ඇමති රාජිත බලපෑම් කළ බවට හිටපු යුද සෙබළෙකු ගෙන් CID යට පැමිණිල්ලක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඇමති රාජිත බලපෑම් කළ බවට හිටපු යුද සෙබළෙකු ගෙන් CID යට පැමිණිල්ලක් (විඩියෝ)

• විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩපිලිවෙළක් සැකසිය යුතුයි – CaFFE

• මහබැංකු හොරකමට සම්බන්ධ අය නීතිය ඉදිරියට ගෙනවා – විපක්ෂ නායක

• ගෝඨාගේ පුරවැසිභාවය ගැන අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රතිචාර

• ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන් – අපේක්ෂකයින් 35 දෙනා හෙට මැතිවරණ කොමිසමට

• එක්කෝ චන්ද්‍රිකාට පිස්සු නැත්නම් අපිට පිස්සු – මහින්ද රාජපක්ෂ (විඩියෝ)

• නාටක මාරයි බොරුව හමාරයි… සුදු වෑන් නළුවාගේ පච අතේ රෝල්… (විඩියෝ)

• බෙදුම්වාදීන්ගේ ඉත්තන් වී ඇති සජිත් ප්‍රේමදාස ඇතුළු නඩය එකට තබා පරාජය කළ යුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව (විඩියෝ)

• ‘කොම්රේඩ් ලයනල්’ ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේදී ‘විදේශ ගිවිසුම් සහ කුමන්ත්‍රණ’ මැයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කළ දේශනය (විඩියෝ)

• ‘ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ ආණ්ඩුවටත් පාලනය කරගත නොහැකි කණ්ඩායමක්’ බව රනිල් කිව්වා – ජේෂ්ඨ මාධ්‍යවේදී සී. ඒ. චන්ද්‍රප්‍රේම ගෙන් විශේෂ හෙළිදරව්වක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ඇමති රාජිත බලපෑම් කළ බවට හිටපු යුද සෙබළෙකු ගෙන් CID යට පැමිණිල්ලක්

(12.11.2019 – 18:47 +0530 – sinhala.adaderana.lk)

මහින්ද රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකානු තානාපතිවරයා වෙත අසත්‍ය තොරතුරු ලබා දෙන්නැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා තමාට බලපෑම් කළ බව පවසමින් හිටපු යුද හමුදා සෙබළෙකු අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

2012 වසරේදී ‘ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම් සමාගමේ’ ආයුධ භාරකරු ලෙස කටයුතු කළ බව පවසන කැප්ටන් උදය දිසානායක මහතා අද (12) දහවල් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහි පැමිණිල්ල ගොනුකළේය.

මෙහිදී අදහස් දක්වමින් කැප්ටන් උදය දිසානායක මහතා පවසා සිටියේ, අතීතයේ රාජිත සේනාරත්න මහතා සමඟ සමීපව කටයුතු කළ බවයි.

රාජිත අමාත්‍යවරයා ඇමෙරිකානු තානාධිපති කාර්යාලයට ගොස් අයි.එස්. එකට ගෝඨාභය මහතා ආයුධ ලබා දෙන බව පවසන ලෙස කියා සිටි බවත් සඳහන් කර සිටි දිසානායක මහතා, ඒ සියලු බොරු චෝදනා හඬ පටිගත කර ඇතැයි ද පැවසීය.

එනිසා රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි පැවසීමට අද (12) දිනයේ මෙලෙස පැමිණිලි කිරීමට පැමිණි බවත් කියා සිටි ඒ මහතා, සුදු වෑන් වගේ අමූලික බොරු ඔවුන් ගොතමින් සිටින බවත් කියා සිටියේය.

ඇමතිවරු පස්දෙනකුට එන්තරවාසී තමා විසින් යවා ඇතැයි ද පැවසු දිසානායක මහතා, ඔවුන්ගේ සියලු හොරකම්වල සාක්ෂි තමා ළඟ ඇති බවත් පැවසීය.

අගමැතිවරයාගේ සිට සියලු දෙනාගේ හඬ පටි තමා ළඟ ඇති බවත් පැවසු ඒ මහතා, මැතිවරණය පරාජය වු පසු රාජිත සේනාරත්න මහතා ඇමෙරිකාවට යෑමට සුදානමක් ඇතැයි ද කියා සිටියේය.

තමාට ද ඒ සඳහා කථා කර ඇතැයි පැවසු ඒ මහතා, රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ සමඟ සිදුකරනු ලැබු යැයි පවසන දුරකථන සංවාදයක්ද මාධ්‍යට මුදා හැරියේය.

කැප්ටන් උදය දිසානයක
මම කැප්ටන් උදය කතා කළේ මැඩම්.ඇවන්ට් ගාඩ් එකේ

ඇමති රාජිතගේ බිරිඳ
මොනවද අපිට කරන්න පුළුවන්?

කැප්ටන් උදය දිසානයක
ඉතිං බලන්න මැඩම් මම සර් වෙනුවෙන් සිංගප්පූරුවෙත් ගියා ඔපරේෂන් එකට මතකයිනේ මැඩම්. මගේ පුද්ගලික සල්ලි වියදම්කරලා මම සිංගප්පූරුවෙත් ගියා මැඩම් හොස්පිටල් එකටත් ගියා. මැඩම් මොකක්ද කරන්න පුළුවන්, සර්ට පොඩ්ඩක් කියනවාද මං ගැන පොඩ්ඩක් බලන්න කියලා.

ඇමති රාජිතගේ බිරිඳ
හරි හරි මං කියන්නම්කෝ. දැන් ඔළුව ගිනි අරන්නේ ඉන්නේ.

කැප්ටන් උදය දිසානයක
දැන් කොහොමත් ඔළුව ගිනි අරන් වගේ ඉන්නේ නේද? යනුවෙන් එම සංවාදය ගොඩ නැඟිනි.

මෙවැනි පුද්ගලයින් ඇමතිවරු නොව ‘ඇමති හොරු’ බවද පැවසු ඒ මහතා තමා ළඟ තබා ගෙන ඇවන්ට්ගාඩ් හිමිකරුගෙන් කප්පම් ගත් බවත් පැවසීය.

***************************************

විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩපිලිවෙළක් සැකසිය යුතුයි – CaFFE

(12.11.2019 – 20:38 +0530 – sinhala.adaderana.lk)

විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රමවත් වැඩපිළිටවළක් සැකසිය යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ මෙරට ඡන්දය හිමි ලක්ෂ ගණනක පිරිසක් විදේශගතව සිටීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන බවයි.

මෙරට ආර්ථිකය වර්ධනය කිරීම සඳහා විදේශ විනිමය උපයන මෙම පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වීම බරපතල කරුණක් බවත් මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ඉදිරියේදී සැකසිය යුතු බව හෙතෙම අවධාරණය කරයි.

විදෙස්ගත ශ්‍රමිකයින් අතුරින් වත් පොහොසත්කම් ඇති ඇතැම් අය පමණක් මැතිවරණය සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව පෙන්වා දෙන මනාස් අහමඩ් මහතා සදහන් කරන්නේ තානාපති කාර්යාල ඔස්සේ ඊට සුදුසු වැඩපිළිවෙළක් සැකසිය හැකි බවයි.

විදෙස්ගත ශ්‍රමිකයින් විශාල පිරිසක් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම අගය කළ යුතු ක්‍රියාවක් බව ඒ මහතා පෙන්වා දෙයි. නමුත් විදෙස්ගත පිරිසෙන් අති මහත් බහුතරයකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ගිලිහී යන බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි ෴

***************************************

මහබැංකු හොරකමට සම්බන්ධ අය නීතිය ඉදිරියට ගෙනවා – විපක්ෂ නායක

(12.11.2019 – 20:04 +0530 – sinhala.adaderana.lk)

තරාතිරම නොබලා මහබැංකු හොරකමට සම්බන්ධ සියලුදෙනා නීතිය ඉදිරියට ගෙන එන බව විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (12) මිනුවන්ගොඩ පැවැති ජන රැලිය අමතමිනි.

ලෝක ඉතිහාසයේ පළමුවරට රටේ මහබැංකුව ආණ්ඩුව විසින්ම මංකොල්ල කෑ මෙම සිද්ධිය සමඟ ජන ජීවිතයේ වසර තිහක් බැඳී තිබෙන බව ද ඒ මහතා මෙහිදී පැවසීය.

ජනතාව හමුවට පැමිණ කරන කතාවල හරයක් තිබිය යුතු බව පෙන්වා දුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අපි කතා කරන්නේ ජනාධිපතිවරයෙක් තොරා ගැනීමට මිස ජනාධිපති මන්දිරයට කවටයෙක් තොරා ගන්නා මැතිවරණයකට නොවන බවද සඳහන් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යාපනයේ කළ සංචාරයක් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා ජනතාව පාවා දීමෙන් ජන ජීවිත විනාශ කරමින් මිනිමැරුම් කළ ත්‍රස්තවාදියකුට ප්‍රභාකරන් සර්ය කියා කළ කතාවක් පුවත්පතක පළවී ඇතැයි ද පැවසීය.

මෙවැනි කතා අහන්න ලැබීම කණගාටුදායක තත්ත්වයක් බව ද එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴

***************************************

ගෝඨාගේ පුරවැසිභාවය ගැන අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රතිචාර

(12.11.2019 – 18:05 +0530 – sinhala.adaderana.lk)

යම් අයෙකු අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමෙන් පසු ඒ බව සඳහන් කෙරෙන ෆෙඩරල් ලැයිස්තුවේ ඔහුගේ නම ඇතුළත් වීමට මාස ගණනාවක් නැතිනම්, යම් කාලයක් ගතවන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

එහි වැඩබලන මහජන සම්බන්ධතා නිලධාරිනී නැන්සි වැන්හෝන් මහත්මිය මේ බව සඳහන් කළේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම අදාළ ලැයිස්තුවේ ඇතුළත් නොවන බැවින් ඔහුගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් වී නැතැයි ඇතැම් පාර්ශ්ව එල්ල කරන චෝදනාව පිළිබඳ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

කෙසේ වෙතත් පෞද්ගලිකත්වයට අදාළ අමෙරිකානු නීතියට අදාළව යම් පුද්ගලයෙකුගේ වීසා හෝ පුරවැසිභාවය සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමට තමාට නොහැකි බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ වැඩබලන මහජන සම්බන්ධතා නිලධාරිනිය පවසයි ෴

***************************************

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන් – අපේක්ෂකයින් 35 දෙනා හෙට මැතිවරණ කොමිසමට

(13.11.2019 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු අද (13) මැදියම් රැයෙන් අවසන් වනවා. මධ්‍යම රාත්‍රී 12 සිට ඡන්ද විමසීම පවත්වා අවසන් වන තුරු දේශපාලන ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගි වන අවසන් ජන රැළිය හෝමාගම නගරයේදී පැවැත්වෙන අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අවසන් ජන රැළිය පැවැත්වෙන්නේ මැදකොළඹ ප්‍රදේශයේදියි.

එමෙන්ම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ අවසන් ජන රැළිය මහරගම දී පැවැත්වෙනු ඇති.

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ලබන 16 වන දා පෙරවරු හතේ සිට පස්වරු පහ දක්වා සිදුකිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් බවයි මැතිවරණ කොමිසන් සභාව කියා සිටියේ.

එමෙන්ම, මෙවර ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 35 දෙනාට හෙට (14) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙසටයි අපේක්ෂකයින්ට දැනුම් දී ඇත්තේ.

ඔවුන්ට පැමිණීමට අපහසුතාවක් පවතින්නේ නම් එම අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් දෙදෙනෙකුට කොමිසමට පැමිණෙන ලෙස දන්වා යවා තිබෙනවා.

ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ මැතිවරණ නිරීක්ෂකයින් අතර සාකච්ඡාවක්ද අද (13) පැවැත්වෙනවා.

මේ අතර වැල්වැටිතුරෙයි පොලීසියේ පරිපාලන දුර්වලතා හේතුවෙන් ජනාධිපතිවරණයේ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඉල්ලුම් කළ පොලිස් නිළධාරීණ් පිරිසකගේ අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයට අදාළව තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් 54 ක් ඉදිරිපත්ව ඇති අතර ඉන් 43 ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි ඔහු කියා සිටියේ. අයදුම්පත් 43 න් 25 ක්ම ප්‍රතික්ෂේප වී ඇත්තේ පොලිසියේ පරිපාලන දුර්වලතා හේතුවෙන් බවට අනාවරණ වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

කෙසේ වෙතත්, මෙලෙස තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන්ට එළඹෙන 16 වනදා ඡන්දය ප්‍රකාශ කිරීම සදහා නිවාඩු ලබාදීමට ද තිරණය කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ ෴

***************************************

එක්කෝ චන්ද්‍රිකාට පිස්සු නැත්නම් අපිට පිස්සු – මහින්ද රාජපක්ෂ

(13.11.2019 – 09:26 +0530 – sinhala.adaderana.lk)

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යාපනයේ ප්‍රදේශයේ සංචාරයක නිරත වී එහි පැවති ජන රැළිය දී දැක්වු අදහස් පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය අදහස් පළ කර සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (12) මිනුවන්ගොඩ පැවති ජන රැලියකට එක්වෙමින්.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය ඉලක්ක කර පවත්වන ජනරැලි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ (12) පස්වරුවේ මිනුවන්ගොඩ නගර මධ්‍යයේ පැවැත්විය.

මෙම ජන රැළියට එක්වු මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, චන්ද්‍රිකා මහත්මිය තුන් පාරක් “ප්‍රභාකරන් සර්” යනුවෙන් පවසා ඇති බව දෙමළ පුවත්පතක වාර්තා කර තිබුණු බවයි.

“එක්කෝ චන්ද්‍රිකාට පිස්සු නැත්නම් අපිට පිස්සු” යනුවෙන් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ‘ප්‍රභාකරන් සර්’ යනුවෙන් පවසමින් ඇය සිදු කිරීමට යන්නේ ප්‍රභාකරන් ඉල්ලු දේ ප්‍රේමදාස ලවා ලබා දීමට සුදානම් වීමක් ද යනුවෙන් මෙහිදී කියා සිටියේය.

මේ අතර ලංකා සමාජයේ කසාඳ බැඳලා ළමයින් නැති විශාල පිරිසක් සිටින බවත් පැවසු ඒ මහතා, ඒ අයට නළ දරුවන් ලබා ගැනීමට පිටරටට යෑමට මුදල් නැතිව සිටින බවත්, එවැනි අය සඳහා කොළඹ ජාතික රෝහලේ නළ දරු උපත් සිදුකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන තමා නොමිලේ ලබා දෙන බවත් පැවසීය.

***************************************

නාටක මාරයි බොරුව හමාරයි… සුදු වෑන් නළුවාගේ පච අතේ රෝල්…

(13.11.2019 – colombotoday.com)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් සුදු වෑන් රථවලින් මිනිසුන් පැහැරගෙන ගොස් වධ දී මරා දැමූ බවත්, සුදු වෑන් රථයක රියෙදුරෙකු බව කියමින් එක්තරා පුද්ගලයෙකු සමග අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් සිදු කළ ප්‍රකාශ මුළුමනින්ම ගොතන ලද සාවද්‍ය ප්‍රකාශ බවට මේ විට තහවුරු වී තිබේ.

තමා විසින් පැදවූ සුදු වෑන් රථයෙන් පැහැරගත් පුද්ගලයන් මරා අසල පිහිටි වැවක කිඹුලන්ට කෑමට දැමීමට පෙර රදවා තබාගෙන වධ හිංසා සිදුකළ මොණරාගල ප්‍රදේශයේ පවත්වාගෙ ගිය වධකාගාරයක යැයි කියමින් අදාල පුද්ගලයා ඡායාරූපක් ද මාධ්‍ය හමුවේ පෙන්වා සිටි අතර, එහි දැක්වුණු ස්ථානය සොයාගෙන හිරු රූපවාහිනී මාධ්‍ය කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තොරතුරු විමසීමක් සිදුකර ඇත.

එහිදී ප්‍රදේශවාසීන් විසින් අනාවරණය කර ඇත්තේ එම ස්ථානය 1989-90 භීෂණ සමයේ ප්‍රේමදාස ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය වධකාගාරයක් බවයි. රජයේ නිල නිවසක් වන මෙය මේ වන විට ඉතාම ජනාකීර්ණ ස්ථානයක් වී ඇති අතර චෝදනා කරන ආකාරයේ වධකාගාරයක් එම ස්ථානයේ 2009 තරම් මෑතකාලීනව කිසිසේත්ම පවත්වාගෙන යා නොහැකි බව පවසන ගම් වැසින් මිනී කන කිඹුලන් සිටින වැවක් අහලකවත් නොමැති බවද කියා සිටිති.

***************************************

බෙදුම්වාදීන්ගේ ඉත්තන් වී ඇති සජිත් ප්‍රේමදාස ඇතුළු නඩය එකට තබා පරාජය කළ යුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව

(13.11.2019 – 07:30 +0530 – lankaleadnews.com)

ජනාධිපතිවරණයට ඉදිරිපත් කර සිටින සජිත් ප්‍රේමදාස යනු රනිල් වික්‍රමසිංහ, මංගල, චන්ද්‍රිකා, සම්බන්ධන් ඇතුළු බෙදුම්වාදීන්ගේ ඉත්තෙකු පමණක් බවත් එම නඩයම එකට තබා පරාජය කිරීමෙන් තොර මේ රට බෙදීම නතර කළ නොහැකි බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ පෙරේදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති ගෝලීය සංසදයේ විධායක සභාව පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක එකක් බව සපථ කරමින් විදේශ දේශප්‍රේමී ජනතාව ලක්ෂ ගණනින් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවය.

නීතිඥ ජේ රාජ් පලිහවඩන මහතා :

ජිනීවාවාහි 30/1 යෝජනාවලියෙන් ඉවත්වන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තිබෙනවා. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි අපි බලාපොරොත්තු වුනෙත් ඒක. එහෙත් එක පෑන් පහරකින් මේකෙන් ඉවත් වෙන්න බැහැ. ඊට කාලයක් අවශ්‍යයි. ඒ වගේම විශාල ක්‍රියාවලියක්. අපි ඒක අධ්‍යයනය කරල තමයි ‘රණවිරු විත්තිවාචකය’ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළේ. අපි සූදානම් 30/1 යෝජනාවෙන් ඉවත්වීමට අවශ්‍ය සහාය ලබා දෙන්න.

කපිල ජයසේන මහතා :

අපි ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියෙව්වා. ඒත් ඒ අතරින් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ප්‍රතිපත්ති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වනවා.

***************************************

‘කොම්රේඩ් ලයනල්’ ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේදී ‘විදේශ ගිවිසුම් සහ කුමන්ත්‍රණ’ මැයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කළ දේශනය

(08.11.2019 – YouTube – Dharman Wickremaretne)

ජවිපෙ 2 වැනි කැරලි සමය පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් රචිත නවතම ග්‍රන්ථය වන ‘කොම්රේඩ් ලයනල්’ කෘතිය 2019 නොවැම්බර් 5 පස්වරුවේදී තුංමුල්ල මංසන්දිය අසළ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි. මේ, එහිදී විදේශ ගිවිසුම් සහ කුමන්ත්‍රණ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවැත්වූ දේශනයයි. මෙම ග්‍රන්ථයට පාදක වන්නේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකරලීමේ ජවිපෙ උපායමාර්ගික ගමන්මඟ අනුව එය ක්‍රියාවට නඟමින් විජය කුමාරතුංග, කොළඹ සරසවි උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, එජාප මහ ලේකම් නන්දලාල් ප්‍රනාන්දු, රහස් පොලිස් අධ්‍යක්ෂ ටෙරන්ස් පෙරේරා ඇතුළු 41 ක් ජවිපෙ 2 වැනි කැරැල්ලේදී ඝාතනයට ලක්කළ ලයනල් රණසිංහගේ සත්‍ය කථාවය. පිටු 432 කින් යුත් ග්‍රන්ථයට ඡායාරූප 86 ක් ඇතුළත්ව තිබිණි.

කුරුවිට ඉපිද හොරණ ජීවත්වූ ලයනල් රණසිංහ වෘත්තියෙන් රටකජු වෙළෙන්දෙකු වූ අතර පසුව පූර්ණකාලීන දේශපාලන ක්‍රියාධරයෙකු විය. ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ නිවෙස්වලටද ඔහුගේ හිතවතුන් පමණක් නොව ලයනල් අත්අඩංගුවට ගත් සහ එම සිද්ධීන්වලට දායකවූ පොලිස් නිලධාරින්ද සොයාගිය ග්‍රන්ථයේ කතුවරයා ලයනල් රණසිංහ විසින් ඝාතනයවුනු 41 න් වැඩි පිරිසකගේ නිවෙස්වලට ගොස් එම පවුල්වල අයද හමුවීමෙන් පසු ‘කොම්රේඩ් ලයනල්’ ග්‍රන්ථය සම්පාදනය කළ අතර ඔවුන් ගෙන් විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියහ. මෙය ධර්මන් වික්‍රමරත්න මහතාගේ 54 වන කෘතියයි.

‘කොම්රේඩ් ලයනල්’ ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ මුලසුන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි දැරූ අතර ග්‍රන්ථය පිළිබඳ හැඳින්වීම, 71, 89 සහ තරුණ ක්‍රියාකාරිත්වය, විදේශ ගිවිසුම් සහ කුමන්ත්‍රණ, දේශපාලන ඝාතන සහ ඝාතනයේ දේශපාලනය මැයින් එහිදී දෙසුම් පවත්වනු ලැබුවේ අජිත් ගලප්පත්ති, ආචාර්ය චරිත හේරත්, වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ ඩිව් ගුණසේකර යන මහත්වරු විසිනි. වැඩසටහන මෙහෙයවීම සේපාල් අමරසිංහ මහතා විසින් සිදුකරන ලදී.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

‘ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ ආණ්ඩුවටත් පාලනය කරගත නොහැකි කණ්ඩායමක්’ බව රනිල් කිව්වා – ජේෂ්ඨ මාධ්‍යවේදී සී. ඒ. චන්ද්‍රප්‍රේම ගෙන් විශේෂ හෙළිදරව්වක්

(13.11.2019 – 00:51 +0530 – lankaleadnews.com)

ලසන්ත වික්‍රමතුංග ඝාතනය වීමෙන් පසුව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2009 ජනවාරි 9 වැනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් එම ඝාතනය ආණ්ඩුවටත් පාලනය කරගත නොහැකි පිරිසක් විසින් සිදුකර ඇති බව පැවසූ බව ජේෂ්ඨ මාධ්‍යවේදී සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී ජිනප්‍රිය මහතා විසින් රචනා කළ ‘ගෝඨාභයගේ මාධ්‍ය නිදහස’ නැමැති කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කොළඹ ඒන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී අද (12) එම කෘතිය එළිදැක්වීම සිදු කළ අතර එහිදී මහාචාර්ය මල්වානේ චන්දරතන හිමි, සහිත්‍යශූරී ගුණදාස අමරසේකර, නීතීඥ තුෂාර දිසානායක සහ ගෙවිඳු කුමාරතුංග යන විද්වතුන් අදහස් පළ කළේය.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *