ජිනීවා යෝජනාවලට සම අනුග්‍රහය දෙන්න එපා යැයි රවිනාථ මංගලගෙන් ඉල්ලලා – උදය ගම්මන්පිල

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ජිනීවා යෝජනාවලට සම අනුග්‍රහය දෙන්න එපා යැයි රවිනාථ මංගලගෙන් ඉල්ලලා – උදය ගම්මන්පිල (විඩියෝ)

• සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව ඇමති දිනේෂ් ජිනිවා කවුන්සිලයට දැනුම් දෙයි (විඩියෝ)

• ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ – වාචික කරුණු දැක්වීම අද (27)

• පළාත් දෙකකට අධික උණුසුමක් – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

• රට පුරා මද්‍රසා පාසල් දහසක්

• පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ලැබී තිබු ඊමේල් පණිවුඩයක් ගැන ජනපති කොමිසමේදී හෙළිවෙයි (විඩියෝ)

• සබීතාගේ ගොඩනැගිල්ලට පොලිසියෙන් කොටසක්

• සතියක් තුල පාර්ලිමේන්තුව විසුරුවන බවට තොරතුරු ඇතැයි මැතිවරණ කොමසාරිස් කියයි (විඩියෝ)

• වැඩිපුර වතුර බොන්නැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස්

• ටිකට් ගැටලුවක් නිසා සූරියවැව උණුසුම් (විඩියෝ)

• කැළණිය සරසවියේ CCTV ගැලවූ සිසුන්ට විනය පියවර (විඩියෝ)

• කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරි ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වෙයි (විඩියෝ)

• ගුරු වර්ජනය අතරේ සිසුවෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම (විඩියෝ)

• ගුරු – විදුහල්පතිවරුන් හෙට (27) සිට අකුරට වැඩ

• පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ඇප (විඩියෝ)

• නේවි සම්පත් නොවු නේවි සම්පත් (විඩියෝ)

• අන්‍යාගමිකකරණය ගැන සුපරික්ෂාකාරී වන්නැයි අගමැති සංඝරත්නයෙන් ඉල්ලයි (විඩියෝ)

• බැඳුම්කර මංකොල්ලයට වසර 5 යි

• නීති විරෝධී කොටි දත් අලෙවි කරන්නන් නීතියේ රැහැනට හසුකරගත් හැටි (26-02-2020) (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ජිනීවා යෝජනාවලට සම අනුග්‍රහය දෙන්න එපා යැයි රවිනාථ මංගලගෙන් ඉල්ලලා – උදය ගම්මන්පිල

(26.02.2020 – 06:29 +0530 – lankaleadnews.com)

ජිනීවා යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය ලබාදී රට අමාරුවේ නොදමන ලෙස ජිනීවා නුවර ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ රවිනාථ ආරියසිංහ මහතා විසින් එවකට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර ගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවැසීය :

“යුද අපරාධ කළ බවට නගන චෝදනා කිසිම සාක්ෂියක් නොමැති හිතළු වීම අතිශයින්ම හාස්‍යජනකයි.

අපේ හමුදා යුද අපරාධ නොකළ බව යුද සමයේ ලංකාවේ සිටි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් සැකසූ වාර්තාවලින් පැහැදිලි වෙනවා.

අතුරුදන්වූ බව කියන සමහර පුද්ගලයන් සරණාගතයන් විදියට යුරෝපීය රටවලට ගිහින්.

ඒ අයගේ තොරතුරු ලංකා රජයට ලබාදුන්නොත් මියගියා කියන අය ඇත්තටම ඉන්නේ කොහේදැයි දැනගන්නට පුළුවන්.

ලෝකයේ කිසිම රටක් තමන්ට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දක්වලා නැහැ. සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වෙනවා කියන්නේ එකී යෝජනාවේ අඩංගු කරුණු ලංකාව පිළිගන්නේ නැහැ කියන එකයි. අපිට සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට තාක්ෂණික හේතු, හරයාත්මක හේතු සහ ප්‍රායෝගික හේතු වශයෙන් හේතු වර්ග තුනක් තිබෙනවා.

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් තිබුණු සංහිඳියාවත් නැති වුණා.

පසුගිය ජනාධිපතිවරණය තරමට ජනතාව වාර්ගිකව බෙදුණු මැතිවරණයක් ලංකා ඉතිහාසයේ නැහැ. සිංහල ජනතාවගෙන් සියයට හැත්තෑවක් එක් අපේක්ෂකයකු තෝරා ගන්නා විට, සුළු ජාතීන්ගෙන් සියයට අසූපහක් තෝරා ගත්තේ ප්‍රතිවාදී අපේක්ෂකයා.

ඒකෙන් පෙනී යනවා ජිනීවා යෝජනාව අනුව පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා තිබුණු සංහිඳියාවත් නැතිවුණා කියන එක.”

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව ඇමති දිනේෂ් ජිනිවා කවුන්සිලයට දැනුම් දෙයි (විඩියෝ)

(26.02.2020 – 15:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැරූ යෝජනාවලින් ඉවත් වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කළා.

මීට ටික වේලාවකට පෙර එම කවුන්සිලයේ 43 වන සැසිවාරය අමතමින්, විදේශ අමාත්‍යවරයා දැනුම් දුන්නේ 40-01, 30-01 සහ 34-01 යන යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත් වන බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ – වාචික කරුණු දැක්වීම අද (27)

(27.02.2020 – 07:18 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් ශ්‍රී ලංකාව පිළිබඳව ජිනීවා මානව හිමිකම් සැසියේදී අද (27) වාචිකව කරුණු දැක්වීමට නියමිතයි.

ජිනිවා නුවර සිටින ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය සදහන් කළේ ඒ පිළිබදව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමට නියමිත බවයි.

එමෙන්ම, හෙට (28) අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හමුවනු ඇති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1, 34/1 සහ 40/1 යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත්වන බව ශ්‍රී ලංකාව ඊයේ (26) නිල වශයෙන් දැනුම් දුන්නා.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම දැනුම්දීම සිදු කළේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේ ඉහළ මට්ටමේ සාකච්ඡා සැසිය අමතමින්.

2015 ඔක්තෝම්බරයේදී 30/1 දරන සහ 2017 මාර්තුවේදී 34/1 දරන පූර්වගාමී යෝජනා සම්මුති ඇතුළත් කර 2019 මාර්තුවේදී සකස් කරන ලද, ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව වූ 40/1 යෝජනා සම්මුතිය’ සඳහා සම අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනීමට රජය පසුගියදා තීරණය කළා.

ඒ අනුවයි ඊයේ (26) සමුළුව අමතමින් විදේශ අමාත්‍යවරයා ඒ බව නිල වශයෙන් මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දුන්නේ ෴

***************************************

පළාත් දෙකකට අධික උණුසුමක් – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

(26.02.2020 – 10:04 +0530 – sinhala.adaderana.lk)

වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම , ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘වැඩි අවධානය’ යොමු කළ යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව ද නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් පෙන්වා දෙන කාලගුණ බලධාරීන් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින ලෙසත් ජනතාවට දැනුම් දෙයි ෴

***************************************

රට පුරා මද්‍රසා පාසල් දහසක්

(26.02.2020 – aruna.lk)

මේ වන විට රට පුරා මද්‍රසා ආයතන දහසකට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බවත්, ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 317 ක් පමණක් බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රකාශ කරයි.

මෙම කාරක සභාව විසින් නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන පරිදි මේ වන විට මද්‍රසා ආයතන 175 ක් අලුතින් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කර ඇත.

මෙම සියලු ආයතනවල සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 27,000 ක් පමණ වන බවද පවසන ආංශික අධික්ෂණ කාරක සභාව මුස්ලිම් දරුවන්ට පූර්ණ ඉස්ලාම් ආගමික අධ්‍යාපනය ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යා යුතු මද්‍රසා පාසල් සංඛ්‍යාව 50 ක උපරිමයකට යටත් කළ යුතු බවද නිර්දේශ කරයි.

දැනට මද්‍රසා ආයතනවල ඉගෙනුම ලබන සියලු සිසුන් 2023 වන විට පොදු අධ්‍යාපන ක්‍රමයකට අන්තර්ග්‍රහණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද පෙන්වා දෙන කාරක සභාව ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නිසි බලධරයා පත් කළ යුතු බවද සඳහන් කරයි.

මෙරට මුස්ලිම් ප්‍රජාවෙන් සියයට දෙකක් අන්තවාදී මතවාද වෙත නැඹුරුවක් දක්වන බව වාර්තා වී ඇතැයි පවසන කාරක සභාව එය ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් විය හැකි බවද පවසා සිටී.

එබැවින් ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සමාජ සහ මනෝ විද්‍යාඥ්‍යයන්ගේද දායකත්වයෙන් එම පිරිස රැඩිකල් කරන ක්‍රියාවලියකට යොමු කළ යුතු බව පවසන කාරක සභාව ඒ සඳහා ඉන්දියාව අනුගමනය කරන රැඩිකල් කරන ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයක් සුදුසු බවද සඳහන් කර තිබේ.

වර්තමානයේ ප්‍රචලිත වෙමින් තිබෙන මුදල් අයකරන මක්නම් ඉගැන්වීම් ක්‍රියාවලිය අත්හිටුවිය යුතු බවද කාරක සභාව අවධාරණය කර සිටී.

සිංහල පාසල, හින්දු පාසල, මුස්ලිම් පාසල යනුවෙන් දැනට ආගමික හෝ වාර්ගික අනන්‍යතාවක් සහිත නම් කර තිබෙන ජාත්‍යන්තර පාසල්වලින් එකී නම් ඉවත් කිරීමටද කාරක සභාව නිර්දේශ කර ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් ජයතිලක මහතා විසින් මෙම වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී ෴

***************************************

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ලැබී තිබු ඊමේල් පණිවුඩයක් ගැන ජනපති කොමිසමේදී හෙළිවෙයි

(26.02.2020 – 22:45 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳව සඳහන් වූ ඊමේල් පණිවුඩයක් කොළඹ උතුර භාර පොලිස් අධිකාරීවරයාට කලින් ලැබී තිබුනත් ඔහු එම පණිවුඩය පොලිස් ස්ථානවලට යොමු කර ඇත්තේ ප්‍රහාරය එල්ල වූ දිනයේ පස්වරුවේ බව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ ශ්‍රී ලංකා පොලිසියේ විද්‍යුත් තැපෑල පරීක්ෂා කළ ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරියා කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂි වලට අනුවයි.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (25) ප්‍රථමයෙන් සාක්ෂි ලබාදුන්නේ කොළඹ පොලිස් මූලස්ථානයේ තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී තාරක සෙනෙවිරත්න මහතායි.

ශ්‍රී ලංකා පොලීසියේ විශේෂිත ඊමේල් පද්ධතිය තුළ 2017 වසරින් පසු යම්කිසි දෝෂ සහගත තත්ත්වයක් මතුව ඇති බව සාක්ෂිකරු කොමිසම හමුවේ පෙන්වා දුන්නා.

අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා පොලිසියේ විද්‍යුත් තැපෑල පිළිබඳ තාක්ෂණික මෙහෙයුම් සිදුකළ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නියෝජිත රවිදු විජේබණ්ඩාර මහතායි.

සාක්ෂිකරු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ ප්‍රහාර එල්ල වන බවට අතින් ලද පණිවිඩයක් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කර ඇති අතර පසුව එය ඊ මේල් පණිවුඩ ලෙස කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පහළ පොලිස් ස්ථර වෙත යොමු කර තිබූ බවයි.

ඒ අනුව 2019.4.11 පෙ.ව. 09:57 ට කොළඹ උතුර, කො.දකුණ, කො.මධ්‍යම, වංචා විමර්ශන කොට්ශය, බස්නාහිර බුද්ධි කොට්ඨාශය, කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පණිවුඩය යවා තිබූ ආකාරය තමන් හඳුනාගත් බව සාක්ෂිකරු පැවසුවා.

කෙසේවෙතත් ඔහු වැඩිදුරටත් සදහන් කළේ කොළඹ උතුර කොට්ඨාශයෙන් එම පණිවුඩය පහළ අංශවලට ගලා යාමේ ගැටලුවක් මතුව තිබූ බවයි.

කොළඹ උතුර පොලිස් අධිකාරීවරයා එම පණිවිඩය පහළ පොලිස් ස්ථාන වෙත ලබාදී ඇත්තේ කුමන වේලාවේදැයි කොමිසම යළි විමසුවා.

එහිදී සාක්ෂිකරු පැවසුවේ ප්‍රහාරය එල්ල වූ දිනයේ පස්වරු 12.57 ට එම පණිවිඩය යවා ඇති බවයි.

දෙමටගොඩ, බ්ලුමැන්ඩල්, මට්ටක්කුලිය, කොළඹ වෙරළබඩ සහ මෝදර පොලිස් ස්ථාන වෙත මෙලෙස පණිවිඩය යවා ඇති බව කොමිසම හමුවේ අනාවරණය වුණා.

කොමිසම එහිදී විමසා සිටියේ ඉහත පොලිස් නිලධාරියා සඳහන් කළ ආකාරයට අදාළ විද්‍යුත් පණිවිඩ හුවමාරු පද්ධතියේ හඳුනා ගෙන ඇති දෝෂ කවරේද යන්නයි.

එහිදී සාක්ෂිකරු සඳහන් කළේ එම පද්ධතිය තුල ඇත්තේ දෝෂ පමණක් බවයි.

***************************************

සබීතාගේ ගොඩනැගිල්ලට පොලිසියෙන් කොටසක්

(26.02.2020 – 20:24 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යංශය පැවති, දැඩි කතාබහට ලක්වුණු ප්‍රවීන රංගන ශිල්පිනී සබීතා පෙරේරාට අයත් රාජගිරියේ ගොඩනැගිල්ල ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් වෙත ලබාගැනීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුවේ පහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ [CID ගොඩනැගිල්ලේ] දැනට ක්‍රියාත්මක වන පොලිස් විශේෂ විමර්ශන ඒකකය, පොලිස් බඳවාගැනීම් අංශය ඇතුලු පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් අංශ කිහිපයක කාර්යාල, රාජගිරියේ ගොඩනැගිල්ල වෙත ගෙනයාමට නියමිතයි.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව (CID) පොලිස් ත්‍රස්ත විමර්ශණ කොට්ටාශය (TID) යන ආයතන රාජගිරියේ ගොඩනැගිල්ල වෙත රැගෙන නොයන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවා.

පසුගිය යහපාලන රජය බදු පදනම මත ලබාගත් රාජගිරියේ මෙම ගොඩනැගිල්ල ගිවිසුම අනුව තවත් වසර 2 ක කාලයක් රජයට බදු අයිතිය පවතින නිසා ඒ කාලයට පමණක් පොලිස් දෙපාර්තමේන්තුවට මෙම ගොඩනැගිල්ල භාවිතා කළ හැකි වනවා ෴

***************************************

සතියක් තුල පාර්ලිමේන්තුව විසුරුවන බවට තොරතුරු ඇතැයි මැතිවරණ කොමසාරිස් කියයි

(26.02.2020 – 20:03 +0530 – hirunews.lk/sinhala)

සතියක් තුළ පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

කොමිෂන් සභා කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා පැවසුවේ මහමැතිවරණය පැවැත්වීම සඳහා අවම වශයෙන් රුපියල් කෝටි 550 ක් අවශ්‍ය බවයි.

මේ අතර පිළිගත් දේශපාලන පක්ෂ වල ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් අද (26) පස්වරුවේ පැවැත්වුණා.

***************************************

වැඩිපුර වතුර බොන්නැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස්

(26.02.2020 – 19:38 +0530 – hirunews.lk/sinhala)

වියළි කාලගුණයක් පැවතුණ ද, විදුලිය විසන්ධි කිරීමක් හෝ ජල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල මණ්ඩලය සහ ජලසම්පාදන මණ්ඩලය පවසනවා.

අඩු පීඩනයක් යටතේ කෙසේ හෝ ජලය ලබාදීමට කටයුතු කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා මෙගාවොට් 128 ක විදුලි ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් කඩිනමින් මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ද තීරණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තාප බලාගාරවලින් මේ වනවිට විදුලිය ජනනය සිදුවන බවයි.

අධික විදුලි ඉල්ලුමක් පවතින අවස්ථාවන්වලදී පමණක් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කරන බව ද ඔහු කියා සිටියා.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළේ අඩු පීඩනයක් යටතේ හෝ කප්පාදුවකින් තොරව ජලය ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර, පානීය ජලයට ලවණ මිශ්‍ර වී ඇති බව පවසමින් කළුතර ප්‍රදේශ කිහිපයක ජනතාව අද කළුතර නගර මධ්‍යයේදී විරෝධතාවක නිරත වුණා.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක පුද්ගලයින් දෙලක්ෂ විසිඅට දහස් තුන්සිය අනූ හතරකට බලපෑම් එල්ල වී ඇති බවයි.

එසේම, වයඹ, බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ පවතින උණුසුම් කාලගුණයත් සමග ජනතාව හැකිතාක් පිරිසිදු ජලය පමණක් පානය කළ යුතු බවයි ෴

***************************************

ටිකට් ගැටලුවක් නිසා සූරියවැව උණුසුම්

(26.02.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන එක්දින තරඟය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී ඇති වූ ප්‍රමාද දෝෂයක් මුල් කර ගනිමින් ක්‍රීඩාංගනයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා අද (26) දිනයේ විවෘතව තිබුණේ කවුලු 2 ක් පමණයි.

ඒ හේතුවෙන් ප්‍රේක්ෂකයන් ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකින් තොරව ක්‍රීඩාංගනයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර එය වැළැක්වීම සඳහා පොලීසිය කටයුතු කිරීමේදී දෙපාර්ශවය අතර ගැටුමක් හට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත්, අප සූරියවැව පොලීසියෙන් සිදුකළ විමසීමේදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවූ නමුත් ගැටුම්කාරි තත්ත්වයක් ඇති නොවූ බවයි.

මේ අතර, සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 345 ක් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනා ගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර, ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 119 ක් රැස් කළා.

+++++++++++++++++++++

***************************************

කැළණිය සරසවියේ CCTV ගැලවූ සිසුන්ට විනය පියවර

(26.02.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)

කැළණිය විශ්වවිද්‍යාලයේ සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව රටේ පවතින නීතිය අනුව පියවර ගන්නා බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පවසනවා.

අදාළ සිසුන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි එම විශ්වවිද්‍යාලය අද (26) නිවේදනය කළේ.

සිද්ධියට අදාළව විනය පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.

කැළණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී කැමරා 14 ක් එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් පෙරේදා බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

ඒ ශිෂ්‍යය මර්දනය සඳහා සී.සී.ටී.වී කැමරා පද්ධතිය උපයෝගි කර ගන්නා බව පවසමින්.

ඉවත් කරන ලද කැමරා යළි භාරදීමට සිසුන් උත්සාහ කර තිබුණත්, ඒවා භාර ගැනීමට විශ්වවිද්‍යාලයේ වගකිව යුත්තෙකු ඉදිරිපත්ව තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, සිසුන් මර්දනය කිරීම උදෙසා කැමරා සවි නොකළ බවයි කැළණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

***************************************

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරි ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වෙයි

(26.02.2020 – 17:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ උපදෙස් පරිදි ඊයේ (25) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදිසියේ රැස්වුනා.

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වීමට ප්‍රධාන හේතුව වූයේ කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල් කිහිපයක කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන්. මෙම කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ලෝකයේ මේ වන විට කොරෝනා වෛරසය පැතිරයාමේ වත්මන් තත්ත්වය පිළිබදව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

විශේෂයෙන්ම කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉදිරි අවුරුදු නිවාඩු කාලය තුල මෙරටට පැමිණීමත්, විදේශිකයන් පැමිණීමත් හේතුවෙන් මෙම රෝගය ශ්‍රී ලංකාව තුලට පැතිරීම වළක්වා ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 25,000 ක් පමණ සේවයේ නියුතු කොරියාව වෛරසය පැතිරෙන ඉතාමත් අවධානම් රටක් බවත්, මෙරටට අවුරුදු නිවාඩුව ගත කිරිම සදහා පැමිණෙන එම ශ්‍රමිකයින් පූර්ණ විමර්ෂණයකට ලක් කොට යම් රෝගි තත්ත්වයන් ඇති අය වෙතොත් ඔවුන් ඔවුන්ගේ නිවෙස් තුළම දින 14 ක් නිරෝධායනයකට ලක් කිරීමට ද නිර්දේශ කළ බව සඳහන්.

එමෙන්ම මගීන් රැගෙන එනු ලබන විශාල මගී නැව්වලින් පැමිණෙන සංචාරකයින් රට තුලට ඇතුළුවීම පාලනය කිරිම පිළිබදවත්, ආගමන නීතින් පැනවීම සදහාත්, කොළඹ සහ ගාල්ල වරාය තුලින් මෙසේ පැමිණෙන මගීන් විශේෂිත ආරක්ෂිත මෙවලම් යොදා ගනිමින් සුවිශේෂි පරීක්ෂාවකට ලක් කිරීමට ද තීරණය කර තිබෙනවා.

එමෙන්ම ධීවර වරාය තුළින් ද මෙරටට ඇතුලුවන විදේශීය ධීවර කාර්මිකයින් පිළිබදව සුපරික්ෂාකාරී ලෙස විමර්ශණය කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට ද මෙහිදී තීරණය කළා.

එමෙන්ම මෙරටට විදේශකයින් කණ්ඩායම් වශයෙන් පැමිණෙන ගුවන් යානාවල විදේශකයින් පිළිබදව ද සංචාරක නියෝජිතයින් මගින් ඔවුන්ගේ තොරතුරු මෙරටට පැමිණීමට පෙර ලබාගැනීමට ද තීරණය කරන ලදි.

මේ අතර දැනට මෙම වෛරසයට ලක්වූවන්ට ප්‍රතිකාර ලබාදීම සදහා වෙන් කළ රෝහල් 17 ට අමතරව දියතලාව හමුදා කදවුරු භූමියේ ස්ථාපිත කෙරුණ නිරෝධායන මධ්‍යස්ථානයට අමතරව කොළඹට ආසන්න සහ දකුණු පළාත, මධ්‍යම හා වයඹ පළාත මුලාශ්‍ර කරගෙන පුර්ණ නිරෝධායන මධ්‍යස්ථාන 04 ක් ස්ථාපිත කිරීමට ද කමිටුව නිර්දේශ කළා.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා මුඛ ආවරණ අවශ්‍යතාවයක් මතු වුවහොත් එම මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පිටරටින් ආනයනය කිරීමටත්, මුඛ ආවරණ කඩිනමින් මෙරට නිෂ්පාදනය කර තොඟ ගබඩා කොට තබාගැනිමටත්, කමිටුව විසින් තීරණය කළ බවයි අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පැවසුවේ.

මෙම සියළු තීරණ පිළිබදව කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඇය ඒ ගැන අදහස් දක්වා තිබෙනවා.

“ලෝකයේ බොහෝ රටවල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙමින් ගියත් ලංකාවේ අපිට හැකිවුණා පසුගිය කාලයේ දී අප ගත් ක්‍රියාමාර්ග අනුව රට තුල වෛරසය පැතිරිම වැළැක්වීමටත්, විදේශ රටකින් පැමිණි වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව සුවපත් කරලා චීනයට බාරදිමටත්. මෙම වෛරසය නැවැත යම් කිසි තර්ජනයකට ලක්වෙමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා මෙය ජාත්‍යන්තර මට්ටමේ උවදුරක් බවට. එයට ප්‍රධාන හේතුව ඉතාලිය, දකුණු කොරියාව වැනි රටවල් වල නැවැත මෙම වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම. දකුණු කොරියාවේ සිටින අපේ දරුවන් ඇතුලු පිරිස් ලංකාවට පැමිණෙමින් තිබෙනවා. එම නිසා නැවැත එම වෛරසය රට තුලට ඇතුලුවීම වැළැක්වීම, පැතිරීම වැළැක්වීම සදහා විශාල සුදානම් වීමක් සිදු කරන්න සිදු වෙලා තිබෙනවා. පසුගිය කාලය තුල ගත් පියවර තවදුරටත් ස්ථාපිත කරමින් කටයුතු කරන්න සිදු වෙලා තිබෙනවා. ඒ සදහා ඊයේ (25) ජාතික ක්‍රියාකාරි කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුනා. චීනයෙන් ලංකාවට වෛරසය පැමිණීම වැළැක්වීමට ගත් පියවරයන්ට වඩා දැඩි පියවර ගැනීමට අපට සිදු වෙනවා. මොකද දකුණු කොරියාවේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විශාල ප්‍රමාණයක් වන නිසා. යම් කිසි රෝගී තත්ත්වයකින් එම පිරිස් ලංකාවට පැමිණියොත් කටයුතු කළ යුතු ආකාරය ගැන ද සාකච්ඡා කළා. ඒ අනුව තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා. අපි වගකිව යුතු රජයක් විදිහට ලෝකයේ මොන රටක මේ රෝගය පැතිරී ගියත්, එම රටවල සිටින පිරිස් ලංකාවට පැමිණියත් රට තුල එම වෛරසය පැතිරිම වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගනු ලබනවා.”

මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරි කැබිනට් රැස්වීමේ දී ජනපති සහ ගරු අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමටත් ඒ අනුව එම තින්දු තීරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අවධාරණය කර තිබෙනවා.

***************************************

ගුරු වර්ජනය අතරේ සිසුවෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

(26.02.2020 – 16:07 +0530 – hirunews.lk/sinhala)

බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකු ගිං ගඟේ දියනෑමට ගොස් සැඩපරහට හසුවී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද දහවල් 12 ට පමණ තවත් මිතුරන් 6 දෙනෙකු සමග දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිසුවාගේ සිරුර අගලිය පාලම අසල පාවෙමින් තිබියදී පසුව සොයා ගෙන තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ගුරු – විදුහල්පතිවරුන් හෙට (27) සිට අකුරට වැඩ

(26.02.2020 – 16:00 +0530 – hirunews.lk/sinhala)

ගුරු සහ විදුහල්පති වෘත්තිය සමිති 18 ක් හෙට (27) සිට පාසල් කාලය තුළ ඉගැන්වීම් කටයුතු පමණක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් අද (26) උදෑසන අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ද දියත් කළේ ගුරු සහ විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

ගුරු සහ විදුහල්පතිවරුන්ගේ මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ බෝහෝමයක් පාසල් වල අද (26) අධ්‍යයන කටයුතු සිදු කෙරුණේ නැහැ.

අසනිප නිවාඩු වාර්තා කළ ගුරු සහ විදුහල්පති වෘත්තිය සමිති 18 නියෝජිතයින් අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේ සිට එම ස්ථානයට ඔවුන් පැමිණිමත් සමග මාර්ග අංක 174 කොට්ටාව – බොරැල්ල මාර්ගය ද අවහිර වුණා.

පැයකට අධික කාලයක් අමාත්‍යංශය ප්‍රධාන දොරටුව අසළ රැදිසිටිය දසිටියද බලධාරින් සාකච්ඡාවක් ලබා නොදුන් නිසා හෙට (27) සිට ලබන 16 වනදා දක්වා පාසල්වල බාහිර කටයුතුවලින් ඉවත් වී ඉගැන්වීම් පමණක් සිදුකිරීමට තීරණය කළ බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ.

ගැටළු වලට විසඳුමක් නොලැබුණහොත් මාර්තු 16 වනදා සිට දින 05 ක අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කළ විමසිමකදී ඔහු කියා සිටියේ වෘත්තිය සමිති කැඳවා සාකච්ඡාවක් ලබා දුන් බවයි. එහිදී ඉල්ලිම්වලට කඩිනමින් විසදුම් ලබා දෙන බවට ඔවුන්ට දැනුම් දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු අද (26) පස්වරුවේ දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්වුණා.

මෙම සිසුවා අද (26) පස්වරුවේ පාසලට ගොස් ඇතත්, ගුරු වර්ජනය හේතුවෙන් දහවල් 12 පමණ නැවත නිවසට පැමිණ තවත් සිසුන් පිරිසක් සමග උනන්විටිය – හැන්නලිය ප්‍රදේශයේ ගිංගගේ දිය නෑමට ගොස් තිබෙනවා.

සිසුවා දියේ ගිලිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම අවස්ථාවේදීයි.

16 හැවිරිදි වියේ පසුවන ඔහුගේ පියාද විදුහල්පතිවරයෙකු වන අතර, අද (26) දින ලෙඩ නිවාඩු වාර්තා කර ඔහු වෘත්තිය සම්ති ක්‍රියාමාර්ගයට සහය දක්වා තිබෙනවා.

***************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ඇප

(26.02.2020 – 15:39 +0530 – hirunews.lk/sinhala)

විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (26) ඇප මත මුදා හැරුණා.

ඒ ඔහු අද (26) නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාට විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

මේ අතර, ඉදිරිපත් කර ඇති හඬ පට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කටහඬ සාම්පල සමග සැසදෙන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම්දී ඇතැයි නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් අද (26) විවෘත අධිකරණයේදී දැනුම් දුන්නා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ලබාදී ඇති වාර්තාව හරහා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විනිසුරුවරුන් සමග සාකච්ඡා කර ඇති බව තහවුරු වන බවයි.

නමුත්, ඔහු මීට පෙර ඒවා විකෘති කළ ඒවා බවට ප්‍රකාශ කර ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

සැකකාර මන්ත්‍රීවරයා ඔහුගේ වරප්‍රසාද භාවිත කරමින් නඩුවට බලපෑම් එල්ල වන ආකාරයේ ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී සිදුකරමින් සිටින බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකළ යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙන්වා දුන්නා.

දැනට ලැබී ඇති හඬපට ‘ක්ලෝන’ කිරීමට අවශ්‍ය බවත්, එම ක්‍රියාවලිය සියයට 90 ක්ම අවසන් බවත්, එහිදී ඔහු අධිකරණයට සඳහන් කළා.

එය දින කිහිපයක් තුළ අවසන් වනු ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එවිට විමර්ශන වෙනත් මුහුණුවරක් ගැනීමට ද හැකියාව පවතින බවයි.

2015 ජනවාරි පළමුවනදා සිට 2019 දෙසැම්බර් 31 වනදා දක්වා විනිසුරු පද්මිනි රණවක සහ රන්ජන් රාමනායක අතර සිදුවූ සංවාදවල හඬ පට 33 ක් දැනට ලැබී ඇති අතර, ඉන් 12 කට ආසන්න ප්‍රමාණයක් විනිසුරුවරිය විසින් ආරම්භ කළ සංවාද බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඒ අනුව, ඇය විනිසුරුවරියක් ලෙස කටයුතු කළ කාලසීමාව තුළ ලබා දුන් තීරණාත්මක නඩු තීන්දු සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇත් ද යන්න විමර්ශනය කළ යුතු බවයි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එහිදී කියා සිටියේ.

විනිසුරුවන් කිහිපදෙනෙකු නිවසට කැඳවා ඔවුන් සමග සාකච්ඡා කර ඇති බව ද අනාවරණ වී ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග සාකච්ඡා කළ එක්තරා විනිසුරුවරයෙකුගේ පෞද්ගලික දුරකථන අංකයක් ද මේ වනවිට ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

වැරදිකරු කවුරුන් ද සහ නිවැරදිකරු කවු ද යන්න තීරණය කරන්නේ සැකකාර මන්ත්‍රීවරයා බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අයෙකු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සිදුකරන්නේ කෙසේදැයි අධිකරණයෙන් ප්‍රශ්න කළා.

එබැවින් එවැනි පුද්ගලයෙකුට ඇප ලබාදීම කිසිසේත් සුදුසු නොවන බවයි එහිදී ඔහු පෙන්වා දුන්නේ.

අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී මුලින් මානුෂීයව සබඳතා ගොඩනගාගෙන පසුව බලපෑම් කර ඇති බව හඬපට හරහා පෙනී යන බව ද ඔහු සඳහන් කළා.

විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් වන හඬපට අනුව එවැනි බලපෑමක් සිදුව ඇති බව පැහැදිලි බව ද නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියා.

මෙහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් කරුණු දක්වමින් සඳහන් කළේ සැකකරුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් ලබාදිය හැක්කේ වසරක කාලයක් පමණක් බවයි.

විනිසුරුන් 60 දෙනෙකු සමග සංවාද ඇතැයි ප්‍රකාශ කළත් අනාවරණ වී ඇත්තේ ඉන් තුන් දෙනෙකුගෙන් හඬ පට පමණක් බවයි එහිදී ඔහු කියා සිටියා.

අනතුරුව යළිත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දැක්වුවා.

වසර 5 කට බලයට පැමිණි පුද්ගලයෙකු විනිසුරුවරුන් සමග නඩු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම කෙතරම් බරපතලදැයි එහිදී ඔහු ප්‍රශ්න කර සිටියා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ වැඩතහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සමග ඇති වූ දුරකථන සංවාද සම්බන්ධයෙන් වන නඩුව ද අද නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහයිල් හමුවේ කැඳවුවා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ වැඩබලන පොලිස්පතිවරයා, නීතිපති ලබාදුන් නියෝග කඩ කිරීම හරහා රාජකාරිය පැහැර හැර ඇති බවයි.

ඒ අනුව, නීතිපතිවරයා සතු ව්‍යවස්ථාපිත බලතල අනුව විනිසුරු ගිහාන් පිලපිටියට වරෙන්තු නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව, ඊට අදාළ නියෝගය ලබන මස 2 වනදා ලබාදීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ඉදිරිපත් කර ඇති හඬ පට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කටහඬ සාම්පල සමග සැසදෙන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම්දී ඇතැයි නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් අද විවෘත අධිකරණයේදී දැනුම් දුන්නා.

මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඩපට ඇතුළත් සී.ඩී. පට 3ක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබුණා.

එහි වාර්තාවයි අද විවෘත අධිකරණයේදී මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත කර මේ බව ප්‍රකාශ කළේ ෴

***************************************

නේවි සම්පත් නොවු නේවි සම්පත්

(26.02.2020 – 22:21 +0530 – sinhala.adaderana.lk)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ විමර්ශන වලදී සිදුවූ අසාධාරණ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාලව, නාවික හමුදා හිටපු බුද්ධි නිලධාරී ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි මහතා දෙවන දිනටත් අද (26) දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

අදාළ නඩුකටයුතු වලදී ‘නේවි සම්පත්’ ලෙස තමන්ව හැඳින්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බවත් , තමන් ‘නේවි සම්පත්’ නොවන බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය.

නාවික හමුදා බුද්ධි අංශයේ සේවය කළ ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි මහතා අද (26) පෙරවරු 10:30 ට පමණ දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියේය.

මන්ත්‍රී රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධ පෙර නඩුවල බී වාර්තා සහ අදාළ ලේඛන ද ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි විසින් අද කොමිසමට භාරදෙනු ලැබුවේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියට අදාළ නඩුවේ රජයේ සාක්ෂිකරු ලෙස කටයුතු කළ විජේවික්‍රම මනම්පේරිගේ සම්පත් ප්‍රීතිවිරාජ් නැමැත්තාගෙන් 2015 ආණ්ඩු පෙරළියෙන් පසු යළි ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බවත්, රජයේ සාක්ෂිකරුගේ නිවසටම ගොස් ප්‍රකාශය ලබා ගෙන ඇති බවත් ඔහු එහිදී කොමිසමට ප්‍රකාශ කළේය.

තමන් ඇතුළු නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකු නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියට සම්බන්ධ කරමින් එම ප්‍රකාශය ලබාදී ඇති බවයි ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා කොමිසම හමුවේ පැවසුවේ.

ඒ අනුව පසුගිය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අත්අඩංගුවට පත් පළමු හමුදා බුද්ධි නිලධාරියා ලෙස තමන් 2015 මාර්තු මස 15 වන දින අත්අඩංගුවට පත්වූ බව ඔහු සඳහන් කළේය.

එම නඩුවේදී ‘නේවි සම්පත්’ ලෙස තමන්ව හැඳින්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කළ බවත් තමන්ට එවැනි නමක් නොමැති බවත් පැවසූ ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ඒ හේතුවෙන් තමබිරිඳ සහ දරුවන් පවා අපහසුතාවට පත්වූ බව පෙන්වාදුන්නේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ගේ සම්බන්ධයක් මෙම සිද්ධියට පවතින බව පෙන්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ යැයි තමන්ට හැඟී ගිය බවද ඔහු කොමිසමට ප්‍රකාශ කළේය.

***************************************

අන්‍යාගමිකකරණය ගැන සුපරික්ෂාකාරී වන්නැයි අගමැති සංඝරත්නයෙන් ඉල්ලයි

(26.02.2020 – 21:29 +0530 – sinhala.adaderana.lk)

සියලු පාර්ශ්වවල එකඟත්වය ලැබෙන්නේ නම් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන පනත මීළඟ පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති ආගමික උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ 18 වැනි ජාතික මහා සම්මේලනය අද කොළඹදී පැවැත්වුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය :

“මේ වෙලාව මම හිතන විධියට අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය. මේක ව්‍යාප්ත වෙන්නේ වැඩිහිටියන් අතර නොවෙයි. ළමයි අතරේ. ඉස්සර කාලේ ළමයෙක් දුම්වැටියක් බීලා අහුවුනොත් ඉස්කෝලෙන් අස්කරන තරමේ වරදක්. අද ගංජා, කුඩු, අයිස් වගේ භයානක රසායනික මත් ද්‍රව්‍යත් පාසල් අසල විකුණනවා. කිලෝ ගණන් අහුවෙන්නේ.

මේවා ජාතියක් වශයෙන් පිරිහෙන ලක්ෂණ.අපි සියලුදෙනා එකතු වෙලා මත්ද්‍රව්‍ය උවදුරින් දරුවන් බේරා ගත්තේ නැත්නම් අපි පිරිහීමට ලක්වෙනවා.

ඒ වගේම අන්‍යාගමිකකරණය අපි නොදන්නා විදියට යම් යම් ආයතනවල යම් යම් පුද්ගලයෝ මගින් සිදුවෙමින් තිබෙනවා.

බෞද්ධ පවුල්, පාරම්පරික බෞද්ධ පවුල් ක්‍රමාණුකූලව වෙනත් ආගමිවලට හැරෙමින් තිබෙනවා. අපි නොදැනුවත්ව ඒ දේ වෙන්නේ.

මම දැක්කා මගුල් ගෙදරකට ගියාම ඒ අය සියලු දෙනා වෙන ආගමකට හැරිලා තියෙන හැටි.

අපිට විශාල වගකීමක් තිබෙනවා.

මේ සඳහා ගරුතර සංඝරත්නයේ විශේෂ අවධානය යොමු කර තමන්ගේ ගම ගැන දායකයින් ගැන සුපරික්ෂාකාරීව කටයුතු කරන්නයි ඉල්ලා සිටිනවා.”

***************************************

බැඳුම්කර මංකොල්ලයට වසර 5 යි

(27.02.2020 – biz.adaderana.lk)

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දැවැන්තම මූල්‍ය අක්‍රමිකතාවය සිදුවී අදට වසර 5 කි. නමුත් සැකකරුවන් සිටිය ද කිසිවකුත් මේ වනතෙක් ඊට වැරදිකරුවන් වී නැත.

‘රැවටිලිකාරයෙකුට, රැවටිලිවලට හසු වන්නකු ද හැම විටම මුණ ගැසෙන තරමට මිනිසුන්ගේ මනස සරලය. ඔවුහූ ඔවුන්ගේ වර්තමාන අවශ්‍යතා විසින් මෙහෙයැවෙන්නෝය.’ – නිකොලොයි මකියාවෙලී (කුමාරයා – 18 වැනි පරිච්ඡේදය)

බැඳුම්කරයේ ප්‍රශ්නය තවත් වසර 25 කින් අවසන් වනු ඇත. 2015 පෙබරවාරි 27 දින නිකුත් කරන ලද, වසර 30 කින් එනම් 2045 වර්ෂයේ දී කල්පිරෙන එම බැඳුම්කරයේ පරිණත කාලයෙන් 1/6 ක් මේ වන විට ගෙවී අවසන්ය. තවත් වසර 25 කින් එය කල්පිරෙනු ඇත. ඒ වන විට අවම වශයෙන් තවත් ආණ්ඩු 5 ක් මේ රට කරනු ඇත. ජනාධිපතිවරණ අවම වශයෙන් 5 ක් පැවැත්වෙනු ඇත. එම ඉතිරි අවුරුදු 25 න් පසු එනම්, වර්ෂ 2045 මාර්තු 01 වැනි දින රුපියල් මිලියන 10,058 ක මුදලක් ගෙවා මහ බැංකුව විසින් මෙම බැඳුම්කරයෙන් නිදහස් වනු ඇත. මහ බැංකුවට ගෙවීමට මුදල් නැතිනම් ඔවුන් අලුතින් සල්ලි අච්චු ගසා හෝ එය ගෙවිය යුතුය. මක් නිසාද යත් භාණ්ඩාගාර බැඳුම්කර යනු දිගු-කාලීනඅවදානම් විරහිත සුරැකුම්පත් වර්ගයක් වන නිසාත්, ඒ සඳහා ගෙවීමට පොරොන්දු වන පොළී සහ පරිණත අගය ගෙවීම පිළිබඳ කිසිදු අවිනිශ්චිතතාවයක් නොමැති වීමත් හේතුවෙනි.

2015 පෙබරවාරි 27 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 1,000 ක මුදලක් සම්පාදනය කර ගැනීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වීය. මේ සඳහා රු. මිලියන 20,708 ක ලංසු ලැබුණු අතර එයින් රු. මිලියන 10,058 ක ලංසු භාර ගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කළේය. වසර 30 කින් කල්පිරෙන සේ නිකුත් කරන ලද එම බැඳුම්කරය සඳහා 12.5% ක පොළියක් ගෙවීමට මහ බැංකුව එකඟ වී තිබුණි.

මෙම බැඳුම්කර නිකුතුව මෙරට ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය තරමක් දුරට හෝ වැඩිදුයුණු කරලීමට සමත් වූ බව කිව යුතුය. ‘බැඳුම්කර’, ‘ප්‍රාථමික අලෙවිකරුවන්’, ‘ඇලෝෂියස්’, ‘පර්පෙචුවල් ට්‍රෙෂරීස්’ වැනි වචන සහ පුද්ගල/ආයතනික නාම කරළියට පැමිණියේ මෙම බැඳුම්කර වෙන්දේසි දිනෙන් පසුවය. එතෙක් මෙරට මහජනතාවගෙන් බොහොමයක් සිතා සිටියේ මහ බැංකුව කරනුයේ මුදල් නොට්ටු අච්චු ගැසීම පමණක් බවයි.

වර්තමානයේ දී මෙම බැඳුම්කර නිකුතුව හේතුවෙන් රජය, මහ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන විශාල වශයෙන් අලාභ ලබා ඇති බව විවිධ අය විවිධ කතා පවත්වති. වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ 2015 පෙබරවාරි මස 27 වන දින පැවත්වූ ඉහත කී වෙන්දේසියෙන් පමණක් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 688 කට වැඩි ප‍්‍රමාණයක් බවත්, ද්විතීය වෙළෙඳ පොළේ ගනුදෙනුවලින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145 ක් වන අතර ඒ අතරින් සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන 8,529 ක හෙවත් බිලියන් 8.5 කට වඩා වැඩිවන බවත්ය. තවද මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති මේ පිළිබඳ විමර්ෂන වාර්තාවල ද මේ සම්බන්ධයෙන් නොයෙක් ආකාරයේ ඉලක්කම් සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම බැඳුම්කර නිකුතුව හරහා මහ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන අලාභ ලැබුවා යනුවෙන් සඳහන් කරනවාට වඩා නිවැරදි කියවීම වන්නේ එම ආයතනවල සහයෝගයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය අසාමාන්‍ය ලාභයක් ඉතා කෙටි කලක් තුළ වාර්තා කළා යැයි කීමය.

2015 පෙබරවාරි 27 දින පැවැත්වුණු බැඳුම්කර නිකුතුව තරම් මෙතෙක් ඉතිහාසයේ විමර්ෂනයට ලක් කෙරුණු වෙනත් මූල්‍යමය ප්‍රපංචයක් නොමැති තරම්ය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා, ජනාධිපති කොමිෂන් සභා, වෝහාරික විගණන ආදී එකී මෙකී නොකී සෑම ක්‍රමවේදයක් මාර්ගයෙන්ම මේ පිළිබඳව වුවමනාවටත් වඩා පිරික්සා තිබේ. එහෙත් ඒ කිසිවක් වැරදිකරුවන් හට දඬුවම් ලබා දීමට තරම් මෙතෙක් ප්‍රමාණවත් වී නැත. ඒ මක් නිසාද යන්න පිරික්සීමට දැන් කාලය එළඹ තිබේ.

එසේ නොමැති නම් වසර 5 ක් ගත වී ගියා සේ, අපට නොදැනීම මෙම බැඳුම්කරය කල් පිරෙන තෙක් ඉතිරි වසර 25 ද ගත වී යනු ඇත ෴

***************************************

නීති විරෝධී කොටි දත් අලෙවි කරන්නන් නීතියේ රැහැනට හසුකරගත් හැටි (26-02-2020)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *