ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය දෙමල සංස්කෘතියට, හින්දු ආගමට අපහාසයක්.. උතුරේ විරෝධතා..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය දෙමල සංස්කෘතියට, හින්දු ආගමට අපහාසයක්.. උතුරේ විරෝධතා..

• ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානියා ගුවන් තොටේ දී අත්අඩංගුවට

• වෛද්‍ය ෂාෆිගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්යයි

• රනිල් සහ සජිත් කුලල් කන්නේ බලය අරගෙන හොරකම් කරන්න – සුනිල් හඳුන්නෙත්ති (විඩියෝ)

• පාසල් කටයුතු අදත් (27) අඩාලයි (විඩියෝ)

• අභ්‍යාවකාශය විද්‍යාඥ තරිඳු දයාරත්න මව්බිමට (විඩියෝ)

• වාරියපොල රිය අනතුරින් දස හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට (විඩියෝ)

• වෙල්යායක අතරමංව සිටි අලුත උපන් අලි පැටියෙකු සොයාගැනේ (විඩියෝ)

• ‘ඡන්දයට බාධා ආවොත් මැතිවරණ විධිවිධාන අනුව පියවර ගන්නවා’ – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

• Video : Hiru TV Balaya – Episode 312 – 2019-09-26 – 111 min.s

+++++++++++++++++++++++++++++++++++

ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය දෙමල සංස්කෘතියට, හින්දු ආගමට අපහාසයක්.. උතුරේ විරෝධතා..

(27.09.2019 – 08:02 +0530 – lankacnews.com)

මුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කඩකල පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලු පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් (26) වව්නියාවේ ස්ථාන දෙකකදී විරෝධතා වැඩසටහන් සංවිධානය කොට තිබුණි.

වව්නියාව නගරයේ පැරණි බස් නැවතුම්පල සහ සෙට්ටිකුලම් සමෘද්ධි කාර්යාලය ආසන්නයේ පැවති මෙම විරෝධතාවන් ප්‍රදේශයේ තරුණ සංවිධන හා සිවිල් සංවිධාන විසින් සංවිධානය කොට තිබුණි.

වවුනියාව පැරණි බස් නැවතුම්පල ඉදිරිපිට පැවති විරෝධතාවය වවුනියාවේ තරුණ සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර ඒ වෙනුවෙන් සහභාගී වූ පිරිස් කියා සිටියේ මුලතිව් මහෙස්ත්‍රා අධිකරණයේ නියෝගය කඩ කල පිරිස් වෙනුවෙන් වහාම පොලිස් පරික්ෂණයක් සිදු කළ යුතු බවටත් දෙමළ ජනතාවගේ සංස්කෘතියට හානි කළ පිරිස් වහාම අත්අඩංගුවට ගත යුතු බවටත්ය.

විරෝධතාකරුවන් විසින් විරෝධතාවය අවසානයේ පෝස්ටර් බැනර් දමා ගිනි තැබීමටද පියවර ගත්හ.

එමෙන්ම සෙට්ටිකුලම් සමෘද්ධි කාර්යාලය ආසන්නයේද ප්‍රදේශයේ සිවිල් සංවිධාන ඇතුලු වැසියන් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කරමින් කියා සිටියේ හින්දු සංස්කෘතියට අගෞරව වන අයුරින් කටයුතු කල සියලු දෙනා නීතියේ ඉදිරියට පැමිණවිය යුතු බවටත් මහෙස්ත්‍රාත් නියෝගය කඩ කරමින් ආදාහන පූජෝත්සවය විහාරභූමියේම සිදුකිරීමට අනුබල දුන් ගලගොඩඅත්තේ පූජ්‍ය ඥානසාර හිමියන් ඇතුලු පිරිසද නීතියේ ඉදිරියට රැගෙන ආ යුතු බවටත්ය.

මුලතිව් ගුරුකන්ද රජමහාවිහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජොත්සවය 23 වනදා විහාර භූමියෙන් එපිට පිහිටි නයාරු මුහුදු තීරයේ සිදු කරන ලෙසට මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා තීරණය ලබා දී තිබියදී විහාරාධිපති හිමයන්ගේ අදාහන පූජොත්සවය ශාශනාරක්ෂක බලමණ්ඩලයේ තීරණයකට අනුව විහාරභූමියේම සිදු කිරීමට විහාර දායකසභාව විසින් පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

***************************************

ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානියා ගුවන් තොටේ දී අත්අඩංගුවට

(27.09.2019 – 10:24 +0530 – sinhala.adaderana.lk)

ඇවන්ගාඩ් අවි නැව සම්බන්ධයෙන් අවශ්‍ය වී සිටි සැකකරුවෙක් අද (27) උදෑසන අත්අඩංගුවට පත්ව තිබේ.

බලපත්‍ර නොමැති ගිනි අවි 816 ක් සහ ලක්ෂ 2 කට අධික පතොරම් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබු ඇවන්ගාඩ් නැව සම්බන්ධ නඩුවට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඇවන්ගාඩ් හී සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානී ලෙස ක්‍රියා කර ඇති මෙම පුද්ගලයා අද අළුයම 00.15 ට පමණ සිංගප්පූරුවේ සිට SQ 468 යානයෙන් මෙරටට පැමිණෙමින් සිටිය දී කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු මුලස්ථානය වෙත බාර දී ඇත.

කලපලුවාව, රාජගිරිය ලිපිනයේ පදිංචි විෂ්වජිත් නන්දන දියබලනගේ නැමති මෙම සැකකරු සිංගපූරුවට ගොස් තිබු අතර, ඔහුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක් ද නිකුත් කර තිබිණි.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිද්ධියට අදාළ නඩුව අද දින ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතව ඇත.

මෙම සිද්ධියට අදාළව මෙම සැකකරු ද සමඟ මේ වන විට සැකකරුවන් 8 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම සැකකරු හැර තවත් සැකකරුවන් 4 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර සැකකරුවන් 3ක් ඇප මත සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි ෴

***************************************

වෛද්‍ය ෂාෆිගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්යයි

(27.09.2019 – 11:05 +0530 – sinhala.adaderana.lk)

රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා කුරුණෑගල රජයේ රෝහලේ විශේෂඥ වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම ජනවාරි මස 24 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (27) බුවනෙක අලුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ මෙම නඩුවට අදාළ වාර්තා කිහිපයක් ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

ඒ අනුව දාළ වාර්තා ඉදිරිපත් කිරීමට රජයේ නීතිඥවරයාට කාලය ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 24 වනදා දක්වා කල් තැබීමට නියම කළේය.

නීති විරෝධී ලෙස සිංහල කාන්තාවන්ට වද සැත්කම් සිදුකළ බවට සහ නීති විරෝධී ලෙස දේපළ රැස්කළ බවට චෝදනා කරමින් රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතීන් කඩවූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය සාෆි සිහාබ්දීන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ ෴

***************************************

රනිල් සහ සජිත් කුලල් කන්නේ බලය අරගෙන හොරකම් කරන්න – සුනිල් හඳුන්නෙත්ති

(27.09.2019 – 09:42 +0530 – sinhala.adaderana.lk)

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුරයට පත්වීමට අපේක්ෂා කරන්නේ නම් බැඳුම්කර වංචාව පිළිබඳව මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සිය ස්ථාවරය රටට හෙළිකල යුතුබව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඊයේ (26) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා කුලල් කා ගනු ලබන්නේ රට සංවර්ධනය කිරීමට නොව ජනතා බලය අරගෙන හොරකම් කිරීමට බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

සජිත් වික්‍රමසිංහ මහතා ඉදිරියේ විශාල අභියෝගයක් ඇති බවත් එනම් තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ, රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ, ආර්ථික කළමණාකරන කමිටුව පිළිබඳව ප්‍රකාශ කළ යුතු බවත් ඒ මහතා පවසයි.

රෑ එළිවෙනකල් ගෙවල් හදනවාය යන ප්‍රතිපත්තිය පිළිගැනීමට රටේ ජනතාව අකමැති වන බවත් එයින් පමණක් රටක් පවත්වාගෙන යා නොහැකි බවත් ඒ මහතා පවසයි.

තමන් විශ්වාස කරන්නේ නායකයා සමස්ථය නොවන නමුත් නායකයා මඟ පෙන්වන්නෙක් විය යුතු බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

***************************************

පාසල් කටයුතු අදත් (27) අඩාලයි

(27.09.2019 – 08:53 +0530 – sinhala.adaderana.lk)

වැටුප් විෂමතා ඉවත්කරන ලෙස රජයට බලකරමින් ගුරු සහ විදුහල්පති වෘත්තිය සංගම් ඊයේ (26) ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රටපුරා පාසල්වල අධ්‍යාපන කටයුතු මුළුමුනින්ම අඩාල විය.

මෙම වර්ජනය අද (27) දිනය තුළත් ක්‍රියාත්මකයි.

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු සහ විදුහල්පති වෘත්තිය සංගම් ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කළේය.

එමෙන්ම ගුරු සහ විදුහල්පති වෘත්තිය සංගම් එක්ව ඊයේ දහවල් දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයකද නිරත විය.

අනතුරුව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමග සාකච්ඡාවක් සඳහා දස දෙනෙකුට අවස්ථාව හිමිවුවද එම සාකච්ඡාව අසාර්ථක විය.

මේ හේතුවෙන් ගුරු සහ විදුහල්පති වෘත්තිය සංගම් අද දිනයේදීත් වර්ජනයේ නිරත වෙයි.

***************************************

අභ්‍යාවකාශය විද්‍යාඥ තරිඳු දයාරත්න මව්බිමට

(27.09.2019 – 08:51 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාව වෙනුවෙන් රාවණා – 1 නමින් නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාවක් නිපදවා, අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා ඊයේ (26) දින රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු රාත්‍රී 11:15 ට හොංකොං සිට පැමිණි කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එහිදී රැස්ව සිටි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ අදහස් දැක්වූ විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා,

“මට අයතනයේ අවසර නොමැතිව අදහස් ප්‍රකාශ කරන්න අවසර නැහැ. මම මේ චන්ද්‍රිකාව නිෂ්පාදනය කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. මේක කොළඹ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක්. මට ගොඩක් සතුටුයි. අහස දිහා බලනකොට, අපි නිපදවූ චන්ද්‍රිකාවක් පොළව වටේ යනව නේද කියල හිතෙනවා. අපි තව වසර 05 ක් තුළ ශ්‍රී ලංකාවේ දී චන්ද්‍රිකාවක් නිපදවා, ශ්‍රී ලංකාවෙදිම අභ්‍යවකාශ ගත කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයිද පැවසීය.

විද්‍යාඥ තරිඳු පිළිගැනීම සදහා ඔහුගේ මෑණියන්, සහෝදර සහෝදරියන්, නෑදෑ හිතවතුන් මෙන්ම, ඔහු අධ්‍යාපනය ලැබූ පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිතුමා මෙන්ම, එහි ආදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් තවත් පිරිසක් ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

***************************************

වාරියපොල රිය අනතුරින් දස හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

(27.09.2019 – 08:08 +0530 – sinhala.adaderana.lk)

වාරියපොල පොලිස් වසමේ වාරියපොල අනුරාධපුර මාර්ගයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරින් දස හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (26) සවස 05:20 ට පමණ මෙම රිය අනතුර සිදුව ඇත.

අනුරාධපුර දෙසට ධාවනය වු යතුරු පැදියක් දකුණුපස අතුරු මාර්ගයකට හැරවීමට යෑමේ දී පිටුපසින් පැමිණි ස්කැමල් රථයේ ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකාරිය සහ කුඩා දරුවා වාරියපොල රෝහලට ඇතුළත් කිරීමේ දී දරුවා මෙලෙස මිය ගොස් ඇත. තුවාලකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 10 ක් වු උස්වැව, වලව හන්දිය, අවුලේගම ලිපිනයේ පදිංචි වීරසේකර බමුණු මුදියන්සේලාගේ අනුෂ්ක සිතුම් වීරසේකර නැමැත්තෙකි. මෘත ශරීරය වාරියපොල රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ස්කැමල් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

https://www.youtube.com/watch?v=rnZxSAsymqU#t=5

***************************************

වෙල්යායක අතරමංව සිටි අලුත උපන් අලි පැටියෙකු සොයාගැනේ

(27.09.2019 – 10:35 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර පලයාකුලම වෙල්යායේ අතරමංව සිටි අලුත උපන් කුඩා අලි පැටවෙකු අනුරාධපුර වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ (26) අලුයම මෙම අලි පැටවා සොයාගෙන ඇත්තේ.

ඉතා දුර්වල තත්වයේ පසුවූ මේ අලි පැටියා ප්‍රතිකාර කිරීම සඳහා අනුරාධපුර පණ්ඩුලගම වනජීවී සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරු සදහන් කළේ.

***************************************

‘ඡන්දයට බාධා ආවොත් මැතිවරණ විධිවිධාන අනුව පියවර ගන්නවා’ – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

(26.09.2019 – 19:50 +0530 – lankadeepa.lk)

රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවල ක්‍රියාකාරකම් නිසා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධා එල්ල වුවහොත් මැතිවරණ විධිවිධාන යටතේ ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් එහි වගකීම අදාළ සංඛ්‍යාතවල භාරකාරීත්වය හිමි රාජ්‍ය ආයතන සතුවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (26) පැවැසීය.

රූපවාහිනි හා ගුවන් විදුලි සංඛ්‍යාත මහජනතාව සතු දෙයක් බැවින් මුදල් යෙදූ පමණින් පෞද්ගලික මාධ්‍යවලට සියයට සියයක නිදහසක් හිමි නොවන බව ද මහින්ද දේශප්‍රිය මහතා කීවේය.

කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් උපයාමාර්ගික සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන ආයතනයේ පැවැති සංවාදයක් අතරතුරදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කරුණු සඳහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා :

“පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා සම්බන්ධයෙන් අපි පියවර ගන්නවා. එම පියවර අපේ විධානවලට ද ඇතුළත් කර තිබෙනවා. රූපවාහිනි හෝ ගුවන් විදුලි නාලිකා විකාශය කරන පුවතක් හෝ යම්කිසි දෙයක් නිසා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධා එල්ල වුණොත් එහි වගකීම එම සංඛ්‍යාතවල භාරකාරීත්වය හිමි රාජ්‍ය ආයතන සතුයි. මොකද රූපවාහිනි හෝ ගුවන් විදුලි සංඛ්‍යාත මහජනතාවට අයිති දෙයක්. එය මහජන දේපළක්. අපිට රාජ්‍ය මාධ්‍ය සෘජුවම පාලනය කරන්න පුළුවන්. එහෙත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් එහෙම ක්‍රියා කරන්න බැහැ.

මාධ්‍ය උපමානවලට අනුව ක්‍රියාකාරීමට වගකිව යුතු මාධ්‍ය ආයතනවලට වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාවටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. මානව හිමිකම් ක්‍රියාකාරිනි සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ නීතිඥ තුසිත් සමරසේකර මහත්මිය සිහිපත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම සංවාදය සංවිධානය කර තිබිණි ෴

***************************************

Hiru TV Balaya – Episode 312 – 2019-09-26 – 111 min.s

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *