කඳවුරු දෙකක බල අරගලය නිසා තැලෙන පොඩිවෙන ලංකාව – රට හමුවේ පවතින අභියෝග තේරුම් ගැනීම පුරවැසියා සතු වගකීමයි…
(14.10.2019 – 06:12 +0530 – lankaleadnews.com)
ශ‍්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම් සඳහා දැන් මුළු රටම සූදානම්ය. ජනාධිපතිවරණයට තව ඇත්තේ සති පහක කාලයකි. මුළු රටම දේශපාලන වාද විවාදවල පැටලී උණුසුම්ව ඇත. දේශපාලන කරලියේ සංවාදයට ලක් වූ මාතෘකා අතර මේ දිනවල ප‍්‍රධානතම කාරණාවත් වී ඇත්තේ අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් පවතින විදේශීය ඇඟිලි ගැසීම්ය. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ දේශපාලන සමාජ වටපිටාව වෙනස් කිරීමට ඇමරිකාවට ඇති වුවමනාව ගැන වාද විවාද කරන්නට පටන් ගෙන ඇත. එම පසුබිමේ අපි මොහාන් සමරනායක මහතා හමුවූයේ ලංකාව සම්බන්යෙන් ලෝක බලවතුන් තුළ ඇති උනන්දුව හා සංවේදී බව පිළිබද කතාබහ කරන්නටය.
මෙහිදී පළමුවෙන්ම අපි ඔහුගේ අවධානය යොමු කළේ ශ‍්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් විදේශීය ඇඟිලි ගැසීම් වල ප‍්‍රවේශය කෙසේ සිදු වූයේ දැයි කියා විමසන්නටය.
“ඔබ මා වෙත යොමුකළ එළඹුමට මා සතුව තියෙන්නේ දීර්ඝ හා සංකීර්ණ මෙන්ම විවාද ජනක උත්තරයක්. ඒත් මේ වෙලාවේ මම ඒ ප‍්‍රවේශය ගැන කෙටි විස්තරයක් කරන්නම්. අපි දන්නවා 15 වන හා 16 වන සියවස් වලින් පසුව ලෝකයේ බිහි වුණා බටහිර බලවත් රටවල් කියලා කුලකයක්. ආරම්භය බි‍්‍රතාන්‍යය. ඊට පස්සේ ජර්මනිය, ප‍්‍රංශය, බෙල්ජියම, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, වගේ රටවල් තමයි මේ කුලකයට අයත් වුණේ. මෙන්න මේ ගොල්ලෝ ධනවත් බලවත් රටවල් බවට පත් වුණේ – ඇත්තම කියනවනම් එයාලගේ සහජ දක්ෂතාවයෙන් හෝ රටවල් වල තිබිච්ච සම්පත්වල ආඪ්‍ය බවින් පමණක් නෙවෙයි. මේගොල්ලෝ අවි බලයෙන් ලෝකය යටත් කර ගන්නා අතරම ඒ යටත් වන රටවල් සතු සම්පත් භවභෝග හා පුරාවස්තු මහා පරිමාණයෙන් කොල්ලකෑවා. ඒ තුළින් තමයි ඔවුන් අද ඔය ඉන්න සුඛෝපභෝගී ස්වයංපෝෂිත මහේශාක්‍ය තත්ත්වයට පත්වුණේ.
මොවුන්ගේ කොල්ලකෑම් වලට ලක්වුණු රටවල් දරිද්‍රතාවයේ පතුලටම ඇදවැටුනා. උදාහරණ ඕන තරම් තියෙනවා කියන්න. නමුත් මම එක් උදාහරණයක් කියන්නම්. ඉන්දියාව බි‍්‍රතාන්‍ය ජාතිය අතට පත් වෙන්න කලින් ඒ රට ලෝක ආර්ථිකයට කරපු දායකත්වය 23% යි. නමුත් ඔවුන් ඉන්දියාවෙන් පිටව යන කොට ඒ අගය 3% දක්වා බස්සලයි ගියේ. ඉතින් අපි වගේ යටත්විජිත ගැන කවර කතාද.
මේ විදියට ගොඩ නගාගත්ත රටාව දෙවන ලෝක යුද සමයේදි කඩා වැටෙනවා. නමුත් කෙටිකලකින් යළි තහවුරු වන එම රටවල් අතර ඇමරිකාව නායකත්වයට පත්වෙනවා.
මේ කඳවුර කල්පනා කරනවා දෙවන ලෝක යුද්ධයට පෙර තිබුණු ශ‍්‍රී විභූතිය යළි අත්පත් කරගන්න. ඒ වන විට ඔවුන් සතුව තිබූ යටත්විජිත නිදහස ලබා වෙන වෙනම පාලනය වෙනවා. හැබැයි මේ ගොල්ල ඒ රටවල් වලට නිදහසේ ඉන්න ඉඩ දෙන්නෙ නෑ.
මෙන්න තියෙනවා හොඳ උදාහරණයක්. 1952 දී බොහොම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ඉරානයේ අගමැතිවරයෙක් පත් වෙනවා මොහොමඞ් මොසෑඩෙක් කියලා. ඔහු ඒ රට නඟා හිටවන්න උත්සාහ කරනවා. ඒ කාලයේ ඉරානය සතු තෙල් සම්පත් ඔක්කොම භුක්ති වින්දේ ‘බි‍්‍රටිෂ් පර්ෂියන් ඔයිල් කම්පැනි’ කියන බි‍්‍රතාන්‍ය සමාගමක්. මොසෑඩෙක් අගමැතිතුමා ඉරාන තෙල් සම්පත ජනසතු කරනවා. එම කේන්තියට මේ බලවතුන් එකතුවෙලා සී. අයි. ඒ කුමන්ත‍්‍රණයකින් 1953 දී මොසෑඩෙක් අගමැතිව බලයෙන් පහ කරනවා. අන්න ඊට පස්සේ තමයි අපි කවුරුත් දන්න කුප‍්‍රකට ‘ෂා රජු’ කියන පාලකයා බලයට එන්නේ. ඔහු 1979 වෙනකන් ඇමරිකාවට ඕන විදිහට ඉරානය පාලනය කරනවා. මට මේ විදියෙ උදාහරණ සිය ගණනක් මතක් කරලා කියන්න පුළුවන් මේ බලවතුන් විසින් රටවල් අවුල් වියවුල් කරපු.
මේ විදියට ඉදිරියට ගිය ධනවාදී කඳවුරට ඒ කාලේ ලොකු බාධකයක් තිබුණා. ඒ තමයි සෝවියට් දේශය ප‍්‍රමුඛ සමාජවාදී කඳවුර. සමාජවාදී කඳවුර තිබීම නිසා ඇමරිකානු ධනවාදී කඳවුරට තමන්ගේ සැලැස්ම 100% ලෝකය තුළ ක‍්‍රියාත්මක කරන්න බැරි වුණා. මේ නිසා ඔවුන් සමාජවාදී කඳවුරට එරෙහි අරගලය පටන් ගන්නවා. 1980 වනවිට ඒ අරගලය සාර්ථක වීමෙන් සමාජවාදී කඳවුර දුර්වල වෙනවා. 1991 දෙසැම්බර් මාසයේදී සෝවියට් දේශය ප‍්‍රමුඛ සමාජවාදී කඳවුර බිඳ වැටෙනවා. අන්න ඊට පස්සේ බටහිර බලවතුන් කිසිදු බාධාවකින් තොරව ලොව තමන්ගේ යටත් විජිත වශයෙන් තිබුණු රාජ්‍යයන් තමන්ට අවශ්‍ය පරිදි අවනත කරගෙන තමන්ගේ කක්ෂය වටා තබා ගන්න සැලසුම් කරනවා. ඒ ගොල්ලො කියන විදියට ආර්ථිකය හසුරවන්න, ඒගොල්ලොන්ගෙ වැඩසටහන් මේ රටේ ක‍්‍රියාත්මක කරන්න, ඔවුන්ගේ සංස්කෘතිය මේ රටේ පතුරුවන්න උපායමාර්ග යොදනවා.
යම්කිසි හෙයකින් ඒගොල්ලන්ගෙ සැලසුම් වලට අනුව, ඔවුන්ට අවනත නොවන රාජ්‍යයක් තියෙනවා නම් ඒ රාජ්‍යය කෙසේ හෝ අවනත කරගන්න බලවතුන් උපායමාර්ග ක‍්‍රියාත්මක කරනවා. රටවල් අවනත කරගන්න ඔවුන් භාවිත කරන මෙවලම් රැසක් තියෙනවා. එකක් තමයි මිලිටරි බලහත්කාරය. ඉරාකයේ ලිබියාවේ හා ඇෆ්ගනිස්තානයේ මිලිටරි බලය යොදවා රටවල් අවනත කර ගැනීම. එහෙම නැත්නම් අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසමින් ඒ ඒ රටවල් අවුල් කිරීමටත් මේ බලවතුන් හරි දක්ෂයි. මේක කරන්නේ විවිධ වර්ගයේ ජන කණ්ඩායම්, ගෝත‍්‍ර, කුල මල, ආගම්, ආදී විවිධ බෙදීම් යොදාගෙන ගැටුම් ඇති කිරීම තුළින්. යම් යම් බෙදීම් තියෙන තැන් හොයාගෙන ගිහිල්ලා සටන් වදින කණ්ඩායම් වලට මේ ගොල්ලා උදව් කරනවා. ඒක කරන්නේ අර අදාළ ජන කණ්ඩායම් වලට හා ආදරය නිසා නෙවෙයි. එතන ගැටුමක් ඇති කරන්න අවශ්‍ය නිසයි.
ඒ වගේම මේ බලවතුන් රටවල් අවනත කර කරගන්න යොදන තවත් උපායක් තමයි තමන්ට අවනත නොවන ආණ්ඩු තියන රටවල්වල ඒ අකීකරු ආණ්ඩු පෙරළා දමා වෙනත් ආණ්ඩු බලයට පත් කිරීම. මෙතෙන්දි ඔවුන් කෙළින්ම මැතිවරණ ක‍්‍රියාදාමයට පවා මැදිහත් වෙනවා. අපි මේකට කියනවා ‘ඉලෙක්ශන් මැණිපියුලේෂන්’ (Election Manipulation) කියලා. එතෙන්දි කරන්නේ තමන් අකමැති පුද්ගලයා හෝ කඳවුර එලවන්න ඒ රට තුළ පළමුව මතවාදයක් ඇති කරනවා. පාලකයා දූෂිතයි හෝ පාලකයා දුර්වලයි හෝ පාලකයා දරුණුයි හෝ ආදී වශයෙන් රට තුළ මතවාද ඇති කරමින් රටේ උණුසුම් වාද විවාද බිහි කරනවා.”
බොහෝවිට එබඳු රටවල පාලකයන්ගේ දුර්වලතා වුණත් තිබෙනවා නේද… දුර්වලතා එළිදක්වමින් මතවාදයක් නිර්මාණය කිරීම රටට නරක දෙයක් නෙවෙයි..?
“මම කියන්නේ නෑ මේ රටවල පාලකයෝ දූෂිත නෑ කියලා. සමහරු දූෂිතයි. ඒ වගේම තවත් සමහරු දුර්වලයි තමයි. නමුත් මේ ගොල්ල ඒ රටවල පාලකයා වෙනස් කරන්නේ ඒක හින්දා නෙවෙයි. ඒගොල්ලන්ට අවනත නොවන නිසා විතරයි. ඒක කරන්නේ මෙහෙමයි. පළමුව ඒ රටවල ඒ පාලකයන්ට විරුද්ධව මතයක් නිර්මාණය කරනවා. දෙවනුව ඒ රටවල සිවිල් සමාජය යන සුජාත නාමයෙන් පෙනී සිටින කණ්ඩායම් වලට ඒ මත මතවාද සමාජය තුළ රෝපණය කරන්න පහසුකම් සලසනවා. ඒ සඳහා අරමුදල් සපයනවා. තමන්ට අවශ්‍ය නැති කණ්ඩායමට විරුද්ධ බලවේග සියල්ල පෝෂණය කරනවා. එහෙම කරලා ඒ කඳවුර බලයෙන් පහ කරලා තමන්ට අවශ්‍ය, තමන්ට අවනත කඳවුර ඒ රටේ බලයට ගේනවා. මම ඉතාම වගේකීමකින් යුතුව කියනවා පහුගිය අවුරුදු හත අට ඇතුළත මේ දකුණු ආසියානු කලාපයේ සිද්ධ වුණු සෑම මැතිවරණයකට සෑම ආණ්ඩු පෙරළියකටම මේ ලෝක බලවතුන් මැදිහත් වුණා කියලා. ඒ විදියට තමයි මාලදිවයිනේ තිබුණු ආණ්ඩුව මේ ගොල්ල පෙරළුවේ.
මාලදිවයිනේ හිටපු පාලකයා අබ්දුල්ලා යමින් හොඳ පාලකයෙක් නොවෙයි. එයා දඩබ්බර ඒකාධිපති පාලකයෙක්. අන්න ඒව තමයි ඇමරිකන්වාදී මේ බලවතුන්ට ලැබෙන තුරුම්පු. ඔහුව බලයෙන් පහ කරලා බලයට පත් කරපු මොහොමඩ් සෝලී ඇමෙරිකාවට වුවමනා විදිහට ඒ රට පාලනය කරනවා.
මෙන්න මේ විදිහට 2015 දී මේ ලෝක බලවතුන් ලංකාවේ ආණ්ඩුව වෙනස් කරන්නත් මැදිහත් වුණා. ඒ කිව්වේ ඇමරිකාව කැනඩාව යුරෝපා සංගමය හා ඉන්දියාව කියන බලවතුන් 4 දෙනාම.
මම ඒකට නිදර්ශන දෙකක් කියන්නම්. ලංකාවේ ආණ්ඩුව වෙනස් කරන්න ඒ ගොල්ල තීරණය කළේ 2015 දී නෙවෙයි. මීට අවුරුදු 5 කට විතර කලින් ඉඳලා. ඒ මොකද මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරයා ඇමරිකාවට, යුරෝපා සංගමයට වුවමනා විදිහට වැඩ කරපු අවනත කීකරු සුරතලෙක් නොවූ නිසා.
ඔබට මතක ඇති යුද්ධයේ ඉතාමත් බිහිසුණු අවස්ථාව වන විට ලංකාවට ආවා බි‍්‍රතාන්‍යයේ විදේශ ලේකම් ඬේවිඩ් මිලිබෑන්ඩ් හා ප‍්‍රංශයේ විදේශ ඇමැති බර්නාඩ් කුෂිනර්. ඇමරිකාවේ අනුදැනුම පිට ලංකාවට පැමිණි මොවුන් දෙදෙනා මහින්ද රාජපක්ෂට කිව්වා වහාම මේ යුද්ධය නතර කරන්න කියලා. මහින්ද මොකද කිව්වේ ? එයා කිව්වා ‘මේ වෙලාවේ මේ යුද්ධය නතර කරන්න පුළුවන් කමක් නෑ; මම කරන්නේ මගේ රටට වුවමනා දේ. අපි තවදුරටත් උඹලගෙ පාලනය යටතේ වැඩකරන කොලනියක් නෙවෙයි. ඒ යුගය එක්දහස් 1948 දී අවසන් වුණා කියලා’.
මේක මේ ලෝක බලවතුන්ට බරපතළ ලජ්ජාවට කරුණක් වුණා. ඊට පසුව තීරණය කළා ලංකාවේ ජනාධිපති කමින් මේ මිනිහා අයින් කරන්න.
මහින්ද රාජපක්ෂ යුද්ධය ජයග‍්‍රහණය කළා. එල්ටීටීඊය පරාජය කළා. ඒ විතරක් නෙවෙයි ඒ වනවිට මේ ලෝක බලවතුන්ට මහා හිසරදයක්ව ආසියානු කලාපය තුළ වේගයෙන් නැගී හිටපු ආර්ථික බලවතා වන චීනය සමඟ මිත‍්‍රත්වයක් ගොඩ නගා ගත්තා. මෙන්න මේවා තමයි හේතු මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කරන්න තීරණය කරන්න.
ඔබ දන්නවනේ යහපාලන ආණ්ඩුව පටන් ගත්තේ 2015-ජනවාරි-08 කියලා. එම ජනවාරි මාසයේ 25 – 27 කියන දවස් තුනේ ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉන්දියාවට එනවා. එතකොට ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි. ඔබාමා ඉන්දියාවවේ කළ නිල කතාවකදී ලංකාව ගැන ඒගොල්ලන්ගෙ තක්සේරුව හෙළිදරව් කරනවා.
‘දැන් ශ‍්‍රී ලංකාව තුළත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාවෙලා තියෙනවා.’ මේ කිව්වෙ ඒ ගොල්ල ඒ තිබුණු යහපාලන ආණ්ඩුවට ආශිර්වාද කරනවා කියන එකනේ. ඒ සඳහා උදව් කිරීම ගැන ඉන්දියාවට ඔබාමා ස්තුතිය පළ කරනවා. ඒවගේම ඉන්දියාවට කියනවා මේ උදාවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගන්න ඉන්දියාව දිගින් දිගටම මැදිහත් වෙන්න කියලා. මේ එක් උදාහරණයක්.
අනිත් එක. ඔබ දන්නවනේ ඇමරිකාවේ විදේශ අමාත්‍යංශය හඳුන්වන්නේ ‘රාජ්‍ය දෙපාර්තමේන්තුව කියලා. ඒක බොහොම බලවත් අමාත්‍යංශයක්. එදා එහි හිටපු විදේශ ලේකම්, ඒ කිව්වේ විදේශ ඇමැති ජෝන් කෙරී එයාලගේ 2016 වසරේ මූල්‍ය ප‍්‍රකාශනය නිකුත් කරන්න පෙරවදනක් ලියනවා. එහි කියනවා අපි 2015 දී රටවල් තුනක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන්න ඩොලර් බිලියන 585 ක මුදලක් වැය කරල තියෙනවා කියලා. මොකක්ද මේ රටවල් තුන. ලංකාව, මියන්මාරය හා නයිජීරියාව. මම ඔබට කියන්න ඕන…. මේ ලෝක බලවතුන් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ කියලා හඳුන්වන්නේ අපි දේශපාලන විද්‍යාවේ ඉගෙන ගනිපු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නෙවෙයි. ඒගොල්ල ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ ඒ බලවතුන්ට අවශ්‍ය පරිදි අපේ රටවලට යන්න එන්න පුළුවන් නං, ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන් නම්, සම්පත් කොල්ල කන්න පුළුවන් නම්, දේශපාලන සමාජ ආර්ථික වශයෙන් මැදිහත් වෙන්න පුළුවන් නම් … ඒකට තමයි එයාලා ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ කිව්වේ. අන්න ඒක මේ රටේ ඇති කරන්න එයාලා සෘජුව මුදල් ලබා දුන්නා වගේම වක‍්‍රව විවිධ ආයතන හරහා, මෙන්ම විවිධ සංවිධාන හාරහා මෙන්ම විවිධ පුද්ගලයෝ හරහාත් මෙරටට මුදල් පොම්ප කළා.
ඔබට මතක ඇති 2016 දී පාර්ලිමේන්තුවේ ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා අහනවා ප‍්‍රශ්නයක්… පහුගිය කාලයේ එන්. ජී. ඕ. වලින් මෙරටට කොපමණ මුදල් පැමිණ තිබෙනවාද කියලා. ඒකට උත්තර දුන්න ඇමැතිවරයා වන මනෝ ගනේෂන් කියනවා 2014 සිට 2016 දක්වා එන්. ජී. ඕ සංවිධාන වලට මුදල් පැමිණ තිබෙනවා රුපියල් බිලියන 35 ක් කියලා. ඒ කිව්වේ කෝටි 3500 ක්. සෙල්ලමක්ද හිතන්න… අන්න ඒ මුදල් තමයි ඒ දවස්වල අපේ රටේ බිහි වුණ ‘යහපාලන කන්සෙප්ට්’ එක කරේ තියාගෙන ගිය සංවිධාන සියල්ල අඩු වැඩි වශයෙන් වියදම් කළේ. සිවිල් සංවිධාන කියලනේ මේවට කියන්නේ. ඒ ගොල්ල තමයි මානව හිමිකම්, යහපාලනය, සාධාරණ සමාජය, ආදී විවිධ ප‍්‍රවාද සමාජ ගත කරලා ආණ්ඩු වෙනසක් සඳහා සමාජයේ ජනතාවගේ ඔළු කුහර සකස් කරන්නේ.
දැන් මෙතන මතුවෙනවා නේ ප‍්‍රශ්නයක් ඇයි මේගොල්ලෝ මෙහෙම කරන්නේ කියන එක…. ඒක හරිම වැදගත්. මේක ගැන සමහර උගත්තු කතා කරන්නේ නැහැ. සමහරු නොදන්නවා වගේ ඉන්නවා. සමහරු දන්නෙ නෑ….
පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකට වුණත් මේ ගැන දැනුමක් නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. ඒක දැන ගත යුතුයි.
ඔබ දන්නවා තවමත්, අදටත් ලෝකයේ අංක එකේ ආර්ථිකය තියෙන්නෙ ඇමරිකාවට. 2018 වසරේ දී ඇමරිකාවේ ආර්ථික උත්පාදනය ඇමරිකානු ඩොලර් ‘ටි‍්‍රලියන 19.4’ ක් වෙනවා. ඔබ දන්නවා ටි‍්‍රලියනයක් කියලා කියන්නේ ‘කෝටි ලක්ෂයක්’. ඊට පස්සේ දෙවන තැන හිටියේ ජපානය. දැන් අවුරුදු දෙකක විතර ඉඳලා ඒ දෙවන තැනට චීනය පැමිණ තියෙනවා. ආර්ථික විශ්ලේශකයන් ගණන් හදලා තියෙනවා 2040 වන විට හෝ ඊටත් පෙර චීනය ඇමරිකාවත් ඉක්මවලා අංක එකේ තැනට එනවා කියලා. දැන් ඒ ලෝක බලවතුන්ට අවශ්‍යයි චීනයේ ඒ ගමන නවත්වන්න. ඒ ගමන අඩාල කරන්න. අන්න ඒක කරගන්න ඔවුන් අපි වගේ දුප්පත් දිළිඳු රටවල් තමයි ඉත්තො බවට පත් කරන් ඉන්නේ.
මේ බැව් තහවුරු කරන්න මට කරුණු තියනවා.
සාමාන්‍යයෙන් ඇමරිකාව වගේ රටක් එම ආණ්ඩුවට උපදෙස් දෙන බුද්ධි මණ්ඩලවල උපදෙස් වලින් පිට මුකුත්ම කරන්නේ නැත. ආණ්ඩුවට උපදෙස් දෙන බුද්ධි මණ්ඩල ගණනාවක් ඇමරිකාව තුළ ඉන්නවා. ඒ අතර බොහොම පිළිගත් බුද්ධි මණ්ඩලයක් තමයි ‘කවුන්සිල් ඔෆ් ෆොරීන් රිලේෂන්’ කියලා කියන්නේ. ඒගොල්ලො හදනවා 2015 දී වාර්තාවක්. එයාල පෙන්නල දෙනවා චීනය ඉතා වේගයෙන් ලෝකයේ ආර්ථික බලවතා වෙන්න එන ගමන ගැන. ආර්ථික වශයෙන්, යුද බලය වශයෙන් ඉදිරියට එන චීනයේ මේ ගමන අඩාල කරන්න ඇමරිකාව ඊළඟට අවධානය යොමු කරන්න ඕන කියන කාරණාව මේගොල්ලෝ අවධාරණය කරනවා. වහාම ඇමරිකාව චීනය මෙල්ල කළ යුතුයි කියන කාරණාව කියනවා. ඒක එකක්.
ඊළඟට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය ජූනි 1 වෙනිදා වාර්තාවක් නිකුත් කරනවා ‘ඉන්දු ශාන්තිකර කලාපයේ අමෙරිකානු උපාය මාර්ග’ කියලා. චීනය ඉන්දියාව අපි ජපානය ආදි රටවල් ඔක්කොම මේ කලාපයට අයත්. මෙන්න මේ කලාපය තමයි වර්තමාන ලෝකයේ ආර්ථික ‘පවර් හවුස්’ එක. එහි නායකයා තමයි චීනය. රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව කියනවා චීනය මේ කලාපය තමන්ගෙ ගොදුරක් බවට පත් කරගන්න හදනවා. එම කලාපයේ තිබෙන දුප්පත් රටවල් වලට උදව් කරන මුවාවෙන් චීනය ඔවුන්ව ණය උගුලක හිර කරනවා. අපි මේ චීන වෑයම පරාජය කරන්න ඕන. ඒ සඳහා අපි ඉන්දියාව සමග මිලිටරි සම්බන්ධතා ඇතිකර ගන්නවා. ඒ වගේම ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය වගේ රටවල් එක්කත් මිලිටරි සබඳතා ගොඩනගා ගත යුතුය කියලා. දැන් ඔබට වැටහෙනවා ඇති නේද ඇමරිකාව හරහා අපිට ‘සෝෆා’ (Sofa) ‘ඇක්සා’ (Acsa) සහ ‘මිලේනියම් කෝපරේෂන්’ (Millennium Corporation) ආදී නම් වලින් ගිවිසුම් ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද කියලා. ඇමරිකාවේ තිබෙන තවත් වැදගත් බුද්ධි මණ්ඩලයක් වන ‘හෙරිටේජ් ෆවුන්ඩේෂන්’ (Heritage Foundation) කියන එක 2019 මාර්තු 14 වෙනිදා තවත් උපදේශන වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ වාර්තාව කියනවා ‘2015 ජනවාරි 8 වැනිදා සිදුවූ බල පෙරළියෙන් පසුව ශ‍්‍රී ලංකාවේ අපට ඉතාමත් හිතකර පාලනයක් බිහි වුණා; එමගින් අපට ඒ රටේ හොඳ ප‍්‍රවේශ මාර්ගයක් විවර වුණා ඉන්දු ශාන්තිකර කලාපයේ අපේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. නමුත් දැන් ඒකට තර්ජනයක් පැමිණිලා තියෙනවා. ඒ තමයි බලසම්පන්න රාජපක්ෂ පවුල යළිත් ශ‍්‍රී ලංකාවේ බලයට එන්න ඉඩ තියෙනවා. ඔවුන් පැමිණියොත් ශ‍්‍රී ලංකාවේ අපට තිබෙන ප‍්‍රවේශ මාර්ගය වැහිලා යනවා. ඒ නිසා කල් ඇතුවම මේ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා රජය උපායමාර්ග සැකසිය යුතුයි’ කියලා.
දැන් මේ සියල්ලෙන්ම පෙනෙනවා ලෝක බලවතුන් බලය සම්බන්ධයෙන් කරගෙන යන අරගලය ඇතුලේ අපි වගේ පුංචි පුංචි රටවල් ඔවුන්ගේ ඉත්තන් හා ගොදුරු බිම් බවට පත්වන ආකාරය. ඒ වගේම පෙනෙනවා අපේ රට පාලනය කරන මේ ‘යහපාලන ආණ්ඩුව‘ කියන ඒකකය ඉතාමත්ම කැමැත්තෙන් – ස්වෙච්ඡාවෙන් ඒ බලවතුන්ගේ ගොදුරක් බවට පත් වෙලා ඉන්න ආකාරය. ඒකට ඉතින් වරදක් කියන්න බැහැ. මොකද ඒක තමයි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රධාන මේ සමාජ බලවේගයේ දේශපාලන දෘෂ්ටිය. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා තමයි එහි නියමුවා. හැබැයි ඔහුට කවදාවත් මේ රටේ ජනතාවගේ කැමැත්තෙන් බලයට එන්න බෑ. ඒ මොකද ඔහුගේ ප‍්‍රතිපත්ති වලට සිතුම් පැතුම් වලට මේ රටේ ජනතාව කැමැති නෑ. එහෙම නම් ඔහු වෙනුවෙන් පත්කරන නියෝජිතයෙක් හරහා තමයි ඇමරිකානු අවශ්‍යතා මේ රටේ ඉෂ්ට සිද්ධ කළ ගත යුතු වෙන්නේ. ඒ සඳහා ඔවුන් මෛත‍්‍රිපාල සිරිසේන මහත්මයාව ඉතාම සුදුසු මෙවලම විදිහට පාවිච්චි කළා.
බලන්න ඔවුන් මොනතරම් සූක්ෂම ලෙස ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා හා ඔහු වටා සිටි බලවේග පාවිච්චි කරාද කියන එක. ඒක තාමත් මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා දන්නෙවත් නැහැනෙ.
මම මෙතෙන්දී රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ගැනත් වචනයක් කියන්න ඕන. ඒ මොකක්ද රනිල් වික‍්‍රමසිංහ ගරු කරන දෘෂ්ටිවාදය කුමන බාධකය ආවත් අතහරින්න කැමැති නෑ කියන එක. ඒක ඔහුගේ පැත්තෙන් ධනාත්මක ලක්ෂණයක්. අර ‘හෙරිටේජ් ෆවුන්ඩේෂන්’ එක ඒගොල්ලන්ගෙ වාර්තාවේ රනිල් වික‍්‍රමසිංහව හඳුන්වන්නේ ‘reform minded wickramasinghe’ කියලයි. ඒ කියන්නේ ප‍්‍රතිසංස්කරණ වලට කැමති වික‍්‍රමසිංහ කියලයි. ඒගොල්ලො බොහොම අගය කරමින් ප‍්‍රතිසංස්කරණ කියලා කියන්නේ ‘අපේ සම්පත් ඇමරිකාවට විකිණීම, ඔවුන්ට අවනත වීම, අපේ රටේ ජාතිය සංස්කෘතිය ඔවුන්ට ප‍්‍රවේශ වීම සඳහා විවෘත කිරීම, රටේ ඉඩම් බහුජාතික සමාගම් වලට පවරා දීම, යුදමය බලය සඳහා රට විවෘත කරදීම …’ ආදී හුඟාක් දේවල් වලට. ඒ වගේම මේ රටේ තිබෙන නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය වගේ දේවල් බිඳ දාලා ඔවුන්ගේ වෙළඳපලට ඒ සඳහා ප‍්‍රවේශ වීමට ඉඩ දෙනවනම් ඒ තමයි ඒ ගොල්ලන්ගේ ප‍්‍රතිසංස්කරණ. ඒකට ඉතින් රනිල් වික‍්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන දෘෂ්ටිය ජාඩියට මූඩිය වගේ ගැළපෙනවා.
ඒ වගේම ඇමරිකාව ප‍්‍රමුඛ මේ බලවත් ජාතීන්ට ලංකාව හරිම වැදගත්. ඒ මොකද ඉන්දු ශාන්තිකර කලාපයේ ලංකාවේ තිබෙන පිහිටීම. ඇමරිකාවේ ඉන්දු ශාන්තිකර කලාපයේ ආරක්ෂක ප‍්‍රධානියා වන ජෙනරල් හැරිස් මේ ගැන කියනවා. ඔහු කියනවා ලංකාවට යන්නේ නැතුව ඔබට හෝමෝස් සමුද්‍ර සන්ධිය හරහා මලක්කාවට යන්න බෑ. ඒ වගේම මේ ජෙනරල් හැරිස් කියන මහත්මයා ආවා වතාවක් ලංකාවේ තිබුණු ‘ගාලු කථිකාවත’ කියන විශේෂ සම්මේලනයට. ඇවිත් ඔහුගේ දේශනයේදී ඔහු ලංකාවේ වැදගත්කම ගැන මොනවද කිව්වෙ ? ඔහු කියනවා ලංකාවේ තිබෙන වැදගත්කම තමයි ‘පිහිටීම, පිහිටීම, පිහිටීම’ (location) කියලා තුන්පාරක්ම එකම දේ කියනවා. ලංකාව තමයි පෙර අපරදිග සියලු ආර්ථික ක‍්‍රියාකාරකම්වල එහා මෙහා යන දොරටුව. ඇමරිකාව මෙතන ඇවිල්ලා පැලපදියම් වුණෝතින් හෝ ඔවුන්ට හිතවත් රජයක් මෙම මර්මස්ථානයේ පැවතුණොත්, ඒක තමයි මේ බලවතුන්ගේ විජයග‍්‍රහණය.
කොටින්ම කියනවා නම් ඇමරිකාවට චීනය මෙල්ල කරගන්න නම් ඔවුන් මෙතන ඉන්න ඕනේ. අනාගතයේදී ඉන්දියාව පවා මෙල්ල කරගෙන ඔවුන්ට අවනත කර ගැනීම තමයි මෙම සැලැස්මේ ඉතුරු කොටස.
මේ ඔක්කොම කරන්න නම් ලබන නොවැම්බර් මස 16 වැනිදා පැමිණෙන ජනාධිපතිවරණය මේ බලවතුන්ට තීරණාත්මකයි. මේ මහා බලවතුන්ට ඉදිරියේදීත් මේ රට තමන්ට අවශ්‍ය විදිහට පරිභෝජනය කිරීමට නම් තමන්ට අවනත තමන්ට ගැළපෙන නායකයෙක් හා ආණ්ඩුවක් මේ රට තුළ නිර්මාණය කර ගැනීම අත්‍යාවශ්‍යයි. ඒ සඳහා නැවත වතාවක් 2015 දී කළා වගේ වගේ ඔවුන් මේ රටේ ස්වාධීනත්වයට එරෙහිව හැකි සියලුම අවි ආයුධ, ආම්පන්න හා බලවේග මෙවරත් පාවිච්චි කරන බව තමයි දැන් අපිට පෙනෙන්න තියෙන්නේ. ජනාධිපතිවරණයේ වැඩ කටයුතු පටන් ගන්නත් කලින් විවිධ බලවේග ක‍්‍රියාත්මක වෙමින් පවතින බව අපට පෙනෙනවා. විශේෂයෙන්ම අපට විවෘත සමාජයේ නම් කියා හෙළිදරව් කිරීමට බැරි ‘තීරණාත්මක ආයතන’ සහ ‘බලවේග’ පවා අද මේ ඇමරිකානු අවශ්‍යතාවයේ ගොදුරුබිම් හා ගොදුරු බවට පත්වෙලා තිබෙන බව පේනවා. ලංකාවේ මානව සම්පත්, සමාජ සම්පත්, සංස්කෘතික සම්පත් ඔවුන් අද මුදල් ගෙවා අත්පත් කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා මැනවින් භාවිතා කරන බව අපට පෙනෙන්න තියෙනවා. ඒක නිසා ඉදිරියේදී පැමිණෙන ඡන්දයේදී භාවිතා වන හැම දෙයක්ම තීරණාත්මකයි. හැම මතවාදයක් ම තීරණාත්මකයි. ඕක තමයි මේ රටට ජාතියට මේ රටේ ස්වාධීනත්වයට මේ රටේ ස්වෛරීත්වයට ආදරය කරන, ගරු කරන සෑම ජාතිකයෙකුගේම ආසන්නතම අනාගත අභියෝගය විදිහට මම දකින්නේ.”
හොඳයි… ඔබ කිව්වා මේ අභියෝගය, මේ ඉරණම සහ මේ ‘පාවිච්චි වීම’ මේ රටේ ජනාධිපතිවරයා පවා තවමත් තේරුම් ගෙන නැති බව. අපට තව ටිකක් පැහැදිලි කර දෙන්න අපේ රටට එරෙහිව පැමිණෙන මේ අභියෝගය මොන මොන මුහුණුවරවල් වලින් ඉදිරියේදී අප හමුවට පැමිණෙයි ද කියලා? අපි කොහොමද මේ අභියෝග කල්තියා හඳුනා ගන්නේ?
“මේ වෙලාවේ තේරුම් ගැනීම ඉතාම සරලයි. මේ ඇමෙරිකානු අවශ්‍යතාවයේ දේශීය නියෝජිතයා හැමෝටම විවෘතව පේන්න පැහැදිලිවම සමාජයේ විරාජමානව ඉන්නවා. ඒ තමයි ‘හෙරිටේජ් ෆවුන්ඩේෂන්’ එකේම වචනවලින් කියනවා නම් ‘රිෆෝම් මයින්ඩඩ් වික‍්‍රමසිංහ’ ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය හා ඔවුන්ගේ දේශපාලන ක‍්‍රමෝපායනය. ඒ වගේම ඒ වටා ගොනු වෙච්ච, ඔවුන්ගේ අවශ්‍යතාව තමන්ගේ නියාය පත‍්‍රය බවට පත්කරගත් සිවිල් සංවිධාන. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂය වටා ගොනු වෙලා ඉන්න දේශපාලන පක්ෂ. දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් මට වෙනම විවේචනයක් තියෙනවා. ඔවුන් හිතන් ඉන්නවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තුළින් තමයි තමන්ගේ අවසාන අරමුණ හා ඉලක්කය වන, මේ රටේ ‘දෙමළ ජාතිය සඳහා වෙනම රාජ්‍යයක්’ යන කාරණාව සාක්ෂාත් කරගත් හැකි ව්‍යවස්ථා සංශෝධන ජයග‍්‍රහණය කර ගත හැක්කේ කියලා. ඔවුන්ට වෙනත් විශාල අරමුණු නැහැ. ඒ වෙනුවෙන් ඔවුන් රනිල් වික‍්‍රමසිංහ සමග අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ හැරුණාම එජාප බලවේගය සමග ඉන්න අනෙකුත් සියලුම ජනවර්ග හා දේශපාලන බලවේග මෙන්ම සිවිල් සංවිධාන සියල්ල දැන හෝ නොදැන හෝ න්‍යාය පත‍්‍රයානුකූලව මෙම ඇමරිකානු බලකඳවුර වෙනුවෙන් තම තමන්ගේ වැඩ කොටස නිසියාකාරව ඉටු කරමින් ඉන්නවා.
මම මේකෙන් අදහස් කරන්නෙ නෑ සියලු අන්‍ය ජාතීන්ට අයත් මේ රටේ ජීවත්වන ජන බලවේග මේ ඇමරිකානු න්‍යාය පත‍්‍රය කරපින්නා ගෙන වැඩ කරනවා කියලා. මේ අනතුර තේරුම් අරගෙන ස්වාධීන පොදුජන බලවේග සමඟ අත්වැල් බැඳගෙන ඉන්න ජනකොටසකුත් ඉන්නවා. මම ඔවුන්ට ගරු කරනවා. ඒත් සමගම පටු අරමුණු සහිතව පටු අරමුණ වෙනුවෙන් මුළු රටේම ගෞරවය හා ජාතියේ අනාගතය උගසට තබා වැඩ කරන පිරිසකුත් ඉන්නවා.
ඒ වගේම මෙතන ඉන්නවා ‘සිවිල් සමාජය’ කියලා කොටසක්. මේ අය උගත්. හැබැයි රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් මොවුන්ගේ ඒ උගත්කම් වලින් ඵලදායි මෙහෙවරක් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් අර කියපු ඇමරිකානු සහ ලෝක බලවතුන්ගේ අරමුණු වෙනුවෙන් තම කාලය ධනය ශ‍්‍රමය ආයෝජනය කරලා ඒ වෙනුවෙන් වෙහෙසෙමින් ලාභ ලබන ව්‍යාපාරයක නිරත වෙලා ඉන්නවා. ඒක තමයි ඔවුන්ගෙ රස්සාව. මම හිතනවා යම්කිසි කෙනෙක්ට මේ ටික තේරුම් ගන්න පුළුවන් නම් මේ රට අද මුහුණදීලා තියෙන අභියෝගයත් ප‍්‍රශ්නයත් ඉතාම මැනවින් තේරුම් ගත්තාය කියලා. රටක් ජාතියක් හැටියට අද අපි හැමෝගෙම වගකීම වෙලා තියෙන්නේ මෙන්න මේ අභියෝගය නිවැරදිව තේරුම් අරගෙන මේ අභියෝගයෙන් රට බේරා ගැනීමට තමන්ට හැකි සියලුම කැපකිරීම් කරමින් මේ බලවේගය පරාජය කරන්නට ඉදිරිපත් වීම පමණයි.”
– සමාජ දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴