දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම ආසන්නයේ වාහන 6 ක් එකට ගැටේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම ආසන්නයේ වාහන 6 ක් එකට ගැටේ

• මෝටර් රථයක් ප්‍රපාතකට පෙරළීමෙන් තරුණයෙකු තුවාල ලබා රෝහලේ

• සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන් ත්‍රෛනිකායික මහ නාහිමියන් හමුවෙයි (විඩියෝ)

• ෆේස්බුක් හරහා මැතිවරණ නීති උල්ලංඝනය වීම වැළැක්වීමට කොමිසම සැරසේ

• හිස්බුල්ලා දිවයින පුරා ඉඩම් අක්කර 3000 ක් අරන්. CID විමර්ශනයෙන් හෙළිවෙයි !

• හංවැල්ල, පරණ පාර ඇඹුල්ගම හන්දියේ සිදු වු වෙඩි තැබීමෙන් අයෙක් මරුට – දෙදෙනෙකුට තුවාල

• පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි – ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

• අද (16) විකසිත වන නෙළුම් කුළුණ

• මුල්ගල තියන්න ගිය මන්ත්‍රී විජේපාලට විරෝධයක්

• නැවතත් කලබලකාරී තත්ත්වයක් ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා

• අගමැතිගේ අභියෝගයට මම සුදානම් – ආචාර්ය බන්දුල ගුණවර්ධන

+++++++++++++++++++++++++++++++++++

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම ආසන්නයේ වාහන 6 ක් එකට ගැටේ

(15.09.2019 – 16:47 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව – පිටවුම ආසන්නයේදී අද පස්වරුවේ මෝටර් රථ 6 ක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුර හේතුවෙන් කොළඹ දෙසට ඇතුළු වන මාර්ගයේ රථ වාහන තදබදයක් ද පවතින බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූවන් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරට ලක්වූ මෝටර් රථ මාර්ගයෙන් ඉවත් කර මාර්ගයේ රථ වාහන ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

මෝටර් රථයක් ප්‍රපාතකට පෙරළීමෙන් තරුණයෙකු තුවාල ලබා රෝහලේ

(15.09.2019 – 16:02 +0530 – hirunews.lk/sinhala)

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල – රොසැල්ල ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

විනෝද චාරිකවකට පැමිණි මෙම මෝටර් රථය අඩි 100 ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළෙන අවස්ථාවේ තරුණයින් 3 දෙනෙකු සිට ඇති අතර, ආසන බඳ පටි පැළඳ නොසිටි තරුණයා මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වටවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා ෴

***************************************

සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන් ත්‍රෛනිකායික මහ නාහිමියන් හමුවෙයි

(15.09.2019 – 13:26 +0530 – hirunews.lk/sinhala)

සිය ඉල්ලීම් දිනාගන්නා තුරු කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහය අත් නොහරින බව විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පවසනවා.

මියගිය, ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා ලබා දෙන බවට පොරොන්දු වු වැටුප් ලබානොදීමට එරෙහිවයි ඔවුන් 5 වන දිනටත් සත්‍යග්‍රහයේ නිරතවන්නේ.

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය මැති ඇමතිවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, සහ ක්‍රීඩකයින් සත්‍යග්‍රහය නිරත රණවිරුවන් හමුවට පැමිණ ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ලැබුවා.

අද (15) පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඇතුලු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් සහ විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ද සත්‍යග්‍රහයේ නිරත රණවිරුවන් හමුවීම සඳහා පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් පිරිසක් ඔවුන් සිදුකරන සත්‍යග්‍රහය සම්බන්ධයෙන් දැනුවත් කිරිමට ත්‍රෛනිකායික මහනාහිමිවරුන් බැහැදැකීමට අද (15) උදෑසන පැමිණි බව මහනුවර හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් වලට රජය කඩිනම් විසදුම් දිය යුතුයි : රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

(15.09.2019 – nethnews.lk)

විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් සඳහා රජය කඩිනමින් විසදුම් ලබා දිය යුතු බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. ඒ, රණවිරුවන් සත්‍යග්‍රහයේ නිරත කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදීයි.

ආබාධිත රණවිරුවන් ජීවිතාන්තය දක්වා වැටුප් හිමිකම ඉල්ලමින් අරගලයක යෙදී සිටින රණවිරු සංවිධානවල නියෝජිතයින් අද පෙරවරුවේ මහනායක හිමිවරුන් ද බැහැදුටුවා. ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹදී ආරම්භ කර මෙම සත්‍යග්‍රහයට අදට දින 05 ක්.

***************************************

ෆේස්බුක් හරහා මැතිවරණ නීති උල්ලංඝනය වීම වැළැක්වීමට කොමිසම සැරසේ

(15.09.2019 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වූ පසු අපේක්ෂකයින් අගතියට පත්වන ආකාරයෙන් හෝ ද්වේශ සහගත ලෙස හෙළා දකින අයුරින් සිදුකරන ප්‍රකාශ ෆේස්බුක් හරහා ප්‍රචාරය වීම වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නායක මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමගද පසුගියදා සාකච්ඡා කළ බවයි.

ඒ අනුව එවැනි සිදුවීම් පිළිබඳව මැතිවරණ කොමිසමට ලැබෙන පැමිණිලි ෆේස්බුක් සමාගම වෙත දැනුම් දෙන අතර, ඔවුන් එම ගිණුම් අත්හිටුවීමට පියවර ගනු ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

හිස්බුල්ලා දිවයින පුරා ඉඩම් අක්කර 3000 ක් අරන්. CID විමර්ශනයෙන් හෙළිවෙයි !

(15.09.2019 – 06:17 +0530 – lankanewsweb.net)

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සෞදි අරාබියේ ආයතනයක මූල්‍ය ආධාර ඇතිව දිවයින පුරා ඉඩම් අක්කර 3,000 කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදී හෙළිවී තිබේ.

හිස්බුල්ලා මහතාට මෙම ඉඩම් මිලදී ගැනීම සඳහා මුදල් සම්පාදනය කළ ආයතනය ඉස්ලාම් මූලධර්මවාදී සංවිධානවලට ආධාර දෙන සෞදි අරාබි ආයතයක් වශයෙන් ද හඳුනාගෙන ඇත.

ඒ අනුව හිස්බුල්ලා මහතා යම් උපායමාර්ගික සැලැස්මක් අනුව ක්‍රියාත්මක වී ඇති බවට පෙන්නුම් කෙරෙන බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ඉස්ලාම් මූලධර්මවාදීන්ට මුදල් පොම්ප කරන ආයතන ගණනාවක් සෞදි අරාබියේ ඇති අතර හිස්බුල්ලා වැනි පිරිස් ඒවා හරහා කෝටි ප්‍රකෝටිපතියන් බවට ද පත් වේ. එහෙත් මේවායින් අවසානයේ අමාරුවේ වැටෙන්නේ සාමකාමී සාමාන්‍ය මුස්ලිම් ජනතාවය. එක් අතකින් මුදල් බලයත් අනෙක් අතින් දේශපාලන බලයත් හිමි හිස්බුල්ලා වැන්නන් හැමදාමත් කරන්නේ නීතියේ සිදුරු අතරින් රිංගා යාමය ෴

***************************************

හංවැල්ල, පරණ පාර ඇඹුල්ගම හන්දියේ සිදු වු වෙඩි තැබීමෙන් අයෙක් මරුට – දෙදෙනෙකුට තුවාල

(15.09.2019 – 22:14 +0530 – sinhala.adaderana.lk)

හංවැල්ල පොලිස් වසමේ පරණ පාර ඇඹුල්ගම හන්දියේ සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු නවගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

අනෙක් තුවාලකරු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23 ක් වු ජල්තර, රණාල ලිපිනයේ පදිංචි අයෙකි.

තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 26 ක් වු එම ප්‍රදේශයේම පදිංචි අයෙකි.

හංවැල්ල පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

https://www.youtube.com/watch?v=iCvY-q_eCB0#t=5

+++++++++++++++++++++

හංවැල්ල වෙඩි තැබීමෙන් තවත් අයෙකුට තුවාල

(16.09.2019 – 07:23 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර සිටි 26 හැවිරිදි තරුණයා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අනන්‍යතාව තහවුරු නොවූ තවත් පුද්ගලයෙකු අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

ඊයේ රාත්‍රි 9.15 ට පමණ හංවැල්ල – පරණපාර ඇඹුල්ගම මංසන්ධියේ දී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ රණාල – ජල්තර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

+++++++++++++++++++++

ඇඹුල්ගම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

(16.09.2019 – 09:55 +0530 – sinhala.adaderana.lk)

හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එසේම ඒ සඳහා යොදා ගත් යතුරු පැදියක් හා වෑන් රථයක් ද සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ රාත්‍රී 9.15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවුණි.

අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

වෙඩි තැබීමෙන් මෝටර් රථයේ පැමිණි එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවේය.

මිය ගොස් ඇත්තේ 23 හැවිරිදි රණාල ජල්තර ප්‍රදේශයේ පදිංචිව සිටි බෙලිහුල්ලගේ ගෙදර සුරේෂ් රුවන්ත ගුණසිංහ නොහොත් චූටි මල්ලි නමැති අපරාධ කල්ලි සාමාජිකයා බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මෝටර් රථයේ පැමිණි අනෙක් පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අසළ වෙළෙඳසැළක සිටි පුද්ගලයෙකුද තුවාල ලබා අවිස්සාවේල්ල මුලික රෝහලට ඇතුළත් කෙරුණි.

සිද්ධිය සම්බන්දයෙන් හංවැල්ල සහ නවගමුව පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදු කරයි.

https://www.youtube.com/watch?v=kWHpx9m63lk#t=5

+++++++++++++++++++++

***************************************

පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි – ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

(16.09.2019 – 06:45 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් වලට ඉදිරි පැය 24 ක කාලය තුළ මිලි මීටර 150 ඉක්මවූ තද වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අධික වැසි සමග ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරකට මෙලෙස අනතුරු අඟවා ඇති බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඇහැළියගොඩ, අඹගමුව, බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොල සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

බදුල්ල සොරනාතොට ප්‍රදේශයේ ගල්පෙරලීම් වාර්තා වීම හේතුවෙන් පවුල් 88 ක් ද තාවකාලිකව ඉවත් කර ඇත.

මේ අතර ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත් වලට මිලිමීටර් 150 ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වලට මිලිමීටර් 100 ට වැඩි තදවැසි ඇතිවිය හැකියි.

මේ අතර ගතවු කාලය තුළ කළුතර, රත්නපුර,නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට තදවැසි ඇති වී ඇත.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පහත්බිම් සහ අතුරු මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.

***************************************

අද (16) විකසිත වන නෙළුම් කුළුණ

(16.09.2019 – 07:39 +0530 – sinhala.adaderana.lk)

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ අද (16) විවෘත කෙරෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ උත්සවය අද පස්වරු 5.00 ට පැවැත්වෙන අතර ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බව විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කළේය.

2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන අතර එහි උස මීටර් 356 ක් වේ.

අමෙරිකානු ඩොලර් මිලියන 104.3 ක පිරිවැයකින් යුතුව මෙහි නිර්මාණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති අතර ඉන් ඩොලර් මිලියන 67 ක මුදලක් චීන රාජ්‍ය බැංකුවක් වන එක්සිම් බැංකුව විසින් විදේශ ණය මුදලක් ලෙස ලබා දී තිබේ.

ඉතිරි පිරිවැය දරා ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනුයි.

බේරේ වැව අසල ඉදිකර ඇති නෙළුම් කුළුණේ පාදමේ තට්ටු තුනක් මහජන භාවිතය සදහා පමණක් වෙන් කර ඇති අතර පෙරනොවූ විරූ කැරකෙන අවන්හලකින් ද මෙය සමන්විතයි.

මීටර් 244 ක උසකින්යුතු අත්තිවාරමකින් ඉහළ ව්‍යුහයේ විවෘත අවකාශය මත ඉදිව ඇති නිරීක්ෂණ මැදිරිය කුළුණේ වඩාත් ආකර්ෂණීය ස්ථානය වන අතර එහි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ශ්‍රීපාද කඳුවැටිය, කළුතර චෛත්‍ය යන ස්ථාන පියවි ඇසින් පහසුවෙන් නැරඹිය හැකි බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

+++++++++++++++++++++

කැරකෙන අවන්හල්, සුපිරි වෙළෙඳසැල්, අධිවේගී සෝපාන, සුඛෝපභෝගී හෝටල් සමඟින් කොළඹ උසම තැන – නෙළුම් කුළුණ අද (16) ජනතා අයිතියට

(16.09.2019 – biz.adaderana.lk)

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඉදිවුණු උසම ගොඩනැගිල්ල, කොළඹ නෙළුම් කුළුණ අද (16) පස්වරුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

2012 වසරේ දෙසැම්බර් 01 දින ඉදිකිරීම් ඇරඹුණු මෙම නෙළුම් කුළුණ මීටර 350 ක උසකින් යුක්ත වන අතර චීන එක්සිම් බැංකුවේ ඩොලර් මිලියන 104 ක ණය ආධාර මත එහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි.

ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපතක්

නෙළුම් කුළුණට ඇතුල්වීම සඳහා ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත් ක්‍රමවේදයක් යොදා ගැනේ. එය ප්‍රවේශ ස්ථානයේ දී සලකුණු කිරීමෙන් අනතුරුව කුළුණ තුලට ඇතුළත් විය හැකිය. පාසැල් ළමුන්ට සහන මිලකට මෙම ප්‍රවේශපත ලබා ගත හැකිවේ. ඇතුළත් වීමේ දොරටුක් 4ක් තිබේ. මෙහි බිම් මහල සාප්පු සංකීර්ණ සඳහා වෙන් කර ඇත.

අධිවේගී විදුලිසෝපාන

මෙහි මගීන් සඳහා විදුලි සෝපාන 3ක් වෙන් කර ඇති අතර ඒවා තත්පරයකට මීටර 7ක වේගයෙන් ධාවනය වේ. මීට අමතරව තවත් සෝපාන 2ක් තිබෙන අතර ඒවා තත්පරයට මීටර 5 ක වේගයකින් ධාවනය වේ. මෙහි ඇති මුළු විදුලි සෝපාන සංඛ්‍යාව 8 කි. මේවා ශ්‍රී ලංකාවේ වේගවත්ම විදුලි සෝපන බව කියැවේ. බිම්මහලේ සිට නෙළුම් කුළුණේ මීටර 245 ක උසින් තිබෙන නැරඹුම් මැදිරිය දක්වා කොටසට යාම සඳහා ගතවන්නේ තත්පර 40ක පමණ කාලයකි.

උත්සව, සම්මන්ත්‍රණ ශාලා

නෙළුම් පොහොට්ටුව කොටසේ තෙවන හා සිව්වන මහල උත්සව ශාලා දෙකකින් සමන්විත වේ. මෙහි එක් ශාලාවක පහසුවෙන් අමුත්තන් 350කට සේවා සැලසිය හැකි අතර ඒ අනුව 700 ක පිරිසකට ඉතා සුවපහසුවෙන් මෙහි අසුන්ගත හැකි වනු ඇත. ඉදිරි අනාගතයේ දී අන්තර්ජාලය හරහා මෙහි වෙන්කිරීම් සිදුකර ගත හැකිවේ. මෙහි ව්‍යාපෘති ඉංජිනේරු අනුර කුමාරපේලි මහතා පවසන්නේ මෙය කුළුණක ඇති ලොව එකම උත්සව ශාලාව බවයි.

කැරකෙන අවන්හල

කුළුණේ මීටර 234 ක් ගිය තැන කැරකෙන අවන්හල (Revolving restaurant) හමුවේ. මෙහි සම්පූර්ණ වටයක් කැරකැවීම සඳහා ගතවන කාලය මිනිත්තු 90 කි.

නැරඹුම් මැදිරිය

මෙය කිසිදු වීදුරු ආවරණයකින් ආවෘත නොවූ විවෘත නැරඹුම් ප්‍රදේශයකි.

නෙළුම් කුළුණේ ඇන්ටනාව

මෙය සාමාන්‍ය මහජනතාවට විවෘත නොවන කලාපයකි. විද්‍යුත් මාධ්‍ය / සන්නිවේදන ආයතන සඳහා සම්ප්‍රේෂණ ඇන්ටනා බදු දීමක් සිදුවේ.

විශේෂ ස්තුතිය – නෙළුම් කුළුණ ව්‍යාපෘති ඉංජිනේරු, අනුර කුමාරපේලි මහතාට

+++++++++++++++++++++

නෙළුම් කුළුණ, අද (16) විවෘත වෙයි

(16.09.2019 – 07:16 +0530 – hirunews.lk/sinhala)

දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැළකෙන නෙළුම් කුළුණ අද ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙය විවෘත කෙරෙන අතර, ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද එක්වනු ඇති.

2012 වසරේ ජනවාරි 20 වනදා නෙළුම් කුළුණේ ඉදිකිරිම් සඳහා මුල් ගල තැබුණු අතර, ඒ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකන් ඩොලර් මිලියන 104.3 ක්.

මීටර 350 ක උසින් යුත් නෙළුම් කුළුණ, දකුණු ආසියාවේ උසම කුළුණ වන අතර, ලෝකයේ 19 වන උසම කුළුණද වනවා.

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ බේරේ වැව අසබඩ වර්ග මීටර 30,600 ක භූමියක ඉදිකර ඇති නෙළුම් කුළුණ විවෘත කිරීමෙන් පසුව ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවන්ට සම්ප්‍රේෂණ කටයුතු ඩිජිටල් තාක්ෂණය යටතේ එක් ස්ථානයක සිට සිදුකිරීමට අවස්ථාව හිමි වනු ඇති.

කුළුණෙහි පළමු සහ දෙවන මහල් දෙකම වෙන් කර ඇත්තේ රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු වෙනුවෙන්. මෙය සැකසීම සඳහා සියළු උපදේශන සේවාවන් සපයනු ලැබුවේ මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයන් වීම ද විශේෂත්වයක්.

නෙළුම් කුළුණේ 3 වන සහ 4 වන මහල් වෙන් කර ඇත්තේ උත්සව ශාලා දෙකක් සඳහායි.

එමෙන්ම, කැරකෙන අවන්හල නෙළුම් කුළුණෙහි වඩාත් ආකර්ශනීය ස්ථානයක් වනවා.

මීට අමතරව කුළුණෙහි 7 වන මහල වෙන් කර ඇත්තේ කොළඹ මනරම් පරිසරය ගුවනේ සිට නැරඹීමටයි.

සත් වන මහලට ඉහළින් පිහිටා ඇත්තේ ඩිජිටල් සම්ප්‍රේෂණ කටයුතු මෙහෙය වන යෝධ ඇන්ටනා සංකීර්ණයයි.

***************************************

මුල්ගල තියන්න ගිය මන්ත්‍රී විජේපාලට විරෝධයක්

(15.09.2019 – 18:58 +0530 – hirunews.lk/sinhala)

අක්මීමන – ඉහළගොඩ – දකුණ ප්‍රදේශයේ නිල සෙවන කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයකදී ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිට අද දැඩි ජනතා විරෝධයක් එල්ල වුණා.

විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් කියා සිටියේ අක්මීමන ඉහලගොඩ – නැගෙනහිර ප්‍රදේශයට අදාල නිල සෙවන කාර්යාලය මෙලෙස තම ප්‍රදේශයේ ඉදිකිරීමට ඉඩ දිය නොහැකි බවයි.

ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම නිලධාරී එක් ස්ථානයක ස්ථානගත කරමින් නිල සෙවන නමින් දීප ව්‍යාපත්ව ප්‍රාදේශීය මට්ටමින් ඉදිකිරීමට ආරම්භ කර ඇති සංවර්ධන වැඩ සටහනක් යටතේ අදාල කාර්යාලය ඉදිකිරීමට නියමිතව තිබුණා.

ඒ සඳහා මුල්ගල් තැබීමට නියමිතව තිබුණේ අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත්, අද (15) උදෑසන 08 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ මුල්ගල් තැබීමේ උත්සවයට වජිර අබේවර්ධන අමාත්‍යවරයා සහභාගි වී නැහැ.

සිය ගම් ප්‍රදේශයට අයත් නොවන කාර්යාලයක් සඳහා මුල්ගල තැබීමට විරෝධය පල කරමින් ප්‍රදේශවාසීන් උදෑසන සිට එම ස්ථානයේ විරෝධය දක්වමින් සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

උදෑසන 08 ට මෙම උත්සවය ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද ඉන් පැය 04 ක් පමණ ප්‍රමාද වී මුල්ගල තැබීම සිදුකිරීමට ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි එම ස්ථානයට පැමිණියා.

එහිදී ප්‍රදේශවාසීන්ගෙන් මන්ත්‍රීවරයාට දැඩි විරෝධයක් එල්ල වුණා.

ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය දක්වන්නේ නම් මෙම නිල සෙවන කාර්යාලය වෙනත් ස්ථානයක ඉදිකිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ප්‍රකාශ කිරීමත් සමඟ විරෝධතාකරුවන් විසිර ගියා.

+++++++++++++++++++++

***************************************

නැවතත් කලබලකාරී තත්ත්වයක් ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා

(15.09.2019 – 19:34 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි ජනාධිපතිවරණය වැළැක්වීමේ අරමුණින් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි කලබලකාරී තත්ත්වයක් රට තුළ නිර්මාණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේදැයි සැකයක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මෙහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (15) පැවති පක්ෂ මාධ්‍ය හමුවේදීයි.

එහිදි අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ විදේශ විනිමය පනත සංශෝධනය කිරීමෙන් ත්‍රස්තවාදි අරමුදල් රට තුළට පැමිණෙන බවයි.

තවද ජනාධිපතිවරණයකට දින ප්‍රකාශ කිරීමට නියමිත අතර ජනාධිපතිවරණයෙන් ආණ්ඩුව පරාජයට පත් වන බවද ඒ මහතා පවසයි.

ආරක්ෂක හමුදාවන් දුර්වල කරමින් සිටින බවත් නාවික හමුදා නිලධාරින්ගේ මානසිකත්වය බිද දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ඒ මහතා චෝදනා කරයි.

ආණ්ඩුවේ සූදානම ජනාධිපතිවරණය කල්දැමීමට නම් පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් දෙවෙනි ප්‍රහාරයක් සිදුකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමද යන සැකය ඇති වන බවද ඒ මහතා සැක පල කළේය.

***************************************

අගමැතිගේ අභියෝගයට මම සුදානම් – ආචාර්ය බන්දුල ගුණවර්ධන

(15.09.2019 – 19:26 +0530 – sinhala.adaderana.lk)

තමන්ට වඩා අධ්‍යාපනය දියුණු කළ හැකි කෙරුමෙක් සිටීනම් තමා ඔහු සමඟ විවාදයකට සුදානම් බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශයට අනුව තමන් අගමැති සමඟ විවාදයකට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේබව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පැවසුවේ අග්‍රාමාත්‍යවරයා පවසන පරිදි එම පාලන සමයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කල බැවින් එම අභියෝගය එක හෙලා එල්ල කර ඇත්තේ තමන්ට බවයි.

එම නිසා එහිද අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ තමන් එම විවාධයට කැමැත්තෙන් සහභාගි වන බවයි.

එහිදි අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලාමෙන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසුවේ අද සිට මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම ආරම්භ වන බවත් කාසිය වාසිය උරගා බැලීමට හැකි බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *