මව් කිරිදීම අතින් ලෝකයේ ප්‍රථමස්ථානය ශ්‍රී ලංකාවට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මව් කිරිදීම අතින් ලෝකයේ ප්‍රථමස්ථානය ශ්‍රී ලංකාවට

• කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE සාමාජිකයෙකුට විදෙස් අධිකරණයකින් මාස 82 ක සිර දඬුවමක්

• නවක වදයට එරෙහි වූවාට සිදු වූ පහරදීම (විඩියෝ)

• ජිවිත අවදානම නොතකමින් ඔයක් තරණය කරන බිබිල මැදගම ගම්වාසීන් (විඩියෝ)

• හිටපු ජනපති සහ අගමැති වෙනුවෙන් නීතිපති නැහැ (විඩියෝ)

• උපකාරක පන්තියක වහලක් කඩා වැටී, සිසුන් 10 ක් රෝහලේ

• පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමේ තීරණයක්

• පරාජයට පත් අයට ජාතික ලැයිස්තුවේ නාමයෝජනා නොදෙන්නැයි මැදගොඩ හිමියන්ගෙන් ඉල්ලීමක් (විඩියෝ)

• සුඛෝපබෝගී බස් රථයක් රුහුණු කුමාරිගේ ගැටෙයි (විඩියෝ)

• අඩු ආදායම්ලාභීන් සඳහා වූ රැකියා ලක්ෂයේ වැඩපිළිවෙලට අයදුම්පත් කැඳවේ

• මව් පිය සෙනෙහස අහිමි මිණිබිරිය රැකබලා ගන්න වෙර දරණ මුත්තනුවන් (විඩියෝ)

• ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයෙන් දඩ

• විශ්‍රාමික ලියාපදිංචිය ඩිජිටල්කරණය වෙයි

• උඩරට විවාහ නිතීයත් අහෝසි කිරීම අත්‍යාවශ්‍යයි – පූජ්‍ය අතුරලියේ රතන හිමි

• පිටිකිරි නැති සුව දිවියක් ගැන දැනුවත් කිරීමක් (විඩියෝ)

• ලක්සල හිටපු සභාපති ලබ්බට තැබු අත පුහුලට නොතබයිද? (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මව් කිරිදීම අතින් ලෝකයේ ප්‍රථමස්ථානය ශ්‍රී ලංකාවට

(21.01.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ලෝකයේ මව්කිරි දීමේ ප්‍රවණතා ඇගයීම් වැඩසටහන මගින් කළ සමීක්ෂණයකදී ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට හරිත වර්ණ කේතය පිරිනමා ඇති බවයි සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.

ලෝක මව්කිරි දීමේ ප්‍රවණතා ඇගයීමේ වැඩසටහන ලෝකය පුරා රටවල් 120 ක ක්‍රියාත්මක වන්නක්. එමගින් නිර්නායක 10 ක් පාදක කර ගනිමින් රටවල් ශ්‍රේණිගත කෙරෙනවා.

මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 100 න් 91 ක් ම හිමිව ඇති බවයි සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මව්කිරි නිසි පරිදි ලබාදීමෙන් ළමා සහ මාතෘ සෞඛ්‍ය සංරක්ෂණය මෙන්ම බෝ නොවන රෝග ද වළක්වා ගත හැකි බවටයි වෛද්‍ය මතය වී ඇත්තේ ෴

***************************************

කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE සාමාජිකයෙකුට විදෙස් අධිකරණයකින් මාස 82 ක සිර දඬුවමක්

(21.01.2020 – 06:28 +0530 – hirunews.lk/sinhala)

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා 2005 වසරේදී ඝාතනය කිරීමට සම්බන්ධ වූ හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් මාස 82 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ජර්මනියේ පුද්ගලිකත්ව රෙගුලාසිවලට අනුව නවනීදන් ජී. ලෙස පමණක් හඳුන්වා ඇති ඔහු කදිරගාමර් ඝාතනය සඳහා අවශ්‍ය වැදගත් තොරතුරු ලබාදුන් පුද්ගලයා බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව ස්ටුට්ගාට් ප්‍රාදේශීය අධිකරණය මගින් ඔහුට මෙලෙස වසර 6 යි මාස 10 ක සිර දඬුවමක් නියම කර ඇති බවයි ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

මෙම හිටපු එල්.ටී.ටී.ඊ, බුද්ධි අංශ සාමාජිකයා 2012 වසරේදී ජර්මනියේ සරණාගතභාවය පතා සිටි අයෙකු බව ද එම ප්‍රවෘත්ති සේවා වැඩිදුරටත් අනාවරණ කළා.

එම සරණාගත පරීක්ෂණයේදී ඔහු පවසා ඇත්තේ තමා කදිරගාමර් ඝාතනයට අවශ්‍ය තොරතුරු සැපයූ බවයි.

එහෙත් පසුව ඔහු ප්‍රකාශ කළේ තමාගේ ප්‍රකාශය වැරදි ලෙසින් පරිවර්තනය කර ඇති බවයි.

කෙසේ නමුත්, ඔහුගේ ප්‍රකාශය පදනම් කරගෙන මෙලෙස කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම කිරීමට ජර්මන් අධිකරණය කටයුතු කළා.

ඔහුට මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි ජර්මානු ප්‍රවෘත්ති සේවා සදහන් කර ඇත්තේ ෴

***************************************

නවක වදයට එරෙහි වූවාට සිදු වූ පහරදීම

(20.01.2020 – 20:24 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් තවත් සිසුන් පිරිසකට සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ නවක වදයට විරුද්ධවෙමින් පළමු වසරේ සිසුන් සංගමයක් පිහිටුවා ගැනීම මෙම පහරදීමට හේතුව වී ඇති බවයි.

විශ්ව විද්‍යාලය තුළදී නවක වදයට ලක්වන සිසුන් වෙනුවෙන් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කලා අංශයේ පළමු වසරේ සිසුන් කිහිප දෙනෙකු විසින් අදාළ සංගමය පිහිටුවාගෙන තිබෙනවා.

ඊට උරන වූ එම අංශයේ දෙවන වසරේ සිසුන් 7 දෙනෙකු විසින් පළමු වසරේ සිසුන් දෙදෙනෙකුට මෙම පහරදීම සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේ සිද්ධිය දුරකථනයෙන් රූගත කළ සිසුවෙකුටද පහර දෙන ආකාරය දැක්වෙන දර්ශන අපවෙත ලැබී තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මඩකලපුව ශික්ෂණ රෝහලට රැගෙන යාමට ගිලන් රථයක් පැමිණියද ඊට ද දෙවන වසරේ සිසුන් බාධා කරන අයුරු දැකගත හැකි වුණා.

***************************************

ජිවිත අවදානම නොතකමින් ඔයක් තරණය කරන බිබිල මැදගම ගම්වාසීන්

(20.01.2020 – 20:17 +0530 – hirunews.lk/sinhala)

බිබිල මැදගම ප්‍රදේශයේ ගම්වාසින් තම ජිවිත අවදානම නොතකමින් ඔයක් තරණය කරන පුවතක් අප වාර්තා කළේ පසුගිය 16 වැනිදායි.

එම පුවත සැලවු වහාම කඩිනමින් ක්‍රියාත්මක වු ජනාධිපතිවරයා අදාළ බලධාරින්ට උපදෙස් ලබා දුන් අතර ඒ අනුව අද දින (20) අදාළ පාලමේ ඉදිකිරිමේ කටයුතු සඳහා අවශ්‍යය මැණිම් සිදු කළා.

බිබිල – කොටබෝව නිල්ගල රක්ෂිතයට ආසන්නයේ පිහිටි දිඹුල්දෙන ගම්මානයේ ජීවත් වන පවුල් 40 කට අධික පිරිසක් ගම්මානයේ සිට බිබිල නගරය දක්වා ගමන් කිරීම දහමල්ඔය තරණය කරන ආකාරය අප ‘හිරු ප්‍රවෘත්ති’ ඔස්සේ අනාවරණය කළා.

ඒ සඳහා මොවුන් යොදාගෙන ඇත්තේ ඉවුරේ පිහිටි අට්ටික්කා හා කුඹුක් ගස් දෙකක් යා කර ඒ මත ලෑලි අතුරා සකස් කර ගන්නා ලද පාලමක්.

මෙම පුවත විකාශය කළ වහාම ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී අදාළ බලධාරින් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් අනුව මහනුවර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයාගේ ප්‍රධානත්වයෙන් පාලම ඉදිකිරිම සඳහා මැනිම් කටයුතු අද ආරම්භ කළා.

පාලම ඉදිකිරිමේ කටයුතු කඩිනමින් සිදුවිය යුතු බවට අප යළිත් අදාළ බලධාරින්ට අවධානය යොමු කරනුයේ අද (20) දින සිදුවු ඛේදනීය පුවතක් හේතුවෙන්.

ඒ පාලම ඉදිකිරිම සඳහා අදාළ මැනිම් කටයුතු සිදුකිරීමට නිළධාරින් එහි පැමිණ සිටි අවස්ථාවේම පාසල් ගොස් නිවසට පැමිණෙමින් සිටි සිසුවෙකු පාලමේ ගමන් කරන විට ඉන් ඇඳ වැටී තිබෙනවා.

පසුව මැණිම් කටයුතු සිදුකිරිමට පැමිණි නිලධාරීන්ගේ මැදිහත්විමේන් දරුවා බිබිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම පාසල් සිසුවා මිට පෙර අප මෙම පුවත ආවරණය කිරිමට එහි ගොස් සිටි අවස්ථාවේ පාලමේ ගමන් ගත් ආකාරයයි මේ :

***************************************

හිටපු ජනපති සහ අගමැති වෙනුවෙන් නීතිපති නැහැ

(20.01.2020 – 19:43 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දොලහේ වගඋත්තකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා.

ඒ, එම පෙත්සම් සත් පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

මීට පෙර මෙම පෙත්සම් සලකා බැලූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකුව සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධනගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පත් කර තිබුණා.

පෙත්සම කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම්වල වගඋත්තකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මින් ඉදිරියට නීතිපතිවරයා පෙනී නොසිටින බවයි.

මීට පෙර අදාළ වගඋත්තරකරුවන් ජනාධිපති සහ අගමැති ධුරයේ කටයුතු කරන අවස්ථාවේදී නීතිපතිවරයා ඔවුන් වෙනුවෙන් පෙනී සිටියද, මේ වනවිට ඔවුන් අදාළ ධුරයන්හි කටයුතු නොකරන බැවින් නීතිපතිවරයා තවදුරටත් පෙනී නොසිටින බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ.

ඇය පෙන්වා දුන්නේ ඒ අනුව එම වගඋත්තරකරුවන්ට පෞද්ගලික නීතිඥයින්ගේ සහය ලබා ගැනීමට සිදුවන බවයි.

කෙසේ වෙතත්, මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් නීතිඥ පුලස්ථි රූපසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ පෙනී සිටිමින් තම සේවාදායකයින් වෙනුවෙන් විරෝධතා ගොනු කිරීමට යම් කාලයක් අවශ්‍ය බවට ඉල්ලීමක් කළා.

එය සලකා බැලූ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මාර්තු මස 6 වන දිනට පෙර එම විරෝධතා ගොනුකරන ලෙසත්, ඊට ප්‍රතිවිරෝධතා මාර්තු මස 27 වනදිනට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයන්ගේ නීතිඥයින්ට දැනුම් දුන්නා.

එසේම, මේ සම්බන්ධයෙන් වූ ලිඛිත දේශන අප්‍රේල් මස 30 වන දිනට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශවයන්ගේ නීතිඥයින්ට දැනුම් දුන් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය මැයි මස 12, 13 සහ 14 දිනයන්හිදී ද, සිදුකිරීමට දින නියම කළා.

මේ අතර, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද යළි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍යවරුන් වන රිෂාඞ් බදියුදීන්, රවුෆ් හකීම්, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඇතුළු 7 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

එමෙන්ම, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දින ඉල්ලා ඇතත්, මෙතෙක් ඊට දිනයක් ලබා දී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ, දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලබන මස 3 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

***************************************

උපකාරක පන්තියක වහලක් කඩා වැටී, සිසුන් 10 ක් රෝහලේ

(20.01.2020 – 17:43 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ – මීටියාගොඩ, මාදම්පාගම, ගලගොඩ ප්‍රදේශයේදී උපකාරක පන්තියක වහලක් කඩා වැටීමෙන් එහි සිටි සිසුන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ සිසුන් බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

අනතුර සිදුවී ඇත්තේ 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සදහා අද (20) පස්වරුවේ උපකාරක පන්ති පැවැත්වෙන අතරතුරයි.

***************************************

පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමේ තීරණයක්

(20.01.2020 – 14:57 +0530 – hirunews.lk/sinhala)

පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මීට පෙර අධිකරණය විසින් ලබාදී ඇති නියෝගයට අනුව, පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35 ක්.

එහෙත්, අධිකරණ තීරණය සමාලෝචනය කොට ශිෂ්‍ය සංඛ්‍යාව 40 ක් දක්වා වැඩි කර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය 2 වනදා ඉදිරිපත් කර තිබූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමුවුණා.

ප්‍රාථමික පන්ති සඳහා ගුරු සහායකයින් බඳවා ගැනීමේ සෞභාග්‍යයේ දැක්ම, ජාතික ප්‍රතිපත්තියට අනුව, ප්‍රාථමික පන්ති භාර ගුරුවරයාට මෙතෙක් තිබූ පීඩනය සහ කළමනාකරණයේ අපහසුතාවයන් අවසන් වනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව ශිෂ්‍ය සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩි කිරීමේ තීරණයට පසුබිම නිර්මාණය වන්නේ ද මෙම ගුරු සාහකයින් පත් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයයි ෴

***************************************

පරාජයට පත් අයට ජාතික ලැයිස්තුවේ නාමයෝජනා නොදෙන්නැයි මැදගොඩ හිමියන්ගෙන් ඉල්ලීමක්

(20.01.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයෙන් පරාජයට පත්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි දේශපාලකයින්ට යලි නාමයෝජනා ලබා නොදිය යුතු බව පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ගාල්ලේ ඊයේ (19) පැවති වියත්මග සංවිධානයේ වැඩසටහනකට එක්වෙමින්.

***************************************

සුඛෝපබෝගී බස් රථයක් රුහුණු කුමාරිගේ ගැටෙයි

(20.01.2020 – 11:48 +0530 – hirunews.lk/sinhala)

මාතර සිට කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ බස් රථයක් ගැටීමෙන් අද (20) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

අම්බලන්ගොඩ, මාදම්පේ, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී සුඛෝපබෝගී බස් රථයක් මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් එම බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර බස් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරු සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

***************************************

අඩු ආදායම්ලාභීන් සඳහා වූ රැකියා ලක්ෂයේ වැඩපිළිවෙලට අයදුම්පත් කැඳවේ

(20.01.2020 – 10:26 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම්ලාභී පවුල්වල අවම අධ්‍යාපන සුදුසුකමක් සහිත සාමාජිකයින් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

මේ සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව යනුවෙන් ආයතනයක් පිහිටුවා ඇති අතර, මීට අදාළ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙහිදී හඳුනා ගන්නා රැකියාලාභීන්ට මාස 06 ක වෘත්තීය පුහුණුවක් ලබා දෙන අතර, එම කාල සීමාවේ රුපියල් 22,500 ක දීමනාවක් ද ගෙවනු ලබනවා.

අනතුරුව, පදිංචි ප්‍රදේශයේ පී.එල්.-01 කාණ්ඩයේ වැටුප් සහ දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත් කෙරෙන අතර, මීට අදාළ තොරතුරු බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අද (20) දිනයේ ජාතික පුවත්පත්වල පළ කර තිබෙනවා ෴

***************************************

මව් පිය සෙනෙහස අහිමි මිණිබිරිය රැකබලා ගන්න වෙර දරණ මුත්තනුවන්

(19.01.2020 – 22:44 +0530 – hirunews.lk/sinhala)

ලේ කිරට නොහැරුණත් දහඩිය කඳුලින් සිය මිණිබිරියව පෝෂණය කරන්නට වෙර දරණ මුත්තනුවකුගේ කදුළු කතාවක් අම්පාර – පදියතලාව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

***************************************

ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයෙන් දඩ

(21.01.2020 – 12:13 +0530 – sinhala.adaderana.lk)

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වු චෝදනාවකට වරදකරුවන් වු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයක් විසින් දඩ නියම කර තිබේ.

ඒ අනුව එක් පුද්ගලයෙකුට ඩිරාම් ලක්ෂ පහ බැගින් දඩ මුදලක් ගෙවන ලෙස ඩුබායි අධිකරණය නියෝග කර ඇති අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න බව වාර්තා වෙයි.

ඩුබායි තරු පංතියේ නිවාඩු නිකේතනයක ආරක්ෂක අංශයේ සේවය කළ පුද්ගලයින් තිදෙනෙකුට මෙම දඩ මුදල නියම වී ඇති අතර එම දඩ මුදල ගෙවීමෙන් අනතුරුව ඔවුන් එරටින් පිටුවහල් කිරීමට නියෝග කර ඇති බව සඳහන් වෙයි.

ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයෙන් වාර්තා පල කිරීම පිළිබඳව අදාල පුද්ගලයින් තිදෙනාට එරෙහිව ඔවුන් සේවය කළ ආයතනයේ මහජන සම්බන්ධතා නිලධාරියෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව ඩුබායි අල් බර්ෂා පොලීසිය විසින් පසුගිය වසරේ මැයි මස 19 වන දින ඔවුන්ට එරෙහිව ඩුබායි අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එල්ල වී ඇති චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවන් තම සමාජ මාධ්‍යවල නුසුදුසු පණිවිඩ සහ ඡායාරූප පළ කළ බවට පාපොච්ඡාරණය කර තිබේ.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් මෙතෙක් අභියාචනා ඉදිරිපත් වී නොමැති බවයි ඩුබායි මාධ්‍ය වාර්තා කර ඇත ෴

***************************************

විශ්‍රාමික ලියාපදිංචිය ඩිජිටල්කරණය වෙයි

(21.01.2020 – 10:05 +0530 – sinhala.adaderana.lk)

විශ්‍රාමික ප්‍රජාවගේ වාර්ෂික පදිංචි හා ජීවිත සහතික කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම නවීන තාක්ෂණික වැඩ සටහන නිල වශයෙන් ඇරඹීම ඊයේ (20) අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදී සිදුවිය.

මේ වන විට 641,000 පමණ පිරිසක් විශ්‍රාම වැටුපට හිමිකම් කියන අතර රජය මාසිකව රුපියල් බිලියන 250 ක පමණ මුදලක් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වෙන්කරයි.

කෙසේ වුවද ඇතැම් තැන්වල මියගිය විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් වංචනික ලෙසින් ලබා ගැනීම් වාර්තා වෙන අතර එවැනි කරුණු හේතුවෙන් වසරකට මිලියන ගණනක මුදලක් රජයට අහිමි වන බව වාර්තා වේ.

මෙම තත්ත්වය වැලැක්වීම වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේ දක්වා වාර්ෂිකව විශ්‍රාමිකයින්ගේ පදිංචිය හා ජීවිත සහතික කිරීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන ගිය අතර අද දින හඳුන්වා දෙනු ලැබූ ඩිජිටල් ක්‍රමවේදයත් සමඟ මෙය වඩාත් ක්‍රමවත්ව හා නිවැරදිව සිදුකිරිමේ හැකියාව උදා වනු ඇත.

2016 ජනවාරි 1 වැනිදායින් පසු විශ්‍රාම ගත් සියල්ලන් මෙම නව ක්‍රමවේදය යටතේ පළමුව ලියාපදිංචි කිරීමට අපේක්ෂා කරන අතර අනෙක් සියල්ලන් කෙටි කලක් තුළ ලියාපදිංචි කර ගැනීමට අපේක්ෂා කෙරේ.

පළමු අධියරේදී 80000 ක පමන පිරිසක් ලියාපදිංචි කර ගැනීමට නියමිතය.මෙම කටයුත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කෙරේ.

සමස්ථ විශ්‍රාමික ප්‍රජාවටම මෙම ක්‍රමවේදය හඳුන්වා දීමෙන් අනතුරුව දැනට වාර්ෂිකව සිදුකරණු ලබන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය මාස 3 ට වතාවක් සිදුකිරීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන අතර එමගින් වංචා, දුෂණ සිදුවීමට ඇති ඉඩකඩ මුලුමනින්ම පාහේ නවතාලීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

ආරම්භයක් ලෙස මෙම ලියාපදිංචි කිරීමේ කටයුත්ත සීමිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රමාණයක සිදුකිරීමට නියමිත අතර අමාත්‍යවරයා අතින් එම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පරිගණක ප්‍රධානයක්ද සිදුවිය ෴

***************************************

උඩරට විවාහ නිතීයත් අහෝසි කිරීම අත්‍යාවශ්‍යයි – පූජ්‍ය අතුරලියේ රතන හිමි

(21.01.2020 – 07:51 +0530 – sinhala.adaderana.lk)

උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් අද(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අද පස්වරු 1.00 ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ පිළිබදව ‘අද දෙරණ’ට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් :

“අද දින පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට උඩරට විවාහ නිතීය අහෝසි කිරීමේ කෙටුම්පත අද දිනයේ ඉදිරිපත් කරනවා.

එක රටක් එක නීතියක් යටතේ විශේෂයෙන්ම මුස්ලිම්වරුන්ට පමණක් විශේෂිත අධිකරණ ක්‍රමය ප්‍රතික්ෂේප කළා සේම උඩරට විවාහ විවාහ නිතීයත් අහෝසි කිරීම අත්‍යාවශ්‍යයි.

රටක් ලෙස දියුණු වෙලා ඉස්සරාහට යනකොට එක රටක් එක නිතීයක් අවශ්‍යයයි ඒ අනුව මුස්ලිම් නිතීය පමණක් නෙමෙයි උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා”

***************************************

පිටිකිරි නැති සුව දිවියක් ගැන දැනුවත් කිරීමක්

(20.01.2020 – 22:08 +0530 – sinhala.adaderana.lk)

ආනයනික කිරිපිටිභාවිතය වෙනුවට දියර කිරි වැඩි වශයෙන් භාවිතයට ගැනීමට මෙරට ජනතාව පෙළඹවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

පිටිකිරි නැති සුව දිවියක් යන මැයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද සංවිධාන කර තිබූ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

***************************************

ලක්සල හිටපු සභාපති ලබ්බට තැබු අත පුහුලට නොතබයිද? K T Kaldera (20.01.2020)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *