සිංහල ඡන්ද කඩන්න මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට.. අතහිත ඇමරිකාවෙන්..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සිංහල ඡන්ද කඩන්න මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට.. අතහිත ඇමරිකාවෙන්..

• ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා ඇතුළු විත්තිකරුවන් නිදහස්

• හය (6) හැවිරිදි සිසු දරුවා කෙලෙසූ තරුණයන් දෙදෙනාට සිර දඬුවම්

• ඡන්දය කල් දැමීමට කරන උත්සහය භූමරංගයක් විදියට එජාපයේ බෙල්ල කැපෙන්න පුළුවන් – වාසු

• රාජ්‍ය නිලධාරින් ලෙඩ වෙයි – ජනතාවගේ වැඩ හිර වෙයි

• අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල සහ මාතර සියලු පාසල් හෙට (24) සහ අනිද්දා (25) වැසේ

+++++++++++++++++++++++++++++++++++

සිංහල ඡන්ද කඩන්න මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට.. අතහිත ඇමරිකාවෙන්..

(23.09.2019 – 10:00 +0530 – lankacnews.com)

ගෝඨාභය රාජපක්ෂ මහතාට බොරු චෝදනා නගමින් නඩු පවරන අතරේ ඇවන්ට්ගාඩ් සමාගම වනසා දමා එම ව්‍යාපාරික අවස්ථාව තම සහචර මිතුරු සමාගම් වළල්ලට ලබා දීමේ ‘තුට්ටු දෙකේ කොන්ත්‍රාත්තුවක්’ මෙම ආණ්ඩුව ඉටු කර ඇති බවත් එයට අනුර කුමාර දිසානායක සහ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ යන අය ද සම්බන්ධ බවත් ‘දිල්රුක්ෂි – සේනාධිපති දුරකථන සංවාදයෙන්’ රට හමුවේ අනාවරණය වී ඇතැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා :

“අප මේ මාධ්‍ය හමුව කැඳවූයේ විපක්ෂයේ දේශපාලන නායකයින් මර්දනය කිරීමේ ක්‍රියාවලියේ නිර්ලජ්ජිත ස්වභාවය මනා ලෙස අනාවරණය වන සාක්ෂි සහිත සිදුවීමක් පිළිබඳව කරුණු දැක්වීමට සහ වත්මන් දේශපාලන අභියෝගය පිළිබඳව රට හමුවේ කරුණු දැක්වීමටයි.

රනිල්ගේ සමීප හිතවතියක්!

ඇවන්ට්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ හිටපු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිනිය මෙන්ම මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයාට පමණක් දෙවන සොලිසිටර් ජෙනරාල් තනතුර දරන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අතර සිදුවූ දුරකතන සංවාදයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් මේ රටේ ජනතාවගේ බලවත් අවධානයට යොමු කරවා තිබෙනවා. මා එම දුරකථන සංවාදය ඔබේ අවධානයට යොමු කරවීමට කැමතියි. (සංවාදය මාධ්‍යවේදීන්ට ඇසීමට සලස්වයි) ඔබ දැන් සවන් දුන් ඒ දුරකථන සංවාදයෙහි ඇතුළත් වෙනවා වැදගත් කරුණු කිහිපයක්. පළමුවැන්න ‘මේ කාලකන්නි දේශපාලනය නිසා මට මේක කරන්න වුණා’ කියන එක. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලකන්නි දේශපාලනය. අපි වරක් පාර්ලිමේන්තුවේදී දිල්රුක්ෂි මහත්මියගේ ක්‍රියාකලාපය පිළිබඳව විමසූ විට ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ‘එතුමිය අපේ පවුලේ පෞද්ගලික හිත මිතුරියක්’ කියලයි. ‘අපි මාසිකව රාත්‍රී භෝජන සංග්‍රහයකට පවා සහභාගී වෙනවා’ කියා අගමැතිවරයා එහිදී පැවසුවා. එවැනි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික හිතවතියක් තමයි මේ දුරකථන සංවාදය හරහා අනාවරණය වී තිබෙන්නේ.

‘කාලකන්නි දේශපාලනය’

ඇවන්ට්ගාඩ් සමාගමට මෙහෙම අනතුරක් සිදු වෙනවා කියා දැන සිටියා නම් තමන් මේ දේවල් කවදාවත් නොකරන බවත් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ නඩුවට සම්බන්ධ කරන්නේ නැති බවත් ඇය පවසනවා. කාලකන්නි දේශපාලනය නිසා තමන් මේ දේවල් කළ බවත් ඇය පාපොච්චාරණය කරනවා. ඒ අනුව එතුමිය පිළිඅරන් තිබෙනවා, ‘ගෝඨාභය රාජපක්ෂ මහතා චෝදනාවකට පටලවන්න ගිහින් තමයි මේ රටට රුපියල් බිලියන 18 කට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දුන්, රුපියල් බිලියන 4 කට වඩා රජයට බදු ගෙවූ, ආබාධිත රණවිරු පවුල් ඇතුළු රණවිරු පවුල් දහස් ගණනක් රැකබලා ගත් ඇවන්ට්ගාඩ් සමාගම විනාශයට පත්වුණේ’ කියා. ගෝඨාභය රාජපක්ෂ මහතාට බොරු අවලාද ඉදිරිපත් කර ඔහුව දේශපාලන දඩයමකට ලක් කිරීම සහ එම සමාගම වනසා දැමීම තමයි එතුමිය මේ ‘කාලකන්නි දේශපාලනය‘ යනුවෙන් හඳුන්වන්නේ.

‘නීති කැඩීම සහ හැදීම’

ඒ වගේම ඇය ඒ දුරකථන සංවාදය ඇතුලේ ප්‍රකාශ කරනවා, We can make the Law – We can break the Law කියා. තමන්ට නීති හදන්න පුළුවන් – කඩන්නත් පුළුවන්, කියලයි පවසන්නේ. ඔබ දන්නවා, මේ රටේ නීති හදන්නේ ව්‍යවස්ථාදායකයෙන්, පාර්ලිමේන්තුවෙන් කියා. එහෙම නැතුව නීතිපති, සොලිසිටර් ජෙනරාල් හෝ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය හෝ නොවන බව. ඇය ඉතිරි පදයත් කීවා නම් හරි, ‘We can eat the Law’ යනුවෙන්. අද සිදු කරමින් ඇත්තේ ඒ දෙයයි. ව්‍යස්ථාදායකයෙන් හදපු නීති අද ආණ්ඩුවේ ඉහළ පුටුවල වාඩි කරවපු දේශපාලන හෙංචයියන් පිරිසක් විසින් කඩමින් සිටිනවා. තමන්ට උවමනා ලෙස යොදා ගනිමින් තිබෙනවා. ඇය කියන්නේ එයයි.

‘අලියා කෙළපු දිවුල’ උල්පන්දම් දුන්නා

නීති කඩමින් තමන්ට උවමනා ලෙස නීතිය යොදා ගනිමින් විරුද්ධ පක්ෂයේ දේශපාලන නායකයන් දඩයම් කිරීමට ආණ්ඩුව කටයුතු කළ ආකාරයයි මේ රට හමුවේ අනාවරණය වූයේ. මේ ක්‍රියාදාමයට ‘රතු අලිපැටියා – AKD – අලියා කෙළපු දිවුල’ උල්පන්දම් දුන්නා. රතු අලිපැටියා පළමුව පැය ගණන් කතා කරලා ඇවන්ට්ගාඩ් සමාගම පිළිබඳව නැති චෝදනා වැපුරුවා. ඒගොල්ලෝ හදපු ඒ පිට්ටනිය මත පදනම්ව තමයි, රනිල් වික්‍රමසිංහ මහත්තයාට දිල්රුක්ෂි මහත්මිය යොදාගෙන මේ නඩුව පවරන්න පුළුවන් වුණේ. අන්තිමේදී නඩුව උසාවියෙන් විසි වුණා. අහන්න නඩුවක් නැති වුණා. හැබැයි ඒ වන විට ඇවන්ට්ගාඞ් සමාගමට වෙන්න ඕන හානිය වෙලා ඉවරයි.

‘තුට්ටු දෙකේ කොන්ත්‍රාත්කාරයෝ’

දිල්රුක්ෂි මහත්මිය පාපොච්චාරණය සිදු කරන විට ‘අලියා කෙළපු දිවුල’ ඇහුනෙ නැතිව වගේ ඉන්නවා. ඇත්තෙන්ම මේ ආණ්ඩුව, රතු අලිපැටියා සහ දිල්රුක්ෂි මහත්මිය ඇතුළු සියලූදෙනා ඉටු කළේ කොන්ත්‍රාත්තුවක්. මේ අය තුට්ටු දෙකේ කොන්ත්‍රාත්කරුවන් පිරිසක්. දේශීය ව්‍යාපාරයක් වනසා දමා එම අවස්ථාව තමන්ගේ තැරැව්කාර විදේශීය සමාගමකට ලබා දීලා කොන්ත්‍රාත් කරන නඩයක් තමයි මේ පිරිස. ගෝඨාභය රාජපක්ෂ මහතාට අවලාද නගමින් නඩු පවරන අතරේ මේ අය කළේ තමන්ගේ තුට්ටු දෙකේ කොන්ත්‍රාත්තුවක්. අද දිල්රුක්ෂි මහත්මිය කඳුළු සැලුවා කියා, ඇවන්ට්ගාඩ් සමාගම වසා දැමීම නිසා අසරණ වූ පවුල් දහස් ගණනකගේ කුසගින්න නිවෙන්නේ නැහැ. නැවත ඒ ව්‍යාපාරික අවස්ථාව ඇවන්ට්ගාඩ් සමාගමට ලබා ගැනීමට පුළුවන් වෙන්නෙත් නැහැ.

‘සොලිසිටර් ජෙනරාල් තනතුරේ ඉන්න පුළුවන්ද?’

පවුල් දහස් ගණනක් මේ දේශපාලන දඩයමට නිසා අසරණ වෙලා. ඒ හේතුවෙන් අද මේ ආණ්ඩුවට සාපයක් වැදී තිබෙනවා. දැන් බලන්න, ‘අපට නීතිය හදන්නත් පුළුවන් – අපට නීතිය කඩන්නත් පුළුවන්’ කියා කියන තැනැත්තියක් මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම පුටුවක සිටිනා විට සිදු වන්නේ කුමක්ද? ඇයට තවදුරටත් සොලිසිටර් ජෙනරාල් තනතුරේ ඉන්න පුළුවන්ද? එක්කෝ ඇය ඉවත් කළ යුතුයි. නැතහොත් ඇය ඉල්ලා අස්විය යුතුයි. මේ රටේ නීතිය සම්බන්ධයෙන් මේ පාලකයින්ට අංශුමාත්‍ර හෝ හැඟීමක් තිබෙනවා නම් මේ තැනැත්තිය ඉවත් කිරීමට වහා කටයුතු කළ යුතුයි.

‘බිලියන දෙකක් ගැන බොරුවට වදවීම’

නෙළුම් කුළුණ ඉදිකිරීමේ දී රුපියල් බිලියන දෙකක් අතුරුදහන්ව ඇති බවට පට්ටපල් කෙබර ඇදබා ඇති බව දැන් අනාවරණය වී තිබෙනවා. අදාළ චීන සමාගම ජනාධිපතිවරයාට පිළිතුරු ලබාදී තිබෙනවා. බිලියන දෙකේ ගෙවීම් කුවිතාන්සිය පවා රට හමුවේ අනාවරණය කර තිබෙනවා. එහෙම අහිමි වූ බිලියන දෙකක් ගැන බොරුවට වද වෙන ආණ්ඩුව, ඇවන්ට්ගාඩ් සමාගම වනසා දැමීම නිසා රටට අහිමි වූ බිලියන 04 ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. නෙළුම් කුළුණ ගිවිසුම් ප්‍රකාරව නිසි කලට ඉදි කිරීමට නොහැකි වීම නිසා චීනයට ගෙවීමට සිදු වූ මිලියන දහස් ගණන ගැන මේ ආණ්ඩුව වද වෙන්නෙ නැහැ. අපට පෙනෙනවා මෙතැන තිබෙන්නේ දේශපාලන දඩයම සහ ව්‍යාපාරික අවස්ථා තම සහචර මිතුරු සමාගම්වලට පිරිනමා සන්තෝසම් ලැබීම පමණයි කියා.

‘දිල්රුක්ෂි ඩයස් තියරිය’

දැන් මේ නීති හැදීමේ සහ නීති කැඩීමේ ‘දිල්රුක්ෂි ඩයස් තියරිය‘ යොදා ගනිමින් රහස් පොලිසිය අධිකරණයට ගොස් කියනවා, ‘ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අවස්ථාව දෙන්න‘ කියා. මේ ආණ්ඩුව බලන්නේ කෙසේ හෝ ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට. ඔහුට නාමයෝජනා ලබා දීමේ අවස්ථාව අහිමි කරන්නයි බලන්නේ. රහස් පොලිසිය අධිකරණයට ගොස් කියන දේ ‘දිල්රුක්ෂි ඩයස් තියරිය’ අනුවයි කියන්නේ. ලංකාවේ පුරවැසියකු නොවන කෙනෙකුට මැතිවරණයකදී අපේක්ෂකයකුට සහාය දැක්වීමට නොහැකි බව කියා ඇත්තේ කවර නීතියේ ද? අත්අඩංගුවට ගැනීමට හේතු හොයලා බැරිම තැන ‘2005 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකුට සහාය දීම’ කියන චෝදනාව යටතේ අද සීඅයිඩීය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බී වාර්තාවක් මගින් චෝදනාවක් ගොනුකර තිබෙනවා.

‘ගැලවෙන්න තිබෙන එකම පොට ’

අපි ඉතා කරුණාවෙන් මේ ආණ්ඩුවේ මහත්තුරුන්ට කියනවා, ‘පිට්ටනියේ නීති වෙනස් කරලා සටන තීරණය කරන්න ලෑස්තියි වෙන්න එපා’ කියලා. නිදහසේ පිටියට එන්න. තම ප්‍රතිවාදියා සමග ප්‍රජාතන්ත්‍රවාදීව තරඟ කරන්න. දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු නම් කරගන්න බැරිව ඉන්න මේ ආණ්ඩුව හිතනවා, තමන්ට පරාජයෙන් ගැලවෙන්න තියෙන එකම පොට ‘ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන් මර්දනය කිරීම’ කියා. මේ රටේ අධිකරණය මේ තුට්ටු දෙකේ ක්‍රියාදාමය මනා ලෙස අවබෝධ කරගෙන ඇති බව අපට පෙනී යනවා. ඒ නිසා ‘දිල්රුක්ෂි ඩයස් තියරියට’ අනුව නොයමින් මේ රටේ අධිකරණය ස්වාධීනව කටයුතු කරාවි, කියන විශ්වාසය අපට තිබෙනවා.

‘ආණ්ඩුවේ මළගම සනිටුහන් කරමු’

කොටි ත්‍රස්තවාදීන්ගේ පවුල්වලට වන්දි ගෙවන අතරේ ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප ලබාගැනීමට මහපාරේ උද්ඝෝෂණ කිරීමට සිදු කළ මෙවැනි ආණ්ඩුවකට බලයේ සිටීමට කිසිදු සදාචාර අයිතියක් නැහැ. ඉදිරි ජනාධිපතිවරණය, මේ ආණ්ඩුවෙ මළගම සනිටුහන් කිරීමට යොදාගත යුතුයි. ඒ සඳහා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සකල දේශමාමක ජනතාව පෙළගැසිය යුතුයි. දැන් බලනවා, ඒ දේශමාමක ඡන්ද, විශේෂයෙන් සිංහල හා තරුණ ඡන්ද කඩන්න හිටපු හමුදාපතිවරයකු වූ මහේෂ් සේනානායක යොදාගන්න. මේක ඇමරිකා එක්සත් ජනපද උපායමාර්ගය අනුව සිදුවන දෙයක්. ඔවුන්ට උවමනා සිංහල ඡන්ද තීරු තීරුවලට කඩන්නයි. එක්සත් ජනපද ආධාර ලබන ප්‍රමුඛතම රාජ්‍ය නොවන සංවිධානයක් වන සර්වෝදය මුල්කරගත් ඊට අදාළ සළුපිලි ඇඳගත් අයකු ලෙසයි මේ මහේෂ් සේනානායක පිටියට එවන්නේ. මේ ආකාරයේ විවිධ පිරිස් දමලා තවදුරටත් මේ පරගැති පාලනය රැක ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් කටයුතු කරනවා.

‘රූකඩවලට රැවටෙන්න එපා’

ඒ නිසා මේ රූකඩ අපේක්ෂකයන්ට නොරැවටී ජාතිය හමුවේ ඇති තියුණු අනතුර සහ අවදානම දැකලා මේ රටට රැකවරණය දීමට හැකි ගෝඨාභය රාජපක්ෂ මහතා වටා එකතු වෙන්න කියා ඉල්ලා සිටිනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

+++++++++++++++++++++++++++++++++++

Mathinta (Api UNP) – Iraj (An edited version)

+++++++++++++++++++++++++++++++++++

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා ඇතුළු විත්තිකරුවන් නිදහස්

(23.09.2019 – 10:27 +0530 – sinhala.adaderana.lk)

ගාලු වරාය අසල මුහුදේ ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක විත්තිකරුවන් ලෙස නම්කර තිබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකු අභියාචනාධිකරණය විසින් කළ නියෝගයකට අනුව නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (23) කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව විත්තිකරුවන් නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

කෙසේ වෙතත් නිසි නීතිමය පටිපාටිය අනුගමනය කරමින් විත්තිකරුවන්ට එරෙහිව නැවත නඩුවක් ගොනු කිරීමට අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් කර ඇතැයිද මහේස්ත්‍රාත්වරිය මෙහිදි පැවසුවාය.

කෙසේ වෙතත් මෙම නඩුවේ අටවන විත්තිකාරිය ලෙස නම් කර සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේ වන විට අධිකරණය මඟහැර විදේශගතව සිටින බැවින් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු ද නිකුත් කර තිබේ.

එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකාව නිදහස් කිරීමට අධිකරණය විසින් තීරණය කර ඇති බැවින් ඇය වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසද ඉල්ලා සිටියා.

එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ අදාල විත්තිකාරියට දැනටමත් වරෙන්තුවක් නිකුත් කර ඇති හෙයින් ඇය නිදහස් කරනු ලැබුවද නැවත අධිකරණය හමුවේ පෙනී සිට වරෙන්තුව ආපසු කැඳවා ගැනීමට පියවර ගන්නා ලෙස ඇයගේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු විසින් දුන් ලිඛිත අනුමැතියට අදාල පිටපත් අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති හෙයින් එම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මීට පෙර ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා නියෝග නිකුත් කර තිබුණි.

එම නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම ප්‍රතිශෝධන පෙත්සම ද මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඉන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝග අහෝසි කර තමන්ව සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග අභියාචනාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩුව පවරා ඇති ආකාරය නීතියට පටහැනි හෙයින් එම නඩුවෙන් විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නියෝග කර තිබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් අතර ජයන්ත පෙරේරා, ජයනාත් කොළඹගේ සහ සෝමතිලක දිසානායක යන හිටපු නාවික හමුදාපතිවරු තුන් දෙනෙකුද ඇතුළත් ව සිටියි.

ඊට අමතරව පාලිත ප්‍රනාන්දු සහ බී.එගොඩවෙල යන විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරු දෙදෙනා ද විත්තිකරුවන් අතර ඇතුළත්ව සිටිති.

***************************************

හය (6) හැවිරිදි සිසු දරුවා කෙලෙසූ තරුණයන් දෙදෙනාට සිර දඬුවම්

(20.09.2019 – mawbima.lk)

කොළඹ ප්‍රධාන පිරිමි පාසලක ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා රැඳී සිටි වයස අවුරුදු 6 1/2 ක බාලවයස්කාර පිරිමි දරුවකුට බරපතළ ලිංගික අතවර සිදුකිරීමට වරදකරු වූ පුද්ගලයකුට වසර 10 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ද එයට අනුබල දීමේ වරදකරු වූ තවත් පුද්ගලයකුට වසර නවය බැගින් බරපතළ වැඩසහිත සිරදඬුවම්ද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (19 දා) නියම කළේය. මෙම සිද්ධියට මුහුණ දුන් කුඩා දරුවාගේ මානසික කම්පනය සලකා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17 වගන්ති ප්‍රකාරව රුපියල් ලක්ෂය බැගින් එම දරුවාට ගෙවීමට විනිසුරුවරයා නියම කළේය.

මීට අමතරව මෙම විත්තිකරුවන්ට එල්ල කර ඇති චෝදනා දෙකට රුපියල් 25,000 ක බැගින් දඩ වෙන් වෙන් වශයෙන් නියම කළ අතර එම දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 30 බැගින් සරල සිරදඬුවම් විනිසුරුවරයා නියම කළේය.

මේ පිළිබඳව දීර්ඝ නඩු විභාගයක් පවත්වා තිබූ අතර පාසලේ ගුරුවරු, විදුහල්පති හා දරුවා පරීක්ෂා කළ විශේෂඥ මනෝ වෛද්‍යවරියක් යන අය විසින් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබිණි. මෙම දරුවා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශාල මානසික කම්පනයකින් සිටිය බවත් දරුවා පරීක්ෂා කරන මොහොතේදීත් විශාල ලෙස මානසිකව ඇද වැටී සිටිය බවත් එම දරුවා පරීක්ෂා කළ මනෝ වෛද්‍යවරිය අධිකරණය හමුවේ ලබාදී තිබූ සාක්ෂිද මෙම තීන්දුව ලබාදීම සඳහා සැලකිල්ලට ගත් බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය. ඉකුත් 2014 වසරේ නොවැම්බර් මාසයේ දිනක කොළඹ පාසලකදී පළමු විත්තිකරු එම අවුරුදු 6½ ක් වයසැති කුඩා දරුවාට බරපතළ ලිංගික අතවර කර ඇති බවත් දෙවැනි විත්තිකරු ඒ සඳහා ඔහුට අනුබල දී ඇති බවත් සඳහන් කර චෝදනා 6 ක් යටතේ නීතිපතිවරයා විසින් ඒ වනවිට එම පාසලේම ඉගෙනුම ලැබූ මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි ෴

***************************************

ඡන්දය කල් දැමීමට කරන උත්සහය භූමරංගයක් විදියට එජාපයේ බෙල්ල කැපෙන්න පුළුවන් – වාසු

(23.09.2019 – 11:04 +0530 – sinhala.adaderana.lk)

බටහිර අධිරාජ්‍යවාදීන් සිය වුවමනාවන් ඉටු කර ගැනීමට වත්මන් ආණ්ඩුව නැවත බලයට ගෙන ඒම සඳහා ආධාර අනුබල දීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (22) ගම්පහ පැවති ජනහමුවකදීයී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ජනවාරී 8 වන දා ආණ්ඩුව ගමන යෑමට සිටියේ කොතැනට යන්න අද වන විට දන්නා බවත් පැවසු මන්ත්‍රීවරයා, අද වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ගමනාන්තයට ශ්‍රී ලංකාව ගෙන යෑමට නොහැකි වු බවත් පැවසීය.

අද වන විට එම බටහිර අධිරාජ්‍යවාදය විසින් තම අභිමතාර්ථ ඉෂ්ඨ කර ගැනීමට තවත් වසර 5කට වික්‍රමසිංහ මහතාට බලය ලබා දීමට කටයුතු කරමින් සිටින බව ද පැවසු මන්ත්‍රිවරයා, ජනතා විමුක්ති පෙරමුණ හරහා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් රටේ සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව සතුරන් බවට පත් කිරීමට උත්සහ කළත් එය වැළකී ගිය බවත් කියා සිටියේය.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් පළ කළේය.

කාදිනල් උතුමාණන් විසින් කිසිදු සැකයක් නොමැතිව තමා අතේ ඇති තොරතුරු අනුව සැබෑ අපරාධකරුවන් ගැන සොයා බැලීමට කොමිසමක් පත් කරන්නැයි පවසා සිටි බවත් අද අල්ලන් ඉන්නේ දෙවැනි තුන්වැනි පෙළේ අය බවත් එතුමා නොකියා පවසා සිටි බවත් වාසුදේව මහතා කියා සිටියේය.

එතුමා මෙය ප්‍රහාරය ආණ්ඩුවෙන් සිදුකල වැඩක් බව නොකියා කියා ඇතැයි පැවසු ඒ මහතා, එය පැවසීම වැරුද්දක් නොවන බවත් පැවසීය.

පසුව දිගන ප්‍රදේශයේ කෝලාහලයක් ඇති කල බවත් පැවසු වාසුදේව මහතා, ඊට වඩා ප්‍රබල සිදුවීමක් සිදු කිරීම ගැන ඍජුවම තමා ආණ්ඩුවට චෝදනා කරන බවත් කියා සිටියේය.

මෙය ඡන්දය කල්දමා ගැනීමට සිදු කල දෙයක් බවත් පසුව මෙය එක්සත් ජාතික පක්ෂයටම භූමරංගයක් ලෙස පැමිණ බෙල්ල කපා ගෙන යා හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

***************************************

රාජ්‍ය නිලධාරින් ලෙඩ වෙයි – ජනතාවගේ වැඩ හිර වෙයි

(23.09.2019 – 12:09 +0530 – sinhala.adaderana.lk)

රජයේ විධායක නිලධාරින්ට කැබිනට් පත්‍රිකාවකින් ලබාදුන් වැටුප් වැඩිවීමට සාපේක්ෂව වැටුපක් ලබා නොදීමට එරෙහිව විධායක ශ්‍රේණි නොවන රාජ්‍ය සේවකයින් අද (23) අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු රාජ්‍ය ආයතන වල සේවා සැපයීම අඩාල වීමෙන් සේවා ලබා ගැනිමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයන්ට පත් විය.

මෙවැනි පසුබිමක බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට සේවා ලබාගැනීම සදහා පැමිණි ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක්ද හට ගත්තේය.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට රාජ්‍ය කළමනාකාර සහකාර,සංවර්ධන,ග්‍රාමසේවා ඇතුළු වෘත්තිය සංගම් 34 ක් එක්වීම නිසා රාජ්‍ය ආයතන රැසක සේවා සැපයීම අද අඩාල විය.

දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල,ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලත් රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරි කටයුතු සදහා වාර්තා කර තිබුණේ නැත.

වෘත්තිය ක්‍රියාමාර්ගය සාර්ථක බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී.ඒ.පී. බස්නායක මහතා ප්‍රකාශ කළේය.

තම රාජකාරී කටයුතු සඳහා දුර බැහැර ප්‍රදේශවලින් රාජ්‍ය ආයතන වෙත පැමිණි බොහෝ පිරිසක් දුෂ්කරතාවන්ට පත්ව සිටින බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය.

එමෙන්ම මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරත නොවන රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව පවසන්නේ සිය ඉල්ලීම් කඩනමින් ලබා නොදුනහොත් එළැඹෙන බදාදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බවයි.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මෙතෙක් අවසන් වී නැත.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ලේකම් කේ.එල්.ඩී රිච්මන්ඩ් මහතා වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මේ බව සඳහන් කළේය.

***************************************

අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල සහ මාතර සියලු පාසල් හෙට (24) සහ අනිද්දා (25) වැසේ

(23.09.2019 – 17:50 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල සහ මාතර සියලු පාසල් හෙට (24) සහ අනිද්දා (25) වසා තැබීමට පියවර ගෙන ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *