ලංකාවේ ඉඩම් ප‍්‍රමාණයෙන් 1/5 ක් ඇමරිකාවට.. කෙස් කෙලින් කරනවන හෙලිදරවුව මෙන්න..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ලංකාවේ ඉඩම් ප‍්‍රමාණයෙන් 1/5 ක් ඇමරිකාවට.. කෙස් කෙලින් කරනවන හෙලිදරවුව මෙන්න.. (විඩියෝ)

• සජිත් පරදන්න රනිල් සුපිරි ගේමක.. සජිත්ට ඡන්ද ලක්‍ෂ 10ක් එකවර අහිමි කරවයි..

• ස්වාධීන රූපවාහිනියට දුන් නියෝගය පැය 48 ක් ඇතුළත මැ.කො. අත්හිටුවයි

• ගෝඨාට ඡන්දය දෙන්න විදේශගත ශ්‍රී ලාංකිකයන් දෙලක්ෂයක් මව් බිමට !

• හිරු සළකුණෙන්, දෙරණ 360 න් එඩිතර ‘පෑඩ් පුතාණෝ’ පැන දුවයි !

• කවුරු ජනපති වුවත් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතුයි, යුධ හමුදාපති ඉවත්කළ යුතුයි – ඇමරිකාව තම න්‍යාය පත්‍රය හෙළි කරයි

• ගෝඨාභය අත්අඩංගුවට ගන්න ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් කිහිපදෙනෙක් බලපෑම් කළා – විජේදාස රාජපක්ෂ (විඩියෝ)

• මන්ත්‍රී මහින්ද අමරවීරගෙන් චෝදනාවක් (විඩියෝ)

• ආර්ථික ප්‍රවනතාවන්ට සරිලන රැකියා ලබාදීමේ විශේෂ වැඩසටහනක් – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• රට පුරා ගෑස් හිඟය තවදුරටත් (විඩියෝ)

• මංගලගේ කප්පම් සිද්ධියක් ගැන, සිංහලේ සංවිධානය හෙළිදරව්වකට සැරසේ (විඩියෝ)

• අභිමානවත් දේශයක් සඳහා කැපවන බව ගෝඨාභය කියයි (විඩියෝ)

• කසළ තේ කිලෝග්‍රෑම් 4745 ක් සමඟ තුන්දෙනෙකු නුවරඑළියේදී අත්අඩංගුවට

• අක්ෂි රෝගයක් දිවයින පුරා පැතිර යාමේ අවදානමක්

• සමාජ මාධ්‍ය හරහා තරුණියන් ජාවාරම් කළ අයෙකු කටුනායකදී කොටු වෙයි

• දෙහිවල ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ සිය දෙනෙකු අත්අඩංගුවට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ ඉඩම් ප‍්‍රමාණයෙන් 1/5 ක් ඇමරිකාවට.. කෙස් කෙලින් කරනවන හෙලිදරවුව මෙන්න..

(04.11.2019 – 03:24 +0530 – lankacnews.com)

ඇමෙරිකාව සමග අත්සන් තැබීමට සැරසෙන ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම’ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ‘ජාතික ආර්ථික සභාව’ ඉදිරිපත් කළ නිරීක්‍ෂණ උපුටා දක්වමින් එම ගිවිසුම ශ‍්‍රී ලංකාවටත් එහි ජනතාවටත් ඉතාමත් හානිකර බව ඔප්පු කර පෙන්වීමට ජානිපෙ නායක විමල් වීරවංශ මහතා කටයුතු කළේය.

පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙන් ශ‍්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ කරුණු ඉදිරිපත් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා :

“ඉන්දියානු සාගර කලාපයේ වැදගත්කම හේතුවෙන් ඇමෙරිකානු 7 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණිය එම කලාපයේ බලය ව්‍යාප්ත කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ඔබ දන්නවා. එහිදී ඔවුන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම ඉතා වැදගත්. ඒ සඳහා ඔවුන් ඇක්සා, සෝෆා හා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යන ගිවිසුම් ත‍්‍රිත්වය යොදා ගන්නවා. ඇක්සා ගිවිසුම දැනටමත් අත්සන් කර තිබුණත් සෝෆා හා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම්වලට තවමත් අත්සන් තබා නැහැ. ඇක්සා සහ සෝෆා ගිවිසුම්වලින් ඇමෙරිකාව බලාපොරාත්තු වන්නේ ශ‍්‍රී ලංකාව තුළට මිලිටරිමය වශයෙන් ඇතුළු වී මිලිටරිමය ලෙස ක‍්‍රියාතේමක වීමයි. ඊට අදාළ ප‍්‍රතිපාදන එම ගිවිසුම්වල අඩංගුයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමින් ඔවුන් බලාපොරොත්තු වන්නේ අප රට දේශපාලනමය හා ආර්ථිකමය වශයෙන් හසුරුවා ගැනීමට අවශ්‍ය ඉඩකඩ හදා ගැනීම. අපේ රටේ ජනතාවට, විශේෂයෙන් ග‍්‍රාමීය ජනතාවට ඉඩම තරම් සංවේදී දෙයක් තවත් නැහැ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමින් ඔවුන් ප‍්‍රධාන අංශ තුනක් ගැන කතා කරනවා. එකක් අපේ රටේ ඉඩම් නීති වෙනස් කරලා, ඉඩම් වෙළෙඳපොළ ශක්තිමත් තත්ත්වයකට පත් කරන ආකාරය. දෙවැන්න යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ කරුණු. තුන්වැන්න ඔවුන්ගේ නීතියට, උවමනාවන්ට අනුව, සකසන විශේෂ ආර්ථික කලාප පිළිබඳ කරුණු.

‘ගිවිසුම ඇසුරෙන් පාර්ලිමේන්තු පනතක් …’

මගේ අතේ තිබෙනවා, ජනාධිපතිවරයා යටතේ පවතින මහාචාර්ය ලලිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වන ජාතික ආර්ථික සභාව විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ කැබිනට් මණ්ඩලයට ලබා දී ඇති නිරීක්‍ෂණ ඇතුළත් වාර්තාව. (මාධ්‍යයට පෙන්වයි). මේ නිරීක්‍ෂණවලින් පෙන්වා දෙනවා මේ ගිවිසුම අත්සන් කළාට පසු එය පාර්ලිමේන්තුවේ පනතක් ලෙස සම්මත කරන බව. මීට කලින් ශ‍්‍රී ලංකාවට ආධාර මුදල් ලබා දුන් කිසිම රටක් ඊට අදාළව පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරවා ගෙන නැහැ. නමුත් මෙහිදී එවැන්නක් සිදු කරන්නේ ඇයි? කියන ප‍්‍රශ්නය මතු වෙනවා. එම ක‍්‍රියාවලියට නීතිමය රාමුවක් හදා දීම, එම ක‍්‍රියාවලිය ලංකාවේ නීතියේම කොටසක් බවට පත් කිරීම මෙහිදී සිදු වෙනවා. ඒ වගේම ඉඩම් පිළිබඳ ඒ අයගේ උනන්දුව, ඉඩම් කැබලි පිළිබඳ සිතියමක් සැකසීම, රජයේ ඉඩම් ලේඛනයක් නිරිමාණය, ඔප්පු ලියාපදිංචිය වැඩි දියුණු කිරීම, ඉඩම් තක්සේරු කරන පද්ධතිය වැඩි දියුණු කිරීම ආදී වශයෙන් මෙම නිරීක්‍ෂණ වාර්තාව පෙන්වා දෙනවා.

‘පර්චසයක් රුපියල් 180.10 ක සොච්චමකට’

ඇමෙරිකා එක්සත් ජනපදය රුපියල්වලින් ගතහොත් බිලියන 85 ක්, ඩොලර්වලින් ගතහොත් මිලියන 480 ක් තමයි ආධාර වශයෙන් ලබා දීමට සූදානම් වන්නේ. එකවර නොවෙයි කොටස් වශයෙන් තමා මෙම මුදල් ලබා දෙන්නේ. අපි දැනටමත් දන්නවා, මෙම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ සැකසෙන කොළඹ වරායේ සිට ත‍්‍රිකුණාමල වරාය දක්වා දිවෙන විශේෂ ආර්ථික කලාපයට ඉඩම් අක්කර ලක්‍ෂ 12 ක් අයත් වන බව. නමුත් මෙම ගිවිසුම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයට පවරා දෙන ඉඩම් ප‍්‍රමාණය ඊට වඩා බොහොම වැඩියි. එය ලංකාවේ සමස්ත ඉඩම් ප‍්‍රමාණයෙන් 18.2% ක් හෙවත් අක්කර 29,65,264 ක්. ඒ අක්කර ප‍්‍රමාණයට ඇමෙරිකාවෙන් ලැබෙන්නේ රුපියල් බිලියන 85 යි. එවිට ඒ අය අපේ ඉඩම් අක්කරයකට ගෙවන්නේ කීයද? රුපියල් 29,137 ක් පමණයි. එවිට එයාලා අපේ පර්චසයක් ගන්නේ කීයට ද? රුපියල් 180.10 ක සොච්චමකට. මේක ආධාර ලබා දීමක් ද? ජාතික ආර්ථික සභාවේ නිරීක්‍ෂණ තමා මේ මම උපුටා දක්වන්නේ. තවදුරටත් එහි සඳහන් වෙනවා, මේ ගිවිසුම ලංකාවේ නීතියට ඇතුළත් කිරීමට හදන පනතේ 7.1 වගන්තියෙහි සඳහන් කරුණක්. ඒ තමයි ‘මෙම ගිවිසුමට අදාළ කරුණක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ආරවුලක් ඇති වුවහොත් එය ජාත්‍යන්තර නීතියට අනුව විසඳාගත යුතුය’ යන්න. මේ දෙන්නේ ආධාරයක් නම් ඇයි මේ ජාත්‍යන්තර නීතිය පටලවලා කොන්දේසි දමන්නේ?

‘අවසන් කිරීමේ සහ අත්හිටුවීමේ වගන්ති’

ගිවිසුමෙහි ‘අවසන් කිරීමේ සහ අත්හිටුවීමේ වගන්ති’ පිළිබඳව ජාතික ආර්ථික සභාව සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ මෙසේයි. ‘දින 30 කට පෙර දැනුම් දීමෙන් මෙම ගිවිසුමෙන් ඉවත් වීමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයට හැකියාව තිබේ’ යන්න එහි සඳහන්. එහෙත් එසේ ඉවත්වීමට ශ‍්‍රී ලංකා රජයට හැකියාව නැහැ. ඉවත්වීමට හේතු වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ ‘දේශපාලන වශයෙන් මේ රාජ්‍යය පාලනය කරන’ කාරණයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය යම් රටකට ආධාර දෙන විට නිර්ණායක 20 ක් සලකා බලන බවත් ලංකාව ඉන් 13 ක් සපුරා ඇති නිසා මේ ආධාරය අනුමත වී ඇති බවත් ඔවුන් කියනවා.

මේ බලන්න, මේ නිර්ණායක කොතරම් බරපතළ ද කියා. එකක් තමයි ‘ආර්ථික නිදහස’. ඒ යටතේ ඔවුන් බලාපොරොත්තු වන දේවල් බලන්න. ‘රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිය, උද්ධමනය, නියාමන ගුණාත්මකභාවය, වෙළඳ ප‍්‍රතිපත්තිය, ආර්ථිකය තුළ ස්ත‍්‍රී/පුරුෂ දායකත්වය, ඉඩම් අයිතිය හා ප‍්‍රවේශය, ව්‍යාපාර ආරම්භ කිරීම’ එහි සඳහන්. ආධාර මුදලක් දෙන්න මේ වගේ දේවල් බලාපොරොත්තු වන්නේ ඇයි? මේ සියල්ල මේ රටේ ජනතාවයි තීරණය කළ යුත්තේ. මේ කිසිවක හෝ අඩුපාඩුවක් පෙන්වා ඔවුන්ට අයින් වෙන්න පුළුවන්. තවත් නිර්ණායක 06 ක් තිබෙනවා. සිවිල් නිදහස, දේශපාලන අයිතිවාසිකම්, දූෂණය පාලනය කිරීම, රජයේ කාර්යක්‍ෂමතාව, නීතියේ ආධිපත්‍යය සහ තොරතුරු දැන ගැනීමේ නිදහස’ යනුවෙන් දේශපාලන අයිතිවාසිකම් යටතේ ඔවුන් කියාවි ‘මේ රට ෆෙඩරල් කරලා නැහැනේ’ කියා. මේක බරපතළ තත්වයක්. මෙමගින් ශ‍්‍රී ලංකාවේ දේශපාලන රාමුව තීරණය කිරීමේ ශක්තිය ඔවුන් අනියමින් ලබා ගන්නවා. ඒ වගේම සෞඛ්‍ය සඳහා වියදම්, ප‍්‍රාථමික අධ්‍යාපන වියදම්, ප‍්‍රතිශක්තිකරණ අනුපාතය, ගැහැණු ළමයින්ගේ ද්වීතික අධ්‍යාපන අනුපාතය හා ළමා සෞඛ්‍යය යන ඒවාත් ඒ අය ඉදිරිපත් කළ නිර්ණායක 20 අතර වෙනවා.

‘ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වුණොත්…’

ඇමෙරිකාව ගිවිසුමෙන් ඉවත් වුණොත් මොකද වෙන්නේ? මෙන්න ඒ පිළිබඳ ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණයන්. ‘වත්කම් ආපසු පවරාදීම හෝ ගෙවීම : කම්පැක්ට් ගිවිසුම කලින් අවසන් කරන ලද අවස්ථාවකදී වැඩසටහනේ වත්කම් ආපසු පවරා දීමට හෝ ඒවා සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙවීමට හෝ සිදු වනු ඇත.’ අපට ආධාර මුදලක්, පිනට යමක් දෙන්න ආවා නම් ආපසු පවරා ගන්න දෙයක් නැහැනේ. බලන්න, ‘වැඩසටහන අවසන් වූ විට බෙදාහැරිය හැකි තත්වයේ ඇති වත්කම් එම්සීසී වෙත පැවරීමට සහ බෙදාහැරීය නොහැකි තත්වයක ඇති වත්කම්වල සාධාරණ වෙළඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර්වලින් ආපසු ගෙවීමට ශ‍්‍රී ලංකාවට සිදුවෙයි.’ යනුවෙන් ද ඉහත නිරීක්ෂණයන්හි සඳහන්. මේක ආධාර මුදලක් නම් මෙහෙම ඉල්ලන්න විදියක් නැහැනේ. මෙන්න ‘ජාතික ආර්ථික සභාව’ මේ පිළිබඳ ලබා දෙන වැදගත්ම නිරීක්‍ෂණය. ‘මෙය ද ප‍්‍රධාන ගිවිසුම්වල නොමැති අසාමාන්‍ය හානිකර වගන්තියකි. රටේ සංවර්ධනය සහ දුප්පත්කම තුරන් කිරීම සඳහා මෙම ප‍්‍රදානය සද්භාවයෙන් යුතුව ලබාදෙන්නේනම් එක්සත් ජනපදයට එවැනි වත්කම් හුවමාරුවක් සහ ආපසු ගෙවීමක් අවශ්‍යය වන්නේ ඇයි? මෙය ශ‍්‍රී ලංකාවට ඍණාත්මක දේශපාලන හා ආර්ථික ප‍්‍රතිවිපාක සමඟ කටයුතු කිරීමට පමණක් නොව වත්කම් ආපසු ලබා දීමට සහ භෞතිකව එක්සත් ජනපදයට ආපසු ලබා දිය නොහැකි වත්කම්වල වෙළඳපොළ වටිනාකම ආපසු ගෙවීම සඳහා විදේශ මුදල් සොයා ගැනීමට ද සිදුවනු ඇත. තවද ශ‍්‍රී ලංකාවට වත්කම් ආපසු ගෙවීමට නොහැකි වන්නේ නම් එය විදේශීය මුදල් ගෙවීම පැහැර හැරීමක් ලෙස ද සැලකිය හැකි අතර එවැනි සිදුවීමක් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සහ විදේශ ආයෝජන අඩු කිරීමට හේතූන් විය හැකිය.’ මේක උගුලක්. මේ කරන්න හදන්නේ තමන්ට නටවන්න බැරි පාලනයක් ආවොත් මේ ගිවිසුමට හිර කරන්න හැදීමයි. එහෙම හිර කරලාත් ඔවුන් නටවන්න බැරිනම් ඇමරිකාව මේ ගිවිසුමෙන් ඉවත් වෙනවා. එහෙම අයින් වුණු ගමන් අපි ඉහත කී වත්කම් ගෙවන්න ඕනෙ. අපි එවිට ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටෙනවා. මූල්‍ය අරමුදල, ලෝක බැංකුව අපට ණය දීම නතර කරනවා. ණය වෙළෙඳ පොළට ගොස් ණය ගන්න බැරි තත්වෙකට රටේ ආර්ථිකය කඩා වැටෙනවා.

‘අහිංසක සංවර්ධන ව්‍යාපෘතියක් නොවේ’

ඒ නිසා මේක අහිංසක සංවර්ධන ව්‍යාපෘතියක් විදියට පෙනුණාට එය පිටුපස ඇත්තේ දේශපාලන හා ආර්ථික වටලෑමක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික හා දේශපාලන උගුලකට ශ්‍රී ලංකාව ගොදුරු කර ගැනීමක්. මේක අවුරුදු 5 කට ලබාදෙන අහිංසක ප‍්‍රදානයක් නම් මොකටද පනතක්? මොකටද ඒ පනත යටතේ සමාගමක්? මම දිගින් දිගටම පෙන්වා දුන්නා මේ එම්.සී.සී. ගිවිසුමෙන් අපේ ඉඩම්වලට වන දේ. අපේ කෘෂිකාර්මික ප‍්‍රදේශ මෙතෙක් කලක් රැකිලා තිබුණේ, ‘ඉඩම්, වගාව, ආදායම සහ යටිතල පහසුකම්’ යන සියල්ල ගොවියාට තිබුණ නිසයි. මේ ඉඩම් වෙළෙඳපොළ සක‍්‍රීය කෙරෙන ඇමෙරිකානු උගුල හේතුවෙන් ගොවීන් ඉඩම් විකිණීමට පෙළඹෙනවා. විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. ඇමරිකානු විශේෂ ආර්ථික කොරිඩෝවට, ත‍්‍රිකුණාමලයේ ආයෝජන කලාපයට ඉඩම් පවරා ගැනෙනකොට මේ රටේ ගොවි ජනතාවගේ ඉඩම් ද ඊට අයත් කර ගැනීම මේ ගිවිසුම හරහා සිදුවීම අනිවාර්යක්. මේ උගුලට අපි පය තැබුවොත් මේ රටේ ඉඩම් අහිමි, අවතැන් වූ විශාල පිරිසක් නිර්මාණය වීම වළක්වන්න බැහැ.

‘ඩී.එස්. – ගාමිණි ප‍්‍රතිපත්තිවලට එරෙහිව යාම’

ඩී.එස්. සේනානායක මහතාගේ ගොවි ජනපද පිහිටුවීමේ සහ ගාමිණි දිසානායක මහතාගේ මහවැලි ජනපද පිහිටුවීමේ ප‍්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම පටහැනි ප‍්‍රතිපත්තියක සිටයි අද රනිල් වික‍්‍රමසිංහ සහ සජිත් පේ‍්‍රමදාස යන එජාප නායකයන් කටයුතු කරන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදය ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම්, සමාජ වටිනාකම්’ ලෝකයටම උගන්වමින් යනවානේ. ඒත් ඇයි මේ රටේ ප‍්‍රධානතම මැතිවරණයක් තිබියදී, පණ අදින ආණ්ඩුවක අත කරකවලා මේ ගිවිසුම අත්සන් කර ගැනීමට දඟලන්නේ? මේ හොඳ දෙයක් නම්, යුක්තිසහගත දෙයක් නම් නොවැම්බර් 16 වැනිදායින් පසු බලයට පත්වන ආණ්ඩුවකින් ඒ දෙය කරවාගත හැකියිනේ.

‘හොර රහසේම අත්සන් තැබීමට…’

මංගල සමරවීර ඇමතිවරයා, මේ ගිවිසුම අරලියගහ මන්දිරයේදී අත්සන් කිරීමට සියලු කටයුතු යොදා තිබුණා. නමුත් අදාළ මොහොතේ ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බවට වන වාර්තාව ගෙන්වා ගැනීමට හැකි වුණේ නැහැ. මේ පිළිබඳව අපි ජනාධිපතිතුමන් හමු වී ප‍්‍රශ්න කළාම එතුමා පැවසුවේ ‘කැබිනට් අනුමැතිය ලැබුණේ නොවැම්බර් 16 වැනිදායින් පසුව මේ ගිවිසුමට අත්සන් තැබීමට’ කියලයි. එහෙමනම් කොහොමද දැන් මේ අත්සන් කරන්න හදන්නේ?

‘ව්‍යාපෘති අධ්‍යක්‍ෂ – නියෝජ්‍ය අධ්‍යක්‍ෂ’ පවුල් පිටින් ලංකාවේ…’

මේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දැන් පවුල් පිටින් ඇවිත් ශ‍්‍රී ලංකාවේ පදිංචි වී සිටිනවා. ඔවුනගේ දරුවන් මේ රටේ පාසල්වලට ඇතුළත් කරලා. මේක ස්ථිරව කෙරෙන දෙයක් බව ඔවුනට විශ්වාස නිසයි එහෙම කර ඇත්තේ. මේ ආණ්ඩුව සහ ඇමෙරිකාව අතර එකඟතාව ද කෙසේ හෝ මේ ගිවිසුම අත්සන් තැබීමයි. මේක ‘ඉන්දියානු සාගර කලාපයේ ඔටුන්න : ශ‍්‍රී ලංකාව’ ඔවුන්ගේ ආධිපත්‍යයට නතුකර ගැනීමේ උගුලක්. මේ ආකාරයට ඇමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කළ රටවල් අද පත්ව ඇති තත්වය බලන්න. තමන්ට නටවන්න පුළුවන් ආණ්ඩුවක් සමඟ මේ ගිවිසුම් අත්සන් කර පසුව තමන්ට නටවන්න බැරි ආණ්ඩුවක් ආවාම ගිවිසුමෙන් ඉවත්වීම ඇමෙරිකානු පිළිවෙත වී තිබෙනවා. එහෙම වෙලා අමාරුවේ වැටුණු රටවල් පිළිබඳව ද ‘ජාතික ආර්ථික සභාව’ අමාත්‍ය මණ්ඩලයට සිය නිරීක්‍ෂණ මගින් පෙන්වා දී තිබෙනවා. ණය ශ්‍රේණිගත කිරීම් ඇතුළු බොහෝ සමාජ – ආර්ථික දර්ශකවලින් පහළ වැටීමට මේ ගිවිසුම් නිසා ඒ රටවලට සිදුව තිබෙනවා. නයිජිරියාව, යේමනය, ගැම්බියාව, ටැන්සානියාව, නිකරගුවාව, හොන්ඩුරාස්, මැඩගස්කරය, ආමේනියාව, මලාවි ඒ රටවල් අතර වෙනවා. අපි රටක් ලෙස මේ උගුලෙන් මිදීමට කටයුතු කළ යුතුයි.”

සංවිධානයේ ප‍්‍රධාන අනුශාසක මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, කැඳවුම්කරු ජනාධිපති නීතිඳ මයුර ගුණවංශ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා, හිටපු මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

04-11-2019

+++++++++++++++++++++

04-11-2019

+++++++++++++++++++++

03-11-2019

+++++++++++++++++++++

04-11-2019

+++++++++++++++++++++

04-11-2019

+++++++++++++++++++++++++++++++++++

සජිත් පරදන්න රනිල් සුපිරි ගේමක.. සජිත්ට ඡන්ද ලක්‍ෂ 10ක් එකවර අහිමි කරවයි..

(03.11.2019 – 22:12 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරණයක් ආසන්නයේදී ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ දේශපාලන උපක්‍රමයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

එමගින් එක්සත් ජාතික පක්ෂයට දැඩි විරෝධයක් ඇති වූ බවත් අවසානයේ එය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණයේදී ප‍්‍රකාශ වනු ඇති බවත් මන්ත‍්‍රීවරයා කීය.

අගමැතිවරයාගේ මෙම කටයුත්ත නිසාම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලක්ෂ දහයක පමණ ප්‍රමාණයක් අහිමි ව පොහොට්ටුවට එක්වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

අද වනවිට සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමේදී වැඩි උවමනාව ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බවද ඔහු සඳහන් කළේය.

මිලේනියම් ගිවිසුම ඉදිරිපත් කළ ආණ්ඩුව අප්‍රසාදයට පත් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට එරෙහි ඡන්ද වැඩි කිරීමට බවත් ඔහු තවදුරටත් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී ෴

***************************************

ස්වාධීන රූපවාහිනියට දුන් නියෝගය පැය 48 ක් ඇතුළත මැ.කො. අත්හිටුවයි

(04.11.2019 – 05:00 +0530 – lankanewsweb.net)

ජනාධිපතිවරණය නිමා වන තෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන සම්මුඛ සාකච්ඡා යනාදිය අත්හිටුවන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කළ නියෝගයක් සභාපතිවරයා විසින්ම ඊයේ (3 වැනිදා) ඉවත් කර ඇත.

අද (4 වැනිදා) දින සිට දේශපාලනමය වැඩසටහන් සජීවීව විකාශය කිරීම අත්හිටුවමින් මැතිවරණ කොමිෂන් සභාව පසුගිය සිකුරාදා නියෝගයක් ලබාදී තිබිණි. එම නියෝගය පැය 48 කින් ඉවත් කළද මාධ්‍ය උපමානවලට අනුකූලව කටයුතු කරන ලෙස කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ස්වාධීන රූපවාහිනි සේවයට දැනුම් දී ඇත.

හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත බණ්ඩාර පසුගිය මස 30 වැනිදා සහභාගි වූ වැඩසටහනකින් ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් වූ බව ප්‍රකාශ කරමින් නියෝගය නිකුත් කර තිබූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. විශේෂයෙන්ම එක් රූපවාහිනී නාළිකාවකට පමණක් මෙවැනි නියමයක් නිකුත් කිරීම හේතුවෙන් වෙනස්ව සැලකීමක් වන බවට ඉදිරිපත් වූ නියෝජනය සලකා බලා, ලබාදුන් නියෝගය අත්හිටු වූ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි ෴

***************************************

ගෝඨාට ඡන්දය දෙන්න විදේශගත ශ්‍රී ලාංකිකයන් දෙලක්ෂයක් මව් බිමට !

(03.11.2019 – colombotoday.com)

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ අසූ දහසක් දිවයිනට පැමිණීමට එකඟත්වය පළකර ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ සම්බන්ධීකරණ කටයුතු කරන මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ජනාධිපතිවරණයට පෙර ලක්ෂ දෙකක ලාංකිකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බවයි.

වැඩිම පිරිසක් මැදපෙරදිගින් පැමිණෙන අතර, ඉතාලිය හා ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බ්‍රිතාන්‍යය ආදී රටවල රැකියාවල නියුතු හා පදිංචි ලාංකිකයන් මෙසේ පැමිණීමට එකඟත්වය පළකර ඇත. මැදපෙරදිගින් හා ඉතාලියෙන් වෙනම ගුවන් යානා වෙන් කරගෙන ශ්‍රී ලාංකිකයන් පැමිණීමට නියමිත බවද ජයසුමන මහතා පැවසීය ෴

***************************************

හිරු සළකුණෙන්, දෙරණ 360 න් එඩිතර ‘පෑඩ් පුතාණෝ’ පැන දුවයි !

(03.11.2019 – colombotoday.com ඇසුරෙන්)

හිරු රූපවාහිනියේ ‘සලකුණ‘ සංවාදය සදහා සහභාගීවන ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට කල ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබේ.

එම සංවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා මුලින් අකැමැත්තක් නොපෙන්වුවද මේ වන විට එම සංවාදයට නොපැමිණෙන බව දන්වා ඇත.

මීට පෙර ද ඇමතිවරයා දෙරණ නාලිකාවේ ‘360’ වැඩසටහනට සහභාගී වීමට කල ආරාධනය ද ප්‍රතික්ෂේප කර තිබිණි.

තමන් ජනතාව වෙනුවෙන් එඩිතරව ඕනෑම තැනක ඕනෑම අයෙකු සමග වාද කිරීමට ඉදිරිපත් වන බව ප්‍රේමදාස මහතා මැතිවරණ වේදිකාවේදී පවසයි ෴

***************************************

කවුරු ජනපති වුවත් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතුයි, යුධ හමුදාපති ඉවත්කළ යුතුයි – ඇමරිකාව තම න්‍යාය පත්‍රය හෙළි කරයි

(03.11.2019 – colombotoday.com)

ඉදිරි ජනාධිපතිවරණයෙන් කුමන අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කළ ද ඔහු ඇමරිකාවේ මානව හිමිකම් න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කළ යුතු බවට ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කරන බව දකුණු ආසියානු කලාපය භාර ඇමරිකානු සහකාර ලේකම් ඇලික් වේල්ස් මහත්මිය සඳහන් කර ඇත.

ඇමරිකානු මානව හිමිකම් න්‍යායපත‍්‍රයට අනුව හමුදාපති ධුරයෙන් ලූතිනන් ජනරාල් ශවේන්‍ද්‍ර සිල්වා ඉවත් කිරීම, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම, චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විශ්වසනීය අධිකරණ යාන්ත‍්‍රණයක් ඇතිකිරීම සහ සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට නව ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි ද වේල්ස් මහත්මිය ප‍්‍රකාශ කර තිබේ.

ඇය මෙම කරුණු දක්වා ඇත්තේ ඇමෙරිකානු විදේශ සබඳතා කමිටුව හමුවේය.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියකු වන රොබට් වෙස්ට්රෝ මහතා ද විදේශ සබඳතා කමිටුවේ හමුවේ ප‍්‍රකාශකර ඇත්තේ ශ‍්‍රී ලංකා රජය යුද හමුදාපති ධුරයට ශවේන්‍ද්‍ර සිල්වා පත් කිරීම මගින් ජිනීවා මානව හිමිකම් යෝජනාව උල්ලංඝනය කර ඇති බවය.

දිවයින – කීර්ති වර්ණකුලසූරිය

***************************************

ගෝඨාභය අත්අඩංගුවට ගන්න ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් කිහිපදෙනෙක් බලපෑම් කළා – විජේදාස රාජපක්ෂ

(03.11.2019 – 21:54 +0530 – hirunews.lk/sinhala)

අද (03) හාඩ්ටෝක් විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගෙන්.

***************************************

මන්ත්‍රී මහින්ද අමරවීරගෙන් චෝදනාවක්

(03.11.2019 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමට යැයි කණ්ඩායම් සාදාගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමග සබඳතා පවත්වන්නන් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔවුන් මේ අදහස් පළ කළේ අඟුණුකොළපැලැස්ස ප්‍ර දේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

***************************************

ආර්ථික ප්‍රවනතාවන්ට සරිලන රැකියා ලබාදීමේ විශේෂ වැඩසටහනක් – ගෝඨාභය රාජපක්ෂ

(03.11.2019 – 20:05 +0530 – hirunews.lk/sinhala)

ලෝක ආර්ථික ප්‍රවණතාවයන්ට ගැලපෙන රැකියා අවස්ථා තරුණයින්ට ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, පානදුර ප්‍රදේශයේ අද (03) පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර, දෙමටගොඩ ප්‍රදේශයේ ඊයේ (02) පැවති පොදුජන පෙරමුණේ ජන හමුවකට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මුණුබුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා එක්ව සිටියා.

***************************************

රට පුරා ගෑස් හිඟය තවදුරටත්

(03.11.2019 – 19:07 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් වෙළදපොළෙහි ගෑස් ඇති බවට දැනුම් දුන්න ද ගෑස් හිඟව ඇති බවට පාරිභෝගිකයින් තවදුරටත් චෝදනා කරනවා.

විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, සහ කළුතර යන දිස්ත්‍රික්කවල අද දිනයේදීත් (03) ගෑස් ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින් පෝලිම්වල සිටි බවටයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

පාරිභෝගික සේවා අධිකාරිය මීට පෙර දැනුම් දුන්නේ සති අන්තය වන විට ගෑස් බෙදා හැරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, තවමත් නිසි පරිදි වෙළදපොළේ ගෑස් නොමැති බවටයි ගෑස් ලබා ගැනීම සඳහා වෙළදසැල් වෙත පැමිණි පාරිභෝගිකයින් කියා සිටියා.

***************************************

මංගලගේ කප්පම් සිද්ධියක් ගැන, සිංහලේ සංවිධානය හෙළිදරව්වකට සැරසේ

(03.11.2019 – 19:01 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ කප්පම්කරුවන් යොදා ගනිමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කප්පම් ලබා ගත් ආකාරය පිළිබදව තවත් දින කිහිපයකින් හෙළිදරව් කරන බව සිංහලේ ජාතික සංවිධානය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් :

***************************************

අභිමානවත් දේශයක් සඳහා කැපවන බව ගෝඨාභය කියයි

(03.11.2019 – 12:48 +0530 – hirunews.lk/sinhala)

සුරක්ෂිත රටක්, අභිමානවත් දේශයක් සඳහා ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ වත්තල ප්‍රදේශයේ ඊයේ (03) පැවති ජන රැළියකට එක්වෙමින්.

මෙහිදි ජනතාවගෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

මේ අතර කිරිඳිවැල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පළකළා.

***************************************

කසළ තේ කිලෝග්‍රෑම් 4745 ක් සමඟ තුන්දෙනෙකු නුවරඑළියේදී අත්අඩංගුවට

(03.11.2019 – 09:16 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකා – නුවරඑලිය කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීම් තුනකදී කසළ තේ කිලෝග්‍රෑම් 4745 ක් සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නුවරඑලිය – අන්ඩර්බෑන්ක් ප්‍රදේශයේදී කසල තේ කිලෝග්‍රෑම් 1600 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නුවරඑලිය – බඹරකැලේවත්ත ප්‍රදේශයේදී කසල තේ කිලෝග්‍රෑම් 400 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය නිවේදනය කළේ.

අනෙක් පුද්ගලයා කසල තේ කිලෝග්‍රෑම් 2745 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑලිය – ශාන්තිපුර ප්‍රදේශයෙන්. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කසල තේ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත භාරදී තිබෙනවා ෴

***************************************

අක්ෂි රෝගයක් දිවයින පුරා පැතිර යාමේ අවදානමක්

(03.11.2019 – 08:02 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ ප්‍රදේශවල පැතිර යන අක්ෂි රෝගයක් පිළිබඳව මේ දිනවල වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ අවදානම සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.

ඇස් රතුවීම, කබ ගැලීම සහ ඇස්වල වේදනාවක් හට ගැනීම එහි රෝග ලක්ෂණ වන අතර, එවැනි තත්ත්වයක් පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

සමාජ මාධ්‍ය හරහා තරුණියන් ජාවාරම් කළ අයෙකු කටුනායකදී කොටු වෙයි

(03.11.2019 – 07:41 +0530 – hirunews.lk/sinhala)

චීනයේ ක්‍රියාත්මක වන වී – චැට් සමාජ ජාලය හරහා දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් ජාවාරම් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

28 හැවිරිදි මොහු පෙරේදා සවස 2.45 ට පමණ අබුඩාබි නුවර සිට පැමිණි ඊ වයි 264 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබුණා.

පසුව, අදාළ පුද්ගලයා පිළිබඳව ඇති වූ සැකය මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ඔහු පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, එහිදී ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ දත්තවලට අනුව අදාළ තොරතුරු අනාවරණ වූ බවයි විගමන දෙපාර්තමේන්තු නිලධාරින් සඳහන් කළේ.

මොහු කාන්තාවක් ලෙස පෙනී සිටිමින් කලක සිට වී – චැට් සමාජ ජාලය ඔස්සේ දකුණු ආසියාතික රටවල තරුණියන් චීනයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් රවටා චීනයට රැගෙන ගොස් මිනිස් ජාවාරමේ නිරතවන බවට අනාවරණ වී තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ද වී-චැට් නමැති සමාජ ජාලය ඔස්සේ හඳුනා ගත් මෙරට තරුණියන් පිරිසක් චීනයට රැගෙන යාමටයි.

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ගෘහ සේවිකාවන් අලෙවි කළ හාම් පුතුන් සොයා කුවේට බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා ෴

***************************************

දෙහිවල ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ සිය දෙනෙකු අත්අඩංගුවට

(03.11.2019 – 07:23 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල වෙරළ තීරයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් සිය දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 17 දෙනෙකුද සිටින බව සඳහන්.

පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (02) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබූ කේරල ගංජා, මත් මුද්දර සහ නීතිවිරෝධී මත්වැටි සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ෆේස්බුක් සාදයට සහභාගිවූ මොවුන් අම්බලන්ගොඩ, කළුතර, කුරුණෑගල සහ පොලොන්නරුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 18 ත්, 48 ත් අතර වයස් සීමාවේ පසුවන්නන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *