නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි (විඩියෝ)

• පාස්කු ප්‍රහාර ගැන සොයන ජනපති කොමිසමට ආ මවුලවිවරයකුගෙන් පරස්පර ප්‍රකාශ (විඩියෝ)

• බදියුදීන්ගේ ගිණුමකට ඩොලර් ලක්ෂයක් බැරවීම ගැන විමර්ශනයක් කළ යුතුයි – මොහොමඩ් මුසම්මිල් (විඩියෝ)

• වනජීවි නිලධාරිනිය ආදර්ශයට ගන්න – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක (විඩියෝ)

• නුවරඑළිය දිස්ත්‍රික් රැස්වීමේදී උණුසුම් තත්වයක් (විඩියෝ)

• පාසල් ළමුන් ගිය බස් රථය දුම්රියේ ගැටෙයි (විඩියෝ)

• COVID 19 දිනක් තුළ 242 ක් බිලිගනී (විඩියෝ)

• උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කරන බව අගමැති කියයි (විඩියෝ)

• ගෝඨාභය රාජපක්ෂ රජය අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගසන්නේ නෑ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන (විඩියෝ)

• වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට අදාළ උපදෙස් ලැබී නැහැ – CCD (විඩියෝ)

• වෝහාරික විගණනයට ඇමිණුම් පිටු 10,000 යි

• කුරුණෑගල-මහව ද්විත්ව දුම්රිය මාර්ගයක් වෙයි

• ‘හිරු සී.අයි.ඒ.’ හෙළිදරව්ව ගැන අගමැතිගේ අවධානය යොමුවෙයි (විඩියෝ)

• දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස 23 වනදා විවෘත කෙරේ

• EPF සාමාජිකයන්ට කෙටි පණිවුඩයක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි

(13.02.2020 – 21:34 +0530 – sinhala.adaderana.lk)

නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වෙයි.

අද (13) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ‘ශක්ති සම්පන්න රාජ්‍යයක් – අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා’ මැයෙන් ‘යුතුකම සංවිධානය’ සම්පාදනය කළ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

අපට උරුම සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩනැගීම, සැබෑ මහජන නියෝජනය හා ජනතා පරමාධිපත්‍ය, ඒකීය ශ්‍රී ලංකාවක් තහවුරු කිරීම, විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල තුලනය සහ යුතුකම මුල්කරගත් සමාජයක් යන අරමුණු 05 ක් සහිතව යෝජනාවලිය සම්පාදනය කර තිබේ.

යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා ජනාධිපතිවරයා වෙත එය පිළිගැන්වීය.

ආචාර්ය ගුණදාස අමරසේකර සහ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහත්වරුන් වෙත ජාතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අගයමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විශේෂ අනුශාසනාවක් කළහ.

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, දයාසිරි ජයසේකරයන අමාත්‍යවරුන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා මහජන නියෝජිතයෝ ද, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ විද්වතුන්, කලාකරුවන්, ලේඛකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

+++++++++++++++++++++

***************************************

පාස්කු ප්‍රහාර ගැන සොයන ජනපති කොමිසමට ආ මවුලවිවරයකුගෙන් පරස්පර ප්‍රකාශ

(13.02.2020 – 22:41 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි විමසීම අදත් (13) සිදුවුණි.

එහිදී සාක්ෂි ලබාදුන් මාවනැල්ල ප්‍රදේශයේ මවුලවීවරයෙක් පරස්පර ප්‍රකාශ ලබාදීම නිසා කුරාණය මත දිවුරා සාක්ෂි ලබාදෙන්නැයි කොමිසම ඔහුට කියා සිටියේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (13) මාවනැල්ලේ මවුලවීවරයෙක් යැයි කියන මොහොමඩ් කලීල් මොහොමඩ් රිස්වාන් නැමැත්තායි.

මවුලවීවරයෙක් වන්නේ කෙසේදැයි කොමිසම ප්‍රථමයෙන්ම ඔහුගෙන් විමසා සිටියි.

මුස්ලිම් කටයුතු අමාත්‍යංශයෙන් පවත්වනු ලබන විභාගයක් සමත්වීමෙන් පසු මවුලවීවරයෙක් විය හැකි බව එහිදී සඳහන් කළ සාක්ෂිකරු කියා සිටියේ තමන් අදාළ විභාගයට පෙනී සිට නොමැති බවයි.

එබැවින් මවුලවිවරයෙක් සතුවිය යුතු සහතිකයක් තමාට නොමැති බවද ඔහු එහිදී කියා සිටියේය.

සාක්ෂිකරු ඉකුත් ජනවාරි මාසයේදී ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයට ලබාදුන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මෙහිදී කොමිසම විමසා සිටියේය.

ඒ මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරිමේ සිද්ධියේ සැකකරුවෙක් වන ෆවුශාන් නැමැත්තා සහරාන් හෂිම් නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාත් සංවිධානය හා එක්ව කටයුතු කරන බවට දැනගත් පසු සිය පල්ලියේ දායක සභාවට ඔහුව කැඳවා, අවවාද කළේ යැයි සාක්ෂිකරු මීට පෙර සිදුකළ ප්‍රකාශයක් පිළිබඳවයි.

ඒ පිළිබඳ අද (13) කරුණු විමසීමේදී මොහොමඩ් රිස්වාන් පැවසුවේ අදාළ තරුණයා පල්ලියේ දායක සභාව වෙත කැඳවූයේ ඔහු වැරදි මඟ යාම නිසා වුවත් ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග එක්ව වැඩ කළ නිසාවෙන් නොවන බවයි.

සාක්ෂිකරුගේ ප්‍රකාශ පරස්පර වීම නිසා කුරාණය මත අත තබා අසත්‍ය නොපවසන බවට දිවුරා සාක්ෂි ලබාදෙන්නැයි ජනාධිපති කොමිසම කියා සිටියේය.

එහිදී ඔහු කුරාණය මත අත තබා ප්‍රකාශ කළේ අදාළ තරුණයා පල්ලියේ දායක සභාව වෙත කැඳවුයේ ඔහු වැරදි මඟ ගිය නිසාවෙන් පමණක් වන බවයි.

කෙසේවෙතත් ඔහු අවස්ථා දෙකකදී ලබාදුන් ප්‍රකාශ පරස්පර වීම නිසා කොමිසම එය පරස්පර සාක්ෂියක් ලෙස සටහන් කර ගනු ලැබුවේය.

පැය එකහමාරක පමණ කාලයක් සාක්ෂි දුන් ඔහු කොමිසමෙන් පිටව ගියේය.

***************************************

බදියුදීන්ගේ ගිණුමකට ඩොලර් ලක්ෂයක් බැරවීම ගැන විමර්ශනයක් කළ යුතුයි – මොහොමඩ් මුසම්මිල්

(13.02.2020 – 22:09 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ගිණුමකට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් බැරවීම සම්බන්ධයෙන් වහාම පොලිස් විමර්ශනයක් පවත්වන ලෙස ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පොලිසියෙන් ඉල්ලා සිටියේය.

ඔහු පෙන්වා දෙන්නේ බදියුදීන් මන්ත්‍රීවරයා ඔහුට එරෙහිව එල්ල වන චෝදනාවලට දක්වන ප්‍රතිචාර පිළිගත නොහැකි බවයි.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ ගිණුමකට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් බැර වී ඇතැයි පසුගියදා විමල් වීරවංශ අමාත්‍යවරයා කළ අනාවරණයට අදාලව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා අද (13) පොලිස් මූලස්ථානයට ඒ පිළිබඳ ලිඛිත පැමිණිල්ලක් ගොනු කළේය.

මේ අතර කුරුණැගල වෙළද ව්‍යාපාරිකයින්ගේ හමුවක් ඇමතූ වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සඳහන් කළේ ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් තම වාසිය තකා ජාතිවාදය පතුරුවා හැරි බවයි.

***************************************

වනජීවි නිලධාරිනිය ආදර්ශයට ගන්න – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක

(13.02.2020 – 21:16 +0530 – sinhala.adaderana.lk)

මීගමුව කඩොලාන ආශ්‍රිත ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් වන අඩවි නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත්, පෙනීසිටින බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.

අද (13) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මීගමුව කලපුව සංවර්ධනය කිරීම සදහා පසුගියදා ධිවර රාජ්‍ය අමාත්‍යවරයා , වනසංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රෙදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමේදී ගම්පහ වනඅඩවි නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය සහ රැස්ව සිටි පිරිස අතර මතබේදාත්මක තත්ත්වයක් හටගත්තේය.

මේ අතර අද පැවති උත්සවයකදී අදහස් දක්වමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ පැවසීය :

“කඩොලාන රකින්න නිලධාරිනියගේ සටන ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි. රජයේ නිලධාරියෙක් පක්ෂපාති විය යුත්තෙ පුද්ගලයෙකුට නොව ව්‍යවස්ථාවටයි. වනජීවි නිලධාරිනිය ආදර්ශයට ගන්න.”

+++++++++++++++++++++++++++++++++++

15-02-2020

+++++++++++++++++++++

***************************************

නුවරඑළිය දිස්ත්‍රික් රැස්වීමේදී උණුසුම් තත්වයක්

(13.02.2020 – 20:43 +0530 – sinhala.adaderana.lk)

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (13) එස්.බී. දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා හා නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි.

ඒ ප්‍රදේශයේ නිවාස ගැටලුවක් මුල්කරගනිමින්ය.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (13) පැවැත්වුණේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් හා රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

එහිදී නුවරඑළිය අඹේවෙල ග්‍රාම නිලධාරීවරයාගේ නිල නිවසෙහි කලක පටන් පදිංචි වී සිටින පවුලක් ඉන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එස්.බී. දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පලකිරීමේදී උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

ඒ නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපති වේලූ යෝගරාජා හා එස්.බී. දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා අතර බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එහිදී නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සමග ආගරපතන, කොටගල, මස්කෙළිය සහා නෝර්වුඩ් යන ප්‍රාදේශීය සභාවල සභාපතිවරු හා හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා රැස්වීමෙන් පිටව ගියේය.

එමෙන්ම මුත්තු සිවලිංගම් මන්ත්‍රීවරයාද එම ස්ථානයෙන් පිටත් වුණි.

අනතුරුව රැස්වීම අවසන් වූ අතර එස්.බී. දිසානායක මහතා සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව පළකළේය.

+++++++++++++++++++++

***************************************

පාසල් ළමුන් ගිය බස් රථය දුම්රියේ ගැටෙයි

(13.02.2020 – 20:19 +0530 – sinhala.adaderana.lk)

කොලොන්නාව හරස් මාර්ගයේ පසුපසට ධාවනය වූ දුම්රියක් පාසැල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක ගැටුණි.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුර කෙළොන්නාව තෙල් සංස්ථාව අසළ සිදුවූයේ අද (13) පස්වරු 2.30 ට පමණ.

ගුවන්තොටුපල වෙත තෙල් ප්‍රවාහනය කර නැවත තෙල් සංස්ථාවට පැමිණෙමින් සිටි මෙම දුම්රිය, සංස්ථාව තුල නවතා තිබියදී යළි පසුපසට ධාවනය වී තිබේ.

එංජිමෙන් වෙන්ව තිබූ දුම්රිය මැදිරි නතර වී ඇත්තේ, කොලොන්නාව තෙල් සංස්ථාව අසල දුම්රිය හරස් මාර්ගයේ ගමන් කරමින් තිබූ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක ගැටීමෙන්ය.

මෙම අනතුර සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි නිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

කෙසේ වෙතත්, සිදුවීමට ගිය විශාල විනාශයක් වාසනාවට වැළකී ගියත්, බැලූ බැල්මට පෙනී යන්නේ මෙය නොසැළකිල්ල මත සිදුවූවක් බවයි.

+++++++++++++++++++++

***************************************

COVID 19 දිනක් තුළ 242 ක් බිලිගනී

(13.02.2020 – 19:51 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් රෝගයෙන් දිනකදී මියගිය වැඩිම සංඛ්‍යාව ඊයේ වාර්තා වුණි.

දිනක් ඇතුළත 242 ක් රෝගයට ගොදුරු වී මියයන විට දිනක් තුළ රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 14 දහස ඉක්මවා ගියේය.

ආසාදිතයින් සංඛ්‍යාව අනපේක්ෂිත ලෙස ඉහළ යන විට චීන පොලිසිය පුද්ගලයින් පිරිසකට වෙඩි තබන දර්ශන
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යයි.

කොවිඩ් නයින්ටීන් අසාදිතයින් චීනය ඝාතනය කරන බවට දැක්වෙන වීඩියෝපට මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

තුවක්කු අතැතිව කිසියම් පිරිසක් මාර්ගවල ගමන් ගන්නා අයුරු සහ පුද්ගලයින් තුවාල සහිතව මහ මඟ වැටී සිටින අයුරුත් එම වීඩියෝ පටවල අන්තර්ගතයි.

කෙසේ වෙතත් මෙරට චීන තානාපති කාර්යාලය අද නිවේදනය කළේ, සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අදාළ වීඩියෝ පටවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.

එමෙන්ම චීනයේ ප්‍රතිරූපය බිඳදැමීමේ අරමුණින් ද්වේශ සහගතව සිදුකර ඇති ක්‍රියාදාමය තරයේ හෙළා දකින බව ද එම නිවේදනයේ දැක්වෙයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයෙන් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව පසුගිය 11 වැනිදා වාර්තා වූයේ 103 ක් ලෙසින්.

කෙසේ වෙතත් චීන බලධාරීන් අපේක්ෂා නොකළ අන්දමට ඊයේ දිනයේ දී මරණ 242 ක් වාර්තා වුණි.

වෛරසය ආසාදනයෙන් මීට පෙර දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව සමඟ සැසඳීමේදී එය දෙගුණයකින් වැඩිවීමක්.

එමෙන්ම පසුගිය සතියේදී දෛනිකව 2000-3000 ත් අතර පැවැති අසාදිතයින් වාර්තා වීම, ඊයේ දිනය වන විට 14,840 ක ඉහළ අගයක් පෙන්නුම් කළේය.

ඒ අනුව ලෝපුරා සිටින කොරෝනා වෛරස අසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 60,000 ඉක්මවයි.

කොවිඩ් නයින්ටීන් ආසාදනයෙන් අද වනවිට මියගිය සංඛ්‍යාව 1357 කි.

+++++++++++++++++++++

***************************************

උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කරන බව අගමැති කියයි

(13.02.2020 – 19:27 +0530 – sinhala.adaderana.lk)

උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථානවල සීමා මායිම් නිසි පරිදි සලකුණු කර එම ස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

භික්ෂූන්වහන්සේ පිරිසක් සමග පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙරට බුද්ධ ශාසනය මුහුණ පා තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහමන්දිරයේදී ඊයේ පැවැත්වුණි.

මුහුදු මහා විහාරය, යාපනයේ ඓතිහාසික සිද්ධස්ථාන, ඩෙල්ෆ් දූපතේ පෞරාණික චෛත්‍ය, මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය සහ අනෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථාන වල අනාරක්ෂිත භාවය පිළිබඳව පුරාවිද්‍යාත්මක නිලධාරීන් සමග සාකච්ඡාකර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා වෙත මෙහිදී උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++

***************************************

ගෝඨාභය රාජපක්ෂ රජය අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගසන්නේ නෑ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

(13.02.2020 – 18:55 +0530 – sinhala.adaderana.lk)

ගිහාන් පිලපිටිය විනිසුරුවරයා සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා අතර මතුව ඇති මතභේදාත්මක තත්ත්වයට රජය මැදිහත් නොවන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ රජය පසුගිය රජය මෙන් අධිකරණ ක්‍රියාවලියට මැදිහත් නොවන බවයි ඒ මහතා පැවසුවේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයී.

මේ අතර දීර්ඝ කාලීනව උසස්වීම් ලබා නොසිටි පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් වීම් ලබා දීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

වසර 10 කට වැඩි කාලයක් සේවයේ නියුතුව සිට උසස්විම් නොලද පොලිස් කොස්තාවල්වරුන්ට අදාල උසස්විම් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

මේ අතර මීගමුව කඩොලාන ආශ්‍රිත ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් වන අඩවි නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත්, පෙනීසිටින බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

***************************************

වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට අදාළ උපදෙස් ලැබී නැහැ – CCD

(13.02.2020 – 18:20 +0530 – sinhala.adaderana.lk)

අදාළ නඩුව අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා මේ බව දැනුම් දුන්නේය.

වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ඊයේ අධිකරණයට කරුණු වාර්තා කරමින් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන්කළේ විනිසුරුවරයා පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.

එම වරෙන්තුව ලබා ගැනීමට නම් විමර්ශන සිදුකරන නිලධාරියෙකුඊට අදාළව සාක්ෂි ලබාදිය යුතු බවට එහිදි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ.පැල්පොල මහතා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීම හේතුවෙන් නඩුව අද දිනය දක්වා කල් තැබුණි.

අද (13) දිනයේ අධිකරණය හමුවේ යළිත් කරුණු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා පැවසුවේ රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ අධිකරණ කටයුතු පිළිබඳව සංවාදයේ යෙදීම හේතුවෙන් ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට එරෙහිව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවයි.

ඒ අනුව අද (13) දිනයේ දී ගිහාන් පිලපිටියට මහතාට එරෙහිව වරෙන්තුවක් ලබාගන්නේ ද නැද්ද යන්න පිළිබඳව සහ එම විනිසුරුවරයා පිළිබඳ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් නිලධාරීන්ගෙන් විමසන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරයා අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් සිදු කළේය.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදුන් කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා පැවසුවේ ඒ පිළිබඳ තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවයි.

මේ හේතුවෙන් අද (13) දිනයේ දී හිටපු මහාධිකරණ විනිසුරුවරයාට අදාළව වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් නොමැති බව ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා පැවසුවේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට යම් කාලයක් ලබාදෙන ලෙස තමන් ඉල්ලීමක් කරන බවයි.

කරුණු සැලකිල්ලට ගත් නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ.පැල්පොල මහතා, ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට අදාළ නීති කෘත්‍ය ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නඩුව කැඳවන ලබන 26 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

වැඩතහනමකට ලක්ව ඇති මහාධිකරණ විනිසුරුවරයෙකුට අදාළ අධිකරණ ක්‍රියාවලියක් වීම හේතුවෙන් මෙහි කටයුතු දැක බලා ගැනීම සඳහා නීතීඥවරුන් රැසක් අද (13) නුගේගොඩ අධිකරණ සංකීර්ණය වෙත පැමිණ සිටි බව ද ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

+++++++++++++++++++++

***************************************

වෝහාරික විගණනයට ඇමිණුම් පිටු 10,000 යි

(13.02.2020 – 14:36 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබඳව නිකුත් කර ඇති වෝහාරික විගණනය, වාර්තා 05 කින් සහ පිටු 10,000 කට ආසන්න ඇමිණුම් ප්‍රමාණයකින් සමන්විත වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කරයි.

එය ඉතා විශාල වාර්තාවක් වන බැවින් ලබන පෙබරවාරි 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයට පෙර මේ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීම මන්ත්‍රීවරුන්ට එතරම් පහසු කටයුත්තක් නොවනු ඇතැයි ද හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

වෝහාරික විගණනයක් සිදුකරනු ලැබූවේ බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසම් සභාවේ මෙන්ම කෝප් කමිටුවේ ද නිර්දේශය මත බැවින් වෝහරික විගනණනය පිළිබඳව පළමුව කෝප් කමිටුව තුළ සාකච්ඡා කර ඒ පිළිබඳව සාරාංශ වාර්තාවක් සැකසීමට හැකියාව තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

එහෙත් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබීම හේතුවන් කෝප් කමිටුවට රැස්වීමට නොහැකිවූ නමුත් ඉදිරියේදී කෝප් කමිටුව තුළ වෝහාරික විගණන වාර්තාව සාකච්ඡාවට කැඳවන බව ද සභාපතිවරයා පැවසීය ෴

***************************************

කුරුණෑගල-මහව ද්විත්ව දුම්රිය මාර්ගයක් වෙයි

(13.02.2020 – 14:16 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ කුරුණෑගල සහ මහව අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ මහව අතර කොටස තුළ පවතින තදබදය හේතුවෙන් උදෑසන සහ සවස කාර්යාල දුම්රිය පැයකට අධික කාලයක් ප්‍රමාද වීම ඉතා සුලභ තත්ත්වයකි.

එබැවින්, උතුර බලා ධාවනය වන මගී දුම්රියවල ගමන් කාලය අඩුකර, උතුරු දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමේ සමස්ත ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා ඉන්දියානු ණය ආධාර යටතේ ඉතිරිව පවතින අරමුදල් භාවිතා කරමින් කුරුණෑගල සහ මහව අතර දැනට පවතින මාර්ගයට අමතරව, වැඩිදියුණු කළ සංඥා පද්ධතියක් සහිත කිලෝ මීටර 43 ක අතිරේක මාර්ගයක් ඉදි කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත

එමෙන්ම අදාළ උපදේශක සේවාවන් සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සේවය ලබාගැනීමටත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

***************************************

‘හිරු සී.අයි.ඒ.’ හෙළිදරව්ව ගැන අගමැතිගේ අවධානය යොමුවෙයි

(13.02.2020 – 20:42 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගොඩගැසී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා රෝහල් පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් ඊයේ (12) පැමිණියේ ඒ අනුවයි.

‘හිරු සී.අයි.ඒ.’ හරහා අප පසුගිය 11 වෙනිදා අනාවරණය කලේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළදරුවන් හා කාන්තාවන් ශල්‍යකර්ම කිරීමෙන් අනතුරුව නේවාසික ප්‍රතිකාර සඳහා යොමුකෙරෙන වාට්ටු අංක 28 ඉදිරිපිට ඇති තත්ත්වයයි.

අඩි ගණනාවක් උසට මෙලෙස ගොඩ ගසා තිබුනේ විවිධ ශල්‍යකර්මවලින් අනතුරුව ඉවත් කරනා ලේ තැවරුණු ගොස්, පුළුන් ආදී සායනික අපද්‍රව්‍යයයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඇති සායනික අපද්‍රව්‍ය පුළුස්සන දහනාගාරයේ දෝෂයක් හේතුවෙන් මෙලෙස සායනික අපද්‍රව්‍ය ගොඩගැසීමට ඉඩ හැර තිබුනා.

මීට කිසිඳු විකල්ප ක්‍රියාමාර්ගයක් නොසොයා මාස ගණනාවක් මෙම සායනික අපද්‍රව්‍ය ගොඩගැසීමට ඉඩහැරීම හේතුවෙන් රෝහල අවට විෂබීජ පතුරුවන මර්මස්ථානයක් බවට පත්ව තිබුණේ කලක සිටයි.

අප ‘හිරු සී.අයි.ඒ.’ හරහා මෙම සායනික අපද්‍රව්‍ය ගැටඑව ප්‍රචාරය කිරීමත් සමඟ ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

මාස ගණනාවක් පුරා රෝගීන් පීඩාවට පත්කරමින් තිබු සායනික අපද්‍රව්‍ය ගැටළුවට නිමා කිරීමට කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් ඊයේ (12) කුරුණෑගල රෝහල වෙත පැමිණියේ ඒ අනුවයි.

අපගේ පුවත ප්‍රචාරයවීමත් සමඟ අකර්මන්‍යව තිබු රෝහලේ දහනාගාරය ද ලහි ලහියේ ප්‍රතිසංස්කරණය කරන අයුරු දක්නට ලැබුණා.

***************************************

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස 23 වනදා විවෘත කෙරේ

(13.02.2020 – 17:32 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස මේ මස 23 වැනිදා විවෘත කෙරෙන බව මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව, කිලෝමීටර් 96 ක දිගින් යුත් එම කොටස රථවාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය විවෘත කෙරෙන්නේ.

මෙම දිගුව මඟින් රටේ ප්‍රධාන වරායන් හා ගුවන් තොටුපළවල් දෙක සම්බන්ධ කර භාණ්ඩ පහසුවෙන් හුවමාරු කිරීමට හැකි අතර මගීන්ට පහසුවෙන් ගමන් කිරීමට හැකියාව ද ලැබෙනවා ෴

***************************************

EPF සාමාජිකයන්ට කෙටි පණිවුඩයක්

(13.02.2020 – 14:03 +0530 – hirunews.lk/sinhala)

සේවක අර්ථ සාධක අරමුදලේ දායකත්වය දරන සාමාජිකයන්ට සිය මාසික දායක මුදල් සිය ගිණුමට බැරවී ඇති බවට කෙටි පණිවුඩ ඔස්සේ දැනගත හැකි ක්‍රමයක් සැකසීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සාමාජිකයා විසින් නම් කරන ජංගම දුරකථන අංකයකට එම පණිවුඩය ලැබෙනු ඇති.

සේවක අර්ථ සාධක අරමුදලේ ස්ථිර සාමාජිකත්වය දරන සාමාජික සංඛ්‍යාව මිලියන 2.6 ක්. තම දායක මුදල් ගිණුම්ගත වී ඇද්ද යන්න දැනගැනීමට ඔවුන්ට සාමාන්‍යයෙන් මාස 6 ත් 12 ත් අතර කාලයක් ගතවනවා.

මේ නිසා ඔවුන් ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන බව සඳහන් කරමින් නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කෙටි පණිවුඩ සේවාව ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *