ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න සූරීන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්න ජීවිත රඟමඩල හැර යයි

(12.01.2020 – 06:21 +0530 – hirunews.lk/sinhala)

මෙරට වේදිකාවේ, සිනමාවේ සහ පුංචි තිරයේ, ප්‍රවීණ – සම්මානනීය රංගධරයෙකු වූ ජයලත් මනෝරත්නයන් වයස අවුරුදු 71 ක්ව සිටියදී අද (12) අලුයම අභාවප්‍රාප්ත වුණා.

බොරලැස්ගමුවේ පිහිටි සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වූ අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.

දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙන් සිය පාසල් දිවිය ඇරඹූ ජයලත් මනෝරත්නයන් ශිෂ්‍යත්ව විභාගය සමත්වී පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා.

පාසලේ නාට්‍ය ගුරුවරයා වූ සුනිල් ශ්‍රියානන්දගේ ‘අස්ප ගුඩුං’ පාසල් වේදිකා නාට්‍යයෙන් රංගන දිවිය ආරම්භ කළා.

ඔහුට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍රයන් හමුවන අතර, සරසවියේ දෙවන වසරේදී සරත්චන්ද්‍රයන්ගේ ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට තෝරාගනු ලැබුවා.

එතැන් සිට ජයලත් මනෝරත්නයන් වෙස්සන්තර, මහාසාර, කදා වළළු, එලොව ගිහින් මෙලොව ආවා වැනි නාට්‍යයවලට රංගනයෙන් දායකත්වය සපයනු ලැබුවා.

1979 වසරේදී විවාහ දිවියට එළඹුණු ජයලත් මනෝරත්නයන් දියණියකගේ සහ පුතෙකුගේ පියෙකු වනවා.

ජයලත් මනෝරත්න වේදිකාවේ සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍යය රැසකටද සිය රංගන දායකත්වය ලබාදුන් ප්‍රවීන රංගන වේදියෙක්.

+++++++++++++++++++++

24-06-2018

+++++++++++++++++++++

+++++++++++++++++++++

Wikipedia : Jayalath Manoratne

+++++++++++++++++++++

+++++++++++++++++++++

ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු ලබන බදාදා (15)

(12.01.2020 – 11:26 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 15 වන දා බදාදා පස්වරු 5 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

අද (12) අලුයම සිය නිවසේදී අභාවප්‍රාප්ත වනවිට ඔහු 71 වන වියේ පසුවුණා.

හෙළ සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගවේදියෙකු වන රවීන්ද්‍ර රන්දෙණිය මහතා කියා සිටියේ ඔහුගේ අභාවයෙන් මෙරට කලා ක්‍ෂේත්‍රයට මතුවු හිඩැස පිරවිය නොහැකි බවයි.

එමෙන්ම ජයලත් මනෝරත්නයන් නාට්‍යවේදියෙකු, රංගන ශිල්පියෙකු, සාහිත්‍යධරයෙකු මෙන්ම ආචාර්යවරයෙකු ලෙස ශ්‍රී ලාංකේය කලා කෙත වෙනුවෙන් කළ මෙහෙවර ප්‍රශංසනීය බවයි ප්‍රවීන සාහිත්‍යවේදී සහ විචාරක බුද්ධදාස ගලප්පත්ති මහතා සඳහන් කළේ.

ටෙලි තිරයේදී විවිධ චරිත නිරූපණය කරමින්, ඔහු සැමට ගුරුවරයෙකු වූ බව ප්‍රවීන රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍ය මහතා කියා සිටියා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

මනෝ ජීවිත රඟමඩලෙන් සමුගනී

(13.01.2020 – 16:00 +0530 – lankaleadnews.com)

ප‍්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා ඊයේ (12 දා) අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි සිය නිවසේදී අභාවප‍්‍රාප්ත විය.

මියයන විට මනෝරත්න මහතා 71 වැනි වියේ පසුවිය.

තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත‍්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමා පට සහ ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන රැසක් හිමිකර ගෙන තිබේ.

ආචාර්ය ජයලත් මනෝරත්න මහතා උපත ලබන්නේ 1948 වසරේ ජුනි 12 වැනිදා නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ දෙනිපේ ග‍්‍රාමයේදීය. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ දෙනිපේ ප‍්‍රාථමික විද්‍යාලයෙනි. පසුව ඔහු උසස් අධ්‍යාපනය සඳහා පොරමඩුල්ල විද්‍යාලයට ඇතුළත්ව ඇත.

ජයලත් මනෝරත්නයන් මුල් වරට වේදිකාවට පිවිසෙන්නේ සුනිල් ශි‍්‍රයා නන්දයන්ගේ ‘අස්ස ගුඩුං’ වේදිකා නාට්‍යයෙනි. මෙම නාට්‍යය රඟ දැක්වීමට මනෝරත්නයන් 1960 වසරේදී ලුම්බිණි රඟහලට පැමිණෙයි. ඒ ඔහු කොළඹ ආ පළමු අවස්ථාවය. ඔහු ‘අස්ස ගුඩුං’ රංගනයට සම්මානයක්ද ලබාගනී. මේ මනෝරත්නයන් රංගනය වෙනුවෙන් ලබාගත් පළමු සම්මානයයි.

මනෝරත්නයන්ගේ ගමන වෙනස් වෙන්න පටන් ගත්තේ පේරාදෙණිය සරසවියට ඇතුළත් වීමෙන් පසුවය. පේරාදෙණිය සරසවියේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හඳුනාගැනීමෙන් පසුව මනමේ, සිංහබාහු වැනි නාටකවල සුළු චරිත රඟපෑ ජයලත් මනෝරත්නයන්ට ‘පේමතෝ ජායතී සොකො’ නාට්‍යයේ ප‍්‍රධාන චරිතය නිරූපණය කිරීමට අවස්ථාව උදාවෙයි.

1970 දී සරසවියෙන් නික්මෙන්නේ ශාස්ත‍්‍රවේදී උපාධිධාරියෙකු ලෙසිනි. පසුව ඔහු හඟුරන්කෙත තිස්සපෑල පිරිවෙනේ භූගෝල විද්‍යා ගුරුවරයා ලෙසත් අනතුරුව නුවරඑළිය කච්චේරියේ ලිපිකරුවකු ලෙසත් රැකියාව කර ඇත.

තම ජීවිතය ඇත්තේ රාජ්‍ය සේවය තුළ නොවන බව වටහා ගත් මනෝරත්නයන් කොළඹ එන්නේ එබැවිනි. ඒ සරසවියේදී හමුවූ මිතුරෙකු වූ නිශ්ශංක දිද්දෙණිය මහතාගේ ඇරයුමකටය. කොළඹදී ඔහුට හෙන්රි ජයසේනයන් හමුවේ.

හෙන්රි ජයසේනයන්ගේ මකරා නාට්‍යයට මනෝරත්නයන් සම්බන්ධ කර ගැනීමත් සමග යළි ඔහුගේ ජීවිතය වෙනස් වන්නට පටන් ගෙන ඇත. මනෝරත්නයන් පූර්ණකාලීන නාට්‍යකරුවකු බවට පත්වන්නේ එතැන් සිටයි.

1980 වසරේ වේදිකාගත කළ ‘මහඟිරි දඹ’ මනෝරත්න මහතා රචනා කොට නිෂ්පාදනය කළ ප‍්‍රථම නාට්‍යයයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති සහ හෙන්රි ජයසේන යන මෙරට විශිෂ්ටතම නාට්‍යකරුවන්ගේ වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වීමේ විරල අවස්ථාව ජයලත් මනෝරත්නයන් හිමිකර ගැනීම විශේෂත්වයකි.

අන්දරේලා, පුත‍්‍ර සමාගම, සඳගිරි, ගුරු තරුව, වෙස්සන්තර, සොක‍්‍රටීස්, රතු හැට්ටකාරී, නරියා සහ කේජු කෑල්ල, කණේරු මල්, සුදුරෙදි හොරා, බූරුවා මහත්තයා සහ සෙල්ලම් නිරිඳු ආදී වේදිකා නාට්‍ය රැසකට ඔහු රංගනයෙන් දායකත්වය දී ඇත.

ඔහු ටෙලි නාට්‍ය සහ සිනමා රංගධරයෙකු ලෙස කලා ක්ෂේත‍්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප‍්‍රතිභා පූර්ණ කලාකරුවෙකි.

හොඳම වේදිකා නළුවා, ටෙලි නාට්‍ය නළුවා මෙන්ම හොඳම චිත‍්‍රපට නළුවා යන අංශ තුනෙන්ම සම්මානයට පාත‍්‍ර වූ මනෝරත්නයන් ස්වකීය වේදිකා නිර්මාණ රැසකටම රාජ්‍ය සම්මාන දිනා ගැනීමට සමත්වී ඇත.

වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු වූ ජයලත් මනෝරත්න මහතා ස්වතන්ත‍්‍ර නාට්‍ය රචකයෙකු නිෂ්පාදකවරයෙකු සහ ප‍්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස සිය මෙහෙවර ඉටු කරමින් සිට ඊයේ (12 වැනිදා) ජීවිතයට සමුදුන්නේය.

මනෝරත්න මහතා දෙදරු පියෙකි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (15 දා) බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

– දිනේෂ් විතාන

+++++++++++++++++++++

රඟමඬලේ හඬ නිහඬයි

(13.01.2020 – 04:44 +0530 – lankaleadnews.com)

ප්‍රතිභාපූර්ණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන් ඊයේ (12 වැනිදා ) අලුයම අභාවප්‍රාප්ත විය. මියයන විට හැත්තෑ දෙවැනි වියෙහි පසු වූ ඔහු කලක සිට රෝගීව ප්‍රතිකාර ලබමින් සිටියේය. 1948 ජුනි 12 වැනිදා නුවරඑළිය දෙහිපෙ ග්‍රාමයේ උපත ලද ජයලත් මනෝරත්නයන් දෙහිපෙ ප්‍රාථමික විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව පොරමඩුල්ල මහා විද්‍යාලයේ නේවාසික සිසුවෙක් බවට පත් විය.

මනෝරත්නයන් රංගනයට පෙලඹෙන්නේ පොරමඩුල්ල විද්‍යාලයේ ඉගෙනුම ලබද්දීය. පාසල විසින් නිර්මාණය කළ ‘අස්ස ගුඩුං’ ඔහුගේ පළමු වේදිකා නාට්‍යයවේ. 1960 වසරේදී ඔහු ‘අස්සගුඩුං’ රංගනයට සම්මානයක්ද හිමිකර ගන්නේය.

ජයලත් මනෝරත්නයන් උසස් අධ්‍යාපනය සඳහා 1966 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්වේ. එහිදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ‘පේමතෝ ජායතී සෝකෝ ’ නාට්‍යයට තෝරාගනී. 1970 දී ශාස්ත්‍රවේදී උපාධිධාරියකු ලෙස සරසවියෙන් පිටවන ඔහු හඟුරන්කෙත තිස්සපෑල පිරිවෙනේ භූගෝල ගුරුවරයා ලෙසත් අනතුරුව නුවරඑළිය කච්චේරියේ ලිපිකරුවකු ලෙසත් රැකියාව කරයි. රැකියාව අතහැර කොළඹ පැමිණෙන මනෝරත්නයන් 1973 දී හෙන්රි ජයසේනයන්ගේ ‘මකරා’ නාට්‍යයේ පූසාගේ චරිතය රඟමින් පූර්ණකාලීන නළුවකු බවට පත්වේ. 1974 වසරේදී ‘රතු හැට්ටකාරී’ නාට්‍යයේද ඔහු රඟපෑවේය.

මනෝරත්නයන් විසින් ජනප්‍රිය නාට්‍ය කීපයක් ලියා , අධ්‍යක්ෂණය කළේය. පුත්‍ර සමාගම , තල මල පිපිලා , සොක්‍රටීස් , ද්විත්ව, මහගිරදඹ, ගුරු තරුව, අන්දරේලා, ලෝකය තනි යායක්, මකරා, බූරුවා මහත්තයා, සෙල්ලං නිරිඳු, හඬ නිහඬ එම නිර්මාණවේ. තල මල පිපිලා, අන්දරේලා සහ ගුරු තරුව නාට්‍ය සඳහා මනෝරත්නයන් රාජ්‍ය සම්මානද හිමිකර ගත්තේය. ඔහු කවියෙකි. නවකතා සහ කෙටිකතාකරුවෙකි.

මනෝරත්නයන් මුලින්ම ලේඛන කලාවට යොමු වන්නේ 1971 වසරේ ‘දොළොස් මහේ පහන’ නම් වූ කාව්‍ය සංග්‍රහය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා හා බුද්ධදාස ගලප්පත්ති මහතා සමග එක්ව එළිදක්වමිනි. ‘දවස තාම තරුණයි’ නමින් නවකතා පොතක්ද ඔහු ලියා ඇත. 1979 දී ටයිටස් තොටවත්තයන්ගේ ‘හඳයා’ චිත්‍රපටයෙන් ඔහු සිනමාවට පිවිසේය.

ඉන්පසු සිරිබෝ අයියා, හිත හොඳ චණ්ඩියා, මංගල තෑග්ග, ස්ත්‍රී, උමයංගනා, සිසිල ගිනි ගනී, පුංචි සුරංගනාවි, සුදු හෙවණැලි, සූරිය අරණ, ප්‍රේමවන්තයෝ, ගිනි කිරිල්ලී, හිරිපොද වැස්ස, භේරුණ්ඩ පක්ෂියා, සිරි රජ සිරි, වලා පටල, බිංදු, බඹර වළල්ල, හෝ ගානා පොකුණ, ගෝල් යන චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී ඇති මනෝරත්නයන් සුදු හෙවණැලි (2004) හා භේරුණ්ඩ පක්ෂියා (2007) සඳහා හොඳම සහාය නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය.

2014 වසරේ ‘Global Bias cope International film festival’ හිදී ජයලත් මනෝරත්නයන් ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූයේ ‘සූවිසි විවරණ’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය. එය මෙතෙක් තිරගතවී නැත. මින් පෙර ජෝ අබේවික්‍රම මහතාට (පුර හඳ කළුවර) සහ ජගත් චමිල මහතාට (සැමීගේ කතාව) පසුව හොඳම නළුවා ලෙස ජාත්‍යන්තර සම්මානයක් ලැබූ ශිල්පියා වන්නේද මනෝරත්නයන්ය.

සෙක්කු ගෙදර, රන්සිරි⁣ගේ සංග්‍රාමය, මගෙ කවිය මට දෙන්න, මහ පොළොව අපේ නොවෙයි, තුන්පත් රටාවක ලස්සන, සූරිය කුසුම, ඊළඟට මොකද වෙන්නේ, රිදුණු තැන් බොහොමයි මනෝරත්නයන් විසින් අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍ය වේ. ඇසළ සඳ, රෝද තුනේ මනමාලයා මනෝරත්නයන් රඟපෑ ජනප්‍රිය ටෙලිනාට්‍ය දෙකකි.

තම වේදිකා නාට්‍ය සියල්ලේම ගීත රචනා කළ ජයලත් මනෝරත්නයන් ලක්ෂ්මන් විජේසේකරයන් ගයන ‘සඳ කඩාවැටී වෙරළේ’ ගීතයේද පද රචකයාය.

ජනප්‍රිය වේදිකා නිළියක වන මාලිනී රණසිංහ මහත්මියගේ නැගණිය ජයන්ති මහත්මිය, මනෝරත්නයන්ගේ ආදරණීය බිරියයි. භානුක සහ ඉන්දීවරී මනෝරත්නයන්ගේ දරු දෙදෙනාය.

ජයලත් මනෝරත්නයන්ගේ දේහය අංක 18, අබේරත්න මාවත බොරලැස්ගමුව නිවසේ තැන්පත්කර ඇත. අවසන් කටයුතු බදාදා (15 වැනිදා) පස්වරු 5.00 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ ෴

+++++++++++++++++++++

කලා කෙත අස්වැද්දූ විශිෂ්ඨ රංගධරයා – ජයලත් මනෝරත්න දිවි ගමනට සමුදෙයි (Neth FM)

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *