දඹුලු විහාරේ ඉඩම් ඇමරිකාවට…. තෙවැනි මුඩුබිම් ආඥාව සූදානම් – මතුගම සෙනෙවිරුවන්

(10.11.2019 – divaina.com)

ජනපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කර ගැනීමේ කඩිමුඩියක් ආණ්ඩුව තුළ තිබීම නිසා මේ වන විට රටේ විශාල විරෝධයක් ගොඩ නැගී ඇත. පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසයක් ආරම්භ කරන තැනට එම විරෝධය තල්ලු විය. මෙම ගිවිසුම මත ලැබෙන මුදල් ලබා ගැනීම අමාත්‍ය මණ්ඩලය විසින් අත්තනෝමතිකව අනුමත කර ගැනීම ඇමරිකන් තානාපතිනිය ගේ බලපෑම මත සිදු වූ ආකාරයද නිරීක්ෂණය කළ හැකිය. මෙම තත්ත්වයේ පසුබිම සැකසෙන්නේ කෙසේදැයි වඩා විස්තරාත්මකව අප කල්පනා කළ යුතුය.

විසිවන සහශ‍්‍රය තුළ තමන්ට අවශ්‍ය ආකාරයට ලෝකය හසුරුවීම ඇමරිකාවට අද ප‍්‍රශ්නයකි. චීනයේ නැගී සිටීම, නව මුහුදු ගමන් විවෘත වීම, වෙළඳ පොළ තරගය ආදී කරුණු මත චීනයෙන් එන බලපෑම දේශපාලනික වශයෙන් තුළනය කිරීමට ආසියාවේ බල කේන්ද්‍රස්ථායක් ඔවුනට අවශ්‍ය වේ. ඒ සඳහා සුදුසුම තැන ලංකාවයි. මෙතෙක් කාලයක් තිස්සේ විවිධ උපක‍්‍රම යොදමින් ඔවුහු ලංකාව පාලනය කරගත්හ. ඇමරිකන් ආධාර තිරිඟු පිටි ආදිය සැපයීමෙන් නොනැවතී උතුරේ වෙනම පාලනයක් සඳහා සටන් වැදි ප‍්‍රභාකරන් ඇතුළු කොටි ත‍්‍රස්තයන්ට අවි ආයුධ සැපයීම දක්වා මේ උපක‍්‍රම තීව‍්‍ර විය. ප‍්‍රභාකරන් අනපේක්ෂිත ආකාරයට පරාජයට පත් වන අවස්ථාවේ දී ඇමරිකන් නැවක් එවා ඔහු බේරාගන්නට තරම් කරුණාවක්ද ඔවුන්ට පහල විය. නමුත් රට තුළ යුද්ධ වාතාවරණය පහවී සාමය උදා වූ කල්හි යුධ අපරාධ චෝදනාවක් එල්ල කොට වෙනත් ආකාරයකින් ලංකාව පාලනය කර ගැනීමට උත්සාහ දැරීම නිසා අද ලක් රජයට මේ බූවල්ලා ගෙන් ගැලවීම විශාල අභියෝගයක් බවට පත්ව තිබේ.

ජනපතිවරණයක් අස්සේ මිලේනියම් චැලේන්ජ් වැඩ සටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි කර දීමට රනිල් වික‍්‍රමසිංහ පාලනය උත්සාහ දරා තිබේ. 2015 වසරේ මහින්ද රාජපක්ෂ රජය පරාජය කරලීමට ගත් උදව් නිසා වූ පොරොන්දු සමුච්චයෙන් තදබලම පොරොන්දුවට මෙලෙස අනුමැතිය දීම ඇමරිකාවේ ජයග‍්‍රහණයකි. ඔවුහු එහි සිට ප‍්‍රීතිය පළ කළේ එහෙයිනි. පාස්කු ප‍්‍රහාරය පිටුපස ඇමරිකාව සිටි ආකාරය ගැන තොරතුරු තහවුරු වෙමින් තිබෙන අතර එම ප‍්‍රහාරයෙන් පසු ඇතිවන ඝට්ටනයන් තුළ මෙම ගිවිසුම සහ සෝෆා ගිවිසුම් අත්සන් කර ගැනීමට සැලසුම් කර තිබූ බවද හෙළි වෙයි. නැගෙනහිර පළාතේ සිට බස්නාහිර පළාතට යා වෙන ප‍්‍රධාන මාර්ග නවීකරණය, කොළඹ නගරයේ වාහන තදබදය විසඳීම ආදී කරුණු සඳහා ඩොලර් මිලියන 350 ක් ද ඉඩම් රෙජිස්ටර් කිරීම, රජයේ හා පුද්ගලික ඉඩම් ප‍්‍රතිව්‍යුහගත කිරීම සහ ඉඩම් ප‍්‍රතිපත්ති සංශෝධනයට මිලියන 130 ක්ද වශයෙන් ඇමරිකාවෙන් ලබා දෙන මුදල් ප‍්‍රදානයන් ලබා ගැනීමට මෙලෙස අනුමැතිය ලබාදෙන අතර එම ගිවිසුමට අනුව සැකසූ ලංකාවේ භෞතික සැලසුම් ලියවිල්ල ආර්ථික සභාව මගින් අනුමත කර ගැනීම සිදුව තිබේ. මෙම ලියවිල්ල සම්පාදනයට මැදිහත් වන්නේ රජයේ ආයතනයක් වන භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවයි. ඔවුන් විසින් 2017 වසරේ නිකුත් කරන ලද මේ නව සැලසුම සහමුලින්ම මිලේනියම් චැලෙන්ජ් සැලසුමට සමපාත වන්නේ කෙලෙසකදැයි කල්පනා කොට බැලිය යුතුය.

විසිවන සියවස ආරම්භය සහ එහි ආර්ථික අභියෝග ජය ගැනීම ඇමරිකාවට ප‍්‍රශ්නයක් වන්නේ ඔවුන් ගේ අධි පරිභෝජනවාදි ආකල්පයන් නිසාය. මේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට නම් ලෝකයේ බොහෝ රටවල් සතු සම්පත්වල සාරය මුදල් කොට ලබා ගැනීම අනිවාර්ය වේ. දහනව වන සියවසේ දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ක‍්‍රියාකළ ආකාරයට යටත් විජිත ඇති කර ගැනීම එක් පියවරකි. එහෙත් එදා මෙන් අද එලෙස රටවල් යටත් කර ගැනීමට යම් යම් බාධා පවතී. එසේනම් ඊළඟ පියවර වන්නේ නොයෙකුත් රටවල පාලකයන් තමන් ගේ සේවකයන් බවට පත් කර ගෙන ඇමරිකන් සැලසුම් ඔවුන් ලවා කර ගැනීමයි. ඒ සඳහා හොඳම පාලකයා තේරීම සඳහා මුදල් පොම්ප කිරීම සිදු වේ. ලංකාවට නිදහස ලබා දීමෙන් පසු පැවැත් වූ මැතිවරණ සියල්ලේදීම මෙලෙස විදේශ මැදිහත් වීම් රාශියක් සිදු වූ බවට වාර්තා ඇත. 2015 දී සිදු වූයේ 2002 වසරේ දී අතර මග නැවතුණු ඇමරිකන් ව්‍යාපෘති ආරම්භ කිරීමට රනිල් වික‍්‍රමසිංහ මහතාට බලයක් ලබා දීමයි. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති වූ විගස බහුතර බලයක් නොමැති එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික‍්‍රමසිංහට අගමැතිකම ලැබෙන්නේ මේ සැලසුමේ ප‍්‍රධාන නියමුවා ඔහු බැවිනි. එදා 2002 වසරේ දී ‘රීගේනින් ශ‍්‍රී ලංකා’ නමින් සකස් කළ ගිවිසුම අනුව මේ රටේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද ලියවිල්ලේ මහ නගර රාශියක් ගැන දක්වා තිබිණ. එසේම ඒවා යා වෙන අධිවේගී මාර්ග ගුවන් තොටුපළවල් ආදිය මත මේ රටේ ඉඩම් ප‍්‍රතිපත්තීන් වෙනස් කිරීම ආර්ථිකය ප‍්‍රතිව්‍යුහගත කිරීම් ආදිය සිදු විය යුතු ආකාරය දක්වා තිබිණ. දැන් එහි දෙවන අදියර වශයෙන් ඉදිරියට පැමිණ තිබෙන මිලේනියම් චැලේන්ජ් ආයතනයේ ප‍්‍රධාන කාර්යාලය අරලිය ගහ මන්දිරයේ තබා ගනිමින් එම නිලධාරීන් දේශපාලනඥයන් වෙනුවෙන් සේවය කරන කල්හි ඔවුන්ට පඩි නඩි ගෙවීමද සිදු කර ඇත. එවැනි තත්ත්වයක් යටතේ විද්වතුන් 2000 ක් යොදවා ගෙන 2017 භෞතික සැලසුම සකස් කරන ලද්දේ යැයි චම්පික රණවක අමාත්‍යවරයා විසින් කරන ලද ප‍්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැකිය.

මේ රටේ ඉහළ නිලධාරි පන්තිය ස්වකීය ආත්ම ලාභය සඳහා ඕනෑම පාවා දීමක් කළ හැකි පිරිසක් ලෙසට සැලකිය හැකිය. ශිෂ්‍යත්ව, පිටරට සවාරි සහ සිය දරුවන් ගේ ඉගෙනීම සඳහා දක්වන සහයෝගිතාවය ආදිය හේතු කොට ගෙන විදේශිකයන්ට අවශ්‍ය සැලසුම් මෙහි සකස් කර දීමට ඔවුහු දායකත්වය සපයති. මෙරට අධ්‍යාපනය වෙනස් කර ඇමරිකාවට අවශ්‍ය ශිෂ්‍යයන් බිහි කරලීමට දැන් වර්ෂ ගණනාවක සිට මේ නිලධාරීන් දරන වෙහෙස අපමණය. කෙසේ වෙතත් මෙවැනි තත්වයක් යටතේ වුවත් මේ සැලසුම්වල අවිද්‍යාත්මක පැතිකඩ පෙන්වා දෙමින් රට වෙනුවෙන් අදහස් පළ කරන විද්වතුන්ද නැත්තේ නොවේ. නමුත් එම විද්වතුන් ගේ විරෝධයන් නොතකා හැරීමට මේ දේශපාලනඥයන් පෙළඹී සිටිති. හොඳම උදාහරණය මෙම භෞතික සැලසුමයි. භොතික සැලසුම සකස්කිරීමෙන් පසු විවිධ දෙපාර්තමේන්තු සහභාගි වන තාක්ෂණික ඇගැයීම කමිටුවකට ඉදිරිපත් කරවීම අනිවාර්ය වෙයි. එහෙත් මෙම සැලසුම සමාලෝචනය කරලීමට එම කමිටුව රැස්වී නොමැත. එසේම සැලසුමේ අවසන් අදියරේදී ජනාධිපතිවරයා ගේ මූලිකත්වයෙන් රැස්වන භෞතික සැලසුම් උපදේශක සභාවට එය ඉදිරිපත් කළ යුතුය. වර්තමාන භෞතික සැලසුම් අධ්‍යක්ෂ ජනරාල් වරයා හෝ අමාත්‍ය චම්පික රණවක එම පියවර ගෙන නොමැත. ඒ වෙනුවට රනිල් වික‍්‍රමසිංහ මූලිකත්වය ගන්නා ආර්ථික උපදේශක සභාවට එය ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන තිබෙන්නේ අදාළ මුදල් ප‍්‍රදානය ලබා ගැනීමට බව පැහැදිලි වෙයි. එසේම මේ වන තුරුම මේ සැලසුම් සහ ගිවිසුම් පිළිබඳ විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර භෞතික සැලසුම පමණක් ගැසට් කිරීමට පියවර ගෙන ඇත.

වර්ෂ 1840 දී ඉංග‍්‍රීසීන් විසින් ගෙනා අනවසර ඉඩම් ආඥාව මගින් මේ රටේ ඉඩම් ලක්ෂ ගණනාවක් කොල්ලකන ලදි. එසේම 1897 දී ගෙනා මුඩුබිම් පනත මගින් විහාරගම්, දේවාලගම් සතුව තිබූ ඉඩ කඩම් ද රාශියක් කොල්ල කෑමට පසුබිම සකස් කරන ලදි. 1931 සිට ඉඩම් නිරවුල් කිරීමට යැයි දක්වමින් ගෙනා අණ පනත් මගින් ජනයාගේ සහ විහාරස්ථානවල ඉඩම් කොල්ල කෑම මේ වන තෙක් නවත්වා නැත. බෞද්ධ විහාරගම් පනතට සංශෝධන ගෙන එමින් 2016 වසරේ දී පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණද එම ලියවිල්ලෙන්ද මේ රටේ විහාරගම් තුළ තිබෙන සැබෑ ප‍්‍රශ්නයට විසඳුම් ලබා දී නොමැත. එවැනි සංකීර්ණ ඉඩම් ප‍්‍රතිපත්තියක් රට තුළ පවතින අවස්ථාවක මෙම මිලේනියම් චැලේන්ජ් ගිවිසුම යටතේ රටේ සංවේදී හදබිම් රාශියක ඉඩම් ගැන තනි තීරණ ගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ඇති අයිතිය කුමක් දැයි ජනතාව විසින් ප‍්‍රශ්න කළ යුතුය. වෙසෙසින්ම දඹුල්ල රජ මහ විහාරයට අයත් ඉඩ කඩම් මෙම ගිවිසුමෙන් යෝජිත ආර්ථික කොරිඩෝවට යට වන බැවින් යළිත් විහාරගම් ඉඩම් කොල්ල කෑම නව වටයකින් ඉදිරියට පැමිණෙන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. එය නව මුඩු බිම් නීතියක මූලාරම්භයයි.

මෙම ගිවිසුමෙන් යෝජිත ඉඩම් ප‍්‍රතිසංස්කරණය යටතේ ඉඩමක අයිතිය වෙනුවෙන් දෙදෙනෙකුට එකවර අයිතිය පැවරීමට යෝජනා කෙරේ. එනම් ඉඩමක ඔප්පුව තුළ හිමිකම් දෙකක් ඇතුළත් වේ. මෙම යෝජනාව ඉතාමත් බරපතළය. ඒ තුළින් ඉඩම් භුක්තිය තුළ විශාල ආරවුලක් නිර්මාණය කෙරේ. ඉඩම් නඩු වලින් හෙම්බත්ව සිටින බහුතර ජනතාවක් සිටින රටක මෙවැනි යෝජනාවක් ක‍්‍රියාත්මක කිරීමෙන් විශාල ව්‍යසනයක් මතු වනු නිසැකය. එම නිසා මෙම ගිවිසුම ලංකාවේ ස්වාධිපත්‍යය නැති කිරීමට ගෙනා භයානක යෝජනාවක් ලෙසට සැලකිය හැකිය. විශේෂයෙන්ම මහා විහාරය ප‍්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙම ගිවිසුම ප‍්‍රශ්න කරමින් විරෝධය පළ කළ යුත්තේ එයින් බුද්ධාදී ප‍්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළ ඉඩම් රාශියක් අර්බුදයට ලක්වන බැවිනි. බලයේ රැඳී සිටීම වෙනුවෙන් ඕනෑම පාවා දීමක් කිරීමට සැරසෙන මොවුන් ජනාධිපතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් මෙරට ඇමරිකන් කොළනියක් වීම වළක්වනු බැරි වන අතර සිංහල ජාතියේ මෙන්ම සම්බුද්ධ ශාසනයේ ඉරණමද ඉන් තීරණය වන බව පැහැදිලිය. අද පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ මෙම ගිවිසුමෙහි ආදීනව පළ කරමින් උපවාසයක් ආරම්භ කොට යම් ජයග‍්‍රහණයක් ලබා ගෙන ඇත. උන්වහන්සේ ගේ අරමුණ මෙම ඉරණමෙන් රට දැය සමය ගලවා ගැනීමයි. එම අධිෂ්ඨානය තුළින් විදේශ බලවේගවල සහ ඔවුන් ගේ කුලී හේවායන්ගේ කි‍්‍රයාකාරකම් ඉදිරියේ දී ද අඩපණ කිරීමට හැකිවන බව නිසැකය.

– මතුගම සෙනෙවිරුවන්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *