හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් හෙළිදරව්වක් (2 වන දිනය)

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් හෙළිදරව්වක් (2 වන දිනය) (විඩියෝ)

• පාස්කු ප්‍රහාරයේ අදාලව හෙළිවන විශේෂ පුද්ගලයින් ගැන හොයන්න තවත් කණ්ඩායමක් (විඩියෝ)

• බැඳුම්කර ගණුදෙනුවේ වෝහාරික විගණන වාර්තාව පිළිබඳ විවාදයේ දෙවන දිනය (විඩියෝ)

• වාසුදේව සහ මංගල අතර උණුසුම් වචන හුවමාරුවක් (විඩියෝ)

• බැඳුම්කර මංකොල්ලය විගණන කළේ ඉන්දීය රජයත් ප්‍රතික්ෂේප කළ විගණන සමාගම් 2 ක් – රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක

• එළවළු මිල ගැන සොයන ජනපති (විඩියෝ)

• ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපති උපදෙස් වලින් තොරයි – COPE

• විදේශ සේවා කාර්යංශයේ හිටපු සභාපතිට ලක්ෂ 221 ක වාහනයක්, මාසික වාරිකය ලක්ෂ 04 (විඩියෝ)

• වසර 3 ක් ඇතුළත මද්‍රාසා ආයතන පොදු අධ්‍යාපන ක්‍රමවේදයකට

• කොරෝනා පරදා මව් රට ගිය චීන කත (විඩියෝ)

• රේගු දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂකවරයෙක්

• අගමැති සහ හිටපු ජනපති හමුවෙයි (විඩියෝ)

• රංගන ශිල්පි කාවිංග පෙරේරා රිමාන්ඩ්

• නෙලුකුලම – පම්පමඩුව ගවයෝ හිටිහැටියේ මැරී වැටෙති

+++++++++++++++++++++++++++++++++++

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් හෙළිදරව්වක් (2 වන දිනය) (විඩියෝ)

(19.02.2020 – 19:57 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය විසින් ජිනීවාහිදී එකඟ වූ කරුණුවලට අනුව ජාත්‍යන්තරයට පෙන්වීම සඳහා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පැවති බව හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා, දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (19) සාක්ෂි දුන්නේ දෙවන වරටයි.

මෙහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ, යහපාලන රජයේ රණවිරු දඩයම අනුව තරුණයින් පැහැර ගැනීමේ සිද්ධිය සඳහා තමා ඈඳාගැනීමට උත්සාහ ගන්නා බවට පෙර දිනයේ ප්‍රකාශ කළේ ඇයිද යන්න පිළිබඳවයි.

ජිනීවා හිදී ශ්‍රී ලංකා රජය යම් ආකාරයකින් යුද අපරාධ සිදුකළ බවට එකඟවීම හේතුවෙන් කණිෂ්ඨ නිලධාරීන් නොව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පැවති බව, සාක්ෂිකාර හිටපු නාවික හමුදාපතිවරයා පැවසුවා.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයට එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිත සමන්තා පවර් මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ බව පැවසූ වසන්ත කරන්නාගොඩ මහතා පෙන්වා දුන්නේ ඇයට පෙන්වීම සඳහා තමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පැවති බවයි.

අප වැනි කුඩා රාජ්‍යයක අමාත්‍යවරයෙකුගේ උත්සවයක් සඳහා මෙවැනි ඉහළ නියෝජිතවරියක් පැමිණිය හැකිදැයි සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දුන්නේ, ඊට අමතරව 2017 වසරේදී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා මෙරටට පැමිණි දිනට පසුදින හිටපු නාවික හමුදා ප්‍රකාශක, කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක මහතා කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගත් බවයි.

එය බෙන් එමර්සන්ගේ විශේෂ ප්‍රශංසාවට ලක්වූ බව පෙන්වා දුන්නේ හිටපු නාවික හමුදාපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව යුද අපරධ චෝදනා එල්ල කිරීමේ උත්සාහයක් පැවති බවද ප්‍රකාශ කළා.

වසන්ත කරන්නාගොඩ මහතා පෙන්වා දුන්නේ, වත්මන් හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාව පැනවූ වීසා තහනමද එවැනි සිද්ධිවල ප්‍රතිඵලයක් බවයි.

මේ අතර, තරුණයින් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධව නාවික හමුදාව වෙනුවෙන් පරීක්ෂණ සිදුකළ එවක කපිතාන් ගුරුගේ, කපිතාන් හංවැල්ල, කපිතාන් ජේ.ජේ. රණසිංහ, කොමදෝරු බණ්ඩාර සහ එවක අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යන අය සාක්ෂිකරුවන් ලෙස කැඳවීමටද කොමිසම නියෝග කළා.

ඊට අමතරව තරුණයින් පැහැර ගැනීමේ නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු සියලු ලිපිගොනු හෙට (20) දිනයේ කොමිසම හමුවට යොමුකරන ලෙසටද නොතිසී නිකුත් කෙරුණා.

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නමැත්තා ද දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ අනුදැනුම මත එම ඝාතනය සිදුවූ බවට පිළිගන්න්නැයි බල කෙරුණු බවයි.

එම නඩුවේ රජයේ සාක්ෂිකරු වශයෙන් පෙනී සිටි පොලිස් කොස්තාපල් සම්පත් ප්‍රීතිවිරාජ් නමැත්තා ප්‍රථමයෙන් සම්පත් මුණසිංහ නමැත්තා මීට සම්බන්ධ බවට ප්‍රකාශ කළද, සම්පත් මුණසිංහ එම අවස්ථාවේ යාපනයේ සිටි බවට තහවුරු වීමෙන් අනතුරුව එම චෝදනාව තමාට එල්ල කළ බවද සාක්ෂිකරු පැවසුවා.

***************************************

පාස්කු ප්‍රහාරයේ අදාලව හෙළිවන විශේෂ පුද්ගලයින් ගැන හොයන්න තවත් කණ්ඩායමක්

(19.02.2020 – 22:11 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයට අදාලව සිදුකරන විමර්ශනවලදී හෙළිවන විශේෂ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනත් කණ්ඩායමක් පත්කර ඇති බව නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (19) ප්‍රකාශ කළේය.

ඒ පොලිස් මූලස්ථානයේ අද (19) පැවැති මාධ්‍ය හමුවකදීයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 153 දෙනෙකු මේ වන විට අත්අඩංගුවේ පසුවන බව ඔහු පැවසීය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු කාන්තාවන් 07ක් ඇතුළු සැකකරුවන් 216 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීරම්කාරක සභාව පිළිබඳව ඊයේ (18) දිනයේ කාදිනල් හිමිපාණන් පළකළ අදහසට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (19) ප්‍රතිචාර දැක්වීය.

+++++++++++++++++++++

***************************************

බැඳුම්කර ගණුදෙනුවේ වෝහාරික විගණන වාර්තාව පිළිබඳ විවාදයේ දෙවන දිනය

(19.02.2020 – 22:21 +0530 – sinhala.adaderana.lk)

මහබැංකු බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පිළිබඳ විවාදය අද (19) දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත් විය.

කෙසේ වෙතත් විවාදය ආරම්භයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පලකරමින් සඳහන් කළේ, විගණකාධිපතිවරයාගේ සම්බන්ධයක් නොමැතිව සකස්කළ නීත්‍යානුකූල නොවන වාර්තාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විවාදකළ නොහැකි බවයි.

එහිද අදහස් දැක්වු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ කිසිදු වගකීමක් නොදරණ සමාගමක් විසින් සිදු කර ඇති විගණන වාර්ථාවක් සම්බන්යෙන් කටයුතු කිරීම නිති විරෝධි බවයි.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මෙම වාර්තාව වසා දැමීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

+++++++++++++++++++++++++++++++++++

වාසුදේව සහ මංගල අතර උණුසුම් වචන හුවමාරුවක්

(19.02.2020 – 20:25 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු බැදුම්කර ගණුදෙනු සම්බන්යෙන් සිදුකල වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් වන දින දෙකක පාර්ලිමේන්තු විවාදයේ දෙවන දින විවාදය අද (19) පැවැත්වුණා.

විවාදය අතරතුරදී රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අතර උණුසුම් වාද විවාද ඇතිවුණා.

+++++++++++++++++++++++++++++++++++

බැඳුම්කර මංකොල්ලය විගණන කළේ ඉන්දීය රජයත් ප්‍රතික්ෂේප කළ විගණන සමාගම් 2 ක් – රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක

(19.02.2020 – 15:00 +0530 – sinhala.adaderana.lk)

මහ බැංකු බැඳුම්කර මංකොල්ලයේ හොරු වුයේ පසුගිය ආණ්ඩුවේ කොයිකවුරුත් දන්න අති ප්‍රබල දේශපාලන පිරිසක් බව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

මේ වන විට පාර්ලිමේන්තුවේ විවාද වෙමින් පවතින මහ බැංකු බැඳම්කර මංකොල්ලය සම්බන්ධව සහ වෝහාරික විගණනය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අදාල විගණනය සිදු කිරිමට පසුගිය රජය ඉන්දියාවෙන් විගණන සමාගම් දෙකක් සම්බන්ධ කර ගත් බවත් මෙම ආයතන ඒ වන විටත් ඉන්දීය රජයෙන් ඉවත් කරනු ලැබු විගණන ආයතන දෙකක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම එම සමාගම් දෙක විගණනය සම්බන්ධයෙන් වගකීමක් නොගන්නා බවද ඔවුන් දන්වා තිඛෙන බව අමාත්‍යවරයා පවසයි.

මෙම සමාගම් දෙක මෙම විගණන දෙක සඳහා යොදා ගන්නේ පසුගිය රජයට වාසි වන ආකාරයට බව සෑම කෙනෙකුමට හොදින් පැහැදිලි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,

“සිරිකොතින් පත් කළා නීතිඥවරුන් තිදෙනෙක්. ඒ තිදෙනාගේ කාර්යය වුනේ මේ සිද්ධිය යටපත් කිරීම. තමුත් වත්මන් නීතිපතිතුමා මේ බැදුම්කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කල බව අපි සියලු දෙනා දන්නවා.

අවසානයේ ප්‍රකාශ කළ යුතුයි මේ විගණනය, ‘හොරුන්ගේ අනුදැනුම මත කල වෝහාරික විගණන වාර්තාවක්’ බව.

ඒවාගේම අප නව සන්ධානයේ නායකයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒවාගේම ලේකම් සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා, සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන මේ ත්‍රිපුද්ගල එකතුවෙන් මේ පක්ෂයේ ගමන් මග අපට පැහැදිලියි.

විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දැවැන්ත සංවිධාන ශක්තියෙන් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට මේ වෙද්දී විශේෂ වු පිළියම් රැසක් සකස් කරමින් යනවා.

පෙර මැතිවරණයේදී ජයගන්නට නොහැකි වු දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීම සඳහා විශේස වැඩපිළිවෙලක් සකස් කරනවා. පවතින රජය කටයුතු සැලසුම් කරන්නේ විද්‍යාත්මය හා තාර්කික ආකාරයෙන් බව සඳහන් කරන්න කැමතියි.

ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුලු පවුගේ සැමට ඇමරිකානු රජයෙන් තහංචි පැනවීම තරම් මානව හිමිකම් චෝදනා එල්ල කලේ ත්‍රස්තවාදීන්ට හා දෙමළ ඩයස්හෝරාවේ වුවමනාවට බව පැහැදිලියි.

අද වන විට ජනපති, අගමැති හා විදේශ ඇමති සම්බන්ධ වී පනවා ඇති වාරණ ඉවත් කර ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් යනවා.

තවත් වැදගත් කාරණයක් තමයි පසුගිය දවස් වල රංගේ බණ්ඩාරගේ සිද්ධිය. ඒ ගැන කතා කළොත් මෙහි පැහැදිලිවම ඇත්තේ ඉඩම් කොල්ලයක් බවයි. ඒ සම්බන්ධව නිතීමය වශයෙන් අවශ්‍ය පියවර ගන්නා බව කියන්න පුළුවන්.

පක්ෂයේ ජයග්‍රහණය කතා කළ යුතු නැහැ. ශක්තිමත් නායකත්වයක් යටතේ මෙවර මැතිවරණය මෙහෙයවන්නේ. ඒ නිසා අපි දිනන බව ස්ථීරයි.”

***************************************

එළවළු මිල ගැන සොයන ජනපති

(19.02.2020 – 20:56 +0530 – sinhala.adaderana.lk)

තමා ප්‍රතිඥා දුන් පරිදි ‘සුරක්ෂිත රටක්’ බිහිකිරීමට පසුගිය තෙමස තුළ කැපවීමෙන් කටයුතු කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ගලහ ප්‍රෙද්ශයේ අද (19) පැවති උත්සවයකට එක්වෙමින්.

රට හදන ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළෙහි තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.

ව්‍යාපෘතිය ආරම්භ වුණේ පේරාදෙණිය, ගලහ, දෙල්තොට හරහා රිකිල්ලගස්කඩ මාර්ග සංවර්ධන කටයුතු අරඹමින්.

ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයා සහභාගි වූ පළමු මහජන හමුව ද මෙය වේ.

ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාව සමඟ සුහද කතාබහක ද නිරත විය.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගලහ ප්‍රදේශයේ එළවළු මිල ගණන් පිළිබඳ විමසීමක් කළේය.

මේ අතර මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරිමේ වැඩපිළිවෙලේ ජාතික උත්සවයට සමගාමීව තවත් උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර , මිනිපේ, මොරයාය ප්‍රෙද්ශයේදී පැවැත් විය.

+++++++++++++++++++++++++++++++++++

***************************************

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපති උපදෙස් වලින් තොරයි – COPE

(19.02.2020 – 19:10 +0530 – sinhala.adaderana.lk)

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් අද (19) පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය.

ඒ අනුව ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබා නොගැනීම, විධිමත් අධ්‍යනයකින් හා විශ්ලේෂණයකින් තොරව මුල්‍ය ප්‍රසම්පාදන කටයුතු නොකිරීම, ගුවන්යානා ගිවිසුම අවසන් කිරීම සම්බන්ධයෙන් නිසි උපදේශන හා ක්‍රියාමාර්ග නොගැනීම යනාදී කරුණු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

මෙහිදී සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ගුවන් යානා අත්පත් කර ගැනීමේ ගිවිසුම අවසන් කිරීම සඳහා වූ නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් මුළු වන්දි මුදල ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 115.77 ගෙවීමට සිදු වීම සම්බන්ධයෙන් කමිටුව සිය අප්‍රසාදය පළ කළේය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ගුවන් සමාගමට ලැබී තිබු ඇමරිකානු ඩොලර් මිලියන 375 න් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ණය පියවීම සඳහා ඩොලර් මිලියන 355.5 ක් භාණ්ඩාගාර අනුමැතිය යටතේ භාවිත කොට ඇති බව කමිටුවේදී අනාවරණය විය.

ඒ අනුව, ඇමරිකානු එකසත් ජනපද ඩොලර් මිලියන 19.5 ආයතනය සතුව තිබියදී තිබියදී ඩොලර් බිලියන 2.8 වූ මෙම ගුවන් යානා ගිවිසුමට අවතීර්ණ වුයේ ඇයිද යන්න කමිටුව විසින් අදාළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

අධ්‍යක්ෂක මණ්ඩලයේ යම් යම් වෙනස් වීම් සිදු වුවද, මෙවන් අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ඒ අදාළ නිලධාරීන්ට බැහැරව කටයුතු කල නොහැකි බව කමිටුව මෙහිදී අවධාරණය කල අතර මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් විගණකාධිපති වරයා හට උපදෙස් ලබා දෙන ලදී.

මෙම රැස්වීම සඳහා කමිටුවේ සාමාජිකයන් වන අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, අශෝක් අබේසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ ෴

+++++++++++++++++++++++++++++++++++

විදේශ සේවා කාර්යංශයේ හිටපු සභාපතිට ලක්ෂ 221 ක වාහනයක්, මාසික වාරිකය ලක්ෂ 04

(19.02.2020 – 18:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221 ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04 ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය වුනා.

මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වත්මත් සභාපතිවරයා පවසා සිටියේ ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට පාවිච්චි කළ නොහැකි බවත් එය විදේශ අමාත්‍යංශයට හෝ මහා භාණ්ඩාගාරයට ලබාදී ඒ වෙනුවට වෙනත් රථ එකක් හෝ දෙකක් ලබා ගැනීමට බලාපෙරොත්තු වන බවයි. මෙම අදහස් පල වූයේ විදේශසේවා නියුක්ති කාර්යංශය ඊයේ (18) කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීයි.

මෙයට අමතරව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය මගින් පවත්වාගෙන යන කුවේට් රටේ සේවා නියුක්තිකයන් සඳහා තමා සේවය කරන රටෙන්ම වන්දි ලබා ගැනීමට හැකි ලෙස ආරම්භ කර ඇති නව රක්ෂණ ක්‍රමය මගින් රක්ෂණ ප්‍රතිලාභීන්ට සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමි වන ප්‍රතිලාභයට වඩා ඉතා වැඩි ආදායමක් අදාල විදේශීය රක්ෂණ ආයතනයට හිමි වන බව කෝප් කමිටුව හමුවේ අනාවරණය වුනා.

එහිදී එක් රක්ෂණ ලාභියෙක් වෙනුවෙන් ඔහුගේ විදේශ සේවායෝජකයා විසින් කුවේට් ඩිනාර් 30 ක මුදලක් ගෙවිය යුතු අතර ඉන් ඩිනාර් 02 ක් පරිපාලන ගාස්තු වශයෙන් ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයට ගෙවිය යුත අතර තවත් ඩිනාර් 02 ක් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට ගෙවිය යුතුයි. ඉතිරි ඩිනාර් 26 ම හිමි වන්නේ රක්ෂණ සමාගමටයි. මේ අනුව මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වූ 2015 – 2018 කාග පරිච්ඡේදය තුළ විදේශ සේවායෝජකයින් විසින් සේවකයන් 36,827 ක් වෙනුවෙන් රුපියල් 531,137,408 ක මුදලක් ‍වාරික වශයෙන් ගෙවා ඇති අතර, පරිපාලන ගාස්තු වශයෙන් ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයට රුපියල් කෝටි 53 (රුපියල් 35,409,000) ක මුදලක්ද ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට රුපියල් 35,409,000 ක මුදලක්ද ලැබී තිබෙනවා.

GIRI (Gulf Insurance and reinsurance) නම් රක්ෂණ ආයතනයට රුපියල් 460,319,408 ක මුදලක් ගෙවා ඇති අතර රක්ෂිතයන් වෙත ලැබී ඇති මුදල වන්නේ රුපියල් රුපියල් 21,802,475 ක මුදලක් පමණයි. එම රක්ෂණ සමාගම වන GIRI (Gulf Insurance and reinsurance)නම් රක්ෂණ සමාගම තෝරා ගැනීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය පාරදෘෂ්‍ය නොවන බවත් විදේශීය රක්ෂණ සමාගම තෝරා ගැනීමට අදාල ප්‍රසම්පාදන ගොනු විගණනයට ඉදිරිපත් කර නොමැති නිසා ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර අවම ලංසුව ඉදිරිපත් කළ රක්ෂණ සමාගම තොරා ගත් බවක් තහවුරු වී නොමැති බව විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.

මෙහිදී කෝප් කමිටුවේ ප්‍රශ්න කර සිටියේ ඉදිරිපත් වූ ආයතන අතරින් KHF Takaful වැනි රක්ෂණ ආයතනයකින් කුවේට් ඩිනාර් 18 ක් වැනි අඩු මුදලකට රක්ෂණාවරනය මිලදී ගත හැකිව තිබියදී වැඩි මුදලකට මිලදී ගත්තේ කුමන හේතුවක් මතද යන්නයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන්ට ලබාදෙන වෘත්තීය දීමනා, වාර්ෂික රක්ෂණ දීමනා, ප්‍රසාද දීමනා, විශේෂ ප්‍රසාද දීමනා, ප්‍රවාහන දීමනා, ණය පොලී ප්‍රතිපූර්ණය කිරීම, වෛද්‍ය බිල්පත් ප්‍රතිපූර්ණය වැනි දීමනා වලට අමතරව භාණ්ඩාගාරයේ ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව කාර්යංශය විසින් සකස් කරගත් නිර්නායක මත ක්‍රම 06 ක් යටතේ කාර්යමණ්ඩල සඳහා දීමනා ගෙවීමට කටයුතු කර තිබීමද කෝප් කමිටුයේ අවධානයට යොමුවුනා.

මේ අනුව එලෙස විධිමත් අනුමැතියකින් තොරව 2018 වර්ෂයේ ගෙවා ඇති මුදල රුපියල් 86,399,621 ක්.

එමෙන්ම කුවේට් සහ කටාර් රාජ්‍යන් වෙත ශ්‍රමිකයන් යොමු කිරීමේදී අවශ්‍ය වී තිබූ පොලිස් නිශ්කාශන වාර්තා ව්‍යාජ ලෙස ලෙස ඉදිරිපත් කර තිබූ රැකියා නියෝජිත ආයතන සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ද කෝප් කමිටුවේ අවධානය යොමු වුනා.

මෙහිදී රත්නපුර පොලිස් ස්ථානයෙන් අස්ථානගත වී ඇති බවට වාර්තා වී තිබූ පොලිස් වාර්තා පොතකින් නිකුත් කරන ලද ව්‍යාජ පොලිස් නිෂ්කාශන සහතික 35 ක් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සහතික කොට විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කර තිබීමද කමිටුව විසින් ප්‍රශ්න කර තිබෙනවා.

මෙම රැස්වීමට කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, එහි සාමාජිකයන් වන අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, රවුෆ් හකීම්, ඩී,වී, චානක, රන්ජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ශ්‍රී ලංකා විදේශ රැකියා පුද්ගලික සමාගම යන ආයතන වල නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවා තිබුණා.

***************************************

වසර 3 ක් ඇතුළත මද්‍රාසා ආයතන පොදු අධ්‍යාපන ක්‍රමවේදයකට

(19.02.2020 – 19:01 +0530 – sinhala.adaderana.lk)

වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ සදහන් වේ.

මද්‍රසා ආයතන නියාමන සදහා විශේෂ කමිටුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීම, සියලු අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම, ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සදහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්දේශ ගණනාවක් මීට අයත් වේ.

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව නැවත එවැනි තත්වයක් උද්ගත වීම වළක්වා ගනු පිණිස ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්පාදනය කෙරිණි.

‘ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටාදැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාල නීතිරීති සම්පාදනය සහ ක්‍රියාත්මක කරවීමේ යෝජනාව සම්බන්ධයෙන් වන වාර්තාව’ ලෙස මෙය නම්කර තිබේ.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින් මෙම වාර්තාව අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් ‍කරන ලදී.

අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි සියලු ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීමට අදාල නිර්දේශද මෙහි ඉදිරිපත් වී තිබේ.

මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවත් 2019 සැප්තැම්බර් 5 වන දින සිරියාවේ පිහිටි ISIS මූලස්ථානයද බුර්කාව තහනම් කළ බවත් මෙම වාර්තාවේ සදහන් වේ.

මීට අමතරව ඉදිරියේදි එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම, ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමණ නීතිය සංශෝධනය කිරීම, විද්‍යුත් , මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියාමනය, මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම, සියලු ආගම් එක්කළ සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම සහ හලාල් සහතිකකරණය ඇතුළු විෂය පථයන් ගණනාවකට අදාළ නිර්දේශ මෙහි අන්තර්ගත වේ ෴

***************************************

කොරෝනා පරදා මව් රට ගිය චීන කත

(19.02.2020 – 20:36 +0530 – sinhala.adaderana.lk)

නව කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන් සුවය ලබා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් අද (19) පිටව ගියේය.

ඒ අනුව ඇයට සිය මව්රට බලා යාමට අවස්ථාව උදා විය.

ශ්‍රී ලංකාවෙන් හමුවූ එකම කොරෝනා රෝගියා මෙලෙස සුවය ලබා පිටව ගියේ තවමත් රටවල් කිහිපයකම කොරෝනා රෝගීන් මිය යමින් ඇති පසුබිමකයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී තහවුරු කරගත් පළමු සහ එකම පුද්ගලයා වාර්තා වූයේ ඉකුත් ජනවාරි මස 25 වැනිදායි.

සංචාරයක් සඳහා දිවයිනට පැමිණි 43 හැවිරිදි ‘ලූ යැං’ නමැති චීන ජාතික කාන්තාව දින 20 ක පමණ කාලයක් මෙරට ස්ථාන කිහිපයක සංචාරය කර තිබුණි.

කෙසේවෙතත් සංචාරයේ අවසන් දිනයේ ඇය චීනය බලා පිටත් යාමට සූදානමින් සිටියදී අසනීප තත්ත්වයක් හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ ජීව සාම්පල පරීක්ෂාවේදී තහවුරු වූයේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර හේතුවෙන් ඇය දින 10 ක පමණ කාලයකදී සුවය ලැබූ නමුත් ශරීරයෙන් වෛරසය සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බව තහවුරු කරගැනීම සඳහා තවත් සති 03 කට ආසන්න කාලයක් ඇයව රෝහලේ රඳවා ගැනුණි.

ඒ අනුව වෛද්‍ය නිර්දේශ මත අද පෙරවරුවේ ඇයට රෝහලෙන් පිටත්වයාමට අවස්ථාව හිමි විය.

එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියේය.

රෝහලෙන් පිටව යාමට පෙර ‘ලූ යැං’ බෞද්ධ ආගමික වතාවත් වල නිරත විය.

චීන භාෂාව පමණක් භාවිතකිරීමට දැන සිටි ඇය ‘ජංගම දුරකතනයේ ඉංග්‍රීසි භාෂා පර්වතන යෙදවුමක්’ හරහා සිය අදහස් ප්‍රකාශ කරමින් කෘතවේදීත්වය පළ කළේය.

එහිද ඇය දක්වු අදහස් ,

“ශ්‍රී ලංකාව හරිම ලස්සන රටක්. ඒ වගේම මිනිස්සුත් හරිම මිත්‍රශීලියි. ඒ වගේම අවංකයි.

වෛරසය ආසාදනය වුණා කියලා දැනගත්තාම මට අදහාගන්නත් බැරි වුණා. නමුත් මගේ වාසනාවට මේ රටේදී ආදරණීය හා කරුණික වෛද්‍යවරුන්, හෙදියන් හා කාර්යය මණ්ඩල මට මුණ ගැසුණා. ඒ අයට මම මගේ මුළු ජීවිතයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මා වෙනුවෙන් දවස් 26 ක් මේ අය විශාල කැපකිරීමක් කළා. මේක හුදෙක්ම ප්‍රතිකාරයක් පමණක්ම නෙවෙයි. මට ශක්තිමත් හා ධෛර්යමත් වෙන්න ලැබුණු අවස්ථාවක්. සියල්ලටම ස්තුතියි.

මම ආයෙත් ශ්‍රී ලංකාවට එනවා. ඒ වගේම මගේ මිත්‍රයන්ටත් මේ පණිවුඩය දෙනවා.”

රෝගය පිළිබඳ වෛද්‍ය වාර්තා ද ඇයට මෙහිදී නිල වශයෙන් භාරදුන්නේය.

දෙදරු මවක වන ලූ යැං රෝහලේ ගත කළ කාලය සම්බන්ධයෙන් විශේෂ සමරු සටහනක් තැබුවේය.

ඇය රෝහලෙන් පිටව යන අවස්ථාව ඇයටත් රෝහල් කාර්ය මණ්ඩලයටත් සංවේදී මොහොතක් විය.

රෝහලේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇය අද (19) පස්වරුවේ චීනය බලා පිටත්ව ගියේය.

ඇය ගුවන් ගමන් සඳහා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවටත් තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිතයෙකු නොවන බවටත් අංගොඩ ජාතික බෝවන විද්‍යායතනය විසින් සහතිකයක් ලබාදුන්නේය.

ශ්‍රී ලංකාවෙන් හමුවූ එකම කොරෝනා රෝගී චීන ජාතිකයා මෙලෙස සුවය ලබා පිටව ගියත් ගෙවුණු පැය 24 තුළ චීනයේ කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් ගණන 132 ක් ලෙස වාර්තා වී තිබේ.

මේ වන විට වාර්තා වී ඇති මුළු මරණ ගණන 2010 ක්.

නව ආසාදිතයින් 1693 ක් හඳුනාගැනීමත් සමග සමස්ත ආසාදිතයින් ගණන 75,000 ඉක්මවා තිබේ.

මෙවන් පසුබිමක වෛරසය ව්‍යාප්තිය වළක්වාගැනීම සඳහා චීන ජාතිකයින්ට රුසියාවට පැමිණීම එළැඹෙන බ්‍රහස්පතින්දා සිට තාවකාලිකව තහනම් කිරීමට රුසියානු රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ජපානයේ යොකොහෝමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේදී නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ පළමු පුද්ගලයින් 100 දෙනා නැවෙන් මුදා හැරීමට ජපාන රජය අද පියවර ගත්තේය.

අදාළ නෞකාවේ සිටියදී හමුවූ 500 කට වැඩි ආසාදිතයින් පිරිසක් මේ වනවිට රෝහල්ගත කර තිබේ.

නෞකාවේ කාර්ය මණ්ඩලය අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

රේගු දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂකවරයෙක්

(19.02.2020 – 19:35 +0530 – sinhala.adaderana.lk)

රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවීප්‍රිය මහතා පත් කර ඇත.

***************************************

අගමැති සහ හිටපු ජනපති හමුවෙයි

(19.02.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් එම සන්ධානයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගි වූ එම සාකච්ඡාවේදී ඉදිරි මහ මැතිවරණයට තරග කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවනු ලැබූ, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මෙම සාකච්ඡාව ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී.

ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානයට එක්ව සිටින සෙසු පක්ෂ නියෝජිතයින් ද සාකච්ඡාවට එක්වුණා.

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර, එහිදී තීරණය වී ඇත්තේ පොහොට්ටුව ලකුණින් තරග වැදීමටයි.

මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් තෝරා ගැනීම, නාම යෝජනා කමිටුවක් මගින් සිදු කිරීමට එහිදී අවධානය යොමුව තිබෙනවා.

නව සන්ධානය නියෝජනය කරන පක්ෂවලට උතුරු – නැගෙනහිර පළාත්වල වෙනම තරග කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ලක්ව ඇති අතර, සාකච්ඡාවෙන් අනතුරුව ඊට එක්වූ නියෝජිතයින් මාධ්‍යයට අදහස් පළ කළා.

***************************************

රංගන ශිල්පි කාවිංග පෙරේරා රිමාන්ඩ්

(20.02.2020 – mawbima.lk)

තලංගම, කලල්ගොඩ වෙලේකඩේ හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයේ හප්පා මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත් සේවකයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රංගන ශිල්පි කාවිංග පෙරේරා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 03 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත් සේවකයා තවත් සේවකයන් කිහිපදෙනකු සමඟ කලල්ගොඩ, වෙලේකඩේ හන්දිය ප්‍රදේශයේ මාර්ගයේ සුදු ඉර අඳිමින් සිටියදී තලවතුගොඩ සිට පන්නිපිටිය දෙසට ධාවනය වූ සැකකාර රංගන ශිල්පියා පැදවූ මෝටර් රථයේ එක් කම්කරුවකු ගැටී මෙම අනතුර වූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුර සිදුකිරීමෙන් පසු සැකකරු මෝටර් රථයෙන් පලායෑමට උත්සාහ කිරීමේදී අවට සිටි පිරිස් හා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් ඔහු අල්ලා ගෙන පොලිසියට භාරදී ඇත.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර හා ශ්වසන නළ මඟින් කළ පරික්ෂාවේදී මත්පැන් පානය කර සිටින බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

මියගිය සේවකයා මීගහතැන්න, වෙලපහළ පදිංචි වසන්ත උදය කුමාර 42 නමැති අයයි.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.අයි. රණසිංහ, පොලිස් කොස්තාපල් දිනේෂ් (82540) මහත්වරු පරීක්ෂණ පවත්වති.

***************************************

නෙලුකුලම – පම්පමඩුව ගවයෝ හිටිහැටියේ මැරී වැටෙති

(20.02.2020 – divaina.com)

වවුනියාවේ නෙලුකුලම, පම්පමඩුව ඇතුළු පළාත් කීපයක ගවයන් හිටිහැටියේම බිම ඇදවැටී මියයන බවට ගොවීන් කීපදෙනකුම 18 වැනිදා වවුනියාව පශු වෛද්‍ය කාර්යාලයට පැමිණිලි කර තිබේ.

මෙසේ මියයන්නේ අස්වැන්න නෙළා අවසන් වූ කුඹුරුවල පිදුරු, තණකොළ හා ඉතිරි වූ ගොයම් කෑමට යන ගවයන් බව ද ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කරති.

දැනට පශු වෛද්‍ය නිලධාරීන් හා ගොවියන් විශ්වාස කරන්නේ කුඹුරුවලට පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය රැගෙන යන පොලිතීන් ගවයන් අනුභව කිරීම නිසා හෝ කුඹුරුවල ඉතිරි වී ඇති ජලයට යම් රසායනික ද්‍රව්‍යයක් මුසු වීම නිසා මේ ගවයන් මිය යන්නට ඇති බවයි.

ගවයන් මේ අන්දමට මියයෑමට පටන් ගැනීමත් සමගම ගොවීන් කුඹුරුවලට ගවයන් නොයවා නිවෙස්වල බැඳ තබා ගැනීමට පටන්ගෙන තිබේ.

වවුනියාව පශු වෛද්‍ය කාර්යාලය ගවයන් මියයෑමට හේතුව සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දිනසේන රතුගමගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *