ශ්‍රීලනිපයේ සහය ගෝඨාට දෙන්න තීන්දුයි – නිමල් සිරිපාල ද සිල්වා

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශ්‍රීලනිපයේ සහය ගෝඨාට දෙන්න තීන්දුයි – නිමල් සිරිපාල ද සිල්වා

• පොහොට්ටුවේ මංගල රැළිය අද (09)

• ගෝඨා අනුරපුරේ ශ්‍රීලනිප මහ ගෙදරට

• පූජිත්-හේමසිරිගේ ඇප මත මුදා හැරීමේ නියෝගය මහාධිකරණයෙන් ඉවතට – රක්ෂිත බන්ධනාගාර ගත කරන්න නියෝග

• ඇල්පිටිය මැතිවරණයෙන් සහ ජනාධිපතිවරණයෙන් උණුසුම් වූ මැතිවරණ වේදිකාව

• සිසුවියන් හත් දෙනෙක් කෙලෙසූ විදුහල්පතිවරයා යළි රිමාන්ඩ්

• වයස අවුරුදු 15 ක පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කල ගුරුවරියක් අත්අඩංගුවට

• මධුමාධව ඉවත් වුණේ අලි සබ්‍රි ගේ බලපෑමට !

• මුලතිව් කුරුළු අභයභූමියට අයත් ඉඩම් අක්කර 500 ක් හෙළි කරලා ?

• මාසික වේතනය රුපියල් 4000 යි. වැටුප නොතැකූ මෙහෙවරක්

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රීලනිපයේ සහය ගෝඨාට දෙන්න තීන්දුයි – නිමල් සිරිපාල ද සිල්වා

(09.10.2019 – 10:40 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එලඹෙන ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවේ නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මේ බව ප්‍රකාශයට පත් කළේය.

එජාපයට උදව් කිරීම, ගෝඨාභයට සහය දැක්වීම හෝ නිහඬව සිටිම යන තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැනීමට තිබු බවත් කෙසේ නමුත් පාක්ෂිකයින්ගේ අනන්‍යතාවය විකුණා දමා කටයුතු කළ නොහැකි බැවින් ජනතාවගේ පාර්ශවයෙන් සිතා ජනතා හිතවාදී තීන්දුවක් ගැනීමට කටයුතු කර යුතුව තිබු බවත් එහිදී අදහස් දැක්වු නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

කෙසේ වෙතත් අවසනයේ දී ගෝඨාභය මහතාට සහය දැක්වීමට පක්ෂය එකඟතාවය පල කළ බව ඒ මහතා පැවසීය.

https://www.youtube.com/watch?v=I0pghU7HA1M#t=6

+++++++++++++++++++++

***************************************

පොහොට්ටුවේ මංගල රැළිය අද (09)

(09.10.2019 – 12:18 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ජන රැළි මාලාවේ මංගල රැළිය අද (09) පැවැත්වෙයි.

අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම රැළිය අද (09) පස්වරු 02.00 ට ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැළිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වෙයි.

නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් අද පස්වරුවේ පැවැත්වෙන ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මංගල රැළිය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක යන මහත්වරුන් සහභාගී වන බවයි.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.

අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව අයමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව ඔවුන් ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගනු ලැබුවේය.

පසුව ඔවුන් අනුරාධපුර ජයන්ති විහාරය වෙතද පැමිණ ආශිර්වාද ලබාගත්තේය.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළි මාලවේ සමාරම්භක ජනරැළිය අද දහවල් දෙකට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ෴

+++++++++++++++++++++++++++++++++++

ගෝඨා අනුරපුරේ ශ්‍රීලනිප මහ ගෙදරට

(09.10.2019 – 14:09 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) පෙරවරුවේ පැමිණ තිබේ.

දුමින්ද දිසානායක මහතා මහත් හරසරින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා හා දුමින්ද දිසානායක මහතා සුහද පිළිසදරක නිරත විය.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර, එහිදී දුමින්ද දිසානායක මහතා කියා සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්ද සියල්ල ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්‍රහණය කරවන බවයි.

ඒ අවස්ථාවේ දුමින්ද දිසානායක මහතාගේ නිවසේ පාක්ෂිකයින් විශාල පිරිසක්ද පැමිණ සිටි අතර ඔවුන් සමඟ ද ගෝඨාභය මහතා සුහද පිළිසදරක නිරත විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක, එස්.එම් චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, ඩබ්.බී. ඒකනායක යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයින් සහභාගී විය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

පූජිත්-හේමසිරිගේ ඇප මත මුදා හැරීමේ නියෝගය මහාධිකරණයෙන් ඉවතට – රක්ෂිත බන්ධනාගාර ගත කරන්න නියෝග

(09.10.2019 – 12:00 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇපමත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබු නියෝගයක් අද (09) කොළඹ මහාධිකරණය විසින් ඉවත් කර තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මෙම නියෝගය කළේය.

ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහා අධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

මෙම සැකකරුවන්ට ඇප ලබා දීමේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තමන්ට නැති බලයක් නිර්මාණය කරගනිමින් නීතිය අභිබවා ගොස් ඇප නියෝගය ප්‍රකාශයට පත්කර ඇති බවද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

https://www.youtube.com/watch?v=0e7jG_pEM5w#t=6

+++++++++++++++++++++

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු රිමාන්ඩ්

(09.10.2019 – 15:53 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඒ, ඔවුන් දෙදෙනාට ඇප ලබාදෙමින් මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දී තිබූ නියෝගය කොළඹ මහාධිකරණය නිෂ්ප්‍රභ කිරීමත් සමඟයි.

එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධිත අයදුම්පත සම්බන්ධයෙන් වන තීන්දුව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව අධිකරණය තුලදී සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරින් භාරයට ගෙන තිබූ අතර, ඉන් අනතුරුවයි ඔවුන් මෙලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.

ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි පෙරවරු 10:45 ට ආරම්භ කළ අතර, ප්‍රථමයෙන්ම විනිසුරුවරයා සඳහන් කළේ මෙහි පසුබිම් සිද්ධිය රටටම වැදගත් සිද්ධියක් වන බැවින් සම්පූර්ණ නියෝගයම විවෘත අධිකරණයේදී ප්‍රකාශ කිරීමට තමන් තීරණය කළ බවයි.

නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මනුෂ්‍ය ඝාතන චෝදනා ගොනුකර ඇති අවස්ථාවක සැකකරුවන්ට ඇප ලබාදීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව එහිදී විනිසුරුවරයා කියා සිටියා.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට පමණක් නොව ආරක්ෂක අංශයේ සේවයේ නියුතු කිසිවෙකුට දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ චෝදනා ගොනු කළ නොහැකි බවට මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුවේ සඳහන් කර ඇතත්, එය පැහැදිලිවම අධිකරණ බලය ඉක්මවා යෑමක් බව මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නා.

නඩුවේ පාර්ශවකරුවන් නොවන පුද්ගලයන් හෝ යම් කිසි කණ්ඩායමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හෝ එවැනි නියෝග නිකුත් නොකරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එය විනිශ්චයකරුවෙකුගෙන් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි තීරණයක් බවද සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ එය විනිසුරුවරයෙකු විසින් නොකළ යුතු නියෝගයක් බවයි.

බුද්ධි තොරතුරු ලැබුණද නිශ්චිතවම ප්‍රහාරයක් එල්ල විය හැකි බව පෙර දැනුවත් වීමේ හැකියාවක් සැකකරුවන්ට නොමැති බවට මහේස්ත්‍රාත්වරිය ඇපදීමේ නියෝගයේ සඳහන් කර තිබීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේදී විශේෂ පැහැදිලි කිරීමක් කළා.

එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ දේවස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවා තිබුණේ නම්, එය විය හැක්කේ එම ස්ථානවලට ජනතාව වැඩි වශයෙන් එක්රැස්වන අප්‍රේල් 21 පාස්කු ඉරිදා වැනි දිනයක බව ආරක්ෂක ප්‍රධානියෙකුට නොව සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකුටද තේරුම් ගත හැකි කරුණක් බවයි.

මහේස්ත්‍රාත්වරිය තීන්දුව ලබාදීමේදී සැකකරුවන් දෙදෙනා ආරක්ෂක කටයුතු භාරව සිටි දෙදෙනෙකු පමණක් ලෙස සැහැල්ලුවෙන් සලකා ඇතත්, පළමු වගඋත්තරකරු ආරක්ෂක අමාත්‍යාංශයේ එකම ලේකම්වරයා වන අතර, දෙවන වගඋත්තරකරු ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා බව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චිගේ තීන්දුවේ සඳහන් වුණා.

ප්‍රහාරය පිළිබඳ අවස්ථා 347 කදී වාර්තා ලැබී තිබූ බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා ඊට පෙර දින ලැබුණු වට්ස්ඇප් පණිවුඩයකින් අප්‍රේල් 21 වැනිදා එය සිදුවන බවට නිශ්චිතව දන්වා ඇති පසුබිමක එවකට පොලිස්පතිවරයා සිදුකර ඇත්තේ එම තොරතුර පහළ නිලධාරීන් සිව් දෙනෙකු වෙත යැවීම පමණක් බව කියා සිටියා.

ඒ අනුව පසුගිය ජුලි මස 09 වැනිදා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන වගඋත්තරකරුවන් දෙදෙනා ඇපමත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත්වරිය ලබාදුන් ඇප නියෝගය අධිකරණ බලයක් නොමැතිව ලබාදුන් බරපතල නෛතික දෝෂ සහිත නියෝගයක් බවටයි විනිසුරුවරයා විවෘත අධිකරණයේදී සඳහන් කළේ.

එම නියෝගය අධිකරණයේ හෘද සාක්ෂිය කම්පනය කිරීමට තරම් ප්‍රබල නීතියේ අපගමනයක් සහිත නියෝගයක් බවද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියා.

ඒ අනුව ප්‍රතිශෝධන බලතල යටතේ අදාළ ඇප නියෝගය නිශ්ප්‍රභ කොට සැකකරුවන් නියෝගයට පෙර සිටි තත්ත්වයට එනම් රක්ෂිත බන්ධනාගාරගත විය යුතු බව විනිසුරුවරයා සඳහන් කළා.

ඉන් අනතුරුවයි සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කෙරුණේ. එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

***************************************

ඇල්පිටිය මැතිවරණයෙන් සහ ජනාධිපතිවරණයෙන් උණුසුම් වූ මැතිවරණ වේදිකාව

(08.10.2019 – 20:35 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණය හා ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මෙලෙස අදහස් පළ කළා.

***************************************

සිසුවියන් හත් දෙනෙක් කෙලෙසූ විදුහල්පතිවරයා යළි රිමාන්ඩ්

(09.10.2019 – 13:54 +0530 – sinhala.adaderana.lk)

කොත්මලේ ප්‍රදේශයේ පාසලක පාසල් සිසුවියන් හත් (07) දෙනෙකු අපයෝජනය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විදුහල්පතිවරයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග අධිකරණය නියෝග කර ඇත.

කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන දමිළ පාසලක සිසුවියන් හත් දෙනෙකු අපයෝජනය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය මඟින් සැක පිට අත්අඩංගුවට ගෙන අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විදුහලේ විදුහල්පතිවරයා අද කොත්මලේ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් චාන්දනී මිගොඩ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළිත් මේ මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කයිබු ඥානවඩිවු නැමති තිදරු පියෙකි.

එම විදුහලේ 7, 8, 9, 10 යන ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සිසුවියන් හත් දෙනෙකු අවස්ථා කිහිපයකදී විදුහල්පතිවරයා විසින් වරින් වර අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොත්මලේ පොලීසියට ඉකුත් 7 වෙනිදා ලද පැමිණිල්ලක් මත පොලීසිය මඟින් විදුහල්පතිවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන එදින මනාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් මාස්වෙල මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

විදුහල්පතිවරයාගේ බිරිඳ ද එම විදුහලේ ගුරුවරියක් වශයෙන් සේවය කරන බවත්, විදුහල්පතිවරයා විසින් අපයෝජනය කළේ යැයි කියන සිසුවියන් විසින් අවස්ථා කිහිපයකදී පැමිණිලි කළලත් ඒ පිළිබඳව විදුහල්පතිගේ බිරිඳ කිසිදු පියවරක් නොගත් බවත්, සිසුවියන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

අපයෝජනයට ලක් වු බව යැයි කියන සිසුවියකට උදරයේ අමාරුවක් ඇති වි අතර පසුව ඇය විසින් උදරයේ අමාරුව ඇති වීමට හේතුව වශයෙන් සිය මවට පවසා ඇත්තේ විදුහල්පතිවරයා විසින් තමන්ව වරින් වර අපයෝජනයට ලක් කල බවයි.

තම පාසලේ තවත් සිසුවියන් කිහිප දෙනෙකු විදුහල්පතිවරයා විසින් අපයෝජනය කරන බවට රෝගාතුර වු සිසුවිය පැවසීමෙන් අනතුරුව එම සිසුවියන්ගෙන්ද කොත්මලේ පොලීසිය විසින් පැමිණිලි සටහන් කර ගැනීමෙන් අනතුරුව සිසුවියන් හත්දෙනාම අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පොල මුලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කර ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථානමාරු කරන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා ඊයේ (08) හමු වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා ඉල්ලීමක්ද කර ඇත ෴

***************************************

වයස අවුරුදු 15 ක පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කල ගුරුවරියක් අත්අඩංගුවට

(09.10.2019 – 16:21 +0530 – sinhala.adaderana.lk)

මොනරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහලොවක පාසල් දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කල බවට සැකපිට පාසල් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල පොලිසිය විසින් මෙම ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ ගුරුවරියගේ දරුවා ද මෙම අපයෝජනය සිදු වූ බව කියන දරුවාගේ පංතියේ ඉගෙනුම ලබන බව වාර්තා වෙයි.

අපයෝජනයට ලක් වු දරුවාට අමතර පංතියක් ඇති බවත් ඒ සඳහා නිවසට පැමිණෙන ලෙසත් අදාල ගුරුවරිය දැනුම් දී තිබේ.

පසුව එම සිසුවා ගුරුවරියගේ නිවස වෙත ගොස් ඇත.

එහිදී නිවසේ කිසිවෙකු සිට නොමැති අතර එම අවස්ථාවෙදී ගුරුවරිය තමන්ව ලිංගික අපයෝජනයකට ලක් කල අදාල සිසුවා පොලීසියට පවසා තිබේ.

පසුව මෙම සිද්ධිය ට සම්බන්ධ පාසල් ගුරුවරිය මොනරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පාසල් සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොනරාගල පොලීසිය සිදු කරයි ෴

***************************************

මධුමාධව ඉවත් වුණේ අලි සබ්‍රි ගේ බලපෑමට !

(09.10.2019 – colombotoday.com)

මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ජන හමුවකදී කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය මත ඔහු පක්ෂයේ තමන් දැරූ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

මධුමාධව අරවින්ද මහතාට සමීප ආරංචි මාර්ග පවසන පරිදි මෙම තීරණයට හේතුවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප වී සිටින ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ගෙන් එල්ල වූ දැඩි බලපෑමයි.

අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් නීතීඥ අලි සබ්‍රි මහතා පොදුජන පෙරමුණේ නායකයන් වෙත සිය දැඩි විරෝධය පලකර ඇති අතර, මේ පිළිබදව පොදුජන පෙරමුණේ ප්‍රධානීන්ගේ දෝෂාරෝපනය එල්ල වී ඇත්තේ උදය ගම්මන්පිල මහතා වෙතයි.

එබැවින් ගම්මන්පිල මහතා පත්වී ඇති අපසුතාවය වලක්වා ගැනීම සදහා පක්ෂයේ දැරූ සියළු තනතුරුවලින් ඉවත් වීමට මධුමාධව අරවින්ද මහතා තීරණය කළ බව ඔහුට සමීප ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

***************************************

මුලතිව් කුරුළු අභයභූමියට අයත් ඉඩම් අක්කර 500 ක් හෙළි කරලා ?

(09.10.2019 – 20:30 +0530 – sinhala.adaderana.lk)

මුලතිව් කොක්කුතුඩුවාහි කුරුළු අභයභූමියට හා කඩොලාන කැළැවට අයත් අක්කර 500 කට ආසන්න ප්‍රදේශය මේ වන විට කිසියම් පිරිසක් විසින් ඉඩම් ගොඩකරමින් කුඹුරු වගාකරමින් සිටින බවට ප්‍රදේශයේ ජනතාව පවසති.

විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිසක් අභය භූමියේ පැවති අක්කර සියයකට ආසන්න ප්‍රදේශයක් ඩොසර් රථ යොදාගනිහින් හෙළි පෙහෙලි කොට වන වගාවන් හා කුඹුරු වගාවන් ආරම්භ කොට ඇති බවද ඔවුහු කියා සිටියි.

ප්‍රදේශයේ දෙමළ දේශපාලඥයින්ගේ හා රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙම ඉඩම් හෙළිපෙහෙළි කොට වගාබිම් ආරම්භකර ඇති බවත් එම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ වන සතුන් හා වල් අලින් අවට ගම්මානවලට ගම්වැදීම හේතුවෙන් එම ජනතාවගේ වගාබිම් විශාල හානියක් සිදුවි ඇති බව පෙන්වා දෙති.

කුරුළු අභය භූමියක් මෙලෙස විනාශකොට වගා ආරම්භ කිරීම පිළිබඳ ප්‍රදේශවාසීන් ලෙස තමන් දැඩි කම්පනයටපත්ව සිටින බවත් මෙම තත්ත්වය හේතුවෙන් අවට වනාන්තරවලද පරිසරයට දැඩි බලපෑමක් සිදුව ඇති බව ප්‍රදේශවාසිහු පවසති.

ඇතැමුන් වගාබිම් වෙන්කරගෙන ඇති අතර ප්‍රාදේශිය සභා මාර්ගයෙන් එම වගාබිම් වෙත ඇතුළුවීම සඳහා නව මංමාවත් ද සකස් කිරීම ආරම්භ කොට ඇති අතර මේ සඳහා දේශපාලඥයින්ගේ මැදිහත්වීම හේතුවෙන් වන විනාශය නවත්වා ගැනීමට කිසිවෙකුට නොහැකිවී ඇතැයිද කීය.

අභය භූමිය හෙළි කිරීම සම්බන්ධයෙන් මුලතිව් වනජීවි අඩවි වන නිලධාරී හේමජිත් මනුප්‍රිය මහතාගෙන් විමසීමේදී පවසා සිටියේ, ඉඩම් ගොඩකර ඇති ප්‍රදේශය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශයක් නොවන බවයි.

කුරුළු අභයභූමියක් බවට සඳහන් කොට නාම පුවරුව තිබුණද වනජීවි දෙපාර්තමේන්තුව සතු ඉඩමක් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ තමන් ඇතුළු නිලධාරීන් දීර්ඝ ලෙස සොයාබැලීම් සිදුකළ බවත් මෙම භූමිය අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බවත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මියගෙන් සිදුකළ විමසීමකදී දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවේ සිදුවීම සම්බන්ධයෙන් තමා සොයා බලා පිළිතුරක් ලබාදෙන බවයි.

ගැටළුව සම්බන්ධයෙන් උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ වර්තමාන රජය ‍මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ නිජ භූමිය වන මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ නව සිංහල ජනාවාසයක් ස්ථාපිත කරමින් සිටින බවයි.

රජය විසින්උතුරේ සිංහල ජනාවාස බිහිවීමේ ක්‍රියාවන් උතුරේ ජනතාව කිසිලෙසකින් අනුමත නොකරන අතර, රජය මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ ඉඩම් තුළ සිංහල ජනාවාස බිහිකරමින් පවතින අවස්ථාවක මුලතිව් දිස්ත්‍රික්කයේ පාරම්පරික ජනතාව ජිවත්වූ ඉඩම් ඇතුළත් කොට වනජිවි කලාප ලෙස නම් කොට නාමපුවරු යොදා ඇති බවද මන්ත්‍රීවරයා පැවසුවේය ෴

***************************************

මාසික වේතනය රුපියල් 4000 යි. වැටුප නොතැකූ මෙහෙවරක්

(09.10.2019 – 19:30 +0530 – sinhala.adaderana.lk)

ලෝක තැපැල් දිනය අදයි. තැපෑල වෙනුවෙන් මහත් කැපවීමක් කල ධාවිකාවක් අපට පයාගලින් හමුවුණි. මාසික වේතනය රුපියල් 4000 ක් වුවත් ඇය කිසිදා මැසිවිලි නැගු‍වේ නැත. චන්ද්‍රවතී කදුරුවල මහත්මිය අපට හමුවන්නේ, පයාගල ප්‍රදේශයේදී. ඇය මේ යන්නේ තමන්ගේ දෛනික රාජකාරිය වූ තැපැල් මළු එකතු කිරීම සඳහායි.

වසර 15 ක් පුරා මේ රැකියාවේ නිරත වන ඇය සතියකට වැඩ කරන කාලය දින හයක්. චන්ද්‍රවතී මහත්මිය දෛනිකව මේ තැපැල් මළු එකතු කිරීම සඳහා කිලෝමීටර් 15 ක් පමණ පා පැදියෙන් ගමන් කරයි. මසකට දින 25 ක් සේවය කරන ඇයගේ මාසික වේතනය රුපියල් 4000 ක්. නමුත්, ඒ සම්බන්ධයෙන් ඇය කිසිදිනක මැසිවිලි නැගුවේ නැහැ.

ලෝක තැපැල් දිනය වන අද දිනයේ ඇයයම් ඇගයීමට ලක්වුණි. වසර 15 ක් දෛනිකව පා පැදියෙන් ගිය ඇයට අද හිමිවූයේ ද පාපැදියක්.

https://www.youtube.com/watch?v=ISH7tv0Eeww#t=6

+++++++++++++++++++++

මැසිවිලි නොකියන දිරිය කත

(09.10.2019 – 14:13 +0530 – lankadeepa.lk)

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරන අනියම් සේවකයෝ බොහෝ දෙනෙක් සිටිති.

ඔවුන් අතර සිටින එකම කාන්තාව පයාගල හෙම්බරවිල පදිංචිකාරියක වන 60 හැවිරිදි චන්ද්‍රාවතී කඹුරාවිලයි. ඇය ගැන කථාකරන්නට හොදම දවස අද වන්නේ ලෝක තැපැල් දිනය අද (09) සමරනු බැවිනි.

පෞද්ගලික ධාවකයන්ගේ රාජකාරිය වන්නේ ප‍්‍රධාන තැපැල් හලෙහි ඇති තැපැල් මලු ඒ ඒ උප තැපැල් කාර්යාලවලට ගෙනයාම හා එම තැපැල් කාර්යලවල ඇති තැපැල් මලු ප‍්‍රධාන තැපැල් කාර්යාලවලට ගෙන ඒම වැනි කටයුතු ය.

හිරිගල්ගොඩැල්ල, හෙම්බරවිල හා පාලන්ගොඩ උප තැපැල් කාර්යාලවලින් තැපැල් මලු රැගෙන විත් පයාගල ප‍්‍රධාන තැපැල් කාර්යාලයට දීමත් පයාගල, ප‍්‍රධාන තැපැල් කාර්යාලයෙන් එම උපතැපැල් කාර්යාල තුනට යන්නට ඇති තැපැල් මලු ආපසු ඒවාට ගෙනත් දීමත් චන්ද්‍රාවතීගේ රාජකාරියයි.

චන්ද්‍රාවතී එක් දරු මවකි. ඇගේ සැමියා ස්ථිර රැකියාවක් නැති එදිනෙදා කුලී වැඩකින් දිවි සරි කර ගන්නා අයෙකි.

ඇය තම රාජකාරිය ගැන මෙන්ම තමා ගැනත් මෙසේ කීවාය :

“මගේ දුව හතරෙ පන්තියේ ඉන්න කාලෙ මට මේ රස්සාව ලැබුණේ. මම දුව ශිෂ්‍යත්ව පන්තියට දාලා මේල් එක අරන් යනවා. ආපසු පයාගලින් දෙන මේල් එක අරන් ගිහින් උප තැපැල් කාර්යාල තුනට දෙනවා. ඒක මට මගේ දරුවාගේ කටයුතු එක්ක කරන්න පුළුවන් නිසා මම ආසාවෙන් කරගෙන ගියා. දැන් අවුරුදු 17 ක් මම මේ රස්සාව කරනවා.

අපි ඉන්නේ හෙම්බරවිල තැපැල් කන්තෝරුව ඉස්සරහ නිවසක. ඉතින් මම පාපැදියෙන් දුව පන්ති ගෙනයද්දි දවසක් තැපැල් නෝනා කිව්වා තැපැල් මල්ල ගෙනයන්න පුළුවන් ද කියලා. මුලදි අදි මදි කළත් පසුව මම ඒක කරා. අද වනතුරුත් කරනවා.

පස්සෙ මට තේරුණා දරුවත් බලාගෙන මට මේක කරන්න පුඵවන් කියල. ඒ නිසා දිගටම කළා. දැන් දුව උසස් පෙළ කරනවා. මේ අවුරුද්දෙ තුන් වෙනි වතාවේ කළා. මොකද කළින් දෙවතාවෙම එයාට ලකුණු මදි වුණා.

මම අපොස සාමාන්‍ය පෙළ සමත් කෙනෙක්. මගේ ගම මතුගම යටදොල වත්ත. මම කොළඹ සමාගමක කාලයක් සේවය කළා. ඒත් දුව ලැබුණට පස්සේ නැවතුණා. එයා වෙනුවෙන් නැවතුණේ. එදා මෙදා තුර මම මේක කරන්නේ දේව කාරියක් හැටියටයි. මට කවදාවත් කවුරුවත් මගේ රැකියාව අතපසු කළා කියා බැන වැදිල නැහැ. ඒකම මට සතුටක්.”

වසර 17 ක් තිස්සේ මේ රැකියාව කරන ඇයට හිමි වැටුප හෝ දිමනාව කියක් දැයි නිකමට මෙන් මම ඇසිමි. “තවමත් රුපියල් 4000 යි.”

මාසයක් පුරා තැපැල් කාර්යාල තුනක තැපැල් මලු අදින ඇයට මාසය අන්තිමේ රුපියල් 4000 ක් ප‍්‍රමාණවත් ද? ඇය නම් ඒ ගැන කථා කරන්නේ නැත.

“මට ලැබෙන දෙයින් සතුටු වෙලා මේක කරනවා. මට කරන්න පුළුවන් තාක් කල් මම මේක කරනවා” ඇය කියයි.

එහෙත් මාසයක් පුරා පරිස්සමින් තැපැල් මල්ල ගෙන ගොස් දෙන්නට ගෙවන මුදල ප‍්‍රමාණවත්ද නැද්ද යන්න අද දවසේ වියදම අනුව සිතාගත හැකිය.ඇය වැනි නිහඩ සේවාවක් කරන අය ගැන සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටුකරන්නට ලෝක තැපැල් දිනය යෙදෙන මේ සතියේ වත් තැපැල් බලධාරින් පියවර ගත යුතු වුවත් වසර 17 ක් පුරා ඒ ගැන කිසිවකුටත් වගේ වගක් නොතිබිණ.

එහෙත් වසර 17 ක් තිස්සේ කිසිවකුටත් මැසිවිලි නොකියන චන්ද්‍රාවතී කඹුරාවිල තැපැල් කාර්යාලයට කඹුරන්නීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *