සුමන්තිරන්ගේ ඉවන්ජලික කල්ලිවලට තවදුරටත් යටත් නොවිය යුතුයි – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සුමන්තිරන්ගේ ඉවන්ජලික කල්ලිවලට තවදුරටත් යටත් නොවිය යුතුයි – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

• ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ තත්ත්වය සොයා බැලීමට මහා සංඝරත්නය නිරීක්ෂණ චාරිකාවක

• ඇමති රාවුෆ් හකීම් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

• හකීම්ට තවත් වීඩියෝවක් – බදියුදීන්ගේ සොහොයුරා, අත්අඩංගුවට ගන්නත් නියෝග

• ගෝඨාභය දිනවන්න පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පවත්වන මාධ්‍ය හමුව (24.10.2019)

• අන්තරේ සිසුන් 50 ක් අධිකරණයට- ඡන්ද නීති කැඩූ බවටත් චෝදනා

• මාතර – බෙලිඅත්ත අධිවේගී මාර්ගය ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

• ජනතාවට වග කියන ආණ්ඩුවක් පිහිටුවන බවට ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

• “මේ ඩේටාබේස් එකෙන් ප්‍රයෝජනයක් නෑ, ඔරකල් ඩේටාබේස් වගේ දෙයක් උගන්නන්න” නවීන තාක්ෂණික දැනුමෙන් ගෝඨා සිදු කළ විග්‍රහය.!

• විපක්ෂ නායක දළඳා වහන්සේ වැඳපුදා ගනී

• රිය අනතුරකින් තුන්දෙනෙකු මරුට – හත්දෙනෙකුට තුවාල

+++++++++++++++++++++++++++++++++++

සුමන්තිරන්ගේ ඉවන්ජලික කල්ලිවලට තවදුරටත් යටත් නොවිය යුතුයි – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

(24.10.2019 – divaina.com)

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් ඇතුළු ඉවැන්ජලික කල්ලිවලට තවදුරටත් යටත් විය නොහැකි බවත් ඔවුන් වපුරන අන්තවාදය හොඳින් හෝ නරකින් කඩිනමින් ඉවත් කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (23 වැනිදා) අවධාරණය කර කියා සිටියහ.

මේ වනවිට ආණ්ඩු ඇතුළේ තවත් ආණ්ඩු ද නීතිය ඇතුළේ තවත් නීති ද ඇති බවත් මෙම තත්ත්වය වෙනස් කිරීමට රටේ ජනතාව එළැඹෙන මාසයේ කටයුතු කරනු ඇති බවත් උන්වහන්සේ කීහ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (23 වැනිදා) එම අදහස් පළ කළේ නාවල පාර රාජගිරියේ පිහිටි ශ‍්‍රී සද්ධර්මරාජිත විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද කීහ :

“අද මෙම සමුළුවට එක්වී ඇති මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් වන මානික් කරුණාරත්න මහතා මෙහි පැමිණ තිබෙන්නේ ඒ මහත්මයාගේ මාපියන් අභාවප‍්‍රාප්තවී ඇති අවස්ථාවකදීයි. එතුමා එතරම් කැපකිරීමක් කර තමයි පැමිණියේ. මුලතිව් හි සිදුවන ඇත්ත තත්ත්වය රටට කියන්න.

ඇත්තෙන්ම උතුරේ පොලිසිය කටයුතු කරන ආකාරය – ඔවුන්ගේ බැරිබැරියාව දුටුවිට පෙනෙන්නේ උතුරේ තිබෙන්නේ වෙනම රාජ්‍යයක් බවයි. නීතියට ඕනෑවට වඩා හිස නමන්න බැහැ. ඊට වඩා හොඳයි මුහුදේ පැනලා සිය දිවි නසා ගන්න එක.

හිර ගෙදර ගිය අපිට ආපහු හිරේ යන එක මහ වැඩක් නෙවෙයි. නීතිය කරන අයට අපි කියන්නේ සිදුවීම හරියට බලලා කටයුතු කරන්න කියලයි. මේ ගුරුකන්දේ සිදුවීමේ නිමිත්තම වරදක්. හරිනම් මේ සිදුවීමට අගමැති ප‍්‍රමුඛ රජය මහා සංඝරත්නයෙන් සහ රටේ ජනතාවගෙන් සමාව ගත යුතුයි.

මේ වනවිට බෙදුම්වාදයට උතුර යටපත් වෙලා ඉවරයි. අපි වගකිවයුතු අයගෙන් ඉල්ලන්නේ බෙදුම්වාදය ලත්තැනම ලොප් කරන ලෙසයි දැන් ටී. එන්. ඒ. වෙනම කොන්දේසි දැම්මත් ඔවුන් ඇත්තටම උතුරේ වෙනම රාජ්‍යයක් පවත්වාගෙන යනවා.

සුමන්තිරන්ට මෙහේ ඇවිත් සෙට් දාගෙන උසාවි ගානේ යන්න පුළුවන්. සම්බන්දන්ට කොළඹ ඇවිත් සේරම කරගෙන යන්න පුළුවන්. ඔවුන් අනුරාධපුරය පැන්න ගමන් අපිට දාන ‘පූස්’ පාට් මොනවද, මේවට ඉඩ දෙන්න පුළුවන්ද. ඇත්තටම මේ අන්තවාදීන් අපිට මොක්කුද?

සුමන්තිරන් පාස්ටර්වරයෙක්. මේ ඉවන්ලිජලික කල්ලිවලට යටවෙන්න අපිට බැහැ. අපි දෙකින් එකක් හොඳින් හෝ නරකින් විසඳාගන්න ඕනෑ. තව මාසයකින් ඒ දෙයට මේ රටේ මිනිස්සු ලෑස්තියි. මොන ආණ්ඩුව ආවත් අපි ජනාධිපතිවරණයෙන් පසු මුලතිව් ගොස් පදිංචි වෙනවා. පොලිසියෙන් ගැලෙව්ව සී. සී. ටී. වී. කැමරා අපි සවි කරනවා. දැන් ඒ දේ නොකරන්නේ ජනාධිපතිවරණයක් තිබියදී අනවශ්‍ය ප‍්‍රශ්න නිර්මාණය කරන්න ඕන නැති නිසයි.

අපිට තිබෙන්නේ වසර 2500 ටත් එහා ලිඛිත ඉතිහාසයක්. ක‍්‍රිස්ත‍්‍රියානි ඉස්ලාම් ආගම් බිහිවෙන්න කලින් තමයි අපි බුදු දහම වැළඳගත්තේ.

ගුරුකන්ද අපේ මේධාලංකාරතිස්ස නාහිමියන්ගේ ආදාහනය පිළිබඳ ප‍්‍රශ්නය එහි සිටින දමිළ මිනිසුන්ගේ ප‍්‍රශ්නයක් නොවෙයි. මෙය ටී. එන්. ඒ. අන්තවාදී නඩය දෙමළ ඡන්ද ලබාගන්න ඇති කළ ඇවිස්සීමක්. ඔවුන් මේ හදන්නේ ගුරුකන්ද විහාරය හා එහි සිටින සිංහල පවුල් වැලිඔය ජනකපුර දක්වා තල්ලු කිරීමටයි. දෙමළ නිජබිම් මිත්‍යාව මේ තුළින් වැපිරීමට අපි ඉඩදෙන්නේ නැහැ.

ජාතික කටයුතු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධව පැවරෙන නඩු කටයුතු සඳහා අධිකරණය හමුවේ පෙනී සිටිනවා ද නැද්ද යන්න පිළිබඳ සලකා බලන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.

මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ මුලතිව් ගුරුකන්ද විහාරස්ථාන දායක සභාවේ ලේකම් හිටපු බැංකු නිලධාරී මානික් කරුණාරත්න මහතා මෙසේද කීය :

ගුරුකන්ද පුරාණ විහාරය වසර 2000 ක ඉතිහාසයක් ඇති විහාරයක්. බුද්ධ වර්ෂ 244 දී තමයි මේ විහාරය මෙතන නම් කර තිබෙන්නේ. දන්ත ධාතූන් වහන්සේ පළමු වරට වැඩම කළ ස්ථානය ලෙස මෙම විහාරස්ථානය හැඳින්වෙනවා. මෙතනට ‘නකනගල’ නැතහොත් ‘මුලදීප’ යන නම කියනවා. මුලදීප කියන්නේ මුලතිව් නමයි. නකනගලට පාලි භාෂාවෙන් කියන්නෙ නාන්ඔරු කියලයි. එය නයාරු බවට දැන් පරිවර්තනය වෙලා.

මෙය ලංකාතොට ලෙස ද කියනවා. පන්සල ඇති මුලතිව් මුහුදේ කිලෝමීටර් 2 ක් පමණ දිග මීටර් 25 ක් ගැඹුරු කෙළින් කපපු ගලක තාප්පයක් වගේ වරායක බැම්මක් තිබෙනවා. මෙතන තොටුපලක් තිබී තියෙනවා. දන්තු ධාතුන් වහන්සේ හොර රහසේ වැඩම කළේ මෙතැනට බව සඳහන්.

මෙතනින් ගොඩබට ධාතුන් වහන්සේ මඩුකන්ද විහාරයටයි වැඩමවා තිබෙන්නේ. ගුරුකන්ද පුරාණ විහාරය ලිඛිත සාක්ෂි බොහොමයි. 1832 ‘සිලෝන් මැප්’ හි ‘රෙඩ් හිල්’ කියා සඳහන් වෙනවා. දුඹුරු පසකින් යුතු නිසා මෙය ‘රතුකන්ද’ වෙලා තිබෙනවා. මේ වගේ ලිඛිත සාක්ෂි බොහෝමයි. ඒ නිසා කිසිවෙකුට මෙහි ඉතිහාසයට අභියෝග කරන්න බැහැ.

– සිරිමන්ත රත්නසේකර

+++++++++++++++++++++++++++++++++++

ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ තත්ත්වය සොයා බැලීමට මහා සංඝරත්නය නිරීක්ෂණ චාරිකාවක

(24.10.2019 – 20:15 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – නායාරු – ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය සඳහා අද (24) මහා සංඝරත්නය එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සඳහන් කළේ බෙදුම්වාදය පදනම් කර ගනිමින් සිය දේශපාලන බලය ලබාගැනීමට ක්‍රියාත්මක වන ඇතැම් දේශපාලනඥයින් සහ මෙම ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසු මෙම අර්බුදය විසදෙනු ඇති බවයි.

උතුරු මැද සහ කොළඹ ප්‍රධාන විහාරස්ථාන ගණනාවක් නියෝජනය කරමින් මහා සංඝරත්නය මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය වෙත අද වැඩම කළේ එහි ඓතිහාසික නටඹුන් සහ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහායි.

එම විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව භික්ෂූන්වහන්සේ වත්මන් ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මෙම විහාරස්ථානයේ තත්ත්වය සම්බන්ධයෙන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී භික්ෂූන්වහන්සේ අදහස් පළ කළා.

මේ අතර, වවුනියාව – ඕමන්ත මාලිගෙයි ප්‍රදේශයේ අනුරාධපුර යුගයට අයත් පුරා විද්‍යා ස්මාරක හා නටඹුන් සහිත භූමියක් කිසියම් පිරිසක් විසින් ඩෝසර් කර ඉදිකිරීම් සිදුකිරීමේ සූදානමක් සම්බන්ධයෙන් වවුනියාව පුරා විද්‍යා නිලධාරීන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඕමන්ත පොලිසිය සදහන් කළේ අදාළ පුරා විද්‍යා භූමියේ ඉදිකිරීම් සිදුකිරීමට තැත් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.

***************************************

ඇමති රාවුෆ් හකීම් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

(24.10.2019 – 20:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත්වූ බවත් එය තහවුරු කළ හැකි සාක්ෂි තමන් සතුව ඇති බවත් අමාත්‍ය රාවුෆ් හකීම් මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළ නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාන් මරූස් මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද (24) කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව සහ එහි සාමාජිකයන් සම්බන්ධව අද (24) විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

හකීම්ට තවත් වීඩියෝවක් – බදියුදීන්ගේ සොහොයුරා, අත්අඩංගුවට ගන්නත් නියෝග

(25.10.2019 – 07:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැත් වූ බව සහ එය තහවුරු කළ හැකි සාක්ෂි තමන් සතු බව අමාත්‍ය රාවුෆ් හකීම්ට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි කළ නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාන් මරූස් පවසනවා.

රාවුෆ් හකීම්

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (24) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

මේ අතර, තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කරගත් බව කියන සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මෙලෙස ව්‍යාජ ඔප්පු සකසා අදාළ ඉඩම අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා.

පසුගිය 2015 වසරේ නොවැම්බර් 16 වැනිදා අබ්දුල් කාසිම් මොහොමඩ් සලාහි නැමැත්තෙකු විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඊට අදාළ නඩුව ඉවත් කර ගන්නා ලෙසට රිෆ්කාන් බදියුදීන්ගේ ආධාරකරුවන් විසින් තම සේවාදායකයාට දුරකතනයෙන් තර්ජනය කර ඇතැයි පවසමින් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන ඊයේ (24) මෝසමක් ගොනුකරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා ෴

***************************************

ගෝඨාභය දිනවන්න පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පවත්වන මාධ්‍ය හමුව (24.10.2019)

***************************************

අන්තරේ සිසුන් 50 ක් අධිකරණයට- ඡන්ද නීති කැඩූ බවටත් චෝදනා

(25.10.2019 – 07:19 +0530 – hirunews.lk/sinhala)

මහපොල ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු විසඳන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (24) ක්‍රියාත්මක කළ විරෝධතා පාගමන අතරතුර අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 50 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔවුන් ඊයේ (24) කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් අතර, පසුව කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දුන්නේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහායී.

අධිකරණ නියෝග පැහැර හැරීම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, අයුතු ජනරාශියක සාමාජිකයින් වීම සහ පොලිස් නිලධාරීන්ට පහරදීම ඇතුළු චෝදනා ඔවුන්ට එල්ල වී තිබෙනවා.

සරසවි සිසුන් කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ඊයේ විරෝධතා පාගමන ආරම්භ කළ අතර, පසුව පොලිසිය ගාලු මුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දැමුවා.

එහිදී පොලිස් අණ නොතකා විරෝධතා පාගමනට එක්වූ සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීයි ප්‍රථමයෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ. පසුව විසිර ගිය සිසුන් යළි එම ස්ථානයට පැමිණීම නිසා නැවතත් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

***************************************

මාතර – බෙලිඅත්ත අධිවේගී මාර්ගය ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

(24.10.2019 – 18:47 +0530 – hirunews.lk/sinhala)

ජනතා ජීවිත අවදානමට ලක් කරමින් වැඩ අවසන් නොවූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – බෙලිඅත්ත කොටස ආණ්ඩුව ලබන මාසයේ විවෘත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

ජනතාවට වග කියන ආණ්ඩුවක් පිහිටුවන බවට ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

(24.10.2019 – 18:40 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට වග කියන ක්‍රියාශීලි ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මහනුවර – වත්තේගම ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

***************************************

“මේ ඩේටාබේස් එකෙන් ප්‍රයෝජනයක් නෑ, ඔරකල් ඩේටාබේස් වගේ දෙයක් උගන්නන්න” නවීන තාක්ෂණික දැනුමෙන් ගෝඨා සිදු කළ විග්‍රහය.!

(24.10.2019 – nethgossip.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනක සිදුකළ දේශනයක් කතාබහට ලක්ව තිබේ.

එහිදී ඒ මහතා තමන් පරිඝණක විද්‍යාව සම්බන්ධ උපාධිය ලබා ගැනීමේදි සිදුවූ රසවත් මතක සිහිපත් කරමින් ප්‍රකාශ කළේ මේ රටේ අධ්‍යාපනය තාක්ෂණය සමග මුසු වී නවීන රැකියා වෙළදපළට සරිලන ලෙස වෙනස්විය යුතු බවයි.

මෙහිදී ඉන්දියාවේ අධ්‍යාපනය නූතන තාක්ෂණයට අවශ්‍ය ලෙස වෙනස් වී ඇති බවත් ඔහු උදාහරණ දක්වමින් පෙන්වා දුන්නා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම දේශනය පහතින් :

https://www.facebook.com/lasantha.jayawardena.online/videos/3105100322894843/

***************************************

විපක්ෂ නායක දළඳා වහන්සේ වැඳපුදා ගනී

(24.10.2019 – 18:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ ආශීර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා අද මේ බව කියා සිටියා.

අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තා.

පසුව අස්ගිරි මහා විහාරය වෙත ගිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන්ද බැහැදැක ආශීර්වාද ලබාගත් අතර, එම ස්ථානයට වැඩම කර සිටි අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් සමග කෙටි පිළිසඳරකද නිරත වුණා.

***************************************

රිය අනතුරකින් තුන්දෙනෙකු මරුට – හත්දෙනෙකුට තුවාල

(24.10.2019 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ හයේ කණුව – විශේෂ කාර්ය බලකා කඳවුර ඉදිරිපිටදී සිදුවූ සිදුවූ අනතුරකින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව හත්දෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදුවූ බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මියගිය අය අතර, අවුරුදු තුනක් වයසැති කුඩා දරුවෙකුද වනවා.

කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් මඩු වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටියදි මෙම අනතුරට මුහුණදී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *