ඇඳිරිනීතිය පවතින කාලය තුළ ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනය ඉහලට

(25.03.2020 – colombotoday.com)

ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33% කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා පැවසීය.

මෙවැනි සිදුවීම් පිළිබඳ වාර්තා වූ සැනින් අදාළ පොලිස් ස්ථානවලට හා ළමා ආරක්ෂක නිලධාරින්ට දැනුම් දෙන බවත්, ඔබ ප්‍රදේශයේ එවැනි සිදුවීමක් පිළිබඳ තොරතුරු දන්නේ නම් 1923 හා 1929 යන දුරකථන අංක අමතා එම තොරතුරු ලබා දෙන ලෙසද සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“ළමා හිංසනය කරන්නේ බොහෝ වෙලාවට අපි දන්න හඳුනන අය. භාරකරුවන්, නෑදෑයින් වැනි අය. ඇඳිරිනීතිය දාපු නිසා අපයෝජකයන් හා වින්දිතයන් ඉන්නේ එකම ගෘහයක් තුළ. 33% කින් ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වැඩිවෙලා තියෙනවා. ඇඳිරිනීතිය දාන්න පෙර තිබුණේ 10% ක් විතර. මහජනතාව සහා දෙමව්පියන් දැනුවත් කළ යුතුයි මේ ගැන. දෙමව්පියන් කියන්නේ මේ සමාජයේ විශේෂිත අය. ඒ වගේම දරුවෝ කියන්නේ අපි රැක බලා ගත යුතු පිරිසක්. තමන්ගේ දරුවෝ ගැන වගේම අවට දරුවෝ ගැනත් අපි මේ වෙලාවේ අවධානයෙන් ඉන්න ඕන. ළමයා යනු ළමයෙක් මිස කුඩා වැඩිහිටියෙක් නෙමෙයි . ඒ බව අපි මතක තබා ගත යුතුයි. ඔබ දන්න එවැනි සිදුවීම් අපිට කතා කරලා කියන්න. 1923 හා 1929 කියන අංකවලට. අපි අදාළ පොලිසියට හා ළමා ආරක්ෂක නිළධාරීන්ට දන්වලා ඒ අයව අත්තඩංගුවට ගන්න කටයුතු කරනවා. ළමයා කවරාකාර හෝ කායික, මානසික අපයෝජනට, හිංසනයට ලක්කිරීම වරදක්.” යැයි ද කියා සිටියේය ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වයිරසයෙන් 10 දෙනෙකු මියගොස් ඇතැයි ෆේස්බුක් දැමු පුද්ගලයෙකු රිමාන්ඩ්

(25.03.2020 – colombotoday.com)

‘කොරෝනා වයිරසයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇතැයි’ සදහන් කරමින් මුහුණු පොතේ අසත්‍ය සටහන් තබා සාවද්‍ය තොරතුරු ප‍්‍රචාරය කළැයි මාලඹේ මැරයින් යුනිවර්සිටි ආයතනයේ පරිපාලන නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම තැනැත්තා ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (25) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජේ. ඒ. ඉෂාන් මනුජප්‍රිය නැමැත්තාය.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු ඇතුළත් පුවරු නිර්මාණය කොට ප‍්‍රචාරය කිරීම පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව මෙම තැනැත්තා වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී ෴

+++++++++++++++++++++++++++++++++++

වැඩිමිලට අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ ආයතනයකට නඩු

(25.03.2020 – colombotoday.com)

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනක් පාලන මිලට වඩා වැඩි මිලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභෝගිකඅධිකාරිය විසින් අද (25) දහවල් වටලනු ලැබීය.

එම ආයනය මගින් රුපියල් 100 කට මිල නියම කර තිබු සැමන් ටින් රුපියල් 550 කටත්, රුපියල් 150 වන බී ලූනූ කිලෝවක් රුපියල් 500 කට, රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත්, රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටද අලෙවි අකර ඇති බවද අධිකාරිය පවසයි.

මෙම අධික මිලයටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමටත් එම වෙළද සමාගම විසින් පාරිභෝගික අධිකාරියට පොරොන්දු වී තිබේ.

ඇදිරිනීතිය පවතින අවස්ථාවේ පාරිභොගිකයින් ගසාකෑම සම්බන්ධයෙන් ආයතනයට එරෙහිව නඩු දැමීමටද පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

වාතය මගින් කොවිඩ් ව්‍යාප්ත නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානය

(25.03.2020 – colombotoday.com)

කොවිඩ් – 19 වෛරසය වාතය හරහා ව්‍යාප්ත වන බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

එම සංවිධානයේ ගිනිකොන දිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂ පූනම් සිං ප්‍රකාශ කරන්නේ මේ වන විට කර ඇති කිසිදු පර්යේෂණයකින් වාතය හරහා වෛරසය සම්ප්‍රේෂණය වන බවට තොරතුරු වාර්තා වී නොමැති බවයි.

කොවිඩ් – 19 වෛරසය ආසාදනය විය හැක්කේ කැස්ස සහ කිවිසුම් නිසා පිටවන බිඳිති තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීම සහ සමීප ඇසුරකින් පමණි.

නිසි ලෙස දෑත් සෝදා ගැනීම, සනීපාරක්ෂාව පිළිබඳ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මගින් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් නිර්දේශ කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

කළුතර කොරෝනා ආසාදිතයින් 13 න් 7 ක්ම බේරුවලින්

(25.03.2020 – colombotoday.com)

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පුද්ගලයන් 135 දෙනෙකු නිරෝධායන කටයුතු සම්පූර්ණ කර ඇති අතර ස්වයං නිරෝධායන කටයුතුවල පුද්ගලයන් 206 දෙනෙකු යොමුකර ඇති බවත් කොරෝනා ආසාදිත තත්ත්වයෙන් හඳුනාගත් රෝගීන් 7 දෙනෙකු රෝහල් ගත කර ඇතැයිද අද (25) බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි .

කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 13 ක් හඳුනා ගෙන රෝහල් ගත කර ඇති අතර ඉන් 7 දෙනෙකු ම බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ බව කියයි.

ඒ හේතුවෙන් බේරුවල අවදානම් රතු කලාපයක් ලෙස නම්කර ඇතැයි ද හෙතෙම පැවසීය.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය යන රටවල විදෙස් සංචාරකයන් මෙන්ම සිංගප්පූරුව, කොරියාව, ඉන්දියාව, ඩුබායි සහ මැඩගස්කර වැනි රටවල් වලින් පැමිණි දේශීය පුද්ගලයන්ද කොට්ඨාසය ජීවත්වන බව ඒ මහතා අවධාරණය කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

(25.03.2020 – colombotoday.com)

යාපනය, උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තාවඩි ගම්මානයේ ජනතාවට නැවත දැනුම් දෙනතුරු එම ගම්මානයෙන් පිටතටයාම හෝ නිවාසවලින් පිටතටයාම තහනම් කර ඇතැයි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

යාපනයෙන් හමුවූ ප්‍රථම කොරෝනා වයිරසය ආසාදිත රෝගියා හමුවීමත්, පසුගියදා ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයා විසින් පැවැත්වූ දේවමෙහෙයට විශාල ප්‍රමාණයක් මෙම ගම්මානයෙන් සහභාගීවී සිටිම හේතුවෙන් මෙලෙස තාවඩි ගම්මානයේ ජනතාවට පිටවීම තහනම්කළ බවද සඳහන් කළේය.

නාවඩි ගම්මානය වෙත කිසිවෙකුට ඇතුළුවීම හෝ පිටවීම තහනම්කර ඇති අතර ඒ සඳහා යුද හමුදාව යොදවා ඇති අතර ගම්මානයේ මාර්ග සියල්ල වසා දමා යුද හමුදාව විසින් තාවකාලික ආරක්ෂක මුරකපොලු ඉදිකර ඇති බවද පැවසීය.

උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල්ස් මහත්මිය හා යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා ඇතුළු ආරක්ෂක අංශ විසින් ජනතාවගේ ආරක්ෂාව හා රෝගය ව්‍යාප්තවීම අවමකිරීම සඳහා මෙම තීරණය ගෙන ඇතැයිද කීය.

කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට අනාවරණය වි එක් පුද්ගලයකු පමණක් යාපනය ශික්ෂණ රෝහලේ විශේෂ ප්‍රතිකර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෙනත් කිසිවෙකුට මෙම කාලසීමාව තුළ වයිරසය ආසාදනය ඇති බවට අනාවරණය නොවූ බව යාපනය රෝහල් අධ්‍යක්ෂක ටි.සත්‍යමූර්ති මහතා පැවසීය.

ස්විස්ටර්ලන්ත දේව ගැතිවරයා සමඟ සාකච්ජා කළ කොන්ත්‍රාත්කරුවෙකු වෙත පමණක් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති පුද්ගලයකු පමණක් සිටින බවත් පෙබරවාරි 02 වැනිදා සිට මාර්තු 23 වැනිදා අතර කාලසීමාව තුළ පුද්ගලයින් 21 දෙනෙකු කොරෝනා වැළදි ඇති බවට සැක සහිතව රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

අදාළ පිරිස තුළින් පස් දෙනෙකු (05) හැර අනෙකුත් පිරිස වෛද්‍ය පරීක්ෂණයන්ගෙන් අනතුරුව රෝහලෙන් පිටවගොස් ඇති අතර, පුද්ගලයින් පස් දෙනෙකු වැඩිදුර පරීක්ෂණ හා වෛද්‍ය ප්‍රතිකාර මත රෝහල තුළ සිටින බවත් ඔවුන්ට වෛරසය ආසාදනය නොවී ඇති බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++

කොරෝනා යාපනයට ගෙනා ලෙඩ සුවකරන බව කියන දේවගැතිවරයාගේ පැටිකිරිය මෙන්න

(25.03.2020 – 11:38 +0530 – lankaleadnews.com)

කොවිඩ් 19 වෛරසය යාපනයට රැගෙන පැමිණි ස්විස් දේවගැතිවරයා ‘අන්තවාදී ආගම්’ පතුරුවන්නෙක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඇදහිලි මගින් රෝග සුව කිරීමට හැකි බව එම අන්තවාදී ආගමික නිකායේ ඉගැන්වීම බව ද අනාවරණය වී ඇත. ‍මේ පුද්ගලයා යාපනයේ මුල් පදිංචිකරුවෙකු වන ද්විත්ව පුරවැසියෙක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ. ඔහු මෙරටට පැමිණ ඇත්තේ ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කරමින් වුවත් පිටත් වී ඇත්තේ සිවිස් ගුවන් ගමන් බලපත්‍රෙයනි.

ඔහුට අයත් නිවස ඇතුළු දේපළ රැසක්ම යාපනයේ ඇති බවද ආනාවරණය වී ඇත. ඔහුගේ බිරිද ද යාපනයේ පදිංචිව සිටි තැනැත්තෙකි. ‍මෙම දේවගැතිවරයා මෙරටට පැමිණෙන විටත් උණ රෝගයෙන් පෙලී ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

එසේම ඔහු මෙරටින් පිටත්ව යන විටත් සිට ඇත්තේ අසාධ්‍ය තත්වයකිනි.

උණ රෝගීන් නිරීක්ෂණය කිරීම සදහා ගුවන් තොටුපලේ සවිකර ඇති යන්ත්‍රවලට හසු නොවී මෙම පුද්ගලයා මෙරටට පැමිණිමත් පිටවීමත් ගැන මේ වන විටත් යාපනයේ සෞඛ්‍ය අංශ වෙත ගැටළුවක් ව පවතී.‍ මෙම දේවගැතිවරයා මෙරටට පැමිණීම ගැන මේ වන විට පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එච්. චාල්ස් මහත්මිය සදහන් කරයි.

නිසි ප්‍රතිකාර නොමැතිව ඇදහිලි මිගින් රෝග සුව කිරීමක් කළ නොහැකි බවද ඒ මහත්මිය වැඩිදුරටත් සදහන් කරයි ෴

+++++++++++++++++++++

ස්විට්සර්ලන්තයේ සිට පැමිණි ෆාස්ටර් වරයෙකු වන ආචාර්යවරයා ‌පෝල් සද්ගුණරාජා යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ ආගමික දේව මෙහෙයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් :

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වැළදුණු පානදුරේ ගැබිණි මවක් ගම වටේම ඇවිදලා – ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහායෙන් IDH රෝහලට

(25.03.2020 – 12:00 +0530 – lankaleadnews.com)

පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ. ඒ එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි ගර්භණි කාන්තාවකට කොවිඩ්–19 හෙවත් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ නිවසට විදේශ රටක සිට මෙරටට පැමිණි ඥාතීන් පිරිසක් නතරව සිට පිටව ගොස් ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාවගේ නිවසට ගොස් ඇයට දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් ද නොතකා මෙම කාන්තාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර මිට දින කිහිපයකට ඉහතදී පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක මාතෘ සායනයකට ද එක්ව ඇත. එම අවස්ථාවේදී ද එම ගර්භණි කාන්තාව සිය සත්‍ය තත්ත්වය සඟවා සායනයට සහභාගිවී ඇති බව සඳහන්.

මෙම ගර්භණි කාන්තාවට ඉන් පසුව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඇයව IDH රෝහලට ඇතුලත් කොට ඇත. එහිදී සිදුකළ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇත.

ඒ අනුව එම කාන්තාව මාතෘ සායනය සඳහා ගිය පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහල මුද්‍රා තැබීමට පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති අතර එහි කාර්ය මණ්ඩලයටද ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදි ඇති බව සඳහන් ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසය හේතුවෙන් පිඩා විදින විහාරස්ථාන, පිරිවෙන් හෝ සේනාසන වෙත් නම් අත දෙන්න සුදානම් – ජාතික විද්වද් භික්ෂු සංසදය

(25.03.2020 – 09:59 +0530 – lankaleadnews.com)

ජාතික විද්වද් භික්ෂු සංසදය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව කොරෝනා වෛරසය හේතුවෙන් පිඩා විදින විහාරස්ථාන, පිරිවෙන් හෝ සේනාසන වෙත් නම් එවැනි ස්ථාන වෙනුවෙන් සහයෝගය ලබා දීමට සුදානම් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

එවැනි විහාරස්ථාන, පිරිවෙන් හෝ සේනාසන වෙත් නම් 071 217 8873 දූරකථන අංකයට කථා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් මගින් පහත සඳහන් තොරතුරු ලබාදීමට කාරුණික වන ලෙස ජාතික විද්වත් භික්ෂු සංසදය මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.

ප්‍රවෘත්ති නිවේදනය යි

01 මුලු මහත් ලෝකයට ම අභියෝගයක් වූ නව කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම හා වැලැක්වීම සඳහාත් සාමාන්‍ය ජනජීවිතය හා රටේ ආර්ථිකය යථා පරිදි පවත්වාගෙන යාම සඳහාත් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය දිවාරාත්‍රී නොබලා ගන්නා වූ ප්‍රයත්නය අතිශයින් ම ප්‍රශංසනීය ය.

02 මෙම ආපදාපන්න අවස්ථාවේ දී වෛද්‍යවරුන් ඇතුළු රෝහල් හා සෞඛ්‍ය කාර්යාංශ, ත්‍රිවිධ හමුදාව හා පොලීසියත් අත්‍යවශ්‍ය සේවා සහ සැපයුම් සේවාවන්හිත් කැපවීම බෙහෙවින් ම අගය කළ යුතු ය.

03 අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ මහාසංඝ රත්නය රජය විසින් ගනු ලබන තීන්දු-තීරණවලට අනුගත වෙමින් පරිත්‍රාණ ධර්මදේශනාවන් පවත්වමින් කරනු ලබන ආශීර්වාද අවශ්‍ය ම වූවක් බව ද සිහිපත් කරමු.

04 සුපුරුදු දෛනික ජීවිතය හා පහසුකම් පසෙක ලා රජයේ නියමයන්ට අනුගත ව ව්‍යසනය දුරු කරගැනීම සඳහා සහයෝගය දක්වන පොදු මහජනතාව ද සිය ජාතික වගකීම ඉටු කරති. මෙබඳු අවස්ථාවක දී අපගේ සංස්කෘතිය විසින් උගන්වා ඇති “පිලිහුඩුවලින් වැලකීම” “පේවීම” වැනි තහංචි, ආකල්ප හා ප්‍රතිපත්ති වෙත අවධානය යොමු කරවන අතර තරගකාරී අධිපරිභෝජනවාදී ආකල්පයෙන් තොර ව සිව්පසය පිළිබඳ බෞද්ධ ආකල්ප තුළ රැඳෙමින් කටයුතු කරන ලෙස අනවශ්‍ය තරගයක යෙදෙන සුලු පිරිසගෙන් ඉල්ලා සිටිමු. “රක්තාක්ෂි ව්‍යසනය” “බැමිණිටියාසාය” ආදි වසංගත හා ව්‍යසනයන්ට මුහුණ දී රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් සුරක්ෂිත කරගත් අපි තවදුරටත් දූරදර්ශී ව හා වගකීමෙන් කටයුතු කළ යුතු ව ඇත.

05 මෙම ආපදාපන්න අවස්ථාවේ දී සිව්පසය ඇතුළු යැපීම් පිළිබඳ යම් දුෂ්කරතාවකට පත් විහාරස්ථාන, පිරිවෙන්, සේනාසන පිළිබඳ ව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ද විමසන ලදි.
එබැවින් එබඳු විහාරස්ථාන, පිරිවෙන් හෝ සේනාසන වෙත් නම් 071 217 8873 දූරකථන අංකයට කථා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් මගින් පහත සඳහන් තොරතුරු ලබාදීමට කාරුණික වන්න.

  • විහාරස්ථානයේ / පිරිවෙනේ / සේනාසනයේ නම සහ ලිපිනය:-
  • ප්‍රධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නම සහ දූරකථන අංකය:-
  • ග්‍රාම නිලධාරී කොට්ටාසය සහ ග්‍රාම නිලධාරීගේ නම සහ දූරකථන අංකය:-
  • ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය:-

අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සපයාදීම / සපයා දීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කිරීම ජාතික විද්වද් භික්ෂු සංසදය විසින් කරනු ලැබේ. ඉහත සඳහන් තොරතුරු නිවැරැදි ව ලබාදීමෙන් සහයෝගය ලබාදීමට ගතවන කාලය අවම කරගත හැකි බව කරුණාවෙන් සලකනු මැනවි.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජය විසින් ගනු ලබන තීන්දු-තීරණ ජනතාවගේ ආරක්ෂාව උදෙසා ඉතා වගකීමෙන් හා දුරදක්නා නුවණින් යුක්ත ව ගෙන ඇති බැවින් ඊට උපරි ම සහාය ලබාදෙන මෙන් ගරුතර මහාසංඝ රත්නයෙන් හා පොදු මහ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්ථවිර

ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්ථවිර

(සංවිධායක මණ්ඩලය වෙනුවෙන්)

***************************************

තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වෙයි

(25.03.2020 – 16:04 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අද (25) සවස අභාප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස ද සිනමා කේෂ්ත්‍රයේ කටයුතු කර තිබේ.

මිය යන විට තිස්ස නාගොඩවිතාන මහතා 78 වන වියේ පසුවිය.

අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යෑමෙන් අනතුව ඒ මහතා අභාවප්‍රාප්ත වී ති‍බේ.

***************************************

ලංකාවේ වෛද්‍ය සිසුන් සියයකට ආසන්න ගණනක් නේපාලයේ සිරවේ

(25.03.2020 – 09:03 +0530 – truenews.lk)

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ පොක්කාරා හි පිහිටි මනිපායි වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීම නිසා එම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් 88 දෙනෙකු සහ කත්මන්ඩු වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් ඇතුළු 100 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමීණීමට නොහැකිව සිටින බව වාර්තා වනවා.

වයිරස පැතිර යන අවස්ථාවක නේපාලය තුල සංවිධානාත්මක සෞඛ්‍ය සේවාවක් නොමැති වීමත් , නේපාලයේ සංචාරක ආකර්ෂණීය ස්ථානය වූත්, කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 200 ක් ඈතින් පිහිටි විදේශිකයින්ට බහුල ප්‍රදේශයක මනිපාල් වෛද්‍ය පීඨය පිහිටීමත් නිසා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන්ගේ තත්ත්වය අවදානම් බවද මානිපාල් වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවකගේ පියෙකු පුවත්පතක් වෙත සඳහන් කර තිබෙනවා.

කත්මන්ඩු වෛද්‍ය පිඨය වසා දැමීමෙන් එහි සිටින වෛද්‍ය සිසුන්ටද මෙම අවදානම් තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

එහෙයින් කෙසේ හෝ තම දරුවන් නැවත ලංකාවට ගෙන්වා දෙන්නැයි රජයෙන් හා අදාළ බලධාරීන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඔහු පවසනවා.

මේවන විට එහි පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට පැමිණීමට අපේක්ෂායෙන් සිටියද , මෙරට කටුනායක ගුවන්තොටුපොළ වසා දැමීමමෙන් දැනට ක්‍රියාත්මක ගුවන් සේවා වලින් හෝ තම දරුවන්ට පැමිනීමට නොහැකි වීමෙන් ඔවුන් තවත් අසරණ වී ඇති බවද එම පියා සඳහන් කර තිබුණා.

එම ශිෂ්‍යයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ගුවන් ටිකට් පත් වලට වැයවෙන මුදල දැරීමට දෙමව්පියන්ට හැකිවක් පවතින බැවින් කෙසේ හෝ රජයේ මැදිහත් වීමෙන් විශේශිත ගුවන් යානයක් හෝ නේපාලයට යවා තම දරුවන් ගෙන්වා දෙන ලෙස ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරින් ගෙන් ඉල්ලීමක් කරන බවද වෛද්‍ය කස්තුරි නම්වන එම පියා සඳහන් කරනවා.

එසේ රජය විසින් තමන් දරුවන් ගෙන්වුවද, කොරෝනා වයිරස පාලනය කිරීමට ගෙන ඇති රජයේ පියවර යටතේ නිරෝධනයට පවා යොමු වීමට එම දරුවන් කැමැත්තෙන් පසුවන බැවින් ඉතා හැකි ඉක්මනින් මෙම දරුවන් පිරිස මෙරටට ගෙන්වා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනපති නියෝග කරයි

(25.03.2020 – 18:23 +0530 – sinhala.adaderana.lk)

අවශ්‍ය පරිදි තම ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

මෙය වෙළඳාම සහ අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පහසුකම් සැලසීමේ පියවරක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • The bloke from marine uni may be one of araajitha’s collaborators. They should be given the maximum punishment that the law allows to deter such saboteurs in our society. It is time MPs that propagate misinformation without checking their veracity, or creating thei own false information to mislead the public and sabotage the government efforts to eradicate the corona-pestilence, are also arrested and taken before the courts for appropriate punishment regardless of their self assumed importance, wealth or the status.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *