ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළට

• චාරිකා හා විනෝද ගමන් රජය විසින් අද (18) දින සිට සම්පූර්ණයෙන් තහනම් වී තිබේ (විඩියෝ)

• වහාම ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී සමාජශාලා සහ රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන වැසේ (විඩියෝ)

• කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු කිහිපයක් තාවකාලිකව නවතයි

• ආනයනික මුඛ ආවරණ සහ විෂබීජනාශක බදුවලින් නිදහස් කෙරේ

• ඉතා හදිසි ප්‍රතිකාර සඳහා පමණක් දන්ත සායන වෙත යොමුවන්නැයි ඉල්ලීමක්

• ජනතාව බය කරාට රාජිත හා ෆොන්සේකා සම්බන්ධයෙන් CCD විමර්ශනයක් (විඩියෝ)

• ලොකු ලූණු සඳහා උපරිම සිල්ලර මිලක්

• අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතා රතන සූත්‍ර ස්ජ්ඣායනාව – ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. (විඩියෝ)

• කොරෝනා වෛරසයේ ආයුකාලය සොයා ගැනේ… වානේ, පිත්තල සහ ප්ලස්ටික් මතත් සක්‍රියව ඉන්න පුළුවන්

• පුත්තලම, හලාවත සහ කොච්චිකඩේට පැනවූ පොලිස් ඇඳිරි නීතිය උදෑසන 8 ට තාවකාලිකව ඉවත් කරයි (විඩියෝ)

• ලංකාවෙන් විදේශ රාජ්‍යයන්ට ඉල්ලීමක්

• භික්ෂුවගේ දේශපාලනය විය යුත්තේ රජුන් නිවැරදි මාර්ගයේ ගමන් කරවීමයි ‍ – ජාතික විද්වත් භික්ෂු සංසදය (විඩියෝ)

• නාමයෝජනා භාරගැනිම අදින් අවසන් – විරෝධතා දැක්වීමට පැය එක හමාරක්

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළට

(18.03.2020 – 16:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ නවතම වාර්තා අනුව එම සංඛ්‍යාව අනාවරණ වී ඇති බවයි.

මේ අතර දඹදිව සිට පැමිණෙන සියලුම වන්දනාකරුවන් විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට පියවර ගන්නා බව කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එම මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙම වන්දනාකරුවන්ගෙන් පළමු කණ්ඩායම රැගත් විශේෂ ගුවන් යානය අද (18) පස්වරුවේ ඉන්දියාවෙන් පිටත්වීමට නියමිත බවයි.

ඊයේ (17) හමුවූ කොරෝනා වෛරස ආසාදිතයන් අතරින් දෙදෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන්.

එබැවින් අද (18) සිට දිවයිනට පැමිණෙන දඹදිව වන්දනාකරුවන්ද මෙලෙස නිරෝධායනයට ලක් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි යුදහමුදාපතිවරයා කියා සිටියේ.

එසේම වහාම ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී සමාජශාලා සහ රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ දැඩි කොන්දේසිවලට යටත්ව වෛරසය හඳුනාගැනීම සඳහා සිදුකරන පී. සී. ආර්. පරීක්ෂණය පෞද්ගලික රෝහල්වල පිහිටි රසායනාගාර තුළ සිදුකිරිමට අවසර ලබාදෙන බවයි.

+++++++++++++++++++++

චාරිකා හා විනෝද ගමන් රජය විසින් අද (18) දින සිට සම්පූර්ණයෙන් තහනම් වී තිබේ

(18.03.2020 – 16:21 +0530 – sinhala.adaderana.lk)

රජය විසින් ඊයේ (17) දිනයේ සිට හෙට (19) දිනය දක්වා දින 3 ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එවන් තීරණයක් ගනු ලැබුවේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ලෙස යැයි ද පැවසු අමාත්‍යවරිය එවැනි අවස්ථාවක විනෝද චාරිකා යෑම සම්පූර්ණයෙන්ම තහනම් වන බවත් පැවසීය.

කිසියම් පිරිසක් මෙම උපදෙස් කඩ කරමින් හැසිරෙන්නේ නම් ඔවුන්ට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේය.

ජනතාව මෙවැනි ආකාරයෙන් හැසිරීම තුළ තවත තවත් පවතින තත්ත්වය අනතුරුදායක තත්ත්වකට පත් වෙනු ඇතැයි ද පැවසු අමාත්‍යවරිය හැකි තරම් නිවෙස් තුළම රැඳී සිටිමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03 ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.

පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබා දෙන මෙන් රජයේ ඉල්ලා සිටියි.

පොලිස්පති විශේෂ නියෝගයක් ලෙස මාර්ග බාධක ලංකාව පුරාම යොදවා ඇති බවත් යම් අයෙක් විනෝද චාරිකා යන්නේ නම් ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගන්නා බවත් නියෝජ්‍ය පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

499 ක් වන පොලිස් ස්ථාන සියල්ල වෙත මෙම දැනුම් දීම සිදු කර ඇති බවත් ඒ නිසාවෙන් සියලු දෙනා නිවෙස්වල රැදී සිට රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීමට සහය වන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

🔴කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව▸LIVE: Special media briefing by National Operation Centre to Prevent Covid-19▸கொவிட் 19 கட்டுப்படுத்துவதற்காக அமைக்கப்பட்டுள்ள மத்திய நிலையத்தின் ஊடக சந்திப்பு

Posted by Ada Derana Sinhala on Wednesday, March 18, 2020

+++++++++++++++++++++

වහාම ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී සමාජශාලා සහ රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන වැසේ

(18.03.2020 – 17:03 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී සමාජශාලා සහ රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ දැඩි කොන්දේසිවලට යටත්ව වෛරසය හඳුනාගැනීම සඳහා සිදුකරන පී. සී. ආර්. පරීක්ෂණය පෞද්ගලික රෝහල්වල පිහිටි රසායනාගාර තුළ සිදුකිරිමට අවසර ලබාදෙන බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු කිහිපයක් තාවකාලිකව නවතයි

(18.03.2020 – 16:08 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන සේවා කිහිපයක් ලබන 31 වනදා දක්වා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාන්‍ය ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීම හා එහි සියයට තිහේ ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීම මෙලෙස තාවකාලිකව අත්හිටුවන බවයි කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර නිවේදනය කළේ.

මීට අමතරව සේවක අර්ථසාධක අරමුදලේ නිවාස ණය අයදුම්පත් භාරගැනීමේ කටයුතුද ලබන 31 වනදා දක්වා අත්හිටුවා තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ආනයනික මුඛ ආවරණ සහ විෂබීජනාශක බදුවලින් නිදහස් කෙරේ

(18.03.2020 – 15:51 +0530 – hirunews.lk/sinhala)

ආනයනික මුඛ ආවරණ සහ විෂබීජනාශක සඳහා මෙතෙක් අයකෙරුණු තීරුබද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව අදාළ ආනයනික භාණ්ඩ, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතට යටත් කර තිබෙනවා.

දැනට රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල හේතුවෙන් එම භාණ්ඩ වෙත අධික ඉල්ලුමක් පැවතීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඉතා හදිසි ප්‍රතිකාර සඳහා පමණක් දන්ත සායන වෙත යොමුවන්නැයි ඉල්ලීමක්

(18.03.2020 – 14:19 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් ඉතා හදිසි ප්‍රතිකාර සඳහා පමණක් දන්ත සායන වෙත යොමුවන ලෙස ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දත් පිරවීම්, ශුද්ධ කිරීම්, දත් ඇඳි දැමීම්, ස්නායු පිරවීම්, විකලාංග දන්ත ප්‍රතිකාර, ජංගම දන්ත වෛද්‍ය සේවා, කුඩා ළමයින්ගේ ෆ්ලෝරයිඩ් ප්‍රතිකාර වැනි ඉතා හදිසි ප්‍රතිකාර වෛරස් ආසාදන තත්ත්වය පහව යනතුරු පමා කිරීම යෝග්‍ය බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මේ අතර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් මේ මස සහ ලබන මස පැවැත්වීමට සැළසුම් කර තිබූ සියලු කාර්යක්ෂමතා කඩඉම් විභාග කල් දැමීමට සිදුව ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

ජනතාව බය කරාට රාජිත හා ෆොන්සේකා සම්බන්ධයෙන් CCD විමර්ශනයක්

(18.03.2020 – 16:57 +0530 – sinhala.adaderana.lk)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා යන මහත්වරුන් විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජනතාව තුළ අනියත බියක් සහ කැලබීමක් ඇති වන ආකාරයෙන් මෙම ප්‍රකාශය සිදු කර ඇතැයි ද යන්න මෙහිදී විමර්ශනයට ලක් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ මහතා පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බවයි.

සාවද්‍ය පුවත් සමාජය පුරා පැතිර වීමේ වරද යටතේ මෙහිදී නිතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ලොකු ලූණු සඳහා උපරිම සිල්ලර මිලක්

(18.03.2020 – 18:04 +0530 – hirunews.lk/sinhala)

ලොකු ලුණු අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ මේ අනුව ලොකු ලුණු අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 150 ක් වන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතා රතන සූත්‍ර ස්ජ්ඣායනාව – ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට..

The Chanting of the most powerful Rathana Sutta – ‘From Magul Maduwa’ of Sri Dalada Maligawa

( 18.03.2020 – https://www.facebook.com/sridaladamaligawa/ )

අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව | The Chanting of the most powerful Rathana Sutta

අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta – 'From Magul Maduwa' of Sri Dalada Maligawa..ආරම්භක දිනය | Start Day #rathanasutta #sridaladamaligawa #srilanka

Posted by Sri Dalada Maligawa on Wednesday, March 18, 2020

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

කොරෝනා වෛරසයේ ආයුකාලය සොයා ගැනේ… වානේ, පිත්තල සහ ප්ලස්ටික් මතත් සක්‍රියව ඉන්න පුළුවන්

(18.03.2020 – colombotoday.com)

නව කොරෝනා වෛරසයට ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිට දින තුනක කාලයක් සක්‍රියව පැවතිය හැකි බව නවතම අධ්‍යනයකින් සොයා ගැනීමට හැකිවූ බව New England Journal of Medicine සඟරාවේ වාර්තාවක් පළ කරමින් විද්‍යාඥයින් සඳහන් කර සිටිනවා.

ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණයේදී 2002 වර්ෂයේදී පැතිර ගිය SARS-CoV-1 හෙවත් සාර්ස් වෛරසය සමඟ කොරෝනා වෛරසය සංසන්දය කිරීමට කටයුතු කර තිබෙනවා.තිබෙනවා.

මෙහිදී විද්‍යාඥයින් අනාවරණය කර ගෙන ඇත්තේ කොරෝනා වෛරසයට තඹ මත පැය 04 ක කාලයක්, කාඩ්බෝඩ් මත පැය 24 ක කාලයක්, ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිටවල් මත පැය 72 ක කාලයක් පැවතීමේ හැකියාව ඇති බවයි.

ඊට අමතරව කොරෝනා වෛරසයට කුඩා ජල අංශු මෙන් වාතයේ පැය තුනක කාලයක් රැඳී සිටීමේ හැකියාවක් ඇති බවයි.

කොරෝනා වයිරස් යනු සතුන් අතර බහුලව දක්නට ලැබෙන වෛරස් සමූහයකි. විද්‍යාඥයින් විසින් මෙය සත්වෝද්‍යාව (zoonotic) ලෙස හඳුන්වන අතර එයින් අදහස් කරන්නේ ඒවා සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය කළ හැකි බවයි.

පර්යේෂකයන් ගණන් බලා ඇති පරිදි කොරෝනා වෛරසයට පැය කිහිපයක් සිට සතියකට වඩා වැඩි කාලයක් අවට පරිසරයේ රැඳී සිටීමේ හැකියාව ඇති බව සොයා ගෙන ඇත්තේ.

පසුගිය සඳුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිලිබදව වෛද්‍ය Maria Van Kerkhove සඳහන් කලේ සාර්ස් සහ කොරෝනා වෛරසය වැනි වෛරස් ප්ලාස්ටික්, මළ නොබැදෙන වානේ මත සහ පරිසරයේ රැඳී සිටීමේ හැකියාව සම්බන්ධයෙන් පර්යේෂකයින් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

පුත්තලම, හලාවත සහ කොච්චිකඩේට පැනවූ පොලිස් ඇඳිරි නීතිය උදෑසන 8 ට තාවකාලිකව ඉවත් කරයි

(19.03.2020 – 02:05 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම සහ හලාවත පොලිස් අධිකාරී බල ප්‍රදේශවලට මෙන්ම කොච්චිකඩේ පොලිස් වසමට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (19) උදෑසන 8 ට තාවකාලිකව ඉවත් කර පස්වරු 2 සිට නැවත දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න පවසනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා ඉදිරිපත් කිරීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා මෙම පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ඇඳිරි නීතිය ඉවත් කර ඇති කාලසීමාව තුළ තම ගමන් බිමන් උපරිම වශයෙන් සීමා කිරීමට කටයුතු කරන ලෙසට ද පොලිසිය දැනුම් දෙනවා.

ඇඳිරි නීති කාලය තුළදී සියලුම පුද්ගලයන් තම නිවෙස් තුල රැඳී සිටිය යුතුයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ එම පොලිස් බල ප්‍රදේශ හරහා ගමන් කරන පොදු මගී ප්‍රවාහන සේවා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර ලබාදෙනු ඇති.

කටුනායක ගුවන්තොටුපල වෙත ගමන් ගන්නා ගුවන් මගීන් සඳහා ගුවන් ටිකට් පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කළ හැකි බවයි පොලිසිය වැඩිදුරටත් කියාසිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

ලංකාවෙන් විදේශ රාජ්‍යයන්ට ඉල්ලීමක්

(18.03.2020 – 22:47 +0530 – sinhala.adaderana.lk)

දැනට තම රටවල සංචාර සඳහා පැමිණ, COVID-19 කොරෝනා වෛරස වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් ආපසු ශ්‍රී ලංකාවට යාම පිළිබඳ අපහසුතාවයකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් ලබා දෙන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශ රජයන්ගෙන් ඉල්ලා තිබේ.

දැනට මෙරට තුළ සිටින විදේශීය ජාතිකයින් සඳහා, තම වර්තමාන වීසා බලපත්‍ර කල් ඉකුත් වූ දින සිට එක් මසක දීර්ඝ කිරීමක්, සියලු වර්ගවල වීසා බලපත්‍ර සඳහා ලබා දෙන බවට ශ්‍රී ලංකා රජය ඊයේ (17) නිවේදනය කළ බව ඔහු සඳහන් කළේය.

මෙවැනි අන්‍යෝන්‍ය විධිවිධාන පොදු භාවිතයක් බව ප්‍රකාශ කළ ඔහු, මෙම සුවිශේෂී අවස්ථාවේ දී ඔවුන් මුහුණ දෙන ගැටලු අවම කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික සංචාරකයින්ට මෙම පහසුකම් සැලසීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කළේය.

විදේශ ලේකම් ආර්යසිංහ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ‍, COVID-19 වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා පවත්වනු ලබන කරුණු විස්තර කිරීමේ සැසි මාලාවේ කොටසක් ලෙස අද (18) දින බටහිර කලාපීය තානාපතිවරුන් පිරිසක් ඇමතූ අවස්ථාවේ දීය.

තම රටවල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට උදව් උපකාර කිරීම සඳහා අදාළ රජයන් විසින් ලබා දෙන සහයෝගය විදේශ ලේකම්වරයා අගය කළ අතර, ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් පිළිබඳ වර්තමාන තත්ත්වය සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව තොරතුරු පැමිණ සිටි තානාපතිවරුන් සමඟ බෙදා හදා ගත්තේය.

වර්තමානයේ පවතින ගැටලු හඳුනා ගනිමින්, දැනට සියලුම ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූතමණ්ඩල හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකක ලෙස කටයුතු කරන අතර, වර්තමාන අභියෝග මධ්‍යයේ කොන්සියුලර් හා වෙනත් සේවාවන් සීමිත ප්‍රමාණයක් පමණක් පවත්වාගෙන යන බව ඔහු පැවසීය.

තම පුරවැසියන්, නිරෝධායන මධ්‍යස්ථානවල පවතින පහසුකම් සහ නිසි සන්නිවේදන මාර්ග පිළිබඳව කොළඹ පිහිටි විදේශ දූත මණ්ඩලවලට ඇති ගැටලු සම්බන්ධයෙන්, එහි පැමිණ සිටි දේශීය පාර්ශ්වකරුවන් විසින් ඵලදායී ලෙස ප්‍රතිචාර දක්වන ලදී.

ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අපේක්ෂා කරන අය සඳහා ගුවන්තොටුපල වසා දමා තිබියදීත්, මෙහි සිටින විදේශිකයන් අපහසුවකින් තොරව පිටත්කර හැරීම පිළිබඳව ද රැස්වීමේ දී එකඟතාවකට පැමිණෙන ලදී.

තම රටවැසියන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීම ඇතුළුව, මෙම තත්වය පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහය පිළිබඳව මෙම තානාපතිවරු අගය කළ අතර, තම රටවල සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ද ඒ හා සමාන පහසුකම් සලසා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම ඔවුන්ගේ රජයන් වෙත දැනුම් දෙන බවට සහතික වූහ ෴

***************************************

භික්ෂුවගේ දේශපාලනය විය යුත්තේ රජුන් නිවැරදි මාර්ගයේ ගමන් කරවීමයි ‍ – ජාතික විද්වත් භික්ෂු සංසදය

(18.03.2020 – 21:58 +0530 – lankaleadnews.com)

භික්ෂුවගේ ඓතිහාසික වගකීම සහ කාර්යභාරය විය යුත්තේ රජුන් නිවැරදි මාර්ගයේ ගමන් කරවීම සහ පාලකයන්ට අවවාද අනුශාසනා කිරීම බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අද (18) පස්වරුවේ පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවනේ කැඳවා තිබූ ජාතික විද්වත් භික්ෂු සංසදයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා සිටියේ මහානායක හිමිවරුන්ගේ වචනයට පිටුපා යමින් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා පිරිසක් කටයුතු කරමින් සිටින බවත් ජාතික විද්වත් භික්ෂු සංසදය හා සම්බන්ධ සියලුම භික්ෂූන්වහන්සේලා විසින් මෙම ක්‍රියාව ප්‍රතික්ෂේප කරන බවය.

අවුරුදු දෙදහස් පන්සියයකට අධික ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් සහිත රටේ රජුන්ට ඉහළින් තිබෙන භූමිකාවක් සහිත භික්ෂූන්වහන්සේලා නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තත්වයට වැටී භික්ෂු ගෞරවය කෙළෙසා ගැනීම අනුමත කළ නොහැකි බවද පූජ්‍ය අභයතිස්ස හිමියෝ අවධාරණය කර සිටියහ.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි පවසා සිටියේ මහානායක හිමිවරුන් හැරුණුවිට රටේ විද්වත් සම්භාවනීය පිරිස්ද භික්ෂූන්වහන්සේලා පාර්ලිමේන්තු ආසන වලට තරඟ කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එම අවාසනාවන්ත සිදුවීම වලකා ගැනීමට මැදිහත්වන ලෙස තමන්වහන්සේගෙන්ද ඉල්ලීම් කරන බවය.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි :

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි :

***************************************

නාමයෝජනා භාරගැනිම අදින් අවසන් – විරෝධතා දැක්වීමට පැය එක හමාරක්

(19.03.2020 – 07:12 +0530 – sinhala.adaderana.lk)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාර ගැනිම අද (19) දහවල් 12:00 න් අවසන් විමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ දිස්ත්‍රික්ක 22 සඳහාම අද දහවල් 12:00 දක්වා නාම යෝජනා භාරගැනිම සිදුවන බවයි.

දහවල් 12:00 සිට පස්වරු 01:30 දක්වා කාලය තුළ විරෝධතා ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබාදී ඇත.

එම විරෝධතා සලකා බැලීමෙන් පසු දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරිවරුන් විසින් අදාල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්වල නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට නියමිතයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ස්වාධින කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරිම ඊයේ (18) දිනයෙන් අවසන් විය.

ඊයේ (18) දිනය වනවිට ස්වාධින කණ්ඩායම් 357 ක් දිස්ත්‍රික්ක 22 සඳහා ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් වනඅතර එම සංඛ්‍යාව 36 ක්.

ඊයේ දිනය වනවිට පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව දේශපාලන පක්ෂ 82 ක් නාමයෝජනා භාරදී තිබූ අතර ස්වාධින කණ්ඩායම් 250 ක් ද නාමයෝජනා භාරදී තිබුණි.

පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා භාරදිම අවසන් දිනය වන අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව ලබාදී ඇති උපදෙස් දැඩිව පිළිපදින ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයින්ට දැනුම්දී තිබේ.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සදහන් කළේ මැතිවරණ නීතියට අවනත නොවන අපේක්ෂකයින්ට විනයානුකූල පියවර ගන්නා බවයි.

මේ අතර අද දිනයතුළ සියලු දිස්ත්‍රික්ක සදහා සමගි ජන බලවේගය නාම යෝජනා භාරදීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සදහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය ද සියලු දිස්ත්‍රික්ක සදහා අද දිනය තුළ නාමයෝජනා භාරදීමට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සදහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *