සී.අයි.ඩී. හිටපු අධ්‍යක්ෂ ශානි, අත්අඩංගුවට ගන්නැයි, පොලිස් කොමිසමට පැමිණිලි 5 ක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සී.අයි.ඩී. හිටපු අධ්‍යක්ෂ ශානි, අත්අඩංගුවට ගන්නැයි, පොලිස් කොමිසමට පැමිණිලි 5 ක් (විඩියෝ)

• සී.අයි.ඩී.යේ හිටපු අධ්‍යක්ෂ ශානිට සහ ස්විට්සර්ලන්තයට පළා ගිය නිශාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – පාර්ශව රැසකින් ඉල්ලීම් (විඩියෝ)

• පොදු එකඟතාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි – මහාචාර්ය ජී. එල්. පීරිස්

• පොලිස් මූලස්ථානය මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත නියෝගයක්

• හම්බන්තොට වරාය වසර 99 කට බදු දීම වැරැද්දක් – ගිවිසුම යළි ඇගයිය යුතුයි – ජනපති ගෝඨාභය කියයි (විඩියෝ)

• බස්නාහිර විදුලි සහ දුරකථන කණුවල බැනර් – කටවුට් වහා ඉවත් කරන ලෙස නියෝග

• නව අමාත්‍ය මණ්ඩලයේ මංගල හමුව හෙට (27) පැවැත්වෙනවා

• හමුදාවේ වුවත් වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග – හමුදාපති ශවේන්ද්‍රගෙන් සහතිකයක්

• ලබන වසරේ පාසල් නිළ ඇඳුම් ප්‍රමාද වන ලකුණු – ගුරු සංගම්වලින් පසුගිය රජයට චෝදනා

• 2020 පාසල් නිල ඇඳුම් පළමු වාරය ආරම්භයේදීම

• තුන්වන පාසල් වාරය සිකුරාදා (29) අවසන්

• කොළඹ නගරයේ කැළි කසල එක්රැස් කරන වේලාව සංශෝධනය කෙරේ

• උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් මස අවසානයේ

• විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නව මායිම් – ගැසට් කිරීමට සැරසේ

+++++++++++++++++++++++++++++++++++

සී.අයි.ඩී. හිටපු අධ්‍යක්ෂ ශානි, අත්අඩංගුවට ගන්නැයි, පොලිස් කොමිසමට පැමිණිලි 5 ක්

(25.11.2019 – 19:03 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන වුවමනා මත මතභේදාත්මක ලෙස පරීක්ෂණ මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව පාර්ශව 5 ක් විසින් පොලිස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ ශානි අබේසේකර අත්අඩංගුවට ගත යුතු අතර, පසුගිය රජය සමයේ ඔහු මෙහෙය වූ නඩු යළි සලකා බැලීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවයි.

මීට අමතරව, ඔහු රටින් පැනයාමේ සූදානමක් ද පවතින බැවින් ඒ පිළිබදව ද අවධානය යොමුකළ යුතු බවට ඔවුන් යොමුකළ පැමිණිලිවල සදහන්.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පොලිස් කොමිසම විසින් ගාල්ල නියෝජය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කර යවා තිබෙනවා.

එහෙත්, ඔහුට ස්ථාන මාරු ලබාදීම වෙනුවට ඔහුගේ සේවය අත්හිටුවිය යුතු බවටයි එම පාර්ශව කරුණු දක්වමින් පොලිස් කොමිසම හමුවේ පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ.

• සිංහලේ අපි ජාතික ව්‍යාපාරයේ ලේකම් පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන්,
• එම සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්,
• බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන්,
• රාවණාබලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සහ
• නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා

මෙම පැමිණිලි ගොනු කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පැමිණිලි භාර ගැනීමෙන් අනතුරුව පොලිස් කොමිසමේ මහජන පැමිණිලි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැමිණ ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගනු ලැබුවා. එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සම්බන්ධයෙන් කතා කිරීම නිසා තමාට ද පසුගිය රජයෙන් ස්ථාන මාරු ලබාදුන් බවයි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා රටින් පළා යාම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස් මූලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විදෙස් රටකට පළා ගොස් ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව බවයි.

ඔහු විසින් පසුගිය වසර 4ක කාලය තුළ සිදුකළ විමර්ශන පක්ෂග්‍රාහීව සහ අයුක්තිසහගතව සිදුකළ බවට ද විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ පිළිබදව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස නොයෙකුත් පාර්ශව ඉල්ලා සිටින වාතාවරණයක් තුළයි අදාළ නිලධාරියා විදෙස් රටකට පළා ගොස් ඇත්තේ.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක විමර්ශන කිහිපයක් භාරව සිටි ස්ථානාධිපතිවරයෙකු මෙලෙස කිසිදු අවසරයකින් තොරව පළා යාම බරපතල ගැටළුවක් ද වන බවයි.

එමෙන්ම, දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව විදෙස්ගතවීම තහනම් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704 දෙනෙකුගේ ලේඛනයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන විගමන කාර්යාලය වෙත ලැබී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ නම ද එම ලේඛනයට ඇතුළත්.

+++++++++++++++++++++++++++++++++++

සී.අයි.ඩී.යේ හිටපු අධ්‍යක්ෂ ශානිට සහ ස්විට්සර්ලන්තයට පළා ගිය නිශාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – පාර්ශව රැසකින් ඉල්ලීම්

(26.11.2019 – 07:43 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මතභේදාත්මක පරීක්ෂණ මෙහෙය වූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට පළාගොස් ඇත්තේ නඩු කිහිපයකට අදාළ රහස්‍ය ලේඛන රැසක් සමඟ බව ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය පවසනවා.

එහි කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා මේ බව කියා සිටියේ හිරු ටී.වී. ඔස්සේ ඊයේ (26) රාත්‍රියේ විකාශය වූ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මතභේදාත්මක පරීක්ෂණ මෙහෙය වූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට පළා යාම සහ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසකින් තවදුරටත් චෝදනා එල්ල වනවා.

කඩවතමැද කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සබරගමු පෙරමුණේ නායක පූජ්‍ය කොළොන්නේ සිරිශාන්තවිජය හිමියන් අදහස් දක්වමින් සඳහන් කළේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

+++++++++++++++++++++

මිනිත්තු 92

+++++++++++++++++++++

නිශාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – අනුර යාපා

(26.11.2019 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයින් රැසක් තම පෙරමුණට සහය ලබාදීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද එක්ව සිටියා.

මන්ත්‍රීවරයා එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ස්විට්සර්ලන්තයට පළා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ අනෙක් නිලධාරින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

***************************************

පොදු එකඟතාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි – මහාචාර්ය ජී. එල්. පීරිස්

(25.11.2019 – 18:56 +0530 – hirunews.lk/sinhala)

පොදු එකගතාවයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාව ප්‍රිය කරන නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අවකාශ සපයා දීම සියලුදෙනාගේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව සදහන් කළේ කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

පොලිස් මූලස්ථානය මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත නියෝගයක්

(25.11.2019 – 16:56 +0530 – hirunews.lk/sinhala)

ජාතීන් අතර සහජීවනයට හා සාමය ආරක්ෂා කිරීමට බාධා වන ක්‍රියා වැළැක්වීමට වහාම පියවර ගත යුතු බවට පොලිස් මූලස්ථානය මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත අද නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජංගම සංචාර, යතුරුපැදි සහ පාපැදි සංචාර යන ආරක්ෂක ක්‍රමවේද මගින් එම සිදුවීම් මූලිකව වළක්වා ගත යුතු බවටයි උපදෙස් ලබාදී ඇත්තේ.

සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ට අමතරව දෙමළ භාෂාවෙන් ප්‍රදර්ශනය කර තිබූ මාර්ගයක ප්‍රදර්ශන පුවරුවක් ගලවා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත කරුණු වාර්තා වී තිබෙනවා.

එම කරුණු සැලකිල්ලට ගනිමිනුයි පොලිස් මූලස්ථානය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙත මෙලෙස නියෝගය නිකුත් කර ඇත්තේ.

සිද්ධියට අදාළව සැකකරුවන් හඳුනාගෙන ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ද අදාළ පොලිස් නිලධාරීන් වෙත පොලිස් මූලස්ථානය උපදෙස් ලබාදී තිබෙනවා ෴

***************************************

හම්බන්තොට වරාය වසර 99 කට බදු දීම වැරැද්දක් – ගිවිසුම යළි ඇගයිය යුතුයි – ජනපති ගෝඨාභය කියයි

(25.11.2019 – 16:51 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන නෞකා මාර්ග රැසක් ආසන්නයේ පිහිටි ක්‍රමෝපාය අතින් මෙන්ම ආර්ථික වශයෙන් අතිශය වැදගත් හම්බන්තොට වරාය 99 වසර බද්දට චීනයට ලබාදීම පසුගිය රජය සිදුකර ඇති වැරැද්දක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව විදෙස් මාධ්‍යයකට ලබාදුන් ප්‍රථම සාකච්ඡාව ලෙස ඉන්දීය එස්.එන්.අයි. ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම නැවත ඇගයීමකට ලක්කළ යුතු බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාව ලබාදුන්නේ ලබන 29 වන දා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතව සිටියදියි.

ඉන්දියාවේ ප්‍රකට මාධ්‍යවේදියෙකු වන නිතින් ඒ. ගෝක්ලේ මහතා ජනාධිපතිවරයා සමඟ එම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි අවධාරණය කළේ ශ්‍රී ලංකාව සුපිරි බලවතුන්ගේ බල අරගලයට මැදිවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

තුන්වන රටකට බලපෑමක් ඇති වන අන්දමින් ශ්‍රී ලංකාව විදේශ සබඳතා නොපවත්වන අතර, ඉන්දියාවේ ආරක්ෂාව අභියෝගයකට ලක්වීමට ඉඩ නොදෙන බව ද ජනාධිතිවරයා කියා සිටියා. මේ, එහිදී ජනාධිපතිවරයා දැක්වූ අදහස්.

“චීනය අපේ හොඳ මිතුරෙකු මෙන්ම, අපට සංවර්ධනය සඳහා ඔවුන්ගේ සහය අවශ්‍ය වුවත් හම්බන්තොට වරාය ඔවුන් වෙත වසර 99 කට බදු දීම අත්වැරැද්දක් ලෙසයි මා දකින්නේ. මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා වඩා හොඳ එකඟතාවක් ඇති කර ගැනීම සඳහා ගිවිසුම යළි ඇගයීමකට ලක් කරන්න. ජනතාව එම ගිවිසුම සම්බන්ධයෙන් සතුටක් දක්වන්නේ නැහැ. අපට වසරක්, දෙකක් හෝ 5 ක් ගැන නොව අනාගතය ගැන සිතන්න අවශ්‍යයි, ඉන්පසුව කුමක් වන්නේ ද කියා. ආයෝජනය සඳහා ඉඩම් කැබැල්ලක් ලබාදීම හාත්පසින් වෙනස් කරුණක්. වාණිජ දේපළක් හෝ හෝටලයක් සංවර්ධනය කිරීමත් ගැටළුවක් නොවේ. එහෙත් ක්‍රමෝපාය අතින් මෙන්ම ආර්ථිකමය වශයෙන් වැදගත් වරායක් එලෙස ලබාදීම පිළිගත නොහැකියි. එහි පාලනය අප අත තිබිය යුතුයි. ඒ නිසා එය නැවත සාකච්ඡා කළ යුතු වනවා.”

මේ අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය වන සාරා හල්ටන් අද (25) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

එහිදී ඇය නව ජනාධිපතිවරයාට බ්‍රිතාන්‍ය රජයේ සුබ පැතුම් එක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

***************************************

බස්නාහිර විදුලි සහ දුරකථන කණුවල බැනර් – කටවුට් වහා ඉවත් කරන ලෙස නියෝග

(26.11.2019 – 13:47 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ මාර්ග දෙපස පිහිටි විදුලි සහ දුරකථන කණුවල සවි කර ඇති බැනර් සහ කටවුට් අද පස්වරුව වන විට ඉවත් කරන ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාතේ සියළුම පොලිස් ස්ථාන වෙත නියෝග කර තිබෙනවා.

පොලිස් පරිසර කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ අනුව අද (26) උදෑසන සිට එම බැනර් සහ කටවුට් කම්කරුවන් ලවා ඉවත් කිරීම සිදුවන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොළඹ නගරය පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, එහි පියවරක් ලෙස මෙම බැනර් සහ කටවුට් ඉවත් කිරීම සිදුවනු ඇති ෴

***************************************

නව අමාත්‍ය මණ්ඩලයේ මංගල හමුව හෙට (27) පැවැත්වෙනවා

(26.11.2019 – 12:51 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව හෙට (27). ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත්වෙන බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ජනාධිපතිවරණයෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තා.

ඒ අනුවයි භාරකාර රජයේ 16 දෙනෙකුගෙන් යුත් නව අමාත්‍ය මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා පත් කෙරුණේ.

මේ අතර, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ද හෙට (27) දිනයේදී අනිවාර්යෙන්ම සිදුකෙරෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංයුතිය පිළිබද අවසන් තීරණයට අද (26) දිනයේදී එළඹීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එසේම නව අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව ඔවුන්ට අයත් අමාත්‍යාංශවල විෂය පථයන් ගැසට් කිරීම අද (26) හෝ හෙට (27) සිදුකිරීමට නියමිතයි.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය කියා සිටියේ ඊට අදාළ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු එම කටයුතු කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂවල නායකයින්ගේ හමුවක් අද (26) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන අතර, එම හමුව පස්වරු 5.30 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදී පැවැත්වෙනු ඇති.

මේ අතර, මහවැලි, කෘෂිකර්ම වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතාවය සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් චමල් රාජපක්ෂ මහතා අද (26) ආහාර සුරක්ෂිතාවය සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යාංශයේදී වැඩ භාරගත්තා.

එමෙන්ම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බන්දුල ගුණවර්ධන මහතා අද (26) සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගත්තා. ඔහු ඊට පෙර උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා ලෙස ද වැඩ භාර ගනු ලැබුවා ෴

***************************************

හමුදාවේ වුවත් වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග – හමුදාපති ශවේන්ද්‍රගෙන් සහතිකයක්

(26.11.2019 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා යුද හමුදාවේ සියළුම නිළයන් අතර ඉහළම විනය සහතික කරන අතර, ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඉන්දීය භාරත් ශක්ති සහ එස්.එන්.අයි. ප්‍රවෘත්ති කතුවරයෙකු වන නිතින් ගෝක්ලේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින්.

ප්‍රකට ඉන්දීය ආරක්ෂක විශ්ලේෂකයෙකු වන ඔහු ඊට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රථම විදෙස් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාව ද මෙහෙයවනු ලැබුවා.

භාරත් ශක්ති කතුවරයාගේ සම්මුඛ සාකච්ඡාවේදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ නව ජනාධිපතිවරයාගේ දැක්ම අනුව ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහය ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, උද්ගතව වන තත්ත්වයන් හදුනාගෙන සාම්ප්‍රදායික නොවන තර්ජන සහ වෙනත් අභියෝගයන්ට මෙන්ම අනාගතයේ දී ඇති විය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට හමුදාව සූදානම් කර තැබීමට සැලසුම් කර ඇති බවයි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළේ.

2009 මානුෂීය මෙහෙයුම අවසන් වීමෙන් පසු පීඩාවට පත් ජනතාවගේ යහපත උදෙසා මෙන්ම පශ්චාත් යුද සමයේ ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘති සඳහා යුද හමුදාව දැක්වූ දායකත්වයට ඔහු ඉන්දීය මාධ්‍යවේදියා වෙත පැහැදිලි කරනු ලැබුවා ෴

***************************************

ලබන වසරේ පාසල් නිළ ඇඳුම් ප්‍රමාද වන ලකුණු – ගුරු සංගම්වලින් පසුගිය රජයට චෝදනා

(26.11.2019 – 12:44 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය විසින් නිසි වැඩපිළිවෙලක් සකස් කර නොතිබීම හේතුවෙන් එළඹෙන වසරේදී සිසුන්ට පාසල් නිළ ඇඳුම් ලබාදීම පිළිබඳ ගැටළුවක් මතුව තිබෙනවා.

ලක්ෂ 43 ක් පමණ වූ පාසල් දරුවන් සඳහා නිළ ඇඳුම් රෙදි ලබාදීම සෑම වසරකම පාසල් වාර අවසානයට පෙර සිදුකිරීමට නියමිතයි.

එහෙත් මේ වන විට තුන්වන පාසල් වාරය මේ මස 29 වන දින අවසන් වීමට නියමිතව ඇතත් මෙතෙක් සිසුන්ට නිළ ඇඳුම් ලබාදී නැහැ.

පසුගිය රජය මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේ නම් සිසුන්ට නිළ ඇදුම් ලබාදීමේ හැකියාව තිබූ බවටයි ගුරු සංගම් චෝදනා කරන්නේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා කියා සිටියේ වත්මන් රජය හෝ මේ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කොට සිසුන්ට නිළ ඇදුම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අකිල විරාජ් කාරියවසම් ගෙන් විමසීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, පාසල් නිළ ඇඳුම් සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පේරුම මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරණයෙන් පසු පිහිට වූ නව ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පසුගිය සිකුරාදා වැඩ භාර ගනිමින් ඔහු කියා සිටියේ පැවති ආණ්ඩුව පාසල් නිළ ඇදුම් ලබාදීම සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවයි ෴

+++++++++++++++++++++

2020 පාසල් නිල ඇඳුම් පළමු වාරය ආරම්භයේදීම

(26.11.2019 – 15:48 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර සඳහා පාසල් නිල ඇඳුම්, නව පාසල් වාරය ආරම්භයේදීම ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

හෙට (27) පැවැත්වෙන නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව එහි සම්පූර්ණ වගකීම තමා භාරගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

ලබන වසර සඳහා පසුගිය වසරේ පැවති මිල ගණන් යටතේම නිල ඇඳුම් වවුචර් පත් ලබාදීමට අදාළව පසුගිය රජය, අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඇතත්, ඒ සඳහා තීරණයක් ලබාදී තිබුණේ නැහැ.

තුන්වන පාසල් වාරය තවත් දින 3 කින් නිමා වන අතර, මේ දක්වා නියමිත පරිදි දරුවන්ට නිල ඇඳුම් හෝ වවුචර්පත් ලබාදීම සඳහා පියවර නොගැනීම කණගාටුවට කරුණක් බවද, අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා ෴

+++++++++++++++++++++

තුන්වන පාසල් වාරය සිකුරාදා (29) අවසන්

(26.11.2019 – 15:01 +0530 – hirunews.lk/sinhala)

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තුන්වන පාසල් වාරය මේ මස 29 වන සිකුරාදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

අප්‍රේල් මස 06 වනදා 2020 වසරේ පළමු පාසල් වාරය අවසන් කිරීමට සැළසුම් කර තිබෙනවා ෴

***************************************

කොළඹ නගරයේ කැළි කසල එක්රැස් කරන වේලාව සංශෝධනය කෙරේ

(26.11.2019 – 09:06 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නාගරික බල ප්‍රදේශයේ නිවෙස්වලින් කැළි කසල එක්රැස් කරන වේලාව වෙනස් කර තිබෙනවා.

කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මීට පෙර කැළි කසල එක්රැස් කිරීම උදෑසන 7.30 ට සිදුවුවද අද සිට එය උදෑසන 6.30 ලෙසත් සංශෝධනය කර ඇති බවයි ෴

***************************************

උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් මස අවසානයේ

(26.11.2019 – 08:18 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් මස අවසානයේ ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ දෙසැම්බර් මස අවසන් සතියේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම, සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ දේශන පැවැත්වීම අද (26) මධ්‍යම රාත්‍රියේ සිට දෙසැම්බර් මස 12 වන දින දක්වා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව එම කාලය තුළ විභාගය සඳහා පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සහ ඒවා ළඟ තබාගැනීම සම්පූර්ණයෙන් තහනම් වනු ඇති ෴

***************************************

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නව මායිම් – ගැසට් කිරීමට සැරසේ

(26.11.2019 – 07:40 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් කලාපයේ අවතැන් වූ පදිංචිකරුවන් සිටින ප්‍රදේශය අතහැර නව ගැසට් පත්‍රයක් මගින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ප්‍රකාශයට පත් කරන බව නීතිපතිවරයා මෝසමක් මගින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධි ආරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධී ලෙස එළිපෙහෙලි කරමින් නැවත පදිංචි කිරීම් සහ අනවසර පදිංචි කිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර තිබූ රීට් පෙත්සමක් ඊයේ (25) කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව අධිකරණයට දැනුම් දුන්නා.

අදාළ පෙත්සම ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලෙනවා.

පෙත්සම ඊයේ (25) කැදවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කියා සිටියේ 2012 වසරේ ඔක්තෝම්බර් මස 10 වන දා ප්‍රකාශ කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර අවතැන් වූ පදිංචිකරුවන් අත්හැර විල්පත්තු රක්ෂිතයේ නව මායිම් සහිත ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරන බවයි.

පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම් සහ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

එම පෙත්සමෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ වගඋත්තරකාර හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ මැදිහත්වීමෙන් පවුල් 1500 ක් පමණ රක්ෂිතය තුළ යළි පදිංචි කර ඇති බවටයි.

‘හිරු සී.අයි.ඒ.’ තුළින් ද මීට පෙර අවස්ථා ගණනාවකදී විල්පත්තු ජාතික වනෝද්‍යානයේ යළි පදිංචි කිරීම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *