කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කරයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කරයි (විඩියෝ)

• වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇතැයි යුද හමුදාපති කියයි (විඩියෝ)

• කොරෝනා ආසාදිත මාළු වෙළෙන්දා සමඟ කොස් ගෙඩියක් රැගෙන ගිය තරුණයෙක් හෝමාගම රෝහලට (විඩියෝ)

• රාජිතගේ ප්‍රකාශයට පාර්ශව රැසකින් චෝදනා (විඩියෝ)

• ලොව පුරා කොරෝනා ආසාදිතයින් විසි හය ලක්ෂය ඉක්මවයි (විඩියෝ)

• ඉන්දියාවේ සිට පැමිණි සිසුන් 101 නිරෝධායන මධ්‍යස්ථානවලට

• දැනට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් ගැන පැහැදිලි කිරීමක් (විඩියෝ)

• මැයි 11 දා පාසල් විවෘත කරනවද නැද්ද ? අධ්‍යාපන ඇමැතිගේ ස්ථාවරය (විඩියෝ)

• ඇඳිරි නීතිය නොමැති අවස්ථාවල නිරෝධායන නීති කඩ කළොත් අත්අඩංගුවට (විඩියෝ)

• කොරෝනා නිසා බිහි වෙන නව නිර්මාණ (විඩියෝ)

• යළි පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිදු බලයක් හිටපු කතානායකවරයාට නැහැ – නීති විශාරදයින් පෙන්වා දෙයි (විඩියෝ)

• පාර්ලිමේන්තුව යළි කැඳවීමේ යටි අරමුණ මෙන්න.. – නීතිඥ උදය ගම්මන්පිල

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කරයි

(23.04.2020 – 21:41 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර මේ වන විට හුදකලා කර තිබේ.

අද (23) දිනයේ දී නාවික හමුදාවේ සෙබළුන් 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් තහවුරු කර සිටි අතර එම හේතුව නිසාවෙන් වැලිසර නාවික හමුදා කඳවුර මෙලෙස හුදකලා කර තිබේ.

ඒ අනුව මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ සිටින සියලු නාවිකයින් ‍නිරෝධායනයට ලක් කර තිබේ.

එමෙන්ම නිවාඩු ගොස් සිටින සෙබළුන් සියලු දෙනා ද වහාම ගෙන්වා ගෙන PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික සෙබළෙක් නිවාඩු ගොස් සිටිය දී හදිසි රෝගී තත්ත්වයක් මත වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (22) දිනයේ දී කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබුණි.

ඒ අනුව එම සෙබළා ‍සේවය කළ වැලිසර නාවික හමුදා කඳවුරේ භට නිවාසය වහාම නිරෝධායනයට ලක් කර තිබේ.

පළමු කොරෝනා ආසාදිත නාවික සෙබළා සිටි භට නිවාසයේ සියලු නාවික සෙබළුන් PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබු බවද යුද හමුදාපතිවරයා පවසයි.

එම ප්‍රතිඵල අනුව මේ වන විට ලැබු ඇති අතර ඒ අනුව පළමු කොරෝනා ආසාදිත නාවික සෙබළා ඇතුළු නාවික හමුදා සෙබළුන් 30 කට මේ වන විට කොරෝනා ආසාදනය වී තිබේ.

එම භට නිවාසයේ සිටි අනෙකුත් නාවික සෙබළුන් හා පළමු ආසාදිත නැවියා සේවය කළ අනෙකුත් කාර්යාලවල සිටි නාවිකයින් සියලු දෙනා මෙලෙස PCR පරීක්ෂණයට යොමු කර ඇති බවද හමුදාපතිවරයා පවසයි.

පළමු ආසාදිත නාවික සෙබළා සිටි නාවික භට නිවාසයේ සෙබළෙකුගෙන් වෛරසය ආසාදනය වී ඇති බවත්, එම භටයා ඇතුළු අනෙකුත් නිලධාරීන් පසුගිය දිනවල දී සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පිරිස නිරෝධායනයට ලක් කිරීමේ දී මෙම නාවිකයින්ට වෛරසය ආසාදනය වි ඇතැයි තහවුරු වී ඇතැයි ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

වැලිසර නාවික කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා‍ වෛරසය ආසාදනය වීමත් සමඟ ‍ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව අද (23) වාර්තා විය.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ සුවය ලැබු රෝගීන් දෙදෙනා සමඟ සුවය ලැබූ ‍සමස්ත රෝගීන් ගණන 107ක්.

මේ අතර තවත් පුද්ගලයින් 254 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් ජීවික්ෂයට පත්ව තිබේ ෴

+++++++++++++++++++++

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇතැයි යුද හමුදාපති කියයි

(23.04.2020 – 21:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ සිදුකළ PCR පරීක්ෂණවලින් තවත් නාවික හමුදා සෙබළුන් 29 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ අනුව ඊයේ (22) පොළොන්නරුවෙන් හඳුනා ගත් නාවික හමුදා සෙබලා ඇතුළු වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇතැයි PCR පරීක්ෂණයේදී සොයාගෙන ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

ඒ අනුව අද දිනය තුළ පමණක් හඳුනාගැණුනු රෝගීන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ යනවා.

මෙය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.

ඊයේ (22) පොළොන්නරුව ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිත නාවික සෙබලා සිටි භට නිවාසය ද නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එමෙන්ම අතර එහි සිටි සියළුම නාවික සෙබළුන් ද PCR පරීක්ෂණවලට ලක් කිරීමට ද කටයුතු කර ඇති බවයි හමුදාපතිවරයා කියාසිටියේ.

අදාළ භට නිවාසයේ සිටි අනෙක් නාවික භටයන් සහ ඔහු රාජකාරී කළ අනෙක් කාර්යාලවල සිටි නිලධාරීන් ද PCR පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව පොළාන්නරුවෙන් හමුවූ නාවික සෙබළාට වෛරසය ආසාදනය වී ඇත්තේ ඔහු සිටින ගොඩනැගිල්ලේ සිටි නාවික භටයෙකුගෙන් බවටයි හෙළිවී ඇත්තේ.

එම නාවික සෙබළාට වෛරසය ආසාදය වී ඇතැයි හෙළිවී ඇත්තේ ඔහු ඇතුළු පිරිසක් සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ කොරෝනා වෛරසය ආසාදිතයන් නිරෝධායනය කිරීම සඳහා සමග එම ප්‍රදේශවලට ගොස් සිටියදීයි.

මේ අනුව වැලිසර කඳවුරේ රාජකාරියේ නිරත සියලු දෙනා නිරෝධායනයට ලක්කර ඇති අතර නිවාඩු ලබා පිටත්ව ගොස් ඇති සෙබළුන් ද වහාම ගෙන්වා ගෙන PCR පරීක්ෂණ සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 368 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදිතයන්ගෙන් 107 දෙනෙකු ප්‍රතිකාරවලින් පසු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 7 ක්.

තවත් විට 254 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිත මාළු වෙළෙන්දා සමඟ කොස් ගෙඩියක් රැගෙන ගිය තරුණයෙක් හෝමාගම රෝහලට

(23.04.2020 – 19:21 +0530 – sinhala.adaderana.lk)

පසුගියදා පිළියන්දලින් හඳුනා ගැණුනු කොවිඩ් ආසාදින මාළු වෙළෙන්දා සමඟ කොස් ගෙඩියක් රැගෙන යතුරු පැදියකින් ගමන් කළ පිලියන්දල, කාලීයම්මහර , සොලමන් මාවතේ පදිංචි අවුරුදු 18 ක තරුණයෙකු සොයා ගැනීමට එම ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ට හැකි විය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ (22) දිනයේදී මෙම නිවසට පැමිණ තිබුණත් අදාල තරුණයා මේ පිළිබද තොරතුරු වසන් කර තිබුණි.

ඒ අනුව අද (23) දිනයේදී එම නිවසට ගිය මහජන සෞඛ්‍ය නිලධාරීන්ට දැකගන්නට ලැබුණේ තරුණයාගේ මවට රෝග ලක්ෂණ පහල වී තිබුණු ආකාරයයි.

එමෙන්ම අදාල තරුණයාගේ පියා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ඩිපෝවක සේවයේ නිරතව සිටින අතර ඔහු මේ දින කිහිපයේත් සේවයට ගොස් තිබුණි.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තීරණය කළේ කොවිඩ් 19 වෛරසය ආසාදිත යැයි සැකපිට අදාල තරුණයා සහ ඔහුගේ මව හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමටයි.

+++++++++++++++++++++++++++++++++++

රාජිතගේ ප්‍රකාශයට පාර්ශව රැසකින් චෝදනා

(23.04.2020 – 21:49 +0530 – hirunews.lk/sinhala)

බංකොලොත් දේශපාලනයක ගති ලක්ෂණ පෙන්වමින් රාජිත සේනාරත්න මහතා කොවිඩ් 19 පාලනය ත්‍රිවිධ හමුදාවට කළ නොහැකි යැයි පවසන බව විවිධ පාර්ශ්ව චෝදනා කරනවා.

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා කොරෝනා ආසාදිතයින් විසි හය ලක්ෂය ඉක්මවයි

(23.04.2020 – 20:17 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,653,422 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව 185,059 ක් ලෙසයි දැක්වෙන්නේ.

තවදුරටත් ලොව වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකාවේ තවත් පුද්ගලයන් 375 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එරට මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 849,092 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නව මරණ 22 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 47,681 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

යුරෝපය තුළ කොරෝනා වෛරසයේ වැඩි බලපෑමකට ලක්ව ඇත්තේ ස්පාඤ්ඤය වන අතර, නව ආසාදිතයන් 4635 දෙනෙකු වාර්තා වීමත් සමග එරට මුළු ආසාදිත සංඛ්‍යාව 213,024 දක්වා ඉහළ ගියා.

බෙල්ජියමෙන් ද නව මරණ 228 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව, එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 6490 ක්.

මේ අතර, යුරෝපා රටවල නායකයින්ගේ හමුවක් අද පැවැත්වීමට නියමිත තිබූ අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන එම සාකච්ඡාවේදී යුරෝපා කම්කරුවන්, ව්‍යාපාරිකයන් සහ බලපෑමට ලක්ව ඇති යුරෝපා රටවල් ආරක්ෂා කිරීම සඳහා යූරෝ බිලියන 540 ක හදිසි අරමුදලක් සඳහා අත්සන් තැබීමට ද නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළා.

අසල්වැසි ඉන්දියාවෙන් ද නව ආසාදිතයන් 427 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 21,797 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 681 ක් ලෙසයි.

එමෙන්ම, ස්ථිර පදිංචිය සඳහා වන අයදුම්පත් හෙවත් ගී‍්‍රන් කාඩ් දින 60 ක කාලයකට අත්හිටුවීමට අදාළ විධායක නියෝගයකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

පසුගිය සතියේ ඇමරිකාවේ මිලියන 22 ක පමණ පිරිසක් රැකියා විරහිතභාවයට පත්වූ අතර, ඇමරිකානු කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා ගී‍්‍රන්කාඞ් අත්හිටුවීමේ නියෝගය නිකුත් කළ බවයි ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.

කොවිඩ් 19 ආසාදනය වී ඇමරිකාවේ පළමු මරණය කැලිෆෝනියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 6 වනදා සිදුවී ඇති බව හෙළිවී තිබෙනවා.

මීට පෙර කොරෝනා ව්‍යාප්තිය සමඟ එරට පළමු මරණය පසුගිය පෙබරවාරි 26 වනදා හඳුනාගෙන තිබුණේ සියැටෙල් නගරයෙන්.

+++++++++++++++++++++++++++++++++++

ඉන්දියාවේ සිට පැමිණි සිසුන් 101 නිරෝධායන මධ්‍යස්ථානවලට

(23.04.2020 – 20:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානය අද (23) පස්වරු 2.27 ට දිවයිනට ළඟා වුණා.

අදාළ ගුවන් යානය අද (23) පෙරවරුවේ ඉන්දියාවේ අම්රිට්සාර් බලා පිටත්ව ගියේ ගුවන් නියමුවන් දෙදෙනා (2) ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ අටදෙනෙකු (8) සමඟයි.

මෙම සිසුන් නිරෝධායන කටයුතු සඳහා පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එසේම ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (2) ද නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා ෴

+++++++++++++++++++++++++++++++++++

දැනට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් ගැන පැහැදිලි කිරීමක්

(23.04.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් දැනට වාර්තා වී ඇති කොරෝනා රෝගීන්ගෙන් සියයට 20 ක පමණ පිරිසක් නිව්මෝනියා රෝග ලක්ෂණ පෙන්නුම් කළ ද දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලැබීමට තරම් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ සියයට 5 ක පමණ පිරිසක් බව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ‘හිරු ටී වී’ ඔස්සේ අද (23) විකාශය වූ ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

මැයි 11 දා පාසල් විවෘත කරනවද නැද්ද ? අධ්‍යාපන ඇමැතිගේ ස්ථාවරය

(23.04.2020 – 18:09 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින තත්ත්වය සමග බැලීමේදී මැයි 11 දා පාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය ප්‍රායෝගික නොවන බව අධ්‍යාපන ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

ඒ, හිරු ප්‍රවෘත්ති වෙත විශේෂ සාකච්ඡාවක් ලබාදෙමින්.

පාසල් නැවත විවෘත කරන දිනය මැයි මස මුල් සතියේ තීරණය කළ හැකි වනු ඇති බව පවසන ඔහු සඳහන් කළේ ඒ සඳහා සෞඛ්‍ය අංශ සිය තීරණය දැනුම් දෙනු ඇති බවයි.

ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ද දරුවන්ට කිසිදු පීඩාවක් ඇති නොවන පරිදි පවත්වන බවද ඔහු කියා සිටියා.

සම්පූර්ණ සාකච්ඡාව පහතින් :

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය නොමැති අවස්ථාවල නිරෝධායන නීති කඩ කළොත් අත්අඩංගුවට

(23.04.2020 – 17:22 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවන් වලදී නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත බලය පවරා තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී නීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ ඇඳිරි නීතිය ඉවත් කළ ද එම ප්‍රදේශවල තමාට අවශ්‍ය ආකාරයෙන් හැසිරීමට නොහැකි බවයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළකළා.

ඇඳිරි නීතිය ඉවත් කළ කාලසීමාවන්වලදී සමාජ දුරස්ථ භාවය රඳවා තබා ගැනීම ඉතාමත් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පොදු ප්‍රවාහන සේවාවලදී ද ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මේ අතර ඇඳිරි නීති කාලය තුළ එය කඩ කළ පුද්ගලයන් 36115 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව දස දහසක් පමණ වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි ද ඔහු කියාසිටියේ.

ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුල සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට හෝ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකළ හොත් නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ඇදිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන සේවා අදාළ දිස්ත්‍රික්කය තුළට පමණක් සීමාකර, ඉන් පිට ධාවනය කිරීම තහනම් කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මීට අමතරව, එම ප්‍රවාහන සේවාවන්හි ගමන් ගන්නා මගීන් මුඛ ආවරණ පැළදීම සහ දුරස්ථභාවයෙන් යුතුව ගමන් කිරීම අනිවාර්ය කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අප වාර්තාකරුවන් සඳහන් කළේ බොහෝ ප්‍රදේශවල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් බස් රථවල මගීන් ගමන් ගන්නා බවයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් කටයුතු කළ මගීන් සහ බස් රථ හිමියන්ට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ උපදෙස් ලබාදීම හේතුවෙන් ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වයන් ද ඇති වුණා.

මේ අතර තහනම් කර තිබියදී අනුරාධපුර – පුබුදුගම ප්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරයෙකු සහ පන්ති පැවැත්වුණු නිවසෙහි හිමිකරු පොලීසිය අද අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් වෙනුවෙන් මෙම උපකාරක පන්තිය පවත්වා තිබෙනවා.

එසේම, හෝටල් තුළ එක මේසයේ ආහාර නොගන්නා ලෙස දැනුවත් කර තිබියදී එය කඩ කළ කුලියාපිටිය – කදුරුගස්හේන ප්‍රදේශයේ අවන්හලක් මුද්‍රා තැබීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද කටයුතු කළා.

එසේම, දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවත් මසකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (22) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා බිහි වෙන නව නිර්මාණ

(23.04.2020 – 19:39 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරසය ලොව විවිධ අංශවලට විවිධ අයුරින් බලපෑම් එල්ල කරන අතරතුර නව සොයාගැනීම් හා නිර්මාණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බවට පත්ව තිබේ.

අපේ රටෙත් බොහෝ පිරිසක් එවැනි නව සොයා ගැනීම් හා නව නිර්මාණ හඳුන්වාදීමට යොමුවී ඇති අයුරු දකින්න පුළුවන්.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු සිසුන් නව නිපැයුම් රැසක් එළිදක්වා තිබේ.

මේ ඖෂධ, ආහාර, ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය රෝගීන් වෙත ගෙන යා හැකි, දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කෙරෙන රොබෝ යන්ත්‍රයයි.

මෙහි ඇති කැමරාව මඟින් වෛද්‍යවරයාට රෝගියා අසලට නොගොස් රෝගියා නිරීක්ෂණය කිරීමට හැකියි.

පාරජම්බුල කිරණ මඟින් විෂබීජහරණය කළ හැකි යන්ත්‍රයක්ද නව නිපැයුම් අතර වෙයි.

දැඩි සත්කාර ඒකක තුළ රෝගීන් සිටින අවස්ථාවකදී වුවද එය භාවිත කිරීමට හැකි වීම විශේෂත්වයක්.

ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට කෘතිම ශ්වසනය ලබා දීම සඳහා අඩු පිරිවැයක් යටතේ,නිසි ප්‍රමිතියට අනුව නිපදවූ යන්ත්‍රයයි මේ.

එමෙන්ම CUREC නමින් ජංගම දුරකථන මෘදුකාංග යෙදවුමක්ද නිර්මාණය කර ඇති අතර එමඟින් කොවිඩ් 19 රෝග ලක්ෂණ සහිත ඕනෑම පුද්ගලයෙකුට වෛද්‍යවරයෙකු එසැනින් සම්බන්ධ කර ගනිමින් උපදෙස් ලබා ගැනීමට හැකියි.

වෛද්‍යවරයාට රෝගියාගේ සංචරණයද අධ්‍යනය කළ හැකි වීම විශේෂත්වයක්.

මේ අතර හයිඩ්‍රාමනී ඇඟලුම් නිශ්පාදන ආයතනයේ බංග්ලාදේශ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික කළමනාකරු නිමල් කුමාරසිරි මහතා ඖෂධ, ආහාර, ඇඳුම් ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය රෝගීන් වෙත ගෙන යා හැකි රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ.

මේ අතර රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සහ ඉංජිනේරු පීඨවල සිසුන්ගේ සහායෙන් නිර්මාණය කළ රොබෝ යන්ත්‍රයක්ද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට භාර දුන්නේය.

එම යන්ත්‍රය මඟින්ද රෝගීන් වෙත අවශ්‍ය ද්‍රව්‍ය ලබා දිය හැකි අතර රෝගියා සමඟ දුරස්ථව සම්බන්ධ වී අදහස් හුවමාරු කර ගැනීමට හැකියි.

එමෙන්ම ගාල්ල මහින්ද හා රිච්මන්ඩ් විද්‍යාලවල ආදි සිසුන් විසින් නිර්මාණය කෙරුණු ස්වයංක්‍රීය විෂබීජහරණ කුටියක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණි.

මේ අතර ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයෙන් පුහුණුව ලැබූ දැරණියගල පදිංචි ලක්ෂාන් ලහිරු මානවඩු මහතා සහ ඔහුගේ සොහොයුරා ස්වයංක්‍රීය විෂබීජහරණ කුටියක් නිෂ්පාදනය කර තිබේ.

ඉතාමත් අඩු මුදලකින් නිෂ්පාදනය කර ඇති මෙම විෂබීජහරණ කුටිය දැරණියගල ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කෙරුණි.

+++++++++++++++++++++

Media Briefing On Research Inventions By KDU For COVID 19
.
(23.04.2020 – kdu.ac.lk)
.
The Media briefing was held on 23rd April 2020 at 1000 hours at KDU to demonstrate the Medical equipment and other apparatuses, which would be useful to combat COVID 19 pandemic that were invented and produced by the Students and Academia of KDU. The Faculties of Engineering, Computing and Medicine took the leading role in this endeavor. Namely these products are KDU Ventilator-2020 Ver. 1.0, KDU MEDICARE Robot-2020 Ver. 1.0, KDU VentilatorPro KDU Ver. 1.0, Curec: Doctor Patient Communication Platform and UV Air Purifier.
.
11 Media personnel representing 13 Medias were present for above event.

***************************************

යළි පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිදු බලයක් හිටපු කතානායකවරයාට නැහැ – නීති විශාරදයින් පෙන්වා දෙයි

(23.04.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

විසුරුවා ඇති මොහොතක යළි පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිදු බලයක් හිටපු කතානායකවරයාට නොමැති බව නීතිවිශාරදයින් පෙන්වා දෙනවා.

එම බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවයි ඔවුන් අවධාරණය කළේ.

පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවට විපක්ෂ දේශපාලන පක්ෂ මතුකල නීතිතර්ක වලට පිළිතුරු දෙමින් ඔවුන් මේ බව කියා සිටියා.

මේ අතර, කරූ ජයසූරිය අද කියා සිටියේ තමා විසින් ඒකපාර්ශවිකව පාර්ලිමේන්තුව රැස් කිරීමේ සූදානමක් පවතින බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු දෙවනදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පැවති 8 වන පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3 ක් ඇතුළත මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීම සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලනඥයින් මේ වනවිට විවේචන එල්ල කරමින් පවතිනවා.

ඔවුන් පවසන්නේ නියමිත දිනට නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකිවීම හේතුවෙන් පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවයි.

මේ එම තර්කය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති නීතිඥවරුන් වන මනෝහර ද සිල්වා මහතා සහ ජයතිස්ස ද කොස්තා මහතා සඳහන් කළේ කතානායකට යළි පාර්ලිමේන්තුව කැඳවීමට බලයක් නොමැති බවයි.

මේ අතර, පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමට හිටපු කතානායකවරයාට බලය ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් හිටපු කතානායක කරූ ජයසූරිය ට්විටර් පණිවුඩයක් මගින් අදහස් පළ කර තිබුණා.

තමන් විසින් ඒකපාර්ශවිකව පාර්ලිමේන්තුව රැස් කිරීමේ සූදානමක් පවතින බවට පළ වන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවයි ඔහු එමගින් දක්වා තිබුණේ.

කොරෝනා අර්බුදයට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍ය බව පෙන්වා දෙන හිටපු කතානායකවරයා, අර්බුදයක් ඇති වන්නේ නම්, එය වැළැක්වීමට විධායකය කටයුතු කළ යුතු බවත්, යම් මතභේදයකදී අධිකරණයේ නියෝගවලට ගරු කිරීමට තමන් බැඳී සිටින බවත් පෙන්වා දී තිබෙනවා.

මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව කැඳවා තිබූ පළමු ව්‍යවස්ථාදායක සභා රැස්වීම එහි සභාපති හිටපු කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදී අද (23) පැවැත්වුණා.

ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සාමාජිකයින් එක්ව සිටි අතර, එහිදී පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ තමන් විසින් පාර්ලිමේන්තුව යළි කැඳවා තවත් අර්බුදයක් ඇති කිරීමේ අදහසක් නොමැති බව ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස හිටපු කතානායකවරයා එහිදී ද, අවධාරණය කළ බවයි.

දරුණු වසංගත තත්ත්වයක් පවතින මේ මොහොතේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කර නොගන්නා ලෙස ද හිටපු කතානායකවරයා සියලු පක්ෂ නායකයින්ගෙන් සහ පාර්ශව වලින් ඉල්ලා තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තුව යළි කැඳවීමේ යටි අරමුණ මෙන්න.. – නීතිඥ උදය ගම්මන්පිල

(24.04.2020 – 10:40 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

= ව්‍යවස්ථාව පිළිබඳ විපක්ෂය කියන්නේ බොරු. පිළුණු පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු නෑ. =

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඇතුලත මැතිවරණය පැවැත්විය යුතුයි කියන විපක්ෂය මාර්තු 2 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් මැතිවරණය පැවැත්වෙන්නේ ජූනි 20 නම් මාස තුනක් ඇතුලත මැතිවරණය නොපැවැත්වෙන නිසා විසුරුවා හැරීම නීති විරෝධියි කියා අමුතු තර්කයක් ගේනවා. ඇත්තටම මොකද වුණේ?

මැතිවරණ කොමිසමේ තීන්දුවකින් ජනාධිපතිගේ ප්‍රකාශනය නීති විරෝධි වන්නේ කෙසේද?

මාර්තු 2 දා ජනාධිපතිතුමා විසින් නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ප්‍රකාශනයේ අප්‍රේල් 25 දින මැතිවරණය පැවැත්වීමටත් මැයි 14 දින අළුත් පාර්ලිමේන්තුව පළමු රැස්වීම පැවැත්වීමටත් දින නියම කළා. ඒක ව්‍යවස්ථා විරෝධියි නීති විරෝධියි කියලා කවුරුවත්ම කිව්වේ නෑ. පවතින වසංගත තත්වය මත මැතිවරණය පැවැත්වීම කල් දාන්න මාර්තු 19 දා මැතිවරණ කොමිසම තීරණය කරනවා. ඒකත් නීති විරෝධියි කියා කවුරුවත් කිව්වේ නෑ. අවසානයේ දී මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පැවැත්වීමට ජූනි 20 දින නියම කරනවා. ඔන්න එතකොට මැතිවරණය පවත්වන්නේ විසුරුවා හැර මාස තුනක් ඉකුත් වීමෙන් නිසා විසුරුවා හැරීම නීති විරෝධියි කියා විපක්ෂය කෑ ගහනවා.

මේක ඉතාම විහිළුසහගත තත්වයක්. විසුරුවා හැරියේ ජනපතිතුමන්. ජූනි 20 කියලා මැතිවරණ දිනය නියම කලේ මැතිවරණ කොමිසම. මැතිවරණ කොමිසම කරපු දෙයක් නිසා ජනාධිපතිගේ විසුරුවා හැරීම නීති විරෝධි වෙන්නේ කොහොමද? එක් අයෙකු කළ දෙයකින් වෙනත් අයකුගේ ක්‍රියාවක් නීතිවිරෝධි වන බව අත්තා මුත්තා කාලයේ දී වත් අහලා තිබෙනවා ද?

පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති බැඳී සිටිත් ද?

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීම පිළිබඳ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ස්ථාන දෙකකයි. ජනපති විසින් හදිසි නීතිය පනවනවා නම් එකී හදිසි නීතිය පැනවීමේ ප්‍රකාශනය විසුරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රකාශනයක් වන බව ව්‍යවස්ථාවේ 155(4) වගන්තියේ සඳහන් වෙනවා. නමුත් හදිසි නීතිය පැනවීමට තමන් බලාපොරොත්තු නොවන බවත් හදිසි නීතිය නොමැතිව කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීමට තමන්ට පුළුවන් බවත් ජනපතිතුමා පවසනවා. ඒ සම්බන්ධයෙන් එතුමා දැඩි තීන්දුවක සිටිනවා. එහෙම නම් හදිසිනීතිය පනවන්නේ නැතිනම් අනිවාර්යෙන් කැඳවීමේ වගන්තිය කිසිසේත්ම බලාත්මක වෙන්නේ නෑ. හදිසි නීතිය පනවන්නේ නැත්නම් ජනාධිපතිතුමන් විසින් විසුරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවීමට කිසිම නීතිමය බැඳියාවක් නොමැතිබව අප ඉතාම අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. එහෙම තියනවයි කියල කියන අය ඉන්නවනම් අනේ ඕක කොතනද තියෙන්නේ කියලා නොදන්නා අපිටත් දැනගන්න පෙන්වා දෙන්න කියන ඉල්ලීමත් අප කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවීම අවශ්‍ය වන ස්වභාවයේ හදිසි තත්වයක් උද්ගත වී ඇති බවට ජනපති සෑහීමකට පත් වන්නේ නම් පාර්ලිමේන්තුව යලි කැඳවන්න ජනපතිට බලය තිබෙනවා. දැන් රටේ හදිසි තත්වයක් තිබෙනවා ද? උත්තරය ඔව්. කොවිඩ් 19 වසංගත තත්වය හදිසි තත්වයක් තමයි. නමුත් පාර්ලිමේන්තුව යළි කැඳවීම අවශ්‍යතාවයක් පැන නැගී ඇතැයි ජනාධිපතිතුමන් සෑහීමකට පත් වෙන්නත් ඕනෑ. එයට අධිකරණය සෑහීමකට පත් වෙලා මදි. විපක්ෂය ද සෑහීමකට පත් වෙලා මදි. මුළු ලංකාවම සෑහීමකට පත් වෙලා හිටියත් ජනාධිපතිතුමා සෑහීමකට පත් වන්නේ නැතිනම් එම වගන්තිය ක්‍රියාත්මක වන්නේ නැහැ. පාර්ලිමේන්තුව යළි කැඳවීමක් අවශ්‍ය වන්නේ මේ වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා අවශ්‍ය වන නීති රීති වල යම් අඩුපාඩුවක් තියෙනවා නම්. මේ හදිසි තත්වයට මුහුණ දීමට දැනට තිබෙන නීති හොඳටම ප්‍රමාණවත්. නිරෝධායන සහ වසංගත වැලැක්වීමේ ආඥා පනත, මහජන ආරක්ෂක පනත, අත්‍යාවශ්‍ය සේවා පනත සහ ආපදා කළමනාකරණ පනත වැනි නීති වලින් මේ තත්වයට හොඳින් මුහුණ දිය හැකියි. එහෙම නම් පාර්ලිමේන්තුව යළි කැඳවලා ජනාධිපතිට කර ගන්න දෙයක් නෑ. එහෙම නම් පාර්ලිමේන්තුව යළි කැඳවා ගන්න විපක්ෂයට ඕනෑ ඇයි? පාර්ලිමේන්තුව ඕනෑද නැද්ද කියන එක තීරණය කිරීමට හිටපු කතානායකට බැහැ. අධිකරණට බැහැ. විපක්ෂයටත් බැහැ. එය කළ හැකි එකම බලධරයා ජනාධිපතිතුමන් පමණමයි. නමුත් ජනාධිපතිතුමන්ට පාර්ලිමේන්තුව යළි කැඳවීමට අවශ්‍ය නැතිනම් විපක්ෂය ඇයි මෙය කැඳවන්න – කැඳවන්න කියලා බෙරිහන් දෙන්නෙ. එක දවසක් රැස් වුණොත් මන්ත්‍රිවරුන්ට මාසයකට වැටුප් සහ දීමනා දෙන්න ඕනෑ. කාර්ය මණ්ඩල වලට වැටුප් සහ දීමනා දෙන්න ඕනෑ. ඔන්න ඕකටයි පාර්ලිමේන්තුව යළි කැඳවන්න කියලා බෙරිහන් දෙන්නේ.

පාර්ලිමේන්තුව යළි කැඳවීමේ යටි අරමුණ කුමක්ද?

විපක්ෂය කැඳවන්න කියලා බල කරන පාර්ලිමේන්තුව මොකද්ද? 2018 දීත් 2019 දීත් අපේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ පිළුණු වුණු පාර්ලිමේන්තුවක්. අවසන් කළ ත්‍රස්තවාදයට යළි පණ දුන් දේශද්‍රෝහි පාර්ලිමේන්තුවක්. රටේ ආර්ථිකය ඇෆ්ගනිස්ථානයටත් වඩා පල්ලම් බස්සපු වැඩ බැරි පාර්ලිමේන්තුවක්. මහ බැංකුවත් හොරා කාපු චෞර පාර්ලිමේන්තුවක්. එහෙව් පාර්ලිමේන්තුවකට තමයි මේ පණ දෙන්න හදන්නේ.

මේ කැඳවීමට යන පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ වැඩ බැරි හොරු පිරි දේශද්‍රෝහි විපක්ෂයටයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුව යලි කැඳෙව්වොත් රට විකුණන, රට පාවා දෙන දේශද්‍රෝහි පනත් බුරුතු පිටින් සම්මත වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා පිළුණු පාර්ලිමේන්තුව යළි නොකැඳවීමට ජනපතිතුමා ගත් තීරණයට අපි සිරස නමා ආචාර කරනවා. ඒ වගේම අධිකරණ නියෝගයකින් තොරව පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ නෑ කියා හිටපු කතානායකතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඇති ප්‍රශ්න නැති කරන්න කටයුතු නොකර නැති ප්‍රශ්න ඇති කරන්න කටයුතු කරන විපක්ෂයට උඩ ගෙඩි නොදී සිටින්න එතුමා ගත් තීරණයටත් අපි ප්‍රණාමය පුද කරනවා.

මහ පොළොවේ කළ නොහැකි දෙයක් කරන මෙන් බල කරන්න බෑ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) වගන්තිය අනුව නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම විසුරුවා හැරිය දින සිට මාස තුනක් ඇතුලත පැවැත්විය යුතුයි. ජනාධිපතිතුමා විසින් මාර්තු 2 දා විසුරුවා හැරීම කළ නිසා පළමු රැස්වීම ජූනි 2 ට පෙර පැවැත්විය යුතුයි. ඒ නිසා තමයි ජනපතිතුමාගේ ප්‍රකාශනයේ නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පවත්වන දිනය ලෙස මැයි 14 නියම කලේ. පවතින වාතාවරණය මත අප්‍රේල් 25 දින මැතිවරණය පවත්වන්න බෑ කියලා මැතිවරණ කොමිසම තීරණය කළා. ඒ සඳහා දැන් ජූනි 20 දින නියම කර තිබෙනවා. සාමාන්‍ය තත්වය යටතේ නම් විසුරුවා හැර මාස තුනක් ඇතුලත පළමු රැස්වීම පැවැත්විය යුතුයි. නමුත් ඒක මහ පොළොවේ කරන්න බැරි නම් මොනවා කරන්න ද? මේක සුවිශේෂි අවස්ථාවක්. ඒකට අර සාමාන්‍ය අවස්ථාවට අදාළ කාල සීමාව බල පවතින්නේ නෑ. නීතියේ තිබෙන Impossibility of Performance Doctrine අනුව මහ පොළොවේ කළ නොහැකි දෙයක් කරන මෙන් නීතියට නියම කරන්න බෑ. ඒ නිසා පවතින සුවිශේෂි තත්වය මත විසුරුවා හැර මාස තුනක් ඇතුලත නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම නොපැවැත්වීම කිසිම ව්‍යවස්ථා අර්බූදයක් නිර්මාණය කරන්නේ නෑ.

ප්‍රශ්ණය : සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුවට යළි රැස් විය හැකි බව. ඇයි ඔහු එහෙම කියන්නෙ ?

පිළිතුර : සුමන්දිරන් මන්ත්‍රිතුමන් නීතිය නොදන්නවා නෙමෙයි. ඔහු නීතිය විකෘති කිරීමට උත්සාහ දරන්නේ පෞද්ගලික යටි අරමුණක් සඳහායි. එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදී නාමයෝජනා භාරදී පවතින නිසා දෙමළ බෙදුම්වාදී බලවේගයන් තවදුරටත් දුර්වල වී තියෙනවා. දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය යළි සමගි කරගන්න. එයට ඔවුන්ට තියෙන ලොකුම බාධාව එජාපයේ ප්‍රබල නායකයන් කණ්ඩායම් දෙකකට බෙදිලා රටපුරාම නාමයෝජනා භාර දී තිබීම. එනිසා ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා බාරදී ඇති නාමයෝජනා අහෝසි කරගෙන මේ පක්ෂය එකතු කරලා තනි කණ්ඩායමක් විදිහට නාමයෝජනා භාරදීමට. එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන පනතකින් පමණයි. එබැවින් පාර්ලිමේන්තුව යළි කැඳවන්න යැයි කියමින් බොරු නීතික තර්ක ගෙනෙමින් සුමන්දිරන් මන්ත්‍රිතුමන් බෙරිහන් දෙන්නේ තමන්ගේ දේශපාලනික අභ්‍යන්තර ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහායි.

– අරවින්ද අතුකෝරල

https://www.youtube.com/watch?v=FPjRSZJ7TrM
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *