ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත අගුළු දමයි

(29.03.2020 – 12:36 +0530 – lankadeepa.lk)

පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වු නිසා ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත වසාදැමූ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පවසයි.

එක්තරා පූජකවරයකුගේ සංවිධායකත්වයෙන් ඉකුත් 15 වැනිදා සුරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීම සඳහා බස් රථ දෙකකින් පිරිස රැගෙන ගොස්තිබේ. එකී ගමනට මෙම රෝග ලක්ෂණ ඇති පිරිස සහභාගී වී ඇති බව ඔහු පැවසීය.

ගමන සංවිධානය කළ පූජකවරයා පල්ලියද වසා දමා ඇති අතර ඔහු ආගිය අතක් නොමැති බවත් ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත බව ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පැවසීය.

විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සිටින පවුල් අටක්ද එම කලාපයේ නිරෝධානය වෙමින් සිටින බව සඳහන් කළ ඒ මහතා සියලු කරුණු සළකා බලා ඔබේසේකරපුර අරුණෝදය මාවත මුද්‍රා තැබීමට කටයුතු කල බව පැවසීය.

අතුරැදහන්ව ඇති පූජකවරයා සොයා මෙහෙයුමක්ද ක්‍රියාත්මක වන බව සඳහන් කල ඒ මහතා සැක සහිත රෝග ලක්ෂණ පහල කළ ළමුන් දෙදෙනා සහ වැඩිහිටි හතරදෙනා පරික්ෂණ සඳහා යොමු කෙරෙන බව වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතාගෙන්ද අප විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ මෙකී වන්දනා කණ්ඩායම වැලිකන්ද යාපනය යන ප්‍රදේශයන්හී දේව මෙහෙයන්ටද සහභාගී වී ඇති බවයි.

මාර්ග අංක 175 සහ 170 මගි බස්රථ මේ සඳහා යොදාගෙන ඇති බව සඳහන් කල ඒ මහතා මෙම ගමනට දෙහිවල ප්‍රදේශයේ පල්ලියක දේවගැතිවරයෙක්ද සම්බන්ධ වී ඇති බවද පැවසීය.

වසා දමන ලද අරුණෝදය මාවත කලාපයේ පවුල් 500 ක් පමණ ජීවත් වන බවද ඔහු පැවසීය. මෙම වැටලීමට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන, වැලිකඩ පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පියල් ගුණතිලක ඇතුලු පොලිස් කණ්ඩායමක් සහභාගි විය.

= අරුණෝදය මාවතේ වන්දනාගමන සංවිධානය කළ දේවගැතිවරයා හමුවෙයි =

වසා දැමුණු අරැනෝදය මාවතේ වන්දනාගමන සංවිධානය කල බව කියන දේව ගැතිවරයා හිතමිතුරන්ගේ මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට හැකි වු බව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා පැවසීය.

අදාල පුජකවරයා දෙහිවල ප්‍රදේශයේ සිට කෝට්ටේ ප්‍රදේශයට පැමිණි බවත් එහිදී ඔහුගෙන් ලැබු තොරතුරු වලට අනුව බස් රථ දෙකක් ගමනට සහභාගී වී ඇති බව ජයවර්ධන මහතා පැවසීය.

ඉකුත් 13 වැනිදා සුරිය කන්ද උපදේශන මෙහෙයකට සහභාගී වී 15 වැනිදා පිරිස නැවත පැමින ඇති බව ඒ මහතා පැවසීය.

ගමනට සහභාගී වු පිරිසගේ නාම ලේඛන සහ බස් රථ තොරතුරු තමා වෙත ලබා දෙමින් නිලධාරින්ට හැකි සැම ආකාරයකටම සහය දැක්වීමට දේව ගැතිවරයා එකඟතාවය පල කල බව ජයවර්ඛන මහතා පැවසීය.

සිදුවීමට අදාල පරික්ෂණ කටයුතු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතාගේ අධික්ෂණයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක ලහිරු කරුනාරත්න මහතා විසින් සිදු කලහ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදනය වී ශ්‍රී ලංකාවේ දී මියගිය පළමු පුද්ගලයාගේ දේහය ආදාහනය කෙරේ

(29.03.2020 – 13:03 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී මියගිය පළමු ශ්‍රී ලාංකිකයාගේ ආදාහන කටයුතු කොටිකාවත්ත – මුල්ලේරියාව ආදාහනාගාරයේදී අද සිදු කෙරුනා.

ඒ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණය යටතේයි.

මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් දෙදෙනෙකු ආදාහන කටයුතු සිදුකෙරුණු ස්ථානයට පැමිිණ සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ආදාහන කටයුතු සිදුකිරීමට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම කටයුත්ත සිදුකරන සේවකයින්ට උපදෙස් ලබාදෙනු ලැබුවා.

කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ මෙම පුද්ගලයා 60 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සංචාරක මග පෙන්වන්නෙකු වන මෙම පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනයෙන් පෙළුණු අයෙකුද වනවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ පුද්ගලයින් 117 දෙනෙකු මේ වනවිට සෞඛ්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවන බවයි.

තහවුරු කළ කොරෝනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 29 ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් 17 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 11 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10 දෙනෙකු වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි

(29.03.2020 – 13:53 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඇය මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තාවන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෑම ගුවන් ගමනක් අවසානයේම ඒවායේ කාර්ය මණ්ඩලය දින 14 ක නිරෝධායනයකට ලක් කෙරෙනවා.

ඒ අනුව අදාළ ගුවන් සේවිකාව සමඟ කටයුතු කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ද මේ වනවිට නිරෝධායනයට ලක් කෙරෙන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තම කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරතුරුව අධීක්ෂණයෙන් පසුවන බවයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයින් 10 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා අංශය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසයට එරෙහිව ජපානය සොයාගත් පෙත්ත දින දෙකක් තුළ ලංකාවට

(29.03.2020 – 14:15 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

‘අද දෙරණ’ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ මෙරට තුළ ඖෂධ බෙදාහැරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටියේ, කොරෝනා වෛරසයට එරෙහිව ජපානය සොයාගත් පෙත්ත දින දෙකක් තුළ ලංකාවට ගෙන ඒ මට නියමිත බවයි.

රජයේ ඔසු සැල් විවෘතව තැබෙන බවට රජය නිවේදනය කළඳ ඊයේ (28) දිනයේ ඔසුසැල් කිසිවක් විවෘතව තිබුණේ නොමැත.

මේ හේතුවෙන් ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාව දැඩිලෙස අපහසුතාවට පත්වුණි.

‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහනට අද (29) පෙරවරුවේ එක්වෙමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ පිළිබඳව අදහස් පළ කළේය.

***************************************

මඩකලපුව සියෝන් දේවස්ථාන බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(29.03.2020 – 16:51 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා දිනයේ මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, අද (29) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේබව සඳහන් කළේය.

+++++++++++++++++++++

***************************************

විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3 යන දිනවල – අග්‍රාමාත්‍ය කාර්යාලය

(29.03.2020 – 17:52 +0530 – sinhala.adaderana.lk)

අප්‍රේල් මස 2 සහ 3 යන දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මෙම දින දෙක තුළදී ගෙවීම් ලබා ගැනීමට නොහැකි වන අයට අප්‍රේල් මස 6 වනදා වන විට අදාල ගෙවීම් සිදුකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එම කාර්යාලය සදහන් කළේය.

අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද පැවති අතර එහිදී මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේය.

ඒ අනුව තැපැල් කාර්යාල මගින් හා අදාල බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාමලාභීන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ග්‍රාම සේවා වසම තුළට තැපැල් දෙපාර්තමේන්තුව මගින් ගෙනැවිත් භාරදීමට නියමිතයි.

බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාමිකයින්ගේ මුදල් අදාල බැංකු ගිණුම් වෙත අප්‍රේල් 2 හෝ 3 යන දිනවලදී බැර කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේය.

බැංකු ගිණුම් හරහා විශ්‍රාම වැටුප් ලබාගැනීමට බලාපොරොත්තු වන විශ්‍රාමිකයන්ට ග්‍රාම නිලධාරීවරයා සහ ත්‍රිවිධ හමුදාව හෝ පොලිසිය මගින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයනු ඇත.

කෙසේවෙතත් ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දිය යුතු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේය.

සෑම බැංකුවක්ම අවම වශයෙන් එක් ශාඛාවක් හෝ මෙම දිනවල විවෘත කර තැබීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකුකරුවන්ද එකඟතාව පලකර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

වගකීම් සහගතව ඖෂධ බෙදාහැරීමට තැපැල් ස්ථාන සූදානමින්

(29.03.2020 – 16:18 +0530 – sinhala.adaderana.lk)

තැපැල් මගින් ඖෂධ බෙදාහැරීමේදී ඉතා වගකීම් සහගතව කටයුතු කිරීමට සියලු තැපැල් ස්ථාන සූදානමින් සිටින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

අද (29) පෙරවරු අද දෙරණ බිග්ෆෝකට් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත

(29.03.2020 – colombotoday.com)

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයකු හමුවීමත් සමගම එම පුද්ගලයා ප්‍රදේශයේ නිවාස රැසකට ගොස් තිබූ බැවින් කිසිදු පුද්ගලයෙකුට එම ප්‍රදේශයෙන් පිටතට පැමිණීමට හෝ පිටතින් එම ප්‍රදේශයට යාම තහනම් කිරීමට බලධාරීන් ක්‍රියා කරන ලදි.

ඉතා කෙටි කාලයක් තුල නිවාස විශාල ප්‍රමාණයකට අදාළ පුද්ගලයා ගමන්කිරීමට හේතුව තබ්ලික් ජමාත් ආගමික සම්ප්‍රධායක් බව බහුතර සමාජය නොදන්නා මුස්ලිම් සමාජය දන්නා රහසකි. ඇඳිරි නිතිය ක්‍රියාත්මක වුවද මේ මොහොතේ පවා මුස්ලිම් ගම්මානවල තබ්ලික් ජමාත් ආගමිකයින් ගෙයින් ගෙට යමින් සිටියි.

තබ්ලික් ජමාත් අනුගාමිකයින් රටින් රටට, නගරයෙන් නගරයට, ගමින් ගමට, නිවසින් නිවසට ඉස්ලාම් ආගම ප්‍රචාරය කිරීම සඳහා ගමන්ගන්නා පිරිසකි. ඔවුන් සාම්ප්‍රධායික සුෆි මුස්ලිම්වරුන් තමන්ගේ මතවාදයට හරවා ගනියි. සාම්ප්‍රධායික මුස්ලිම් පල්ලි ක්‍රම ක්‍රමයෙන් තම අනසකට ගනියි. නිවසට පැමිණ පල්ලියට පැමිණෙන ලෙසට හොඳින් හෝ නරකින් පවසයි. කොරෝනා රෝගීන් වාර්තා වී දැනට වසා දමා ඇති බණ්ඩාරගම අටළුගම, මහනුවර අකුරණ, පුත්තලම කඩුමයන්කුලම තබ්ලික් ජමාත් බහුතරයක් වෙසෙන ස්ථානයන් වේ.

මේ අතරින් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශය තබ්ලික් ජමාත් රාජධානියක් බව කිව යුතුය. සිංහල ජාතිකයෙකු හා විවාහ වීම හේතුවෙන් පසුගිය වසරේදී ‘අබ්දුල් හසන් ෆාතුමා හයිෆා’ නැමති කාන්තාවට විරුද්ධව ෂරියා නිතිය ක්‍රියාත්මක කර ගල් ගසමින් පාරේ ඇඳගෙන ගියේ මේ කියන අටලුගමදිය. ෂරියා නීතිය ක්‍රියාත්මක කීරීමට පෙර මරාව පල්ලියේ පිරිස් උදේ හවස නිවසට පැමිණ මුස්ලිම් ජාතික කාන්තාව හා විවාහ වූ සිංහල ජාතිකයාට මුස්ලිම් ආගමට පැමිණෙන ලෙස බලපෑම් කර තිබේ. එයට අවනත නොවූ තැන මුස්ලිම් කාන්තාව දික්කසාද කරගැනීමට උත්සහ කර ඇත. එම උත්සාහය ද සාර්ථක නොවීම හේතුවෙන් මුස්ලිම් කාන්තාවට විරුද්ධව ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇත. ඒ සඳහා මුලිකත්වය ගෙන තිබුනේ ද අටළුගම මරාව මුස්ලිම් පල්ලියයි. ඊට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ මරාව පල්ලියේ සභාපති හැර අනෙකුත් සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එලෙස ඉදිරිපත් කරන ලද පුද්ගලයින් විසි දෙදෙනෙකුගෙන් තිදෙනෙක් තවමත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවය. ඒ අතර එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ඉමිතියාස් හාජියාර් නැමැත්තා ද වේ. කෙසේ වෙතත් පල්ලියේ සභාපතිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම අලස ස්වරූපයක් ගෙන තිබේ.

ආරක්ෂක අංශ මුස්ලිම් ගම්මාන තුලට පැමිණ පරික්ෂා නොකරන බැවින් ඇඳිරිනීතිය පනවා ගමනා ගමනය තහනම් කර තිබුන ද තබ්ලික් ජමාත් අනුගාමිකයින් උදේ හවස මුස්ලිම් ගම්මානවල ගෙයින් ගෙයට ඇවිදීම තවමත් සිදු කරමින් පවතී. රජයෙන් කෙතරම් උපදෙස් දුන්නද ඔවුන්ගේ අන්ධ භක්තිය ඊට වඩා විශාල ප්‍රමාණයකින් වැඩිය. එබැවින් ආරක්ෂක අංශ මුස්ලිම් ගම්මාන තුලට පැමිණ මෙම තත්වය වැලක්වීමට වහා ක්‍රියා මාර්ග ගත යුතුව ඇත.

මෙරට ක්‍රියාත්මක වන සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන මුෆ්ති නියෝජනය කරන්නේ ද තබ්ලික් ජමාත් ඉස්ලාම් ආගමික කණ්ඩායමයි. පල්ලි වසා දමන ලෙසට ප්‍රසිද්ධ නිවේදන උලමා සංවිධානය සිදුකල ද තබ්ලික් ජමාත් කණ්ඩායම් සිදුකරන ගෙයින් ගෙට යෑම නැවත්වීමට ඔවුන් ක්‍රියා කරන්නේ නැත. එනිසා තත්වය පාලනය කිරීමට ඔවුන් දක්වන සහයෝගය විශ්වාස කල නොහැකිය. වෙනත් ආගමික සංවිධාන විශ්වාස නොකොට වහා නිතිය අකුරටම ක්‍රියාත්මක කර කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට ආරක්ෂක අංශ සහ රජය වහා ක්‍රියා කල යුතුය.

එම්. නජීම්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *