චීනයෙන් ‘හැන්ටා’ නැමති තවත් වෛරසයක්. පළමු මරණය අද (24) වාර්තා විය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• චීනයෙන් ‘හැන්ටා’ නැමති තවත් වෛරසයක්. පළමු මරණය අද (24) වාර්තා විය

• කොළඹ-ගම්පහ-කළුතර අවදානම් (විඩියෝ)

• ඇදිරි නීතිය පවතින කාලය තුල ෆාමසි විවෘත කර තැබීමට පියවර

• කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 101 ක් (විඩියෝ)

• ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 102 දක්වා ඉහළට (විඩියෝ)

• හෙට (26) මැනිං වෙළෙඳපොළේ කටයුතු සාමාන්‍ය පරිදි (විඩියෝ)

• රෝග විනිශ්චය පත්‍රය හා ඖෂධ වට්ටෝරුව ඇඳිරිනීති අවසරපතක් ලෙස සලකන්න

• කොරෝනා නිසා දුක් විදින මහනුවර ජාතික රෝහලේ උපස්ථාන සේවකයින් (විඩියෝ)

• කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව – WHO

• ඉතාලියේ තත්ත්වය ඛේදාන්තයක්

• ඉතාලියේ සිටින ශ්‍රි ලාංකිකයින් පිරිසක් ස්වයං නිරෝධායනයට

• කොරෝනා වැළඳී ඉතාලියේදී ශ්‍රී ලාංකිකයෙකු මියගොස් නැහැ – වැඩබලන තානාපති කියයි

• නිරෝධායනය අවසන් කළ පිරිසක් රැගෙන ගිය බස් රථයක් අනතුරට (විඩියෝ)

• කොරෝනා ආසාදිත බවට සැක රෝගීන් 252 ක් (විඩියෝ)

• නිරෝධායනය වෙනුවෙන් කළ පරිත්‍යාග (විඩියෝ)

• කොරෝනාට එරෙහිව සටන් වදින ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ

+++++++++++++++++++++++++++++++++++

චීනයෙන් ‘හැන්ටා’ නැමති තවත් වෛරසයක්. පළමු මරණය අද (24) වාර්තා විය

(24.03.2020 – colombotoday.com)

ලොව පුරා ජීවිත 17,000 කට වැඩි ප්‍රමාණයක් දැනට බිලිගෙන ඇති මාරාන්තික COVID-19 වසංගතයට එරෙහිව ලෝකයම දරුණු සටනක නිරතවෙන මොහොතක අද (24) චීනයේ ‘හැන්ටා’ නැමති වෛරසයක් හේතුවෙන් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.

බස් රථයක ගමන් කරමින් සිටියදී ඔහුගේ මෙම මරණ සිදුවී ඇති අතර මේ හේතුවෙන් බස් රථයේ සිටි අනෙකුත් පුද්ගලයින් තිස්දෙදෙනා ද පරීක්ෂා කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වයිරසය සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වේ.

ඒ අනුව මීයන්ගෙන් මෙම වයිරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර මිනිසුන්ගෙන් මිනිසුන්ට මෙහි පැතිරයාමක් සිදු නොවේ.

හිසේ කැක්කුම, මස්පිඬු වේදනාව, උදරය ආශ්‍රිත ආබාධ, කැරකැවිල්ල, වමනය යාම සහ උණ මෙහි රෝග ලක්ෂණ වෙයි.

හන්ටා වයිරසය ආසාදනය වීම සාමාන්‍යයෙන් සිදුවන්නේ වනාන්තර, කුඹුරු සහ ගොවිපළ වැනි ගම්බද ප්‍රදේශ ආශ්‍රිතවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මෙම වෛරසය ආසාදනය වීමෙන් 2013 සහ 2018 වසර අතර කාලයේ ආජන්ටිනාවේ පුද්ගලයින් 114 දෙනෙකු මරණයට පත්වී ඇත.

2016 වසරේදී ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයේ 12 හැවිරිදි දරුවෙකු ද මෙම වෛරසය ආසාදනයෙන් මරණයට පත් වී තිබේ.

වයිසරය ආසාදනයෙන් සිදුවන මරණ අනුපාතය 18.6% ක් වන අතර එය ඇතැම් ප්‍රදේශවලදී 40 %ට ආසන්න වන තත්ත්වයක් ද දක්නට ලැබේ.

***************************************

කොළඹ-ගම්පහ-කළුතර අවදානම්

(24.03.2020 – 14:04 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත.

සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මේ කාර්යයට හවුල් කර ගැනේ.

අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත.

අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිලධාරීහූ බලකායේ සෙසු සාමාජිකයෝ වෙති.

මින් ඉදිරියට අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම හෙට (25) සිට ක්‍රියාත්මක වෙයි.

ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ඇත.

+++++++++++++++++++++++++++++++++++

ඇදිරි නීතිය පවතින කාලය තුල ෆාමසි විවෘත කර තැබීමට පියවර

(24.03.2020 – 16:40 +0530 – sinhala.adaderana.lk)

රට තුල කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇත.

මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇත.

ඒ අනුව සියළුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇදිරිනීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය හා ඖෂධ වට්ටොරුව ඇදිරිනීති අවසර පතක් ලෙස සළකන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දන්වා ඇත.

එමෙන්ම ඖෂධ සැල්වල සේවය කරන සේවකයින්ට සහ ඖෂධ ප්‍රවාහනය කරන වාහන සදහා අවසරය ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 101 ක්

(24.03.2020 – 15:37 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය මෙරටදී ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 101 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, සුවය ලබා පිටව ගිය චීන ජාතික කාන්තාවද ඇතුළුවයි.

අද දිනයේ (24) මේ දක්වා රෝගීන් 04 දෙනෙකු අලූතින් තහවුරු කරගෙන ඇති අතර, එම හතර දෙනා විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වීම විශේෂත්වයක්.

සෞඛ්‍ය අමාත්‍යාංශය අද (24) දහවල් නිකුත් කළ දත්ත වාර්තාවට අනුව දිනකදී හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ (23) සහ පෙරේදා (22) දිනවලදී යළි ඉහළ ගොස් තිබෙනවා.

මාර්තු 20 සහ 21 වන දිනවලදී රෝගීන් 12 දෙනෙකු වාර්තා වූ නමුත් ඊයේ (23) සහ පෙරේදා (22) දිනවලදී එම සංඛ්‍යාව 19 දෙනෙකු දක්වා වර්ධනය වී තිබීම විශේෂත්වයක්.

එසේම ඊයේ හඳුනාගත් රෝගීන් 10 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලට බාහිරින් හඳුනාගත් පුද්ගලයින් වන අතර, ඉන් පස්දෙනෙකුම (05) සොයාගැනුනේ කළුතර දිස්ත්‍රික්කයෙන්.

කොළඹින් සහ පුත්තලමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බැගින් සහ මාතරින් ද කොරෝනා ආසාදිතයෙකු ඊයේ (23) හමුවුණා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය හැරුණු කොට දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව වෛරසය ආසාදිත රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතය පිරිමි පුද්ගලයන් වන අතර, එය සියයට 69 ක ප්‍රතිශතයක්. වයස් මට්ටම් හා සැසඳීමේදී ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රමාණය වයස 41 ත් 50 ත් අතර පුද්ගලයන්.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ දැනට පවතින තත්ත්වය අනුව බස්නාහිර පළාතේ ජීවත්වන ජනතාව මෙම වෛසරය පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි.

මේ අතර කෙරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ගුවනේ සිට විෂබීජනාශක විසුරුවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති වාර්තාවල සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අද රාත්‍රී 11.30 ට එලෙස විෂබීජනාශක ඉසීමක් සිදුකරන බවට සාවද්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍යවල සංසරණය වන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව එවැනි කිසිදු මෙහෙයුමක් සිදුනොකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 102 දක්වා ඉහළට

(25.03.2020 – 07:15 +0530 – sinhala.adaderana.lk)

මෙරටින් වාර්තාවන කොවිඩි නයිටීන් රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඊයේ (24) දිනය තුළ පමණක් කොරෝනා වෛරස අසාධිතයින් 05 දෙනෙකු වාර්තා වන බවයි.

මේ වන විට කොරෝනා වෛරසය බවට සැකපිට පුද්ගලයින් 229 දෙනෙකු මෙරට රෝහල් 19 ක ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ අතර විදේශිකයින් 06 දෙනෙකුද වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

පුද්ගලයින් 97 දෙනෙකු අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුද්ගලයින් 27 දෙනෙකු වැලිකන්ද මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කළුතර නාගොඩ රෝහලේ පුද්ගලයින් 12 දෙනෙකු ද හම්බන්තොට මුලික රෝහලේ පුද්ගලයින් 11 දෙනෙකුද , කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුද්ගලයින් 10 දෙනෙකු ද ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

මෙරටින් කොරෝනා වෛරසය අසාදනය වු පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු (02) සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

+++++++++++++++++++++++++++++++++++

හෙට (26) මැනිං වෙළෙඳපොළේ කටයුතු සාමාන්‍ය පරිදි

(25.03.2020 – 14:23 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඇඳිරි නිතිය අවසන් වූ පසු ජනතාව නගර තුල එක්රැස්වීම නැවැත්වීමේ අරමුණින් සහ ජනතාවට සහන සැළසීමේ අරමුණින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නිවසට ලබාදීමේ ජංගම සේවාවක් ගාල්ල නගරයෙන් ආරම්භ කර තිබේ.

ඒ අනුව ගාලු කඩවත් සතර ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එම ජංගම සේවාව අද (25) ක්‍රියාත්මක විය.

ඇඳිරි නීතිය පනවා ඇති සමයේදී ගොවීන්ට අස්වනු නෙළීම සහ අලෙවි කිරීමට අවස්ථාව සළසාදීමත් සමඟ අද (25) උදෑසන ගොවීන් සිය අස්ව‍නු අලෙවි කිරීම සඳහා පෞද්ගලික වී මෝල් හිමියන් වෙත පැමිණියේය.

එහිදී කිසිඳු බාධාවකින් තොරව රජය ලබාදුන් සහතික මිලටම වී මිලදී ගැනීම සිදුකළේය.

එමෙන්ම අරලිය සහල් සමාගම විසින් සහල් කිලෝ ලක්ෂ 5 ක් රාජ්‍ය ආයතනවලට බෙදාදිම පොළොන්නරුවේදී සිදුකෙරුණි.

මේ අතර හෙට පෙරවරු 4 සිට පස්වරු 2 දක්වා කාලය මැනිං වෙළෙඳපොළ සාමාන්‍ය අකාරයෙන් තොග වෙළදාම් කටයුතු පමණක් සිදු කරන බව මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති දේශබන්දු රනිල් හෙට්ටිගේ මහතා ‘අද දෙරණ’ට සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

රෝග විනිශ්චය පත්‍රය හා ඖෂධ වට්ටෝරුව ඇඳිරිනීති අවසරපතක් ලෙස සලකන්න

(25.03.2020 – 14:20 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේ ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

එහිදී රෝගියාගේ රෝග විනිශ්චය පත්‍රය හා ඖෂධ වට්ටෝරුව ඇඳිරිනීති අවසරපතක් ලෙස සලකන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඔසුසල් අදත් (25) විවෘතව තැබුණි.

පෝලිම්වල රැදීසිටින සියලුම ජනතාවට භාණ්ඩ ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතා වෙළඳසැල් හිමියන්ට සිදුකළ ඉල්ලීමකට අනුව ඇඳිරි නීතිය ඊයේ (24) යළි පැනවීමෙන් පසුව ද පොලිම්වල රැදීසිටින සියලුම ජනතාවට භාණ්ඩ ලබා දීමට වෙළෙඳුන් කටයුතු කර තිබුණි.

ඒ අනුව මාළිගාවත්ත සතොස ආයතනය ඊයේ රාත්‍රි 11:30 වන තුරු සිය පෝලීම්වල රැඳී සිටි අවසන් පාරිභෝගිකයා දක්වා භාණ්ඩ ලබාදීමට කටයුතු කර තිබුණේය.

හොරණ ප්‍රදේශයේත් අත්‍යාවශ්‍ය සේවාවන් අදත් (25) ක්‍රියාත්මක වූ ආකාරය ‘අද දෙරණ’ කැමරාවේ සටහන් විය ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා දුක් විදින මහනුවර ජාතික රෝහලේ උපස්ථාන සේවකයින්

(25.03.2020 – 14:14 +0530 – sinhala.adaderana.lk)

මහනුවර ජාතික රෝහලේ උපස්ථාන කටයුතු කරන සේවකයින් බොහෝ පිරිසක් අනුරාධපුර, පොළොන්නරුව ඇතුලු පිට පළාත්වල පදිංචිකරුවන් වන අතර ඔවුන් රෝහල අවට නවාතැන්පොලවල සහ නිවෙස්වල නවාතැන් ගෙන සිට රාජකාරි සඳහා පැමිණෙයි.

මහනුවර ජාතික රෝහල කොරෝනා ආසාදිතයින් භාරගන්නා රෝහලක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නවාතැන්පල හිමිකරුවන් මෙම සේවකයින්ට නවාතැන් දීම ප්‍රතික්ෂේප කරන බව ඔවුන් පවසන්නේය.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව – WHO

(25.03.2020 – 14:09 +0530 – sinhala.adaderana.lk)

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, බිලියන 1.3 ක ජනගහණයකින් යුතු ඉන්දියාව මුළුමනින්ම වසාදැමීමට එරට රජය ඊයේ පියවර ගත්තේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ, කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට අමෙරිකාව පත්වීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි.

චීනයෙන් ආරම්භ වී යුරෝපයට ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් අදවනවිට ලෝකය පුරා සිදුව ඇති සමස්ත මරණ ගණන 18,907 ක්.

ඒ ලෝක ජනගහණයෙන් 422,829 දෙනෙකු ආසාදනය වී ඇති පසුබිමකයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඉතාලියේ තත්ත්වය ඛේදාන්තයක්

(25.03.2020 – 15:01 +0530 – sinhala.adaderana.lk)

වෛරස ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති රාජ්‍යය වන ඉතාලියෙන් ඊයේ (24) දිනයේදී පමණක් වාර්තාවී ඇති මරණ ගණන 743 ක් වන අතර ඒ අනුව එරටින් වාර්තාවූ සමස්ත මරණ ගණන 6,820 ක් දක්වා ඉහළ ගියේය.

එය වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් වාර්තාවු මරණ ගණනට සාපේක්ෂව දෙගුණයද ඉක්මවායාමක් ලෙසින් දැක්වේ.

විචාරකයන් පවසන්නේ, ලෝකයේ උසස්ම සෞඛ්‍ය පද්ධතියක් පැවැති ඉතාලිය තුළ, අදවනවිට පවතින තත්ත්වය ඛේදාන්තයක් ලෙස දැක්විය හැකි බවයි.

මේ අතර යුරෝපා කලාපයට අයත් තවත් රාජ්‍යයක් වන ස්පාඤ්ඤයද වෛරස ව්‍යාප්තියේ වැඩි බලපෑමට ලක්ව තිබේ.

ගතවූ දිනයේදී පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 680 ක් ලෙසින් දැක් විය.

ඒ අනුව එරටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 2991 ක් ලෙසින් දැක්වුණේ ආසාදිතයන් ගණනද 42,000 ඉක්මවා යාමේදීයි.

මෙම තත්ත්වයත් සමගින් සමස්ත යුරෝපයම කැලඹීමට ලක්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

මේ අතර ලෝක බලවතා වන අමෙරිකාවට නව කොරොනා ව්‍යාප්තියෙන් සිදුව ඇත්තේ සුළුපටු හානියක් නොවේ.

ඊයේ දිනයේදීත් එරටින් ආසාදිතයින් දස දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තාවූ අතර දිනක මරණ ගණන 163 ක් ලෙසින් දැක්විය.

ඒ රටපුරා ආසාදිතයින් 53,000 ක් වාර්තා වී තිබියදීයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ, කොරෝනා ව්‍යාප්තියේ මීළග කේන්ද්‍රස්ථානය බවට අමෙරිකාව පත්වීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි.

ලෝකයේ රටවල් රැසක් පූර්ණ හෝ අර්ධ වශයෙන් වසාදමා තිබියදීත් ඒ සියල්ලට අභීයෝග කරමින් නව කොරෝනා වෛරසය ලෝකය පුරා අධික වේගයකින් ව්‍යාප්ත වෙමින් පවතියි.

වෛරසය පාලනය සදහා තවත් සැලකිය යුතු කාලයක් පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීමේ වැදගත්කම සෞඛ්‍ය බලධාරීන් නැවත නැවතත් පෙන්වාදෙන්නේ ඒ අනුවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඉතාලියේ සිටින ශ්‍රි ලාංකිකයින් පිරිසක් ස්වයං නිරෝධායනයට

(25.03.2020 – 14:06 +0530 – sinhala.adaderana.lk)

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රි ලාංකිකයින් 7 දෙනෙකු ඉතාලිය තුළ සිටින්නේද යන්න මෙතෙක් එරට රෝහල්වලින් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඉතාලියේ සිටින ශ්‍රි ලාංකිකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පළ වු වාර්තා සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසිමකදි විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයද විමසීම් සිදු කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදු කර නැත.

එමෙන්ම ඉතාලිය තුළ සිටින ශ්‍රි ලාංකිකයින් 40-50 ත් අතර පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවද වාර්තා වේ.

මේ අතර ඉතාලියේ මෙසීනා ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි ශ්‍රි ලාංකිකයෙකු මියගොස් තිබේ.

ඊට හේතුව නව කොරෝනා වෛරසය ආසාදනය විමද යන්න පිළිබඳවද මෙතෙක් තහවුරු වි නොමැති බව විදේශ කටයුතු අමාතයංශය සඳහන් කළේය ෴

+++++++++++++++++++++

කොරෝනා වැළඳී ඉතාලියේදී ශ්‍රී ලාංකිකයෙකු මියගොස් නැහැ – වැඩබලන තානාපති කියයි

(25.03.2020 – 16:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වැළඳී ඉතාලියේ මෙසීනා – ක්‍රිස්තෝ රේ හි සාත්තු නිවාසයකදී ශ්‍රී ලාංකිකයෙකු මියගිය බවට පළවන වාර්තා අසත්‍ය බව ඉතාලියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනෙවිරත්න මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ එහි කොරෝනා වැළඳී කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබන නමුත් ඔවුන් අතර ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් නොමැති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනය අවසන් කළ පිරිසක් රැගෙන ගිය බස් රථයක් අනතුරට

(25.03.2020 – 13:33 +0530 – sinhala.adaderana.lk)

කණ්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඊයේ (24) දිනයේ නිරෝධායනය අවසන් කළ පිරිසක් රැගෙන මාතර බලා ගිය යුද හමුදා බස් රථයක් අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.

විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලා යමින් සිටි බස් රථයක් යුදහමුදා බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් සංචාරක බස්රථයේ රියදුරුට සහ රිය සහයකට බරපතල තුවාල සිදුව ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේය.

යුදහමුදා රථයේ ගමන් ගත් සෙබලෙක්ද අනතුරින් තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වනවිට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිත බවට සැක රෝගීන් 252 ක්

(25.03.2020 – 13:28 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටින් හඳුනා ගැනුණු රෝගීන්ගෙන් දෙවැනි රෝගියාත් සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ.

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස මේ වනවිට 102 ක්.

මේ අතර වෛරසය ආසාදිත බවට සැකපිට දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්වු 201 දෙනෙකුගෙන් යුතු පිරිසක් නිරෝධායන කාලසීමාව අවසන් කර අදත් (25) සිය නිවෙස් වෙත පිටත් කර යැවුණි.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 252 දෙනකු සහ විදේශිකයින් 03 දෙනෙකු දිවයිනේ රෝහල් 21 ක වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඊයේ (24) අලුතින් හඳුනාගැණුනු නව කොරෝනා ආසාදිතයින් ගණන 05 ක්.

මේ අතර දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45 ක රඳවා සිටි පුද්ගලයන් තුන්දහසකට අධික පිරිස අතරින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවැනි කණ්ඩායම අද (25) සිය නිවෙස් වෙත පිටව ගියේ.

201දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායම ඉතාලිය හා දකුණු කොරියාව ඇතුලු රටවල් කිහිපයකින් පැමිණි අයයි.

ඒ අනුව කණ්දකාඩු මධ්‍යස්ථානයේ දින 14 ක කාලයක් නිරෝධායනය වූ 144 දෙනෙක් අද (25) උදෑසන මධ්‍යස්ථානයෙන් පිටව ගියේය.

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය වී පිටව ගිය පිරිස 57 ක්.

කොළඹ, ගාල්ල, මාතර , මහනුවර හා දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පිරිස යුදහමුදාව විසින් අදාළ ප්‍රදේශවලට රැගෙන ගොස් පොලිස් ස්ථානවලට භාර දෙනු ලබයි.

අදාළ පොලිස් ස්ථානවල මැදිහත්වීමෙන් ඔවුන් නිවෙස් වෙත භාර දීමට නියමිතයි.

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනය වෙනුවෙන් කළ පරිත්‍යාග

(25.03.2020 – 15:13 +0530 – sinhala.adaderana.lk)

අකුරැස්ස ප්‍රදේශයේ පවත්නා එකම පෞද්ගලික රෝහල වන ‘හෙළදිව හෙල්ත් කෙයා පෞද්ගලික රෝහල’ කොරෝනා ‍වෛරසය අසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට ලබාදීමට ‘හෙළදිව සමුහ ව්‍යාපාරයේ’ අධිපති හේමන්ත විදානගම මහතා කැමැත්ත පළ කර තිබේ.

අකුරැස්ස නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම පෞද්ගලික රෝහල සිව්මහල් ගොඩනැගිල්ලකින් සමන්විත වන අතර එය නවීන සෞඛ්‍ය පහසුකම් රැසකින් සමන්විතයි.

මේ අතර රටතුළ උද්ගත වී ඇති අවදාම් වතාවරණය තුළද අඛණ්ඩ සේවයේ නිරත තංගල්ල මුලීක රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට නවාතැන් ගැනීම සඳහා ආහාර පානද සහිතව තමා සතු තංගල්ල මැදකැටිය ‘සිලෝන් සි හෝටලය’ ලබාදීමට එහි හිමිකරුවන අශෝක මුතුමාල මහතා තීරණය කර තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මිනිසුන් පිඩාවට පත්ව සිටිනවා සේම පවත්නා ඇඳිරි නීතිය හේතුවෙන් කුසගින්නේ පසුවන මහ මඟ සිටින සුනඛයින්ටද ඇඳිරි නීතිය බලපවත්නා කාලසීමාව තුළම ආහාර ලබාදීමටදි රත්නපුර මාරපන ප්‍රදේශයේ තරුණයින් පිරිසක් ඊයේ (24) කටයුතු කළේය.

අවිස්සාවෙල්ල ‘ජේ.ජේ මිල්ස්’ ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ මසා නිම කරන ලද මුහුණු ආවරණ 10,000 ක ප්‍රමාණයක්ද කොරෝනා වෛරසය මර්දනය කිරීමෙහි නිරත වී සිටින නිලධාරින්ගේ ප්‍රයෝජනය සඳහා ඊයේ (24) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙනු ලැබුවේය ෴

+++++++++++++++++++++

කොරෝනාට එරෙහිව සටන් වදින ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ

(25.03.2020 – 15:04 +0530 – sinhala.adaderana.lk)

දිනෙන් දින ලොව පුරා ව්‍යාප්ත වන කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස් වසංගතය මෙරට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව මෙන්ම සෞඛ්‍ය අංශ දැවැන්ත වෙහෙසක් දරමින් සිටියි.

එම කර්තව්‍යයට පාර්ශ්ව රැසක් සිය දායකත්වය ලබා දෙමින් සිටියි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ එය පාලනය කිරීම සඳහා අඛන්ඩ සේවයක නිරත සෞඛ්‍ය අංශ වලට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් සහ මුඛ ආවරණ නිෂ්පාදනය කිරීම සඳහා වව්නියාව සහ අනුරාධපුර සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් මේ දින වල තම කාලය යොදවයි.

ඒ යටතේ සිවිල් ආරක්ෂක බලකාය විසින් වව්නියාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ඇගළුම් කර්මාන්ත ශාලවේදි මෙම ආරක්ෂක ඇඳුම් සහ මුඛ ආවරණ මැසීම සිදුවන අතර මෙම ක්‍රියාදාමයට මඟ පෙන්වනු ලබන්නේ සිවිල් ආරක්ෂක බලකායේ වව්නියාව ප්‍රදේශයේ අණදෙන නිලධාරි කර්නල් මිල්ලවාන මහතා විසින්.

එසේම අනුරාධපුර රඹෑව සිවිල් ආරක්ෂක කඳවුර තුළද පැයකට මුඛ ආවරණ 400 ක් වැනි ප්‍රමාණයක් මැසීම සිදුවන බවද වාර්තා වේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *