CID මෙහෙයුමකින් රිෂාඩ් බදියුදීන්ගේ කෝටි ගාණක මගඩියක් එළියට – කොළඹ ගෙදරක හංගපු ෆයිල් 67 ක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• CID මෙහෙයුමකින් රිෂාඩ් බදියුදීන්ගේ කෝටි ගාණක මගඩියක් එළියට – කොළඹ ගෙදරක හංගපු ෆයිල් 67 ක්

• ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජනපතිගෙන් තහංචියක්

• මහ මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අදහස් (විඩියෝ)

• සහරාන් ගැන ඇඳමත සිට දුන් සාක්ෂිය (විඩියෝ)

• ණය සහන කාලයක් සඳහා අගමැතිගෙන් ඉන්දිය රජයට ඉල්ලීමක් (විඩියෝ)

• රනිල් මුදල් නාස්තිය සිදුකළේ ලේකම් වරුන්ට බලපෑම් කරලා – එස්. බී. දිසානායක

• රැකියා විරහිත උපාධිධාරීන්ට අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළට

• මාතර වෙලාගත් මත්පෙති ජාවාරම (විඩියෝ)

වැලි මිල පහළට – කොළඹ නගරයේ වැලි පොළ 10 ක්

• අයථා ලෙස මුදල් ලබාගෙන රජයට සිදුකරන මුදල් වංචාවක් පිළිබඳව හිරු CIA කළ අනාවරණය (විඩියෝ)

• රටේ බැංකු පද්ධතිය ආරක්ෂා කළ යුතුයි – පූජ්‍ය අතුරලියේ රතන හිමි (විඩියෝ)

• රටේ කිසිදු ජාතික සම්පතක් විදේශිකයන්ට නතු නොකරන බව, අගමැති ඉන්දියාවේදී කියයි (විඩියෝ)

• ඉදිරිපස රෝදය ගැලවී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක සටහන් වූ හැටි (විඩියෝ)

• ගම්පහ පොල්තෙල් නිශ්පාදන ආයතනයක ගින්නක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

CID මෙහෙයුමකින් රිෂාඩ් බදියුදීන්ගේ කෝටි ගාණක මගඩියක් එළියට – කොළඹ ගෙදරක හංගපු ෆයිල් 67 ක්

(10.02.2020 – mawbima.lk)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය ආණ්ඩුව සමයේ සතොසට අදාළව සිදුකළ රුපියල් කෝටි සිය ගණනක ආන්දෝලනාත්මක ගනුදෙනු ඇතුළත් ලිපිගොනු 67 ක් කොළඹ නිවෙසක සඟවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද මෙහෙයුමකදී පෙරේදා (08 දා) අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

එම නිවෙසේ රහසිගතව සඟවා තිබූ මෙම ලිපිගොනු අතරේ 2016-2017 වසරවලදී නැව් පිටින් මෙරටට ගෙන්වූ සහල් ගනුදෙනුවලට අදාළ ලිපිගොනුද තිබූ බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

එමෙන්ම කිලෝවොට් 200 ක ධාරිතාව ඇති ජෙනරේටර් මිලදී ගන්නා බව පෙන්වමින් කිලෝවොට් 150 ධාරිතාව ඇති ජෙනරේටර් මිලට ගෙන සිදුකළ මහා වංචාවකට අදාළ ලිපිගොනුද ඒ අතරේ ඇති බව තහවුරු කරන ලද ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව විවිධ අයගේ නම් භාවිත කරමින් මිලට ගත් අක්කර සිය ගණනකට අදාළ ඔප්පු රාශියක්ද අත්අඩංගුවට ගත් ලිපිගොනු අතරේ තිබෙන බව එම ආරංචිමාර්ග තවදුරටත් පවසයි. සතොස ආයතනය තුළ තිබිය යුතු මෙම ලිපිගොනු ඉන් පිට කර මේ අයුරින් සඟවා තැබීම දැඩි සැකයට තුඩුදෙන බැව් පවසන එම ආරංචි මාර්ග පසුගිය රජය සමයේ එහි සිදු කරන ලද දූෂණ, වංචා රාශියක තොරතුරු මේ ඔස්සේ හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් දෙකක් මෙම පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතී ෴

***************************************

ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජනපතිගෙන් තහංචියක්

(10.02.2020 – 06:44 +0530 – sinhala.adaderana.lk)

අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගණුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍රලේඛයක් මඟින් මේ බව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාතව්‍යවරුන් වෙනුවෙන් එවන් ලිපි හෝ දුරකථන පණිවිඩ නිකුත් කළ හැක්කේ අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය ලේකම්වරුන්ට පමණක් බවට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

අදාළ ලේකම්වරුන් විසින් අග්‍රාමාත්‍යවරයාගේ සහ අනෙක් අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩල මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.

තවද එවැනි කටයුතු මින් පෙර සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කරන ලෙසටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ.

අදාළ වයස් සීමාව මීට පෙර අවුරුදු 35 ක් ලෙස නියම කර තිබුණි.

වයසින් වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම් සලකා අයඳුම්කළ හැකි වයස් සීමාව ඉහළ දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රැකියා අපේක්ෂකයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකම් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019/12/31 වන දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතුයි.

අයඳුම්කරු, අයඳුම්පත ඉදිරිපත් කරන ලබන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතු අතර මේ වසරේ ජනවාරි මස 01 වන දිනට පෙර උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කල යුතු වෙයි.

අයඳුම්පත නිසි පරිදි සම්පූර්ණ කර උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡයා පිටපතක් මේ මස 20 වන දිනට පෙර එවිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය ෴

***************************************

මහ මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අදහස්

(09.02.2020 – 22:29 +0530 – sinhala.adaderana.lk)

පාස්කු දින ප්‍රහාරයේ වර්ෂ පූර්ණයට බියෙන් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් මහ මැතිවරණය කල්තියා පවත්වන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මේ අතර ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අදහස් පළ කළේය.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ මෙහෙයවීමට හැකි පාර්ලිමේන්තුවක් නැතිනම් අත්සන් ගැනීමට අසීරුනම් 2015 ආරම්භ කළ සටනේ ප්‍රතිඵල නොමැති බව බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන් වී මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ව අමතක කිරීමට තමන්ට සිදු වන බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ වෙන් වෙන් වශයෙන් මෙන්ම එකට එකතු වී ඡන්දයට ඉදිරිපත් විය හැකි බවයි.

+++++++++++++++++++++

***************************************

සහරාන් ගැන ඇඳමත සිට දුන් සාක්ෂිය

(09.02.2020 – 21:44 +0530 – sinhala.adaderana.lk)

වනාතවිල්ලුවේ පුහුණු කඳවුර තුළ පුපුරණ ද්‍රව්‍ය රැස්කළේ සහරාන් හෂීම් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ප්‍රහාරයට පෙර දැන සිටියේ යැයි ජනාධිපති විමර්ශන කොමිසමේදී අද (09) අනාවරණ විය.

කොමිසම හමුවේ අද සාක්ෂි දුන්නේ , හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකුව සිට මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියෙන් පසු ත්‍රස්තවාදින්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ මොහමඩ් රාසික් මොහමඩ් තස්ලින් නැමැති පුද්ගලයායි.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීමේ සිදුවීමෙන් පසු ත්‍රස්තවාදින්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වු මොහමඩ් රාසික් මොහමඩ් තස්ලින් නැමැත්තා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි විමසීම සදහා අද කැඳවා තිබුනි.

කෙසේ වෙතත් මෙම සාක්ෂීකරුගේ හිසේ දකුණු පසට එල්ල වී තිබු වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ වම් අත සහ කකුළ අක්‍රියවී ඇති හෙයින් අද දින සාක්ෂි වීමසීම සඳහා ගෙනවිත් තිබුණේ රෝද පුටුවක අධාරයෙන්.

එසේම සාක්ෂි ලබාදීමේදිද මෙම සාක්ෂිකරුට රෝගින් රඳවන ඇඳක අඩක් හානි වී සාක්ෂි ලබාදීමට ජනාධිපති කොමිසම විසින් පහසුකම් සලසා තිබුණි.

එහිදි සාක්ෂිකරු 2018 දෙසැම්බර් මස 26 වන දින සිදුවු මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියෙන් පසු එම ප්‍රහාරයයේ ප්‍රධාන සැකකරුවන් වන සාදික් සහ ෂාහිඩ් අත් අඩංගුවට ගැනීමේ පරීක්ෂණ සදහා තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සහය දුන් බව ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක මාරසිංහ විසින් 2019 ජනවාරි මස 16 වන දින පුත්තලම ප්‍රදේශයේ සැකකරුවෙකු සොයායාමට තමන් සම්බන්ධ කරගත් බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

පසුව පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු කණ්ඩායම සමඟ තමන් මුෆීස් නැමැත්තෙකු සොයා පුත්තලම ප්‍රදේශයේ සංචාරය කළ බවත් එහිදි ලද තොරතුරකට අනුව වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමකට ඇතුළු වුණ බවද සාක්ෂිකරු කියා සිටියේය.

සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ එම ස්ථානයට ඇතුළු වන අවස්ථාවේදි පුද්ගලයින් දෙදෙනෙකු එහි කිසියම් දෙයක් වලලමින් සිටි බවක් තමන්ට දකින්නට ලැබුණු අතර විමර්ශන වලදි හෙළිව තිබු කරුණු අනුව ඉන් එක් අයෙකු මුෆීස් නැමැත්තා ලෙස හදුනාගත් බවයි.

එහිදි සිදුකළ විමර්ශන වලදි සාහිද් සහ ෂාහිඩ් යන අය මීට පෙර අවස්ථා කිහිපයකදි මෙම ස්ථානයට පැමිණ ඇති බව තහවුරු වු බවද සාක්ෂිකරු කියා සිටියේය.

එහිදි එම ස්ථානයේ තිබි සපත්තු ජොඩු දෙකක් සහ ඇදුම් කිහිපයක් හමු වු බවද තමන් ඒවා සාහිද් සහ ෂාහිඩ්ගේ දැයි විමසු අවස්ථාවේදි මුෆීස් විසින් ඒවා ඔවුන්ගේ බව පිළිගත් බවද සාක්ෂිකරු සඳහන් කළේය.

එහි අල්මාරියක් සොදිසි කළ අවස්ථාවේදි එහි තිබි කුරාණයක්, බල්බ් සෙට් 06 ක්, ඩෙටනේටර් 99 ක්, කුඩාරම් හට් 3 ක්, මාලිමාවක් සහ ඩිජිටල් කැමරාවක් හමුවු බවද සාක්ෂිකරු විසින් කොමිසම හමුවේ අනාවරණය කළේය.

සාක්ෂිකරු වැඩිදුරටත් අනාවරණය කළේ එහි ගොඩනැගිල්ලක් පිටුපස පරික්ෂාවට ලක්කිරීමෙදි කලු පැහැති කැන් 10 ක් හමුවු අතර ඉන් එකක් හිස්ව පැවතියද අනෙක් 09 හිම ඇසිඩ් තිබි හමුවු බවයි.

ඉන් අනතුරුව පරික්ෂක කණ්ඩායම එම ඉඩමට ඇතුළු වන අවස්තාවේ මෙම පුද්ගලයින් විසින් කිසියම් යමක් වලලමින් සිටි ස්ථානය පරීක්ෂාවට ලක්කළ බවත් එහි තිබි ලීටර් 250 ප්‍රමාණයේ නිල් පැහැති බැරල් 03 ක් හමුවු අතර එවායේ අභ්‍යන්තරයේ සුදු පැහැති කුඩු වර්ගයක් තිබෙනු තමන් දුටු බවද සාක්ෂිකරු අණාවරණය කළේය.

කෙසේ අත් අඩංගුවට ගත් සැකකරු එහිදි සඳහන් කළේ මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ සාහිද්ට සහ ෂාහිඩ්ට අයත් බවත් තමන් විසින් මෙම ඉඩම බදු දි ඇති බවයි.

මෙහිදි පොලිස් පරීක්ෂක මාරසිංහ විසින් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර දුරකථනයෙන් අමතා මෙම ස්ථානයේ තිබි පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හමුවු බවද එවා සී ෆෝ බවට සැක කරන බව පැවසු බවද සාක්ෂිකරු අණාවරණය කළේය.

සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේ පසු දිනයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා එම ස්ථානයට පැමින නිරීක්ෂන කිරීමෙන් පසු සැකකරුවන් සිව්දෙනා අත් අඩංගැවට ගෙන පුත්තලම පොලිසියට භාර දුන් බවයි.

රජයේ අධි නීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ අවි ආයුධ තොගයක් එම ස්ථානයේ තිබී හමුවුයේ නැද්ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සදහන් කළේ අවි ආයුධ හමුවුයේ එම ඉඩමේ කොනක පිහිටි ගොවිපලෙන් බවයි.

මෙම විමර්ශනයන් අතරතුර පොලිස් පරීක්ෂක මාරසිංහ විසින් මෙම සිදුවීම් වලට සහරාන් හෂිම් සම්බන්ධ බව සාක්ෂිකරු දැනුවත් කළේද යන්න ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුර දෙමින් සාක්ෂිකරු සඳහන් කලේ අදාළ විමර්ශනය සිදුකළ දිනයේ පොලිස් පරීක්ෂකවරයා තමන්ට එවැනි තොරතුරක් දැනුම් නොදුන්නද ඉන් දින කිහිපයකට පසු මෙම සමස්ථ ක්‍රියාදාමයම මෙහෙයවන්නේ සහරාන් නැමැත්තෙකු විසින් බව ඡායාරූපයක්ද පෙන්වමින් සදහන් කළ බවයි.

කෙසේ වෙතත් තමන්ට මෙම විමර්ශනයන්ට සහයෝගය දීම හේතුවෙන් 2019 මාර්තු මස 08 වන දින වෙඩි ප්‍රහාරයකට ලක්වීමට සිදු වු බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

පැය හතරකට ආසන්න කාලයක් සාක්ෂි ලබා දීමෙන් පසු සාක්ෂිකාර මොහමඩ් තස්ලින්ව ජනාධිපති කොමිසමෙන් පිටතට රැගෙන ගියේය.

+++++++++++++++++++++

***************************************

ණය සහන කාලයක් සඳහා අගමැතිගෙන් ඉන්දිය රජයට ඉල්ලීමක්

(09.02.2020 – 20:37 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාව ලබාගත් ණය ආපසු අයකරගැනීම වසර 3 කට අත්හිටුවීමට ඉන්දියාව එකඟ වන්නේ නම් ව්‍යාකූල වී ඇති මෙරට ආර්ථිකය ස්ථාවර කරගැනීමට එය රුකුලක් වනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම රටේ කිසිදු ජාතික සම්පතක් විදේශීය පාලනයකට ලබානොදීම වත්මන් රජයේ ස්ථිර ප්‍රතිපත්තිය බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කළේය.

ඉන්දීය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා The Hindu පුවත්පත සමග ඊයේ (08) සම්මුඛ සාකච්ඡාවකට එක් විය.

එහිදී මාධ්‍යෙව්දිනිය ප්‍රශ්න කළේ, ඉන්දියාව උනන්දුවන ත්‍රිකුණාමලයේ බලශක්ති හා ඉන්ධන ඇතුළු ව්‍යාපෘති පිළිබඳ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2017 දී අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේ ද යන්නයි.

එම ගිවිසුම් පිළිබඳ වගකීමක් තම රජය නොදරන බවත් පසුගිය රජය එම ගිවිසුම ක්‍රියාත්මක නොකළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කළ සියලු ව්‍යාපෘති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කළ බව ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජන සම්බන්ධයෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බව මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණි.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර කුමක්දැයි නැගුණු ප්‍රශ්නයට පිළිතුරු දුන් අගමැතිවරයා පෙන්වා දුන්නේ, එම වරාය යළි අත්පත් කරගැනීම දුෂ්කර වුවත් ඇතැම් කොන්දේසිවලට චීනය එකඟ වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

ශ්‍රී ලංකා රජය ගෙවිය යුතුව ඇති අමෙරිකානු ඩොලර් බිලියන 60 ක් පමණ වන විදෙස් ණය අභියෝගයට මුහුණ දීමට ගෙන ඇති සැලසුම් සම්බන්ධයෙන් හින්දු පුවත්පත විමසීමක් කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ රටේ ආර්ථිකය ඉහළ නංවාගන්නා තෙක්, ඉන්දියාවෙන් ලබා ගත් ණය ආපසු ගෙවීම වසර තුනකින් කල් දමා ගැනීමට ඉන්දිය රජය සමග සාකච්ඡා කළ බවයි.

ඉන්දියාව ඊට එකඟතාව පළ කරන්නේ නම් චීනය ඇතුළු සෙසු රටවල් ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගැනීමට පෙළඹෙනු ඇති.

‘ද හින්දු’ පුවත්පත 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ බලය බෙදීම පිළිබඳව ද විමසීමක් කළේය.

ඉදිරි මැතිවරණයෙන් පසු ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතු බව පවසන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, දෙමළ ජාතික සන්ධානය සැමවිටම ඉල්ලා සිටින්නේ මෙරට බහුතර ප්‍රජාව පිළිනොගන්නා දේ බවයි.

මේ අතර පසුගියදා පැවති ජාතික නිදහස් දින උත්සවයේ දී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීම සම්බන්ධයෙන් ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය මෙහිදී ප්‍රශ්න කළේය.

ඊට උදාහරණ ලෙස ඉන්දියාවම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, භාෂා විශාල සංඛ්‍යාවක් භාවිත කරන ඉන්දියාව පවා ජාතික දිනයේදී එය ගායනා කරන්නේ, එක් භාෂාවකින් පමණක් නොවේ ද යන්නයි.

තමන් යාපනයට යන විට එහි ළමුන් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන අතර ඊට තමාගේ විරුද්ධත්වයක් නොමැති බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

19 වන සංශෝධනය පිළිබඳ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ඉන් සිදුව ඇත්තේ, ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට පැහැදිලි බලතල අහිමිවීම බවයි.

ජනාධිපතිවරයා ඔබේ සහෝදරයා වන නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටුම ඔබ අතර ගැටලු ඇති කළ හැකිදැයි මාධ්‍යවේදිනිය විමසූ ප්‍රශ්නයට අගමැතිවරයා පිළිතුරු දුන්නේ සිනාමුසු මුහුනින්.

19 වන සංශෝධනයේ අවුල්සහගත තත්වය හැසිරවිය හැක්කේ ජනාධිපති ගෝඨාභය සහ තමා වැනි සහෝදරයන් දෙදෙනෙකුට පමණක් බව අග්‍රාමාත්‍යවරා මෙහිදී ප්‍රකාශ කළේය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා හමු විය.

ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර රාෂ්ඨ්‍රපති භවන්හිදීයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ ඉන්දිය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං මහතා ද මුණ ගැසුනේය.

මෙම අවස්ථාවට ඉන්දිය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා ද එක්ව සිටියේය.

අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි සංචාරයක නිරත වූ අතර ඔහු වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කොට තිබුණි.

වාරානාසි නගරයේ පූජනීය ගංගා නදියේ බටහිර ඉවුරේ පිහිටා ඇති කාෂි විශ්වනාත් සිද්ධස්ථානය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා ආශිර්වාද ලබා ගත්තේය.

***************************************

රනිල් මුදල් නාස්තිය සිදුකළේ ලේකම් වරුන්ට බලපෑම් කරලා – එස්. බී. දිසානායක

(09.02.2020 – 18:40 +0530 – sinhala.adaderana.lk)

මුදල් නොමැතිව රට විශාල අර්බුදයක තිබියදී කෝටි ගණන් මුදල් වැය කොට මැති ඇමැතිවරුන්ට පසුගිය රජයෙන් විශාල වශයෙන් වාහන ගෙන්වා ඇති බව ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

මෙම වාහන ගෙන්වීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලේකම්වරුන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවද අමාත්‍යරයා පැවසීය.

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් කොත්මලේ ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් සමඟ අද (09) පැවැති ජනහමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“කෘෂිකර්ම අමාත්‍යංශයට රුපියල් කෝටි ගණනක් වැය කොට පසුගිය රජය ගොඩනැගිල්ලක් ලබා ගෙන තිබෙනවා. ඒ ගොඩනැගිල්ල කිසිම වැඩකට ඇති එකක් නෙවෙයි.

තිබුණ කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල ‌හොඳටම ප්‍රමාණවත්. එහෙම තිබියදීත් විශාල නාස්තියක් සිදු කරමින් ඒක කරේ වෙන කවුරුවත් නොවෙයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙනුයි.

විශාල වශයෙන් පසුගිය රජය සමයේ වාහන ගෙන්වලා තියෙනවා. ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට විතරක් නෙවෙයි සියළුම මන්ත්‍රීවරුන්ටත් වාහන ගෙනත් දුන්නා.

ඒවාට අත්සන් කිරීමට ලේකම්වරු බැහැ කියද්දි රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා ලේකම්වරුන්ට බලහත්කාරයෙන් ඒවාට අත්සන් කරන්න කිව්වා. මුදල් තිබිලා නොවෙයි ඒ හැම දෙයක්ම කරේ සල්ලි නැතිවයි.

ඒ නිසා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි අගමැති මහින්ද රාජපක්ෂ මහතායි ඉතාමත් නිවරදි තීරණයක් ගත්තා අවුරුදු කීපයකට මැති ඇමැතිවරුන්ට වාහන ලංකාවට ගෙන්නන්නේ නැහැ කියලා. ඒ ස්ථාවරයට සියළුම ඇමැතිවරුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග එකගයි. දැන් මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම නතර කරලා තියෙන්නේ.

මේ නිසා පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් එක කල් ගියා. ඒ අය පව්. එම නිසා ඒ පිළිබදව අපි වෙනම බලන්න අවශ්‍යයි.

ඒ වගේම දැන් රාජ්‍ය ආයතනවලට, රාජ්‍ය නිලධාරීන්ට විශාල වාහන අර්බුධයක් ඇති වෙලා තියෙනවා. මගේ අමාත්‍යංශය යටතේ තිබෙන මිනුම්දෝරු කාර්යාලවලටත් වාහන සිය ගණනක අඩුවක් පවතිනවා.

ඒසේ තිබිදී ඔවුන් ගිහින් වැඩ කරන්නේ කොහොමද. ඔවුන් මිනුම් කටයතු සිදු කරන්නේ කොහොමදැයි ඒ මහතා පැවැසීය.”

***************************************

රැකියා විරහිත උපාධිධාරීන්ට අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළට

(09.02.2020 – 17:53 +0530 – sinhala.adaderana.lk)

රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ.

කලින් මේ වයස් සීමාව අවුරුදු 35 ක් ලෙස නියම කර තිබිණ.

වයසින් ඊට වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම සලකා වයස් සීමාව වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් තීරණය කරනු ලැබීය.

රැකියා අපේක්ෂකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 වන දිනට සම්පූර්ණ කර තිබිය යුතුය.

අයැදුම්කරු, අයැදුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතුය. පදිංචිය සහ 2020-01-01 දිනට උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාමනිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කළයුතුය.

අයැදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් (මුල් පිටපත අනුව, සසඳා සාමදාන විනිශ්චයකාරවරයෙකු / නීතිඥයෙකු විසින් සත්‍ය පිටපතක් බව සහතිකකර) 2020-02-20 වන දිනට පෙර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් එවිය යුතුය.

අයැදුම් පත්‍රය ජනාධිපති කාර්යාලීය www.presidentsoffice.gov.lk වෙබ් අඩවියෙන් බාගත හැකිය. මේ පිළිබද වැඩිදුර තොරතුරු 011 243 3261 දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැක.

රැකියා විරහිත උපාධිධාරින් / ඩිප්ලෝමාධාරී රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01 ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.

ලිපියේ වම් පස ඉහළ කෙළවර, රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන – 2020 ලෙස සඳහන් කර තිබිය යුතුයි.

නියමිත දිනට පසුව ලැබෙන අයැදුම්පත්‍ ප්‍රතික්ෂේප කරනු ලැබේ ෴

***************************************

මාතර වෙලාගත් මත්පෙති ජාවාරම

(09.02.2020 – 21:52 +0530 – sinhala.adaderana.lk)

මෙරට තරුණ පරපුර මරු කටට ඇදගෙන යන නීති විරෝධී කෘතීම මත් පෙති ජාවාරම් රැසක් පිළිබඳව ‘අද දෙරණ’ උකුස්සා අවස්ථා රැසකදී රට හමුවේ තොරතුරු අනාවරණ කර තිබේ.

උකුස්සාගේ අද (09) අනාවරණය තවත් එවැනිම මත්පෙති ජාවාරමක් පිළිබඳවයි.

මාතර ප්‍රදේශයේ පවත්වන රාත්‍රී සාදවලදී දෙස් විදෙස් සංචාරකයින්ට නීති විරෝධී කෘතීම මත් පෙති හෙවත් ‘එක්ස්ටසි’ නම් මැත්පෙති අලෙවි කරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණ විය.

ඒ අනුව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය හා එක්ව උකුස්සා දින ගණනාවක් පුරා ගවේෂණ කටයුතු වල නිරත විය.

එහිදී උකුස්සාට අනාවරණ වූයේ මාතර ප්‍රදේශයේම තරුණයෙකු විසින් රාත්‍රී සාදවලදී අලෙවි කිරීම සඳහා නීති විරෝධී මත්පෙති මහා පරිමාණයෙන් අලෙවි කරන බවයි.

ඒ අනුව උකුස්සා ඊයේ (08) රාත්‍රියේ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමගින් මාතර ප්‍රදේශයට රහසිගතව ළඟා විය.

එහිදී මෙම ජාවාරම සිදුකරන පුද්ගලයාව මාතර වෙරළ උද්‍යානය අසලට ගෙන්වා ගන්නේ මත්පෙති සියයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින්.

ඒ අනුව ඔහු වෙරළ උද්‍යානය අසලට තවත් පිරිසක් සමග පැමිණි පසු සැනෙකින් ක්‍රියාත්මක වූ සුරාබදු නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේය.

එම අවස්ථාවේදී මොවුන්ගේ තවත් සගයෙකු යතුර පැදියකින් එම ස්ථානයට පැමිණි අතර ඔහු සුරාබදු නිලධාරීන් දැක පලායාමට උත්සහ කලත් එය ව්‍යර්ථ විය.

අනතුරුව පිරිස පරීක්ෂා කළ සුරාබදු නිලධාරීන්ට මෙහි මහමොලකරු සොයා ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

එම තරුණයා ළඟ තිබී නීති විරෝධී මත් පෙති 100 ක් සොයා ගත්තේය.

අනතුරුව ඔහුව වැඩිදුරටත් පරීක්ෂා කළ සුරාබදු නිලධාරීන්ට ඔහුගේ කලිසමෙහි ඉණෙහි ඇති වාටියේ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ තවත් මත්පෙති කිහිපයක් ද සොයා ගනු ලැබුවේය.

ඒ අනුව මෙහිදී නීති විරෝධී මත්පෙති 112 ක් සහා සැකකරුව මෙහිදී සුරාබදු නිලධාරීන් විසින් සිය භාරයට ගත්තේය.

අනතුරුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ මෙම පෙත්තක් රුපියල් දෙදහසේ සිට විවිධ මිල ගණන් වලට අලෙවි කරන බවයි.

රටේ තරුණ පරපුරට වින කටින මෙවැනි නීති විරෝධී මත් ජාවාරම් ඉදිරියේදීත් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සා සූදානම්.

***************************************

වැලි මිල පහළට – කොළඹ නගරයේ වැලි පොළ 10 ක්

(10.02.2020 – 07:07 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී වැලි මිල රුපියල් 12,000 දක්වා පහළ යනු ඇති බව රජය පවසනවා. දැනට වැලි කියුබ් එකක් රුපියල් 15,000 ත්, 16,000 ත් අතර මිලකට අලෙවි වනවා.

පාරිභෝගික ජනතාවට අඩු මිලට වැලි ලබාදීම සඳහා කොළඹ නගරයේ වැලි පොළ 10 ක් ඉදිකිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

මීට අමතරව ප්‍රධාන නගරවල ද වැලි පොළ 5 බැගින් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර රජය මගින් වැලි කැණීමට ද ඉදිරියේදී පියවර ගනු ඇති ෴

***************************************

අයථා ලෙස මුදල් ලබාගෙන රජයට සිදුකරන මුදල් වංචාවක් පිළිබඳව හිරු CIA කළ අනාවරණය

(09.02.2020 – 19:54 +0530 – hirunews.lk/sinhala)

හබරණ හුරුළු පරිසර උද්‍යානය නැරඹීම පැමිණෙන සංචාරකයන්ට නියමිත පරිදි ප්‍රවේශ පත්‍රය ලබා නොදී අයථා ලෙස මුදල් ලබාගෙන රජයට සිදුකරන විශාල මුදල් වංචාවක් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ පසුගියදා හෙලි කළා.

එම අනාවරණයත් සමඟ එම උද්‍යානයේ පරිපාලනය ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා රැසක තොරතුරු ඇතුළත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යැවු ලිපියක පිටපතක් ප්‍රදේශවාසීන් විසින් ‘හිරු සී.අයි.ඒ.’ වෙත ද යොමු කර තිබුණා.

එහි සඳහන් කර ඇත්තේ, හබරණ හුරුළු පරිසර උද්‍යානය තුළට සෆාරි ජීප් රථ ඇතුළත් කිරීමේදී සේවා ගාස්තු ලෙස පුද්ගලික සංවිධානයක් විශාල මුදලක් අයකරන බවයි.

පසුගිය වසරේ පමණක් එම සංවිධානය රුපියල් ලක්ෂ 90 ක පමණ මුදලක් උපයා ගෙන ඇති බව අදාළ ලිපියේ සඳහන්.

මේ පිළිබඳව අප හබරණ අඩවි වන නිලධාරීවරයාගෙන් ප්‍රශ්න කර සිටි අතර ඔහු ප්‍රකාශ කළේ අදාළ සංවිධානය මගින් උපයන මුදල් රජයේ කිසිඳු විගණනයකට ලක් නොවන බවයි.

සෆාරි ජීප් රථ හරහා උද්‍යානය නැරඹීමට දෙස් විදෙස් ජනතාව අවස්ථාව සලසා දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් උපයන එකම ස්ථානය වන්නේ හබරණ හුරුළු පරිසර උද්‍යානයයි.

තත්ත්වය එසේ තිබියදී රජයට සෘජුව ලැබිය යුතු රුපියල් කෝටි ගණනක මුදලක් එක් සංවිධානයකට එක් රැස්කර ගැනීමට ඉඩ දී ඇත්තේ කාගේ අවශ්‍යතාව මත ද ?

තවද මේ පිළිබදව හෙළිකර ඇති ලිපියේ උද්‍යානය තුළ තිබු නිදන් මෑත කාලයේදී අත්පත් කර ගෙන ඇති බවත්, ගව හිමියන්ගෙන් මාසිකව මුදල් අය කර උද්‍යානය තුළට තණකොළ කෑමට ගවයන් ඇතුළු කරන බව ද දක්වා තිබුණා.

‘හිරු සී.අයි.ඒ.’ මේ සිදුවීම් පිළිබඳව ද ගවේෂණය කළ අතර උද්‍යානයේ විශාල ගල් කුළු කිහිපයක් පුපුරණ ද්‍රව්‍ය යොදා විනාශ කර තිබු අයුරු මෙලෙස හෙළි වුණා.

මේ අලි බැලීමට පැමිණෙන සංචාරකයන්ට මී ගවයන් රැගෙන යනතෙක් බලා සිටීමට සිදුවන අයුරුයි.

මෙම අනාවරණයෙන් පසුව මෙරට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ දෑස් හුරුළු පරිසර උද්‍යානයේ සිදුවන මෙම අකටයුතුකම් කෙරෙහි යොමුවේ ද ?

‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් අවධානයෙන්.

***************************************

රටේ බැංකු පද්ධතිය ආරක්ෂා කළ යුතුයි – පූජ්‍ය අතුරලියේ රතන හිමි

(09.02.2020 – 19:01 +0530 – hirunews.lk/sinhala)

ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ට රටේ බැංකු පද්ධතිය ගිලගැනීමට ඉඩ ලබා දිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අද (09) පැවති වැඩසටහනකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි ව්‍යාපාරිකයින් චෝදනා කළේ බදු සහන පැකේජය සම්බන්ධයෙන් බැංකුවලට හෝ නිසි අවබෝධයක් නොමැති බවයි.

***************************************

රටේ කිසිදු ජාතික සම්පතක් විදේශිකයන්ට නතු නොකරන බව, අගමැති ඉන්දියාවේදී කියයි

(09.02.2020 – 18:58 +0530 – hirunews.lk/sinhala)

රටේ කිසිදු ජාතික සම්පතක් විදේශීය පාලනයකට නතු නොකර සිටීම තම රජයේ ඍජු ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉන්දීය රාජ්‍ය සංචාරය අතරතුර ද හින්දු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

අග්‍රාමාත්‍යවරයා සිය රාජ්‍ය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අතර, මෙම හමුව සම්බන්ධයෙන් හින්දු පුවත්පත මාධ්‍යවේදියා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

එහිදී ඔහු අසා සිටියේ ඉන්දියාව උනන්දුවක් දක්වන පසුගිය රජය සමයේ අත්සන් තැබුණු ත්‍රිකුණාමලයේ බලශක්ති හා ඉන්ධන ඇතුළු ව්‍යාපෘති සම්බන්ධයෙන් වන ආර්ථික සහයෝගීතා ගිවිසුම පිළිබද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේ ද යන්නයි.

ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ එම ව්‍යාපෘති සම්බන්ධයෙන් තම රජය වගකියන්නේ නොමැති බවයි.

රටේ ආර්ථිකය නගා සිටුවන තුරු සියළු ණය ගෙවීම් වසර 3කින් කල් දමා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් විමසා ඇති බව කියා සිටි අග්‍රාමාත්‍යවරයා ඉන්දීය රජය ඊට එකඟතාව පළ කරන්නේ නම් චීනය ඇතුළු සෙසු රටවල් ද එවැනි තීරණයක් ගැනීමට පෙළඹෙනු ඇති බවයි කියා සිටියේ.

13 වන සංශෝධනයේදී පොරොන්දු වූ පරිදි බලය බෙදා හැරීම ඉදිරියට ගෙන යන්නේ ද සම්බන්ධයෙන් හින්දු පුවත්පතේ මාධ්‍යවේදියා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළා.

ඊට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දෙමළ ජනතාවගේ වගකීම් ගත හැකි යම් පාර්ශවයක් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවයි.

එම නිසා වැදගත් වන්නේ මැතිවරණයක් පැවැත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ නියෝජිතයින්ට අනාගතය පිළිබද රජයත් සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස පැවසීමයි.

මේ මොහොතේ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡාවකට සූදානම් නොමැති බවත් ඔවුන් බහුතරය අනුමත නොකරන දේවල් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ජාතික දින උත්සවයේදී දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා නොකිරීමෙන් දෙන සංඥාව දෙමළ ජනතාව තුළ අවිශ්වාසයක් ඇති කරන්නේ ද යන්න සම්බන්ධයෙන් හින්දු පුවත්පතේ මාධ්‍යවේදියා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

ඉන්දියාවේ භාෂා රාශියක් පැවතිය ද ජාතික දිනයේදී ජාතික ගීය ගයන්නේ එක් භාෂාවකින් පමණක් බව උදාහරණ කර දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අප රටේ ව්‍යුහය ද ඒ හා සමාන බවයි.

තමන් යාපනය දෙමළ පාසලකට ගිය විට ඔවුන් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරාවි, එයට එරෙහි නොවන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමන්ගේ විදියට එය ගායනා කිරීම ගැන සමහර දේශපාලනඥයින් මෙම කරුණු මතු කළත් බහුතර ජනතාව ඒ ගැන නොසිතන බවයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළහොත් 19 වන සංශෝධනය ඉදිරියට පවත්වාගෙන යන්නේ ද සම්බන්ධයෙන් හින්දු මාධ්‍යවේදියා විමසූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ 19 වන සංශෝධනය අහෝසි කළ යුතු බවයි.

මේ අතර, සිය රාජ්‍ය සංචාරය අතරතුර දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරට හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා මුණගැසුණා.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා වාරාණාසි සහ සාරානාත් ප්‍රදේශවල සිද්ධස්ථාන අද වැදපුදා ගත්තා.

***************************************

ඉදිරිපස රෝදය ගැලවී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක සටහන් වූ හැටි

(09.02.2020 – 17:01 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇල, බෝහගමඩිත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වන ආකාරය ඒ අසල පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා.

ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ සිටි කුඩා දරුවෙකු පුදගලයෙකු පැමිණ බේරාගන්නා ආකාරය ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්.

***************************************

ගම්පහ පොල්තෙල් නිශ්පාදන ආයතනයක ගින්නක්

(09.02.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ පොල්තෙල් නිශ්පාදන ආයතනයක හටගත් ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

අද අලුයම 3 ට පමණ හටගත් ගින්න ගම්පහ මහ නගර සභාව යුද හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපැවැත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වි නැහැ.

සිදුවූ අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැති අතර සිද්ධිය පිළිබඳ ගම්පහ පොලිසිය විමර්ශණ සිදු කරනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Richard B, this deshapaluwaa had the damned cheek to face the public and say with a straight fac and no emotion that he had nothing wrong, whereas all the time he had been involved in serious criminal activities, the evidence of which is now emerging. Not only this rogue need to be charged with criminal activities, his boss batalanda ranil must also be arrested and charged for dereliction of duty. As the prime minister and the manager of these ministers in the yahapaalu government, it was ranil’s duty to ensure that all checks and balances were made and the ministers’ work was properly supervised. Batalanda ranil had defnitely failed in his duties as already proven in the management of Mahendran and bond scam, and now ehere is another scandal involving richjard baduddin. The shit stops at the top, so batalanda ranil is just as guilty as this minister. Both of them must be charged and put before the courts and given appropriate punishment, and NOT LETTING THEM OFF SCOT FREE.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *