මෙරට කො‍රෝනා ආසාදිතයින් ගණන 72 ක් වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරට කො‍රෝනා ආසාදිතයින් ගණන 72 ක් වෙයි (විඩියෝ)

• කොරෝනා මැඩලන්න සති 2 ක පමණ ඇදිරි නීතිය පැනවීම යෝග්‍යයි – මහාචාර්ය චන්න ජයසුමන

• ඇදිරි නීතිය පැනවීමේ අපේක්ෂාව ජනතාව ඒකරාශී වීම වැළැක්වීම – GMOA

• කොරෝනා රටපුරා ව්‍යාප්ත වන අදියරේ.. පාලනය කල නොහැකි මට්ටමට යාමේ අවදානමක්.. (විඩියෝ)

• තවත් ආසාදිතයින් සිව් දෙනෙක් – මුළු කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 76 ක්

• ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමෙන් අත්අඩංගුවට පත් පිරිස 68 දක්වා ඉහළට (විඩියෝ)

• ගැබිණි කතුන්ට උපදෙස් මාලාවක්

• කොළඹ, ගම්පහ සහ පුත්තලමට ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

• පිළිකා රෝගීන්ට විශේෂ දැනුම්දීමක්

• නව කොරෝනා වෛරසයේ ස්වභාවය පිළිබද චීන විද්‍යාඥයන් කරුණු රැසක් අනාවරණ කර ගනී

• ඇඳිරි නීතිය කැඩූ 28 ක් පොලිස් අත්අඩංගුවට – රාජකාරියට 45,000 ක පොලිස් බල ඇණියක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මෙරට කො‍රෝනා ආසාදිතයින් ගණන 72 ක් වෙයි

(20.03.2020 – 22:09 +0530 – sinhala.adaderana.lk)

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 02 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 72 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගත කර සිටින පුද්ගලයින් ගණණ 218 කි.

මේවන විට හඳුනාගෙන සිටින සියලුම රෝගින්ගෙන් දෙදෙනෙකු හැර අන් සියලුදෙනාම නිරෝධායන ක්‍රියාවලිය තුළින් හඳුනා ගත් අය විම විශේෂත්වයකි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මැඩලන්න සති 2 ක පමණ ඇදිරි නීතිය පැනවීම යෝග්‍යයි – මහාචාර්ය චන්න ජයසුමන

(21.03.2020 – 07:51 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා සති දෙකක පමණ කාලයක් ඇදිරි නීතිය පැනවීම යෝග්‍ය බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ජනතාවගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත යුතුව ඇති බව හෙතෙම පවසන්නේය.

+++++++++++++++++++++++++++++++++++

ඇදිරි නීතිය පැනවීමේ අපේක්ෂාව ජනතාව ඒකරාශී වීම වැළැක්වීම – GMOA

(21.03.2020 – 07:45 +0530 – sinhala.adaderana.lk)

ඇදිරි නීතිය පැනවීමේ අපේක්ෂාව වන්නේ ජනතාව ඒකරාශී වීම වළක්වා නිවාසවල හුදකලා කිරීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එමගින් කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීමට හැකියාව ලැබෙන බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සදහන් කළේය.

ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ වෛරස ආසාදනය අවදානමකටලක්ව සිටින පුද්ගලයින්ට ස්වයං නිරෝධායනට පහසුව සැලසෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා රටපුරා ව්‍යාප්ත වන අදියරේ.. පාලනය කල නොහැකි මට්ටමට යාමේ අවදානමක්..

(21.03.2020 – 09:20 +0530 – lankacnews.com)

කොරෝනා වෛරසය මේ වන විට පවතින්නේ රට පුරා ව්‍යාප්ත වන අදියරේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ආනන්ද මහතා සඳහන් කරන්නේ මෙම රෝගය මුලින් හමුවූයේ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන් වුවද මේ වන විට මෙරට පුද්ගලයන් අතර ද මෙය පැතිරීම ආරම්භවී ඇති බවයි.

කොරෝනා වෛරසය බෝවන වේගය ඉතා වැඩි බවත් එය විශාල පිරිසක් අතර පැතිර ගියහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට එය දරාගත නොහැකි බවත් ඔහු කියා සිටී.

මෙය පාලනය කිරීම සඳහා හැකිතාක් ගමන් බිමන් අඩු කරන ලෙස ජනතාවගෙන් කොතෙක් ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාර එතරම් යහපත් නොවන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එය පාලනය කිරීම අසීරු වනු ඇති බවත් කී ඔහු රටක් ලෙස කල්පනා කර නිසි ලෙස කටයුතු කලොත් මෙය පාලනය කල හැකි බවද පැවසීය.

කෙසේ නමුත් රජය රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මෙය මර්ධනය සඳහා සැලකිය යුතු ප්‍රශස්ත වල මැදිහත්වීමක් සිදු කරමින් සිටින බවත් ජනතාව වුවද ඉතා සුළු පිරිසක් විසින් සිදුකරන කටයුතු අතහරින්නේ නම් එය පාලනය කළ හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

ජනතාව තනි තනිව කල්පනා කර වගකීමෙන් කටයුතු නොකලහොත් මෙය පාලනය කල නොහැකි මට්ටමකට යා හැකි බවත් ඔහු තව දුරටත් අවධාරණය කලේය.

+++++++++++++++++++++++++++++++++++

තවත් ආසාදිතයින් සිව් දෙනෙක් – මුළු කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 76 ක්

(21.03.2020 – 16:15 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, අද (21) වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වු බවයි.

මෙම කොරෝනා වෛරස ආසාදිතයින් අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබේ.

ඊයේ (20) දිනයේ දී කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු පොළොන්නරුව මහ රෝහලෙන් සහ තවත් අයෙකු අනුරාධපුර මහ රෝහලෙන් ඊයේ පස්වරුව වන විට වාර්තා විය.

ඔවුන් තිදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් බව සඳහන්.

ඊට අමතරව අයි.ඩි.එච්.රෝහලෙන් කොරෝනා වෛරස ආසාදිතයින් දෙදෙනෙකු ද කොළඹ ජාතික රෝහලෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයෙකු ද ඊයේ පස්වරුව වන විට වාර්තා විය ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමෙන් අත්අඩංගුවට පත් පිරිස 68 දක්වා ඉහළට

(21.03.2020 – 16:08 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 68 දෙනෙකු මේවනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අද (21) උදෑසන වනවිට පුද්ගලයින් 30 දෙනෙකු ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි අතර පොලිසිය පැවසුවේ මේවනවිට තවත් පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හැටන්, දවුලගල, කෑගල්ල, හලාවත, උහන, බණ්ඩාරගම සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට පත්ව තිබුණි.

පොලිසිය පැවසුවේ ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවේ මාර්ගවල සැරිසරමින් සිටියදී ඔවුන්ගෙන් බහුතරයක් අත්අඩංගුවට පත්ව ඇති බවයි.

එමෙන්ම ඇදිරිනීති කාලය තුළ ත්‍රිරෝද රථයකින් මත්පැන් බෝතල් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටියි.

+++++++++++++++++++++++++++++++++++

ගැබිණි කතුන්ට උපදෙස් මාලාවක්

(21.03.2020 – 16:07 +0530 – sinhala.adaderana.lk)

‘කොවිඩ් නයින්ටීන්’ හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, ඊයේ (20) පස්වරුව වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වු බවයි.

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු පොළොන්නරුව මහ රෝහලෙන් සහ තවත් අයෙකු අනුරාධපුර මහ රෝහලෙන් ඊයේ (20) පස්වරුව වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේය.

ඔවුන් තිදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් බව සඳහන්.

ඊට අමතරව අයි.ඩි.එච්.රෝහලෙන් කොරෝනා වෛරස ආසාදිතයින් දෙදෙනෙකු ද කොළඹ ජාතික රෝහලෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයෙකු ද ඊයේ (20) පස්වරුව වන විට වාර්තා විය.

‍මේ අතර COVID-19 කොරෝනා ව්‍යාප්තිය වන මේ අවදියේදී, ගර්භණී කාන්තාවන් සඳහා උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් හඳුන්වා දී තිබේ.

  1. ගර්භණී බව තහවුරුවුණු ඔබ තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නොමැති නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දුරකතනයෙන් අමතා ඒ බව දැනුම් දෙන්න.
  2. ගර්භණී කාලය මාස 8 ක් (සති 32 ක්) හෝ ඊට වැඩි සියලුම ගර්භණී කාන්තාවන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා සායනයට ඔබ පැමිණිය යුතු දිනය සහ වේලාව දැන ගන්න.
  3. ඔබගේ ගර්භණි කාලය මාස 8 කට (සති 32 කට) අඩු නම් සහ පහත රෝග තත්ත්ව තිබේ නම් පමණක් ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා ඔබගේ වත්මන් තත්ත්වය පිළිබඳ විස්තර කර සායනයට යාමට දිනයක් සහ වේලාවක් දැන ගන්න.
  • දියවැඩියාව
  • අධික රුධිර පීඩනය
  • හෘද රෝග
  • ශ්වසන ආබාධ
  • වෙනත් කිසියම් රෝග ලක්ෂණ හෝ අපහසුතාවයක් ඇත්නම්

4. හැකි සෑම විටම නිවසේ රැඳී සිටින්න. අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වලකින්න – උදා. උත්සව සහ වෙළදසැල් වෙත යාම.

වැඩි විස්තර 1999 සුවසැරිය අංකය අමතා හෝ ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය මාර්ගයෙන් හෝ ලබා ගත හැක ෴

+++++++++++++++++++++++++++++++++++

කොළඹ, ගම්පහ සහ පුත්තලමට ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

(21.03.2020 – 18:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන අගහරුවාදා (24) උදෑසන 6 දක්වා දීර්ඝ කර තිබෙනවා.

එදිනම (24) පස්වරු 2 ට යළිත් එම දිස්ත්‍රික්වලට නැවත ඇඳිරි නීතිය පනවන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

අනෙක් දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය සඳුදා (23) උදෑසන 6 ට ඉවත් කෙරෙන අතර නැවත එදිනම දහවල් 2 සිට යළි ක්‍රියාත්මක වනවා.

මෙම දිස්ත්‍රික්වලට පනවනු ලබන ඇඳිරි නීතිය අඟහරුවාදා (24) උදෑසන 6 දක්වා බලපැවැත්වෙනු ඇති.

සියලු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය නැවත පැනවීම පිළිබඳ පසුව දැනුම්දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවිසැල් වසා තැබිය යුතු බවටයි රජය දැනුම් දෙන්නේ.

ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්වල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ ලබාදෙන ලෙසටයි රජය පොලිසියට උපදෙස් ලබාදී ඇත්තේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස ද රජය ජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට ද විධි විධාන සලසා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

පිළිකා රෝගීන්ට විශේෂ දැනුම්දීමක්

(21.03.2020 – 16:16 +0530 – hirunews.lk/sinhala)

පිළිකා රෝගීන්ගේ අවධානය පිණිස යනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එවැනි අයෙකුට කොරෝනා රෝගයේ රෝග ලක්ෂණ ඇත්නම්, කොරෝනා රෝගය සඳහා වෙන්වූ ආසන්නතම රෝහල අමතන්න ලෙසත් පිළිකා රෝහල වෙත පැමිණීමෙන් වලකින ලෙසත් එහි දැක්වෙනවා.

එවැනි අයෙකු පිළිකා රෝගයක් සඳහා දැනට ප්‍රතිකාර ගන්නේ නම්, සුපුරුදු පරිදි පිළිකා සායනයට හෝ මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසද එහි සඳහන්.

එවැන්නෙකු පිළිකා රෝගයකින් පසු ප්‍රතිකාර සඳහා යොමුවන්නේ නම්, විශ්වාසවන්ත පුද්ගලයෙකු අවශ්‍ය ලියකියවිලි සමග පිළිකා රෝහලට එවීම මගින් අවශ්‍ය බෙහෙත් ලබා ගන්නා ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.

පිළිකා රෝගය සදහා ප්‍රතිකාර අවසන් කළ, පසු විපරම සඳහා පැමිණෙන රෝගීන්, නැවත දැනුම් දෙන තුරු සායනවලට පැමිණීමෙන් වළකින ලෙසයි ඔවුන් කියා සිටින්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

නව කොරෝනා වෛරසයේ ස්වභාවය පිළිබද චීන විද්‍යාඥයන් කරුණු රැසක් අනාවරණ කර ගනී

(21.03.2020 – 15:33 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ ස්වභාවය පිළිබද චීන වෛද්‍ය විද්‍යාඥයන් මේ වන විට කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

වෛරසයේ මූලික ලක්ෂණයක් වන්නේ ශ්වසන මාර්ග ශ්ලේෂ්මල පටලයකින් අවහිර කිරීමයි.

එමගින් ශ්වසන පද්ධතියේ වායු හුවමාරුව මෙන්ම පෙනහළු වෙත ඔක්සිජන් ලැබීම අවහිර විය හැකියි.

වෛද්‍ය ප්‍රතිකාර මගින් සිදුකරනු ලබන්නේ එලෙස අවහිර වූ ශ්වසන මාර්ගය යළි විවෘත කිරීමයි.

ඒ සඳහා දින කිහිපයක් ගත විය හැකි අතර, වෛරසයෙන් වැළකී සිටීමට මෙන්ම ආසාදනය අවම කරලීමට උපදෙස් මාලාවක් මේ වන විට නිකුත් වී තිබෙනවා.

උණුසුම් ජලය, තේ, කෝපි, සුප් වැනි උණුසුම් පානයන් වැඩි වශයෙන් ගැනීම එහිදී වැදගත් වන අතර, සෑම මිනිත්තු 20කටම වරක් උණුසුම් ජලය පානය කිරීමෙන් මුඛය තුළින් වෛරසය පෙනහළු තුළට පිවිසීම වළක්වා ගත හැකියි.

හැකි සෑම විටෙකම සුදුළුෑණු, විනාකිරි, ලෙමන් වැනි ඔක්සිකාරක ආහාර ගැනීම සුදුසු වන අතර, දුම්පානයෙන් වැළකී සිටීම වැදගත් වන බව එලෙස ලබාදෙන උපදේශයක්.

සෑම විටම දෑත් සේදීම සහ ඒ සඳහා විෂබීජ නාශයක් භාවිත කිරීම වැදගත්.

ඇඳුම් මගින් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඒවා දිනපතා සේදිය නොහැකි නම් දැඩි හිරු රශ්මියට නිරාවරණය කිරීම අවශ්‍ය වනවා.

සෙම්ප්‍රතිශ්‍යාම සෑදීම වළක්වා ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගත යුතු අතර පළතුරු සහ එළවළු ආහාරයට ගැනීමත් විටමින් සී ලබා ගැනීමත් වැදගත් වන බවයි එම උපදෙස් මාලාව මගින් පෙන්වා දී ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කැඩූ 28 ක් පොලිස් අත්අඩංගුවට – රාජකාරියට 45,000 ක පොලිස් බල ඇණියක්

(21.03.2020 – 10:43 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 28 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, තංගල්ල, අම්පාර, වලස්මුල්ල, නල්ලතණ්ණිය සහ කටුනායක ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අනුව දඹුල්ල – බුලාගල ප්‍රදේශයේදී අද පෙරවරුවේ 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, බණ්ඩාරවෙල – මහඋල්පත ප්‍රදේශයේ දී මත්පැන් පානය කර ක්‍රීඩා පිටියක නිකරුණේ ගැවසෙමින් සිටි තවත් 8 දෙනෙකු ඊයේ (20) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් වයස අවුරුදු 18 ත්, 56 ත් අතර පසුවන අතර, අද (21) දිනයේදී බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හපුතලේ ප්‍රදේශයේදී ද, ආපනශාලාවක් විවෘතව තබා ගැනීම සම්බන්ධයෙන් ද පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, 35 හැවිරිදි ඔහු හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. ඔහු ද අද (21) බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කෙරෙන බව සඳහන්.

තංගල්ල ප්‍රදේශයේදී ද ඊයේ (20) රාත්‍රියේ ඇඳිරිනීතිය කඩකරමින් බීමත්ව ගමන් කරමින් සිටි 27 හැවිරිදි බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර කටුනායක ප්‍රදේශයේදී ද නිකරුණේ මාර්ගයේ ගැවසෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් වයස අවුරුදු 43 සහ 44 වියේ පසුවන අතර, අද (21) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇඳිරීනිතිය ක්‍රියාත්මක කාලය තුළ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරින් 45,000 ක් පමණ යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඊයේ (20) පස්වරු 6 සිට අනිද්දා උදෑසන 6 තෙක් පොලිස් ඇඳිරි නීතිය බල පැවැත්වෙනවා.

එසේම, අනිද්දා (23) පෙරවරු 6 ට පොලිස් ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු අදාළ තහනම ඉවත් කිරීම පිළිබදව හෙට නිවේදනය කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර සඳහන් කළේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක මේ මොහොතේ කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් ජනශූන්‍යවීමත් සමඟ ඒවා පාළුවට ගොස් තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *