ගෝඨා පරද්දන්න ඇමරිකානු CIA සංවිධානයෙනුත් අපේක්ෂකයෙක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගෝඨා පරද්දන්න ඇමරිකානු CIA සංවිධානයෙනුත් අපේක්ෂකයෙක්

• ලක්ෂ 15 ක මාසික වැටුපකට මහේෂ් අමෙරිකාවට අවුරුදු 5 ක් සේවය කළා – අජිත් ප්‍රසන්න (විඩියෝ)

• සැලකිලිමත් ‍විය යුතුයි… ගෝඨාගේ ජීවිතය අවදානම් – වාසුදේව නානායක්කාර

• මැතිවරණ නීති කඩකළැයි ජාතික රූපවාහිනියේ එජාප සජීව විකාශය අත්හිටුවයි

• දින 6 ක් අක්‍රියව ඇති තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාල පද්ධතිය

• කොළඹ කොටුවෙන් ධාවනය වන සියලු දුම්රිය සඳහා පොලිස් ආරක්ෂාව (විඩියෝ)

• මැතිවරණ කොමිෂන් සභාව තුළ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක් (විඩියෝ)

• පලාලි ගුවන් තොටුපල, ජාත්‍යන්තර ගුවන් තොටුපලක් වෙයි

• පූජිත්ගේ සහ හේමසිරිගේ බැංකු ගිණුම් ගැන තොරතුරු දෙන්නැයි නියෝග

• යෝෂිත රාජපක්ෂ යුග දිවියට (විඩියෝ)

• ගාලු කොටුපවුරේ ස්ථාන 3 ක් ගිලා බසී

• විදෙස් තැපැල් සේවය තාවකාලිකව නවතයි

+++++++++++++++++++++++++++++++++++

ගෝඨා පරද්දන්න ඇමරිකානු CIA සංවිධානයෙනුත් අපේක්ෂකයෙක්

(02.10.2019 – am.lk)

ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පරාජය කිරීම සඳහා ඇමරිකාවේ CIA (මධ්‍යම ඔත්තු සේවාව) සංවිධානයේ අනුග්‍රහය ලබන හා මෙහෙයවීම මත අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා එම අපේක්ෂකයා බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.

ජාතික ජනතා ව්‍යාපාරය අයත් වන්නේ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතාටය. ශ්‍රීනාත් පෙරේරා මහතා එජාප ක්‍රියාකාරිකයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ද වේ.

ඔහුට අයත් ජාතික ජනතා ව්‍යාපාරයට ඉදිරිපත් වන මහේෂ් සේනානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නේ දේශෝධය ව්‍යාපාරයයි. දේශෝධය ව්‍යාපාරය සර්වෝදය ව්‍යාපාරයට අනුබද්ධ ව්‍යාපාරයකි. රාජ්‍ය නොවන සංවිධානයක් වන දේශෝධය ව්‍යාපාරයට ඇමරිකාව සහ වෙනත් රට වලින් වසරකට රුපියල් මිලියන 100 කට වඩා ආධාර ලැබෙයි.

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු වලදී ඇමරිකාවේ CIA සංවිධානය සමඟ ඉතා කිට්ටුවෙන් කටයුතු කරන බව ප්‍රකට කරුණකි.

asianmirror.lk

+++++++++++++++++++++

ලක්ෂ 15 ක මාසික වැටුපකට මහේෂ් අමෙරිකාවට අවුරුදු 5 ක් සේවය කළා – අජිත් ප්‍රසන්න

(03.10.2019 – 19:40 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා ලිබියාවේ හා ඇෆ්ගනිස්තානයේ රහස් තොරතුරු සම්බන්ධව දූතයෙකු ලෙස අමෙරිකාවේදී කටයුතු කළ බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ ද පැවසීය :

“මහේෂ් සේනානායක ලිබියාවේ හා ඇෆ්ගනිස්තානයේ සිටි අමෙරිකානු දූතයෙක් වුණා. ඩුබායිවල අමෙරිකානු කඳවුරේ තනතුරු දැරුවා. ලක්ෂ 15 කට අමෙරිකාවට වැඩ කළා. අවු. 5 ක් සේවය කළා. තමන්ට විරුද්ධ අයව අමෙරිකාව බඳවගන්නේ නැහැ. ඔළුව හදලයි ඔවුන් බඳවගන්නේ. ඒ මහේෂ් සේනානායකයි ලංකාවට ආවේ.”

***************************************

සැලකිලිමත් ‍විය යුතුයි… ගෝඨාගේ ජීවිතය අවදානම් – වාසුදේව නානායක්කාර

(03.10.2019 – 10:16 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය විසින් නඩු පවරන බවත් එම නඩු වලින් ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගමන නතර කිරීමට නොහැකි වුවහොත් ඔහුගේ ජීවිතයට පවා තර්ජන එල්ලවිය හැකි තත්ත්වයක් උදා වී ඇති බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිත ආරක්ෂාව ගැන සියලු දෙනාම දැඩි අවධානයකින් පසු විය යුතු බව ද ඔහු අවදාරනය කර සිටියි.

තමා මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කළ බවත් ඊට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්තමාන පොලිස්පතිවරයාද මේ ගැන අවධානයකින් සිටිය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් සදහන් කරයි ෴

***************************************

මැතිවරණ නීති කඩකළැයි ජාතික රූපවාහිනියේ එජාප සජීව විකාශය අත්හිටුවයි

(03.10.2019 – gossiplankanews.com)

අද (03) උදෑසන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනයේ සජීව විකාශය ජාතික රූපවාහිනිය මගින් විකාශය වෙමින් පැවති අතරවාරයේ හිටිහැටියේ එය අත්හිටුවීමට සිදුව තිබේ. එයට හේතුවී ඇත්තේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද වැඩසටහනක් ලෙස හුවා දැක්වුවද එම වැඩසටහන සඳහා විකාශය ඇරඹෙනතුරු මුදල් ගෙවා නොතිබීම බව වාර්තා විය.

මැතිවරණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත පැමිණ මෙම වැඩසටහන ගැන එවෙලේම විමර්ශනයක් කර ගිණුම් නිලධාරීන් කැඳවා මුදල් ගෙවා ඇති ලේඛන ඉල්ලා ඇති අතර එවැන්නක් තවම නැති බවත් පසුව ගෙවන පදනමින් එය විකාශය කරන බවත් පිළිතුරු ලැබී ඇත.

එය නීතියට පටහැණි බව පෙන්වා දෙමින් වහාම විකාශය නතර කරන්නට මැතිවරණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නියෝග කර ඇති අතර එයට අවනතවූ නිලධාරීන් එය නවතන්නට කටයුතු කර ඇත.

ඒ අනුව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ කතාවක් විකාශය වෙමින් පැවතෙද්දී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලන සජීව විකාශය නතරවී තිබේ.

ජාතික රූපවාහිනිය මේ වනවිට පාලනය වන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේනට අයත් ආරක්ෂක අමාත්‍යංශයෙනි ෴

***************************************

දින 6 ක් අක්‍රියව ඇති තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාල පද්ධතිය

(03.10.2019 – 14:10 +0530 – sinhala.adaderana.lk)

රට පුරා තිබෙන ප‍්‍රධාන තැපැල් කර්යාල හා තැපැල් පාලන කාර්යාල ඇතුළු ගිණුම් කාර්යාල තුළ ක‍්‍රියාත්මක වෙමින් පැවතුන පරිගණක ජාල පද්ධතිය දින 6 ක සිට අක‍්‍රියව පවතින බව ලංකා තැපැල් සේවා සංගමය පවසයි.

මේ හේතුවෙන් තැපැල් කාර්යාල තුලින් මහ ජනතාවට ලබා දෙන සේවාවන් සියල්ල අඩපණ වී ඇති බව එම සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව තැපැල් පාරිභෝගික ජනතාවට ලබා දෙන සේවාවන් වන විද්‍යුත් මුදල් ඇණවුම්, ජල බිල්පත්, විදුලි බිල්පත්, රක්ෂණ, ජාතික ඉතිරි කිරීම් (NSB), විශ‍්‍රාම ගෙවීම් අකි‍්‍රය වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප, ඇතැම් රාජ්‍ය සේවකයින් සඳහා විශ‍්‍රාම වැටුප් ගෙවනු ලබන්නේ තැපැල් කාර්යාල මගින්ය.

පරිගණක පද්ධතිය අක‍්‍රිය වීම නිසා ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදා විය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම පරිගණක අක‍්‍රිය වීම හේතුවෙන් තැපෑල කෙරෙහි පැවතුණ මහජන විශ්වාසය බිඳ වැට්ටවීමක් සිදු ව ඇති බවත් ආයතනයක් ලෙස තැපැල් දෙපාර්තමෙන්තුවේ දියුණුවට දට එය බාධාවක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙලෙස පරිගණක පද්ධතිය එක වර අක‍්‍රිය වීම කෙසේ සිදු වූවාද යන්න ගැටළු සහිතය.

මෙය අක‍්‍රිය වී දින ගණනක් ගත වී ඇතත් මෙය නඩත්තු කළ ආයතනය මෙය යථාවත් නොකිරීම වගීකීම් විරහිතය.

එවැනි තත්ත්වක් යටතේ ආණ්ඩුව මැදිහත් නොවීම ගැටළු සහිතය.

රටේ සන්නිවේදන ක්ෂේත‍්‍රයේ තිබෙන ඉහළ ම ආයතනයක් වන තැපැල් දෙපාර්තුමේන්තුවේ පරිගණක ජාල පද්ධතිය මෙසේ මුළුමනින්ම අකි‍්‍රය වීමට ඉඩ හැරීමම ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය පෙන්නුම් කරයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාල පද්ධතිය අක‍්‍රිය වීමෙන් මහජනතාවට එල්ල වන සියළු අපහසුතා වලට ආණ්ඩුව වගකිව යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිසා තව දුරටත් ප‍්‍රමාද නොකර පරිගණක ජාල පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා මැදිහත් වන ලෙස ආණ්ඩුවට බල කර සිටින බවද ඒ මහතා පවසයි ෴

***************************************

කොළඹ කොටුවෙන් ධාවනය වන සියලු දුම්රිය සඳහා පොලිස් ආරක්ෂාව

(03.10.2019 – 17:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුවෙන් දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ එක් දුම්රියක් සඳහා පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ දුම්රිය ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු බැගින් යෙදවීමට අද පස්වරුවේ සිට පියවර ගත් බවයි.

මේ අතර, අද පස්වරුවේත් දුම්රිය 19 ක් ධාවනය කළ බව දුම්රිය ගමනාගමන අධිකාරි වී.එස්. පොල්වත්තගේ සඳහන් කළා.

+++++++++++++++++++++

***************************************

මැතිවරණ කොමිෂන් සභාව තුළ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක්

(03.10.2019 – 16:07 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට අදාළව මාධ්‍ය කටයුතු විධිමත්ව සම්බන්ධීකරණය සඳහා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය තුළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන, වීඩියෝ දර්ශන සහ හඩ පට ජනමාධ්‍ය වෙත නිකුත් කිරීම මෙම මධ්‍යස්ථාන හරහා සිදුකරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

***************************************

පලාලි ගුවන් තොටුපල, ජාත්‍යන්තර ගුවන් තොටුපලක් වෙයි

(03.10.2019 – 14:17 +0530 – hirunews.lk/sinhala)

පළාලි ගුවන් තොටුපල, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස නම් කර තිබෙනවා.

ඒ, ප්‍රවාහන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

ප්‍රාදේශීය ගුවන් තොටුපලක් ලෙස පැවති යාපනය පලාලි ගුවන් තොටුපල කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසට සංවර්ධනය කිරීම පසුගිය ජූලි මස 5 වනදා ආරම්භ කෙරුණා.

එහි සංවර්ධන කටයුතු මේ මස 10 වනදා වනවිට අවසන් වන අතර, 17 වනදා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විවෘත කිරීමට නියමිතයි.

ඒ අනුව මෙරට පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් සංඛ්‍යාව 5 ක් වනු ඇති ෴

***************************************

පූජිත්ගේ සහ හේමසිරිගේ බැංකු ගිණුම් ගැන තොරතුරු දෙන්නැයි නියෝග

(03.10.2019 – 10:59 +0530 – hirunews.lk/sinhala)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස අධිකරණය බැංකු සහ මූල්‍ය සමාගම් 80 කට අද නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙම නියෝගය නිකුත් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරු වලට අනුව ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමක් සළකා බලමින්.

එමෙන්ම ඔවුන් දෙදෙනාගේ දුරකථන සබඳතා පිළිබඳ තොරතුරුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරිය දුරකථන සමාගම් වෙත දැනුම් දුන්නේ.

***************************************

යෝෂිත රාජපක්ෂ යුග දිවියට

(03.10.2019 – 10:19 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ දෙවැනි පුත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ මහතා සහ ආනන්ද ජයසේකර මහතාගේ සහ එම මහත්මියගේ දියණිය නිතීෂා ජයසේකර මෙනෙවියගේ විවාහ මංගල්‍ය උත්සවය අද (3දා) පෙරවරුවේ කොළඹ ගාලුමුව‍ෙදාර මෝදර හෝටලයේදී පැවැත් වෙයි.

+++++++++++++++++++++

***************************************

ගාලු කොටුපවුරේ ස්ථාන 3 ක් ගිලා බසී

(03.10.2019 – 12:36 +0530 – lankadeepa.lk)

ඓතිහාසික ගාලු කොටු පවුරේ ස්ථාන තුනක්, ගිලා බැසීමට පටන්ගෙන ඇති බව ගාලු උරුමය පදනමේ නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී සුධර්මාලය විහාරස්ථානය ඉදිරිපිට, ප්‍රදීපාගාරය අසළ සහ හමුදා කඳවුර අසළ කොටසක් මෙසේ ගිලා බැසීමට පටන් ගෙන ඇත.

ශ්‍රී සුධර්මාලය විහාරස්ථානය ඉදිරිපිට ගාලු කොටුබැම්මේ අඩි 10 ක පමණ විෂ්කම්බයකින් යුත් කොටසක් මෙසේ ගිලා බැස ඇති අතර අඩි 20 කට වඩා අධික දෝනාවක් හෑරී තිබිණ.

සිද්ධිය වාර්තාවීමත් සමග ගාලු උරුමය පදනම විසින් එම ස්ථානයට ජනතාව පැමිණීම වළක්වාලමින් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත. එම ස්ථානවලට ගමන් කිරීමෙන් වළකින ලෙස මහජනතාව දැනුම්වත් කර ඇති බවත් එම නිලධාරියා පැවසීය.

***************************************

විදෙස් තැපැල් සේවය තාවකාලිකව නවතයි

(03.10.2019 – 18:40 +0530 – lankadeepa.lk)

දිවයින පුරා තැපැල් කාර්යාලවල විදෙස් තැපැල් සේවා කටයුතු තාවකාලිකව නවතා දමා ඇතැයි තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසීය.

දින 6 ක් පුරා තැපැල් කාර්යාල වල පරිගණක ජාල පද්ධතිය අක්‍රීය වීම හේතුවෙන් මෙම කටයුතු නවතා දමා තිබේ.

මෙම ගැටළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අවධානයට යොමු කළද එය විසදීමට මේ වනතුරුත් පියවර ගෙන නොමැති බවත් ඒ මහතා කීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *