(28.09.2019 – deshaya.lk)
ඔබ විසින් අධ්‍යක්ෂණය කරණු ලබන නවතම වේදිකා නාට්‍ය වුණු ‘රාවණ සිතාභීලාෂය’ වේදිකා ගතවන්නට නියමිතයි. ඒ පිළිබඳව විස්තරයක් මුලින්ම කිව්වොත්?
ඔව්.. මම විසින් අධ්‍යක්ෂණය කළ ‘රාවණ සීතාභිලාෂය’ නාට්‍ය දැක්ම සැප්තැම්බර් මස 28 වෙනිදා සවස 3.30 සහ 7.00 ට බොරුල්ල ‘නාමෙල් මාලනී පුංචි තියටර්’ එකේදී වේදිකා ගතවෙනවා. මෙම නාට්‍ය මහාචාර්ය ජේ.බී. දිසානායක සහ මම සම්බන්ධවෙලා කරන නාට්‍යයක්. ජේ.බී. දිසානායක ‘රාවණ’ කියන නාට්‍ය කරමු කියලා තමයි මුලදී මට යෝජනා කළේ. නමුත් එම නාට්‍යයේ පැරැණි ගතානුගතික නාට්‍ය හැඩතලයක් තමයි තියෙන්නේ. ජේ.බී. දිසානායක සහ මම එකම විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තු හොඳ මිත්‍රයෝ දෙන්නෙක්. ඒ නිසා මම මේ රාවණ කතාවට අම්මා කෙනකුගේ චරිතයකුත් එකතු කරලා අලුත් පිටපතක් නිර්මාණය කළා. මේ නිසා ‘වාල්මිකී නොදුටු ඇසින් රාවණ සීතාභිලාෂය’ නමින් තමයි මේ පිටපත නැවත ලිව්වේ. ඉතින් සමහරු මේක ‘වාල්මිකී නොදුටු ඇසින්.. නාමෙල් වීරමුණි දුටු ඇසින්..’ කියලා හැඳින්වූවා. මේ වේදිකා නාට්‍යයේ ඉතා ප්‍රබල නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
ඔබේ ළමා කාලය සහ පවුලේ විස්තර ටිකක් කියමුද?
ඔව්.. පුංචි කාලේ මම හරිම දුප්පත් මනුස්සයෙක්. මම පොඩි කාලේදීම මගේ පියා නැති වුණා. මට අවුරුදු දහයේදී මගේ අම්මා නැති වුණා. ඊට පස්සේ මම තනිකරම තනියම හැදුණු මනුස්සයෙක්. මගේ පවුලේ මට සහෝදර සහෝදරියන් තුන්දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි මට මාස හතරක් වගේ කාලේදී මගේ අක්කා මිය ගිහින් තියෙනවා. මට මතක තැනත් මගේ පිටට අක්කා පාරවල් තුනක් ගහලා “අම්මි එක්ක තරහා නැහැ. තාත්ති එක්ක තරහා නැහැ. මල්ලි එක්ක තරහා නැහැ.” කියලා අනිත් පැත්ත හැරිලා නිදාගෙන තියෙනවා. හැබැයි ඒ නින්ද ආයේ ඇහැරිලා නැහැ. අක්කා ‘හාට් ඇටෑක්’ එකකින් නැති වෙලා තිබුණා. එතකොට අක්කගේ වයස අවුරුදු පහක් විතර ඇතිලු. මම දැකලාවත් නැති ඒ ‘නොදුටු අක්කා’ ගැන අදටත් මට තියෙන්නේ ලොකු දුකක්. මගේ තාත්තා දෙපාරක් විවාහ වුණු කෙනෙක්. මුලින් විවාහයෙන් මට අයියා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මට නැතිවුණු අක්කයි, නංගි කෙනෙකුයි ඉන්නවා. මගේ ගම අහුංගල්ල.
නාමෙල් ඉගෙන ගත්තේ මොන පාසලෙන්ද?
අහුංගල්ල ගමේ තිබුණු ගල්වෙහෙර ප්‍රාථමික විද්‍යාලයේ තමයි මම ඉගෙන ගත්තේ. මම පහේ පන්තියේ ඉන්දැද්දී මගේ හොඳම යාළුවාගේ ඔළුව පලලා මාව පාසලෙන් නෙරපුවා. ඊට පස්සේ අවුරුද්දක් විතර ඉස්කෝලයක් නැතිව කට්ටි පැන්නා. මාව පාසලෙන් නෙරපන වේලාව්දී අඩි එකාහමාරක් විතර දිග පේර කෝටුවකින් මගේ ඇඳුම් ගලවලා තට්ටම්වලට පහරදී ඉස්කෝලේ ලොකුමහත්තයා මට දඬුවම් කළහැටි මට තාම මතකයි. ඊට පස්සේ මම පේරාදෙණිය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. මාව ඒ ඉස්කෝලෙට දැම්මේ මගේ මාමායි. ඒ ඉස්කෝලෙන් ඉගෙන ගෙන අවසානයේදී මම කොළඹ නාලන්ද විද්‍යාලයටත් ඇතුළත් වුණා. අම්මා නැතිවුණාට පස්සේ මගේ ඉගෙනීමේ කටයුතු සියල්ලම බාරගත්තේ මගේ අම්මාගේ අයියායි. මගේ මාමා හාමුදුරුනමක්. පසුකාලේදී මට ඩබල් ප්‍රමෝෂන් ලැබිලා ඉහළ පන්තිවලට ගියා.
නාමෙල් පුංචි කාලේ ඉඳන්ම පොත් කියවන්න දක්ෂයි කියලා ආරංචිය?
ඔව්; හැබැයි ඔය පොත් කියවන්න ආසාව ඇති වුණෙත් හරිම අහම්බෙන් තමයි. අපේ අම්මා ඉස්සර පෝයට සිල්ගන්නවා. හැබැයි මට මතක හැටියට මම සිල් අරගෙන තිබුණේ එකම එක පෝය දවසක විතරයි. එක පෝය දවසක මායි අම්මයි පන්සලකට ගිහින් සිල් ගත්තා. සුදු ෂර්ට් එකට පොඩි සුදු රෙද්දකුත් ඇඳගෙන මම ගමේ පන්සලේ සිල්ගත්තා. අපි දානය ගත්තේ දවල් ගෙදර ඇවිත්. “පුතේ.. තාත්තාගේ පොත් රාක්කයේ තිබෙන බණ පොතක් අරගෙන කියවන්න” කියලා කිව්වා. මමත් පොත් රාක්කය ඇරලා අළු පාට පොතක් අතට අරගෙන ඒ පොත බිම වාඩිවෙලා දිගටම කියෙව්වා. ඉවරවුණාට පස්සේ “අම්මේ මේ බණ පොත හරි ලස්සනයිනේ. හැබැයි බුදුහාමුදුරුවන් ගැන වචනයක්වත් නැහැනේ” කියලා බණ පොත අම්මා අතට දුන්නා. බණ පොත දැකපු අම්මා නළලට අතගහගත්තා. තාත්තාගේ පොත් රාක්කෙන් මම අරගෙන බණ පොතක් කියලා කියවලා තියෙන්නේ ඩබ්.ඒ. සිල්වාගේ “සෙනෙහෙලතා හෙවත් නොනැසෙන රැජින” කියන නවකතාවයි. ඒ පොත කියවීමෙන් පොත් කියවන්නට මට ලොකු උනන්දුවක් ඇති වුණා. ඊට පස්සේ මට අතට අහුවෙන හැම පොතක්ම කියෙව්වා.
නාමෙල් පුංචි කාලේ ආස කළේ කවුරු වෙන්නද?
අද්වකාත් හාමුදුරුකෙනෙක් වෙන්නයි. අපේ ගෙවල්වලට ඉස්සරහින් තමයි මාමලාගේ ගෙදර තිබුණේ. ඒ කාලේ නැන්දා නිතරම අපේ ගෙදර ඇවිත් දෙන්නත් එක්ක ගමේ ගොඩේ සිද්ධවෙන දේවල් ගැන කහට බිබී කතා කර කර ඉන්නවා. දවසක් නැන්දා අපේ ගෙදර එද්දී මම ලොකු ගහක් යට පැදුරක් එළාගෙන පොතක් කියවමිනුයි හිටියේ. මාව දැකපු නැන්දා මගේ ළඟට ඇවිත් “අද්වකාත් හාමුදුරුනමක් වෙන්න වෙන්නැති ඔය තරම් පොත් කියවන්නේ” කියලා ඔළුව අතගාලා අපේ ගෙට ගොඩවුණා. ඒ කාලේ ‘හාමුදුරුනමක්’ කියලා මම දැනගෙන හිටියේ ගමේ පන්සලේ හාමුදුරැවෝ විතරයි.
ඔය කාලේදී බලපිටිය උසාවියට පරණ ‘බේබි ඔස්ටින්’ වාහනයකින් යන අද්වකාත් මහත්තයාව මම දැකලා තිබුණා. ඒ කාලේ අපේ ගමේ කාරයක් යන්නෙත් හරිම කලාතුරකින්. ඉතින් නැන්දා එහෙම කියපු ගමන්. “මමත් කවදාහරි අද්වකාත් හාමුදුරු කෙනෙක් වෙන්න ඕනේ” කියලා කිව්වා. හැබැයි ඒ හීනයත් මම පහුකාලීනව හැබෑ කරගත්තා. ඒ කාලේ අපේ පාසලේ ඉංග්‍රීසියෙන් උගන්වන නිසා සිංහලෙන් කතා කිරීම තහනම් වුණා. අපි එක වචනයක් හරි සිංහලෙන් කතා කළොත් සත පහක් දඩගැහුවා. සිංහලෙන් කතා කරලා මට ඕනෑතරම් දඩ ගහලා තියෙනවා. නමුත් අපිට ඒ දෙයින් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වුණා. මුල්කාලේදී කිසිම දෙයක් තේරුම් නැති වුණාට මම ඉංග්‍රීසි පොත් කියෙව්වා. ටිකින් ටික ඒ හැමදේම ඉගෙන ගන්න පුළුවන් වුණා.
ලංකාවේ හිටපු නාමෙල් එංගලන්තයට ගියේ කොහොමද?
මගේ ජීවිතේ බොහෝ දේවල් සිදුවුණේ අහම්බෙන්. ඒ වගේම තමයි එංගලන්තයට ගියෙත් අහම්බෙන්. ලංකාවේදී මම ගුරුවරයෙක් විදිහට පාසල් කිහිපයකම සේවය කළා. ඔය අතරේ මම නීතියත් ඉගෙන ගත්තා. ගුරු වෘත්තීයට සමුදීලා මම නීති කෙටුම්පත් සම්පාදන අංශයේ සේවය කළා. එතනදී මට කැනඩාවට මාස තුනක ශිෂ්‍යත්වයක් ලැබුණා. ඉන්දියානුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව නීති සමීක්ෂණයකට තමයි මම කැනඩාවට ගියේ. ඒ මාස තුනකට පස්සේ මට අමෙරිකාවට යන්න අවස්ථාව ලැබුණා. ඒ ගමනේදී මට විවෘත ගුවන් ටිකට් පතක් තමයි ලැබුණේ. එහිදී මම ජයන්ත ධනපාල කියන මගේ යාළුවා එක්ක තමයි හිටියේ. ජයන්ත මට තව තුන් මාසයකට ගමන දීර්ඝ කරලා කාලය හදලා දුන්නා. ඒ නිසා මම ලංකාවට ‘මගේ නිවාඩුව තව තුන් මාසයකට අලුත් කරලා දෙන්න’ කියලා කාර්යාලයට ලියුමක් එව්වා. නමුත් ‘ඒ ලියමන මෙහේට ලැබුණේ නැහැ’ කියලා තමයි මෙහේ අය කිව්වේ. හැබැයි ඒක බොරුවක්. ඒක මම අදටත් විශ්වාස කරන්නේ නැහැ.
ඒ කියන්නේ නාමෙල්ව රැකියාවෙන් ඉවත් කළා. එහෙම නේද?
ඔව්.. ඒ කාලේ මම රාජගිරියේ ගෙයක් හැදුවා. ඒකට මම ‘ලෝන්’ තුනක්ම අරගෙනයි තිබුණේ. ඒවා ගෙවන්නත් ඕනනේ. මම මාලනීට කෝල් කරලා “මම එනවා” කියලා කිව්වම මාලනී හරිම ආසාවෙන් “දරුවොත් ඔයා එනකම් බලාගෙන ඉන්නවා” කියලා කිව්වා. හැබැයි ඊට පස්සේ එයා කියපු දෙයින් මගේ හැම බලාපොරොත්තුවක්ම බිඳවැටුණා. එයා කිව්වේ “දෙපාර්තමේන්තුවෙන් ඔයාව රැකියාවෙන් නෙරපලා කියලා ඔයාට ලියමනක් එවලා තියෙනවා” කියලා කිව්වා. මට හිතාගන්නවත් බැරි වුණා. ගේ හදන්න ගත්තු ණය, දරුවන්ගේ අනාගතය. හැමදේම මගේ ඔළුවේ කැරකුණා. ඒ නිසා “මම කීයක් හරි හම්බකරගෙන ලංකාවට එන්නම්” කියලා හිතලා මම එංගලන්තයේ නතර වුණා.
ඒ රටේදී කරපු රැකියාවල් මොනවාද?
එංගලන්තයේ ගියපු අලුත මගේ යාළුවා මට පවුම් පහක් දුන්නා. මම මුලින්ම සුපර් මාර්කට් එකක වැඩ කළා. එතනදී මට පවුම් දහඅටක් දුන්නා. ඒක ලොකු පඩියක්. එහේ සුමානයකට කාලා බීලා වියදමටත් ගියේ පවුම් දෙකක් දෙකාහමාරක් වගෙයි. ඉතිරිය මම තියාගත්තා. මාත් එක්ක ලොකු බාලසූරිය කියලා ‘ලෝයර්’ කෙනෙක් හිටියා. එයා තමයි අපිට ඇවිත් ඉව්වේ. සුපර් මාර්කට් එකේදී මට රාක්කවලට බඩු දාන්න තමයි තිබුණේ. හැබැයි මම එතනත් වැඩි කාලයක් හිටියේ නැහැ. ඔය කාලේදී මම ඒ රටේදී නීති විද්‍යාලයට ඇතුළුවෙලා නීතිය ඉගෙන ගත්තා. දවසක් මගේ යාළුවෙක් පෙට්‍රල් ෂෙඩ් එකක ජොබ් එකක් තියෙනවා කියලා මාව එක්කගෙන ගියා. එදා මම ෂෙඩ්එකට ගියේ ‘ෆුල් සූට්කිට්’ එක ගහලයි. මගෙන් වචන දෙක තුනක් අහපු ලොක්කා “කවදා ඉඳන් වැඩට එන්න පුළුවන්ද?” කියලා මගෙන් ඇහුවා. මම “මේ දැන් ඉඳන් වුණත් පුළුවන්” කියලා කිව්වා. ඒ වෙලාවේ අර ෆුල් සූට්එක ගලවලා එතනින් දෙන ඕවර් කෝට්එක දාගෙන මම ඒ ෂෙඩ්එකේ වැඩ කළා.
එතනින් මට මුදලක් ලැබුණා. ඒ වගේම ‘ටිප්’ ලැබුණා. ඒ නිසා මම එතනත් ආසාවෙන් වැඩ කළා. ටිප් වලින් සුමානයකට පවුම් තිහක් විතර ලැබුණා. ඔය අතරේ මම රෙස්ටුරන්ට් එකක මැනේජර් කෙනෙක් විදිහටත් වැඩ කළා. හැබැයි පඩිය අඩුයි. ඒනිසා ඒ රෙස්ටුරන්ට් එකේ වැඩියෙන් පඩි ලැබෙන්නේ මොන අංශයට ද කියලා බලද්දී මැනේජර්ට වඩා වේටර් වැඩි පඩියක් ගන්නවා කියලා මම දැනගත්තා. ඒ නිසාම මැනේජර්කම පැත්තකට දාලා මම වේටර් කෙනෙක් වුණා. එතනත් මම වැඩ කළේ ටික කාලයයි. ටික කාලයකින් මම එංගලන්ත නීති සංගමයකට බැඳිලා නීතිය කළා. ඒ වගේ නීති සංගම් කිහිපයකම මම වැඩ කළා. සමහර කාලවලදී මම එකම දවසේ වැඩ දෙකක් පවා කළා. එහෙම කරලා කරලා තමයි මම මුදල් එකතු කළේ. ඔය වෙද්දී මට මාලනීවත්, දරුවන් තුන්දෙනාවත් එංගලන්තයට ගෙන්නා ගන්න පුළුවන් වුණා.
අද ඔබ දරුවන් තුන්දෙනෙක් ඉන්න දරු මුණපුරන් ඉන්න ආදරණීය තාත්තා කෙනෙක්. දයාබර සීයා කෙනෙක්?
ඔව්.. මගේ දරුවන් තුන්දෙනාම විවාහකයි. ඒ තුන්දෙනාටම දරුවනුත් ඉන්නවා. තුන්දෙනාම ඉන්නේ විදෙස් ගතවෙලයි. ලොකු දුව නිර්මාණිකා, දෙවැනියා හේෂාන් පුතා. තුන්වැනියා තරිඳු පුතා. ඒ තුන්දෙනාම හොඳ අධ්‍යාපනයක් ලැබුවා. ඉතින් මගෙයි මාලනීගෙයි ලොකුම සතුට අපේ දරුවන්ගේ ජීවිතවල සතුට තමයි ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴