කුප්‍රකට ගාල්තැන්න දේවාලයට හොරු පනියි – කපුවා බැඳ කෝටි පහක රත්තරන් උස්සයි, සී.සී.ටී.වි පිහිටෙන් හොරු අල්ලයි.!

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කුප්‍රකට ගාල්තැන්න දේවාලයට හොරු පනියි – කපුවා බැඳ කෝටි පහක රත්තරන් උස්සයි, සී.සී.ටී.වි පිහිටෙන් හොරු අල්ලයි.!

• නිරුවත් ඡායාරූප පෙන්වා මුහුණු පොතෙන් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

• අවුරුදු 100 ඉක්මවූ ලාංකිකයන් 573 ක්

• ජනේලයෙන් පැන්න රෙදි හොරා ලක්ෂ දෙකක රෙදි උස්සයි (විඩියෝ)

• මේ රාජ්‍ය තමන්ගේ ස්වෛරීත්වය බිලි නොදෙන නායකයෙක් ඉල්ලනවා – විමල් වීරවංශ (විඩියෝ)

• සරසවි වරම් ලැබු රැහේ කැකුළි

• සාම සාධක මෙහෙයුම්වලින් හමුදාව ඉවත්කිරීම ගැන සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි

• පොහොට්ටුව තවත් පක්ෂ 19 ක් සමග ලබන මස 05 වනදා අවබෝධතා ගිවිසුමකට

• සැලසුමක් නැතිව ලංකාවට ආ පලස්තීනුවා ආපසු පිටුවහල් වෙයි

• මැතිවරණ කල් දැමීමේ කොමිසමේ උත්සාහයක් ගැන පොහොට්ටුවෙන් හෙළිදරව්වක් (විඩියෝ)

• කෝටි 350 ක් කොල්ලකෑ සණස ගැන ගම්පහ මිනිසුන් කියූ සංවේදී කතාව (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කුප්‍රකට ගාල්තැන්න දේවාලයට හොරු පනියි – කපුවා බැඳ කෝටි පහක රත්තරන් උස්සයි, සී.සී.ටී.වි පිහිටෙන් හොරු අල්ලයි.!

(26.09.2019 – nethgossip.lk)

කුප්‍රකට මහනුවර, ගාල්තැන්න ශ‍්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයට කොල්ලකරුවන් පිරිසක් කඩා වැදීම ආන්දෝලනයට තුඩු දී තිබේ.

ඊයේ (25) අලුයම දේවාලයට ඇතුළු වූ පිරිසක් එහි සේවකයින් සහ දේවගැතිවරයා බැඳදමා මෙලෙස රත‍්‍රං සහ මුදල් පැහැර ගෙන ගොස් තිබේ.

කලක පටන් මහා හාස්කම් ඇති පුද්ගලයෙකු ලෙස මාධ්‍ය මගින්ද හුවා දැක්වූ මෙම දේවාලයේ කුපක්‍රට දේවගැතිවරයා දේවාලයට ඇතුළු වූ අවස්ථාවේ ඔහු අල්ලා බැඳ කාමරයකට රැගෙන ගොස් වසා දමා තිබේ.

එහිදී කොල්ලකරුවන් 06 දෙනෙකු පැමිණරුපියල් ලක්ෂ 04 ක මුදල් සහ කිලෝ 10 කට අධික රන් ආභරණ කොල්ලකා පළා ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර මාර්ගය දෙපස CCTV දර්ශන පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව සහ ලැබුණු තොරතුරු මත මෙම සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

අදාළ ත්‍රිරෝද රථය ඔස්සේ සිදු කළ විමර්ශනවලින් අනතුරුව එම අපරාධයට පැමිණි සැකකරුවන් 04 දෙනෙකු අද (26) අලුයම වන විට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

එම කොල්ලයෙන් ලද රුපියල් ලක්ෂ 500ක වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 10කට අධික රන් ආභරණද සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

මේ අතර මෙම කුප්‍රකට දේවාලය පිළිබඳ සහ එහි වංචනික කපුවා පිළිබඳව දිගින් දිගටම හෙළිදරව් කළේ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන විසින් වීම විශේෂත්වයකි.

මෙම කපුවාට අභියෝග කරමින් බැලුම්ගල කණ්ඩායම ගාල්තැන්න දේවාලයටම ගොස් එහි වංචා දූෂණ සිදුවන අයුරු පටිගත කරගෙන පැමිණීම එවකට සමාජයේ දැඩිව කතාබහට ලක් වුනා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

තලාතුඔයෙන් අල්ලපු ලක්ෂ 500 ක රන් බඩු මෙන්න

(26.09.2019 – 12:23 +0530 – sinhala.adaderana.lk)

තලාතුඔය, ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයක සිදු වූ රන් ආභරණ කොල්ලය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (25) අළුයම දේවාලයට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු විසින් එහි සිටි පුද්ගලයින් බිය ගන්වා අත්පා ගැටගසා රුපියල් ලක්ෂ 04ක පමණ මුදලක් සහ රත්‍රං කිලෝග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් කොල්ලකා තිබුණි.

මාර්ගය දෙපස සවිකර තිබී සී.සී.ටී.වී දර්ශන උපයෝගි කර ගනිමින් සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය තලාතුඔය පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

ඒ අනුව ත්‍රිරෝද රථය ඔස්සේ සිදු කළ වැඩි දුර විමර්ශනවලදි කොල්ලය සඳහා පැමිණි සැකකරුවන් සිව් දෙනෙකු අද අළුයම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 500 ක් වටිනා කිලෝග්‍රෑම් 10 කට අධික රන් ආභරණ ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මේ පිළිබඳ තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙම දර්ශනවල ඇත්තේ එම රන් භාණ්ඩ හා සිටින්නේ වැටලීමට එකතු වු පොලිස් නිලධාරීන්ය.

***************************************

නිරුවත් ඡායාරූප පෙන්වා මුහුණු පොතෙන් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

(25.09.2019 – ada.lk)

කාන්තාවක් විසින් මුහුණු පොත හරහා ව්‍යාපාරිකයෙක් සමඟ සම්බන්ධතාවක් පවත්වා නිරුවත් විඩියෝ සංවාද වල යෙදෙමින් හා නිරුවත් ඡායාරූප ලබාගෙන එම ව්‍යාපාරිකයාගේද නිරුවත් ඡායාරූප ගෙන්වා ගෙන එම කාන්තාව වසින් එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් බිය ගන්වා බලෙන් මුදල් ලබා ගැනිමක් සිදුව ඇති පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් විමර්ශනයක් ආරම්භ කර එහිදි සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය එක්ව මේ ආකාරයෙන් අවස්ථා කිහිපයකිදිම මේ පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් මුදල් රු.2,440,000 මුදලක් බලෙන් ලබාගෙන ඇති බවට අනාවරණය වි ඇත.

සැකකරු කටුකුරුන්ද මොරටුව පදිංචි මුතුතන්ත්‍රිගේ සුමීර රුක්ෂාන් (28) හා සැකකාරිය කඩුගම්මුල්ල රත්නපුර පදිංචි සුමුදු කෞෂල්‍යා (28) යන අයයි.

මෙම සැකකරු හා සැකකාරිය ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 4 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත ෴

***************************************

අවුරුදු 100 ඉක්මවූ ලාංකිකයන් 573 ක්

(26.09.2019 – ada.lk)

වයස අවුරුදු සියය ඉක්මවූ පුද්ගලයන් 573 ක් රට තුළ සිටින බව හඳුනාගෙන ඇතැයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

එම වැඩිහිටියන් අතුරින් මේ වනවිට වැඩිහිටියන් 400 දෙනෙකු සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ලබාදෙන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එම්.එම්.කේ. ක්‍රිශාන්ත මහතා පැවසීය.

ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් ජාතික රෝහලේ අපස්මාර ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකට අද (25 දා) සහභාගිවෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

ලොවපුරා වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යන අතර, 2050 වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයේ 29% ක් වැඩිහිටියන් බවට පත්වනු ඇති බවට බලාපොරොත්තුවේ.

මේ හේතුවෙන් වැඩිහිටි සුභසාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්, වැඩිහිටි දිවා මධ්‍යස්ථාන ඇති කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය ෴

***************************************

ජනේලයෙන් පැන්න රෙදි හොරා ලක්ෂ දෙකක රෙදි උස්සයි

(26.09.2019 – 10:38 +0530 – sinhala.adaderana.lk)

කඩුවෙල, පහල බෝමිරිය ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළඳසැලක ජනේලය බිඳ එම වෙළඳසැලට ඇතුළු වූ පුද්ගලයක් එහි තිබූ නිමි ඇඳුම් තොගයක් සොරාගෙන ගොස් තිබේ.

පසුගිය 21 දා මෙම සොරකම සිදු ඇති බව වාර්තාක වෙයි.

අදාළ සැකකරු තෙමහල් ගොඩනැඟිල්ලලේ ඉහළ මාලයේ පිහිටි මෙම නිමි ඇඳුම් වෙළඳසැල ඉනිමඟක ආධාරයෙන් එහි ජනේලක වීදුරුව බිඳ වෙළඳසැල තුළ ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

මෙම සැකකරු වෙළඳසැල වෙත ඇතුළු වන ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබුණි.

මෙම සොරකමින් සිදුවූ අලාභය රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බව වෙළඳසැල් හිමිකරු පවසන අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳසැල් හිමිකරු විසින් නවගමුව පොලීසිට පැමිණිලක් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නවගමු පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

***************************************

මේ රාජ්‍ය තමන්ගේ ස්වෛරීත්වය බිලි නොදෙන නායකයෙක් ඉල්ලනවා – විමල් වීරවංශ

(26.09.2019 – 09:53 +0530 – sinhala.adaderana.lk)

රටේ ස්වෛරීත්වය බිලි නොදෙන නායකත්වයක් රටට අවශ්‍ය වී ඇති බවත් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව මීළඟ ජනාධිපතිවරයා ලෙස බලාපොරොත්තු වන්නේ එම හේතුව නිසා බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

මාවනැල්ල ප්‍රදේශයේ ඊයේ (25) පස්වරුවේ පැවති ජනහමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අපිට ජීවිතයේ තෝරා ගන්න සිදුවන්නේ තිබෙන යථාර්ථය අනුව වඩාත්ම සුදුසු තේරීම බවත් කියා සිටි ඒ මහතා, ඒ තුළින් ලැබෙන්නේ පරමාදර්ශී උත්තරයක් නොවන බවත් කියා සිටියේය.

වඩාත්ම සුදුසු පිළිතුරට ඒ තුළින් යා යුතු බවත්, ඒ නිසාවෙන් අතිතයේ පැවති මෝස්තරකාරී තේරීම් තුළින් මනෝරාජික ජන සමුහයක් නොවී දී තිබෙන යථාර්ථය මත වඩාත්ම සුදුසු තෝරා ගැනීම් සිදු කල යුතු බවත් විමල් වීරවංශ මහතා පැවසීය.

අද වන විට රාජ්‍ය නිදහස, සියලු ආගම්වල සජීවි එකමුතුවක් ඉල්ලා සිටින බවත්, මේ රාජ්‍ය අද දිනයේ දී බලවත් ආර්ථික පරිවර්තනයක් ඉල්ලා සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

රණවිරුවන් දිවි පුදා රැක දුන් ඒකීයභාවය රකින නායකයෙක් මේ රාජ්‍ය විසින් අද දවසේ ඉල්ලා සිටින බවත් පැවසු විමල් වීරවංශ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාව අවශ්‍ය වන්නේ ඒ නිසා බවත් පැවසීය.

+++++++++++++++++++++

***************************************

සරසවි වරම් ලැබු රැහේ කැකුළි

(26.09.2019 – 12:47 +0530 – sinhala.adaderana.lk)

දඹානේ ආදීවාසින් කියූ සැණින් බොහෝ දෙනෙකුට හැඟෙන්නේ ඔවුන් කැලෑ ආශ්‍රිතව ජීවත්වන ජන කොට්ඨාසයක් ලෙසයි. මහියංගනයේ පිහිටි දඹාන ගම්මානයේ ආදිවාසින් වනාන්තරයෙන් තම ජීවිතය සරි කරගත් ඔවුන් ක්‍රමයෙන් ගොවිතැනට හුරුවුණි. නමුත්, දියුණුවන ලෝකයට දැන් ඔවුන් හුරුවෙමින් පවතියි.

ප්‍රථම වරට සරසවි වරම් හිමිකර ගැනීමට හැකි වූ ආදිවාසි තරුණියක් කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේදී අපට හමුවෙයි.

සමන්තිකා දිසානායක ඉතිහාසයට එක්වන්නේ සරසවි වරම් හිමිකරගත් මෙරට ප්‍රථම ආදිවාසි කාන්තාව ලෙසයි. ඇය මේ වන විට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ මුද්‍රණය කලා අධ්‍යයන අංශයේ දෙවැනි වසරේ සිසුවියක්. ඉංග්‍රීසි විෂයද ඇතුළුව සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත්වන ඇය මහියංගණය ජාතික පාසලෙන් උසස් අධ්‍යාපනය හදාරනවා.

සමන්තිකාගේ ජයග්‍රහණය පිළිබඳව ඇයගේ මවට ඇත්තේ අපරිමිත සතුටක්.

සමන්තිකාට පෙර සරසවි වරම්දිනාගත් පළමු ආදීවාසි තරුණයා වූයේ ගුණවර්ධන. ඔහු දැන් වෘත්තියෙන් ගුරුවරයෙක්.

මේ පිළිබඳ අදහස් දක්වමින් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

“මට සතුටුයි. දුෂ්කරතා තියෙද්දි මෙහෙම ඉගෙන ගන්නේ. ලෝකේ දියුණු වෙද්දි ඒ අය යන්න ඕන. කරන්න පුළුවන් උදව්වක් මම කරනවා. ඔස්ට්‍රේලියාවෙත් ඉන්නවා ආදිවාසින්. ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්. හැබැයි එයාලා රැකියාව කරන වෙලාවට විතරයි එහෙම ඉන්නේ. නැතිවෙලාවට ආදිවාසින්. මීට පෙර සරසවියට ගිය ගුණවර්ධනත් කොළඹ කෙනෙක් වගේ ඉන්නවා කියලා සමහරු කිව්වා. ඒත් එහෙම නැහැ. එයා දඹානෙන් ගිය විදිහටම ගමට ආවා. එයාව ආදර්ශයට ගන්න ඕන අනිත් අයත්.”

***************************************

සාම සාධක මෙහෙයුම්වලින් හමුදාව ඉවත්කිරීම ගැන සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි

(26.09.2019 – 14:15 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා මෙහෙයුම්වලට ශ්‍රී ලංකා හමුදා එක්කරගැනීම අත්හිටුවීමට ගෙන ඇති බව කියන තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ එක්සත් ජාතින්ගේ 74 වන මහා සභා රැස්වීම සඳහා සහභාගී වීසිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරන විදේශ කටයුතු අමාත්‍ය ලේකම්වරයා හෙට දිනයේ එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්කිරීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් නිලධාරීන් නැවත මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයාඊයේ සඳහන් කර තිබුණි.

කෙසේවෙතත් අදාළ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි ෴

***************************************

පොහොට්ටුව තවත් පක්ෂ 19 ක් සමග ලබන මස 05 වනදා අවබෝධතා ගිවිසුමකට

(26.09.2019 – 14:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ 19 ක් සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ඔක්තෝම්බර් මස 5 වනදා අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට නියමිත බවයි ෴

***************************************

සැලසුමක් නැතිව ලංකාවට ආ පලස්තීනුවා ආපසු පිටුවහල් වෙයි

(26.09.2019 – 17:03 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සූදානම් කළ කිසිඳු සංචාරක සැලසුමක් (Tour Of Plan ) නොමැතිව , සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ පලස්තීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු පිටුවහල් කර තිබේ.

මොහු 45 හැවිරිදි පලස්තීන ජාතිකයෙකි.

මෙම පුද්ගලයා අද (26) අලුයම 12:30 ට මැලේසියාවේ සිට පැමිණි මලින්දෝ ගුවන් සේවයේ ඕ.ඩී.- 185 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

සිය ආගමන කටයුතු නිශ්කාශනය කිරීම සඳහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන කවුළුව වෙත මෙම පලස්තීන ජාතිකයා පැමිණි අවස්ථාවේ , එහි රාජකාරීයේ නියැලී සිටි ආගමන නිලධාරීවරිය, ඔහු ඉදිරිපත් කළ සංචාරක වීසා වට අනුමැතිය ලබා දීමට පෙර, ඔහු පිළිබඳව මතු වූ සැකය මත, ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමේ කාරණාව කුමක්දැයි ඔහුගෙන් විමසා තිබේ.

ඒ අවස්ථාවේ දී එම පලස්තීන ජාතිකයා මාස 03 ක කාළයක් ශ්‍රී ලංකාවේ ගත කිරීමට අපේක්ෂා කරන බව පැවසුවද , ඒ සදහා ප්‍රමාණවත් මුදලක් මෙන්ම එම සංචාරය සදහා නිසි සංචාරක සැලැස්මක් ද නොමැති බව අනාවරණය විය.

වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී , මොහු ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් ව්‍යාපාරික කටයුතු සිදු කිරීම මොහුගේ අරමුණ බව පැහැදිලි විය.

එසේම තවදුරටත් ඔහුගේ ගමන් මලු ආදිය පරීක්ෂා කිරීමේ දී, ඔහුට ආපසු පිටත්ව යෑම සදහා අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රය ද නොමැති බව හෙළි වූ බැවින්, මෙම පලස්තීන ජාතිකයා පැමිණි ගුවන් යානයෙන්ම ආපසු මැලේසියාව වෙත පිටුවහල් කිරීමට ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගෙන තිබේ ෴

***************************************

මැතිවරණ කල් දැමීමේ කොමිසමේ උත්සාහයක් ගැන පොහොට්ටුවෙන් හෙළිදරව්වක්

(26.09.2019 – 16:40 +0530 – sinhala.adaderana.lk)

මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගෙන් එක් කොමසාරිස්වරයෙකු සෑම විටම මැතිවරණ කල් දැමීම සඳහා තමන්ගේ සියලු සහයෝගය ලබා දෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඳ සංගමයේ ලේකම් අතුල ද සිල්වා මහතා පවසයි.

අද පැවති පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය :

“එක්සත් ජාතික පක්ෂය විසින් රටේ මැතිවරණ කල් දැමීම සඳහා යෙදූ ප‍්‍රධාන පෙළේ උපක‍්‍රමයක් ඊයේ (25) ශේෂ්ඨාධිකරණය හමුවේ පරාජය වුණා.

ඒ ඇල්පිටිය මැතිවරණය ලබන ඔක්තෝම්බර් එකොළොස් වැනිදා පැවැත්වීම සඳහා දින නියම වෙලා තිබියදී තැපැල් ඡන්ද සඳහාත් දින නියමවෙලා තිබියදී එම මැතිවරණය කල්දැමීමට ගත් උත්සාහයයි.

එජාප අපේක්ෂිකාවකගේ පුතෙක් සහ එජාප ශාඛා සමිති සභාපතිවරයායෙකුගේ දරුවෙක් ඇතුළු තුන්දෙනෙක් ඇල්පිටිය මැතිවරණය කල් දමන ලෙස ශේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණි.

මැතිවරණ කොමිසන් සභාව සහ නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණය කල් දැමීමට විරුද්ධව ශේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුතු කරුණ වන්නේ ස්වාධීනයැයි සඳහන් කෙරෙන මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගෙන් එක් කොමසාරිස්වරයෙකු සෑම විටම මැතිවරණ කල් දැමීම සඳහා තමන්ගේ සියලූ සහයෝගය ලබා දෙමින් සිටින බවයි.

රංගජීවන් හුල් නැමති මෙම කොමසාරිස්වරයා මැතිවරණ කල් දැමීම සඳහා පුද්ගලිකවම මැදිහත් වෙනවා.

මේ කොමසාරිස්වරයා වෙනුවෙන් ඊයේ ශේෂ්ඨාධිකරණයේ දී වෙනමම නීතිඥවරයෙක් පෙනී සිටියා. ඔහු මුල සිටම කරුණු දැක්වූයේ මැතිවරණය කල් දැමීම සඳහා සහය ලැබෙන පරිදියි. මෙම නඩුව සඳහා ජවිපෙ නීතිඥවරයා උදේ පෙනී සිටියත් හවස පෙනී සිටියේ නැහැ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන්පෙනී සිටි නීතීඥ අලිසබ්රි මහතා ප‍්‍රමුඛ නීතිඥ කණ්ඩායම මැතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවට ශේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ අයිතිය ජනතාවට ලබාදීම වෙනුවෙන් විශේෂ මෙහෙයක් සිදුකළ බව කිව යුතුයි. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීම සඳහා එජාපය ගෙනගිය කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියා පිළිවෙත පරාජය කළ ශේෂ්ඨාධිකරණයට අපේ ගෞරවය හිමි වෙනවා.

මම ඇල්පිටිය ජනතාවට කියන්න කැමතියි ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වල දැමීම සඳහා එජාපය උත්සාහ කළ බව.

එජාප කුමන්ත‍්‍රණය පරාජය කිරීම සඳහා සියලූ දෙනා කැපවීමෙන් කටයුතු කළා.

මේ වෙලාවෙදි අපි කියනවා එජාපයේ ජනාධිපති මැතිවරණය සඳහා කුමන අපේක්ෂකයා ඉදිරිපත් වුණත් යහපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මැතිවරණ අයිතිය ජනතාවට ලැබෙන්නේ නෑ කියන එක. මෙය ඊට හොඳම උදාහරණයයි.”

***************************************

රාජිත සේනාරත්න වහාම අත්අඩංගුවට ගත යුතුයි – කංචන විජේසේකර

(26.09.2019 – 15:21 +0530 – sinhala.adaderana.lk)

මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වහාම අත්අඩංගුවට ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න මහතා විසින් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට පසුගිය වසර පුරා මාසිකව රුපියල් මිලියන 25 ක මුදලක් රෝහලේ නඩත්තු කටයුතු වෙනුවෙන් ලබා දී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා :

“ජනාධිපති විමර්ශන සභාවේ වාර්තා පිළිබඳව මාධ්‍ය අනාවරණය කළා. එහිදී හෙළි වුණු අලුත්ම තොරතුරු වන්නේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම පිළිබඳ සත්‍ය සිද්ධිය යි.

වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයකු වූ රාජිත සේනාරත්න මීට අවුරුද්දකට පෙර නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් උත්සවයක් පවත්වා ඊට කැබිනට් අනුමැතිය හිමි වූ බව රටට ප‍්‍රකාශ කළා.

නමුත් අමාත්‍ය මණ්ඩල ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජනාධිපති කොමිෂන් සභාවේ දී අනාවරණය කළා නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ආණ්ඩුවට පවරා ගැනීම සඳහා කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුයේ 2019 අගෝස්තු 13 වෙනිදා කියලා.

නමුත් ඊයේ වනතුරුත් ඊට අනුමැතිය ලබා දීලා නැහැ. මුදල් අමාත්‍යාංශය 2019 සැප්තැම්බර් නම වැනිදා නිර්දේශයක් පමණක් ලබා දී තිබෙනවා.

නමුත් අද වෙනතුරුත් අනුමැතිය ලැබී නැහැ. පසුගිය වසර පුරා මාසිකව රුපියල් මිලියන 25 ක මුදලක් රෝහලේ නඩත්තු කටයුතු වෙනුවෙන් ලබා දී තිබෙනවා. මෙම සියලු කටයුතු සිදු කර තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජනාධිපති කොමිසමට නොමඟ යැව්වා. සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලිව ජනාධිපති කොමිෂන් සභාවේ දී සඳහන් කර තිබෙනවා නෙවිල් ප‍්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අවබෝධතා ගිවිසුමක් පමණයි කියලා.

කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති කොමිෂන් සභාවේදී තීරණය වුණා. මෙයින් පෙනී යන්නේ රාජිත සේනාරත්න ජනතාව නොමඟ යැවූ බවයි.

මුදල් අවභාවිතා කිරීම පිළිබඳව රාජිත සේනාරත්න වහාම අත්අඩංගුවට ගත යුතුයි. මෙහි දී රාජිත සේනාරත්න රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට සමගාමීව අධිකරණයට අපහාසයක් සිදු කර තිබෙනවා.”

***************************************

කෝටි 350 ක් කොල්ලකෑ සණස ගැන ගම්පහ මිනිසුන් කියූ සංවේදී කතාව (26.09.2019)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *