ශ්‍රී ලංකා හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශ්‍රී ලංකා හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි (විඩියෝ)

• යුධ හමුදාපතිවරයාට එරෙහිව අමෙරිකාව පැනවූ සංචාරක තහනමට එරෙහිව ලක් රජයෙන් දැඩි ප්‍රතිචාරයක්

• කෝටි 10 කට ආසන්න රත්‍රං සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

• වූහාන් සිට පැමිණි 33 දෙනා නිවෙස් බලා පිටත්ව යයි (විඩියෝ)

• වුහාන් මෙහෙයුමට එක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන්ට උපහාර

• රිෂාඩ්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය අවසර (විඩියෝ)

• ආර්ථිකය ශක්තිමත් කරන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් රැකබලාගැනීම රජයේ වගකීමක් – අගමැති කියයි (විඩියෝ)

• මුතුරාජවෙල අභය භූමියේ කඩොලාන රෝපනය කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් (විඩියෝ)

• රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග 17 තෙක් රිමාන්ඩ් (විඩියෝ)

• අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.172 ක් තංගල්ල මුහුදු තිරයෙන් සොයා ගැනේ

• අධිවේගී මාර්ග ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් (විඩියෝ)

• කළුතර සහ අවට ප්‍රදේශවල ජනතාවට බවුසර මගින් ලබාදෙන ජලය පානය සඳහා පමණක් යොදා ගන්නැයි උපදෙස්

• රියැදුරු බලපත්‍රය දැන් පැය තුනෙන් (විඩියෝ)

• ‘කොට ඇද්ද අලි නෑ.. වෙන උන් පෙරහැරේ…’ අභයාරාමයෙන්ද ආණ්ඩුවට විරෝධය.. මෙහෙම ගියොත් යහපාලනයටත් වඩා ඉක්මනින් එපා වෙන බව කියයි..

• ‘නීතිවිරෝධි – සමාජවිරෝධී ක්‍රියාවන් සිදු නොකළ ඕනෑම කෙනෙකුට දේශපාලනයට එන්න පුළුවන්’ – විමල් වීරවංශ (විඩියෝ)

• සහරාන්ලාගේ තවත් ප්‍රහාර සැලැස්මක් එළියට

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකා හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි

(14.02.2020 – 22:31 +0530 – lankadeepa.lk)

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති අවසන් යුද්ධයේදී මානව හිමිකම් කඩකළැයි යන චෝදනාව මත වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඇමෙරිකානු එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සහ අදාල අංශයන්හි නියමානුකූල වගන්ති අනුව 7031(c) වගන්තිය යටතේ ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඇමෙරිකානු එක්සත් ජනපදයට ඇතුළුවීම වාරණය කර තිබේ.

වසර 2009 දී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති යුද්ධයේදී ශවේන්ද්‍ර සිල්වා මහතා 58 වන බල සේනාංකයේ අණදෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කළේය ෴

යුධ හමුදාපතිවරයාට එරෙහිව අමෙරිකාව පැනවූ සංචාරක තහනමට එරෙහිව ලක් රජයෙන් දැඩි ප්‍රතිචාරයක්

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

යුධ හමුදාපතිවරයාට එරෙහිව අමෙරිකාව පැනවූ සංචාරක තහනමට එරෙහිව ලක් රජයෙන් දැඩි ප්‍රතිචාරයක්

(14.02.2020 – nethnews.lk)

වත්මන් යුධ හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාවේ සංචාරය කිරිම තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස සිය විරෝධතාවය දක්වා තිබෙනවා.

අමෙරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කර ගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවත් යුධ හමුදාපතිවරයාට එරෙහිව කිසිදු මානව හිමිකම් චෝදනාවක් නොමැති බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

“වත්මන් යුධ හමුදාපතිවරයාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව එවකට සිටි රාජ්‍ය නායකයා ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති තනතුරට පත් කරනු ලැබුවා.

ඉන් පසුව වත්මන් විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුධ හමුදාපතිවරයාව වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කරනු ලැබුවේ වත්මන් හමුදා සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා බැවින්.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් වී මාස 6 කට පසුව මෙම සංචාරක තහනම පැනවීම සම්බන්ධයෙන් හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධානියා මෙන්ම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයෙකු ගේ පරමාධිපත්‍යය පිළිබඳව විදේශීය රාජ්‍යයක් මේ අයුරින් ප්‍රශ්න කිරීම කලකිරීමට කරුණකි.” යනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

වත්මන් යුධ හමුදාපතිවරයාට එරෙහිව ඇති තොරතුරුවල මූලාශ්‍රයන්හි සත්‍යතාව තහවුරු කර ගැනීමට සහ ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් යලි සමාලෝචනය කරන්නැයි ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴

+++++++++++++++++++++

Sri Lanka Takes Strong Objection to the Imposition of Travel Restrictions on Lt. Gen. Silva & His Immediate Family by the US

(15.02.2020 – 00:42 +0530 – army.lk)

Sri Lanka takes strong objection to the imposition of travel restrictions on Lieutenant General Shavendra Silva, acting Chief of Defence Staff and Commander of the Army and his immediate family by the US.

Here follows the Media Release of the Ministry of Foreign Relations :

+++++++++++++++++++++

+++++++++++++++++++++

අමෙරිකාව හමුදාපතිට දැමූ තහනම

(15.02.2020 – 20:41 +0530 – sinhala.adaderana.lk)

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, යුධ සමයේ 58 වන සේනාංකයට අණදුන් ශවේන්ද්‍ර සිල්වා මහතා, මානව හිමිකම් කඩකිරීමේ චෝදනාව හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

කෙසේවෙතත් ස්වාධීනව තහවුරු නොකරන ලද මුලාශ්‍ර මත පදනම්ව අමෙරිකාව ගත් මෙම තීරණය විරෝධය පළකරන විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ, හෙට (16) දිනයේදී අමෙරිකානු තානාපතිවරිය කැඳවා මේ පිළිබදව සාකච්ඡා කරන බවයි.

මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලබන්නේ, 2019 අගෝස්තු 18 වැනිදායි.

එම පත්කිරීම සම්බන්ධයෙන් තම රට දැඩි අවධානයෙන් පසුවන බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය එදිනම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

එහි දැක්වුණේ, සංහිඳියාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාව අතිශය වැදගත් මොහොතක අදාළ පත්වීම ශ්‍රී ලංකාවේ කීර්තිනාමය, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හෑල්ලුවට ලක් කරන බවයි.

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (14) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අධිකරණමය ක්‍රියාදාමයකින් තොර මනුෂ්‍ය ඝාතන ආදී බරපතල මානව හිමිකම් කඩකිරීම්වලට, එහි අණදෙන්නාගේ වගකීම හරහා ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඇති සම්බන්ධය පිළිබඳ විශ්වාසදායී තොරතුරු හේතුවෙන් විදේශ මෙහෙයුම් සහ ඒ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (c) වගන්තිය ප්‍රකාරව අදාළ තහනම පනවන බවයි.

විදේශ නිලධාරින් බරපතල මානව හිමිකම් කඩකිරීම් හෝ සැලකිය යුතු දූෂණවල යෙදී ඇතැයි යන්න ගැන විශ්වාසදායී තොරතුරු රාජ්‍ය ලේකම්වරයා සතු වන විට එවැනි පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ එක්සත් ජනපදයට ඇතුළුවීමට සුදුසුකම් නොවේ.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, අමෙරිකානු නීති ප්‍රතිපාදනවලට අනුව එවැනි නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රාජ්‍ය ලේකම්වරයා විසින් ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව නම් කරනු ලබන බවයි.

බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් සංවිධාන විසින් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ලේඛනගත කරන ලද චෝදනා බරපතල හා විශ්වාසදායී බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ, මානව හිමිකම් ප්‍රවර්ධනය කරන ලෙසත්, යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයට වගකිවයුත්තන් වගවීමේ ක්‍රියාදාමයේ රඳවා , ආරක්ෂක ක්ෂේත්‍රයේ වැඩිදියුණුව හා යුක්තිය හා සංහිදියාව පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත්, ස්වාධීනව තහවුරු නොකරන ලද මූලාශ්‍ර මත පදනම්ව අමෙරිකා එක්සත් ජනපදය ගත් මෙම තීරණයට විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, රාජ්‍ය නායකයා විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපතිධූරයට පත්කරනු ලැබුවේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව බවයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කිසිදු සනාථ කළ හෝ ඔප්පු කළ චෝදනාවක් ශවේන්ද්‍ර සිල්වා මහතාට නොමැති බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා උසස් කරනු ලැබුවේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගෙන බවයි.

ඒ අනුව ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් වී මාස 6 කට පසුව සංචාරක තහනම පැනවීම විදේශීය රජයක් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණා පිළිබඳව ප්‍රධාන තනතුරු පත්කිරිමේ පරමාධිපත්‍යය ගැන ප්‍රශ්න කිරීම කලකිරීමට කරුණක් බව අදාළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කරගෙන එම තීරණය සමාලෝචනය කරන ලෙස ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා සිටියි.

යුද්ධය නිමවීමෙන් පසු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු රැසක් සිදුකළ නිළධාරියෙක්.

හමුදාපතිවරයා ඊයේ රාත්‍රී එවැනි රණවිරුවන් වෙනුවෙන් පැවැති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මිහිඳු සෙත්මැදුරේ පැවැති විශේෂ උත්සවයකට එක් විය ෴

+++++++++++++++++++++++++++++++++++

= වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා =

ලුතිනන් ජෙනරාල් එල්.එච්.එස්.සී සිල්වා
ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2019 අගෝස්තු මස 18 වන දින සිට බලපැවැත්වෙන පරිදි ලුතිනන් ජෙනරාල් එල්.එච්.එස්.සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර 23 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්කර ඇත.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව යුද්ධ හමුදාධිපති ලෙස පත්වන අවස්ථාව වන විට ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය ද හොබවනු ලැබීය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වර්තමානයේ විශේෂ බළකා රෙජිමේන්තු අධිපති ධූරයද හොබවන අතර, 2020 ජනවාරි මස 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසද සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් පත්කර ඇත.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්වීමට පෙර යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ධූරය ඇතුළු තවත් තනතුරු රැසක් හොබවා ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය බිහිකල විශිෂ්ට නිලධාරියෙකු වන මොහු පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව වර්ෂ 1984 මාර්තු මස 5 වන දින පාඨමාලා අංක 19 හි කෙඩේට් නිලධාරීවරයෙකු වශයෙන් යුද්ධ හමුදා විද්‍යාපීඨයට ඇතුලත් වන ලදී. එතුමන්ගේ දීප්තිමත් පාසල් කාලය තුළ, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරයට පත්වීමට පෙර විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායමේ සහ ශිෂ්‍යභට තූර්යවාදක කණ්ඩායමේ නායකත්වය ද හෙබවිය.

හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව වර්ෂ 1985 නොවැම්බර් 16 වන දින අධිකාරියට පත්වූ එතුමන් ගජබා රෙජිමේන්තුව පිහිටවීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු නිලධාරීයෙකු ලෙස ප්‍රථමවතාවට පත් කරන ලද නිලධාරියා ද වේ. එතුමන් 1 වන ගජබා රෙජිමේන්තුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරිතුමන් විසින් විශේෂ සේවා කණ්ඩායමේ (Special Service Group) කණ්ඩායම් භාර නිලධාරීවරයෙක් ලෙස සේවය කිරීමට අවස්ථාව ලබාදුන් අතර පසුව එම කණ්ඩායම වේගවත්ව යෙදවීමේ බලකායක් (Rapid Deployment Force) ලෙස හඳුන්වනු ලැබු අතර වර්තමානයේ විශේෂ බලකාය (SF) ලෙස ද හඳුන්වයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සිටින විවිධ පදක්කම්ලාභී නිලධාරී අතරින් එක් නිලධරීයෙකු වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීත නිලධාරීයෙකු සඳහා ප්‍රදානය කරන ලද ත්‍රිවිධ පදක්කම් වන වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම් ආදී පදක්කම් ප්‍රථම වතාවට හිමිවූ දෙවන ලුතිතන්වරයා වශයෙන් යුද්ධ හමුදා ඉතිහාසයෙහි පිටු අතරට එක්වූ එඩිතර නිළධාරියෙකී.

වසර 35 කට අධික එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ මාණ්ඩලික, උපදේශක, අණදීම් සහ රාජ්‍යතාන්ත්‍රික තනතුරු රැසක් හොබවා ඇත. තවද, එතුමන් යුද්ධ හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (සැලසුම්), යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (පුහුණු), යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (මෙහෙයුම්), යුද්ධ හමුදා මුලස්ථානයේ හමුදා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී I ඇතුළු මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත. මීට අමතරව, එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ විධායක ජෙනරාල් තනතුරු ද හෙබවිය.

එතුමන් සිය යුද්ධ හමුදා වෘත්තීය කාලය තුළ දෙවන ලුතිතන් නිලයේ සිට මේජර් ජෙනරාල් නිළය දක්වා ඇති ඉතා වැදගත් සහ වගකිව යුතු තනතුරු රැසක් ද හොබවා ඇත.

එතුමන් හෙබවූ පුහුණු තනතුරු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ උපදේශක නිලධාරියෙකු ලෙස පත්වී වර්ෂ 1991 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විදේශ කෙඩෙට් නිලධාරීන් සහ නිත්‍ය නිලධාරී පුහුණු පාඨමාලා අංක 37 හී පාඨමාලා භාර නිලධාරී ලෙස කටයුතු කරන ලදී. පසුව එතුමන් වර්ෂ 2005 දී තම මවුබිමට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තරුණ නිලධාරීන් සිය ගණනක් පුහුණු කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පුහුණු අංශයේ අණදෙන නිලධාරි තනතුර ද හෙබවිය.

එතුමන් හෙබවූ අණදීම් තනතුරු අතර ශ්‍රී ලංකා හමුදාව මෙතෙක් බිහිකළ ලාබාලතම අණදෙන නිලධාරියා වන අතර වර්ෂ 1995 දී යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවාගැනීම සඳහා දියත් කෙරුණු “රිවීරැස” මෙහෙයුමේ දී පාබල බලඇණියකට අණදීම ද එතුමන් විසින් සිදු කරන ලදී. ත‍්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් ඉතා තීරණාත්මක අවධියක පැවති සමයේ දී එවකට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති ලෙස එතුමන්ව පත් කරන ලදී. වර්ෂ 2006 අගෝස්තු මාසයේදී එතුමන් “ශ්‍රී ලංකාවේ ඉදිරි ආරක්‍ෂක පෙදෙස” ලෙස හැඳින්වූ මුහමාලෙයි ඉදිරි ආරක්‍ෂක වළල්ලෙන් කොටසක් එල්ටීටීඊ ත්‍රස්තවාදී පාලනය යටතේ පැවති අතර එය නැවත මුදාගැනීමට ද එතුමන් දායකත්වය දැක්විය.

ඉන් අනතුරුව, එතුමන් විජයග්‍රාහී 58 වන සේනාංකයට සහ කමාන්ඩෝ බලසේනාවට අණදීම් සිදුකරමින් “වන්නි මානුෂීය මෙහෙයුම” තුළ වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කරමින් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදවාගැනීමට පෙරමුණ ගෙන කටයුතු කළේය. මෙම මෙහෙයුම තුළ එතුමන් තම සේනාංකය අවසන් ජයග්‍රහණය තෙක් රැගෙනයාමේදී කිලෝමීටර් 200 කට අධික දුරක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමඟ සටන් කර ඔවුන්ගේ හමුදා දෘඩාංග, අවි ආයුධ සහ අනෙකුත් උපකරණ ඇතුළු මෙතෙක් මුදවාගනු ලැබූ විශාලතම භූමි ප්‍රමාණය මුදාගැනීමට සමත්විය. කුරිරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් සිවිල් වැසියන් ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් මුදාගනිමින් මෙතෙක් සිදු කළ විශාලතම ප‍්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුම ද එතුමන්ගේ අණදීම යටතේ පුදුමාතලන් ප්‍රදේශයේ දී සාර්ථකව දියත් කළහ. වර්ෂ 2009 දී පැවැති යුදමය කාලවකවානුවේදී එතුමන් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරදුන් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් තනතුරට උසස් කරන ලද ලාබාලතම නිලධාරීයා ද එතුමන් විය. ඉන් අනතුරුව, එතුමන් 53 වන සේනාංකයට අණදුන් අතර එය රටේ අතිරේක ප්‍රහාරක බලකාය ලෙසද හැඳින්වේ.

වර්ෂ 2010 දී එතුමන්ව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස පත් කරන ලදී. ශ්‍රී ලංකාවේ විදේශ දුත මෙහෙර තුළ ‘තානාපති’ තනතුරකට හමුදා සේවයේ යෙදී සිටියදී පත් කරනු ලැබූ ප්‍රථම හමුදා නිලධාරියා ද එතුමන් වේ. එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක නියෝජිත මණ්ඩලයේ ඉහළ පෙළේ උපදේශක කමිටුව සඳහා පත් කළ පළමු ශ්‍රී ලාංකීක සාමාජිකයා බවට ද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්විය. එතුමන්ගේ ඵලදායී උපදේශනවල ප්‍රතිඵලයක් ලෙස එවකට එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට වැටුප් වර්ධකයක් ද පිරිනමන ලදී. තවද, ගෝලීය භෞමික අඛණ්ඩතාවය මෙන්ම සාම සාධක කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ එක්සත් ජාතීන්ගේ විශේෂ දේශපාලන හා යටත් විජිතකරණයට එරෙහි කමිටුවට ශ්‍රී ලංකාවේ විකල්ප නියෝජිතයා ලෙස එතුමන්ව පත් කරන ලදී. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සහ දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යෙදවීමට සහ හමුදා රෝහලක් ඉදිකිරීමට ද එතුමන් මුලපිරීය.

එතුමන් දේශීය පුහුණු පාඨමාලාවන්ට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රාලය, ප්‍රංශය, නෙදර්ලන්තය, ග්‍රීසීය, ඉතාලිය, පකිස්ථානය සහ ඉන්දියාව ආදී විදේශ රටවලදී අති දක්‍ෂ අන්දමින් විවිධාකාර වු ක්‍ෂේත්‍ර පුහුණුවීම් සඳහා සහභාගී වී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ හාර්වඩ් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු “ජාතික හා ජාත්‍යන්තර ආරක්‍ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ විධායක” පුහුණුව ද සාර්ථකව නිම කළ අතර ඉන්දියාවේ කීර්තිමත් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ උපාධිධාරියෙකි. තවද, එතුමන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන අතර එක්සත් ජනපදයේ ‘මනෝවිද්‍යාත්මක මෙහෙයුම්’ පුහුණුව ලබා ඇත. එතුමන් වර්ජිනියාවේ ක්වාන්ටිකෝ හි කීර්තිමත් මැරීන් බලකා යුද්ධ විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකි.

දේශය වෙනුවෙන් සිදුකරන ලද මෙහෙය අගයනු වස් මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි, ‘ශ්‍රී ලංකේෂ්වර අපරාධ මෙහෙයුම් විශාරද ජෝතිකාධජ වීරප්‍රතාප දේශමාන්‍ය ජාතික ගෞරව නාම සම්මාන උපාධි සන්නස් පත්‍රය, වීර ගජේන්ද්‍ර සංග්‍රාමශූරී ජාතික ගෞරව නාම සන්නස් පත්‍රය සහ වීරවික්‍රම දේශාභිමානී වීශ්වකීර්තී ශ්‍රී රණශූර’ යන ගෞරව නම්බු නාමයන් හරහා පුද්ගලයෙකු වශයෙන් ලබාගත හැකි ඉහලම සමාජ ගෞරව නාමයන් රැසකින් පිදුම් ලබන ලදී. එම ගෞරව නාමයන් ශ්‍රී ලාංකීය බුද්ධ ශාසනයෙහි ත්‍රෛනිකායන් වෙතින් මව්බිමේහි ස්වාධිපත්‍ය භෞමික අඛණ්ඩතාව, සුරැකීම වෙනුවෙන් සිදුකරන ලද සැබෑ කැපවීම අගයනු වස් ප්‍රදානය කරන ලද අතර ‘මැදරට අභිමානය’ නම් වූ විශිෂ්ඨ නාමය මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම යන කරුනු පදනම් කොටගෙන මැතකදි ප්‍රදානය කරන ලද්දේය. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් බුද්ධ වර්ෂ 2600 වන සම්බුද්ධ ජයන්තිය කරණ කොට “Sri Lankan Identity since 2600 years”, නම් වූ ග්‍රන්ථය රචනා කර ලක්මවට දායද කර ඇත.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී සංගමයේ සහ ආරක්‍ෂක සේවා හොකී සංගමයේ සභාපති ධූරය හොබවනු ලබයි ෴

army.lk

***************************************

කෝටි 10 කට ආසන්න රත්‍රං සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(15.02.2020 – 10:29 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාවට අයත් ඩිංගි යාත්‍රාවක් මගින් ඊයේ (14) සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, වැඩිදුර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම යාත්‍රාව අණ නොතකා යාත්‍රා කර ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ යාත්‍රාව හඹා ගොස් එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් පළා යාමට උත්සාහ කරන අවස්ථාවේ රත්‍රං පාර්සලක් මුහුදට දැමූ බව ප්‍රකාශ කර තිබෙනවා.

පසුව නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදා අදාළ රත්‍රං පාර්සලය සොයා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එම පාර්සලය තුළ රත්‍රං කිලෝ 14 යි ග්‍රෑම් 35 ක ප්‍රමාණයක් තිබී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි වියේ පසුවන්නන්.

ඔවුන් දෙදෙනා සහ අදාළ යාත්‍රාව කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

***************************************

වූහාන් සිට පැමිණි 33 දෙනා නිවෙස් බලා පිටත්ව යයි

(14.02.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)

චීනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 1716 කට කොවිඩ්-19 හෙවත් ‘නව කොරෝනා වෛරසය’ ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, වෛරසය ආසාදිත රෝගීන්ගෙන් සියයට 90 ක්ම හුබෙයි පලාතේ වූහාන් නගරයෙන් වාර්තා වී ඇති බවයි එම කොමිසම සඳහන් කර ඇත්තේ.

වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1383 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 64,000 ඉක්මවා ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

චීනයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන හුබෙයි පලාතේ, වූහාන් නගරයේ මිලියන 11 ක ජනතාව සඳහා රෝහල් 398 ක් සහ ප්‍රජා සායන 6000 කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර තිබෙනවා.

එමෙන්ම, වෛරසයට ගොදුරු වී සිටින පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා සංවහන රුධිර ප්ලාස්මා චිකිත්සක ක්‍රමවේදයන් භාවිත කිරීමට චීන බලධාරින් මේ වනවිට පියවර ගෙන ඇති බව ද වාර්තා වුණා.

වෛරසයට ගොදුරු වී සුවය ලැබූ රෝගීන්ගේ රුධිර ප්ලාස්මාවන් ආසාදිතයන් තුළ ස්ථාපිත කර වෛරසයට එරෙහිව ක්‍රියාත්මක කරවීම එමගින් සිදුවනවා.

මේ අතර, නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ගුවන් සේවාවන්හි ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 කින් අඩුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ප්‍රකාශ කළා.

එසේම, චීනයේ වූහාන් නගරයේ සිරවී සිට දිවයිනට රැගෙනවිත් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 33 දෙනා අද (14) කොළඹ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ කොරෝනා වෛරසය මෙරටට සම්ප්‍රේෂණය වීමේ අවදානම මේ දක්වා පහව ගොස් නොමැති බවයි.

+++++++++++++++++++++++++++++++++++

වුහාන් මෙහෙයුමට එක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන්ට උපහාර

(15.02.2020 – 09:17 +0530 – hirunews.lk/sinhala)

චීනයේ වුහාන් නුවර සිට ශ්‍රී ලාංකික සිසුන් බේරා ගැනීම සඳහා මෙහෙයුමට එක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් ඊයේ (14) එම සිසුන් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේදී හමුවුනා.

මෙම ඓතිහාසික ජාතික මෙහෙවරට ගෞරවයක් වශයෙන් ඔවුන්ට ශ්‍රී ලංකා හමුදාව විසින් ගෞරවය හිමිකර දී තිබෙනවා.

එහිදී UL1422 ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට සියල්ලන්ගේම සුබ පැතුම් එක්වුනා.

***************************************

රිෂාඩ්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය අවසර

(15.02.2020 – 06:38 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී ඉඩම් ඔප්පු 240 ක් ඇතුළු ලිපි ලේඛන තොගයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව අද ඊයේ (14) කැඳවූ අවස්ථාවේදී.

පසුගිය ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවකට අදාළ බවට සැකකෙරෙන ලිපි ලේඛන තොගයක් ඇතුළු ඉඩම් ඔප්පු 240 ක් පසුගියදා සොයාගෙන තිබුණේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ අදාළ නිවස හිටපු අමාත්‍ය බදියුදීන් මහතාගේ බිරිඳට අයත් නිවසක් බවයි.

අදාළ නිවස සෝදිසි කළ අවස්ථාවේදී එම නිවසේ රැඳී සිටි ඉම්රාන් මොහොමඩ් නැමැත්තා සතොස ආයතනයේ ලිපි ලේඛන සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

අද දිනයේ එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු සන්තකයේ තිබී හමු වූ ලේඛන අතර තිබුණු පොරොන්දු නෝට්ටු පත්‍රයක් සම්බන්ධයෙන් සැකකරු සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුපියල් 935,000 ක වටිනාකමින් යුත් බව කියූ පොරොන්දු නෝට්ටු පත්‍රයේ සැබෑ වටිනාකම රුපියල් නවකෝටි තිස්පන් ලක්ෂයක් (93,500,000) බවට අනාවරණ වී ඇති බවයි.

එසේම නිවසේ තිබී සොයාගත් ඉඩම් ඔප්පු හිටපු අමාත්‍ය බදියුදීන් මහතාගේ බිරිඳට අයත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ දැනුම් දුන්නා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් බදියුදීන් මහතාගේ බිරිඳවන කේ.එම්.එම්. අමීෂා මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගත් ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අදාළ අවසරය ලබාදුන්නා.

දැනට අත්අඩංගුවේ පසුවන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට නියෝග කළා.

***************************************

ආර්ථිකය ශක්තිමත් කරන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් රැකබලාගැනීම රජයේ වගකීමක් – අගමැති කියයි

(14.02.2020 – 22:40 +0530 – hirunews.lk/sinhala)

රටේ ආර්ථිකය ශක්තිමත් කරන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් රැකබලාගැනීම රජයේ වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද අරලියගහ මන්දිරයේ පැවති ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකට එක්වෙමින්.

විදේශ රැකියාවන් හි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ දූදරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ ප්‍රදානෝත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

බස්නාහිර පළාත් සඳහා පැවති ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා විදේශගත ශ්‍රමිකයන්ගේ දූ දරුවන් 734 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා.

මේ අතර 88 – 89 එක්සත් ජාතික පක්ෂ රජය සමයේ අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කර දෙන ලෙස ඉල්ලමින් එම පවුල්වල සාමාජිකයින් අද විහාරමහාදේවි උද්‍යානය අසලින් උද්ඝෝෂණයක් ආරම්භ කළා.

පසුව එම උද්ඝෝෂකයින් අරලියගහ මන්දිරය වෙත පැමිණියා.

එම අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයෙන් බැහැරව සිටීම හේතුවෙන් උද්ඝෝෂකයින් හමු වූ අග්‍රාමාත්‍යවරයාගේ අතිරේක ලේඛම්වරයා විසින් ඔවුන්ගේ ලිපි ලේඛන භාරගනු ලැබුවා.

පසුව එම උද්ඝෝෂකයින්ට අරලියගහ මන්දිරයේදී සංග්‍රහයක්ද ලබාදුන්නා.

***************************************

මුතුරාජවෙල අභය භූමියේ කඩොලාන රෝපනය කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක්

(14.02.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාල නිලධාරිනියක් ප්‍රතිචාර දක්වන වීඩියෝවක් සමාජ ජාල හරහා ප්‍රචාරය වීමත් සමඟ කඩොලාන සංරක්ෂණය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව පරිසර සංවිධාන නියෝජිතයින් පිරිසක් අද මුතුරාජවෙල අභය භූමියේ කඩොලාන රෝපනය සිදුකරනු ලැබූ අතර එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු අදාළ භූමිය පෞද්ගලික භූමියක් බවට ප්‍රකාශ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

පරිසර සංවිධාන නියෝජිතයින් පිරිසක් මුතුරාජවෙල අභය භූමිය වෙත පැමිණියේ අද පෙරවරුවේයි.

එහිදී ඔවුන් අභය භූමිය තුළ කඩොලාන රෝපනය ඇරඹීමත් සමඟ එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් දන්වා සිටියේ අදාළ භූමිය පෞද්ගලික ඉඩමක් බවයි.

පසුව ඔහු ඉඩමේ හිමිකරු බව කියන පුද්ගලයෙකු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තා.

මේ අතර මීගමුව කලපුව හා කඩොලාන විනාශ කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් අද පාපැදිවලින් පැමිණ මීගමුව නගරයේදී විරෝධතාවක නිරත වුණා.

මීගමුව කලපු සංවර්ධන රැස්වීමේදී ඔක්සිජන් අවශ්‍ය නැති බවට පැවසූ පුද්ගලයාද මුහුණු ආවරණය කරගත් ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ පැමිණ සිටි අතර එහිදී එහිදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

***************************************

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග 17 තෙක් රිමාන්ඩ්

(14.02.2020 – 18:53 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (14) අලුයම අත්අඩංගුවට ගත්තා.

පැය 10 කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව උදයංග වීරතුංගව අද (14) පස්වරු 6.30 ට පමණ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී වරෙන්තු මත ඕමානයේ රැඳී සිටි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් දින කිහිපයකට පෙර ඕමානය බලා පිටත්ව ගොස් තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති හිටපු තානාපතිවරයා අද (14) අලුයම 4.30 පමණ මෙරටට රැගෙන ආවා.

ඕමානයේ මස්කට් නුවර සිට ඔහුව මෙරටට රැගෙන ආවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්. 208 දරණ යානයෙන්.

පසුව ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු මුලස්ථානයට රැගෙනවිත් මිග් යානා ගනුදෙනුව අදාළව ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

පැය 10 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව උදයංග වීරතුංගව පස්වරු 6.30 ට පමණ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආවා.

මහේස්ත්‍රාත් නිල මැදිරියේදී උදයංග වීරතුංගව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළා.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කෝට්ඨාසය සිදුකළ විමර්ශනවලදී චෝදනා එල්ල වු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පළමුව වරෙන්තු නිකුත් කළේ 2016 වසරේ ඔක්තෝම්බර් 20 වනදායි.

මුදල් විශූද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

2017 වසරේ ජනවාරි 4 වනදා ඔහුට අයත් බැංකු ගිණුම් 16 ක ගනුදෙනු අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළ අතර අනතුරුව රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ඇතුළු ගමන් බලපත්‍ර ද තහනම් කළා.

උදයංග වීරතුංගව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය ඔහුට එරෙහිව රතු නිවේදනයක් ද නිකුත් කර තිබීම විශේෂත්වයක්.

තමන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කරන ලෙස ඉල්ලා උදයන්ග වීරතුංග ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කර තිබූ අතර ශේෂ්ඨාධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබුණා.

***************************************

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.172 ක් තංගල්ල මුහුදු තිරයෙන් සොයා ගැනේ

(14.02.2020 – 17:37 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 3 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 172 ක් ත්‍රිකුණාමලය වෙරළේ සිට මුහුදු සැතපුම් 180 ක් පමණ නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබී සොයා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට පැමිණෙමින් තිබූ ධීවරයින් පිරිසකට පාර්සල් 3 ක තිබූ මෙම අයිස් මත්ද්‍රව්‍ය හමුවී ඇති බවයි. නාවික හමුදාවට භාර දුන් ඒවා පසුව තංගල්ල පොලීසියට භාර දී තිබෙනවා.

මේ අතර, ආයුර්වේද පානයක් ලෙස ඉතියෝපියාවේ සිට මෙරටට එවා තිබූ කාත් නමැති මත්ද්‍රව්‍ය සහිත පාර්සල් 3 ක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද අත්අඩංගුවට ගත්තා ෴

***************************************

අධිවේගී මාර්ග ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(14.02.2020 – 16:11 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි.

කොළඹ දෙසට පවතින වාහන තදබදයට කඩිනම් විසඳුම් සොයන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

එසේම, ගාලුපාරට සමාන්තර මුහුදුබඩ මාර්ගය, පානදුර දක්වා දීර්ඝ කිරීමට ද සාකච්ඡාවේදී අවධානය යොමුවුණා.

පළමු අදියරේ වැඩ අවසන් වී ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කළ යුතු බවට ද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත් කුරුණෑගල සිට දඹුල්ල දක්වාත් පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිනමින් නිම කළ යුතු තවත් ව්‍යාපෘතියක් බවටයි මෙහිදී ප්‍රකාශ කෙරුනේ.

ඉංගිරියේ සිට රත්නපුර දක්වා කිලෝමීටර් 76 ක මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගී මාර්ග පද්ධතියට එක් කෙරෙනවා.

එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ආරම්භ කෙරෙනවා.

මහනුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීම අධික මාර්ග තදබදයට විඳුමක් බවටයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ.

දැනට අඩක් නිමකර ඇති මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කඩිනමින් අවසන් කළ යුතු බවත් ග්‍රාමීය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය විය යුතු බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

අධික තදබදයක් ඇතිවන ස්ථාන හඳුනාගෙන ගුවන් පාලම් සහ උමං පිවිසුම් ඉදි කෙරෙනු ඇති.

දෙමටගොඩ, වනාතමුල්ල හරහා බත්තරමුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමේ හැකියාව විමර්ශනය කළ යුතු අතර එමගින් බොරැල්ල සහ රාජගිරිය මංසන්ධිවල තදබදයට විසඳුමක් ලැබෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

සියලු ඉදිකිරීම් සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය ලබාගන්නා ලෙසට ද ඔහු ප්‍රකාශ කළා.

මාර්ග ඉදිකිරීමට සමගාමීව පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතු අතර මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට සුඛෝපභෝගී බස් රථ සහ පාසල් බස් රථ සේවාව විධිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුනා.

නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්වී කොළඹට පිවිසෙන රථ වාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සැකසීම පිළිබඳව ද අවධානය යොමු කෙරුනා.

ව්‍යාපාරික ස්ථාන ස්ථාපිත කිරීමේදී වාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා කියාසිටියේ විදුලිය ජලය සහ දුරකථන මාර්ගවලට සිදුවන හානි නතර කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවයි.

***************************************

කළුතර සහ අවට ප්‍රදේශවල ජනතාවට බවුසර මගින් ලබාදෙන ජලය පානය සඳහා පමණක් යොදා ගන්නැයි උපදෙස්

(14.02.2020 – 16:04 +0530 – hirunews.lk/sinhala)

කළුතර හා අවට ප්‍රදේශවල ජනතාවට බවුසර මගින් ලබාදෙන ජලය පානය කිරීම සඳහා පමණක් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

එම මණ්ඩලය සඳහන් කළේ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුගඟේ ජලයට මුහුදු ජලය මිශ්‍ර වී ඇති බවයි.

ලවණ මුසුවීම හේතුවෙන් ජලය පානය කිරීමට සුදුසු නොවන අතර අනෙකුත් සියලු කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව පවතින බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

වාද්දුව, කළුතර, බේරුවල, පයාගල, අළුත්ගම, බෝම්බුවල, පිලමිනාවත්ත සහ බෙන්තර යන ප්‍රදේශවලට මෙලෙස බවුසර මගින් ජලය ලබාදෙනු ලබනවා ෴

***************************************

රියැදුරු බලපත්‍රය දැන් පැය තුනෙන්

(14.02.2020 – 21:07 +0530 – sinhala.adaderana.lk)

රියදුරු බලපත්‍ර ලබා ගැනීම සහ අලුත් කරගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙන මහජනතාව පසුගිය කාලයේ දුෂ්කරතා රැසකට මුහුණ දෙන පුවත් අප වරින් වර ඔබට වාර්තා කළේය.

නමුත් මේවන විට බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු ඉතාමත් කාර්යක්ෂම වී ඇති අකාරය අද දෙරණ කළ විමසා බැලීමකදී දක්නට ලැබුණි.

වලංගු රියදුරු බලපත්‍ර ලබාගැනිමේදී වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය සහ ඊට අනුබද්ධ ආයතන වලට යන පුද්ගලයින්ට බොහෝ දෙනකුට අත්විඳින්නට සිදුවූයේ අමිහිරි අත්දැකීම්.

කෙසේ වෙතත්, රියැදුරු බලපත්‍ර අපේක්ෂා කරන පුද්ගලයින්ට ඉතා ඉක්මනින් එය ලබාදීම මේ වන විට සිදුවෙයි.

ඒ සඳහා රියැදුරු බලපත්‍ර අපේක්ෂා කරන පුද්ගලයෙකුට වැයවන්නේ පැය තුනක පමණ කාලයක්.

මේ පිළිබඳව සොයාබැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ද පසුගියදා වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයක නිරත වුණි.

***************************************

‘කොට ඇද්ද අලි නෑ.. වෙන උන් පෙරහැරේ…’ අභයාරාමයෙන්ද ආණ්ඩුවට විරෝධය.. මෙහෙම ගියොත් යහපාලනයටත් වඩා ඉක්මනින් එපා වෙන බව කියයි..

(15.02.2020 – 15:00 +0530 – lankacnews.com)

ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් මේ වන විට කිසිසේත්ම දුරකථනයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් එය ඉතා කනගාටුදායක තත්ත්වයක් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ඇතැම් ඇමතිවරුන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමේ දී ඔවුන් ළඟ සිටින නිලධාරින් සහ කේවට්ටයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනාධිපති සහ රජය ගැන ජනතාව අප‍්‍රසාදයට පත් වන බව ද උන්වහන්සේ පැවසූහ.

මෙවන් කටයුතු ඉක්මනින්ම නිරාකරණය කර නොගතහොත් පසුගිය ආණ්ඩුව මුහුණ දුන් ආකාරයේම ජනතා විරෝධයකය ඉතා නුදුරු දිනකදී ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

දුෂ්කර කාලයේ දී සටන් පෙරහැරේ ගිය පිරිස් ඉවතට දමා එකල දකින්නවත් නොසිටි අලුත් පිරිස් අද වන විට ප්‍රධානීන් වටා ඒකරාශී වීමට පටන් ගෙන ඇති බවටද උන්වහන්සේ කියා සිටියහ.

ආනන්ද හිමියන් මේ බව කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි ෴

***************************************

‘නීතිවිරෝධි – සමාජවිරෝධී ක්‍රියාවන් සිදු නොකළ ඕනෑම කෙනෙකුට දේශපාලනයට එන්න පුළුවන්’ – විමල් වීරවංශ

(15.02.2020 – 14:16 +0530 – lankaleadnews.com)

අප දේශපාලනයට පැමිණීමට එරෙහි විය යුත්තේ සමාජ විරෝධී නීති විරෝධී කටයුතුවල නිරත වන අයට බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඔවුන් අතට බලය ලැබුණහොත් එම සමාජ විරෝධී සහ නීති විරෝධී කටයුතු ප්‍රවර්ධනය වන බව ද ඔහු අවධාරණය කළේය.

එසේ නොවන කලාකරුවෙක් ගොවියෙක් කම්කරුවෙක් හෝ ඕනෑම අයකුට ජනතාව සිය පරමාධිපත්‍ය බලය පවරන්නේ නම් දේශපාලනයට පැමිණීමට අයිතියක් ඇතැයි ඔහු පෙන්වා දෙයි.

තමා මන්ත්‍රීවරයකු ලෙස ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් කොටස් නියෝජනය කරන බවත් තමන්ගේ වගකීම ජනතාවගේ සහ රටේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම බවත් එය සිදුකරන්නේ නම් ජනතාව තමා නැවතත් තෝරාගනු ඇති බවත් සඳහන් කළේය.

එහිදී වැදගත් වන්නේ තමන් කවුද යන්න නොව තමන් කළේ කුමක් ද යන්න බව ද ඇමතිවරයා පවසා සිටියේය.

***************************************

සහරාන්ලාගේ තවත් ප්‍රහාර සැලැස්මක් එළියට

(15.02.2020 – 09:47 +0530 – lankaleadnews.com)

සහරාන් හසීම් මෙහෙය වූ අන්තවාදී කණ්ඩායම් 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් නිදහස් දින පෙළපාලිය, ප්‍රධාන පෙළේ හෝටල් හා ප්‍රධාන රෝහල් තුළ එකවර පුපුරාගෙන මහ විනාශයක් කිරීමට සැලසුම් කර තිබූ බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේදී මුල් වරට ඉකුත් සතියේ අනාවරණය විය.

ගිලන් රථවල පුපුරන ද්‍රව්‍ය පුරවා කොළඹ, යාපනය, මහනුවර, රෝහල් තුළ මහා පරිමාණ පිපිරවීම් කිරීමටත් සිදු කළ සැලසුම් දැනට අත්අඩංගුවේ සිටින මරාගෙන මැරෙන පුහුණුව ලද අන්තවාදීන් විසින්ම අනාවරණය කර ඇති බවත් එහිදී හෙළි විය.

වනාතවිල්ලුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එම්.ජේ. මාරසිංහ ඇතුළු කණ්ඩායම සොයාගත් අන්තවාදීන්ගේ පුපුරන ද්‍රව්‍ය තිත්පොළ හා පුපරන කඳවුර තුළදී ඉකුත් වසරේ ජනවාරි 30 දා අන්තවාදීන් අසූවක් පුහුණු කරන්නට සූදානම් කර තිබූ බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

මෙම අන්තවාදී කඳවුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන ජනවාරි 16 දා වැටලීමෙන් පසුව දීර්ඝ විමර්ශනයක් සිදු කරන ලද බවත් රිදීතැන්නේ රුපියල් ලක්ෂ විසිපහකට සහරාන් මිලදී ගත් මහවැලි ඉඩමක තිබී ජෙලක්නයිට් කූරු 238 ක් සොයාගත් බවත් හෙළිවිය.

මෙම විමර්ශනවලට අනුව සහරාන් කණ්ඩායමක් ඉදිරි ප්‍රහාරක තොරතුරු ඇතුළු සියලු කාරණා අප්‍රේල් 10 දා වන විට රටේ ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු පාර්ශ්ව වෙත ලිඛිතව දැනුම් දුන්නද එය නොතකා හැරීම නිසා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වූ බවත් මෙම සතියේදී ජනාධිපති කොමිසමේ හෙළිවිය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Janapathi thumani, Karunaakara daenma american adiraajyawaadinge MCC saha SOFA givisum yojana pathra wahaama iraa wasikilyata damanna. americaawe para ballanta ape ratata athulweemath thahanam karanna. api ewunge wahalun nowana bawa kelinma penwaa denna. ratata awasya awi aayuda saha yuda hamuda puhunukam rusiyaawen saha cheneayen labewi. oya ewun karanne MCC givisumata ape rata yatath karaganna hadanne, emanisaa kelinama daen kiyanna puluwan, ae goo godawal ape ratata awasya natha kiyaa. daenma ohoma karanawanam oya moosalayin, MCC athsan kalaata passe kohoma karayida kiyana eka paenawa neda.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *