මෙරට ඉතියෝපියාවක් කරනවද ? සිංගප්පුරුවක් කරනවද ? ජනතාවට ප්‍රශ්නයක් – නීතිඥ අලි සබ්රි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරට ඉතියෝපියාවක් කරනවද ? සිංගප්පුරුවක් කරනවද ? ජනතාවට ප්‍රශ්නයක් – නීතිඥ අලි සබ්රි (විඩියෝ)

• මඩකළපුව – පලාලි – රත්මලාන ගුවන්තොටුපළවල් වාණිජ ගුවන් ගමන් වලට විවෘත කෙරේ

• විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ගෙන් චෝදනාවක් (විඩියෝ)

• මන්ත්‍රි ඩලස් ගෙන් මාධ්‍ය නිවේදනයක් (විඩියෝ)

• පාස්කු ප්‍රහාරයට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිට ජනපති කොමිසමෙනුත් සිතාසි

• මලයාසියාවේදී එල්.ටී.ටී.ඊ.ය සිදුකළ මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු රැසක් හෙළිවේ

• රාජිත සහ එස්.බී. ජනාධිපති අපේක්ෂකයින් විසින් ප්‍රතික්ෂේප කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන් පවසයි

• කිලිනොච්චියේ වෙඩි තැබීම අනවබෝධයෙන් සිදුවූවක් – සුරාබදු නිලධාරීන්

• කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වයක් ලබාදෙන බවට ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

• ජනපතිවරණයේදී මුදල් භාවිතය සහ ඡන්ද පෙට්ටි ගැන, කොමිසම විශේෂ සාකච්ඡාවක

+++++++++++++++++++++++++++++++++++

මෙරට ඉතියෝපියාවක් කරනවද ? සිංගප්පුරුවක් කරනවද ? ජනතාවට ප්‍රශ්නයක් – නීතිඥ අලි සබ්රි

(13.10.2019 – 19:58 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉතියෝපියාවක් කරන්නේද සිංගප්පුරුවක් කරන්නේද යන්න මේ වනවිට ජනතාව හමුවේ ඇති ප්‍රශ්නය බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ මුස්ලිම් ජනතාව දැනුවත් කිරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ද සහභාගීත්වයෙන් පැවති වැඩසටහනකදී ඔහු මේ අදහස් පළ කළා.

***************************************

මඩකළපුව – පලාලි – රත්මලාන ගුවන්තොටුපළවල් වාණිජ ගුවන් ගමන් වලට විවෘත කෙරේ

(13.10.2019 – 21:15 +0530 – lankadeepa.lk)

මඩකළපුව , පලාලි සහ රත්මලාන යන ගුවන්තොටුපළවල් කලාපීය වාණිජ ගුවන් ගමන් සඳහා විවෘත කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට එම ගුවන් තොටුපළවලින් ගුවන් ගමන් සඳහා මගීන්, ගමන් මළු, භාණ්ඩ සහ තැපෑල ගොඩබෑම සහ පැටවීම සිදුකරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

මෙතෙක් එම ගුවන් තොටුපළවල් යොදාගනු ලැබුයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණි.

මින් ඉදිරියට දකුණු ආසියානු කළාපයට අයත් රටවල් ගුවන්යානා එම ගුවන්තොටුපළ වෙත ගමන් වාර ආරම්භ කරන බවද දැනටමත් ඉන්දියාව ඊට එකඟව ඇති බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

කලාපීය වාණිජ ගුවන්ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය ගුවන් තොටුපළ විවෘත කිරීමට රජය ගනු ලැබූ ඇති තීරණයට අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ ෴

***************************************

විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ගෙන් චෝදනාවක්

(13.10.2019 – 20:11 +0530 – hirunews.lk/sinhala)

රණවිරුවන් අපමණ නින්දා අපහාස විදිනු ලැබූයේ වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ සාම ගිවිසුම පැවති කාලයේ බව විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

රත්නපුර නගරයේ ඊයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පලකළා.

***************************************

14-10-2019

***************************************

මන්ත්‍රි ඩලස් ගෙන් මාධ්‍ය නිවේදනයක්

(13.10.2019 – 20:03 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අබ්දුල් රාසික් නම් පුද්ගලයා ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකරන බවට ගෙන යන ප්‍රකාශ දැඩිව ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (13) පස්වරුවේ මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කළා.

***************************************

පාස්කු ප්‍රහාරයට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිට ජනපති කොමිසමෙනුත් සිතාසි

(15.10.2019 – 07:24 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බැංකුවක පරිගණක පද්ධතිය සවි කිරීමේදී සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව එහි සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ලබන 23 වනදා දක්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත ඇති අතර, ඒ හේතුවෙන් ඊට අදාළ සිතාසිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හරහා අද පොලීසිය මාර්ගයෙන් හේමසිරි ප්‍රනාන්දුට ලබාදීමට කටයුතු කරන බවයි කොමිසමේ ආරංචි මාර්ග අනාවරණ කළේ.

ඒ අනුව මෙම මූල්‍ය වංචාවට අදාළව ලබන 18 වන දා පෙරවරු 9.30 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි යොමු කරන බව කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

මීට අදාළව අදාළ රාජ්‍ය බැංකුවේ වත්මන් සභාපතිවරයා ඇතුළු එහි උසස් නිලධාරීන් රැසකගෙන් ජනාධිපති කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා ෴

***************************************

මලයාසියාවේදී එල්.ටී.ටී.ඊ.ය සිදුකළ මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු රැසක් හෙළිවේ

(15.10.2019 – 07:21 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රවර්ධන කටයුතු මැලේසියාවේ සිදුකිරීම සඳහා ක්‍රියාත්මක වූ මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු රැසක් එරට පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ, මැලේසියානු ත්‍රස්ත මර්දන පොලීසිය අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

පසුගිය බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයන් හිදී මැලේසියානු පොලීසිය එල්.ටී.ටී.ඊ. හිතවාදීන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, දේශපාලනඥයන් දෙදෙනෙකු ද ඒ අතර වනවා.

මැලේසියානු ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රකාශක අයොබ් ඛාන් සඳහන් කළේ ඔවුන්ගේ පදිංචි ස්ථාන සහ ජංගම දුරකථන පරීක්ෂා කිරීමෙන් සැක කටයුතු මහා පරිමාණ ගනුදෙනු පිළිබද අනාවරණ වූ බවයි.

එහිදී හුවමාරු වූ මුදල් මැලේසියාවේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා පසුගිය වසර කිහිපය තුළ යොදා ගත් බව විශ්වාස කෙරෙනවා.

එමෙන්ම, අත්අඩංගුවට ගත් පුද්ගලයන් පදිංචිව සිටි ස්ථානවල තිබී එල්.ටී.ටී.ඊ. ධජ, පෝස්ටර් සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ද සොයා ගත් බවයි පොලිස් ප්‍රකාශකයා සදහන් කළේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පණ ගැන්වීම සඳහා මොවුන් කටයුතු කරමින් සිට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර්ට 2016 වසරේ ප්‍රහාරයක් එල්ල කොට තුවාල සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි බව සඳහන්.

එවන් පසුබිමක සේරුනුවරදී පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව යාපනය – කොණ්ඩාවිල් ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී කිලෝ 15 බැගින් බරැති ක්ලේමෝ බෝම්බ දෙකක් ද ඊයේ සොයාගනු ලැබුවා.

මීට පෙර ද ඔහු රැදී සිටි නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී අත්බෝම්බ 5 ක්, සී – 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, සජීවී පතොරොම් 230 ක් ඇතුළු තවත් යුද උපකරණ කිහිපයක් සොයා ගත්තේ සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි ෴

+++++++++++++++++++++++++++++++++++

***************************************

රාජිත සහ එස්.බී. ජනාධිපති අපේක්ෂකයින් විසින් ප්‍රතික්ෂේප කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන් පවසයි

(14.10.2019 – 20:06 +0530 – hirunews.lk/sinhala)

මෙරට ස්ථාවරව පවතින පද්ධතීන් විනාශ කිරීමට විදෙස් මුදල් මත ක්‍රියාකරන රාජිත සේනාරත්න, එස්.බී. දිසානායක යන දේශපාලනඥයින් ජනාධිපති අපේක්ෂකයින් විසින් ප්‍රතික්ෂේප කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

කිලිනොච්චියේ වෙඩි තැබීම අනවබෝධයෙන් සිදුවූවක් – සුරාබදු නිලධාරීන්

(14.10.2019 – 19:05 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය – අරවියල් නගර් ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ සුරාබදු නිලධාරීන් පිරිසක් රැගත් ජීප් රථයකට අද උදෑසන පොලීසිය සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව මූලික වාර්තාවක් කැදවා තිබෙනවා.

ඒ සඳහා උතුරුමැද පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සහ අතිරේක සුරාබදු කොමසාරිස්වරයෙකු පරීක්ෂණ කිරීම සඳහා යොදවා ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් පිරිසක් අද උදෑසන නිළ රථයෙන් රාජකාරියක් සඳහා යන අතරතුර අරවියල් නගර් ප්‍රදේශයේදී පොලීසිය නතර කරන ලෙසට දැනුම් දී තිබෙනවා.

එහෙත් ජීප් රථය නතර නොකිරීම හේතුවෙන් පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එහි ගමන් කළ සුරාබදු ඒකකයට තොරතුරු සපයන අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගංජා තොගයක් ජීප් රථයකින් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි ඔවුන් අද උදෑසන එම ප්‍රදේශය අවට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත්තේ.

කෙසේ වෙතත්, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ දෙපාර්ශවය අතර තිබූ අනවබෝධය හේතුවෙන් මෙය සිදුව ඇති බවයි ෴

+++++++++++++++++++++

***************************************

කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වයක් ලබාදෙන බවට ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

(14.10.2019 – 19:01 +0530 – hirunews.lk/sinhala)

තම රජයක් තුළ කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගල්ගමුව ප්‍රදේශයේ අද පැවැති ජන හමුවකට එක්වෙමින්.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කළේ වත්මන් ආණ්ඩුව යටතේ ජනතාවට කිසිදු සහනයක් නොලැබුණු බවයි.

මේ අතර, කොළඹ ඊයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ හමුවකට එක්වෙමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ වසර 30 කට පෙර යුද්ධය අවසන් කිරීමට නොහැකි වූයේ එම කාලයේ රට පාලනය කළ නායකයින් නිසි වෙලාවට තීන්දු, තීරණ නොගැනීම හේතුවෙන් බවයි.

***************************************

ජනපතිවරණයේදී මුදල් භාවිතය සහ ඡන්ද පෙට්ටි ගැන, කොමිසම විශේෂ සාකච්ඡාවක

(14.10.2019 – 18:59 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන ජනාධිපතිවරණයේදී මුදල් භාවිතය සහ අලුතින් ඡන්ද පෙට්ටි සකස් කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්වුණා.

ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදියි.

මෙවර ජනාධිපතිවරණය සඳහා දැනට තක්සේරු කර ඇති මුදලට වඩා වැඩි මුදලක් වැය වන බැවින් ඒ පිළිබදව සහ එම මුදල් යොදා ගන්නා ආකාරය පිළිබදව අද කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡා වී තිබෙනවා.

අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රුපියල් කෝටි හාර සියයක් බවට ඇස්තමේන්තු කර තිබූ ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල රුපියල් කෝටි පන්සියය ඉක්මවා යනු ඇති බවටයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර, එළඹෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 11 කට පමණ ආරාධනා කර තිබෙනවා. ඉන්දියාව සහ කොරියාව ඇතුලූ රටවල් 10 ක නිරීක්ෂකයින් ඊට අයත්.

එමෙන්ම, ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ එම කටයුතු ලබන මස 6 වනදාට පෙර අවසන් කිරීමට නියමිත බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *