ශානි අබේසේකර සිදුකළ නඩු යළි විමර්ශනය කළ යුතුයි – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශානි අබේසේකර සිදුකළ නඩු යළි විමර්ශනය කළ යුතුයි – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න (විඩියෝ)

• අපරාධකරුවන් ආරක්ෂා නොකරන්න – සිංහල රාවය සංවිධානයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් (විඩියෝ)

• පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට, විදෙස් ගමන් තහනමක් (විඩියෝ)

• කොළඹ උතුර පොලිස් අධිකාරීවරයාගෙන් පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කොමිසමට පරස්පර ප්‍රකාශ (විඩියෝ)

• රාජිතට සුදු වෑන් රියැදුරෝ හොයල දුන්නේ දැරණියගල යූ.එන්.පී. සංවිධායක

• මේ දුරකථන අංකවලින් ඔබටත් ඇමතුම් ලැබුනාද ? එසේ නම් ප්‍රවේශම් වන්න

• පාඨලීගේ සිද්ධිය රථවාහන නඩුවක් පමණක් නොවේ – විමර්ශනවලින් තවත් කරුණු රැසක්

• පාටි දමා තෑගිදී අන්‍යාගමට හරවන්න හැදූ පූජකවරයෙකුට බණ්ඩාරගමදී ප්‍රහාරයක්

• හිටපු අමාත්‍ය පාඨලීට ඇප

• පාඨලීගේ රියදුරු රිමාන්ඩ්

• පාසල් පෙළ පොත් නව පාසල් වාරයට පෙර (විඩියෝ)

• පාඨලී සහ රාජිත ගැන අදත් විවිධ අදහස් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ශානි අබේසේකර සිදුකළ නඩු යළි විමර්ශනය කළ යුතුයි – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න

(23.12.2019 – 19:00 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු නඩු යළි විමර්ශනය කළ යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා.

එහි කැදවුම්කරු නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා කොළඹ අද (23) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

***************************************

අපරාධකරුවන් ආරක්ෂා නොකරන්න – සිංහල රාවය සංවිධානයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක්

(23.12.2019 – 18:57 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ සිටින අපරාධකරුවන් වරප්‍රසාද මුවාවෙන් ආරක්ෂා නොකරන්නැයි සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්, කතානායක කරූ ජයසූරිය ගෙන් ඉල්ලීමක් කරනවා.

උන්වහන්ස් මේ බව කියා සිටියේ නාරාහේන්පිට – අභයාරාමයේ අද (23) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට, විදෙස් ගමන් තහනමක්

(23.12.2019 – 18:40 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි.

සුදු වෑන් මාධ්‍ය හමුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පූර්ණ දායකත්වය යටතේ සිදුව ඇති හෙයින් ඊට අදාළ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා ඔහුට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මේ අතර, සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ සංශෝධිත අපේක්ෂිත ඇප අයදුම්පත ලබන 30 වන දා විමසා බැලීමට අධිකරණය අද (23) දින නියම කළා.

ඒ, අදාළ ඇප අයදුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා, වගඋත්තරකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නොතීසි නිකුත් කරනු ලැබුවා.

එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ අදාළ විමර්ශනය සිදුකරන ස්ථානාධිපතිවරයා නම් කර තිබෙනවා.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය 10 වනදා ගොනුකළ ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරුණා.

ඒ අනුව, ඔහු විසින් දෙවන වරටත් අපේක්ෂිත ඇප අයදුමක් පසුගිය 20 වනදා ඉදිරිපත් කළ අතර ඊට සංශෝධන කිහිපයක් ද අද (23) එක් කරනු ලැබුවා.

දණ්ඩ නීති සංග්‍රහයේ 192 සහ 485 යන ඇප ලබාදිය නොහැකි වරදවල් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගනු ඇති බවට සාධාරණ බියක් ඇති බවට පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, සිය අපේක්ෂිත ඇප අයදුම්පත මගින් කරුණු දක්වා තිබෙනවා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර, අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම්කරු විසින් මාධ්‍ය සාකච්ඡාවකට ඉදිරිපත් කළ පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ ප්‍රකාශ මත තම සේවාදායක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින්නේ යැයි බියක් මතුව ඇති බවයි.

තම සේවාදායකයා හෘද රෝගියෙකු බවත්, ඔහු නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට ලක්විය යුතු පුද්ගලයෙකු බවත් එහිදී ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියා.

ඒ අනුව, මෙම අපේක්ෂිත ඇප අයදුම විමසීම සදහා දිනයක් නියම කර වගඋත්තරකාර පාර්ශව වෙත නොතීසි නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස්, අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ නොතීසි නිකුත් කිරීමට පෙර පෙත්සම්කරු විසින් මීට පෙර ගොනුකළ අපේක්ෂිත ඇප අයදුම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය පිළිබදව අවධානය යොමුකරන ලෙසයි.

අපේක්ෂිත ඇප අයදුමට අදාළ වගන්ති පෙත්සම්කරු විසින් සදහන් කරන බී – වාර්තාවේ නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ, පෙත්සම්කරු විසින් උපකල්පනය කළ කරුණු මත පිළිගත හැකි මූලාශ්‍ර නොමැතිව මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ගොනුකර ඇති බවයි.

අපේක්ෂිත ඇප, පුද්ගල නිදහස ආරක්ෂා කරනු ලබන මෙවලමක් මිස යම් යම් අපරාධකරුවන්ට නීතියෙන් ගැලවීයාමට ඇති මාර්ගයක් හෝ එල්ල වී ඇති චෝදනාවලින් ආරක්ෂාවීමේ පළිහක් නොවන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී කියා සිටියා.

එබැවින් නොතීසි නිකුත් කිරීමකින් තොරව පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේ.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ අපේක්ෂිත ඇප අයදුමක් බී වාර්තාවක් නොමැති අවස්ථාවක දී වුව ද ඉදිරිපත් කළ හැකි බවයි.

එසේම එම අයදුම ඉදිරිපත් කරන්නේ අනුමිතීන් සහ යම් විශ්වාස මත බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එසේ විශ්වාස කිරීමට හේතු පෙත්සම්කරු විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇති බැවින් පෙත්සම්කාර පාර්ශවය ඇප පනතේ 21 වන වගන්තියේ කරුණු සංතෘප්ත කර ඇති බව මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.

ඒ අනුව ලබන 30 වනදා මෙම අපේක්ෂිත ඇප අයදුම විමසීම සදහා දින නියම කළ අධිකරණය එහි වගඋත්තකරුවන්ට නොතීසි නිකුත් කළා.

***************************************

කොළඹ උතුර පොලිස් අධිකාරීවරයාගෙන් පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කොමිසමට පරස්පර ප්‍රකාශ

(23.12.2019 – 19:11 +0530 – sinhala.adaderana.lk)

කොළඹ උතුර පොලිස් කොට්ඨාසයේ අධිකාරී පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පරස්පර ප්‍රකාශ ලබා දී ඇති බව අද (23) අනාවරණ වුණි.

එම නිලධාරියා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් කරමින් යොමු කර තිබු අනතුරු ඇඟවිමේ ලිපි පිළිබඳව නිසි ක්‍රියාමාර්ග නොගත් බවට කොමිසම හමුවේ මීට පෙර සාක්ෂි ලබා දුන් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුම චෝදනා කර තිබුණි.

පාස්කු ඉරු දින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට අද (23) කැඳවා තිබුණේ එවකට කොළඹ උතුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතායි.

අද (23) දිනයේදි කොමිසම ප්‍රශ්න කර සිටියේ 2019.04.20 වැනිදා සවස නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින් කතෝලික දේවස්ථාන වෙත ආරක්ෂාව වැඩි කරන ලෙස දුන් නියෝගය අනෙක් පොලිස් ස්ථානාධිපතිවරු වෙත දැනුම් නොදුන්නේ ඇයිද යන්නයි.

අකුණු සහිත කාලගුණ තත්ත්වය නිසා දුරකථන ඇමතුම් ලබා ගැනිමට නොහැකි වු බව පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර කියා සිටියද එම කාලසිමාව තුළ ඔහුගේ දුරකථනයෙන් ඇමතුම් ලබා ගැනිම් හා ලැබීම් සිදු වි ඇති බව දුරකථන වාර්තා ඉදිරිපත් කරමින් කොමිසම පෙන්වා දුන්නේය.

මීට පෙර සාක්ෂි සටහන් කරගත් අවස්ථාවේදි තමා අප්‍රේල් 21 වැනිදා නිවසේ සිටියදි වෙරළබඩ පොලිස් ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් අමතා ප්‍රහාරයක් සිදුවි ඇතැයි පැවසු බවට පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර ප්‍රකාශ කර තිබුණත් ඔහු අද පවසා තිබුණේ කුලියාපිටියේ නිවස බලා යමින් සිටියදි මීරිගම ප්‍රදේශයේදි එම ඇමතුම ලැබුණු බවයි.

ඒ අනුව මෙම ප්‍රකාශ දෙකින් නිවැරදි කුමක්ද යන්න කොමිසම මෙහිදි විමසා සිටියේය.

තමා කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට ලබා දුන් සාක්ෂිය වැරදි බවත් අද (23) දිනයේදි ලබා දුන් සාක්ෂිය නිවැරදි බවත් පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර එවිට පැවසුවේය.

ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවිමේ ලිපි කට්ටලයක් තමාගේ පුද්ගලික සහයක පොලිස් පරික්ෂක උපේන්ද්‍ර විසින් ලබා දුන්නේද යන්න කොමිසම විමසුවිට ඔහු කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් ලේඛනය තමා දුටුවේ අප්‍රේල් මස 22 වැනිදා බවයි.

එසේම තමන් කොටහේන පොලිස් ස්ථානාධිපතිට ලොග් සටහන් පොත වෙනස් කිරීමට කිසිදු අවස්ථාවක නොකියූ බවද කියා සිටියේය.

කොමිසම මෙහිදි පිපිරිම සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කොළඹ උතුර කොට්ඨාසයෙන් යැවුණු ලිපියක් සම්බන්ධයෙන් විමසූ අතර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර එම ලිපිය පිළිබඳව අවස්ථා ගණනාවකදි පරස්පර අදහස් පළ කර තිබුණි.

ඔහු එහිදි කියා සිටියේ ලිපියේ ඇත්තේ තමාගේ අත්සන නොවන අතර තමා දින යොදන ආකාරයට මෙහි දිනය යොදා නොමැති බවයි.

ඒ අනුව කඩදාසියකට ඔහුගේ අත්සන සහ දිනය යොදන ආකාරය සටහන් කරගත් කොමිසමේ සභාපති විනිසුරුවරයා එම අත්අකුරු රජයේ අත්අකුරු පරික්ෂකවරයාට යොමු කර වාර්තාවක් ලබාගන්නා ලෙස කොමිසමේ ලේකම්වරයාට නියෝග කළේය.

කෙසේ වෙතත් කොමිසම විසින් පැය 2 කට ආසන්න කාලයක් මෙම ලිපිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර විසින් තමා අදාළ ලේඛනයට අත්සන් තැබු බවට පිළිගනු ලැබුවේය.

මෙහිදි කොමිසමේ සභාපති විනිසුරුවරයා අවවාද කරමින් කියා සිටියේ දිවුරුමක් ලබා දි ප්‍රකාශ ලබාදිමේදිත් අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේ නම් අධිකරණයට අපහාස කිරිමේ වරද යටතේ දඩුවම් පැනවිය හැකි බවයි.

මේ අතර ඉකුත් සෙනසුරාදා කොමිසම ලබා දුන් අවසරය මත අද (23) දිනයේදි පොලිස් පරික්ෂක උපේන්ද්‍ර නීතිඥයෙකු සමඟ කොමිසමට පැමිණ පොලිස් අධිකාරි සංජීයව බණ්ඩාරගේ සාක්ෂි ලබා දිම සවන් දි සිටියේය.

ඒ අනුව අද (23) පස්වරුවේ පොලිස් පරික්ෂක උපේන්ද්‍රගේ නිතිඥයා විසින් පොලිස් අධිකාරි සංජීව බණ්ඩාරගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවේය.

***************************************

රාජිතට සුදු වෑන් රියැදුරෝ හොයල දුන්නේ දැරණියගල යූ.එන්.පී. සංවිධායක

(24.12.2019 – 07:00 +0530 – lankaleadnews.com)

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මඩ ගැසීමේ අරමුණින් රාජිත සේනාරත්න විසින් රඟ දැක්වූ සුදු වෑන් නාටකයේ රියැදුරන් ලෙස වෙස් වලාගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී සත්‍ය තොරතුරු මේ වන විට එළි වෙමින් පවතින නිසා මෙම ක්‍රියාවට සම්බන්ධ රාජිත සේනාරත්න මහතා ඇතුළු සියලුම පිරිස් කඩිනමින් අත්අඩංගුවට ගත යුතු බව හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී අජිත් ශාමින්ද මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ දැරණියගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ කීය :

“පසුගිය ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂට තිබූ ජනමතය වෙනස් කරන්න රාජිත සේනාරත්න විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පුද්ගලයන් දෙදෙනකු වෙස් වලාගෙන පැමිණ විවිධ ප්‍රකාශ නිකුත් කළා. දැන් වන විට ඔප්පු වෙමින් පවතිනවා එම මාධ්‍ය සාකච්ඡාව ව්‍යාජ ලෙස ගොතපු මාධ්‍ය සාකච්ඡාවක් කියලා. මේ සඳහා මේ පුද්ගලයන් දෙදෙනා රාජිත ඇමැතිතුමාට සම්බන්ධ කරලා තියෙන්නේ දැරණියගල එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා හා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියන එක. ඒ අයගේ කට උත්තරයේ සඳහන් වෙලා තියන එක මුද්‍රිත මාධ්‍යවල සඳහන් වී තිබුණා.

මෙම සංවිධායකවරයාට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විසින් රෝහල්වල සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ටෙන්ඩරය ලබා දී එයට ප්‍රතිඋපකාරයක් වශයෙන් රාජිත සේනාරත්න මහතාට මෙම සුදු වෑන් රියැදුරන් යැයි කියා ගත් පුද්ගලයන් දෙදෙනා සොයා දී තියෙනවා.

පසුගිය කාලය පුරා දැරණියගල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය තැන් තැන්වල දමා යෑම පිළිබඳව මාධ්‍ය මගින් දැක ගැනීමට හැකි වුණා. දැරණියගල ප්‍රදේශයේ එසේ දමා යෑමට තැත් කිරීමේදී ප්‍රදේශයේ ජනතාව හා ජනතා නියෝජිතයන් විසින් අල්ලා පොලිසියට භාර දුන්නා. පසුව එම කසළ රැගෙන එන ලද ටිපර් රථයේ රියැදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී දැන ගන්නට ලැබුණා. මෙම අපද්‍රව්‍ය දැරණියගල එ.ජා.ප සංවිධායක විසින් රෝහල් වලින් ලබා ගත් කසළ තොගයක් බවට. මේවා පිළිබඳව විධිමත් ලෙස පරික්ෂණයක් සිදු නොවී ඇති බැවින් නැවතත් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටිනවා.”

***************************************

මේ දුරකථන අංකවලින් ඔබටත් ඇමතුම් ලැබුනාද ? එසේ නම් ප්‍රවේශම් වන්න

(20.12.2019 – nethnews.lk)

ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් කිහිපයකම දුරකථන ග්‍රාහකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව Economic Times වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

අප්‍රිකාව සහ මොරොක්කෝ රාජ්‍යයේ දුරකථන අංක වලින ලැබෙන මෙම දුරකථන අංක වෙත ආපසු ඇමතුම් ගැනීමෙන් එම ඇමතුම් ලබා ගන්නා පුද්ගලයින් ගේ දුරකථන බිල්පත් අසාමාන්‍ය ලෙස ඉහළ යන බවටයි වාර්තා වන්නේ.

+2356462532, +212621-001782 සහ +212621001782 යන දුරකථන අංක ඔස්සේ මෙම ජාවාරම සිදුවන අතර එම වංචනික ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් විසින් දුරකථන “මග හැරෙන ඇමතුම්” (Missed call) ලබාදීම සිදුකරයි.

එලෙස ලබා දෙන මගහැරෙන දුරකථන ඇමතුම් වලට ග්‍රාහකයින් ආපසු ඇමතීමේදී එම ඇමතුම් “Premium callback” සේවාව යටතේ ලැයිස්තුගත කර තිබෙන අතර ඒ හේතුවෙන් ලබාගන්නා දුරකථන ඇමතුම් ඔස්සේ මුදල් ලබා ගැනීමක් අදාළ කණ්ඩායම සිදුකරනු ලබන බවයි හෙළිවී ඇත්තේ.

මෙම ගාස්තු “වාරික සේවා, ජාත්‍යන්තර ඇමතුම් හෝ ගාස්තු ඇමතුම්” යනුවෙන් දුරකථන බිල්පත්හි පෙන්නුම් කරන බවයි අමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව දුරකථන ග්‍රාහකයින්ට අනතුරු අඟවා සිටින්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් අප සිදුකළ විමසීමකදී එහි නිලධාරිනියක් ප්‍රකාශ කරේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවන බවත් මේ දක්වා ලිඛිත පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. යම් හෙයකින් එවැනි වංචාවකට ගොදුරුවූ දුරකථන ග්‍රාහකයින් ලිඛිත පැමිණිල්ලක් සිදුකල හොත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කලේ ෴

***************************************

පාඨලීගේ සිද්ධිය රථවාහන නඩුවක් පමණක් නොවේ – විමර්ශනවලින් තවත් කරුණු රැසක්

(23.12.2019 – nethnews.lk)

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවකට රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඒ, රාජගිරියේ සිදුවූ ආන්දෝලනාත්මක රියඅනතුරට සම්බන්ධව මේ වනවිට සිදුකෙරෙන වැඩිදුර විමර්ශනවලදීයි.

රිය අනතුරෙන් පසුව පාඨලී චම්පික රණවක මන්තී‍්‍රවරයා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි පත්ව ඇත්තේ. මෙම අනතුරට පත්ව ඇත්තේ ඔහු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ භාවිත කළ ජීප්රථයක්. එය හිටපු අමාත්‍යවරයා විසින් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට රැගෙනවිත් තිබෙනවා.

ඒ, කිසිඳු නිල දැනුම්දීමකින් තොරවයි. ජනාධිපති ලේකම්වරයාගේ නියමය පරිදි අමාත්‍යවරයෙකුට භාවිත කළ හැක්කේ නිල වාහන 03 ක් පමණයි. එහෙත්, අනතුරට පත්වූ ජීප් රථය සමග හිටපු අමාත්‍යවරයා වාහන 04 ක් භාවිත කර ඇති බවටයි දැන් අනාවරණ වී ඇත්තේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය විසින් අදාළ වාහනය සිය අමාත්‍යංශයට භාරදෙන ලෙස ඉල්ලීමක් කර ඇතත්, පාඨලී චම්පික රණවක මන්තී‍්‍රවරයා එය ලබාදී නැහැ.

පසුව අදාළ රිය අනතුර සම්බන්ධයෙන් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් එම ජීප් රථයට රුපියල් 9,17,224 ක රක්ෂණ මුදලක් ද ලබාගෙන ඇති බවයි වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.

මෙම රියඅනතුර සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ද විශේෂ විමර්ශනයක් සිදු කරනවා. ඒ, අනතුරෙන් තුවාල ලැබූ තරුණයාගේ පියා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුවයි. සත්‍ය කරුණු විකෘති කර අසත්‍ය නඩුවක් ගොනුකිරීම ඇතුළු කරුණු කිහිපයකට අදාළවයි එම පරීක්ෂණය සිදුවන්නේ.

එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙය හුදෙක් රථවාහන නඩුවක් පමණක් නොවන බවයි. අනතුර සිදුවූ ස්ථානය සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවකගේ දුරකතන සංඥා ද ගැලපී ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

සංඥා කුළුණුවලින් ලබාගත් දත්තවලදී මන්ති‍්‍රවරයාගේ දුරකතනය රාජගිරිය ප‍්‍රදේශයේ තිබෙන බවටත්, අනතුර සිදුවන අවස්ථාවේ වාහනයේ සිටි බව කියන රියදුරාගේ දුරකතනය කොස්වත්ත ප‍්‍රදේශයේ තිබූ බවටත් අනාවරණ වී ඇතැයි සඳහන්.

මේ අතර අනතුරට පත් තරුණයා පැදවූ යතුරු පැදිය, මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යතුරු පැදියක් බව ද හෙළිවී තිබෙනවා ෴

***************************************

පාටි දමා තෑගිදී අන්‍යාගමට හරවන්න හැදූ පූජකවරයෙකුට බණ්ඩාරගමදී ප්‍රහාරයක්

(24.12.2019 – gossiplankanews.com)

ප්‍රසංගයක් පවත්වා තෑගි භෝග ලබා දෙමින් බෞද්ධ පිරිස් වෙනත් ආගමකට බඳවා ගැනීමට උත්සාහ දැරූ බවට පැවසෙන පූජකයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු ඇතුළු පිරිසක් වෙත ප්‍රකෝපකාරී වූ බණ්ඩාරගම වල්ගම ප්‍රදේශවාසීන් ගල්මුල් එල්ල කර පහරදීමට කළ උත්සාහයක් පෙරේදා 22 දා මහා සංඝරත්නය වැඩම කර ව්‍යර්ථ කර තිබේ.එම සිද්ධිය බණ්ඩාරගම පොලීසියට දැනුම්දීමත් සමග පොලිස් නිලධාරින් පැමිණ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

කළුපාටට හුරු ඇඳුම් හැඳගත් පිරිසක් හා පූජකවරයක් බව කියා ගත්තා පුද්ගලයකු විසින් වල්ගම නිවාස සංකීර්ණයේ විඳුලි බල්බවලින් අලංකාර කළ හිස් ඉඩමක අධික ශබ්දයෙන් යුත් ශබ්දවාහිනී සවිකර සමූහ ගීත ගායනා කරමිත් තෑගි බෝග ලබා දෙන බවට ප්‍රදේශවාසීන්ට ලද තොරතුරක් අනුව ඔවුන් එම ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂාවේදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව සූර්යවැව අමිත හිමියෝ පැවසූහ.

මෙම සිද්ධියෙන් ප්‍රදේශවාසීන් ප්‍රකෝපකාරී වී ඇති බව යහලතැන්නේ පඤ්ඤාලංකාර හිමියන්ට සැලවීමත් සමග අනෙකුත් විහාරස්ථානවල හිමිවරුන් ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබූ අතර, සියලුම හිමිවරුන් වහා එම ස්ථානයට වැඩම කර ප්‍රදේශවාසීන් සන්සුන් කර සිදුකළ සොයා බැලීමේදී බෞද්ධ පිරිස් වෙනත් ආගමකට හරවා ගැනීමට පැමිණි කණ්ඩායමක් බවට අනාවරණය වූ බව සූර්යවැව අමිත හිමියෝ පැවසූහ.

වහා ක්‍රියාත්මක වූ මහා සංඝයා වහන්සේලා මෙන්ම ප්‍රදේශවාසීන් එම ස්ථානයේ තිබූ වාහනවල නැගී එම ස්ථානයෙන් පිටවීමට උත්සාහ දැරූ පූජකවරයා බව කියා ගන්නා පුද්ගලයා හා සෙසු පිරිසට යාමට ඉඩ නොදී රඳවා ගෙන ඇති අතර, පූජකයා බව කියා ගත්නා පුද්ගලයා මීට තෙමසකට පමණ ඉහතදී බණ්ඩාරගම මැදගම ප‍්‍රදේශයේ නිවසකට පැමිණ යාඥාකර රෝග සුවකර දෙන බවත්, ආර්ථිකය නගා සිටුවන බව පවසා බෞද්ධ පිරිස් නැඹුරු කරගැනිමට උත්සාහ දැරූ පුද්ගලයාම බව සංඝයා වහන්සේලා විසින් හඳුනාගෙන තිබේ. ඔහු එදින පොලීසියේ අවවාද මත මුදා හැර ඇති අතර, බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති කේ.ඩබ්.එල්.වික්‍රමරත්න මහතාගේ අවධානය මේ සම්බන්ධයක් යොමු වී තිබේ.

වහා එම ස්ථානයට පැමිණි පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, සත්කාර පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි මහත්වරු මහා සංඝයා වහන්සේලා සමග මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් සමග සාකච්ඡා කර දෙපාර්ශ්වයම පොලීසිය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, මින් මතුවට මෙවැනි දේවල්වලට යොමු වුවහොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවට මෙම පිරිසට පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය. මෙම අවස්ථාවට මාතර රතනවංශ, වල්ගම චන්ද්‍රරතන, පරවාහැර ඉන්දසුමත යන හිමිවරුන්ඳවැඩම කර සිටියහ ෴

***************************************

හිටපු අමාත්‍ය පාඨලීට ඇප

(24.12.2019 – 10:29 +0530 – sinhala.adaderana.lk)

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හද නියම කළේය.

ඒ අනුව සැකකාර චම්පික රණවක මහතා රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කළ මහෙස්ත්‍රාත් වරිය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9 ත් 12 ත් අතර කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවටද නියම කළේය.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද මහෙස්ත්‍රාත් විසින් කළ අප නියෝගයේ සඳහන් විය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කර තිබුණේ එම සැකකරු අත්අඩංගුවට ගැනීමේදී නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනත යටතේ අත්අඩංගුවට ගතයුතු බවට උපදෙස් ලබාදී නොමැති බවයි.

සැකකරු විසින් සිදුකළ රිය අනතුර තුළින් රජයේ දෙපළක් වන ජීප් රථයකට රුපියල් 9,17,244/- ක අලාභයක් සිදුව ඇති බවට සඳහන් කරමින් පොදු දේපළ පනත යටතේ අධිකරණයට කරුණු වාර්තාකර තිබුණද නීතිපතිවරයාගේ උපදෙස් වලින් තොරව පොලිසිය විසින් මෙම නඩුවට අදාළ බී වාර්තාවට පොදු දේපල පනත ඇතුලත් කර ඇති බවද මහේස්ත්‍රාත්වරිය නියෝග පෙන්වා දුන්නේය.

ඒ අනුව ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් කිසිදු කරුණක් අනාවරණය නොවන හෙයින් සැකකාර චම්පික රණවක මහතා ඇප මත මුදා හරින බව මහේස්ත්‍රාත්වරිය ගේ නියෝගයේ සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

පාඨලීගේ රියදුරු රිමාන්ඩ්

(24.12.2019 – 11:07 +0530 – sinhala.adaderana.lk)

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුර සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුව ගැනීමට නියමිතව සිටි සැකකරුවකු වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද (24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් විය.

ඒ අනුව අදාළ සැකකරු ලබන 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එම සැකකරුගෙන් ලබන 26 වන දා බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඉඩදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

මේ අතර හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග ලබා දී තිබේ.

අප අධිකරණ වාර්කාරු සඳහන් කළේ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් සහ රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් මත පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැර ඇති බවයි ෴

***************************************

පාසල් පෙළ පොත් නව පාසල් වාරයට පෙර

(24.12.2019 – 07:10 +0530 – hirunews.lk/sinhala)

පෙළ පොත් තුන් කෝටි අනූ එක්ලක්ෂයක් එළඹෙන නව පාසල් වාරයට පෙර බෙදා හැරීමට කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

පෙළ පොත් බෙදා හැරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ඊයේ (23) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

***************************************

පාඨලී සහ රාජිත ගැන අදත් විවිධ අදහස්

(23.12.2019 – 20:06 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සහ රාජිත සේනාරත්න මහතා ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අද අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *