ආනයනික කිරිපිටි යනු කිරි නොවෙයි… රසායනික සංයෝග කිහිපයක එකතුවක් – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

(14.02.2020 – 03:05 +0530 – lankaleadnews.com)

මේ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් පත් කළ විද්වත් කමිටු වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. ඒ අනුව එය රාජ්‍ය ආයතනයක් මගින් ප‍්‍රසිද්ධියට පත් කළ නීත්‍යානුකූලව පිළිගත් ලියවිල්ලක් බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. ආනයනික කිරි පිටි යනු සෞඛ්‍යමය වශයෙන් අධි අවදානම් කාණ්ඩයේ ආහාරයකි. මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ද පිළිගනී. දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ගණනාවක් සඳහා ඉහළ අවදානමක් ආනයනික කිරි පිටි හරහා මතුවන බව විද්වත් කමිටු වාර්තාව පෙන්වා දෙන බව ද ඔහු කීය.

ආනයනික කිරි පිටි සමාගම්වල වෙබ් අඩවි පරිශීලනය කිරීමේදී ඔවුන් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ, ශ‍්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල, අඩු මිලදී ගැනීමේ හැකියාවක් සහිත ජනතාවට අඩු මිලට කිරි පිටි ලබා දීමට අවශ්‍ය වන බැවින්, ඒ සඳහා තම කිරි පිටි නිෂ්පාදනවලට පිටතින් ෆාම් තෙල් එකතු කරනා බවයි. විද්වත් කමිටුවත් ඒ බව තහවුරු කර පෙන්වා දෙන බවද හෙතෙම කීය.

ශ‍්‍රී ලංකාව තුළ දැනට අලෙවි කරන ආනයනික කිරිපිටි වර්ග ගණනාවක පැකට්ටුවේ, ඒවාට පිටතින් ෆාම් තෙල්, එළවළු තෙල්, මාළු තෙල්, පොල් තෙල්, සූරිය කාන්ත තෙල්, සෝයා තෙල්, බඩඉරිගු සාරය අඩංගු කර ඇති බව සඳහන්ය. විශේෂයෙන්ම ආනයනික ළදරු කිරි පිටි පැකට්ටු වල මෙය පැහැදිලිව සඳහන් කර ඇති බව විද්වත් කමිටුව පෙන්වා දෙන බවද අලුත්ගේ මහතා කීය.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා :

“ෆාම් තෙල්, පිළිකා ඇතුළු බෝ නොවන රෝග ගණනාවක් සඳහා ප‍්‍රධාන හේතු කාරකයක් විය හැකි බව, විද්‍යාත්මක පර්යේෂණ හරහා පෙන්නුම් කරන බව කමිටුව වාර්තා කරයි.

නව රජය පත්වීමෙන් පසු පත් කළ නව සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත‍්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය සමග අප සිදු කළ පළමු හමුවේදීම ඉහත කී කරුණු පිළිබඳ ඒ මහත්මිය දැනුවත් කරන ලදි. එහි ප‍්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඒකාබද්ධව මහජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට එකඟතාවය පළ කරන ලදි. එහි පළමු පියවර වශයෙන් 2020 ජනවාරි මස 20 වැනිදා ආනයනික කිරි පිටි උවදුර සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික රෝහල කේන්ද්‍ර කරගනිමින් සියලුම රජයේ රෝහල්වල පැවැත්වීමට තීරණය කළ අතර ඒ සඳහා අප සංගමයේ සම්පූර්ණ සහයෝග ලබා දුනි.

දෙවැනි පියවර වශයෙන් මෙම උවදුර සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ලංකාවේ සියලුම පාසල්වල සිදු කිරීමටත්, බුද්ධ ශාසන හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත් සමග එක්ව දහම් පාසල්වල හා සියලු රජයේ ආයතනවලද මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමටද එකඟතාවය පළ විය.

සියලුම පාසල් දරුවන් ආනයනික කිරිපිටි උවදුර සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කොට අවශ්‍ය නිවැරදි වැඩපිළිවෙළක් සකස් කර දෙන මෙන් සෞඛ්‍ය ලේකම්තුමියගෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අප විසින් ඉල්ලා සිටිමු.

අපගේ පාසල් දරුවන් මෙම උවදුරින් බේරා ගැනීම සඳහා වන ජාතික මෙහෙවරට සෞඛ්‍ය ලේකම්තුමියගෙන් අවශ්‍ය සහයෝගය ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

පාරිභෝගික සේවා අධිකාරිය සමග ඒකාබද්ධවද දිවයින පුරා ආනයනික කිරි පිටි උවදුරු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් අද (14 දින) පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිතය” ෴

***************************************

බදියුද්දීන් තවත් හිරවෙයි… සතොසෙන් අතුරුදන් රහස් ලිපි ලේඛන රැසක් මිතුරාගේ නිවසකින් හමුවෙයි

(14.02.2020 – 04:13 +0530 – lankaleadnews.com)

තිඹිරිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවසින් සතොසෙන් අතුරුදන්ව තිබූ ලිපිගොනු රැසක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායම් සමත්වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව මෙතෙක් සොයාගත නොහැකිව තිබූ මෙම ලිපිගොනු හමුවී ඇත්තේ හිටපු ඇමැති බදියුද්දීන්ගේ සොහොයුරාගේ හිතවතකුගේ නිවසිනි. එම හිතවතා බදියුද්දීන් ඇමැතිවරයාගේ සොහොයුරා සමග ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නෙක් බව පැවසේ.

කිලෝවොට් විස්සේ (20) ජෙනරේටර් ගෙන්වන බවට මිල ගණන් පෙන්වා කිලෝවොට් දහයෙ (10) ජෙනරේටර් ගෙන්වීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි මත මෙම විමර්ශන අරඹා තිබිණි.

එම විමර්ශනයට අදාළ කිසිදු ලියකියවිල්ලක් සොයාගත නොහැකි ලෙස අතුරුදන් කර තිබී ඇත. එම හේතුවෙන් රහස් පොලිසිය විමර්ශන අඛණ්ඩව පවත්වාගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි.

කෙසේ වෙතත් තිඹිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවස වටලා සොයාගත් ලිපිගොනු අතර මෙම ලිපිගොනුත් හමුවී තිබේ.

​මොහොමඩ් ඉම්රාන් නමැති අය හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ සොයුරකු වන බදියුදීන් මොහොමඩ් යන අය සමග දෙහිවල, ටී.පී. ද සිල්වා මාවතේ, ‘ක්‍රසන්ට් බටන් මැනුෆැක්චරිස් පුද්ගලික සමාගමේ’ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙසද කටයුතු කර ඇත.

මොහොමඩ් ඉම්රාන්ගේ නිවසින් සොයාගත් ලිපිලේඛන අතර ඉඩම් ඔප්පු 120 ක් පමණ ද හමුවී තිබිණි ෴

+++++++++++++++++++++++++++++++++++

***************************************

සෝෆා, ඇක්සා ගිවිසුම් ගැන කෙහෙලිය කියන්නෙ බොරු ! මෙන්න ඇත්ත ! – වෛද්‍ය වසන්ත බණ්ඩාර (13-02-2020)

***************************************

හිටපු තානාපති උදයංග වීරතුංගගෙන් CIDය ප්‍රශ්න කරයි

(14.02.2020 – 07:21 +0530 – sinhala.adaderana.lk)

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අද (14) අළුයම කටුණායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඔහු දිවයිනට පැමිණ ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.

හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු බව අද දෙරණ වාර්තාකරු පවසයි ෴

***************************************

ධම්මික පෙරේරා – JW Marriott සහ Ritz-Carlton සමඟ ගිවිසුම්ගත වෙයි. ජාත්‍යන්තර හෝටල් දෙකක් ශ්‍රී ලංකාවට

(13.11.2019 – biz.adaderana.lk)

ලොව ප්‍රමුඛතම හෝටල් සන්නාම දෙකක් වන JW Marriott සහ Ritz-Carlton හෝටල් මෙරට ස්ථාපිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම පසුගිය දා සිදුවිය. වැලිබල් වන් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන ග්‍රීනර් වෝටර් ලිමිටඩ් හි සභාපතිවරයා වශයෙන් මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සහ සමර් සීසන් ලිමිටඩ් හි සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා මෙහිදී අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කරන ලදී.

මැරියට් ඉන්ටර්නැෂනල් ආසියානු ශාන්තිකර (චීනය හැර) සභාපති රජීව් මෙනන් සමඟින් ධම්මිකා පෙරේරා මෙහිදී අවබෝධතා ගිවිසුමට එළඹි අතර Ritz Carlton මිරිස්ස සඳහා හේලීස් පීඑල්සී සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා අත්සන් කරන ලදී.

මෙම ගිවිසුම් ප්‍රකාරව අතිසුඛෝපභෝගී කාමර 500 කින් යුතු තරු පහේ JW Marriott හෝටලයක් මීගමුවේ දී 2021 සිව්වන කාර්තුවේ දී විවෘත වීමට නියමිතය. එසේම කාමර 228 කින් යුතු Ritz Carlton හෝටලය 2022 තෙවන කාර්තුවේ දී මිරිස්සේ දී විවෘත වේ.

***************************************

ජගත් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ලෙස වැඩ භාරගනී

(14.02.2020 – mawbima.lk)

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස පත් වූ විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ඊයේ (13 දා) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී සර්ව ආගමික ආශීර්වාද මධ්‍යයේ වැඩ භාරගත්තේය.

එහිදී විශාරද ජගත් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලය අමතමින් මෙසේ කීය :

“ගුවන්විදුලිය සමඟ මට තියෙන්නේ ලොකු ඉතිහාසයක්. මම තාත්තගේ අතේ එල්ලිලා ගුවන් විදුලියට එනකොට අවුරුදු 3ක් විතර. එතකොට අපේ තාත්තා මේ ආයතනයේ සංගීත අංශයට සම්බන්ධව සේවය කළා. මගේ තරුණ වයසට එද්දී මම ඉන්ජිනේරු සේවයට යොමු වුවත් ළමා කාලයේ ඉඳලා ගුවන්විදුලිය සමඟ තිබ්බ සම්බන්ධය නැවැත්තුවේ නෑ.

ඉන්පසු වාදකයකු විදිහට සංගීත අංශයේ සේවය කළා. ගුවන්විදුලිය මට ගෙදර වගේ. සේවකයෝ මගේ සහෝදරයෝ. ඒ හැමෝම එක්ක එකතුවෙලා ගුවන්විදුලිය ගොඩනඟන්න අදිටන් කරගෙන ඉන්නවා”

මෙහිදී අභිනව සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන චන්ද්‍රපාල ලියනගේ මහතාගේ දක්ෂතාව හා හැකියාව උපයෝගි කරගැනීමට ලැබීම පිළිබඳ තම සතුට ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට විශාරද එඩ්වඩ් ජයකොඩි, රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි කලාකරුවෝ රැසක් සහභාගි වූහ ෴

+++++++++++++++++++++++++++++++++++

***************************************

රාජිතගේ මහා පරිමාණ මාළු ජාවාරම එළියට

(14.02.2020 – 01:00 +0530 – dinamina.lk)

• වසරකට කෝටි 1800 ක් පාඩු කරලා
• යුරෝපා සංගමයේ කොන්දේසිත් කඩලා
• නැව් කීපයක් මිලට අරන්
• ඥාති සංග්‍රහත් ජයටම

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 2014 කාලයේ ධීවර අමාත්‍ය ධූරය දරන වකවානුවේ මෙරට ධීවර කර්මාන්තය කඩාවැට්ටවීමේ කුමන්ත්‍රණයක් හරහා වසරකට රුපියල් කෝටි 1800 ක පමණ පාඩුවක් සිදු කර ඇති බව හෙළිදරව් වී තිබේ.

රජයට හානි සිදු කිරීමේ අරමුණ ඇතිව යුරෝපා සංගමය හඳුන්වා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක නොකරමින් සහ ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කර මෙරටට ලැබීමට තිබු ආදායම් නැති කරමින් ධීවර කර්මාන්තයට මෙම අලාභය සිදුකර ඇත.

රාජිත සේනාරත්න මහතා නැව් කිහිපයක් මිලට ගෙන එම නැව්වලට මුහුදේ දී මාළු මිල දී ගනිමින් එම මාළු ගොඩබිමට නොගෙනවිත් මුහුද මැදදී විදෙස් ව්‍යාපාරිකයන්ට විකිණීම මෙම ජාවාරම මඟින් සිදු කර ඇති බවද හෙළිදරව් වී ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.

රාජිතගේ මෙම මුහුද මැද සිදුවූ ජාවාරම නිසා මෙරටින් විදෙස් රටවලට මාළු අපනයන කරන ව්‍යාපාරිකයන් හතළිහකට ආසන්න පිරිසකගේ ව්‍යාපාර සම්පුර්ණයෙන් ම කඩා වැටී එම ව්‍යාපාර වැසි ගොස් තිබූ බවද පැවසේ. මෙම ව්‍යාපාරය හරහා රාජිත සේනාරත්න මහතාට රුපියල් කෝටි ගණන් ආදායම් ලැබී යද්දී මෙරට ධීවර කර්මාන්තය හරහා රටට ආදායම් ලබා දෙන සහ විදේශ විනිමය උපයා දෙන පිරිසගේ ආදායම් සම්පූර්ණයෙන් ම කඩා වැටී ගොස් ඇත.

එවකට පැවැති රජයට සියලු කරුණු වසන් කර ඉතාමත් සූක්ෂම ලෙස ධීවර කර්මාන්තය කඩා වැටීමට ලක්කර මේ ආකාරයෙන් රජයට විශාල හානියක් සිදු කර ඇති රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා රජයට තවත් පැත්තකින් ආදායම් ලබා දෙන ධීවර සංස්ථාව වැසී යන තත්ත්වයට කරුණු කාරණා සිදු කර ඇති බවද අමාත්‍යාංශය තවදුරටත් කරුණු හෙළිදරව් කරයි.

ඒ අනුව ධීවර සංස්ථාවට එන මාළුවලින් සෑම වසරකම සිංහල අවුරුද්දට පාර්ලිමේන්තුවේ සිටින 222 ක් පමණ වූ සාමාජිකයන්ට මිල ඉහළ තෝරු තලපත් කෙලවල්ලා ඉස්සා ඇතුළු මාළු කිලෝ ගණන් සහිත විශාල පෙටිටිය බැගින් ලබා දීමටත්, තමාට හිතවත් රජයේ නිලධාරීන් පෞද්ගලික අංශවල පිරිසටත් ඇතුළු රුපියල් කෝටියක පමණ මාළු ත්‍යාග වශයෙන් යැවීමටත් මේ ආකාරයෙන් ම දෙසැම්බර් නත්තල් කාලයටත් ඇතුළු තම හිතවතුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා ද මාළු පෙට්ටි පිටින් යැවීම සිදුකර ඇත.

මෙම වියදම ධීවර සංස්ථාවට දැරිය නොහැකි තරම් බරක් වූ අතර ඉන් ධීවර සංස්ථාවට ලාභයටත් වැඩි වියදමක් දැරීමට සිදුවිම නිසා ධීවර සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත් වී ඇත.

රාජිත සේනාරත්න මහතගේ මෙම සූක්ෂම වැඩ පිළිවෙළ නිසා යුරෝපා රටවල් අතර අංක එකට අපේ මාළුවලට තිබුණු තැන මාලදිවයිනට ලැබෙන තරම් දුරට ක්‍රියාත්මක වී ඇති බවද වාර්තා වෙයි.

යුරෝපා සංගමය මෙරට ධීවර කර්මාන්තය තවදුරටත් වැඩි දියුණු කිරීම පිණිස කරුණු කිහිපයක් හඳුන්වා දී තිබුණි.

එනම් මුහුදු යන බහුදින යාත්‍රාවලට ජී. පී. එස්. තාක්ෂණ උපකරණ සවිකිරීම, දිනපතා ලබා ගන්නා මාළුවල දත්ත ක්‍රමයක් පවත්වා ගෙන යාම, මාළු අපනයනය සඳහා හොඳම මාළු ගණනාවක් නිර්දේශ කිරීම, ජාත්‍යන්තර මුහුදු සිමාවන්ට පිටස්තර ධීවරයන්ගේ පැමිණීම වැළැක්වීමට පියවර ගැනීම මේ ආකාරයෙන් ධීවර කර්මාන්තයේ දියුණුවට යුරොපා සංගමයෙන් හඳුන්වා දී තිබූ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇමැතිවරයා වළක්වාලීම නිසා යුරොපා සංගමය ගත් තීරණ නිසා කාලයක්තිස්සේ මෙරට ධීවර කර්මාන්තය සහ ජාත්‍යන්තරයේ අංක එකට සිටි මෙරට ධීවර කර්මාන්තයට විශාල හානියක් සිදු වී ඇත.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා එවකට පැවැති රජයට කරුණු වසන් කරමින් තම පුද්ගලික ධීවර ව්‍යාපාරයක් මුහුද මැද ආරම්භ කළ මාළු අපනයනය හොර රහසේ සිදු කිරීමත්, ධීවර සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත් කිරීමත් ලෝකයේ ධීවර කර්මාන්තයට තිබු තැන නැති කිරීමත් නිසා මෙරට ධීවර කර්මාන්තයේ නියැලි විශාල පිරසකට ආදායම් නැති කර දැමිනි.

එසේම ධීවර ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වසා දැමීම නිසා ධීවර කර්මාන්තයට ගණනය කළ නොහැකි තරම් විශාල හානියක් සිදු කර ඇති බව ධීවර අමාත්‍යාංශය කරුණු අනාවරණය කරගෙන ඇත.

විජයානි එදිරිසිංහ

+++++++++++++++++++++++++++++++++++

දිනමිණ පුවත ඵල දරයි – රාජිත ගැන පරී­ක්ෂණ

(15.02.2020 – 01:00 +0530 – dinamina.lk)

හිටපු ඇමැති රාජිත සේනා­රත්න මහතා ධීවර ඇමැ­ති­ව­ර­යාව සිටි කාලයේ දී මෙරට ධීවර කට­යුතු අඩාල කිරීම හරහා පැවැති රජ­යට හානි­යක් සිදු කිරීමේ කුම­න්ත්‍ර­ණ­යට අදාළ තොර­තුර විස්තර ඊයේ (14) දින­මිණ පුවත් පතේ පළ කිරී­මෙන් පසු එම පුවත ඵල දර­මින් ධීවර කට­යුතු පිළි­බඳ අමා­ත්‍යාං­ශය ඒ සම්බ­න්ධව පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කිරී­මට පිය­වර ගෙන තිබේ.

මේ ප්‍රවෘ­ත්තිය පළ­වී­මෙන් පසු ඊයේ (14) දින ධීවර කට­යුතු අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රි­යකු කතා කර පවසා සිටියේ මේ සම්බ­න්ධව පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කරන බවත් ඊට අදා­ළව මාධ්‍ය මගින් පළ කරන ලද තොර­තුරු ඔවුන්ට ද අව­ශ්‍යව ඇති බවත්ය. මේ අතර ධීවර ඇමැති ඩග්ලස් දේවා­නන්ද මහතා විසින් ද සිය නිල­ධා­රීන්ට උප­දෙස් දෙමින් රාජිත සේනා­රත්න හිටපු ඇමැ­ති­ව­ර­යාගේ කාලයේ දී සිදුවී ඇති මේ විශාල හානිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙස­ටත් ධීවර සංස්ථාව හරහා විස්තර ලබා ගනි­මින් පාර්ලි­මේ­න්තුවේ සාමා­ජි­ක­යන්ට මාළු පෙට්ටි ත්‍යාග පෙට්ටි වශ­යෙන් ලබා­දීම අතුළු සිදුවී ඇති සියලු අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් තොර­තුරු ලබා ගෙන පරී­ක්ෂ­ණ­යක් සිදු කරන ලෙසට අදාළ නිල­ධා­රීන්ට උප­දෙස් දී ඇත.

මේ අනුව ඒ සඳහා නිල­ධා­රීන් පිරි­සක් යොදා ගෙන විධි­මත් ලෙස ඉදිරි දින­වල දී පුළුල් පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කිරී­මට නිය­මි­තය.

විජයානි එදිරිසිංහ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *