හෙට (18) කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හෙට (18) කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

• පාස්කු ප්‍රහාරයේ වගකීම් විරහිතව කටයුතු කළ සියළු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතුයි – නව සිංහල රාවය සංවිධානය (විඩියෝ)

• ජනපති කටුනායක ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක (විඩියෝ)

• ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට තිබූ තහනම ඉවතට

• කොළඹ පෞද්ගලික ගුවන් ගමන් තහනම ඉවත් වෙයි

• ගුවනින් යන්න ගෝල්ෆේස් එන්න. ගාලු මුවදොර හෙලිකොප්ටර් අංගනය යළි ක්‍රියාත්මකයි

• ගුවන ජයගත් අපේ යුද හමුදා වීරයා (විඩියෝ)

• බලා සිටි සියල්ලන් පුදුම කරමින් කිලෝමීටර් 11.5 ක් දිවගොස් පොලිස් නිල සුනඛ බෙනී සැකකරු අල්ලයි (විඩියෝ)

• වසර 100 කට පෙර ශ්‍රී දළඳා මාලිගාවේ තිබූ ඉපැරණි බුද්ධ ප්‍රතිමාව යළිත් මාලිගාවටම වැඩමවූ හැටි මෙන්න (විඩියෝ)

• ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් 5 ක් නිදහස් – නිශ්ශංක යාපා සේනාධිපතිට ඇප

• ගෝඨාභය ජනපති වුණොත් හමුදා පාලනයක් ඇතිවන බවට උතුරේ ජනතාව බිය වුණා – අමාත්‍ය විමල් වීරවංශ

• ලොරි රථයට ඉඩ දුන් ත්‍රිරෝද රථයක් නිවසක් මතට පෙරළෙයි (විඩියෝ)

• බදු සහන නොදෙන ආයතනවලට එරෙහිව නීතිමය පියවර (විඩියෝ)

• ශ්‍රි ලංකා නිවුන් සංගමය ගිනස් වාර්තාවකට සැරසෙයි

+++++++++++++++++++++++++++++++++++

හෙට (18) කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

(17.01.2020 – 10:34 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (18) පෙරවරු 9 සිට පැය 22 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ඒ අනුව, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශ සහ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ෴

***************************************

පාස්කු ප්‍රහාරයේ වගකීම් විරහිතව කටයුතු කළ සියළු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතුයි – නව සිංහල රාවය සංවිධානය

(16.01.2020 – 19:58 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වගකීම් විරහිතව කටයුතු කළ සියලුදෙනා නීතිය හමුවට පැමිණ වීමේ වගකීම ඒ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පවතින බව ‘නව සිංහල රාවය’ සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව කියා සිටියේ අද (16) පස්වරුවේ එම කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.

***************************************

ජනපති කටුනායක ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

(16.01.2020 – 16:27 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙයි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා ගුවන්තොටුපල පරිශ්‍රයේ පර්යන්ත කිහිපයක කටයුතු පිලිබඳව මෙහිදී සොයා බලා ඇති බවයි.

ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු, පහසුකම් සහ මගී සේවා පිළිබඳව මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින් සමග සාකච්ඡා කර තිබෙනවා.

***************************************

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට තිබූ තහනම ඉවතට

(17.01.2020 – 14:47 +0530 – hirunews.lk/sinhala)

ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා සඳහන් කළේ සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට යටත්ව මෙලෙස ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කළ බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොළඹ පෞද්ගලික ගුවන් ගමන් තහනම ඉවත් වෙයි

(17.01.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබු තහනම ඉවත් කර තිබෙනවා.

එම තහනම ඉවත් කරනු ලැබුවේ වසර 25 කට පසුව වීම විශේෂත්වයක්.

ඒ අනුව අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක්, ලියාපදිංචි පෞද්ගලික හෙලිකොප්ටර් ගාලුමුවෙදාර පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේ ක්‍රීඩාංගනයට ගොඩබැස්විය හැකි බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.

අදාළ තහනම ක්‍රියාත්මක වූ පසුගිය අවුරුදු 25 ක කාලය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරුණේ රත්මලාන සහ බත්තරමුල්ලේ සිටයි ෴

+++++++++++++++++++++

ගුවනින් යන්න ගෝල්ෆේස් එන්න. ගාලු මුවදොර හෙලිකොප්ටර් අංගනය යළි ක්‍රියාත්මකයි

(07.01.2020 – biz.adaderana.lk)

කොළඹ ගාලුමුවදොර හෙලිකොප්ටර් යානා අංගනයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ඊයේ (16) යළි ආරම්භ විය. මෙලෙස ගාලුමුවදොර පිටියේ සිට හෙලිකොප්ටර් යානා මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ වසර 25 කට පසුව වීම විශේෂත්වයකි.

මේ පිළිබඳ සමාරම්භක ඉසව්වක් කොළඹ ගාලුමුවදොර හෙලිකොපටර් අංගනයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ ගුවන් යනා මෙහෙයුම් සමාගම් කිහිපයක්ම එක්විය.

මෙහිදී අදහස් දැක්වූ සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුවේ, ගුවන් යානා මෙහෙයුම් අධ්‍යක්ෂ, ලුෂාන් ප්‍රනාන්දු මහතා මෙසේ කියා සිටියේය :

“මෙම ස්ථානයේ සිට ගුවන්යානා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අවසර ලබා දී තිබෙනවා. ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණය කරමින් මෙම ස්ථානයේ සිට ගුවන් ගතවීමට සහ ගොඩබැස්වීමට අවශ්‍ය පහසුකම් ලබා දී තිබෙනවා.”

මෙම අවස්ථාවේ දී මාධ්‍ය වෙත කරුණු දැක්වූ විශ්‍රාමික ගුවන් නියමු, වින්ග් කමාන්ඩර් සුනිල් කබ්රාල් මහතා මෙසේ පැවසීය :

“1995 සැප්තැම්බර් මාසයේ දී ලයන් එයාර් ගුවන් යානයක් මන්නාරම මුහුද ඉහළ අහසේ දී විනාශ වුණා. එල්ටීටීඊ ප්‍රහාරයකින් කියලා තමයි එසේ වුණා කියලා විශ්වාස කරන්නේ. එදා සිට සියලුම අභ්‍යන්තර ගුවන්සේවා අත්හිටුවනු ලැබුවා. ඉන්පසු 2003 දී යළිත් වරක් අභ්‍යන්තර සිවිල් ගුවන් සේවා පටන් ගත්තා. එදා සිට පියවරෙන් පියවරට අපි ඉදිරියට ආවා.”

IWS ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරු, විශ්‍රාමික බලගණ නායක කපිල රත්නසේකර මහතා මෙහිදී කියා සිටයේ, සංචාරකයින්ට ඉතා පහසුවෙන් හෙලිකොප්ටර් යානා වෙත පැමිණීමේ අවස්ථාව දැන් හිමිව ඇති බවයි.

“මීට පෙර අපිට සංචාරකයින් හෙලිකොප්ටර්වලට නග්ගවා ගැනීමට කොළඹ තිබුණේ ස්ථාන දෙකයි. ඒ වෝටර් එජ් සහ ශාලිකා ක්‍රීඩාංගණය. නමුත් අද පටන් කොළඹ සියලූම ප්‍රධාන පෙළේ හෝටල් තිබෙන ස්ථානයක මධ්‍යයෙන් අපිට ඒ ගොල්ලන්ට පහසුකම් සපයන්න අවස්ථාව ලැබී තිබෙනවා. සංචාරකයින් හෙලිකොප්ටරයක් භාවිත කරන්නේ ඉතා කෙටි කාලයකින් තමන්ගේ ගමනාන්තයට යන්න. මෙතන තියෙන කොට ඒ ගොල්ලන්ට හෝටලේ ඉඳන්, පයින් ඇවිද ගෙන වුණත් හෙලිකොප්ටරේ වෙත යන්න පුළුවන්. නමුත් ඉස්සර, හෙලිකොප්ටරෙන් යන්න තියෙන්නේ පැයයි. ඒත් හෙලිකොප්ටරේ තියෙන තැනට පාරෙන් යන්න මිනිත්තු 45 ක් පැයක් විතර යනවා. ඒ අපහසුතාවය දැන් මඟ හැරී තිබෙනවා.”

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ගුවන් නියමුවෙකු වන වර්තමානයේ දී දයා ඒවියේෂන් සමාගමේ ගුවන් නියමු තුෂාර සල්ගාදු මහතා කියා සිටියේ, මේ පිළිබඳ ගැටළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සෘජුවම දැන්වීමෙන් ඊට ඉත් ඉක්මනින් ප්‍රතිචාර ලැබුණු බවයි.

“කොළඹ නගරයේ හෙලිකොප්ටර් ගොඩබැස්වීමේ තැනක් සඳහා අපි දරපු උත්සාහය අතිවිශාලයි. සංචාරකයෝ මේ අසල හෝටල්වල ඉන්නේ. නව ජනාධිපතිතුමා පත්වීමෙන් පසු අපි මේ ප්‍රශ්නය සෘජුවම එතුමාට කියා සිටියා. ඉන් දින කිහිපයකට පසු අපට මෙතැනි ගොඩබැස්වීමට සියලු කටයුතු සලස්වන්න එතුමා කටයුතු කළා. ඒ ගැන ජනාධිපතිතුමාටත්, ආරක්ෂක අමාත්‍යාංශයටත්, වත්මන් ගුවන් හමුදාපති සුමංගල ඩයස් මහතාටත් අපගේ ස්තුතිය හිමිවෙනවා. මෙය පොඩි දෙයක් කියා සිතුවාට, මේ හරහා සංචාරක ව්‍යාපාරයට සිදුවන උන්නතිය අසීමිතයි.”

මෙම හෙලිකොප්ටර් අංගනය කොළඹ ගාලුමුවදොර ෂැංග්‍රිලා හෝටලයට යාබද, ආරක්ෂක අමාත්‍යාංශයට අයත් භූමිභාගයක පිහිටා තිබේ ෴

***************************************

ගුවන ජයගත් අපේ යුද හමුදා වීරයා

(17.01.2020 – 07:47 +0530 – hirunews.lk/sinhala)

පැරෂුට් එකක් උපයෝගී කරගනිමින් අඩි 14,500 ක උසක සිට සාර්ථක පැරෂුට් පිම්මක් සිදුකළ ශ්‍රී ලාංකිකයෙකු දකුණු ආසියාවේ වාර්තාවක් තැබීමට සමත් වූවා.

මෙලෙස ලෝකය හමුවට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යාමට සමත් වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න මහතායි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨතම පැරෂූට් නිලධාරියා ලෙසින් ඔහු එම පිම්මත් සමඟ පැරෂුට් පිමි 200 ක් සම්පුර්ණ කළ දකුණු ආසියාවේ මුල්ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා වීමට සමත් වුනා.

මෙලෙස අඩි 14,500 ක උසක සිට මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න මහතා පැරෂුට් පිම්ම සිදුකළේ පසුගියදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදීයි.

***************************************

බලා සිටි සියල්ලන් පුදුම කරමින් කිලෝමීටර් 11.5 ක් දිවගොස් පොලිස් නිල සුනඛ බෙනී සැකකරු අල්ලයි

(17.01.2020 – 12:00 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිල සුනඛයෙකු විසින් කිලෝමීටර් 11.5 කට ආසන්න දුරක් දිවගොස් මුදල් සොරකම්කල පුද්ගලයෙකු අල්ලාගත් පුවතක් ඇතිමලේ ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මෙලෙස සැකකරු නිවැරදිව හඳුනාගෙන ඇත්තේ පොලිස් නිල සුනඛ බෙනී විසින්.

ඇතිමලේ ගැමුණුපුර ප්‍රදේශයේ නිවෙසක තිබූ රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ඊයේ (16) දින කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ඇතිබවට පොලිසියට ලද තොරතුරකට අනුව ඇතිමලේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම විමර්ශන කටයුතු සඳහා පොලිස් නිල සුනඛ බෙනී යොදවා ඇති අතර එහිදී බෙනී සොරකම සිදුවූ නිවසේ සිට කිලෝමීටර් 11.5 කට ආසන්න දුරකින් පිහිටි නිවසකට ගොස් සොරකම සිදුකළ සැකකරුගේ පුටුව අසල නිදාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල වැඩිදුර විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ සොරකම සිදුවූ නිවසේ පුද්ගලයන් පාසල වෙත ගොස් සිටි අවස්ථාවේ මුදල් සොරකම්කර ඇති බවයි.

සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇතිමලේ පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

එම අවස්ථාවේ දර්ශන පහතින් :

***************************************

වසර 100 කට පෙර ශ්‍රී දළඳා මාලිගාවේ තිබූ ඉපැරණි බුද්ධ ප්‍රතිමාව යළිත් මාලිගාවටම වැඩමවූ හැටි මෙන්න

(17.01.2020 – 11:01 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ ඔහුගේ දියණිය විසින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වෙත වැඩමවූ බුදුපිළිම වහන්සේ නමක් පිළිබඳව ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ වසර 100 කට පෙර මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ තිබූ බුදුපිළිම වහන්සේ නමක් වීමයි.

මෙම පිළිමවහන්සේ එකළ බ්‍රිතාන්‍ය ජාතිකයකුට තෑගි වශයෙන් පිරිනමා ඇති අතර ඔහුගේ මුණුපුරා සහ මුණුපුරාගේ දියණිය මෙලෙස නැවත එම පිළිමවහන්සේ දළඳා මාලිගාවට වැඩමවා තිබෙනවා.

මෙම පිළිමවහන්සේ තෑගී ලැබූ බ්‍රිතාන්‍ය ජාතිකයා වන්නේ චාල්ස් පූර්විස් බෙල් නම් මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයායි.

ඔහු ගවේෂකයකු හා පුරාවිද්‍යාඥයකුද වනවා.

බෙල් මහතාගේ මුණුපුරා වන කෙනත් බෙල් හා ඔහුගේ දියණිය වන ෆියෝනා ඩේවිස් එංගලන්තයේ හැම්ප්ෂයර් හි ඕවර්ටන් ප්‍රදේශයේ සිටයි ශ්‍රී ලංකාවට එම බුද්ධ ප්‍රතිමාව යළි වැඩමවා ඇත්තේ.

***************************************

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් 5 ක් නිදහස් – නිශ්ශංක යාපා සේනාධිපතිට ඇප

(17.01.2020 – 15:55 +0530 – sinhala.adaderana.lk)

ගාලු වරාය ආසන්න මුහුදේ නෞකාවක් තුළ නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව ගිනි අවි 813 ක් සහ උණ්ඩ 200935 ක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 7573 ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබූ රක්නා ලංකා ආරක්ෂක සමාගම, ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගම, විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික යුධ හමුදා මේජර් ජනරාල් බී.එගොඩවෙල සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක් වන දමයන්ති ජයරත්න යන අය මෙසේ නිදහස් කිරීමට නියෝග කෙරුණි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි නඩුවේ හත්වන විත්තිකරු වන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇප මත මුදා හැරීමට ද නියම කළේය.

ඒ අනුව විත්තිකාර සේනාධිපති මහතා රුපියල් ලක්ෂ 5 ක් බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අධිකරණයේ අවසරයකින් තොරව ඔහුට විදේශගත වීම ද තහනම් කළේය.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටද ඇප නියෝගයේ සඳහන් වුණි.

මෙම නඩුව ඉකුත්දා විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතාවක් මතු කළ විත්තියේ නීතිඥවරු මෙම නඩුවේ පළමුවන හා දෙවන විත්තිකරුවන් ලෙස නීතිය ඉදිරියේ ස්ථාපනය කරන ලද සමාගම් දෙකක් නම් කර ඇති බවත් එලෙස සමාගම් දෙකකට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කර පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවටත් තර්ක කර තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම චෝදනා පත්‍රය දෝෂ සහිත සහ නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම මූලික විරෝධතාව පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල සඳහන් කර සිටියේ මෙම නඩුවට පාදක වන තුවක්කු ආඥා පනත හා පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ චෝදනා එල්ල කළ හැක්කේ ස්වාභාවික පුද්ගලයින්ට පමණක් බවයි.

සමාගම් වැනි නෛතික පුද්ගලයින්ට එවැනි චෝදනා එල්ල කිරීමට හැකියාවක් නොමැති බව විනිසුරුවරු සඳහන් කර සිටියේය.

ඒ අනුව මෙම නඩුවෙන් විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා 7573 ක් අතුරින් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19 ක් පමණක් බව පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල සෙසු චෝදනා සියල්ල දෝෂ සහගත සහ නීතිවිරෝධී ආකාරයෙන් ඉදිරිපත් කර තිබෙන බවයි පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගම, ඇවන්ගාඩ් සමාගම විශ්‍රාමික යුධ හමුදා මේජර් ජනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු, බී.එගොඩවෙල සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වන දමයන්ති ජයරත්න යන අය චෝදනා වලින් නිදහස් කිරීමට ද නියම කළේය.

ඒ අනුව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව ඉතිරිවී තිබෙන චෝදනා 19 පිළිබඳ විභාගය පෙබරවාරි මස 10 වනදා පවත්වන බවයි විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

මෙහිදී ‍ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා රජයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද? යන්න පිළිබඳව පැමිණිල්ල විසින් සලකා බැලීමට හැකියාව තිබෙන බවයි.

කෙසේ වෙතත් මෙම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටින නිශ්ශංක යාපා සේනාධිපති මහතා මාස තුනකට අධික කාලයක් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හෙයින් ඔහු ඇප මත මුදා හරින මෙන් ඔහුගේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ වර්තමානයේ මෙම නඩුවේ තත්ත්වය අනුව එල්ලවී තිබෙන චෝදනා ඇප දිය හැකි වැරදි බැවින් විත්තියේ ඉල්ලීමට විරුද්ධ නොවන බව සඳහන් කළේය.

මෙම විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් ඔහුගේ ඇප සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ වූයේත් අන් සියල්ලටම වඩා නීතිය ඉහලින් සිටිය යුතුය යන සංකල්පයේ සිට බවද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව විත්තිකාර සේනාධිපති මහතා ඇප මත මුදා හැරීමට ද නියම කෙරුණි ෴

***************************************

ගෝඨාභය ජනපති වුණොත් හමුදා පාලනයක් ඇතිවන බවට උතුරේ ජනතාව බිය වුණා – අමාත්‍ය විමල් වීරවංශ

(17.01.2020 – 15:13 +0530 – sinhala.adaderana.lk)

ඇතමුන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් පසුදාම හමුදා පාලනයක් ඇතිවන බවට උතුරේ ජනතාව බිය වැදුවත් අද එම ප්‍රකාශ අසත්‍ය වී උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට හා විරැකියාවට විසඳුම් දෙන රජයක් බිහි වී ඇතැයි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (17) ඔඩ්ඩුසුඩාන්හි පිහිටි ලංකා පිඟන් සංස්ථාවේ වසා දමා ඇති උළු හා ගඩොල් කර්මාන්ත ශාලා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වීරවංශ මහතා,

“1990 සිට වසා දමන ලද, ඔඩ්ඩුසුඩාන් ජනතාවට බොහෝ සේවා සැපයූ මෙම ආයතනය මාස දෙක තුනක් ඇතුළත යළි විවෘත කළ හැකි තත්ත්වයට පත් කිරීමට අපි කටයුතු කරනවා. එමගින් ප්‍රදේශයේ ජනතාවගේ දරුවන්ට රැකීරක්ෂා ලබාදීමටත් සෙසු ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන නව සභාපතිවරයෙකු ද පත් කොට තිබෙනවා.

ප්‍රදේශයේ ජනතාවට අපි කියනවා අපට උදව් කරන්න මේකෙන් ඔබලාගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. ඔබට අවශ්‍ය කරන ප්‍රගතිය මේ ප්‍රදේශයට ලබා දෙනවා කියා.

මෙම කර්මාන්ත ශාලාවට යල්පැනගිය යන්ත්‍ර වෙනුවට අලුත් යන්ත්‍රසූත්‍ර ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය කැපවී සිටින්නේ දේශීය කර්මාන්ත සහ ව්‍යවසායන් දියුණු කිරීමටත් එමගින් විශේෂයෙන් උතුරු නැගෙනහිර විරැකියාවට විසඳුම් ලබාදීමට අපට පුළුවන්.

අපි රජයක් ලෙස එය ඉටු කරනවා. ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් පසුවදාම හමුදා පාලනයක් ඇති කරාවි කියා උතුරු නැගෙනහිර ඔබලා බිය කළ බව අපි දන්නවා.

නමුත් ඒ කතා සියල්ල අසත්‍ය බව දැන් ඔබට තහවුරු වී තිබෙනවා. ඒ වෙනුවෙන් අද සිදුවන්නේ ඔබලාගේ ජීවන තත්ත්වය ඉහළ දමන විරැකියාවට විසඳුම් දෙන රජයක් බිහිවී තිබීමයි.

රජය සහ ඔබ අතර විරසකයක් හදන්න ඇතැමුන් උත්සාහ කරනවා ඊට රැවටෙන්න එපා.”

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ රංජිත්, ලංකා පිඟන් සංස්ථාව සභාපති කේ.ජේ.ආර් සෙනරත් යන මහත්වරුන්ද එක්ව සිටියහ.

මීට තිස් වසරකට පෙර සිය රැකියා අහිමි වූ පිරිස් ද, ප්‍රදේශවාසීන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ඔවුන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ඇමතිවරයා එම අවස්ථාවේම පිළිතුරු දී ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීමට ද එකඟ විය.

***************************************

ලොරි රථයට ඉඩ දුන් ත්‍රිරෝද රථයක් නිවසක් මතට පෙරළෙයි

(17.01.2020 – 14:56 +0530 – sinhala.adaderana.lk)

නාවලපිටිය නගරයේ සිට නාවලපිටිය ඩෙලි පාර දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර ඇත.

නාවලපිටිය නගරයේ සිට ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රිරෝද රථයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු නාවලපිටිය නගරය දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයකට ඉඩ දිමට යාමේදි ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන නිවස මතට පෙරළි ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අනතුරෙන් නිවසට සහ ත්‍රිරෝද රථයට අලාභ හානි සිදු වි ඇති අතර මේ සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවසයි.

නාවලපිටියි ඩෙලි මාර්ගය පටු බැවින් වාහන දෙකක් මාරු විමටඉඩ නොමැති විමෙන් මෙවැනි අනතුරු සිදු වන බව ප්‍රදේශවාසින් චෝදනා කරයි.

+++++++++++++++++++++

***************************************

බදු සහන නොදෙන ආයතනවලට එරෙහිව නීතිමය පියවර

(17.01.2020 – 12:57 +0530 – sinhala.adaderana.lk)

රජය ලබාදුන් බදු සහන මහජනතාවට ලබා නොදෙන ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු පරිශ්‍රෙය් අද (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කොමසාරිස් ජනරාල් අශෝක නඳුන් ගුරුගේ මහතා මේ බව සඳහන් කළේය.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පවසා සිටියේ රජය ලබාදුන් බදු සහන මේ වන විට ජනතාවට ලැබී නොමැති බව පැමිණිලි ලැබී ඇති බවයි.

මෙම බදු සහනය ලැබී නොමැති ජනතාවගේ පැමිණිලි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දුන් බව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඒ අනුව එක් එක් අංශය පිළිබඳව සම්පුර්ණයෙන් සමික්ෂණයක් සිදු කරනු ලැබූ බවත් ඒ සමික්ෂණය අනුව සමහර අංශ මෙම බදු සහනය ලබා නොදෙන බවට වාර්තා වූ බවත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අශෝක නඳුන් ගුරුගේ මහතා මේ බව වැඩිදුරටත් පැවසීය.

එහිදී මාධ්‍යවෙදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවැසීය.

ප්‍රශ්නය : ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවාද ?

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් : මේ මොහොතේ අපිට නීතිමය පියවර ගන්න බැහැ.ගෙවීම් මේ මස 20 වනදා සිදුකිරීමට නියමිතව තිබෙනවා. එවිට අපට දැනගන්නට හැකියි ඔවුන් පාරිභෝගිකයාට මේ බදු සහන දුන්නාද කියලා. ගෙවීම් සිදුකරන 20 වනදායින් පසුව. ඉදිරි දින කිහිපය තුළදී අපි ඔවුන් සමඟ සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නවා

ප්‍රශ්නය : කවදාද ඔබ ඔවුන් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ?

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් : 27 වනදායින් පසුව අපි ඔවුන් ඒ සාකච්ඡාව සංවිධාන කරන්න බලාපොරොත්තු වනවා.

***************************************

ශ්‍රි ලංකා නිවුන් සංගමය ගිනස් වාර්තාවකට සැරසෙයි

(17.01.2020 – 12:15 +0530 – sinhala.adaderana.lk)

ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට ‘ශ්‍රි ලංකා නිවුන් සංගමය’ සැලසුම් කර තිබේ.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදී ලබන සඳුදා (20) එම හමුව පැවැත්වීමට නියමිතයි.

ඊට සහභාගීවීමට කැමැත්තෙන් පසු වන ඕනෑම වයසක නිවුන් පුද්ගලයන් ප්‍රාදේශිය ලේකම් විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැඳුනුම්පතේ පිටපතක් රැගෙන එදින පෙරවරු 10:00 ට පෙර පැමිණිය යුතුයි.

අවුරදු 18 ට අඩු නිවුන් තැනැත්තන් සහතික කළ උප්පැන්නයට අමතරව තම මව හෝ පියාගේ ජාතික හැදුනුම්පතේ පිටපතක් රැගෙන පැමිණිය යුතු යුතු බව ශ්‍රි ලංකා නිවුන් සංගමය පවසයි ෴

+++++++++++++++++++++

10-01-2020

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *