(24.01.2020 – 21:06 +0530 – hirunews.lk/sinhala)
මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (24) අනාවරණ වුණා.
ඒ එම කොමිසම හමුවේ එවක කෑගල්ල ප්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී ජගත් ගාමිණී තෙන්නකෝන් මහතා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව ඊයේ (23) අවසන් වරට ප්‍රශ්න කළේ, කෑගල්ල ප්‍රදේශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරී ජගත් ගාමිණී තෙන්නකෝන් මහතාගෙන්.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ අධිනීතිඥ සුහර්ශි හේරත් මහත්මියගේ ප්‍රශ්න කිරීම් හමුවේ සහකාර පොලිස් අධිකාරීවරයා අනාවරණ කළේල මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කර තිබුණ ද සැකකරුවන් නම්කර නොසිටි බවයි.
බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් 2018 දෙසැම්බර් මස 26 වැනිදා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කළ බවද සහකාර පොලිස් අධිකාරීවරයා ජනාධිපති කොමිසම හමුවේ හෙලිකළා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ පොලිස්පතිවරයා 2018-12-29 වැනි දින තමාට දුරකථනයෙන් අමතා එවක බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට කතා කරන ලෙසත් ඔහු සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් ලබා දෙනු ඇති බවත් සඳහන් කළ බවයි.
පොලිස්පතිවරයා පැවසූ අන්දමට තමා අසාද් සාලි මහතාට දුරකථනයෙන් අමතා පොලිස්පතිවරයාගේ පණිවුඩය දැනුම්දුන් බව සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවා.
එහිදී තම්සීන් නමැති මව්ලවිවරයෙක් හරහා සැකකරුවන් දෙදෙනෙකු ගෙනැවිත් භාරදීමට කටයුතු කරන බවට අසාද් සාලි මහතා පැවසූ බව සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන් මහතා සඳහන් කළා.
අසාද් සාලි මහතා සඳහන් කළ ආකාරයට මව්ලවිවරයා හරහා සැකකරුවන් භාරදුන්නේදැයි කෙමිසම ප්‍රශ්න කළා.
සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවේ සැකකරුවන් භාර නොදුන් බවයි.
එදිනම තමන් අසාද් සාලි මහතාට යලිත් දුරකථන ඇමතුමක් ලබාදී සැකකරුවන් භාර නොදුන් බව දැන් වූ බවත්, එහිදී අසාද් සාලි මහතා එම ඇමතුමට තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ කරගත් බවට, සැක සිතූ බැවින් තමා එම ඇමතුම විසන්ධි කළ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
කොමිසම අද (24) යලි රැස්වූ අවස්ථාවේදීද සහකාර පොලිස් අධිකාරී ජගත් ගාමිණී තෙන්නකෝන් මහතාගෙන් සාක්ෂි විමසීම සිදුකෙරුණා.
එහිදී අනාවරණ වුණේල මාවනැල්, බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කෑගල්ල සහ මාවනැල්ල පොලිස් ස්ථාන සමත්ව තිබූ බවයි.
අනතුරුව එහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට භාර දුන් නමුත් විමර්ශන සඳහා පැමිණ සිටියේ නිලධාරීන් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් බව සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළා.
විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවට තමා දැනුවත්ව නොසිටි බවද සහකාර පොලිස් අධිකාරීවරයා අනාවරණ කළා.
තවද සහකාර පොලිස් අධිකාරීවරයා කොමිසම හමුවේ අනාවරණ කළේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනාට අමතරව පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම කිසිඳු සැකකරුවෙකු හෝ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූ බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පමණක් බවත් ඉන් සැකකරුවන් දෙදෙනෙකු ද පාස්කු ප්‍රහාරයට පෙර නිදහස් කළ බවත් සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවා.
+++++++++++++++++++++
***************************************
නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවේ මව සොයා පැමිණි ප්‍රසෙලා
(24.01.2020 – 19:44 +0530 – hirunews.lk/sinhala)
අම්මා.. මේ සෙනෙහසට සමාන කරන්න කිසිවක් ලෝකයේ නැහැ.
තම කුඩා අවධියෙන් ගිලිහුණු එවැනි මාතෘ සෙනෙහසක් සොයා නෙදර්ලන්ත කාන්තාවක් හිරු ප්‍රවෘත්ති අංශය වෙත පැමිණියා.
මේ වනවිට 35 වන වියේ පසුවන ප්‍රසෙලා ලාංකික සම්භවයක් ඇති නෙදර්ලන්ත කාන්තාවක්.
1985 අප්‍රේල් 17 වන දින ද සොයිසා කාන්තා රෝහලේ උපත ලබන ප්‍රසෙලාගේ ලාංකික නම නදීකා තුෂාරි.
වයස අවුරුදු 1 හමාරේදී ඇය නෙදර්ලන්ත කාන්තාවකට හදා වඩා ගැනීම සඳහා ලබාදෙන අතර මේ වනවිට ඇය පිරිමි දරුවන් දෙදෙනෙකුගේ මවක්.
ප්‍රසෙලා ඉකුත් 9 වැනිදා ලංකාවට පැමිණෙන්නේ තමන් මෙළොවට බිහිකළ මව සොයා ගෙනයි.
ඇය පවසන ආකාරයට පතිරණගේ දයානන්දනී නම් ඇයගේ මව කළුතර ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.
මව සොයා ගැනීමේ අභිප්‍රායෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇය මව පිළිබඳ තොරතුරු ඇතුළත් කර මව සොයා ඇති අතර, එහිදී ලාංකිකයෙක් ඇයට පවසා ඇත්තේ ඇයගේ මව සොයා ගත් බවයි.
කෙසේ නමුත්, මේ වනවිට ඇයගේ එකම අභිප්‍රාය වී ඇත්තේ තම මව දෑසීන් දැකීමයි.
***************************************
ආර්ථික අභියෝගය ජය ගන්නා බව ජනපති කියයි
(24.01.2020 – 18:14 +0530 – sinhala.adaderana.lk)
පරිහානියට පත්ව ඇති රටේ ආර්ථිකය වර්ධනය කර ගැනීමේ අභියෝගය ජයගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පවසන්නේ පසුගිය කාලය තුල රටේ ආර්ථිකය දැඩි ලෙස පසුබෑමකට ලක් වු බවයි.
අළුතින් පත්වු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකදීජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කළේ සීඝ්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම බවයි.
රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව පිටුදැක කාර්යක්ෂමතාව නැංවීමත්, රජයට බරක් නොවන ලෙස ලාභ උත්පාදනයත් ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව ඒ මහතා පෙන්වා දුන්නේය.
“2005-2014 කාලය තුළ අපේ රට ආර්ථික වර්ධනය අතින් ආසියාවේ මුල් තැනක තිබුණා.
ගත වූ වසර කිහිපයේ දී ආර්ථික වර්ධනය පහළ ගියා. ආර්ථික පුනරුදයක් ඇති කිරීම අද අප හමුවේ ඇති විශාලම අභියෝගයක්.
ආර්ථිකය යළි ගොඩනැගීමේ දී නව තාක්ෂණය උපයෝගිකොට ගත යුතුය.
පුහුණු ශ්‍රමය තවත් වැදගත් සාධකයකි. ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීමටඅධ්‍යාපන ක්‍රමයේ ද අවශ්‍ය වෙනස්කම් කළ යුතුය.
එහිලා තෘතීයික අධ්‍යාපනයට තරුණතරුණියන් වැඩි වැඩියෙන් යොමු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක්.
ජනතාවට සේවය කළ හැකි සහ ආර්ථික වර්ධනයට වැඩිපුර දායක විය හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන දියුණු කළ යුතුය.
සංචාරක මණ්ඩලය, ආයෝජන මණ්ඩලය වැනි ආයතනවලට එහිදී ප්‍රමුඛ වගකීමක් පැවරේ.
පසුගිය සමයේ නැගුණු චෝදනාවලින්මිදී ආර්ථික පුනරුදයට මේ ආයතන දායක විය යුතුය.”
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
කොළඹින් පිට පළාත්වල ආයෝජනය සඳහා ආයෝජකයන් යොමු කිරීම නාගරික තදබදයට විසඳුමක් ලෙස පෙන්වා දුන් රාජපක්ෂ මහතා ඔවුනට නව තාක්ෂණය සහ දියුණු යටිතල පහසුකම් සපයා දිය යුතු බව සඳහන් කළේය.
මේ ව්‍යායාමයේ දී උද්ගත වන සියලු ගැටලු වලට විසඳුම් දීමට තමා සූදානම් බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉකුත් ජනාධිපතිවරණයේ දී ජනතාව තම කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සපුරාලීමට සහය වන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලිමක් ද කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියහ.
+++++++++++++++++++++
***************************************
කොරෝනා වෛරසය යුරෝපයටත් පැතිරේ – මරණ සංඛ්‍යාව 41 දක්වා ඉහළට
(25.01.2020 – 07:28 +0530 – hirunews.lk/sinhala)
චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පැතිරෙන නව කොරෝනා වෛරසය මේ වන විට යුරෝපයට ද ව්‍යාප්ත වී තිබෙනවා.
ඒ, ප්‍රංශයෙන් ද ආසාදිතයන් තුන් දෙනෙකු සොයා ගැනීමෙන් අනතුරුවයි.
අග්නිදිග ආසියාතික රටවලින් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙන් ද ආසාදිතයන් සොයාගෙන ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 1035 ක්.
සාස් වෛරසයට සමාන නව කොරෝනා වෛරසය මගින් නියුමෝනියා තත්ත්වයක් ඇති විය හැකි අතර, එමගින් මරණයට ද පත්විය හැකියි.
දැනට නව වෛරසයේ මරණ 41 ක්, වාර්තා වන්නේ චීනයෙන් පමණයි.
+++++++++++++++++++++
***************************************
රණවිරු දඩයම ආපසු හරවන්න ජනාධිපති කොමිසමක්
(25.01.2020 – 09:00 +0530 – lankaleadnews.com)
සන්නද්ධ හමුදා සාමාජිකයින් පොලිස් නිලධාරීන් සහ සෙසු රාජ්‍ය නිලධාරීන් ඉකුත් 2015 වසරේ ජනවාරි 15 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වැනි දින දක්වා වූ කාලසීමාව තුළ කිසියම් දේශපාලනමය පළිගැනීම්වලට ලක්ව තිබෙනවා නම් ඒ පිළිබද පරික්ෂණ හා විමර්ශන සිදුකර වාර්තා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් ස්ථාපිත කර ඇත.
මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභීයාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිකල සහ විශ්‍රාමික පොලිස් පතිවරයකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් පත්කර ඇත.
අදාල කාලසීමාව තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වූ දුෂණ විරෝධී විශේෂ ඒකකයක් මගින් පළමුව විමර්ශන සිදුකළ යුත්තේ කවුරුන් පිළිබදවද යන්න තීරණය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, පොලිස් මූල්‍ය අපාරාධ ඒකකය, පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීම සහ ඒ අනුව සිදුකෙරුණු විමර්ශනවලදී ජාතික ආරක්ෂාවට අහිතකර බලපෑම් එල්ල වූ බව ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වීම මෙම කොමිසම ස්ථාපිත කිරීමට හේතු වී ඇත ෴
***************************************
23 කැදවු විල්පත්තු නඩුව …!
(25.01.2020 – 08:25 +0530 – lankaleadnews.com)
විල්පත්තු වන විනාශය එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පැවරූ නඩුව (CA / WRIT- 291/15) (2020.01.23) අභියාචනාධිකරණයේ දී විභාගයට ගැනුනා. අවතැන් වූවන් නැවත පදිංචි කරවීමේ මුවාවෙන් රක්ෂිත වන ගහනයෙන් ඉතා විශාල ප්‍රමාණයක් විනාශ වන පරිදි බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීමක් සිදුව ඇති ඇති අතර එයට හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සෘජු ලෙස සම්බන්ධ වී ඇති බවට ද තොරතුරු මේ වන විටත් අනාවරණය වී තිබේ.
මීට පෙර මෙම නඩුව කැඳවූ අවස්ථාවේ, එතුවක් සංරක්ෂිත පෙදෙස් නම්කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කර නව ගැසට් පත්‍රයක් නිකුත් කරන බවත්, (අවතැන්වූවන්) නැවත පදිංචි කර ඇති ප්‍රදේශ නව ගැසට් පත්‍රයෙන් බැහැර කරන බවත්, පවසමින් , නීතිපතිවරයා මගින් ගෙන ආ යෝජනාවට පරිසර යුක්ති කේන්ද්‍රය දැඩිව එරෙහි විය. පාරිසරික යුක්ති කේන්ද්‍රය (CEJ) මෙයට විරෝධය පාමින් සඳහන් කලේ වන සංරක්ෂණාගාර ජනරාල්වරයා සහ අනෙකුත් රජයේ බලධාරීන් විසින් යම් ආකාරයක අනවසර ආක්‍රමණයක් නීතිගත කිරීමට චේතාන්විතව කටයුතු කරන බවයි.
මෙම නඩුවේ ඇති සුවිශේෂත්වය වනුයේ නඩුව සම්පූර්ණයෙන් ම අසා නිමවූ පසු අදාල විනිසුරුතුමා නඩුවේ තීන්දුව ලබාදිය නොහැකි බවත් නඩුව නැවතත් මුල සිට ඇසිය යුතු බවත් පැවසීමයි. මෙයට හේතු කිසිවක් ඉදිරිපත් නොකල නමුත් පැවති පාලනාධිකාරිය විසින් අධිකරණයට කරන ලද බලපෑම පිළිබඳ ජනතාව මේ මොහොතේ දැඩිලෙස සංවේදීව තිබේ.
කෙසේ වෙතත් විල්පත්තු මායිම් සම්බන්ධ පැරණි ගැසට් පත්‍රය අවලංගු කර, අනවසරයෙන් පදිංචිවූවන් සිටින පෙදෙස රක්ෂිතයෙන් ඉවත් කර නව මායම් සහිත ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරමින් තමන්ට අයිති නැති නෛතික බලතල භාවිතකිරීමට නිතිපතිවරයා මගින් අදාල රාජ්‍ය නිලධාරීන් ගෙන ආ යෝජනාව පිටුපස නම් යහපාලන දේශපාලකයන්ගේ සෘජු බලපෑමක් තිබූ බවට කසුකුසු මතුව තිබේ ෴
***************************************
MCC ගිවිසුම විමර්ශණය කරන ගුණරුවන් කමිටුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවෙන් ඉල්ලීමක්
(23.01.2020 – 21:47 +0530 – lankaleadnews.com)
වසර පහකට බලපවත්වන කාළයක් සඳහා ඇමරිකාවේ Millennium Challenge Corporation සමගින් අත්සන් කිරීමට යෝජිත MCC හෙවත් Millennium Challenge Compact ගිවිසුම පසුගිය ජනධිපතිවරණ කාලයේදී රටේ මහත් ආන්දෝලනයක් සිදුකලහ. ප්‍රධාන ගිවිසුම අඩංගු පිටු 16 කින් සහ ඇමුණුම් සහිතව සම්පූර්ණ පිටු 84 කින් හෙබි ඉංග්‍රීසියෙන් නිකුත් කරන ලද පිටපතක් පිටු 12 සහ 13 රහිතව ඒ වනවිට නිකුත්කර තිබුනි. එහි සඳහන් රටට අයහපත් කරුණු ලෙස ජනාධිපතිවරණ වේදිකාවල සහ රූපවාහිනී වාද වැඩසටහන් වල සාකච්ඡාවට සහ විවාදයට පහත සඳහන් කරුණු භාජනයවුනි.
- රටේ ඉඩම් වලින් අක්කර ලක්ෂ තිහක් පර්චසයක් රුපියල් 180 යි ශත 10 ගණනේ ඇමරිකන් ග්‍රහණයට නතුවීම.
- රටේ ඉඩම් වලින් අක්කර ලක්ෂ දොලහක් ඊනියා ආර්ථික කොරිඩෝවකට ඇමරිකාවේ ග්‍රහණයට නතුවීම.
- සීගිරිය ආදී පුරාවිද්‍යා ස්ථාන, වනවාසී සිල්වත් භික්ෂූන් වැඩ වසන ආරන්‍ය සේනාසන, ඓතිහාසික පුදබිම්, වැසි වනාන්තර, සතා සුව්පාවා ජීවත්වන ස්වාභාවික වනය, ඇල දොල ගංගා ජල ධාරා ආදී සියල්ලම වැනසීම.
- ජාතික සමගිය වැනසෙන, රට උතුර දකුණ ලෙස වෙන්වෙන, නැගෙනහිර ත්‍රස්ථාවාදය පෝෂණය කරන කොරිඩෝවක් සෑදීම.
- ලංකාව කාන්තා හිංසනය උපරිමයෙන්ම පවතින රටක් ලෙස පිලිගත යුතුයි කියන කොන්දේසිය ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන අප රට ම්ලේච්ඡ රටක් ලෙසට හංවඩු ගසාගැනීම.
- ඇමරිකානු හමුදා කඳවුරු රට තුල ස්ථාපනය කිරීමට ඉඩදීම.
- අභූත මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කර රට නය උගුලක වැටෙන ආකාරයේ ක්‍රියා දාමයකට රට ඇද දැමීම.
- MCC ගිවිසුම කඩකලා යැයි චෝදනා කර රට ආර්ථික අගාධයකට දැමිය හැකි වගන්ති වලින් යුක්තවීම.
- ප්‍රධානයක් ලෙස සඳහන් කලද ණය මුදලක් සේ ලබාදීම.
- ණය ආපසු ගෙවීමේදී ලබාදුන් මුදල නොව එහි පවතින ආර්ථික වටිනාකම ඩොලර් වලින් ගෙවීම.
මෙම මුල්‍ය ආධාරය හෙවත් ණය හෙවත් ‘එවකට හිටිය මුදල් ඇමතිතුමා වරක් සඳහන් කළ පරිදි පාස්කු ප්‍රහාරයෙන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මියයෑම වෙනුවෙන් ඇමරිකාවෙන් ලැබුන ප්‍රදානය’ ලබාදීමේදී ඇමරිකානු සමාගම විසින් පනවා ඇති නිර්ණායක වන්නේ ආර්ථික නිදහස සහ දේශපාලන නිදහස පිළිබඳව තම අවශ්‍යතා ඉටුකරවා ගැනීමට ඉඩලබා ගැනීමට ඇති හැකියාව තහවුරු කර ගැනීමයි. ඒ යටතේ ඔවුන් බලාපොරොත්තු වන්නේ රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිය, උද්ධමනය, නියාමන ගුණාත්මකභාවය, වෙළඳ ප‍්‍රතිපත්තිය, ආර්ථිකය තුළ ස්ත‍්‍රී/පුරුෂ දායකත්වය, ඉඩම් අයිතිය හා ප‍්‍රවේශය, ව්‍යාපාර ආරම්භ කිරීම, සිවිල් නිදහස, දේශපාලන අයිතිවාසිකම්, දූෂණය පාලනය කිරීම, රජයේ කාර්යක්‍ෂමතාව, නීතියේ ආධිපත්‍යය සහ තොරතුරු දැන ගැනීමේ නිදහස, දේශපාලන අයිතිවාසිකම්, සෞඛ්‍ය සඳහා වියදම්, ප‍්‍රාථමික අධ්‍යාපන වියදම්, ප‍්‍රතිශක්තිකරණ අනුපාතය, ගැහැණු ළමයින්ගේ ද්වීතික අධ්‍යාපන අනුපාතය හා ළමා සෞඛ්‍යය යනාදිය සඳහා තම බලපෑම තහවුරු කර ගැනීමයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් කරන්නට යෙදුන කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා පිළිබඳ ප්‍රකාශය MCC ගිවිසුමේ දිගුවක් ලෙසද එවකට සැකයට භාජනය විය.
MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා, ජනාධිපතිවරණයෙන් නියත පරාජය පෙනිපනී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කළ කැබිනට් මණ්ඩලයෙන් ඒ සඳහා අනුමැතියදී තිබුන අතර, සුපුරුදු හොරපාරෙන් පාර්ලිමේන්තුවද මගහැර, දින කිහිපයකින් තනතුර හැරයාමට නියමිත, මුදල් ඇමති වන, කුප්‍රකට ජිනීවා ගිවිසුම විදේශ ඇමතිධූරය හොබවන අවධියේදී කිසිදු නෛතික බලයක් නොමැතිව අත්සන්කල, මංගල සමරවීරට බලය පවරාදී තිබුණි. දිනෙන් දින මහජන විරෝධය දැඩි වෙමින් පැවතුනද ඒ වෙනුවෙන් ඉදිරිපත්වූ මහා සංඝයා වහන්සේලාටද අවමන් අක්‍රෝෂ පරිභව කරමින් තර්ජනයෙන් මංගල පිංසිරි ඇමති විසින් ගිවිසුම අත්සන් කිරීමට සැරසෙන ආකාරයක් දක්නට තිබුනි. එබැවින් අවසානයේදී එම ගිවිසුම පැය කිහිපයකින් තනතුර අහිමිවීමට නියමිත මුදල් ඇමතිවරයා විසින් අත්සන් කිරීම වැලැක්වීමට සහ රටට අහිතකර ගිවිසුම්වලට ජනාධිපතිවරණයෙන් පසුව පත්වෙන කිසිදු අපේක්ෂකයෙකු නොඑළඹෙන බවට සහතිකයක් ගැනීම සඳහා ධර්මධර විනයධර සුපේශල ශික්ෂාකාමී භික්ෂුවක්වූ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ට නිදහස් චතුරශ්‍රයේ මාරාන්තික උපවාසයකට එළඹෙන්නට පවා සිදුවිය. දෙදිනක් ගතවෙමින් පැන් පානය පවා ප්‍රතික්ෂේප කරමින් කාශ්‍යප හිමියන් ගෙනගිය උපවාසය මාරාන්තික වීගෙන එනවිට, දැඩිවුන විරෝධය හමුවේ තමා නියෝජනයකල කැබිනට් අනුමැතියද අමතක කර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රථමයෙන්ම MCC ගිවිසුමට නොඑළඹෙන බව පවසන්නට යෙදුනි. ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාද MCC ගිවිසුම හෝ මොනයම්ම රටට අහිතකරව බලපාන ගිවිසුමකට නොඑළඹෙන බව ප්‍රකාෂ කරන ලදී. ඉන් අනතුරුව එම දෙපල විසින් තමා බලයට පත්වුවහොත් උක්ත ගිවිසුම අත්සන් නොකරන බවට කාශ්‍යප හිමියන් හට ලිඛිතව දැනුම් දෙන ලදුව දෙදිනකට පසුව මාරාන්තික උපවාසය උන්වහන්සේ විසින් අත්හරිනලදී.
ජනාධිපතිවරණය පවතින කාළයේදී MCC යනු මහා විනාශකාරී ගිවිසුමක් ලෙස හැඳින්වුව නමුදු ඉන් පසුව එය සියයට ගනන් වලින් යහපත් බව පවසන්නටද යෙදුනි. ඉක්බිති, ජනාධිපතිවරණය ඉකුත්වී මාසයක් ගතවූ පසුව එනම් 2019 දෙසැම්බර් 18 හෝ ආසන්න දිනයකදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් විද්වතුන් හතර දෙනෙකුගෙන් යුක්ත විශේෂ කමිටුවක් MCC ගිවිසුම නැවත ඇගැයීම සඳහා පත් කරනලදී. එම කමිටුව සමන්විත වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය ලලිතසිරි ගුණරුවන්, ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩී. එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ නාලක ජයවීර යන මහත්වරුන්ගෙනි. ගුණරුවන් මහතා කමිටුවේ ප්‍රධානත්වය උසුලයි.
දැන් නැවත්ත MCC ගිවිසුම පිළිබඳව විවිධ මත රජය පාර්ශවයෙන් සිදුවෙන බව පෙනී යයි. ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියොජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී වෙල්ස් මහත්මියගේ 2020 ජනවාරි 14 සිදුවූ සංචාරයේදී මෙම අදහස් ප්‍රකාශ වී ඇත. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාශයන් මත ගිවිසුමේ ඉදිරි ක්‍රියාකාරකම් තීරණය කරනු ලබන බව පැවසීම සහ විදේශ සබඳතා ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් MCC ගිවිසුම ගැන ගුණ වයා තිබීමද දැකිය හැකි ප්‍රධාන වෙනස්කම් වේ.
තත්ත්වය මෙසේ හෙයින් ගුණරුවන් කමිටුවට විශාල වගකීම් සම්භාරයක් පැනවී ඇත. එය හුදෙක් MCC ගිවිසුමේ සඳහන් වගන්ති පිළිබඳව අධ්‍යයනයක් කිරීම නොව ඉන් ඔබ්බට ගිය කාර්‍ය සම්භාරයක් ඔවුන්ගේ උරමත පවතී. ජනතාවද ගුණරුවන් කමිටුව දෙස දෑස් දල්වා බලා සිටී. ගෝඨාභය මහතාට ජනාධිපතිවරණයේදී වැඩි මනාප සංඛාවක් ලබා ගැනීමට මෙම කුප්‍රකට MCC ගිවිසුමද බලපෑ බව පැවසීම අතිශෝක්තියක් නොවේ. MCC ගිවිසුමට විරුද්ධව ගෙනගිය දැනුවත් කිරීම් ඒ සඳහා දායක වුන බව පැහැදිලි කාරණයකි. ගුණරුවන් කමිටුව අත පහුගිය ජනාධිපතිවරණයේදී සත්‍ය පැවසුවේ කවුද බොරු පැවසුවේ කවුද යන්න පැහැදිලි කිරීම රඳා පවතී. ගුණරුවන් කමිටුව මත ලංකාව ඉංදියන් සාගරයේ හයිටියද නොඑසේනම් සිංගප්පූරුවද යන්න තීරණය වීම රඳා පවතී.
එබැවින් ගුණරුවන් කමිටුවේ කාර්‍යභාරය විය යුත්තේ සැලකා බැලිය යුතු සියලුම මාන ඔස්සේ MCC ගිවිසුම විමර්ශණය කිරීමයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1972 දී ඇතිකරගත් ඉංදියානු සාගර කළාපය සාමකාමී කළාපයක් ලෙස පවත්වා ගන්නේ යැයි අනුමත කරගන්නා ලද ප්‍රඥප්ති වල සිට ACSA සහ SOFA ගිවිසුම් වල බලපෑම් දක්වාද, ඉන් ඔබ්බට, වෙනත් රටවල් MCC සමග ඇතිකරගත් ගිවිසුම් සහ එම රටවල් වල අද පවතින තත්ත්වයන් දක්වාද අධ්‍යයනය කළයුතුවේ. මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා මහජනතාව හටද අවස්ථාව ලබාදෙන ලෙස ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව ගුණරුවන් කමිටුවෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
යසස් ධර්මදාස
ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විධායක කමිටුව
***************************************
ආචාර්ය නාලක ගොඩහේවා ප‍්‍රකට සමාගමකට දුන් තනි වචනය හෙලි වෙයි..
(24.01.2020 – 08:40 +0530 – lankacnews.com)
ජනවාරි මස 22 දා පැවති කැළණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ 106 වන උපාධි ප්‍රදාන උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ආචාර්ය නාලක ගොඩහේවා මහතායි.
වරලත් ඉංජිනේරුවෙකු, වරලත් ගණකාධිකාරවරයෙකු හා වරලත් අලෙවිරුවෙකු යන අංශ තුනකම වෘත්තීය සුදුසුකම් ඇති ආචාර්ය නලක ගොඩහේවා මහතා ව්‍යාපාර කළමණාකරනය පිළිබඳ පශ්චාත් උපාධියත් , ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියත් සපුරා ඇති දුලබ ගනයේ විද්වතෙකි.
පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ ආයතන ගනනාවක ප්‍රධානියා ලෙස සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති ආචාර්ය නාලක ගොඩහේවා මහතා උපාධිදාරී සිසුන් අමතා කල පහත දැක්වෙන දේශණය රැකියා වෙළඳපොලට පිවිසෙන තරුණ තරුණියන්ට ඉතා ප්‍රායෝගික අවවාද මාලාවකින් සමන්විත වූවකි.
“සියල්ලටම පෙර මම ඔබට සුබ පතනවා ඔබේ උපාධිය සාර්ථකව අවසන් කිරීම පිළිබඳව. ඔබ මේ ජයගෙන ඇත්තේ ජීවිතයේ ඉතා වටිනා කඩ ඉමක්.
ඔබව මේ තත්වයට ගෙන එන්නට ඔබේ දෙමව්පියන් විශාල කැපකිරීම කරන්නට ඇති. අද ඔවුන් ඔබ මේ ලබා ගත් ජයග්‍රගහණය ගැන බෙහෙවින් සතුටු වෙනවා . ඒ වගේම ඔබේ සහෝදර, සහෝදරියන් , නෑදෑ හිතමිතුරන් අද ඔබ සමඟ සතුට බෙදා ගන්නවා. ඔබේ ගුරුවරුන් ඔබ ගැන ආඩම්බර වෙනවා. සමාජය ඔබට සුබ පතනවා.
ඔබේ ජීවන ගමන මේ පටන් ගත්තා විතරයි. සමහර විට ඔබ මෙතෙක් ආ ගමන මෙන් 3 ගුණයක්වත් දිගු ගමනක් ඔබ ඉදිරියේ තිබෙනවා. මෙතැන් පටන් ඔබේ අරමුණු වෙනස් වෙනවා. ඔබේ අභියෝග වෙනස් වෙනවා. ඒ අභියෝග ජයගෙන, අරමුණ කරා යන්නේ කෙලෙසද කියා දැන් ඔබ සැලසුම් කල යුතුයි.
ජීවත් වීම සඳහා සෑම කෙනෙකුටම ආදායමක් අවශ්‍ය වෙනවා. ඔබ මෙතැන් පටන් ඔබේම ආදායම උපයා ගත යුතුයි. තව දුරටත් මව්පියන්ගෙන්, නෑදෑ හිතමිතුරන්ගෙන් හෝ රජයේ ආධාර වලින් යැපීම නතර කල යුතුයි. ඔබ වැඩිදුර අධ්‍යාපනයට යොමුවුනත් එය තමුන්ගේම කියා ආදායමක් උපයන ගමන් කරනවානම් තමා වඩා හොඳ.
යමෙකුට සමාජයට බරක් නොවී සාධාරණව ආදායම් උපයන්නට ක්‍රම කිහිපයක්ම තිබෙනවා. මා හිතනවා ඔබ ඒ ගැන දැනුවත් විය යුතුයි කියා. එය නොදන්නා කම නිසා තමයි සමහර උපාධිධාරීන් උපාධිය සම්පූර්ණ කොට වසර ගනනාවකට පසුත් රැකියා විරහිත උපාධිධාරීන් කියා ලේබලයක් තමුන්ම ගසාගෙන අනුන්ගේ පිහිට පතන්නේ.
ඔබ මෙතෙක් ලබා ගත් අධ්‍යාපන සුදුසුකම් හා ඔබේ කුසලතා හා පෞරෂය පදනම්ව ඔබට සමහරවිට රැකියාවක් සොයාගත හැකියි. රැකියාවකට ඉල්ලුම්පත්‍රයක් දමනා විට , සම්මුඛ පරීක්ෂණයකට මුහුන දෙන විට ඔබ ඔබව කෙතරම් දක්ෂ ලෙස ඉදිරිපත් කරගන්නවාද යන්න මත තමයි ඔබ කොතරම් ඉක්මනින් හා පහසුවෙන් රැකියාවක් ලබා ගන්නවාද යන්න තීරණය වන්නේ. එකම සුදුසු කම තිබුනත් උපාධිධාරින්ගෙන් කොටසකට රැකියා ලැබෙන්නටත් අන් අයට නොලැබෙන්නටත් හේතුව බොහෝ විට තමුන්ගේම තිබෙනා අඩු පාඩු නිසායි. ඒ ගැන සමාජයට හෝ රජයට දොස් කිමෙන් පලක් නැහැ. ඔබ කල යුත්තේ ඒ අඩුපාඩු මොනවාද කියා වටහාගෙන ඒවා නිවැරදි කර ගැනීමයි.
වර්තමාන ගෝලීය ආර්ථිකය තුල තවත් කෙනෙකු යටතේ රැකියාවක් කරනවාට වඩා ස්වයං රැකියාවක් කිරීමේ අවස්ථාවක් තිබෙනා බවත් ඔබ මතක තබා ගත යුතුයි. එය සමහර විට ඔබේ කුසලතාවක් පදනම් කරගෙන කරන ස්වයං රැකියාවක් වන්නට පුලුවන්. සමහර විට එය ඔබ විශ්ව විද්‍යාලය තුල හෝ එයින් පරිබාහිරව ඉගනගත් දෙයක් මත පදනම්ව කරනා ස්වයං රැකියාවක් වන්නට පුලුවන්. සමහර විට වෙළඳ පොල තිබෙන විවිධ ආදායම් ඉපයීමේ අවස්ථා හඳුනාගෙන ඔබ විසින් ආරම්භකරනා ස්වයං රැකියාවක් විය හැකියි. උදාහරණයක් ලෙස අද අන්තර්ජාලය හරහා විවිධ සේවා සපයමින් හොඳ ආදායමක් උපයන විශාල පිරිසක් රට තුල සිටිනවා. එය රැකියාවක් කොට මුල් කාලයේ ලැබිය හැකි ආදායමට වඩා බොහෝ ඉහල ආදායමක් විය හැකියි. ඒ වගේම වෘත්තීය දැනුම හා පුහුණුව ස්වයං රැකියාවක් හරහා ජීවිතය ගොඩ නංවා ගැනීමට මාර්ගයක් වෙන නිසා උපාධියෙන් ලද දැනුමට අමතරව යම් ක්ෂේත්‍රයක වෘත්තීය දැනුම ලබා ගන්නටත් ඔබට යොමු විය හැකියි.
කාර්මිකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, පුද්ගලික පංති ගුරුවරුන්, තාක්ෂණික උපදේශකයන්, නීතිවේදීන්, ගෘහ නිර්මාන ශිල්පීන්, රූප ලාවණ්‍ය උපදේශකයින්, රක්ෂණ නියෝජිතයන් වැනි ස්වයංරැකියා අවස්ථා දහස් ගනනක් මේ රටේ තිබෙනවා.
ආදායම් ඉපයීමට මීලඟ අවස්ථාව වන්නේ තමුන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භකිරීමයි. අනුන්ගෙන් රැකියා ඉල්ලනවා වෙනුවට අනුන්ටත් රැකියා ලබා දෙන්නට එවිට පුලුවන්. ව්‍යාපාරිකයෙක් වීම ඉතා ගෞරවාන්විත වෘත්තියක්. මන්ද ව්‍යාපාරිකයා රටේ සංවර්ධනයට ඍජුවම දායක වන, ජනතාවට, රැකියා අවස්ථා උත්පාදනය කරන තැනැත්තෙක් නිසායි. වර්තමානයේ රටේ ආර්ථිකයෙන් 50% කට පමණ දායක වන්නේත්, රටේ රැකියාවලින් 70% පමණ සපයන්නේත් ව්‍යාපාරිකයනුයි. ඔබට වෙළඳපොල තිබෙනා ව්‍යාපාරික අවස්ථාවන් හඳුනාගන්නට පුලුවන්නම් පොඩියට හෝ ව්‍යාපාරයක් ආරම්භකිරීමත් සලකා බලන්නට පුලුවන්. අද ඔබ රැකියාවකට ගියත් අත්දැකීම් ලබාගෙන, ආයෝජනය සඳහා යම් මුදලක් එකතු කරගත්තාට පසු අනාගතයේ දවසක හෝ තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියා මම යෝජනා කරනවා.
අපේ රටේ ජනතාවගෙන් ව්‍යාපරිකයන් සිටින්නේ ඉතා සුලු ප්‍රතිශතයක්. එයට හේතුව අපේ අධ්‍යාපන ක්‍රමය තුල මෙන්ම සමාජය තුල ව්‍යවසායකත්වයට නිසි ගෞරවය ලබා දී නැති නිසායි. රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස දේශිය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමට, ව්‍යවසායකත්වය දිරිමත් කිරීමටත් වත්මන් රජය බලාපොරොත්තු වෙනවා.
මා මේ කී ක්‍රම තුනෙන් පළමුවෙනි එකේදී ඔබ අනුන් වෙනුවෙන් වැඩකරනවා, දෙවැන්නේදී ඔබ ඔබ වෙනුවෙන් වැඩ කරනවා, තුන්වැන්නේදී, ඔබ අනුන්ගෙන් වැඩ ගන්නවා.
ආදායම් ඉපයීමට සිව් වන ක්‍රමයකුත් තිබෙනවා. ඒ තමයි ඔබ වෙනුවට වැඩ කරන්නට මුදල් යෙදවීම. එයට අප කියන්නේ ආයෝජනය කියායි.
උදාහරණයක් වශයෙන් කොටස් වෙලඳපොලේ සුලු මුදලක් ආයෝජනය කොට ප්‍රතිලාබයක් ගැනීම මෙම ක්‍රමවේදයට අයත් වෙනවා. කොටස් වෙළඳ පොල පමණක් නොවෙයි යමෙකුට මුදල් වලින් මුදල් හොයන්නට තිබෙන ක්‍රමවේදය. ඔබ සොයා බැලුවොත් තවත් ආයෝජන අවස්ථා රාශියක් හමු වේවි.
මම මේ ආදායම් උපයන ක්‍රම ගැන සඳහන් කලේ ඔබත් ඔබේ දෙමව්පියනුත් බොහෝදෙනක් මේ අවස්ථාවේ රැකියාවක් ගැන සිතමින් යම් ආකාරයකට බියට පත් වී සිටිනවා විය හැකි නිසායි. එසේ බිය වීමට අවශ්‍ය තාවක් නැහැ.
ඔබ සමහර විට අසා ඇති මට ඉංජිනේරු විද්‍යාව, ගණකාධිකරණය, අලෙවිකරණය යන වෘත්තීය සුදුසුකම් තුනම තිබෙනා අතර ව්‍යාපාර කලමණාකරණය පිලිබඳ පශ්චාත් උපාධියකුත් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්‍ය උපාධියකුත් තිබෙනවා. මම පෞද්ගලික අංශයේත් රාජ්‍ය අංශයේත්, ක්ෂේත්‍ර ගනනාවක, ආයතන ගනනාවක ඉහලම තනතුරු දරා ප්‍රතිපල පෙන්වූ පුද්ගලයෙක්.
නමුත් මීට වසර 30 කට පමණ පෙර මමත් ඔබ වගේ නවක උපාධිධාරියෙක්. ඔබට වගේම මටත් අනාගතය ගැන පැහැදිලි අවභෝධයක් තිබුනේ නැහැ. නමුත් මා සතුව තිබුන එක් ගුණාංගයක් නිසා තමයි මට මෙතෙක් මගේ ගමන සාර්ථකව එන්නට පුලුවන් වුනේ. ඒ කුමක්ද කියා කියන්නට මම මගේ ජීවිතයේ පොඩි අත්දැකීමක් කියන්නම්.
මම මුලින්ම රැකියාව ලබා ගත්තේ බහුජාතික සමාගමක් වන යුනිලීවර් ආයතනයේ පුහුණු කළමනාකරුවෙක් වශයෙන්. ඒ කාලයේ එම ආයතනයට සුදුසුකම් ලබන්නට ඉතා අමාරුයි. මම එයට අයැදුම් කොට සම්මුඛ පරීක්ෂණ කිහිපයකට මුහුණ දී අවසාන සම්මුඛ පරීක්ෂණයට ගිය විට ආයතනයේ සභාපතිවරයා මගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහුවා. ඔහු එය ඇසුවේ ඉංග්‍රීසියෙන්.
ඔහු ඇහුවා ‘CAN YOU DESCRIBE YOUR CHARACTER IN ONE WORD ?’ කියා.
‘ඔබට ඔබේ චරිතය එක වචනයකින් විස්තර කරන්න පුලුවන්ද ?’ කියා
මම දුන්න උත්තරය CONFIDENT කියායි. එහි සිංහල තේරුම ඔබ දන්නව. ඒ කියන්නේ ‘ආත්ම විශ්වාසය’.
අයදුම් කරුවන් දහසකට අධික ප්‍රමාණයකින් ඔවුන් මාව එදා තොරා ගත්තා. එදා පටන්මේ දක්වා මගේ ගමන එන්නට උපකාර වුනේ කිසි දෙයකට බැහැ නොකියන ආත්ම විශ්වාසයයි.
ඒ නිසා මම ඔබටත් අද දෙන්නේ එකම එක අවවාදයයි. ඔබ ඔබ ගැන විශ්වාසය තබන්න, ආත්ම විශ්වාසය කියන්නේ එයයි.
නොපසුබට උත්සාහය තිබෙනවා නම් ජීවිතය ජය ගන්නට ඕනෑම අයෙකුට පුලුවන්. අවශ්‍ය වන්නේ ආත්ම විස්වාසය හා තැනට ඔබින තීරණ ගැනීමට හැකි කාලෝචිත ප්‍රඥාව පමණයි.”
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴