චීන සුළඟට එරෙහිව… ඉරිසියාකාර අසල්වැසියා…! 2015 මහින්දගේ ආණ්ඩුව පෙරළා… ගෝඨාභය හමුවූ කවුද මේ අජිත් ඩොවාල්…?

(26.01.2020 – divaina.com)

ජනවාරි අටවෙනිදා පරාජය වී ගෙදර යෑමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පත සමග පවත්වන ලද සාකච්ඡාවකදී කියා සිටියේ තමාව පරාජය කරන ලද්දේ ඇමරිකාවේ සී.අයි.ඒ. සහ බි‍්‍රතාන්‍ය එම්.අයි.6 බුද්ධි සේවා සමග එක්වූ ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවාව බවය. මේ පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත තමා චෝදනා කරන්නේ නැතැයි ද තමාව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම, දිගු කාලීනව ක‍්‍රියාත්මක වූ සැලසුමක් බවද මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප‍්‍රකාශ කර සිටියේය. රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට සිදු කළා යැයි පවසන කුමන්ත‍්‍රණය සඳහා ඉන්දීය අගමැතිවරයා වෙත චෝදනා නොකරන්නේ නම්, ඒ පිළිබඳව ඉන්දීය පාර්ශ්වයෙන් වගකිව යුත්තා කවුරුන්ද යන්න මහින්ද රාජපක්ෂ මහතා හෙළි නොකළේ නමුත්, ඒ සඳහා ඇඟිල්ල දික් වූයේ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් වෙතය.

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල්

ඉන්දියාවේ ප‍්‍රධාන විධායක

ඉන්දියාව සමාගමක් නම් එහි නිල නොවන ප‍්‍රධාන විධායකවරයා අජිත් ඩොවාල් ලෙස කෙටියෙන් හඳුන්වා දිය හැකිය. ඉන්දීය සහ පාකිස්තාන් මාධ්‍ය ඔහු හඳුන්වන්නේ ඉන්දියාවේ ‘ජේම්ස් බොන්ඩ්’ ලෙසය. රාජපක්ෂ ආණ්ඩුව පෙරළීම සඳහා රූකඩ මෙහෙයවූ අජිත් ඩොවාල් පසුගියදා ශ‍්‍රී ලංකාවට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණේය. අජිත් ඩොවාල්ගේ මෙවර ලංකාගමනයේ අරමුණු කුමක්ද යන්න තවම පැහැදිලි නැතත් ඔහු කවුද යන්න දැන ගැනීමෙන්, ඒ සඳහා හොඳ ඉඟියක් ලබා ගැනීමේ හැකියාව තිබේ.

ඩොවාල් උපත ලැබුවේ 1945 දී පෝරි ගාර්වාල් හි ගිරි බැනෙල්සියුන් ගම්මානයේ ය. උත්තර්කන්ද් හි පිහිටි එක්සත් පළාතේ ගාර්වාලි පවුලක උපන් ඩොවාල්ගේ පියා ඉන්දියානු හමුදාවේ නිලධාරියෙක් වූ මේජර් ජී. එන්. ඩොවාල්ය. සිය මූලික අධ්‍යාපනය රාජස්ථානයේ කිං ජෝර්ජ් රාජකීය ඉන්දියානු හමුදා පාසලෙන් ලද ඩොවාල් 1967 දී අග‍්‍රා විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ලබා ගත්තේය.

අතරමැදි ජවනිකාව

ඩොවාල් 1968 දී ඉන්දිය පොලිස් සේවයට බැඳී කේරළ ප‍්‍රාන්තයේ සේවය කළේය. මිසෝරාම් සහ පන්ජාබ්හි කැරලිකරුවන්ට එරෙහිව මෙහෙයුම් සඳහා දායක වූ ඔහු, පසු කාලයේදී ප‍්‍රසිද්ධ වූයේ අතර මැදි සමාදාන සඳහා සාකච්ඡාකරුවෙකු ලෙසය. 1999 දී කන්දහාර් හිදී පැහැරගත් ගුවන් යානයක මගීන් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාව සඳහා සහභාගි වූ තිදෙනාගෙන් එක් අයෙකු ලෙස ඔහු විසින් අරඹන ලද මෙම අතරමැදි ජවනිකාව, 1971-1999 කාලය තුළ ඉන්දියාවේ ගුවන් යානා පැහැරගැනීම් 15 සඳහා මැදිහත්කාර ප‍්‍රයත්න දරන තරමට ඔහු විසින් ප‍්‍රගුණ කර තිබුණි. මෙසේ පටන් ගන්නා ලද ඩොවාල්ගේ ඔත්තුකාර ජීවිතය, ඉන්දියාවේ බුද්ධි පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බළකායේ සභාපති පුටුව දක්වා විහිදී ගියේය.

වසර හතක් රහසිගතව පාකිස්තානයේ ගත කළ ඩොවාල්, කාශ්මීරය සහ පාකිස්තානය අතර තොරතුරු සපයන්නන් ලෙස වෙස් වලාගනිමින් ඉන්දීය පාර්ශ්වය වෙත පාකිස්තාන් හිතවාදී කැරලිකරුවන් බඳවා ගත් අතර, වරක් ඉන්දියාවේ ශුද්ධ වූ සික් දේවාලයේ උරුමය උදෙසා සටන් වදින ගරිල්ලා කණ්ඩායමක් තුළට ඔහු රිංගා ගත්තේ රික්ෂෝ රියැදුරෙකු ලෙසය. අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් පසු ඉන්දියාවේ බලවත්ම පුද්ගලයා අජිත් ඩොවාල් බව ඉන්දියාවේ ලොකු පුටු මෙන්ම කලාපයේ ලොකු ලොක්කෝ සියලු දෙනාගේ විශ්වාසය වී තිබේ. ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යවරුන්ට වඩා වැඩි බලයක් ලබා දෙමින් සිය ජාතික ආරක්ෂක උපදේශක ලෙස මෝදි විසින් ඩොවාල් තෝරා ගැනීම මේ විශ්වාසය තවත් තීව‍්‍ර කර තිබේ.

චීන සුළඟට එරෙහිව

ඉන්දියාවේ සැමදා සතුරා වන පාකිස්තානය සමඟ සිදු කරන ගනුදෙනු වලදී, ප‍්‍රමුඛ තීරකයා වී සිටින්නේ අජිත් ඩොවාල්ය. ඉන්දියාවේ ඉහළම රාජ්‍ය තාන්ත‍්‍රිකයා වන විදේශ ලේකම් එස්. ජයශංකර් සමඟ දිනපතා සම්බන්ධතා පවත්වමින් ඉන්දීය අභ්‍යන්තර ආරක්ෂාව මෙන්ම අසල්වැසියන්ට එරෙහිවද දැඩි ස්ථාවරයක් අනුගමනය කරමින් හින්දු ජාතිකවාදී න්‍යාය පත‍්‍රයකට කලාපය ගොනු කිරීම ඔහුගේ ප‍්‍රමුඛම කාර්ය භාරය වී තිබේ. ඉන්දියාව පසු කරමින් චීනය විසින් පාකිස්තානය හරහා ඩොලර් බිලියන 45 ක වෙළෙඳ කොරිඩෝවක් සඳහා අරමුදල් සැපයීම අජිත් ඩොවාල් හමුවේ දැන් ඇති තියුණු අභියෝගය වී තිබේ. ඉන්දීය අසල්වැසියන් සියල්ල ඒකරාශී කරගනිමින් හමන චීන සුළඟ නැවැත්වීම ඩොවාල් විසින් තමා වෙත පවරා ගත් ප‍්‍රමුඛ රාජකාරියක් වන්නේ මේ අභියෝගය නිසාය. ඩොවාල්ට රාජකාරි පවරන්නෙක් නැත. ඔහු විසින් සිය රාජකාරිය පවරාගෙන එය විදේශ අමාත්‍යවරයා, විදේශ ලේකම්වරයා, කැබිනට් ලේකම්වරයා සහ අග‍්‍රාමාත්‍ය වරයා වෙත විග‍්‍රහ කරනු ලබයි. ඉන් පසු ඔහු වෙත හිමිවෙන අනුමැතිය යටතේ, සිය සේවය ඉෂ්ඨ කිරීම ඩොවාල්ගේ රාජකාරිය වී තිබේ. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළීම සඳහා ඩොවාල් විසින් අත තබන්නේ ‘චීන උපද්‍රවය’ ලෝකයට පෙන්වා දෙමින්, එසේ තමන්ම පවරාගත් රාජකාරියක් ලෙසය.

ඊර්සියාකාර අසල්වැසියා

ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාව වෙත සිදු කරන ලද සියලු අතපෙවීම් වලදී කුමන හෝ සාධයක් පෙන්වා දුන්නද එය ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාව කලාපයේ ස්ථාවර නොවනු පිණිස ඉන්දියාව දරන තැතකට වැඩි දෙයක් නොවේ. ඉන්දිරා ගාන්ධි විසින් එල්ටීටීඊ බෙදුම්වාදය ඇති කර සුපෝෂණය කරමින්, වැල්වැටිතුරෙයි වැල්ලේ පාපැදියකින් ගිය කොල්ලෙකු ලෝකය හොල්ලන ත‍්‍රස්ත නායකයෙකු බවට පත් කළේ, චීන හෝ ඇමරිකන් තත්ත්වයක් මත නොවේ. තමිල්නාඩු සාධකය වැනි දේ පෙන්වමින් ශ‍්‍රී ලංකාව සඳහා සිදු කරන අත පෙවීම සුජාත කර ගැනීමට ඉන්දියාව උත්සාහ දැරුවද ඇත්ත වශයෙන්ම එහි තිබුණේ ඉරිසියාකාර අසල්වැසියාගේ අභිප‍්‍රායක් පමණය. ඩොවාල් විසින් අද ශ‍්‍රී ලංකාව උදෙසා ක‍්‍රියාත්මක කරන්නේ ද ඒ පියවරය.

2015 ජනවාරි 08 ආණ්ඩු පෙරළියත් සමඟම රොයිටර්ස් ජාත්‍යන්තර පුවත් සේවය පවසා සිටියේ ඩොවාල් එම පෙරළියේ ප‍්‍රධානම සංවිධායකවරයෙක් බවය. පොදු විපක්ෂ අපේක්‍ෂකයකු වෙනුවෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා තරගයෙන් ඉවත් කිරීමත්, මෛත‍්‍රිපාල සිරිසේන ශ‍්‍රීලනිපයෙන් එළියට ගැනීමත්, ලංකාවේ සියලු විපක්ෂ බලවේග එක වේදිකාවට ගැනීමත්, සියලු සුළු ජාතික පක්ෂ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි වන තත්ත්වයක් නිර්මාණය කිරීමත් සියල්ල ඩොවාල්ගේ මෙහෙයුමෙන් සිදුවූ බව එම රොයිටර්ස් වාර්තාවේ සඳහන් විය. ඉන්දියාවේ ‘ටිසන් බියුරෝ’ නමැති ප‍්‍රසිද්ධ වෙබ් අඩවියද පවසා සිටියේ ශ‍්‍රී ලංකාවේ සිදු වූයේ, සම්භාවනීය ගනයේ ‘ඩොවාල් මෙහෙයුමක්’ බවය. 2014 නොවැම්බර් මාසයේ දී ඩොවාල් කොළඹට පැමිණියේය. ඒ පොදු අපේක්ෂකයෙකු තෝරා ගැනීම පිණිසය.

ආණ්ඩුව පෙරළන්න පොදු අපේක්‍ෂකයෙක්

ඉන්දීය බුද්ධි අංශයේ ශ‍්‍රී ලංකා නියෝජිතයා, මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු අය හමුවී මේ සියල්ල සංවිධානය කළ ආකාරය දැන් රහසක් නොවේ. මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනෙට්ටුවේ සිටි මෛත‍්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා නම්මා ගැනීම සහ පොදු අපේක්ෂකයා වෙත සහාය දීමත් හේතුවෙන් ඉන්දීය ඔත්තු සේවාවේ මෙරට ප‍්‍රධානියා 2015 වසරේ දෙසැම්බරයේදී යළි ඉන්දියාවට පිටුවහල් කරනු ලැබීය. සන්ඩේ ටයිම්ස් පුවත්පතේ 2014 දෙසැම්බර් 28 දා පළවූ වාර්තාවක දැක්වෙන්නේ පොදු අපේක්ෂකයා සමග සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන්, කොළඹ ‘රෝ’ ප‍්‍රධානියා ට සිය තනතුර අහිමි වූ බවය.

එවකට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජනධිපතිවරණය සඳහා තරග නොකරන මට්ටමකට පත් කිරීම අජිත් ඩොවාල්ගේ පළමු අවශ්‍යතාව විය. ආණ්ඩු පෙරළිය සඳහා ඔහු විසින් කරන ලද ගණනය කිරීම් අනුව ‘පොදු අපේක්ෂකයෙකු’ නොමැතිව එම ගමන යා නොහැකි විය. ඒ අනුව ආණ්ඩු පෙරළීමේ, තැල්ල බැඳීම සඳහා රෝ සංවිධානය විසින් පොදු අපේක්ෂකයෙකු සෙවීම ආරම්භ කළේය.

චන්ද්‍රිකා සමග රෝ

ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස සිරිසේන මහතා තල්ලුකරන ලද්දේ, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසිනි. මේ සඳහා අවස්ථාවක් කුමාරතුංග මහත්මිය වෙත ලැබෙන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ පවත්වන ලද රැස්වීමකිනි. වාර්ෂිකව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවත්වන රැස්වීමකට හිටපු ජනාධිපතිනිය වෙත ආරාධනා ලැබෙනා මුත්, ඒ සඳහා ඇය කිසිදු අවස්ථාවක සහභාගි වී නොතිබුණි. ඩොවාල්ගේ සැලසුම අනුව ආණ්ඩුව ඇතුළෙන්ම පොදු අපේක්ෂකයා සොයා දීම භාර වී තිබූ කුමාරතුංග මහත්මිය වෙත, සුපුරුදු පරිදි වාර්ෂිකව ලැබෙන්නා වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ රැස්වීම සඳහා වූ ආරාධනය ලැබුණි.

මෛත‍්‍රී එළියට ගනී…

පැවති තත්ත්වය අනුව රාජපක්ෂ ආණ්ඩුවේ කිසිවෙකු සිය හිටපු නායිකාව සමග සබඳතා පැවැත්වූයේ නැත. ඒ තත්ත්වය තුළ රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැති තනතුරු දැරූ නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ‘එළියට’ ගැනීමට ඉන්දීය බුද්ධි අංශවලට අවශ්‍ය විය. සිරිපාල හෝ සිරිසේන යන දෙදෙනාගෙන් වඩා හොඳ තේරීම බවට මෛත‍්‍රිපාල සිරිසේන මහතා පත්වීමත් සමග තමන්ට ලැබුණු ඇරයුම් පත ද රැගෙන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාළ රැස්වීම සඳහා සහභාගි වූවාය.

පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්වීම සඳහා මෛත‍්‍රිපාල මහතාගේ කැමැත්ත ගැනීමේ පළමු අදියර බවට එය පත්විය. මේ සඳහා හිටපු ජනාධිපතිනිය වෙත මග පෙන්වන ලද්දේ පසු කලෙක ඉන්දියාවට පිටුවහල් කරන ලද ‘රෝ’ නියෝජිතයාය.

රනිල් හමුවූ ‘රෝ’ නියෝජිතයෝ

අදාළ ‘රෝ’ නියෝජිතයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග එවකට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාද කිහිපවරක් මුණ ගැසී තිබුණි.

ආණ්ඩු පෙරළිය සඳහා අජිත් ඩොවාල් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය වූයේ ශ‍්‍රී ලංකාව විෂයෙහි චීනය සිදු කරන මැදිහත්වීමය. 2005 වසරේදී පළමු වර බලයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා හත්වරක් චීනයේ සංචාර වල නිරත වී තිබුණි. මෙම කාරණය ඇතුළු චීන මැදිහත්කරණය පිළිබඳව සාධක රැසක් ඩොවාල් සතුව පැවතියේය.

එහිලා ප‍්‍රධාන සාධකය වූයේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියය. චීනය විසින් ඉදිකරන මේ ව්‍යාපෘතිය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන නිසා එය නවතා දමන්නැයි ඩොවාල් විසින් 2014 වසරේදී කීප වතාවක් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් කර තිබුණි. රාජපක්ෂ ආණ්ඩුව පෙරළීමට ඉන්දියාව ගත් තීන්දුව සඳහා ආසන්නම හේතු වූයේ චීන සබ්මැරීනයක් කොළඹ වරායට පැමිණීමය. ඒ අනුව අජිත් ඩොවාල් වැඩ ආරම්භ කළේය.

රෝ සෙල්ලම් අසුවෙයි…

ආණ්ඩු පෙරළිය සඳහා යටින් වැඩ කෙරීගෙන යද්දී, අජිත් ඩොවාල් ශ‍්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියේය. එහිදී ඔහු සමග සාකච්ඡාවකට සහභාගි වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය ඔත්තු සේවා නියෝජිතයාගේ ආණ්ඩු විරෝධී ක‍්‍රියාව සම්බන්ධයෙන් ඩොවාල් වෙත පැමිණිලි කර සිටියේය. සිය සැලසුම අඛණ්ඩව සිදු කරගෙන යමින්, පාදයක් පසුපසට ගෙන කොළඹ ‘රෝ’ නියෝජිතයා යළි සිය රට බලා කැඳවීමට ඩොවාල් තීරණය කරන්නේ ඉන් පසුවය. අවසානයේ කෙසේ හෝ සිය ඉලක්කය වූ රාජපක්ෂලා ගෙදර යැවීමට ඩොවාල් හැකිවිය.

මේ ආකාරයෙන් ඩොවාල් විසින් ආණ්ඩු පෙරළන ලද්දේ ශ‍්‍රී ලංකාවේ පමණක් නොවේ.

නේපාලයේ ආණ්ඩුවත් පෙරළයි

නේපාලයේ 38 වැනි අගමැතිවරයා ලෙස පත්වූ කේ. පී. ශර්මා ඔලී එම ධුරයෙන් ඉල්ලා අස්වීම පිටුපසද අජිත් ඩොවාල් ප‍්‍රමුඛ ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවය ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කළේය. චීන හිතවාදියෙකු වූ ශර්මා, 2015 ඔක්තෝබර් 11 වැනිදා නේපාල අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීම දිල්ලිය සසල කළේය. නව ආණ්ඩුවෙන් පළිගැනීම සඳහා නේපාලයට පිවිසෙන සියලු දේශසීමා වසා දමා එරට උග‍්‍ර තෙල් අර්බුදයකට පත් කිරීමට දිල්ලි ආණ්ඩුව එළිපිට කුමන්ත‍්‍රණක් කළේය. ඉන්දීය විරෝධී අගමැතිවරයා හට සිය ධුරයේ කටයුතු කිරීමට ලැබුණේ වසරකටත් අඩු කාලයකි. සිය ධුරයේ කටයුතු කරන කාලයේදී, ඔහු විසින් ඍජුව ඉන්දියාවට ප‍්‍රකාශ කර සිටියේ නේපාලයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙසය.

චීන සබ්මැරීන් ශ‍්‍රී ලංකා මුහුදට එන බව පවසමින් ලංකාවේ ආණ්ඩු පෙරලූ ඩොවාල්ට වැඩේ ආපසු කැරකෙන්න පටන් ගත්තේ යහපාලන ආණ්ඩුව, රාජපක්ෂ ආණ්ඩුව පරදවා චීනය දෙසට නැමෙන්නට පටන් ගැනීමත් සමගය. රාජපක්ෂ ආණ්ඩුව යටතේ, හම්බන්තොට වරායේ බහාලුම් පර්යන්තය අවුරුදු 40 කට චීනයට බදු දී තිබුණි. එය ශ‍්‍රී ලංකාවට ඉතා වාසිදායක ගිවිසුමක් විය. ඉන් කලාපයේ බලතුලනයට ද ගැටලු ඇති නොවීය. එය හුදු වාණිජ කටයුත්තක් පමණක්ම විය. ඒ වෙනුවට ඩොවාල් මූලික වී ගෙන එන ලද යහපාලන ආණ්ඩුව, හම්බන්තොට වරායට අයත් අක්. 5000 ක භූමි භාගයට අමතරව ඉන් පිටත තවත් අක්. 15,000 ක භූමි භාගයක් චීනයට ලබාදීම සඳහා කටයුතු කළේය.

හම්බන්තොටින් ආපසු කැරකෙයි

මේ අනුව අක්. 20,000 ක් හෙවත් වර්ග කිලෝමීටර් 80 ක තවත් රටක් බඳු ප‍්‍රදේශයක් චීනයට හිමිකර ගැනීමේ අවස්ථාව උදාවිය. මෙය වතිකානු රාජ්‍යය, මොනාකෝ රාජ්‍යය, ජිබ්රෝල්ටා, කොකෝස් දූපත්, නාවුරු දූපත්, ස්ට්‍රැට්ලි දූපත් හා මකාමේ යන කුඩා රාජ්‍යයන් සියල්ලේම විශාලත්වය අභිබවා ගිය භූමි ප‍්‍රමාණයකි. චීනයට මේ ආකාරයට හම්බන්තොට වරාය හා කුඩා රාජ්‍යයන් 7 කට වඩා විශාල භූමි භාගයක් ලැබුණු පසු චීනයේ පරමාණු සබ්මැරීන පවා හම්බන්තොටට ගෙන්වා නතර කරගතහොත් එයට විරුද්ධ වන්නේ කවුද? හම්බන්තොට වරාය හමුදාමය නැතිනම් යුදමය කටයුතුවලට යොදවාගත නොහැකි යැයි වගන්තියක් එයට අදාළ ගිවිසුමට ඇතුළත් කළද එවැනි වගන්ති බලාත්මක කරන්නේ කවුද? කොළඹ වරයාට චීන සබ්මැරීනයක් ආවා යැයි කියා රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමට කුමන්ත‍්‍රණ දියත් කළ ඩොවාල් තමාගෙන්ම අසාගත යුතු වන්නේ මේ ප‍්‍රශ්න කිහිපයය. රාජපක්ෂ ආණ්ඩු සමයේදී ඩොවාල් විසින් විරෝධය පළ කරන ලද වරාය නගරය ද යහපාලන ආණ්ඩුව විසින් නැවත සක‍්‍රිය කළේය.

අවසානයේදී ඩොවාල් විසින් චීනය වෙත රාජපක්ෂලා ප‍්‍රමුඛ විපක්ෂය පමණක් නොව යහපාලන ආණ්ඩුව සමීප කර දුන්නේය. මේ පිළිබඳව ඉන්දීය විචාරකයන් ද දැනුවත් වී තිබෙන බව පෙනේ. රොහාන් වෙන්කටරාම ක‍්‍රිෂ්ණන් නමැති විශ්ලේෂකයකු, 2015 ජනවාරි ආණ්ඩු පෙරළියත් සමඟම ඉන්දියාවේ වෙබ් අඩවියක් පවසා තිබුණේ, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියට ‘රෝ’ සංවිධානය මැදිහත් වූ බවට පැතිර යන කතා ඉන්දියාවට දැඩි ලෙස අවාසිදායක බවයි. නේපාලය උදාහරණයට ගනිමින් ඔහු පවසා සිටියේ ‘රෝ’ සංවිධානය ඒ රටේ දේශපාලනයට මැදිහත් වී කළ සෙල්ලම් නිසා, අද ඉන්දියාවට හිතවත් සෑම දේශපාලනඥයකුටම එරෙහිව නේපාල ජනතාව පෙළගැසෙන බවයි. ලංකාවේ මේ ආණ්ඩු පෙරළියටද ‘රෝ’ සංවිධානය මැදිහත් වූ බව ලංකාවේ ජනතාව දනී. එපමණක් නොව 1980 ගණන්වල ඉන්දියාව මේ රටේ කළ වින්නැහියද ජනතාවට තවම අමතක වී නැත. මේ ආකාරයට අජිත් ඩොවාල් ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගැසීමට ගොස් ලංකාව තුළ ඉන්දීය විරෝධී හැඟීම් උත්සන්න කර තිබෙන අතර, ඔහු මහත් පරිශ‍්‍රමයක් දරා බලයට ගෙනා ආණ්ඩුව ඔහුගේ පාලනයෙන් ගිලිහී, රාජපක්ෂලා යළි බලයට පැමිණ ඇත. දෛවය විසින් අජිත් ඩොවාල්ට නියම කර ඇත්තේ එදා තමන් මුල්වී පෙරළා දමනු ලැබූ රාජපක්ෂවරයෙක් ජනාධිපති වී, ඔහු සමග සාකච්ඡා කරන්නටය.

ඉන්දියාව දෙවැනි පරාජය ලබයි

පකිස්තානයේ එක් පුවත් වෙබ් අඩවියක පළ වූ ලිපියක සඳහන් වූයේ අජිත් ඩොවාල්ගේ විදේශ ප‍්‍රතිපත්තිය දැන් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවට අදහසක් භාරතීය ජනතා පක්ෂය තුළත් පැතිරෙමින් පවතින බවයි. ඉන්දියාවේ ‘ද වයර්’ නමැති වෙබ් අඩවියේ ද ඉන්දීය විදේශ ප‍්‍රතිපත්තිය ‘රෝ’ සංවිධානය විසින් ‘හයි ජැක්’ කර ඇති බවට ලිපියක් පළ විය. මේ වෙබ් අඩවියේම නැවතත් පවසා තිබුණේ ඩොවාල්ගේ සම්ප‍්‍රදායික රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රවේශයන් බැහැර කර තිබෙන බවයි. මේ ආකාරයට අජිත් ඩොවාල් විසින් ලංකාවේ දේශපාලනයට මැදිහත් වී කරගත් වින්නැහිය ලංකාව තුළ ඉන්දියාව ලැබූ දෙවැනි මහා පරාජය ලෙස හඳුන්වා දිය හැකිය.

ඉන්දිරා ගාන්ධි විසින් ලංකාව මට්ටු කිරීම සඳහා උතුරේ බෙදුම්වාදයක් සහ ත‍්‍රස්තවාදයක් බිහි කළේය. එය අවසන් වූයේ ඉන්දිරාගේ පුතා වූ රජීව් ගාන්ධිගේ ජීවිතය ද එම ත‍්‍රස්තවාදීන් විසින් බිලි ගැනීමෙනි. 1980 ගණන්වලදී ඉන්දියාව ලංකාව තුළ කළ මෙහෙයුමෙන් ඉන්දීය හමුදාවේ සෙබළු 1155 ක් මැරුම් කෑ අතර 36 දෙනකු සදාකාලික ආබාධිතයන් බවට පත් විය. චීනය හා පකිස්තානය සමග ඉන්දියාව යුද වැදුනද එවැනි ජීවිත විනාශයකට මුහුණදී නැත. මේ ජවනිකාවේ ලැඡ්ජා සහගතම කාරණය වන්නේ තමිල්නාඩුවේ අප‍්‍රසාදයට තිබෙන බිය නිසා ලංකාවේ මියගිය තම සෙබළු සැමරීමටවත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව දශක දෙකකටත් වඩා කාලයක් බියෙන් සිටීමය. ලංකාවේ ආණ්ඩුව විසින් බත්තරමුල්ලේ ඉන්දීය සෙබළු සිහි කිරීමට ඉදිකොට ඇති ස්මාරකය ඉදිරිපිට මල්වඩමක් හෝ තැබීමට ඉන්දීය හමුදාපතිවරයකුට අවස්ථාව ලැබුණේ රාජපක්ෂ ආණ්ඩුව විසින් කොටි සංවිධානය විනාශ කළ පසුව පමණි.

1986 දී ලංකාවට ගුවනින් පරිප්පු දැමූ ඉන්දියාව ‘හොඳම පරිප්පුවක් කන්නේ’ ඩොවාල් මූලික වී යහපාලන ආණ්ඩුව පත් කර ගැනීමත් සමගය. එසේ වුවත් මේ සංසිද්ධිය පිළිබඳව ඉන්දියාව තවම එතරම් සංවේදී වී නැත.

ගෝඨාභය හමුවෙයි…

පසුගිය 18 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අජිත් ඩොවාල් අතර හමුව සිදුවිය.

ක්ෂේත‍්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණ. දෙරටේ ආරක්ෂක හමුදා අතර වඩා ශක්තිමත් සහයෝගීතාව, සාමුද්‍රීය ආරක්ෂාව, දෙරටේ වෙරළාරක්ෂක හමුදා අතර සහයෝගීතාව සහ අන්තර් ක‍්‍රියාකාරිත්වය වර්ධනය කිරීම යන කරුණු පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක් විය.

ශ‍්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සාමුද්‍රීය කලාප පිළිබඳ දැනුම සමාලෝචනය කිරීමේ වැදගත්කම ඩොවාල් මහතා එහිදී ජනාධිපතිවරයා වෙත පෙන්වා දුන්නේය. සෙසු කලාපීය රාජ්‍යයන් ද නිරීක්ෂකයන් ලෙස මේ ක‍්‍රියාදාමයට හවුල් කරගත යුතු බව ඔහු පැවසීය.

රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමේ තාක්ෂණය සඳහා ශ‍්‍රී ලංකාවට උදව් කිරීමට මෙහිදී ඩොවාල් ප‍්‍රතිඥා දුන්නේය. ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සඳහා උපකරණ මිලට ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් සපයන බව ද එහිදී ඔහු පැවසීය. පෘථිවි සම්බන්ධීකරණ කේන්ද්‍රයක් පිහිටුවීම ගැන ද එහිදී සාකච්ඡා කෙරිණ.

ඩොවාල්ගේ චරිතයට අක්ෂේ කුමාර්

ඩොඩොවාල්ගේ ජිවිත කතාව පදනම් කරගත් චිත‍්‍රපටයක් සඳහා ද මේවන විට බොලිවුඩය ලක ලැහැස්ති වෙමින් තිබේ.

නිරාජ් පාන්ඩේ විසින් අධ්‍යක්ෂණය කරනු ලබන එම චිත‍්‍රපටය සඳහා ඩොවාල්ගේ චරිතය නියෝජනය කරනු ලබන්නේ අක්ෂේ කුමාර් විසිනි. මීට පෙරද ඩොවාල් ගේ චරිතය බොලිවුඩ් තිරයේ දිස්වී තිබේ. 2018 වසරේ තිරගත වූ විකී කෞෂාල් රඟපෑ ‘යූරි ද සර්ජිකල් ස්ට‍්‍රයික්’ චිත‍්‍රපටයේ ගෝවින්ද් විසින් භාරද්වාජ්ගේ චරිතයට පණ පොවන ලද අතර එය සැබෑවට අජිත් ඩොවාල්ගේ චරිතය විය.

– මනෝජ් අබයදීර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *