝකයටම ආරාධනාවක් ද කරයි.

ඔහු ඉල්ලා සිටින්නේ, ලෝකය යථා තත්ත්වයට පත්වූ විට ශ්‍රී ලංකාවට කෘතගුණ සැලකිය යුතු බවයි.

ඒ වැඩිපුර සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කරමින්.

+++++++++++++++++++++++++++++++++++

සාමාන්‍ය පෙළ සිසුන්ගේ හැඳුනුම්පත් අයැදුම්පත් කඩිනමින් එවන්න

(14.05.2020 – aruna.lk)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් සෑදීම සඳහා වන අයැදුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හා පළාත් කාර්යාලවලට කඩිනමින් යොමු කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

රටේ පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති එක්දින හැඳුනුම්පත් නිකුත් කිරීමේ ​සේවාව වෙනුවට හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක්ද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කොට ඇත. ඒ අනුව විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ කටයුතු, රියැදුරු බලපත් ලබාගැනීම, විදෙස් ගමන් බලපත් ලබා ගැනීම යනාදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ප්‍රාදේශීය ලෙකම් කාර්යාල හරහා මේ වන විටත් ක්‍රියාත්මක වෙයි. ඉල්ලුම්කරුවන් තම අවශ්‍යතාව ග්‍රාම නිලධාරී මාර්ගයෙන් තහවුරු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ අයැදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමු කළ යුතුය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *