ජාතිය රැක ගැනීමට විමල් වීරවංශයන් කළ සේවය

(27.02.2020 – 13:22 +0530 – lankaleadnews.com)

[ඉසුරු ප්‍රසංග විසින් රචිත ‘විමල් යුගකාරකත්වයේ භූමිකාව’ ග්‍රන්ථය වෙනුවෙන් ගුණදාස අමරසේකරයන් තැබූ සටහන]

පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනුවේ හුදෙක් එතුමාගේ පෞරුෂය උඩය යනුවෙන් ඇතමුන් පළ කරන මතය සාවද්‍ය වෙයි. එයින් අදහස් කරන්නේ එතුමාගේ පෞරුෂය ජයග‍්‍රහණය සඳහා හේතු නොවීය යන්න නොවේ. යම් සේ එතුමාගේ පෞරුෂය ඒ සඳහා වැදගත් වීද ඒ පෞරුෂය පිටුපසින් වූ ජාතික බලවේගයද එපමණටම වැදගත් විය. ඒ දෙකේ අන්‍යෝන්‍ය බලපෑමයි ඒ ජයග‍්‍රහණයට හේතු වයේ.

ඒ ජාතික බලවේගය ඕපපාතිකව පහල වූවක් නොවේ. පසුගිය දශක තුන හතර තුළ මෙරට ජාතිමාමක බුද්ධිමතුන් ගෙන ගිය ජාතික පුනර්ජීවන ව්‍යාපාරයයි ඊට පාදක වූයේ. ඒ ව්‍යාපාරයේ සුල මුල අනගාරික ධර්මපාලයන් විසින් අරඹන ලද ජාතික විමුක්ති සටන තෙක් දිව යයි.

මේ රටේ දේශපාලන ක්ෂේත‍්‍රයේ උන් දේශපාලනඥයන් අතරින් ඒ ජාතික විමුත්කි සටනට වැඩියෙන්ම දායක වූ දේශපාලකයා විමල් වීරවංශ බව මගේ වැටහීමයි. බාගවිට එකම පුද්ගලයාද ඔහු වන්නට පුළුවන. පිලිප් ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන ආදීන් ගත් ජාතිකවාදී මඟ යළි පණ පොවා වත්මන් පරපුරට සරිලන සේ ඉදිරිපත් කරන ලද්දේ වීරවංශයන් විසිනි.

විමල් වීරවංශ ලබා දුන් එකී දායකත්වයේ අතීත කතාව සටහන් කිරීමට පළමුව එහි වත්මන් කතාවෙන් මේ සටහන පටන්ගත යුතුයැයි සිතමි.

2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග ජාතික බලවේග නියෝජනය කළ අප තුළ ඇති වූයේ මහත් කම්පනයකි. දැඩි අනාථභාවයකින් අපි පෙළෙන්නට වීමු. ආප්ප කා රනිල් වික‍්‍රමසිංහ වෙත ගිය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වීමත් සමග ජාතික බලවේග යටපත් වී විජාතික බලවේග හිස ඔසවන බව සක්සුදත් සේ පැහැදිලි විය. විපිළිසර වූ මනසින් යුතු අපට ඒ සඳහා අවශ්‍ය පිළියම දැක ගත හැකි නොවීය. ඒ පිළියම අපට පාදා දෙන ලද්දේ විමල් වීරවංශයන් විසිනි. එහි ප‍්‍රතිඵය වූයේ ‘මහින්ද සමග නැගිටිමු’ යන උද්ඝෝෂණ පාඨය මුල්කරගත් නුගේගොඩ පැවැති දැවැන්ත ජන රැළියයි. එය කිසිවෙකු නොසිතූ ලෙස අතිශය සාර්ථක විය. මහින්ද රාජපක්ෂ මහතාද එවැන්නක් අපේක්ෂා නොකරන්නට ඇත. අභාග්‍යය නම් අද වන විට ඒ සියල්ල බොහෝ දෙනෙකුට අමතක වී තිබීමයි. සමහරුන් නම් එය උවමනාවෙන්ම අමතක කරන බව පෙනේ.

ඒ රැළිය හා බැඳුනු මා සිත රැඳී ඇති සැමරුම් කිහිපයක් ප‍්‍රස්තුතයට අදාළ නොවූවද මෙහි බහාලීම වැදගත් යැයි සිතමි. ඒ රැළියේ මුලසුන ගැනීම සඳහා ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වූ සංඝ පීතෘවරයෙකු සොයා ගැනීම අවශ්‍ය විය. ඒ සඳහා කොළඹ අවට වූ නායක හිමිවරුන් කීපදෙනෙකු වෙත ගොස් අපි ඇරයුම් කළෙමු. උන් වහන්සේලාගෙන් කිසිවෙකු නොවේ අපේ ඇරයුම පිළිගත්තේ. අවසානයේදී අපි ඕමාරේ කස්සප හිමියන්ගේ සහාය ඇතිව දක්ෂිණ ලංකා ප‍්‍රධාන සංඝ නායක පල්ලත්තර සුමන ජෝති හිමියන් සම්බන්ධ කර ගැනීමට තැත් කළෙමු. සුමනජෝති නාහිමියන් මුණ ගැසීම සඳහා ගෙවිඳු කුමාරතුංගත්, මමත් ගාල්ලට ගියෙමු. රෝගී තත්වයේ උන් නායක හිමියන් අපගේ ආරාධනාව පිළිගැනීම ඉමහත් සැනසිල්ලක් විය. අප සමග එහි ගිය වසන්ත දේවසිරි මහතා උන්වහන්සේ සිය මොටෝරියෙන් ගෙන ඒමට පොරොන්දු විය.

ඒ රැළියට සහභාගී වන ලෙස ඒ වන විට විපක්ෂයේ උන් සියලුම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ටත්, වාමාංශික දේශපාලන නායකයන්ටත් අපි ආරාධනා කෙළෙමු. ඔවුන්ගෙන් වාමාංශික දේශපාලකයන් පමණකි වේදිකාවේ අසුන් ගත්තේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙතුන් දෙනෙක් ජනතාව අතර වූ නමුදු වේදිකාවේ අසුන් ගැනීමට ඔවුහු අකමැති වූහ. දඩබ්බර මනසකින් යුත් කුමාර වෙල්ගම මහතා පමණි අප සමග වේදිකාවේ අසුන් ගත්තේ.

මා මේ කරුණ සඳහන් කළේ අප ආ ගමන කෙතරම් කටු කොහොල් බාධක අතරින් ආ ගමනක්ද යන්න පෙන්වීම සඳහාය.

මා විමල් වීරවංශ මහතා දැන හඳුනාගත්තේ ජේවීපිය විසින් ආරම්භ කරන ලද ‘ලංකා’ පත‍්‍රයට ඔහු විසින් සපයන ලද ලිපි පෙළක් මඟිනුයි. ඒ ලිපි ජේවීපියට වැළඳී තිබූ මාක්සවාදී බරවායෙන් මිදුණු මනසක් ඇත්තෙකු විසින් ලියන ලද ඒවා බව මට වැටහිණි. එපමණක් නොව ජාතිකවාදී ස්ථාවරයක්ද ඒවා තුළ ගැබ්ව තිබිණි. ඒ වන විට ම විසින්ද ‘ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු’ කෘතිය මගින් ජේවීපිය ජාතිකවාදී ස්ථාවරයක් වෙත එළඹීමේ වැදගත්කම පෙන්වා දී තිබිණි. අප දෙදෙනා ඔවුනොවුන් වෙත ළං වූයේ මේ අයුරිනි.

එහි ප‍්‍රතිඵලය වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නොමඳ අනුග‍්‍රහය මත ‘දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය’ ආරම්භ වීමයි. ඒ අනුග‍්‍රහය පිටුපසින් සිටි පුද්ගලයන් සිව්දෙනා සෝමවංශ අමරසිංහ, විමල් වීරවංශ, වසන්ත බණ්ඩාර සහ සේනාරත්න සිල්වා බව මගේ වැටහීමයි. ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සහභාගීත්වයද අපට විශාල ශක්තියක් විය. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයට රට පුරා රස්වීම් විශාල ප‍්‍රමාණයක් සංවිධානය කිරීමට හැකි වූයේ ජනතා විමුක්ති පෙරමුණේ අනුග‍්‍රහය ලබාගැනීමට හැකිවී තිබූ බැවිනි. ඒ සඳහා පුරෝගාමීව කටයුතු කළේ විමල් වීරවංශයි.

ජේවීපියත් ජාතිහිතෛෂී බලවේගත් අතර ඇතිවූ මේ සංයෝගය ඇතැම් ජේවීපී සාමාජිකයන්ගේද ප‍්‍රසාදයට හේතු නොවිණ. සංවිධානාත්මක දේශපාලන ව්‍යුහයකින් තොරවූ ජාතික බලවේගවලට කිසිදු ශක්තියක් නොමැති බවයි ඔවුන්ගේ අදහස වූයේ. මීට හේතුව මතවාද සතු ශක්‍යතාවය පිළිබඳව ඔවුන් තුළ වූ අනවබෝධයයි. මුළු මහත් ජනතාවකගේ මනසට ආමන්ත‍්‍රණය කරන මතවාදයකට සංවිධානාත්මක දේශපාලන ව්‍යුහයක් ඉක්මවා සිටින ශක්තියක් තිබේ. මීට හොඳම නිදසුන ලෙස මා දකින්නේ මේ රට තුළ මහා චින්තන විප්ලවයක් සිදු කළ අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරයයි. එතුමාට එවැනි සංවිධාන – දේපාලන ව්‍යූහයක් නොතිබුණි. තිබුණේ ජාතික මනස අවදි කිරීමට සමත් වූ ජාතිකත්වය මත පදනම්වූ ප‍්‍රබල මතවාදයකි. දේශහිතෛෂී ව්‍යාපාරයටද එවැනි ප‍්‍රබල මතවාදයක් තිබිණ. මෙදා ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග‍්‍රහණයට හේතු වූයේ එම ප‍්‍රබල ජාතික මතවාදය නොවේද?

ජාතික බලවේගත්, ජේවීපියත් අතර ඇතිවූ මේ සුසංයෝගය රටට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද මහත් ඵල මහානිසංස අත්කර දුන් බව මගේ වැටහීමයි. 2000 වසරේ පැවති ඡන්දයෙන් ජේවීපියට ලබාගත හැකිවූයේ ආසන 10 ක් පමණි. 2001 දී ශ‍්‍රීලනිප සමග එක්වී සාදන ලද පරිවාස ආණ්ඩුවට සහභාගී වීම නිසා ඉන්පසු පැවති මැතිවරණයෙන් ආසන 16 ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. ඉන් ඉක්බිතිව 2005 දී ශි‍්‍රලනිපය සමග එක්වීම නිසා ආසන 42 ක් ලබාගැනීමට ජේවීපිය සමත් විය. ඒ සුසංයෝගයේ ගෞරවය හිමිවිය යුතු තැනැත්තා විමල් වීරවංශයි.

මේ සුසංයෝගය නිසයි 13 වන සංශෝධනය මගින් එක් කරන ලද උතුර සහ නැගෙනහිර වෙන් කරගත හැකිවූයේ. ඊට අදාළ නඩුව සඳහා නීතිඥයන් සොයා ගැනීමේ කාර්යය පැවරුණේ මා වෙතය. මගේ මිතුරන් වන එච්. එල්. ද සිල්වා, එස්. එල්. ගුණසේකර, ගෝමින් දයාසිරි යන දේශපේ‍්‍රමී නිතිඥයන් ඊට එක් කිරීමට මම සමත්වීමි. ඒ සඳහා අවශ්‍ය මුස්ලිම් පෙත්සම්කරු සොයාගනු ලැබුවේ විමල් වීරවංශ විසිනි. උතුරු නැගෙනහිර වෙන්කර ගැනීම ඒ සුසංයෝගය ලද මහා ජයග‍්‍රහණයක් විය.

2007 දී අයවැය ඉදිරිපත් කිරීමේදී මහින්ද රාජපක්ෂ රජය බේරාගනු ලැබුවේ මේ සුසංයෝගය විසිනි. එදා මහින්ද රාජපක්ෂ රජය පරාජය වූවා නම් ඒ රජය පමණක් නොව මුලු රටමද පරාජය වනවා නිසැකය. ප‍්‍රභාකරන් පැරදවීමේ සටන එයින් ඉවර වන්නට තිබුණි. ප‍්‍රභාකරන්ට එරෙහිව සටන් වදින ලෙස රජයට බල කර සිටියේ මේ සුසංයෝගයයි.

ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශ සහ සෝමවංශ ජේවීපියෙන් ඈත් වීමත් සමග මේ සුසංයෝගය බිඳ වැටිණි. ජේවීපියේ ඡන්ද ප‍්‍රතිශතය අද වන විට 3% දක්වා පල්ලම් බැස ඇත්තේ එහි ප‍්‍රතිඵලය වශයෙන් නොවේද? ජේවිපිය අද මෙහෙයවනු ලබන්නේ මාක්ස්වාදය විසින් නොව අවස්ථාවාදය විසිනුයි. ඊනියා දූෂණ විරෝධී සායම අතුල්ලා ගැනීමෙන් ඒ අවස්ථාවාදය වසන් කළ හැකි නොවේ.

2010 දී විමල් වීරවංශ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ගෙනා යුද අපරාධ චෝදනාවලට එරෙහිව උපවාසයක යෙදුනේය. එවේලෙහි එය ඇතමුන්ගේ උසුළු විසුළුවලට භාජනය වූ හැටි අපි දුටුවෙමු. ඒ උසුළු විසුළුවල ප‍්‍රතිඵල දැන් අපි අත් විඳිමු. දැන් ඒ චෝදනා රට දෙකඩ කරන තත්ත්වයට වර්ධනය වී තිබේ. වීරවංශ එදා නැගූ විරෝධය මහා මහජන විරෝධයක් බවට පත් කළේ නම් මේ උවදුර අවම කර ගැනීමට අපට හැකිවන්නට තිබුණා නොවේද? සිය දුෂ්ට සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට පෙර විජාතික සතුරන්ට දෙවරක් සිතීමට සැලැස්විය හැකිව තිබුණා නොවේද? අප කළේ වීරවංශයන් නිගාවට ලක් කර ‘පාලු ගෙයි වළං බිඳීමට’ ඉඩදී ඔවුන් ඉදිරියේ දණ ගැසීමයි. එහි ප‍්‍රතිඵල දැන් අප අත් විඳිමු.

විමල් වීරවංශයන් අනුගමනය කළ ජාතික මතවාදය නිසා ඔහුත් මහින්ද රාජපක්ෂ රජයත් අතර මත ගැටුම් ඇතිවූ සැටි අපි දුටුවෙමු. රාජපක්ෂ රජය අනුගමනය කළ නව ලිබරල්වාදී ආර්ථිකය ඇතුළු සමහර ප‍්‍රතිපත්ති ඔහුගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. එවේලෙහි විමල් වීරවංශ ඒ රජය තුළ රැඳී සිටියේ රටේ ජාතියේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා යැයි මම සිතමි.

වීරවංශ ගෙන ගිය ඒ සටන ගෝඨාභය රාජපක්ෂ ජයග‍්‍රහණයෙන් මස්තකප‍්‍රාප්ත වී ඇතැයි සිතුවහොත් එය අතිශය මුලාවකි. ගෝඨාභය ජයග‍්‍රහණයෙන් සිදුවී ඇත්තේ ඒ සටනට අත හිත දෙන නායකයෙකු දේශපාලන කරලියට සම්ප‍්‍රාප්ත වීම පමණි. ජාතික සටනට වැඩි ඉඩ ප‍්‍රස්ථාවක් ඇතිවීම පමණි. ඒ ජාතික සටන අඩපණ කිරීමට මෙරට පිටරට දෙරටේම සිටින සියලු සතුරු බලවේග තව ටික දිනකින් කල එළි බසිනු ඇත. මේ රජය තුළින්ම ඒවා මෝදු වන්නට පුළුවන. එබැවින් විමල් වීරවංශයන් ප‍්‍රධාන ජාතික බලවේගයන් මුහුණ පා ඇත්තේ නොනිමි සටනකටය. ඒ සටනට නායකත්වය දීමට විමල් වීරවංශයන් සූදානම් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ධෛර්ය, කැපවීම, ඔහු සතු වේවා යන්න අපගේ ප‍්‍රාර්ථනයයි.

සිය දේශපාලන දිවියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර භූමිකාවට විසි වසරක් පිරෙන මේ මොහොතේ අපි ඔබට සුභ පතමු.

– සාහිත්‍යශූරී ආචාර්ය ගුණදාස අමරසේකර

***************************************

පිබිදෙන පොළොන්නරුව කියා මෛත්‍රී කළේ සල්ලි හොරකම් කරන එකයි – රොෂාන් රණසිංහ

(27.02.2020 – colombotoday.com)

‘එළැඹෙන මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෛත්‍රිපාල සිරිසේන අනිවාර්යයෙන්ම පරාද වෙනවා. බලය තිබුණ සහ තියෙන මිනිස්සු කවුද කියලා පොළොන්නරුවේ මිනිස්සු දැන් දන්නවා’ යැයි පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

“මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉතා පැහැදිලිව කිව්වා ‘සන්ධානය ගොඩනැගීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් තනතුරක් දුන්නා. එයට පත් කරන පුද්ගලයා තීරණය කළේ අපි නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන්’ කියලා. මම හොඳටම දන්නවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලක්ෂ පහළොවක් නැහැ. උපරිම ඇති ඡන්ද ලක්ෂ දෙකක්. ශ්‍රී ලංකාකාරයෝ ඔක්කොම පොහොට්ටුවට ඇවිල්ලා ඉවරයි.

මෙතැනදී අපි බලන්න ඕනෑ දේ හතරවිලිලැජ්ජාවක් තියෙනවා නම් මෛත්‍රිපාල සිරිසේනට පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද කියල. එයාට තනතුරක් නැතුව ඉන්න බැහැ. එහෙම නැතුව මේ ඡන්දෙ ඉල්ලන්නේ මිනිස්සුන්ට තියෙන ආදරේකට නෙමෙයි.

මම පොළොන්නරු ජනතාවට කියනවා මේ සැරේ හොඳට බලන්න ශ්‍රී ලංකා, යූඑන්පී, පොහොට්ටු මොන පක්ෂය බලයට ආවත් ඇමැතිකම් ගත්ත අය කවුද කියලා. එයාලව පරාද කරන්නම ඕනෑ. මෛත්‍රිපාල සිරිසේන ‘පිබිදෙන පොළොන්නරුව’ කියල තනිකරම කළේ මූල්‍ය වංචාවක්. කෝටි හයදහස් තුන්සීයක් පොළොන්නරුවට වියදම් කළා කියලා කියනවා. ඒත් මම ඉතා වගකීමෙන් කියනවා කෝටි හාරදහසකට වඩා ගසා කෑවා.

මම ජනාධිපතිතුමාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කරන්න සූදානම් මේ පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කරන්න කියලා. මම කවදාවත් ​පොළොන්නරුව ජනතාව දාලා යන්නේ නැහැ. ​පොළොන්නරු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් හැමදාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දේශපාලනය කරනවා” ෴

***************************************

අලුත්ම නාඩගම මෙන්න. ලංකාවේ සංචාරක කර්මාන්තයට තවුහිඩ් ජමාත් මොහොමඩ්ගෙන් ‘හලාල් ටුවර්ස්’

(27.02.2020 – colombotoday.com)

විටෙක ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වූ ඈත ඉතිහාසයේ සිට සංචාරක ආකර්ෂණයට ලක්වූ ශ්‍රී ලංකාව තුල සංචාරක කර්මාන්තය රටේ ආදායම ඉහල නංවන ව්‍යාපාරයක් බවට වර්තමානයේ පත්ව තිබේ.

සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා ඕනෑවටත් වඩා සම්පත් අප රට තුල තිබෙද්දිත් අලුතින් ‘හලාල් ටුවර්ස්’ නමින් මොහොමඩ් ෆරාස් නැමැත්තෙක් විසින් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මෙරට ආහාර පද්ධතිය හලාල් කිරීමෙන් පසුව මුස්ලිම් ජන සමාජය ක්‍රම ක්‍රමයෙන් මහ සමාජයෙන් වෙන් වීමට පටන් ගැනීමේ උච්චතම අවස්ථාව ලෙස මුලධර්මවාදී අන්තවාදීන් පිරිසක් බිහිවී රටේ ජිවත් වන අනෙකුත් සහෝදර ජනයා දෙවියන්ගේ නාමයෙන් මරාගෙන මැරෙන ම්ලේචයන් පිරිසක් බිහි විය.

සමස්ත හලාල් ක්‍රියාවලිය තුලින් සමාජ බෙදුම් වාදය ව්‍යාප්ත වීම දැඩි ලෙස පවතිද්දී මුල්‍ය ලාභ අපේක්ෂාවෙන් ඇරඹි හලාල් ක්‍රියාවලියට තිත තැබීමට බලධාරින් අසමත් වෙද්දී සංචාරක ව්‍යාපාරය ද දෙකඩ කරමින් හාලාල් සංචාරක ව්‍යාපාරයක් බිහි කිරීම මෙරටේ සහජීවනය ආරක්ෂා කිරීමට කෙතරම් දුරට බලපාන්නේද යන්න බලධාරීන් කල්පනා කල යුතුව ඇත.

මෙම ව්‍යාපාරය සිදුකරන තැනැත්තා වන මොහොමඩ් ෆරාස් නැමැත්තා තවුහිඩ් ජමාත් මතවාදය දරන්නෙක් බවට කරුණු වාර්තා වේ. කොච්චිකඩේ පල්ලියට මරෙගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ මොහොමඩ් හස්තුන් නැමැත්තා සාමාජිකත්වය දැරූ ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වෙන අතර, ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයට අදාළ පොස්ට් අන්තර්ජාලය තුල හුවමාරු කර ගන්නා ආකාරය දක්නට ලැබේ ෴

***************************************

කෝමාරිකා වවන්න පරිසර ඇමති චන්ද්‍රසේන විල්පත්තුව ප්‍රේරක කලාපය වනසයි

(27.02.2020 – timesoflanka.com)

පරිසර හා ඉඩම් කැබිනට් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ මුලිකත්වයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ ප්‍රේරක කළාපය තුල පිහිටි රාජාංගණය යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සඳහා අක්කර 100 කට වැඩි ප්‍රදේශයක් විනාශ කරමින් සිටින බව ප්‍රදේශවාසීන් පවසයි.

‘වියළි කලාපීය ග්‍රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘතිය’ ලෙස නම්කර ඇති මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන්නේ ‘ඕරා ලංකා හර්බල්ස්’ නම් සමාගමක් විසින් වන අතර එය දේශීය වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින පුද්ගලයකුට අයත් සමාගමක් බවද සඳහන් වේ. මෙම පුද්ගලයා කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සිදුකරන මුවාවෙන් පරිසර හා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන සමඟ එක්ව රාජාංගණය යාය 18 නීති විරෝධී ඉඩම් අත්පත් කරගැනීමේ වෑයමක නිරතවන බවත්, ඒ සඳහා එන විරෝධය මැඩපවත්වා ගැනීම පිණිස එම ප්‍රදේශයේ ජනතාවට විවිධ ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් ඔවුන් සතු බලපත්‍ර ඉඩම් අත්පත් කරගනිමින් සිටින බවත් වාර්තා වෙයි.

මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතිය නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 329 කටුපත් වැව වසමේ හා ඊට යාබද හොරුවිල, වනමල්ගම, ගල්කඩවල යන ප්‍රදේශ තුල සිදුකෙරෙමින් පවතින අතර එම ගම්මාන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ ප්‍රේරක කලාපය තුල සහ ආසන්නයේ පිහිටා තිබේ.

පරිසර සංවේදී කලාපයක සිදුවන මෙම ව්‍යාපෘතිය සඳහා කිසිඳු අවසරයක් මේ වන තෙක් ලබාගෙන නොමැති බවත්, අදාළ අමාත්‍යවරයාගේ බලය යුතු ලෙස භාවිතා කරමින් නීති විරෝධී ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය සිදුකරගෙන යන බවත් නිලධාරීන් පවසයි.

කෝමාරිකා ව්‍යාපෘති සමාගමේ හිමිකරු දොස්තර තාඹුගල නැමැත්තා අමාත්‍ය චන්ද්‍රසේන මහතාට භුමිය පෙන්වන අයුරු

පසුගිය 23 වන දින පරිසර හා ඉඩම් කැබිනට් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යෝජිත කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා රාජාංගණය, යාය 18, පනන්කානීය ඇල හරහා අමුණු වේල්ලක් ඉදිකිරීමේ වැඩ ආරම්භ කළ අතර එහිදී පරිසර හා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ විසින්ම බුල්ඩෝසරයක් හසුරවමින් පරිසරය වනසනු දක්නට ලැබුණි.

පරිසර හා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ විසින්ම බුල්ඩෝසරයක් හසුරවමින් පරිසරය වනසනු දක්නට ලැබුණි

මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය ප්‍රදේශ වල අඩු අදායම්ලාභී ගොවීන්ට යම්කිසි ප්‍රතිලාභ ලැබෙන බවට මෙම ව්‍යාපෘතිය සිදුකරන පෞද්ගලික සමගම පවසා සිටින නමුත් මෙහි ඇති ගැටලුව එය නොවේ. ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික පණත අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක හෙක්ටයාරයකට (අක්කර 2.4) වැඩි භුමි ප්‍රදේශයක් යම්කිසි සංවර්ධන කටයුත්තකට හෝ වෙනත් ව්‍යාපෘතියකට යොදාගන්නේ නම් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියම කරන පරිදි මුලික පරිසර අධ්‍යයන වාර්තාවක් හෝ පරිසර හානි තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කොට, එය මහජන අදහස් විමසීමකට ලක් කර මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබාගත යුතු බව පරිසර සංවිධාන පවසයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සිදුකෙරෙන ප්‍රදේශය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය තුලට අයත්වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන අතර, එය ජාතික පාරිසරික පණත, වන සත්ව හා වෘක්ෂලතා අඥා පණත, වන සංරක්ෂණ අඥාපණත මගින් පනවා ඇති සීමා උල්ලංඝනය කිරීමක් බවත්, මෙම ප්‍රදේශය පුරාවිද්‍යා නටඹුන් බහුලව දක්නට ලැබෙන ප්‍රදේශයක් වන බැවින් එවන් ප්‍රදේශයක මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් සිදුකරන්නේ නම් පුර විද්‍යා හානි ඇගයීම් වාර්තාවක් සකස්කොට පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ අවසරය ලබාගත යුතු බවත් පරිසර සංවිධාන පෙන්වා දෙයි.

අදාල ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායරුප සහිත සිතියම (ඉහල)

ස්තුතිය: විල්පත්තුව සුරකිමු ෆේස්බුක් පිටුව, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්

+++++++++++++++++++++++++++++++++++

වන විනාශය වැලක්වීමට ගිය නිලධාරීන්ට පරිසර ඇම¤ සේනචන්ද්‍රගේ බිරිඳගේ මැරයින් පහර දෙයි

(27.02.2020 – times-of-lanka-com ඇසුරෙන්)

අනුරාධපුර, නාච්චාදූව ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු රක්ෂිත වනාන්තරයක් අනවසරයෙන් එළිකිරීමක් පිලිබඳ ලැබුණු තොරතුරක් මත එම වන විනාශය වැලක්වීමට ගිය වන සංරක්ෂණ නිලධාරින්ට මැර කණ්ඩායමක් පහර දී ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැකිරාව අඩවියේ තිරප්පනේ බීට්ටු වන නිලධාරි කේ. එම්. කපිළ දිනේෂ්, එරුවාව වන ක්ශේත්‍ර සහකාර රවීන්ද්‍ර කුමාර යන මහත්වරුන් මෙලෙස පහර කෑමට ලක් වී ඇත්තේ පසුගිය 23 වැනිදා ය. එම පහර දුන් පිරිස පවසා ඇත්තේ තමන් පරිසර සහ ඉඩම් ඇම¤ සේනචන්ද්‍රගේ අවසරය මත මෙම කැලෑව එළි කරන බවයි.

මේ වනවිට ආදාළ වන සංරක්ෂණ නිලධාරින් දෙදෙනා අනුරාධපුරය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිදුවීම සිදු වී දින තුනක් ගතව ඇතත් තවම කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. මෙයට විරෝධය පා වනසංරක්ෂණ නිලධාරීන් අද (26) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කොට නොමැති බවද වාර්තා වේ.

මේ පිළිබඳව ප්‍රාදේශීය වාර්තාකරුවන් මාර්ගයෙන් සොයා බැලූ අපට දැනගැනීමට ලැබුණේ පරිසර සහ ඉඩම් ඇම¤ සේනචන්ද්‍රගේ බිරිඳ විසින් මෙම පිරිස මෙහෙයවා ඇති බවය. මේ වන විටත් ඇම¤ සේනචන්ද්‍රගේ බිරිඳ පොලිස් ස්ථාන වලට දුරකථන ඇමතුම් දෙමින් මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට බලපෑම් සිදුකරන බව ද අනාවරණය විය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ලඟ ලඟම පැමිණෙන බැවින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගැනීමේ අරමුණින් ඇම¤ සේනචන්ද්‍ර මේ වන විට තම ඇම¤ බලතල අයුතු ලෙස භාවිතා කරමින් ලහි ලහියේ ජනතාවට අල්ලස් වශයෙන් ඉඩම් බෙදාදෙමින්, වන අලි පලවා හැරීමට යැයි පවසා කැලෑ වනසමින්, ගිනි අවි බෙදමින් උමතුවෙන් මෙන් කටයුතු කරන බව ප්‍රදේශවාසීන් පවසයි.

මේ වන විට පරිසර සහ ඉඩම් ඇම¤ සේනචන්ද්‍රගේ අනුබලය මත අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම පිහිටි ඔරුගලයාය රක්ෂිතය සහ මෙම නාච්චාදූව රක්ෂිතය වනසා තිබේ. එමෙන්ම රාජාංගණය යාය 18 ප්‍රදේශයේ විල්පත්තු ජාතික වනෝද්‍යාන මායිමේ ප්‍රේරක කලාපය වනසමින් කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සිදුකිරීම සඳහා මැදිහත් වී ඇත්තේද පරිසර ඇම¤ සේනචන්ද්‍ර බව තතු දත් ආරංචිමාර්ග පවසයි. ඔහුට විරුද්ධව පරිසර සංවිධාන ප්‍රමුඛ සිවිල් පුරවැසියන්ගෙන් විශාල විරෝධයක් එල්ල වෙමින් තිබෙන නමුත් ඔහුගේ මෙම අත්තනෝමතික වැඩපිළිවෙල පිලිබඳ ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ අවධානය තවමත් යොමුවී නොමැති වීම කණගාටුවට කරුණකි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *