එජාප පාලන සමයන් තුළ මෙරට ආරක්ෂාවට දැඩි බලපෑමක් – අද්මිරාල් මොහාන් විජේවික්‍රම

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• එජාප පාලන සමයන් තුළ මෙරට ආරක්ෂාවට දැඩි බලපෑමක් – අද්මිරාල් මොහාන් විජේවික්‍රම (විඩියෝ)

• ජනතාවගේ අනාගත සාර්ථකත්වයට නව වැඩපිළිවෙලක් තමන් සතු බව ගෝඨාභය කියයි (විඩියෝ)

• ජාතික හෙළ උරුමය දෙදරයි – විකල්ප කණ්ඩායමේ සහය ගෝඨාභයට (විඩියෝ)

• මාධ්‍ය ඉදිරියට පැමිණීමට හේතුව FCID හිටපු ප්‍රධානී රවී වෛද්‍යලංකාර හෙළි කරයි (විඩියෝ)

• වාහන ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ එක්දින සේවාව අත්හිටුවයි

• ජනපතිවරණයට ලී ඡන්ද පෙට්ටි නැහැ – කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 12,000 නිෂ්පාදනය ඇරඹේ

• ආයෝජන රටට ගෙන ඒම සඳහා ආරක්ෂාව තහවුරු කළ යුතුයි – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• රියදුරුට නින්දයාම හේතුවෙන් ලොරි රථය ඇළට වැටේ (විඩියෝ)

• නිවැරදි කළමනාකාරීත්වයක් තුළින් ඕනෑම රාජ්‍ය ආයතනයක් ලාභ ලබන මට්ටමට ගෙන ආ හැකියි – ආචාර්ය නාලක ගොඩහේවා

• රඳවා ගැනීමේ බද්ද (Withholding tax) සහ වැටුප් මත පනවා ඇති උපයන විට බද්ද (Paye tax) අහෝසියි – ගෝඨාගේ බදු ප්‍රතිපත්තිය මෙන්න

+++++++++++++++++++++++++++++++++++

එජාප පාලන සමයන් තුළ මෙරට ආරක්ෂාවට දැඩි බලපෑමක් – අද්මිරාල් මොහාන් විජේවික්‍රම

(28.10.2019 – 20:09 +0530 – hirunews.lk/sinhala)

එක්සති ජාතික පක්ෂ පාලන සමයන් තුළ මෙරට ආරක්ෂාවට දැඩි බලපෑම් එල්ල වූ බව අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ දෙහිවල පැවති වියත්මග සමුළුවක් අමතමින්.

***************************************

ජනතාවගේ අනාගත සාර්ථකත්වයට නව වැඩපිළිවෙලක් තමන් සතු බව ගෝඨාභය කියයි

(28.10.2019 – 19:18 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට අනාගතයේ සාර්ථකත්වය අත්කර දීමට අවශ්‍ය වැඩපිළිවෙල තමන් සතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

වව්නියාව ප්‍රදේශයේ අද (28) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම ජන හමුවට එක්වෙමින් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ රට ගැන සිතා කටයුතු කළ යුතු යුගය එළඹ ඇති බවයි.

මේ අතර, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වූ තවත් ජන රැළියක් යාපනය නගරයේදී අද (28) පස්වරුවේ පැවැත්වුණා.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ද එක්ව සිටි අතර, එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට රැස්ව සිටි පිරිසගෙන් උණුසුම් ප්‍රතිචාර හිමි වුණා.

***************************************

ජාතික හෙළ උරුමය දෙදරයි – විකල්ප කණ්ඩායමේ සහය ගෝඨාභයට

(28.10.2019 – 19:09 +0530 – hirunews.lk/sinhala)

‘ජාතික හෙළ උරුමයේ විකල්ප කණ්ඩායමේ’ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වුණා.

ජාඇල ප්‍රදේශයේ දී ඊයේ (27) මාධ්‍ය හමුවක් කැදවමින් එහි සාමාජිකයින් කියා සිටියේ ජාතික හෙළ උරුමයේ බහුතර පාක්ෂිකයින් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහය ලබාදීමට තීරණය කර ඇති බවයි.

***************************************

මාධ්‍ය ඉදිරියට පැමිණීමට හේතුව FCID හිටපු ප්‍රධානී රවී වෛද්‍යලංකාර හෙළි කරයි

(28.10.2019 – 10:20 +0530 – hirunews.lk/sinhala)

අද ‘හාඩ්ටෝක්’ විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා ගෙන්.

***************************************

වාහන ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ එක්දින සේවාව අත්හිටුවයි

(28.10.2019 – 09:16 +0530 – hirunews.lk/sinhala)

කාණ්ඩ කිහිපයකට අයත් වාහනවල ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි සඳහන් කළේ කාණ්ඩ අංක 64, 65, 32, ජී ඒ සිට ජී ඉසෙඩ් දක්වා, එච් ඒ සිට එච් ඉසෙඩ් දක්වා සහ ජේ ඒ සිට ජේ ඉසෙඩ් දක්වා කාණ්ඩවලට අයත් සියලු වාහනවල කටයුතුවලට අදාළ එක්දින සේවා නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන බවයි.

එමෙන්ම සියලු මෝටර් කාර් පන්තිය යටතට ගැනෙන රථ සහ සියලුම කැබ් රථ, ජීප් රථ, වෑන් රථ ඇතුලු ද්විත්ව කාර්ය වාහන සහ ලොරි රථවලද එක්දින සේවා කටයුතු මෙලෙස අත්හිටුවනු ඇති.

මෙම සියලු වාහනවල මුල් ලිපි ගොනු පරීක්ෂා කර, ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහතික කිරීමෙන් අනතුරුව ලියාපදිංචි සහතික මුද්‍රණයට යොමු කළ යුතු බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා දැනුම්දී ඇත්තේ ෴

***************************************

ජනපතිවරණයට ලී ඡන්ද පෙට්ටි නැහැ – කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 12,000 නිෂ්පාදනය ඇරඹේ

(29.10.2019 – 07:28 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය සඳහා විශේෂ ආරක්ෂිත ඝන කඩදාසිවලින් තනන ඡන්ද පෙට්ටි නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ අදාළ කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 12,000 කට අධික ප්‍රමාණයක් මෙවර ජනාධිපතිවරණය සඳහා යොදා ගැනීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත්, දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පමණක් මීට පෙර මැතිවරණවලට යොදා ගත් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි යොදා ගැනීමට ද පියවර ගෙන තිබෙනවා.

දැවමය ඡන්ද පෙට්ටි මෙවර ජනාධිපතිවරණය සඳහා යොදා නොගැනීමටයි මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ නියෝජිතයින් අතර, විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 10:30 ට කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

එහිදී ඉදිරි ජනාධිපතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට නියමිතයි ෴

***************************************

ආයෝජන රටට ගෙන ඒම සඳහා ආරක්ෂාව තහවුරු කළ යුතුයි – ගෝඨාභය රාජපක්ෂ

(29.10.2019 – 08:38 +0530 – sinhala.adaderana.lk)

කෘෂිකර්මාන්තය නගා සිටුවීම උදෙසා ගොවියා ආරක්ෂා කරගත හැකි පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කන්තලේ ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.‍

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වූ ජන රැලියක් කන්තලේ භාතියගම ක්‍රීඩාංගනයේදී ඊයේ (28) පැවැත් විය.

එහිදි අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ රට ආහාර වලින් ස්වංපෝෂිත කළ යුතු බවයි.

ගොවියාගේ ණය කපා හැරීමටද තමන් යෝජනා කළේ එම නිසා බවද ඒ මහතා පැවසීය.

රට දැය බෙරා ගත් රණවිරුවන්වගේ මානසිකත්වය වත්මන් ආණ්ඩුව කඩා දැමු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රට සංවර්න කිරීමට නම් රටේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් ඒ සඳහා කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

***************************************

රියදුරුට නින්දයාම හේතුවෙන් ලොරි රථය ඇළට වැටේ

(28.10.2019 – 13:06 +0530 – sinhala.adaderana.lk)

රියදුරුට නින්දයාම හේතුවෙන් අද (28) අළුයම 05:30 ට පමණ පොළොන්නරුව ලේක්විව් මන්සන්ධිය අසල දී ලොරියක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අනතුරක් සිදුව තිබේ.

කොළඹ-පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ සිදුව ඇති මෙම අනතුරින් රියදුරු සුළු තුවාල ලබා ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

අනතුරට පත් වු ලොරි රථය අනතුරට පත්වීමෙන් අනතුරුව පරාක්‍රම සමුද්‍රයේ සිට වගා බිම් සඳහා ජලය රැගෙන යන එකේ ඇළට පෙරළී තිබේ.

පොළොන්නරුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

***************************************

නිවැරදි කළමනාකාරීත්වයක් තුළින් ඕනෑම රාජ්‍ය ආයතනයක් ලාභ ලබන මට්ටමට ගෙන ආ හැකියි – ආචාර්ය නාලක ගොඩහේවා

(28.09.2019 – biz.adaderana.lk)

පාඩු ලැබූ රාජ්‍ය ආයතන කිහිපයක්ම භාර ගෙන ඒවා ලාභ ලබන ලැබූ ආයතන බවට පත්කරලීමේ පුද්ගලික පළපුරුද්ද තමන් සතුව ඇති බවත්, ඕනෑම රාජ්‍ය ආයතනයක් ලාභ ලබන මට්ටමට ගෙන ආ හැකි බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. පසුගිය (25) දා කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව සඳහන් කළේය.

NALAKA GODAHEWA
PhD (UniSA), MBA (SJ), BSc.Eng (Hons), FCMA (UK), FCIM (UK), CMA (Aust)

මෙහිදී ආචාර්ය ගොඩහේවා මහතා පැවසුවේ, පෞද්ගලික අංශයට කළ නොහැකි විශාල පරිමාණයයේ ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයතන අවශ්‍ය බවත්, පාඩු ලබන රාජ්‍ය ආයතන විකිණිය යුතුය යන මුසාවට නොරැවටිය යුතු බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ පැවසීය :

“මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි කියලා තියෙන එක දෙයත් තමයි, රාජ්‍ය ආයතනවලට, විශේෂයෙන්ම විශාල ප්‍රමාණයේ රාජ්‍ය ආයතනවල කළමනාකරණය වෘත්තීය මට්ටමකට ගේන්න ඕනේ කියන එක. පසුගිය කාලයේ ඉතිහාසය පුරාම රාජ්‍ය ආයතන පාලනය කරන්න සාමාන්‍යයෙන් පත් කරනු ලබන්නේ යම්කිසි දේශපාලන සම්බන්ධයක් තියෙන පුද්ගලයෙක්. ඒ අතර සමහර වෙලාවට හොඳ අය ඉන්නවා. බොහෝ විට මේවා පාලනයට හැකියාවක් ඇති අය නෙමෙයි ඉන්නේ. නමුත් අපි වෘත්තීය මට්ටමකින් මේවා කළමනාකරණය කරන්න පුළුවන් අය ඒවාට දැම්මොත්, ඇත්ත වශයෙන්ම මේ පාඩු ලබනවා කියන සෑම රාජ්‍ය ආයතනයක්ම ලාභ ලබන ඒවා බවට පත් කරන්න පුළුවන්.

මේ වෙලාවේ ලංකාවේ වැඩියෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන තමයි තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ගමනාගමන මණ්ඩලය, ශ්‍රීලංකන් ගුවන් සේවය. මේවායින් දෙකක් මම පුද්ගලිකවම අධ්‍යයනය කරලා තියෙනවා. විදුලිබල මණඩලය සහ ශ්‍රීලංකන් ගුවන් සේවය. මේ දෙකම ලාභ ලබන මට්ටමට ගෙනල්ලා තිබුණා. ඒ ගෙනල්ලා තිබුණ එක තමයි දැන් පාඩු ලබන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ.

විදුලිබල මණ්ඩලය 2014 දී 25% ක විදුලිබලය අඩු කළා. 2015 බිලියන 20 ක් ලාභ ලැබුවා. බිලියන 20 ක් ලාභ ලබපු විදුලිබල මණ්ඩලය මේ අවුරුද්දේ බිලියන 100 ක් පාඩු ලබනවා. ලාභ ලබපු තැන ඉඳන් ඉස්සරහාට යනවා වෙනුවට පාඩු ලබන තත්ත්වයට පත්වුණේ පැහැදිලිවම කළමනාකරණයට කිසිම සැලැස්මක් නොතිබුණු නිසා. අවුරුදු 10 කට විතර ඉදිරියට සැලසුම් කරලා තිබුණු විදුලිබල ජනන සැලසුම් සියල්ල නතර කළා. ඒ සියල්ල නතර කරලා, ඊළඟ විදුලිබල අර්බුදයක් නිර්මාණය කර ගෙන හදිසි විදුලිබලය මිල දී ගන්න පටන් ගත්තා, සාමාන්‍යයෙන් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් මිල වගේ දෙගුණයකට. එහි සෘජු පාඩුව ලැබුණේ විදුලිබල මණ්ඩලයට.

ශ්‍රීලංකන් ගුවන් සේවය දෙස අවධානය යොමු කළොත්, අද තියෙන තෙල් මිල 2014 ට දාලා බැලුවා නම් 2014 දී ශ්‍රීලංකන් ගුවන්සේවය බිලියන 5 ක විතර ලාභ ලබනවා. එදා තිබුණේ ලෝකේ අධිකම තෙල් මිලක්. ශ්‍රීලංකන් ගුවන් සේවය 2014 වන විට ඉතාමත් පැහැදිලි සැලැස්මක් තිබුණා අනාගතය පිළිබඳ. ඔවුන් තේරුම් අරගෙන තිබුණා යා යුතු ගමනාන්ත මොනවාද කියලා. ඒ ගමනාන්තවලට යාමේදී ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිවන ආකාරයේ ගුවන් යානා මිල දී ගත යුතුයි. ඒ ගුවන් යානා ඇණවුම් කරලා තිබුණා. ඒ ගුවන් යානා ආවා නම් අඩු තෙල් වියදමකින් ඔවුන්ට දුර යන්න පුළුවන්. මේ වගේ සියලු දේවල් සැලසුම් කර තිබිය දී තමයි මේ ආණුඩව ඇවිල්ලා ඒ කිසිදු සැලැස්මක් දිහා බලන්නේ නැතුව, ඒ ගුවන් යානා ඇණවුම් අවලංගු කරලා, බිලියන 17 ක වන්දියකුත් ගෙවලා අද මේ අවුරුද්ද වන විට බිලියන 50 ක විතර පාඩුවක් ලබන තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.

පාඩු ලබන රාජ්‍ය ආයතන කිහිපයක්ම භාර අරගෙන ඒවා ලාභ ලබන තත්ත්වයට පත් කළ අයෙක් විදියට පෞද්ගලිකවම මම දන්නවා මේ ඕනෑම රාජ්‍ය ආයතනයක් ලාභ ලබන මට්ටමට ගේන්න පුළුවන්, හරි කළමනාකාරීත්වය දැම්මාම. ඊට අමතරව ඒ කළමනාකාරීත්වයට අවශ්‍ය දේශපාලන ශක්තිය ඉහළින් ලබා දුන්නාම.

පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණන්න ඔනේ කියන මහා මුසාවට රැවටෙන්න එපා. මේ රාජ්‍ය ආයතන අපිට අවශ්‍යයි. පෞද්ගලික අංශයට කරන්න බැරි දේවල් කරන්න රජ්‍ය ආයතන අවශ්‍යයි. විශාල පරිමාණයේ ආයෝජනවල දී රාජ්‍ය අංශය අවශ්‍යයි.”

***************************************

රඳවා ගැනීමේ බද්ද (Withholding tax) සහ වැටුප් මත පනවා ඇති උපයන විට බද්ද (Paye tax) අහෝසියි – ගෝඨාගේ බදු ප්‍රතිපත්තිය මෙන්න

(25.09.2019 – biz.adaderana.lk)

තම රජය යටතේ රටට නොගැළපෙන වත්මන් ආදායම් බදු පනත වෙනස් කොට ජනතාව මත බදු බර අඩු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද (25) දින කොළඹ දී පැවති සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ‘ගෝඨාභය – රට හදන සෞභාග්‍යයේ දැක්ම’ එළි දැක්වීමේ උත්සව අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාපපක්ෂ මහතා පැවසුවේ, තම රජය යටතේ ආර්ථික සේවා ගාස්තු, රඳවා ගැනීමේ බද්ද (Withholding tax) සහ වැටුප් මත පනවා ඇති උපයන විට බද්ද (Paye tax) අහෝසි කරනු ගබන බවයි. එසේම වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරනු ලබන බව ද හෙතෙම අවධාරණය කළේය.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

කඩා වැටී තිබෙන මේ ආර්ථිකය යළි ගොඩනැගීමේ දී විශාලම කාර්යභාරයක් අපේක්ෂා කෙරෙන්නේ දේශීය ව්‍යාපාරික ප්‍රජාව. අපි මේ ව්‍යාපාරයන්ට ව්‍යාපාර කරන්නට පහසු පරිසරයක් නිර්මාණය කරන්නට අවශ්‍යයි.

ව්‍යාපාර කරගෙන යෑමට හිරිහැරයක් වී තියෙන කල් පැන ගිය නීතිරීති යාවත්කාලීන කරනවා. අද ජනතාව ඉන්නේ අධික බදු බරකින් මිරිකිලා. මෙය ව්‍යාපාරවලත් ජනතාවගේත් ඵලදායීතාවට බලපානවා.

ඒ නිසා අපි රටට නොගැළපෙන වර්තමාන ආදායම් බදු පනත වෙනස් කොට ජනතාව මත බදු බර අඩු කරන්නට බලාපොරොත්තු වෙනවා.

නිෂ්පාදන කර්මාන්ත සඳහා අය කරන ආදායම් බදු අඩු කරනවා. ආර්ථික සේවා ගාස්තු හා රඳවා ගැනීමේ බදු අහෝසි කරනවා. වැට් බද්ද සියයට 8 දක්වා අපි අඩු කරනවා.

ආගමික ස්ථාන මත පනවා ඇති විවිධ බදු අපි අහෝසි කරනවා.

වාහන සම්බන්ධයෙන් පනවා ඇති විවිධ බදු වෙනුවට එක් සරල බදු ක්‍රමයක් අපි හඳුන්වා දෙනවා.

මීට අමතරව රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් මත පනවා ඇති උපයන විට බද්ද, Paye tax අපි අහෝසි කරනවා.

මේ සමඟ අපි ආදායම් බදු දෙපාර්තමේන්තුව තුළ, රේගුව තුළ හා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ තාක්ෂණය භාවිතාව විධිමත් කොට විසඳුම් සපයන්නට අපි ක්‍රියා කරනවා.

අපේ අනාගත සංවර්ධන සැලසුම් තුළ සේවා ආර්ථිකයේ විශාල වර්ධනයක් අපි බලාපොරාත්තු වෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *