ඇඳිරි නීතියට නොපෙනෙන පැති

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඇඳිරි නීතියට නොපෙනෙන පැති (විඩියෝ)

• අනුරාධපුරයෙන් වී මෙට්‍රික් ටොන් 4712 ක් රජය මිලදී ගනී

• මැනිං වෙළෙඳපොළ පාරිභෝගික අධිකාරියේ අධීක්ෂණයට (විඩියෝ)

• ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත් වූ 11 ක් අත්අඩංගුවට

• දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය දිරිමත් කිරීමට වහාම පියවර ගන්න – අගමැති මහින්ද රාජපක්ෂ

• උඩුගුවනින් ඉසින පිරිත් පැන්

• අද (27) සවස 4.30 වන විටත් කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ

• සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ලැබෙන පරිත්‍යාග බද්දෙන් නිදහස්

• ඇඳිරි නීතිය උල්ලංඝණය කරන අයට පොලිස් ඇප නෑ – නියෝජ්‍ය පොලිස්පති (විඩියෝ)

• හෝමාගම රෝහලේ පැන ගිය රෝගියෙක් පොලිස් සහයෙන් නැවත පානදුර රෝහලට (විඩියෝ)

• ඇඳිරි නීතිය නොතැකු හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ දේව මෙහෙය (විඩියෝ)

• ආසාදිතයකු නිසා බණ්ඩාරගම අටලුගම දැඩි අධීක්ෂණය යටතට (විඩියෝ)

• පරිප්පු හංගලා තිබිලා අහුවුණොත් මාස 6 ක් හිරේ (විඩියෝ)

• 2020 වර්ෂයට සරසවි සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව දිර්ඝ කරයි

• ඇඳිරි නීතිය අතරේ මත්පැන් විකිණූ සුපිරි වෙළඳසැලක් මුද්‍රා තැබේ

• රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් (විඩියෝ)

• අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවර රෝහල් තුළ පහසුකම් අවම වීම හේතුවෙන් මියයන රෝගීන් ගැන ‍අමෙරිකාවේ වෛද්‍යවරියකගෙන් හෙළිදරව්වක්

• ලොව පුරා කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 6 ට ආසන්න වෙයි

• ඉන්දියානුවෝ කුපිත වෙති ! ඉන්දියාවේ COVID-19 මර්ධනය කළ නොහැකි ලකුණු ! (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතියට නොපෙනෙන පැති

(27.03.2020 – 22:32 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවයට පත්ව මෙරට රැඳීසිටින විදේශිකයින්ට සිය මව්රටවල් වෙත යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා එම විදේශිකයන් වෙනුවෙන් 1912 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.

මේ අතර සමෘද්ධිලාභීන්ට රජයෙන් ලබාදෙන රුපියල් දස දහසේ දීමනාව නිවෙස්වලටම ගොස් ලබාදීමට වලස්මුල්ල සමෘද්ධි නිලධාරීන් අද (27) පියවර ගත්තේය.

එමෙන්ම කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධිලාභීන්ටද රුපියල් දස දහසේ දීමනාව ලබාදීම අද ආරම්භ විය.

මේ අතර ඇඳිරි නීතිය හමුවේ අසරණව සිටින, දෛනික වැටුප් රැකියාවල නිරතවූ රියදුරන්, කොන්දොස්තරවරුන්, පේදරේරුවන් සහ කම්කරුවන් පිරිසක් අද (27) මහනුවරදී ‘අද දෙරණ’ට අදහස් පළ කළේය.

+++++++++++++++++++++++++++++++++++

අනුරාධපුරයෙන් වී මෙට්‍රික් ටොන් 4712 ක් රජය මිලදී ගනී

(27.03.2020 – 23:02 +0530 – sinhala.adaderana.lk)

මහ කන්නය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නෙළූ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 4712 ක් මේවන විට රජය මිලදී ගෙන ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් වී අලෙවි මණ්ඩලය පවසයි.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම් මාර්ගය දෙපස ගොවිජනතාව වී වේලන අයුරු දක්නට ලැබුණි.

මේ අතර ඇසුරුම් කරන ලද මාලු සකසා නිවාස වෙත ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළක්ද අද ලංකා ධීවර සංස්ථාව විසින් ආරම්භ කරනු ලැබුවේය.

ජනතාවට හිඟයකින් තොරව ලුණු ලබා දීම සඳහා නිශ්පාදනය ඉහළ නංවන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි.

මේ අතර බේකරි ආහාර අලෙවිකරන ජංගම වෙළෙඳුන් නියමිත සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිවෙස්වලටම ගොස් ආහාර අලෙවිකරන අයුරු බදුල්ල දිස්ත්‍රික්කයේදි මෙලෙස දක්නට ලැබුණි.

ඒ අතර නිසි සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේදය නොතැකූ වෙළෙන්දෙකු හසලක උල්පතගම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සිය භාරයට ගෙන තිබුණි.

මේ අතර ජනතාවට හිඟයකින් තොරව ඉන්ධන ලබා දීම සඳහා සැපයෙන සේවා පිළිබඳ විමසීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් අද ත්‍රිකුණාමලය ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණි ෴

+++++++++++++++++++++++++++++++++++

මැනිං වෙළෙඳපොළ පාරිභෝගික අධිකාරියේ අධීක්ෂණයට

(27.03.2020 – 21:58 +0530 – sinhala.adaderana.lk)

පිටකොටුව මැනිං වෙළෙඳපොළ තුළ ඉහළ මිලට එළවලු අලෙවි කෙරෙන්නේද යන්න පිළිබඳ පාරිභෝගික අධිකාරිය අද (27) අධීක්ෂණයට ලක් කළේය.

ඒ අධික මිලට එළවළු අලෙවි කිරීම වහාම නවත්වන ලෙස එම අධිකාරිය ඊයේ (26) දැනුම් දී තිබූ පසුබිමකයි.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද අද (27) එළවලු මිල පහළ ගොස් තිබුණි.

මේ අතර ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු සොයා බැලීම සඳහා අද (27) යුද හමුදාපතිවරයාද පැමිණියේය.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත් වූ 11 ක් අත්අඩංගුවට

(27.03.2020 – 21:31 +0530 – sinhala.adaderana.lk)

මොරන්තුඩුව පොලිස් වසමේ උස්වත්ත පාර, මහගෝවදූව ප්‍රදේශයේ නිවසක සාදයක් පවත්වමින් සිටියදී පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (27) සවස මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙව ඇත බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 715 ක්, කේරළ ගංජා ග්‍රෑම් 26 ක් සහ මත්පෙති 72 ක් තිබී ඇති බව වාර්තා වෙයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 ත් 52 ත් අතර වයස්වල පසුවන මොරොන්තුඩුව හා පානදුර ප්‍රදේශයේ පදිංචි කරවන් බව පොලීසිය පැවසීය.

අදාළ සැකකරුවන් හෙට (28) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොරොන්තුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය දිරිමත් කිරීමට වහාම පියවර ගන්න – අගමැති මහින්ද රාජපක්ෂ

(27.03.2020 – 21:13 +0530 – sinhala.adaderana.lk)

ඉදිරියේදී ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය දිරිමත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කෘෂි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙන ලෙසයි.

කොරෝනා වෛරසය පැතිරයෑම වැළැක්වීමට ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග හමුවේ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ මේ වන විට රජය සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මහා පරිමාණ කෘෂිකර්ම වැඩපිළිවෙළ දියත් කිරීම මෙන්ම ගෙවතු වගාව පිළිබඳව අවධානය යොමු කරමින් සෑම බිම් අගලක්ම වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි අග්‍රාමාත්‍යවරයා ගොවිජන සේවා කොමසාරිස්වරයාට සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

මේ යටතේ ගෙවතු වගා දිරිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් පොහොර සහ බීජ වර්ග නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත්, ඊට අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය කෘෂි නිලධාරීන් හරහා ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බව අදාළ නිවේදනයේ සඳහන්ය.

එමෙන්ම කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ගෙවතු වගාවට යොමු වෙමින් ප්‍රයෝජනවත්ව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි ෴

+++++++++++++++++++++++++++++++++++

උඩුගුවනින් ඉසින පිරිත් පැන්

(27.03.2020 – 20:53 +0530 – sinhala.adaderana.lk)

උද්ගත වී ඇති තත්ත්වය හමුවේ රටට සෙත්පතා ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී සජ්ජායනය කළ රතන සූත්‍ර දේශනයේ පිරිත් පැන් බස්නාහිර පළාත පුරා උඩුගුවනින් ඉසීම දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් අද (27) දහවල් සිදුකෙරුණි.

මේ සඳහා හෙලිකොප්ටර් යානය පරිත්‍යාග කර තිබුණේ IWS හෝල්ඩින් සමාගම විසින්ය.

මෙරට නගර සහ පොදු ස්ථාන රැසක් විෂබීජහරණය කිරීම දැනටමත් ආරම්භ කර තිබෙන අතර ශ්‍රී ලංකා ඉන්ධන තොග තෙල් ගබඩා පර්යන්ත සමාගම, කොළඹ ගිනි නිවීමේ ඒකකය සමග එක්ව කොළඹ මැනිං පොදු වෙළෙඳපොල විෂබීජහරණයට ලක්කිරීම ඊයේ (26) සිදුකළේය.

කල්පිටිය සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් විසින් අද (27) උදෑසන කල්පිටිය මූලික රෝහල විෂබීජහරණයට ලක්කළේ මෙලෙසින්ය.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අද (27) උදෑසන කාසල් වීදියේ කාන්තා රෝහල ද විෂබීජහරණයට ලක්කළේය.

මේ අතර වැලිඔය සිවිල් ආරක්ෂක බලකායේ ඇඟළුම් අංශය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා ලබාදීමට මුඛ ආවරණ හා අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යාතනයේ රෝහල් කාර්යය මණ්ඩලට සඳහා ආරක්ෂිත ශරීරාවරණ මසා දීමට කටයුතු කර තිබේ.

අවිස්සාවේල්ල සීතාවක කර්මාන්තපුරයේ පිහිටි ප්‍රයිම් පොලිමර් ආයතන විසින් නිෂ්පාදිත අත් ආවරණ යුගල දස දහසක් එම ආයතන විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙනු ලැබුවේ ඊයේ (26) දිනයේදීය.

මේ අතර ඇඹිලිපිටිය ඔරිට් ඇපරල් ලංකා පුද්ගලික සමාගම විසින් නිෂ්පාදිත ආරක්ෂිත ශරීරාවරණ, මුඛ ආවරණ හා හිස් වැසුම් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල් කාර්ය මණ්ඩලය වෙත ලබාදීම පසුගියදා සිදුකෙරුණි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

අද (27) සවස 4.30 වන විටත් කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ

(27.03.2020 – 20:30 +0530 – sinhala.adaderana.lk)

අද (27) දිනය තුළ කිසිදු නව කොරෝනා ආසාදිතයකු දිවයිනේ අලුතින් වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 106 කි.

ඒ අතර බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයෙන් ආසාදිතයකු හඳුනාගැනීමෙන් පසු එම ගම්මානය සම්පුර්ණයෙන්ම බාහිර සබඳතා වලින් හුදකලා කර තැබීමට රජය අද (27) පියවර ගත්තේය.

මෙරටදී කොරෝනා ආසාදිත පළමු පුද්ගලයා ඉකුත් මාර්තු 11 වැනිදා වාර්තා වූ අතර අද (27) පස්වරු 4.30 වන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 106 දෙනකු හඳුනාගෙන තිබුණි.

සුවය ලැබූ චීන ජාතික කාන්තාවද ඇතුළුව ඉන් 07 දෙනකු පූර්ණ සුවය ලබා දැනටමත් රෝහල්වලින් පිටව ගොස් අවසන්ය.

කොරෝනා වැළඳුණු 99 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් 238 දෙනකු සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ලැබෙන පරිත්‍යාග බද්දෙන් නිදහස්

(27.03.2020 – 20:05 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ ‘COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල’ට ලැබෙන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

අරමුදල සඳහා විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විවෘත කර ඇති අතර, එහි ගිණුම් අංකය : 85737373 වේ.

චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

අරමුදලට මුදලින් කරන පරිත්‍යාග ගැන අදාළ ලියකියවිලි සමඟ ජනාධිපති කාර්යාලයට දැනුම් දෙන ලෙස පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටියි.

COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය සඳුදා ස්ථාපනය කෙරිණි.

එදිනම එතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100 ක් ඊට ප්‍රදානය කරනු ලැබීය.

ජාතිය මුහුණ පා සිටින අභියෝගය හමුවේ මානුෂවාදී හැඟීමෙන් සහ සහෝදරත්වයෙන් එක්ව ක්‍රියාකරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශීය සහ විදේශීය සමාගම්, විදේශ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අරමුදල ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

සමාජ සංරක්ෂණ අරමුදලේ අරමුණු මෙසේය :

  1. COVID-19 හා සම්බන්ධ ඖෂධ, පරීක්ෂණ උපකරණ සහ ධාරිතා වියදම් ඇතුළු සියලු වියදම් පියවීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවශ්‍ය අරමුදල් වහා සම්පාදනය කිරීම.
  2. අත්‍යාවශ්‍ය මහජන සේවා සැපයීමේ නිරත සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්ගේ සහ පහසුකම් සලසන්නන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව උදෙසා අවශ්‍ය සියලු වියදම් සපුරාලීම.
  3. ළමයින්, කාන්තාවන්, අඩු ආදායම්ලාභී පවුල්, වයස්ගත වූවන්, ආබාධ සහිත සහ අවදානමට ලක් වූ කණ්ඩායම් සඳහා මූලික අත්‍යාව්‍ය ද්‍රව්‍ය සම්පාදනය.
  4. ග්‍රාමීය සහ දුර බැහැර ප්‍රදේශවල බෙහෙත් ශාලා, පරීක්ෂණ සහ ප්‍රතිකාර ස්ථාන, පවුල් සෞඛ්‍ය සේවා ඇතුළු මහජන සෞඛ්‍ය සේවා පද්ධති දියුණු කරමින් බෝ වෙන රෝග අවදානම අඩුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරනු පිණිස අවශ්‍ය අරමුදල් සපයා ගැනීම.
  5. දේශීය වෛද්‍ය ක්‍රමය සහ සනීපාරක්ෂක භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදාහැරීම වැඩිදියුණු කිරීම සහ දේශීය අමුද්‍රව්‍ය , සම්පත්, දැනුම හා නිපුණතා භාවිතයෙන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක නවෝත්පාදන නිෂ්පාදනය අරමුණු කරගත් පර්යේෂණ ප්‍රවර්ධනය.
  6. ගෝලීය වෙළෙඳපොළ සඳහා ආරක්ෂිත ඇඳුම් හා සනීපාරක්ෂක නිෂ්පාදන සංවර්ධනය අත්හදා බැලීම සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය හා විද්‍යාත්මක දැනුම භාවිතයෙන් නවෝත්පාදන සඳහා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම.
  7. සාම්ප්‍රදායික එහෙත් සමෘද්ධිමත් දිවි පෙවෙතක් අගයන, කාබනික ආහාර පරිභෝජනයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනයට ජනමාධ්‍ය සහ අධ්‍යාපනික වැඩසටහන් සම්පාදනය.
  8. සම්පත් ප්‍රතිපාදනය, විධිමත් ජාතික ප්‍රසම්පාදන ක්‍රම සහ පාලන චර්යා පිළිබඳ ප්‍රශස්තම මූලධර්ම මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ප්‍රධාන හවුල්කරුවන් සමඟ එක්ව අරමුදල් රැස් කිරීම.

පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල කළමනාකරණය කෙරෙන බවද එම නිවේදනයේ තවදුරටත් දැක්වෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය උල්ලංඝණය කරන අයට පොලිස් ඇප නෑ – නියෝජ්‍ය පොලිස්පති

(27.03.2020 – 19:52 +0530 – sinhala.adaderana.lk)

පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර ජනාධිපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද (27) පස්වරුවේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ දැනට රටපුරා ක්‍රියාත්මකව පවතින ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙසයි.

ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගතහැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධන බලකාය සියලු විධිවිධාන සලසා ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම ඇඳිරි නීති කාලය තුළ කිසිවෙකු සිය අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතු බවද එම නිවේදනයේ සඳහන්.

කාර්ය සාධන බලකාය විසින් අවසර දී ඇති බෙදාහැරීම් සේවා සිදුකරන වාහන පමණක් මාර්ගවල ධාවනය කිරීමට හැකි අතර අන් කිසිදු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය නොකළ යුතුයි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් වන අතර විදේශීය සංචාරකයින් තැනින් තැනට ගෙනයාමද මුලුමනින්ම තහනම් වෙයි.

කුමන දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් කටයුතු, කුඩා තේවතු ඇතුළු වැවිලි වගා වැඩ සහ ධීවර කර්මාන්තයට අවසර හිමි වන අතර ගුවන් තොටුපොළ හා වරාය සේවා පවත්වාගෙන යායුතු බව ජනාධිපති කාර්යාලය නිකුත් කළේ නවතම ඇඳිරි නීති උපදෙස් මාලාවේ සඳහන්ය.

මේ අතර ඇඳිරි නීතිය පැනවූ පසුගිය 20 වන සිකුරාදා පස්වරු 06 සිට අද (27) පෙරවරු 06 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 4,018 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඒ සමග වාහන 1,033 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස් බලායාමට නොහැකිව කටුනායක වෙළෙඳ කලාපයේ රැඳී සිටි සේවක සේවිකාවන් 1500 කට පමණ ඔවුන්ගේ ගම්බිම් කරා යාමට ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළක් අද (27) ආරම්භ කෙරුණි.

මේ අතර රට තුල පවතින තත්ත්ව හමුවේ සියලුම පොලිස් නිලධාරීගේ නිවාඩු අප්‍රේල් මස 10 දක්වා අවලංගු කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

එමෙන්ම සියලුම පොලිස් නිලධාරින්ගේ දින විවේකයද අප්‍රේල් මස 10 වනදා තෙක් අවලංගු කර තිබේ.

මේ අතර රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත් වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව පැමිණිලි 011 435 4550 හෝ 011 435 4655 යන දුරකතන අංක ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මීට අමතරව කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත දැනුම්දීම් 011 286 0003, 011 286 0004 යන අංක ඔස්සේ ජනතාවට ඉදිරිපත් කළ හැකි වන අතර ඒවා අදාල අංශ වෙත කඩිනමින් යොමු කිරිමට නියමිතයි.

+++++++++++++++++++++++++++++++++++

හෝමාගම රෝහලේ පැන ගිය රෝගියෙක් පොලිස් සහයෙන් නැවත පානදුර රෝහලට

(27.03.2020 – 19:40 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස සංවර්ධනය කෙරුණු හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිදි පලා ගිය පුද්ගලයකු නැවත පොලීසිය සහ සෞඛ්‍ය අංශ එක්ව යළි රෝහළට ඇතුළත් කිරිමෙන් පසු පානදුර රෝහලට මරුකර යවා තිබේ.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන මත්තෙගොඩ 52 හැවිරිදි ජයන්ත රණසිංහ සමග දඹුල්ල හොටලයක ලැගුම් ගත් කළුතර ප්‍රදේශයේ සංචාරක මාර්ගෝපදේශකයා දින 14 ක් ඔහුගේ නිවස තුළ ස්වයං නිරෝධයට ලක්විමෙන් අනතුරුව අද (27) සාර්ථකව නිරෝධායනය වු බවට වන සහතිකය ලබා ගත්තේය.

කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස සංවර්ධනය කෙරුණු වැලිකන්ද මූලික රෝහලට ආහාරපාන සැපයීම ඇතුළු සියලු කටයුතු අරලිය සහල් ව්‍යාපාරය විසින් භාරගෙන තිබේ.

හලාවත සංචාරක හොටලයක සේවය කළ පිරිසක් අම්බන්ගොඩ ප්‍රදේශයේ හිතවතකුගේ නිවසට ගොස් සිටියදි එම පිරිස මහජන සෞඛ්‍ය නිලධාරින් විසින් හඳුනා ගැනිමෙන් පසු එම නිවස තුළම දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් කළේය.

ඊට ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වුණද සෞඛ්‍ය නිලධාරින් කරුණු පැහැදිලි කිරිමෙන් අනතුරුව එම නිරෝධායන කටයුත්තට ඔවුන්ගේ සහාය පළ විය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය නොතැකු හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ දේව මෙහෙය

(27.03.2020 – 19:36 +0530 – sinhala.adaderana.lk)

මේ වන විට පනවා ඇති ඇඳිරි නීතිය සහ පවතින අවදානම් තත්ත්වය නොසලකමින් අද (27) හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ දේව මෙහෙයක් පවත්වන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසීය, ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණියේය.

ඔවුන් පැමිණෙන බව සැලවීමත් සමග අදාළ පල්ලියේ දේවමෙහෙයට එක්වූ 50 කට ආසන්න පිරිසක් පලා ගොස් තිබුණි.

කෙසේ වෙතත් අදාළ දේව මෙහෙයට හැත්තෑවකට ආසන්න පිරිසක් එක්වී ඇති බවට පොලිසීයට තොරතුරු වාර්තා වී තිබුණි.

ඒ වන විටත් එම ස්ථානයේ රැදී සිටි හොරොව්පතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ඇතුළු 17 දෙනෙකුට නීතිමය පියවර ගැනීමට හොරොව්පොතාන පොලිසිය පියවර ගෙන තිබේ.

පලා ගිය අනෙක් පිරිස සොයා පොලිසීය විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ආසාදිතයකු නිසා බණ්ඩාරගම අටලුගම දැඩි අධීක්ෂණය යටතට

(27.03.2020 – 19:34 +0530 – sinhala.adaderana.lk)

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම අටළුගම ප්‍රදේශය විශේෂ අවධානයක් යටතට ගැනිමට පියවර ගෙන ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු එම ගම්මානයේ බොහෝ නිවාසවල සංචාරය කිරිම හේතුවෙන් ඇති වී තිබෙන අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

බණ්ඩාරගම අටළුගම ගම්මානය අද (27) සම්පුර්ණයෙන්ම භාහිර සබඳතාවලින් හුදකලා තර තිබීමට රජය පියවර ගනු ලැබීය.

ඒ එම ප්‍රදේශයෙන් කොරෝනා වෛරසයට ගොඳුරු වූ පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුවයි.

ඒ අනුව එම ගම්මානය සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ පවතියි.

+++++++++++++++++++++++++++++++++++

පරිප්පු හංගලා තිබිලා අහුවුණොත් මාස 6 ක් හිරේ

(27.03.2020 – 17:39 +0530 – sinhala.adaderana.lk)

මෙම කාලසීමාවේදී පරිප්පු තොග සඟවා තබාගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.

අද (27) පෙරවරුවේ ‘අද දෙරණ බිග් ෆෝකස්’ සංවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

2020 වර්ෂයට සරසවි සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව දිර්ඝ කරයි

(27.03.2020 – 17:30 +0530 – sinhala.adaderana.lk)

2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව අද (27) සිට තවත් සති දෙකකින් කල් දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

පවතින තත්ත්වය සලකා බලා ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන දරුවන් අපහසුතාවට පත් නොවන පරිදි තවත් කල් දැමීමට වුව තමන් ඇතුලු විශ්ව විද්‍යාල ප්‍රතිලාදන කොමිෂන් සභාව තීරණය කර ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

එමෙන්ම ඒ මහතා සඳහන් කළේ විශ්ව විදයාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ සහ ජනමාධ්‍ය ඔස්සේ ඉදිරි සැලසුම් පිලිබඳව මහජනතාවට දැනුම්දීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය අතරේ මත්පැන් විකිණූ සුපිරි වෙළඳසැලක් මුද්‍රා තැබේ

(27.03.2020 – 19:32 +0530 – hirunews.lk/sinhala)

ඇදිරි නිතිය පවතින මොහොතේ එය උල්ලංඝණය කරමින් මත්පැන් අලෙවි කළ කොහුවල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලකට මුද්‍රා තැබිමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිළධාරින් අද (27) කටයුතු කළා.

කොළඹ නගරයේ සුරාබදු ඒකකයේ ස්ථානාධිපති චානක නානායක්කාර ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදුකර ඇති අතර, එහි කළමනාකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

(27.03.2020 – 17:22 +0530 – hirunews.lk/sinhala)

මාර්තු 25 සිට අප්‍රේල් 7 දක්වා කාලය තීරණාත්මක කාලයක් බවත්, එම කාලය තුළ සියයට 75 කට වැඩි සමාජ දුරස්ථකරණයක වැදගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ අද වනවිට ඇමරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා රෝගීන් 85,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි.

මෙරට ජනතාව ද සමාජ දුරස්ථකරණය සම්බන්ධයෙන් අඩු සැලකිල්ලක් දැක්වුවහොත් රෝග ව්‍යාප්තිය යළිත් ඉහළ යා හැකි බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.

+++++++++++++++++++++++++++++++++++

අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවර රෝහල් තුළ පහසුකම් අවම වීම හේතුවෙන් මියයන රෝගීන් ගැන ‍අමෙරිකාවේ වෛද්‍යවරියකගෙන් හෙළිදරව්වක්

(27.03.2020 – 22:12 +0530 – sinhala.adaderana.lk)

රෝහල තුළ මියයන ජීවිත ගැන ‍අමෙරිකාවේ වෛද්‍යවරියකගෙන් හෙළිදරව්වක්

මේ වන විට කොරෝනා වෛරසය ශීඝ්‍රම ව්‍යාප්තිය බවට පත් වෙමින් තිබෙන අමෙරිකා එක්සත් ජනපදයෙන් පැය 5 කට අඩු කාලයක් තුළ අලුතින් තහවුරු ‍වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10,000 ඉක්මවා තිබේ.

සතියකට පෙර අමෙරිකාවෙන් ආසාදිතයින් 18,200 ක් සහ මරණ 241 ක් වාර්තා වී තිබූ අතර අද වන විට එරටින් ආසාදිතයින් 85,996 ක් සහ මරණ 1,196 ක් වාර්තාවී තිබීම අමෙරිකාව මුහුණ පා ඇති භයානක තත්ත්වය පෙන්නුම් කරයි.

අමෙරිකාවේ නිව්යෝර්ක් ජනපදය කොරොනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට මේ වන විට පත්ව තිබේ.

මේ අතර අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවර අයත් ක්වින්ස් නගරයේ පිහිටි එල්ම්හර්ස්ට් රෝහල අද වන විට කොරෝනා ආසාදිතයින් රැසකගෙන් පිරී ගොස් තිබේ.

එම රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරියක් පැවසුවේ කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී පවතින රෝහල තුළ පහසුකම් අවම වීම හේතුවෙන් ආසාදිතයින් රැසක් මියයන බවයි.

රෝහල තුළ සිය අත්දැකීම් ඇය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට යොමුකර තිබේ.

නිව්යෝර්ක් නුවර එල්ම්හර්ස්ට් රෝහලේ වෛද්‍ය කොලින් ස්මිත් වැඩිදුරටත් මෙසේ පැවසීය.

“මේ කාමරය තුළ සිටින සියලුදෙනාම කොරෝනා වෛරස ආසාදිතයින්. අද වන විට තත්ත්වය ඉතා භයානකයි. අපි විශාල අධීශීතකරණ ට්‍රක් රථයක් ගෙන්වා ගත්තා මෘතදේහ ගබඩා කරන්න.

ජනාධිපතිවරයාගේ සිට සියලුම නායකයින්, නිලධාරීන්, සෞඛ්‍ය හා රෝහල් ප්‍රධානීන් කියන්නේ හැමදේම හොඳින් සිදුවෙනවා කියලා.

නමුත් අපේ පැත්තෙන් හොඳ නැහැ. මගේ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය පහසුකම් කිසිවක් නැහැ. මේ අමෙරිකාව අපි පළමු ලෝකයේ රටක්. සාමාන්‍ය දිනයකදී හදිසි අංශයට පැමිණෙන පිරිස ඉතා ඉහළයි.

දිනකට පුද්ගලයින් 200 ක්. නමුත් අද 400 හෝ ඊට වැඩි පිරිසක් දැකගන්න පුළුවන්. අපිට අවශ්‍ය ආරක්ෂිත උපකරණ පවා දැන් නැහැ.

මම අද උදෑසන N95 වර්ගයේ මුඛ ආවරණයක් පැලඳුවා. අද පැලඳූ ඒ මුඛ ආවරණය තමයි පසුගිය සිකුරාදා දිනයේදීත් මම පැලඳුවේ.

හැමදෙනාම කියන්නේ හැමදෙයක්ම හරි යයි කියලා නමුත් මෙය මාසයක්, දෙකක්, තුනක් හෝ පහක් පැවැතුණොත් හරියට චීනයේ වගේ අපිට අවශ්‍ය කිසිම දෙයක් අපිට නැහැ.

මට මේ ගැන මාධ්‍යයට කතා කරලා ප්‍රශ්නයක් වුණත් ඒ ගැන අවුලක් නැහැ. මට ජනතාවට කියන්න ඕන මෙය ඉතා නරක තත්ත්වයක්, මිනිස්සු මැරෙනවා.”

මේ අතර, අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලය සිදුකරනු ලැබු දත්ත විශ්ලේෂණයක් මඟින්, වෛරසය වසංගතයෙන් එක්සත් ජනපදයේ පුද්ගලයන් 81,000 කට වැඩි පිරිසක් ඉදිරි මාස හතර තුළ මිය යා හැකි බවට ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර ති‍බේ.

එමඟින් පෙන්වා දෙන්නේ ජුනි මාසය දක්වා තත්ත්වය පහව නොයනු ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 6 ට ආසන්න වෙයි

(28.03.2020 – 06:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හෙවත් (COVID-19) හේතුවෙන් ඉතාලියේ ඊයේ (27) දිනය තුල පුද්ගලයින් 919 ක් මියගොස් තිබෙනවා.

ඒ අනුව ඉතාලියෙන් මේ වනවිට වාර්තාවන මුළු කොරෝනා මරණ ගණන 9134 ක්.

මේ අතර, ඇමරිකාවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන102,464 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් ගණන මරණ 27,341 යි ෴

+++++++++++++++++++++++++++++++++++

ඉන්දියානුවෝ කුපිත වෙති ! ඉන්දියාවේ COVID-19 මර්ධනය කළ නොහැකි ලකුණු !

(28.03.2020 – 07:25 +0530 – lankaleadnews.com)

ඉන්දීය රජය දින 21 ක කාලයකට ඇඳිරිනීතිය පනවා COVID-19 වසංගතය පාලනය කිරීමට ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඉන්දියාවේ දෛනික වැටුපට සේවය කරන විශාල පිරිසක් අපහසුතාවයට පත්විය.

දින 21ක කාලයකට ආහාර ඖෂධ ආදිය රැස කර ගැනීමට අපහසු විශාල ජනතාවක් ඉන්දීය පොලිසියේ පහර දීමේ ක්‍රියාවට එරෙහිව පෙරලා පහර දීමට පටන් ගැනීම හේතුවෙන් ඉන්දියාව බරපතළ අනතුරකට ලක්ව ඇතැයි විද්වත්හු පෙන්වා දෙති.

මේ තත්වය COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීම ඉන්දියාවට ලේසි පහසු නොවන බව ඔව්හු පෙන්වා දෙති.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *