නිවාස සංවර්ධන අධිකාරියේ නව බදවා ගැනීම් ගැන මැතිවරණ කොමිසමෙන් විමර්ශනයක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නිවාස සංවර්ධන අධිකාරියේ නව බදවා ගැනීම් ගැන මැතිවරණ කොමිසමෙන් විමර්ශනයක් (විඩියෝ)

• නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට

• ATM යන්ත්‍රයක දත්ත සොරා ගත් විදේශ ජාතිකයින් 04 ක් අත්අඩංගුවට

• යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල අද ජනතා අයිතියට (විඩියෝ)

• එදා ජවිපෙ සහ අනුරගෙ ජවිපෙ – වෛද්‍ය වසන්ත බණ්ඩාර (17.10.2019) (විඩියෝ)

• ජනපති අපේක්ෂකයින් සිව් දෙනෙකුගේ ආරක්ෂාව තර කෙරේ

• සජිත් කතා කරන්නේ කෝමා වෙලා ඉදලා හොඳ වුණා වගේ – පියල් නිශාන්ත

• උතුරටයි දකුණටයි වෙන වෙනම නීති හදන්න ගෝඨාභය ඉඩ තියන්නේ නෑ – ඉන්දික අනුරුද්ධ (විඩියෝ)

• සුමන්තිරන්ට තවදුරටත් තනතුරු දරන්න බැහැ – සත්‍ය ගවේශකයෝ

• දෙහිවල සත්වෝද්‍යාන සේවකයෙකු යොදා සිදුකළ හෙරොයින් ජාවාරමේ මහමොලකරු බන්ධනාගාර රැදවියෙක්

• පානදුර නල්ලූරුව මුහුදු වෙරළෙන් හෙරොයින් මතුවෙයි

+++++++++++++++++++++++++++++++++++

නිවාස සංවර්ධන අධිකාරියේ නව බදවා ගැනීම් ගැන මැතිවරණ කොමිසමෙන් විමර්ශනයක්

(16.10.2019 – 19:26 +0530 – sinhala.adaderana.lk)

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නව සේවකයින් 2000 කට වැඩි පිරිසක් බඳවා ගන්නා බවට කළ පැමිණිල්ලකට අනුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද (16) දහවල් විමර්ශනයක් ආරම්භ කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය විසින්.

2019 අයවැය යෝජනාවලට අනුව ජනතාවට වැසිකිළි පහසුකම් සැලසීම සඳහා ලැබුණු රුපියල් මිලියන 400 ක මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගන්නා බවට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

දුගී ජනතාවට නොමිලයේ නිවාස ලබාදීම සඳහා පිහිටවනු ලැබූ සෙවණ අරමුදල, නිවාස ණය ලබාදීම සඳහා භාවිතයට ගෙන ඇති බව ද අදාළ පැමිණිල්ලේ සඳහන්.

එමෙන්ම පසුගිය කාලයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අලුතින් බඳවා ගත් සේවකයින් විෂය භාර අමාත්‍යවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදවා ගෙන සිටින බවටද මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද දහවල් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කළේය.

එහි තිබී රැකියා ස්ථිර කිරීමට අදාළ ලිපි 2000 කට අධික ප්‍රමාණයක් විමර්ශන කටයුතු සඳහා මැතිවරණ කොමිසම වෙත රැගෙන ගියේය.

මේ අතර තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පසුගියදා ලොරි රථ 3 කින් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු රැගෙනවිත් තිබුණි.

තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ඉන්දික තෙන්නකෝන් මහතා චෝදනා කළේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එක්සත් ජාතික පක්ෂ රැළියකට සමගාමීව ඒවා ජනතාව අතර බෙදාදීම සඳහා මෙලෙස ගෙනවිත් ඇති බවයි.

එමෙන්ම ඉපලෝගම ප්‍රාදේශීය සභාව වෙතද මෙලෙසම ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ලොරි රථ 5 කින් රැගෙනවිත් ඇති අයුරු ඊයේ (15) දැකගත හැකි විය.

ඒවා හෙට පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැළියක් ඉලක්ක කර බෙදා දීමට කටයුතු සූදානම් කර ඇති බවට ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මැතිවරණ කොමිසමේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.

ඒ අනූව එම සෙවිලි තහඩු ඉපලෝගම ගොවිජන සේවා කාර්යාල භූමියේ මේ වන විට ගබඩා කර ඇත.

***************************************

නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට

(17.10.2019 – 06:54 +0530 – hirunews.lk/sinhala)

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද අලුයම 12:25 ට මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සිංගප්පූරුවේ සිට එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11:35 ට පමණ මොහු දිවයිනට පැමිණ තිබෙනවා.

ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ නඩුවකට අදාළව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

***************************************

ATM යන්ත්‍රයක දත්ත සොරා ගත් විදේශ ජාතිකයින් 04 ක් අත්අඩංගුවට

(17.10.2019 – 008:22 +0530 – sinhala.adaderana.lk)

බණ්ඩාරමුල්ල, මිරිස්ස ප්‍රදේශයේ සවිකර තිබු ATM යන්ත්‍රයක දත්ත සොරා ගැනීම සම්බන්ධයෙන් විදේශ ජාතිකයින් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 12 දා කොටවිල පොලිස් වසමේ බණ්ඩාරමුල්ල, මිරිස්ස ප්‍රදේශයේ සවිකර තිබූ පුද්ගලික බැංකුවකට අයත් අදාළ ATM යන්ත්‍රයක දත්ත සොර ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම විදේශ ජාතික සැකකරුවන් සිව් දෙනා අදාළ ATM යන්ත්‍රය සවිකර තිබූ කුටියට අතුළු වී එම යන්ත්‍රයේ දත්ත සොර ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග සවි කිරීම සම්බන්ධයෙන් කොටවිල පොලිස් ස්ථානනයකට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙම සිද්ධියට සම්පන්ධ බල්ගේරියන් ජාතිකයෙකු, එස්ටෝනියන් ජාතිකයෙතු හා පෝලන්ත ජාතිකයින් දෙදෙනෙකු ඊයේ (16) සවස මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙ අත්අඩංගුවට ගත් විදේශ ජාතික සැකකරුවන් අද (17) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෙටවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

***************************************

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල අද ජනතා අයිතියට

(17.10.2019 – 06:45 +0530 – sinhala.adaderana.lk)

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරිම අද (17) පෙරවරුවේ සිදු කිරිමට නියමිතව ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන්තොටුපල විවෘත කිරීමට නියමිත අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් එම අවස්ථාවට එක්වීමට නියමිතයි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් කටයුතු නොවැම්බර් මාසයේ සිට ආරම්භ වීමට නියමිතව ඇත.

යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250 ක් වන අතර ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950 ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300 ක් යොදවා ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

***************************************

එදා ජවිපෙ සහ අනුරගෙ ජවිපෙ – වෛද්‍ය වසන්ත බණ්ඩාර (17.10.2019)

***************************************

ජනපති අපේක්ෂකයින් සිව් දෙනෙකුගේ ආරක්ෂාව තර කෙරේ

(17.10.2019 – 12:24 +0530 – sinhala.adaderana.lk)

මෙවර ජනාධිපතිවණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකු සදහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම අපෙක්ෂකයින් සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නව ආරක්ශක සම්බන්ධිකාර නිලධාරීන් පත් කිරීමට කටයුතු කර ඇති බවයි.

ජනාධිපතිධුර අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක යන මහත්වරුන්ට විශේෂ ආරක්ෂාවක් යොදන ලෙස බුද්ධි අංශ විසින් පොලීසියට හා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබූ බව සඳහන්.

ඒඅනුව එම අපේක්ෂකයින් සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු හා පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු නව ආරක්ශක සම්බන්ධීකාර නිලධාරීන් ලෙස පත් කිරිමට පියවරගෙන ඇති බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය සඳහන් කළේය.

ජනාධිපතිධුර අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස පසුගිය දා රැස්වු ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ද උපදෙස් ලබා දී තිබුණි ෴

***************************************

සජිත් කතා කරන්නේ කෝමා වෙලා ඉදලා හොඳ වුණා වගේ – පියල් නිශාන්ත

(17.10.2019 – 14:52 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන්නේ අවුරුදු හතර හමාරක් පුරා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වුණේ තමන් බව අමතක වූවෙකු ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්විමන් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පියල් නිශාන්ත මහතා :

“අද රටේ ජනතාව කල්පනා කරනවා සජිත් ප්‍රේමදාස කෝමා රෝගයට ගොදුරු වෙලා හිටපු කෙනෙක්ද කියලා.

සමහර වෙලාවට කතා කරන්නේ ඔහු කතා කරන්නේ කෝමා එකක ඉඳලා දැන් ප්‍රකෘති තත්ත්වයට පත් වුණා වගේ.

අවුරුදු හතර හමාරක් පුරා රනිල්ගේ නියෝජ්‍ය නායකයා වුණේ සජිත් කියන එක අද අමතක වෙලා. අද කතා කරන්නේ නින්දෙන් නැගිට්ට කෙනෙක් වගේ.

අද රටේ ආර්ථීක අර්බුදය ඇති වෙන්න මූලික හේතුවක් වුනේ බැඳුම්කර මංකොල්ලයයි. බැඳුම්කර මංකොල්ලය සිදු වෙනකොට සජිත් සිටියේ මේ කැබිනට් එකේ.

මත්තල ගුවන්තොටුපල වී ගබඩාවක් කරන කොටත් සජිත් හිටියේ මේ කැබිනට් එකේ. සංඝයා වහන්සේලා හිරේ දානකොට, බුද්ධි අංශ හිරේ දානකොට සජිත් හිටියේ මේ කැබිනට් එකේ.

ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන පනතට අත උස්සනකොට එතුමා හිටියේ මේ කැබිනට් එකේ.

මේ රටේ ආර්ථීකයේ වර්ධන වේගය 1.6 ක් දක්වා පහත වැටුනේ එතුමාගේ කාලයේ කියලා එතුමාට මතක නැහැ. මේ වෙනකොට සජිත් ප්‍රේමදාස වේදිකාවල කියනවා කාබන් බද්ද ඉවත් කරනවා කියලා.

කාබන් බද්ද පැනෙව්වෙත් එතුමාගේ ආණ්ඩුව කාලේ කියලා එතුමාට අමතක වෙලා. මම අහනවා සජිත් ප්‍රේමදාස මහත්තයා ගෙන් එතුමා ජනාධිපති වුණාම අගමැති කවුද කියලා. එතුමා හැම විටම කියන්නේ මේක අගමැති තෝරන මැතිවරණයක් නෙමෙයි කියලා.

හැබැයි ගෝල්ෆෙස් පිටියේ දී එතුමාට පරණ පුරුදු මතක් උනා. ඒ නිසා උසම උස කෙනාට සිකියුරිටි ඇමතිකම දෙනවා කියලා එතුමා ප්‍රකාශ කළා.

මම හිතනවා එතුමා මෙහෙම ගියොත් එතුමාගේ ආණ්ඩුවේ පොඩිම පොඩි මන්ත්‍රී කෙනෙක් වෙන බුද්ධික පතිරණට කම්කරු ඇමතිකම දෙයි කියලා.

විකාර දොඩවන සිහින කැබිනට් මණ්ඩලයක් මවාගත්ත ජනාධිපති කෙනෙක් රටට වැඩක් නැහැ.

ඊයේ පෙරේදා රත්නපුරේ පැත්තේ සමනල පැටියෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අභූත චෝදනා එල්ල කළා මම එතුමාට කියනවා තාම එතුමාට එතුමා ගැනවත් අවබෝධයක් නැහැ කියලා.

සමනල පැටියෙක් වුණාට එතුමා හිතාගෙන ඉන්නේ එතුමා උකුස්සෙක් හරි රාජාලියෙක් හරි කියලයි. මම කියන්නෙ තමන්ගේ තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් කතා කරන්න කියලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල සංවිධායකවරයා අම්ජාඩ් මහත්තයා එජාපයට සම්බන්ධ වුණා කියලා පසුගියදා බරපතළ රඟපෑමක් සිදු කළා.

ඒ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළේ 2019 ජුනි මාසෙ එකොළොස් වෙනිදා. එදා ඉඳලා බේරුවල සංවිධායක මේ සුගත් මතුනමගේ කියන මහත්තයා.

මම කියනවා මේ වගේ රඟපෑම් කරන්න පුලුවන්නම් මතුනමගේ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභාවේ හය දෙනාම පුලුවන්නම් අරගෙන පෙන්නන්න කියලා.

මේ අය ඉන්නේ අපිත් එක්කය. මේ අයත් එක්ක ඉතාම ඉක්මනට මම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. අම්ජාඩ් මහත්තයා රාජිතගේ අතකොළුවක් වුණේ මීට ගොඩක් කාලෙකට කලින්.

බොරු මාධ්‍ය සන්දර්ශන නැතුව පුලුවන්නම් බේරුවල දිනල පෙන්නන්න කියලා මම මේ අයට කියන්න කැමතියි.”

***************************************

උතුරටයි දකුණටයි වෙන වෙනම නීති හදන්න ගෝඨාභය ඉඩ තියන්නේ නෑ – ඉන්දික අනුරුද්ධ

(17.10.2019 – 13:35 +0530 – sinhala.adaderana.lk)

දෙමළ ජාතික සන්ධානය සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්ථාවරය හෙළිකළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය සකස් කළ යෝජනාවලිය පක්ෂවලට ඉදිරිපත් කර ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳ සාධාරණ පිළිතුරක් නොලැබු බව ආර් සම්බන්ධන් ප්‍රකාශ කර ඇති බවත්ය.

අන්තවාදී හා ත්‍රස්තවාදී ඉල්ලීම්වලට පොදුජන පෙරමුණ එකඟ නොවන බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මතය දැනගැනීමට අවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

එසේම ඕනෑම පක්ෂයක් සමඟ සංවාදවලට විරුද්ධ නැති වුවද උතුරට එක නීතියක් දකුණට එක නීතියක් ලෙස වෙන වෙනම නීති සම්පාදනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් නැති බවත් ඒ මහතා පැවසීය.

මේ අතර පැල්මඩුල්ලේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක් අතරතුර එහි පාක්ෂිකයින් ගමන් ගත් බස් රථයකට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන්ද මෙහිදි අදහස් පළවුණි.

ඒ පිළිබඳව අදහස් දැක්වු ඉන්දික අනුරුද්ධ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් හා මැර පිරිසක් විසින් මෙම මැර ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙම සිදුවීම් එජාපයේ ප්‍රතිපත්තිය වුවද පොලීසියේ හා නීතියේ ප්‍රතිපත්තිය මෙය නොවන බවත් සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතරම තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

***************************************

සුමන්තිරන්ට තවදුරටත් තනතුරු දරන්න බැහැ – සත්‍ය ගවේශකයෝ

(17.10.2019 – 10:50 +0530 – sinhala.adaderana.lk)

ඒකීය රාජ්‍යයකට එකඟ නොවන බව පැවසීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සහ නීතිඥධුරය දැරීමට සුදුස්සෙකු නොවන බව සත්‍ය ගවේශකයෝ සංවිධානය පවසයි.

එම සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා මන්ත්‍රිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මේ බව කියා සිටියේය.

එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් වෙත භාර දීම සඳහා සකස් කෙරුණු යෝජනාවලියකට උතුරේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ පහක නියෝජිතයන් එකඟත්වය පළ කළේය.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, උතුරු – නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 13 ක් එම යෝජනාවලියට ඇතුළත්ය.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා එම යෝජනාවලිය පිළිබඳ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් සහ තම පක්ෂය ඒකීය රාජ්‍ය ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේවෙතත් සත්‍ය ගවේශකයෝ සංවිධානය ඊයේ පොලිස් මූලස්ථානයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කර මධ්‍ය වෙත අදහස් දක්වමින් සත්‍ය ගවේශකයෝ සංවිධානය නීතීඥ ප්‍රේමනාත් කැඳවුම්කරු සී.දොලවත්ත මහතා පවසා සිටියේ අවස්ථා තුනකදී රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවුරුමක් ලබා දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් අවස්ථා තුනකදී එම දියුරුම ලාබාදී ඇති බවවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් එලෙස අවස්තා තුනකදී ලබා දුන් එම දිවුරුම ඔහු කඩා ඇති බව සත්‍ය ගවේශකයෝ සංවිධානය නීතීඥ ප්‍රේමනාත් කැඳවුම්කරු සී.දොලවත්ත මහතා සඳහන් කළේය.

මේ නිසා තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතාට අදාළ තනතුරු දරන්න බැරි බව නීතීඥ ප්‍රේමනාත් කැඳවුම්කරු සී.දොලවත්ත මහතා වැඩිදුරටත් පැවසීය ෴

***************************************

දෙහිවල සත්වෝද්‍යාන සේවකයෙකු යොදා සිදුකළ හෙරොයින් ජාවාරමේ මහමොලකරු බන්ධනාගාර රැදවියෙක්

(17.10.2019 – 12:44 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල සත්වෝද්‍යානය සේවකයෙකු ඇතුළු හතර දෙනෙකු සිදුකළ මත්කුඩු ජාවාරම මෙහෙයවා ඇත්තේ වැලිකඩ බන්ධානාගාරයේ සිටින අධිකාරිගේ සමන්ත පෙරේරා හෙවත් චූවා සමන්ත නමැති රැදවියෙකු බවට තොරතුරු හෙලි වී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව දෙහිවල ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවෙකු ඊයේ පස්වරුවේ කවුඩානේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් අතර පසුව අනාවරණය වූයේ මොහු 34 හැවිරිදි කසුන් ෂෙහාන් කළුවිතාරණ නමැති පුද්ගලයෙකු බවයි.

මොහුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී කවුඩාන ප්‍රදේශයේදීම හෙරෝයින් ග්‍රෑම් 100 ක් සමඟ තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවා.

41 හැවිරිදි විදානආරච්චිගේ නාලක පුෂ්ප කුමාර නමැති මෙම සැකකරු කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පදිංචි දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් පාලනය කරන්නෙකු බවටයි හෙලි වුණේ.

ඔහුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී සත්වෝද්‍යානයේ ඔහුගේ කබඞ් එක තුල තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 400 ක් අත්අඩංගුවට ගැණුනා.

මොහු සත්වෝද්‍යානය තුල සිට දීර්ඝ කාලයක් මෙම මත්කුඩු බෙදා හැරීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් මත කටුබැද්ද ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී රියදුරු සන්තකයේ තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 68 ක් සහ රුපියල් ලක්ෂ 20 ක මුදලක් ද සොයා ගැනුණු අතර රථය කුලී පදනම මත මෙම පුද්ගලයා විසින් ලබාගෙන ඇති බවටයි හෙලි වුණේ.

රියදුරු මොරටුව මෝල්පේ ප්‍රදේශයේ පදිංචි අරුමාපුරගේ රනුජ පාලිත රණතිස්ස නමැති 41 හැවිරිදි පුද්ගලයෙක්.

රථයේ සිටි අනෙක් පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක්, නවීන පිස්තෝලයක්, මැගසීනයක්, මිලිමීටර 9 වර්ගයේ සජීව පතොරම් 5 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගනු ලැබුවා.

මොහු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සන්සුදීන් මොහොමඞ් ජුනේදීන් නමැත්තෙකු බවට හදුනාගෙන ඇති අතර එම පුද්ගලයා පසුගිය සෙනසුරාදා කඩුබැද්ද ප්‍රදේශයට පැමිණ එහි හෝටලය නවාතැන්ගෙන ඇති බවටයි හෙලිව ඇත්තේ.

වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයකට මොහු සම්බන්ධ වී ඇති අතර කටුබැද්ද ප්‍රදේශයට පැමිණියේ කුමන හේතුවකට ද යන්න සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

මෙම පුද්ගලයින් හතර දෙනා සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් තොගයේ බර ග්‍රෑම් 683 ක් වන අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට ආසන්න බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

පානදුර නල්ලූරුව මුහුදු වෙරළෙන් හෙරොයින් මතුවෙයි

(17.10.2019 – 14:58 +0530 – hirunews.lk/sinhala)

පානදුර – නල්ලූරුව මුහුදු වෙරළේ සගවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් කළුතර දිසා අපරාධ ඒකකය සොයා ගෙන තිබෙනවා.

එම ඒකකයට ලද තොරතුරක් මත අද පෙරවරුවේ මෙලෙස මත්කුඩු කිලෝග්‍රෑමයක් සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් දැක තමන් එය ගොඩට ගෙන නල්ලූරුව වෙරළෙහි වළ දැමූ බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *