සුළු ජන ඡන්ද මිත්‍යාවට අභියෝග කළ ජනවරම – නීතීඥ නුවන් බැල්ලන්තුඩාව

(03.12.2019 – lankaleadnews.com)

ඇතැම් අන් අය සමගි වන්නේ සිංහල බෞද්ධයන්ට පහර ගැසීමටය. සිංහල බෞද්ධයා සමගි වන්නේ අන් අය ගහන පහරවල් වලක්වා ගැනිමටය. එහෙයින් ඇතැම් අයගේ සමගිය හෙල්ලක් බඳුය. සිංහල බෞද්ධයාගේ සමගිය පළිහක් බඳුය. – අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමි (1968-12-22 ලංකාදීප)

2009 මැයි 18 නන්දිකඩාල් විජයග්‍රහණය මෙන්ම 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලයද ලාංකීය ඉතිහාසයේ තීරණාත්මක දිනයකි. නන්දිකඩාල් ජයග්‍රහණය වැදගත් වන්නේ, දෙමළ ඊළාම් රාජ්‍යය පිළිබඳ මිත්‍යාවත් , එහි මිල්ටරි ප්‍රකාශනය වු ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදින් ලෙස සැලකු එල්ටීටීය පරාජය කළ නොහැකි යැයි යන මිත්‍යාව පරාජය කිරිම නිසාවෙනි. එපමණක් නොව සිංහලයා විසින් මහත් අභිමානයෙන් කියා පාන ගැමුණු , පැරකුම් , විජයබා අපරාජිත ශ්‍රේෂ්ඨ ඉතිහාසය හුදෙක් ප්‍රලාපයක් හෝ පම්පෝරියක් නොවන බව නන්දිකඩාල් කළපුවේදි අපි යළිත් සපථ කෙරුවෙමු.

2015 මැතිවරණයේදි රාජිත සේනාරත්න, අනුර කුමාර, මංගල සමරවීරලා විසින් හදපු සමීකරණයට අනුව සුළු වාර්ගික ඡන්ද නොමැතිව සිංහල නායකයකුට ජයග්‍රහණය කළ නොහැකි බවයි. එජාපය තුල යම් පමණක හෝ ජාතිකත්වයක් තිබුණේ නම්, රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය වසර 20 තුල එය මුලිනුපුටා දමනු ලැබීය. රනිල් සම්බන්ධයෙන් එජාපය තුල විරෝධය කුමක් වුවත් හේෂා විතාරණ, නලින් බන්ඩාර වැනි පසු පෙළ කථිකයන් පවා වේදිකාව තුල සිංහල ඡන්දයකින් ආණ්ඩුවක් පිහිට වීමට නොහැකි බවට වමාරන්නේ රනිල් විසින් ගිල්ලවන ලද සංහිදියාවේ තර්කයයි.

සමනල විප්ලවයේ කතෘවරුන් පමණක් නොව , නෙළුම් මාවතේ විසල් මනස් පවා මේ සුළු වාර්ගික ඡන්ද මිත්‍යාවේ ගොදුරු බවට පත්ව සිටියහ. ගොදුරු වෙමින් නොනැවති බැසිල් රාජපක්ෂ සුළු ජාතික ඡන්ද මන්තරය වපුරමින් පොහොට්ටුවේ ඡන්දදායකයාගේ සිට වෘත්තිය සමිති කාන්තා සමිති පළාත් පාලන නියෝජිතයන් ඇතුලු සියලු දෙනාට සුලු ජාතික ඡන්ද මිත්‍යාව එන්නත් කළහ. සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් දීම නව ජනාධිපතිගේ පළමු රාජකාරිය වනු ඇතැයි බැසිල් රාජපක්ෂ විසින් ප්‍රකාශ කිරිම ඔහු මෙම මිත්‍යාවේ කොයි තරම් ගිලි ඇත්දැයි කීමට සාක්ෂියකි. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රමාද වීමට පවා ප්‍රබල හේතුවක් වුයේ සුළු ජාතික ඡන්ද මන්තරය ඔහුට වාසි දායක නොවන බවට ඇති කරන ලද විශ්වාසයයි.

සුළු ජාතික ඡන්ද මිත්‍යාව , රනිල් නොවන රනිල්ලාත්, චන්ද්‍රිකා නොවන චන්ද්‍රිකාලාත් බිහිකලහ. සුළු වාර්ගික ඡන්ද මිත්‍යාව ඊනීයා සංහිදියාව පෝෂණය කිරිමට සරු පසක් නිර්මාණය කරන ලදි. ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් කුඩු පට්ටම් කරන ලද්දේ ඒ සමාජගත මිත්‍යාවයි.

සුළු ජාතික ඡන්ද මිත්‍යාවට අප ගෙවන ලද වන්දිය සුළු පටු නොවේ. විල්පත්තුවේ කල්ලාරු වන ආරක්ෂිතයේ සිට කෝකිලායි කළපුවේ කුරුළු අභය භූමිය දක්වා, මන්නාරමේ සිට මුලතිවු දක්වා සියලු වන භූමි බදුරදීන්ගේ පොරෝ පහරට ලක්වන විට නිහඩ වීමට සිදුවුයේ මේ මිත්‍යව නිසාවෙනි. විල්පත්තුවේ, මඩකලපුවේ සහ මුලතිවු දිස්ත්‍රික්කවල හොර ඔප්පු ලියැවි නීති විරෝධි පදිංචි කිරිම් ඉදිරියේ නිවටයන් වුයේ වෙන කිසිවක් නිසා නොවේ. කෝකිලායි සහ නයාරු වල සිංහලයාගේ ඉඩම් අයිතිය උදුරාගෙන, ධීවර ගම්මාන ගිනිබත් කර උතුරේ සිංහලයා වාර්ගික ශුද්ධකරණට ලක්වෙද්දි පාලකයාත් විපක්ෂයත් නොදැක්කා සේ සිටියේ සුළු ජාතික ඡන්දවලට තිබුණු පෙරේත කම හේතුවෙනි. උතුරේ බුදු පිළිම, පන්සල් තහනම් වී චෛත්‍යය ඇතුලු පුරාවිද්‍යාත්මක උරුමයන් ඩෝසර් වෙද්දි හීන් කෙඳිරියක් ගාන්නවත් දේශපාලකයකුට කශේරුකාවක් නොවුයේ සුළු ජාතික ඡන්ද නැති වේයැයි තිබු බිය නිසාය. කර්මාන්ත අමාත්‍යාංශයේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කර පන්නපු තඹ කුට්ටි ඉබ්‍රාහම් නානාගේ සහරාන් පුත් රුවනට බෝම්බ හදන්න දුන් බදුරදීන්ගේ අමාත්‍යංශයට ඊනීයා පාර්ලිමේන්තු කොමිසමේ රැකවරණය ලැබුණේ බදුරදීන් තරහා කර ගන්න තිබෙන අකමැත්ත නිසාය. අන්තවාදයෙන් ඔළු ගෙඩි සේදීමට ශාරියා විශ්ව විද්‍යාලය තවත් උදාහරණයකි. පාර්ලිමේන්තුවේ සුමන්තිරන්ලාගේ චන්ඩි පාට් ඇතූළුව තව දිග ලැයිස්තුවක් මීට එක් කළ හැකිය.

බලය බෙදීමත්, සුදු අලියෙක් වු පළාත් සභාවත් ෆෙඩරල් මර උගුලත් වෙන කිසිවක් නොව සුළු ජන ඡන්ද මිත්‍යාවේ තවත් ප්‍රකාශනයකි. මංගල සමරවීර දණ ගසා සමදායකත්වය දුන් 30/01 යෝජනාවත් එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වු රණවිරු දඩයමත් සුළු වාර්ගික චන්ද දිනා ගැනිම සඳහා වු අල්ලස් විය.

එජාපයේ බහුතරයකට නොදැනුනද , පාර්ලිමේන්තුවේ සුමන්තිරන්ගේ ඇඟිල්ලට යටවු කිරිඇල්ලගේ අසරණබව , ජාතික පක්ෂයක් වශයෙන් එජාපය පත්ව ඇති නිවට තත්වය තහවුරු කරන ලදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා විවාදයේදි සුමන්තිරන් කියා සිටියේ ‘ඔබට අවශ්‍ය නම් අප බුදු දහමට ප්‍රමුඛත්වය ප්‍රදානය කරන්නම්’ යනුවෙනි. මෙරට ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳව අබමල් රේණුවක අවබෝධයක් හා ගෞරවයක් ඇති අයකු, සුමන්තිරන්ගෙන් බුදු දහමට ප්‍රමුඛතාව ඉල්ලා පින්සෙන්ඩු වන්නේ නැත.

සිංහලායාගේ එකමුතුව අකාශ්මික අහම්බයක් නොවේ. එය හුදෙක් සංඛ්‍යා ලේඛන මගින් පමණක් විග්‍රහා කල හැකි මැතිවරණ ප්‍රතිඵලයක් නොවේ. අනගාරික ධර්මපාල තුමා විසින් දියත් කරන ලද ජාතික ව්‍යාපාරය , මෙරට දේශපාලනය තුල රටේ බහුතරය වු සිංහල බෞද්ධයාට දැනෙන විඤාඤාණයයි. හේන්පිටගම ඤාණසීහ හිමි, මඩිහේ නායක හිමි මෙත්තානන්ද, මලලසේකර වැනි මහතුන් විසින් කුළු ගන්වන ලද ජාත්‍යාලය ඒ තුල ගැබ්ව ඇත. සිංහල නායකයන් හා ඊනියා උගතුන්ට ඉතිහාසය කුණු බක්කියට දැමිය යුතු දෙයක් වුවද, තමන්ට නැති, නිර්මාණය කර ගත් ඉතිහාස කතාවක් ජාත්‍යන්තරයේදි බෙදුම්වාදි ඩයස්පෝරාව විසින් ප්‍රචාරය කර ඇත. ඊනීයා දෙමළ නිජභුමීය පදනම් වී ඇත්තේ එම ගොතන ලද ඉතිහාස කතාව මතය. මහාවංසය සමග සංගතව කියවා ගත හැකි සෙල්ලිපි, පුරාවිද්‍යාත්මකව හඳුනාගත් වෙහෙර විහාර, සංඝාරාම ආදිය තුල මෙරට අස්සක මුල්ලක් නෑර විශේෂයෙන්ම, උතුරු නැගෙනහිර පුරා පැතිරුණු බෞද්ධ උරුමය තහවුරු වී තිබේ.

ආචාර්‍ය නලින් ද සිල්වා විසින් බෙදුම්වාදි ප්‍රලාපයන්ට න්‍යායාත්මකව ජාතිකත්වය තුල පිළිතුරු ලබා දි ඇත. දෙමළ මිනිසුන්ට දෙමළ වීම නිසා පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද යන ඔහුගේ ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නැත. ඉංග්‍රිසින් විසින් බෙදා පාලනය තුල 1831 දි ඇති කල ඊනීයා නියෝජන සමානාත්මතාව, චෙල්වනායගම්ලාගේ 50% ට 50% ඉල්ලීමට පමණක් නොව ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයටද පණ පෙවූ බව තේරුම්ගත යුතුය. ඕනෑම සාකච්ඡාවකදි අන්තවාදයේ පදනම වන වඩුකොඩ්ඩෙයි එකඟතාවන්, ප්‍රායෝගික, තාර්කික හෝ ඓතිහාසික පදනමක් නොමැති බව ජාතික මතවාදය විසින් තහවුරු කර ඇත.

ජනාධිපතිවරණ ප්‍රතිඵලය ඉහත කී ජාතික මතවාදි දෘෂ්ඨියෙන් මිස හුදෙක් සහරාන්ගේ බෝම්බයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාරයක් හෝ රන්ජන්ලාගේ හෝ බදුරදීන්ට ලබාදුන් පිළිතුරක් ලෙස සැලකීම ලැබු ජයග්‍රහණය හරවත්ව රට වෙනුවෙන් අදාල කිරිමට බාධාවකි. එම ජයග්‍රහණය දිර්ඝකාලීනව රටේ විජයග්‍රහණය කරා විකාශය කිරිමට නම් විග්‍රහා විය යුත්තේ ජාතිකත්වයේ නිර්ණායක මතය.

මෙරට සාතිශය බහුතරය වු ශිෂ්ඨාචාරයේ නිර්මාපකයන් සහ ආරක්ෂකයන් වු සිංහලයන් සාමුහිකව පරාජයට පත් කරන ලද්දේ හුදෙක් සුළු වාර්ගික ඡන්ද මිත්‍යාව පමණක් නොවේ. එකී මිත්‍යාව විසින් නිර්මාණය කර පෝෂණය කරන ලද නුතන කලවම් රාජ්‍ය නිර්මාණය කිරිමෙහිලා යොදා ගැනෙන, බලය බෙදන ව්‍යුහයන් සහ ඊනියා ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණද ඒ සමග මුලිනුපුටා දැමිය යුතුවේ. උතුරු නැගෙනහිර නිජ භූමිය පිළිබඳව ඊනියා ඊළාම් රාජ්‍ය සිහිනයට නිල වටිනාකමක් ලබා දුන් පළාත් සභා අහෝසි කිරිමට මෙම ජනවරමින් බල කෙරි ඇත. අවුරුදු 13 ක් උතුරේ හා නැගෙනහිර අක්‍රිය වු පළාත් සභා මේ වන විට අනෙක් පළාත්වද ක්‍රියාත්මක නොවේ. විගණකාධිපතිවරයාට අනුව ඉන් ඉතුරු වු මුදල මිලියන ගණනකි. පලාත් සභාව යටතට පත්වීමෙන් පසුව වසා දමන රෝහල් හා පාසල් කීයක් ඇත්ද?

පළාත් සභා පමණක් නොව, දෙමළ නායකයන් සතුටු කරන වෙනත් කිසිදු බලය බෙදීමේ ව්‍යුහයක් සලකා බැලීමේ අවසරයක් මේ ජනමතය තුල නැත. ප්‍රශ්නයට පිළිතුරක් ලබා දුන් විට එය නැවත නැවත ලෙහා බැලීමෙන් එය හිඟන්නාගේ තුවාලය බවට පත්වීමයි. දෙවන ලෝක යුද්ධයෙන් පරාජයට පත්වුයේ හිට්ලර් පමණක් නොවේ. ඔහුගේ ව්‍යාප්තවාදය පදනම් වු නාසිවාදය ඉන් පරාජයට පත්කෙරිණි. ප්‍රභාකරන් සමග ඊළාම් න්‍යාය ද පරාජයට පත්කෙරූ අතර බෙදුම්වාදය පදනම් වු වෙනත් දේශපාලන මැතිවරණ ක්‍රියාවලියකට තවත් ඉඩ නොතැබිය යුතුය. එපමණක් නොව අන්‍යාකාරයකින් බෙදුම්වාදි මිත්‍යාව දිරි ගන්වන, සංවර්ධන සභා, පළාත් සභා වැනි ආයතන ඇති නොකළ යුතුය.

යහපාලන ආණ්ඩුවේ නිවට සංහිදියාවේ නාමයෙන් දිනපතා ඩෝසර් වු උතුරු නැගෙනහිර ඓතිහාසික ජාතික උරුමය නැවත විනාශ කළ නොහැකි පරිදි ආරක්ෂා කළ යුතුය. බ්‍රිතාන්‍යය යුගයේදි ඔවුන් දන්නා අකාරයට පැනවූ පුරා විද්‍යා පණත අපට නොගැලපෙන එකකි. බෞද්ධ උරුමය අප යකඩ වැටක් ගසා ප්‍රදර්ශනය නොකරමු. බෞද්ධ භික්ෂුවත් බෞද්ධයාත් වන්දනා මාන කරමින් ඒ සමග ජීවත් වෙති. බෞද්ධ භික්ෂුවට එම ස්ථාන වල රැඳෙමින් එම ස්ථාන රැක ගැනිමට ඉඩ සැලසෙන පරිදි නව ජාතික උරුම කළමණාකරණ පණතක් වහා අවශ්‍ය වේ.

මහවැලි එල් කලාපය, කුච්චවේලි, මුහුදු මහා විහාරය, යාපනය තිස්ස විහාරය මතු නොව උතුරු නැගෙනහිර බොහෝ ප්‍රදේශ වල ඉඩම් අයිතිය පැහැරගෙන ඇත්තේ අන්තවාදින්ට කත් අදින ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ ආශිර්වාදයෙන් සකස් කරන ලද හොර ඔප්පුවලිනි. ජාතික ඉඩම් කොමිසමක් පත්විය යුත්තේ අතේ තියෙන ඔප්පුව බලා ඉඩම් බෙදීමට නොව, 1831 සිට පනවන ලද මුඩුබිම් පණත, විහාර හා දේවාලගම් පණත වැනි ජාතික අයිතිය උදුරා ගත් නීති ප්‍රතිපාදන මෙන්ම සන්නස්, තඹ පත් සලකා බැලීමෙන් නිරවුල් කිරිමටයි.

ගෝඨාභය රාජපක්ෂ ඉතා නිවරැදිව ප්‍රකාශ කරන ලද ආකාරයට, ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිය විධායක බලය භාවිතා කිරිමට පැකිලිමක් විය යුතු නැත. ජනවරම ලැබි ඇත්තේ රටට ශක්තිමත් නායකත්වයක් ලබා ගැනිමටයි. විධායකය දියාරු කරමින් බල කේන්ද්‍රයන් දෙකක් නිර්මාණය කරන ලද 19 ව්‍යවස්ථා ප්‍රෝඩාව නිවරැදි කිරිම ගෝඨාභයගේ වගකීමකි. 2002 දි සහ 2018 දි 19 හා 20 වන විසිවන සංශෝධනවලදි, ‘ජනාධිපතිවරයාට හිමි විධායක බලය ජනමතවිචාරණයකින් තොරව සීමා කළ නොහැකිය’ යන්න අභිබවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇසට වැලි ගසා ජනතාවගේ කණින් රිංගවුයේ කෙසේද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම විමසා බැලිම ගෝඨාභයගේ වගකීමකි. කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ‘නංගි පෙන්වා ජනතවට අක්කා දීමේ’ එජාප හා ජවිපේ පාර්ලිමේන්තු මංකොල්ලය හෙළිදරවු කිරිම පමණක් නොව සම්මත වු පණත් වල ව්‍යවස්ථානුකූලබව නීර්ණය කිරිමට ව්‍යවස්ථා විචාරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදිය යුතුය.

30/01 යෝජනාව නිසා රණවිරුවාත් රටේ දේශපාලන නිදහසත් අමු අමුවේ සිල්ලරට විකිණිනි. ජීනීවා යෝජනාව හුදෙක් නොවැදගත් දෙයක් යැයි බැහැර කල නොහැක්කේ එය රාජ්‍යයක් වශයෙන් අප සමදායකත්වය දක්වා ඇති නිසාවෙනි. එහි ප්‍රතිපලයක් ලෙස සම්මත කර ගත් අණ පණත් යළි සලකා බැලිය යුතුය. මාධ්‍ය සාකච්ඡාවලදි හා දේශපාලන වේදිකාව තුල ඝෝෂා කිරිමට වඩා වැදගත් වන්නේ, මානව හිමිකම් කොමිසම තුලම එකී යෝජනාව පදනම් වු කෙබ්බ වාර්තාවන් අභීයෝගයට ලක් කිරිමයි.

ගෝඨාභය රාජපක්ෂගේ ජනවරමට පණ පෙවු ජාතික බලවේගයන්ට පෞද්ගලික අභිලාෂයන් හෝ බැඳිමක් නැත. එනිසා එකී ජනවරම කොන්දේසි විරහිත වුවක් නොවේ. එහි වලංගුබව ජාතික අභිලාෂයන් ළගා කර ගැනිමට සමානුපාතික බව සඳහන් කරනු කැමැත්තෙමු.

– නීතීඥ නුවන් බැල්ලන්තුඩාව

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *