ජන ජීවිත එළිය කිරීමට වෙර දරන යතිවරයාණෝ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ජන ජීවිත එළිය කිරීමට වෙර දරන යතිවරයාණෝ (විඩියෝ)

• මැතිවරණ කොමිෂන් සභාව ගැන නීතීඥ සංවිධාන ජාතික එකමුතුවට සැකයක් (විඩියෝ)

• මැතිවරණ නීති ක්‍රියාත්මක කරන්න කොමිසමට බලය පැවරේ

• ගිහියන් විසින් මහා සංඝරත්නය මට්ටු වෙන තත්ත්වයක් උදාවෙලා – විපක්ෂ නායක (විඩියෝ)

• රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් හෙළිදරව්වක් (විඩියෝ)

• ආබාධිත රණවිරුවන් වර්ෂාව මධ්‍යයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක (විඩියෝ)

• කංජිපානිගේ පියා පෙරලූ බාල්දිය (විඩියෝ)

• පැති කණ්නාඩි සොරකම් කළ අයෙක් පොලිස් දැලේ

• අණ නොතැකු යාත්‍රාවට වෙඩි තැබූ නාවිකයින් අත්අඩංගුවට ගැනීම කණගාටුදායකයි (විඩියෝ)

• රනිල් ළඟ අලි මන්ත්‍රයක් තියෙනවා – රෝහිත අබේගුණවර්ධන (විඩියෝ)

• උකුසු ඇසට හසුවු, බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගන පිහිණුම් තටාකයේ නිලධාරීයෙකුගේ වංචනික මුදල් ගැනීමේ ජාවාරම (විඩියෝ)

• හිටපු නියෝජ්‍ය ඇමතිගේ නියෝගය ක්‍රියාත්මක නොකළ නිලධාරීන් 5 කට ස්ථාන මාරු

• රජයේ විධායක නිලධාරීහු වැඩවර්ජනයකට සැරසෙති

• බන්දුල ගුණවර්ධනට දයාසිරි ජයසේකර ගැන සැකයක් (ඔඩියෝ)

• උතුරේ ඉඩම් හිමි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ආණ්ඩුකාරවරයාගෙන් දැනුම් දීමක්

+++++++++++++++++++++++++++++++++++

ජන ජීවිත එළිය කිරීමට වෙර දරන යතිවරයාණෝ (විඩියෝ)

(13.09.2019 – 21:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංවර්ධනය, දුගී දුප්පත් භාවය තුරන් කිරීම ආදී කරුණු පිළිබදව රට කරවන බලධාරීන් බොහෝ විට කථා කරන්නේ මහත් උජාරුවෙන්.

ඔවුන් ජනතාව පිලිබද කුමන කථා කීවත් තම මුලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකි පිරිස් රට පුරා තවමත් තැන තැන විසිරී සිටිනවා.

එම ජනතාවගේ අදුරු ජීවිත එළිය කිරීමට වෙර දරන යතිවරයානෝ කෙනෙකු පිළිබද හිරුට තොරතුරු ලැබුනේ රත්නපුර දොඩම්පෙ ප්‍රදේශයෙන්.

රත්නපුර දොඩම්පෙ ප්‍රදේශය අතිශය රමණීය පරිසරයකින් හෙබි භූමි ප්‍රදේශයක්.

පුරාණ නින්දගමක් වන මෙහි ඉඩම් අක්කර 52 ක් රත්නපුර දොඩම්පෙ චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේ පුජ්‍ය කොටපොල සුධම්ම හිමියන්ට එහි හිමිකරුවන් කලකට ඉහත පවරා දී තිබෙනවා.

එම භූමිය පර්චස් 10 බැගින් බිම් කොටස්වලට වෙන් කර මෙරට බිම් අගලක හෝ අයිතියක් නැති අන්ත අසරණ මිනිසුන්වෙත බෙදාදීමටයි සුධම්ම හිමියන් ක්‍රියා කර ඇත්තේ.

මේ වනවිට පවුල් 75 කට ඉඩම් ලබා දී එම ඉඩම්වල කුඩා නිවාස සාදා ගැනීමටත් සුධම්ම හිමියන් උදව් උපකාර සිදුකරන්නේ තමන්ට දායකයන්ගෙන් ලැබෙන මිල මුදල් ද යොදවමින්.

බැකෝ යන්ත්‍රයක ක්‍රියාකරුවෙමින් බිම් සකසමින් නිවෙස් ඉදිකිරීමට මෙම හිමිවරුන් දරන්නේ අපමණ වෙහෙසක්.

දරිද්‍රතාවයේ පතුලේ සිටින පුන්‍ය ග්‍රාමයේ වැසියන්ට නිවසක හිමිකම ලැබුන ද එදා වේල ගැට ගසා ගැනීමට ජීවිතය සමග පොරබැදීමට සිදුව තිබෙනවා.

දුප්පත්කම මැදින්, හෙට ලෝකය දකින්නට වෙරදරන මෙම හය හතර නොදත් දරුවන් වෙනුවෙන් ඔබටත් යමක් කළ හැකි නම්ලඑය ඔවුනේ හෙට දිනය ආලෝකමත් කරනු ඇති.

සටහන : ගසකින් කොළයක් කැඩීම පවා තමාගේ උපසම්පදා සීලයට හානියකි – අමරසර

***************************************

මැතිවරණ කොමිෂන් සභාව ගැන නීතීඥ සංවිධාන ජාතික එකමුතුවට සැකයක්

(13.09.2019 – 20:55 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 10 වැනිදායින් පසු ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලය තිබියදී මැතිවරණ කොමිෂන් සභාව එම කාර්යය මෙතෙක් ඉටු නොකිරීම කුමන්ත්‍රණයක්දැයි සැක සහිත බවට නීතීඥ සංවිධාන ජාතික එකමුතුව චෝදනා කරනවා.

එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේ අද (13) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

මැතිවරණ කොමිසමට එල්ලවන එම චෝදනා සම්බන්ධයෙන් එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද අදහස් පළ කළා.

***************************************

මැතිවරණ නීති ක්‍රියාත්මක කරන්න කොමිසමට බලය පැවරේ

(13.09.2019 – 23:17 +0530 – lankadeepa.lk)

මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනිද්දා (15) සිට මැතිවරණ කොමිසමට බලය පැවරේ.

ඒ අනුව ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීම , ඡන්ද විමසීම පැවැත්වීම , මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පියවර ගැනීමට මැතිවරණ කොමිසමට බලය පැවරේ ෴

***************************************

ගිහියන් විසින් මහා සංඝරත්නය මට්ටු වෙන තත්ත්වයක් උදාවෙලා – විපක්ෂ නායක

(13.09.2019 – 20:39 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුවේ දුර්වලතාව මත ගිහියන් මහා සංඝරත්නය මට්ටු කරන තත්ත්වයක් උදාවී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ වීරකැටිය කොණ්ඩගල රජමහා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.

වීරකැටිය කොණ්ඩගල රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන බුදුපිළිම වහන්සේ නිරාවරණය සහ ධාතුන්වහන්සේ තැන්පත් කිරීම අද පැවැත්වුණේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයක රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=BKL_OXYFtcY#t=6

***************************************

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් හෙළිදරව්වක්

(13.09.2019 – 20:04 +0530 – hirunews.lk/sinhala)

නුවරඑලිය දිස්ත්‍රික් රෝහලේ වැඩමුළුවක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රාජකාරී නිවාඩු අනුමත කරගනිමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නුවරඑලියේදී ක්‍රීඩා සැණකෙලියක් පවත්වා ඇති බවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය චෝදනා කරනවා.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ නීතිවිරෝධී ක්‍රීඩා සැණකෙලියට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද සහභාගි වී ඇති බවයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධාන කර තිබූ ක්‍රීඩා හා සංගීත සැණකෙලියක් සැප්තැම්බර් 06 සහ 07 යන දිනයන් හි නුවරඑලිය නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

එහිදී සය සාමාජික ක්‍රිකට් තරඟ, දැල් පන්දු, වොලිබෝල්, බැඩ්මින්ටන් යන ක්‍රීඩා අංශවලින් තරඟ ඉසව් සඳහා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ හෙද හෙදියන් ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබුණා.

ක්‍රීඩා සැණකෙලිය පැවැත්වුණු දෙවන දිනයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද ඊට සහභාගි වී සිටියා.

කෙසේ වෙතත්, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය චෝදනා කරන්නේ දිස්ත්‍රික් රෝහලේ වැඩමුළුවක් පවත්වන බව පවසමින් මෙම ක්‍රීඩා උත්සවය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රාජකාරී නිවාඩු අනුමත කරගෙන ඇති බවයි.

***************************************

ආබාධිත රණවිරුවන් වර්ෂාව මධ්‍යයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක

(13.09.2019 – 19:23 +0530 – hirunews.lk/sinhala)

සිය වැටුප් ගැටළුවලට විසඳුම් ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය වර්ෂාව මධ්‍යයේ කොළඹ – කොටුව දුම්රියපොල ඉදිරිපිටදී අද (13) 03 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

ඒ, ඊට අදාළව පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවති විරෝධතාවයෙන් අනතුරුවයි.

අද (13) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද එම ස්ථානයට පැමිණ සත්‍යග්‍රහයේ නිරත වන ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසා සිටියා.

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ පැවිදි හඬ සංවිධානයේ සංවිධායක පූජ්‍ය ගලගම ධම්මරන්සි හිමියන් ද අද එම ස්ථානයට වැඩම කළා.

මේ අතර, සමස්ත ලංකා දිවි පිදූ හා ආබාධිත රණවිරු එකමුතුව ද අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=PNh_F37-MG8#t=6

***************************************

කංජිපානිගේ පියා පෙරලූ බාල්දිය

(13.09.2019 – 19:19 +0530 – sinhala.adaderana.lk)

බූස්ස බන්ධනාගාරයට ජංගම දුරකථන සහ උපකරණ රැගෙන යාමට උත්සාහ කළ කංජිපානි ඉම්රාන්ගේ පියා, සහෝදරයා ඇතුළු පිරිස ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අද (13) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදු කරන්නේ නම් දැවැන්ත අපරාධ රැල්ලක සුලමුල සොයාගත හැකිවනු ඇති බව නව සිහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් අද කියා සිටියේය.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන්ට ජංගම දුරකථන 02 ක් ඇතුළු උපකරණ කිහිපයක් ලබාදීමට උත්සාහ කිරීමේදී ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

https://www.youtube.com/watch?v=UzCAaKWtdZU#t=5

***************************************

පැති කණ්නාඩි සොරකම් කළ අයෙක් පොලිස් දැලේ

(13.09.2019 – 21:19 +0530 – sinhala.adaderana.lk)

බොරැල්ල පොලිස් වසමේ වැලිකඩ බන්ධනාගාරය අසළ නවතා තිබු විසිල් වර්ගයේ කාර් රථයකින් පැති කණ්නාඩි ගලවා සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් සීසීටීවී කොට්ඨාශයේ නිලධාරීන් විසින් අද සවස 02:50 ට පමණ එම ස්ථානයේ සීසීටීවී නිරීක්ෂණය කරමින් සිටි අවස්ථාවේ දී මෙම සොරකම දැක ඒ පිළිබඳ බොරැල්ල පොලිස් ස්ථානය වෙත දැනුම් දීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39 ක් වු පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු හෙට (14) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

***************************************

අණ නොතැකු යාත්‍රාවට වෙඩි තැබූ නාවිකයින් අත්අඩංගුවට ගැනීම කණගාටුදායකයි

(13.09.2019 – 18:30 +0530 – sinhala.adaderana.lk)

පුල්මුඩේ වෙරළ තීරයේදී අණ නොතකා ගමන් කළ ධීවර යාත්‍රාවකට වෙඩි තැබූ නාවික හමුදා සෙබළුන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව නීතීඥ සංවිධාන ජාතික එකමුතුව පවසයි.

එම සංවිධානයේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා කොළඹදී අද (13) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

පුල්මුඩේ වෙරළ තීරයේදී අණ නොතකා ගමන් කළ ධීවර යාත්‍රාවකට වෙඩි තැබූ නාවික හමුදා සෙබළුන් අත්අඩංගුවට ගෙන සිර ගත කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බව නීතීඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළේය.

නීතීඥ මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සිදුවූයේත් මෙවැනි වැඩ නිසා බවයි.

IS සංවිධානයේ පිරිසක් ලංකාවට පැමිණි බවට ඉන්දියාව විසින් අනතුරු අඟවා තිබියදීයි මෙය සිදු ඇති බව නීතීඥවරයා සඳහන් කළේය.

නීතීඥ මනෝජ් ගමගේ මහතා මෙහිදී කියා සිටියේ නාවික හමුදා නිලධාරීන් 12 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විමර්ශන කළ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි.

https://www.youtube.com/watch?v=e1xkhWomiXk#t=6

***************************************

රනිල් ළඟ අලි මන්ත්‍රයක් තියෙනවා – රෝහිත අබේගුණවර්ධන

(13.09.2019 – 18:11 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්වෙමින් ඉදිරි ජනාධිපතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර පෙන්වන ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ලංකාවේ අලි හීලෑ කිරීමට හැකි හොඳම නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවත් අග්‍රාමත්‍යවරයා සතුව අලි මන්ත්‍රයක් ඇති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර බලය මේවනවිට සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ සන්ධානගතව සිටින පක්ෂවල සහයද සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයාට හිමිව ඇති බවයි.

මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා කර ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ස්ථාවරයකට පැමිණ ඇති බව දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතර සන්ධානයක් ලෙස දැක්මක් සහිත පුද්ගලයෙකු සමඟ ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු බව ජාඇල ප්‍රදේශයේදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සියේය.

https://www.youtube.com/watch?v=QKTKrp2LD-g#t=6

***************************************

උකුසු ඇසට හසුවු, බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගන පිහිණුම් තටාකයේ නිලධාරීයෙකුගේ වංචනික මුදල් ගැනීමේ ජාවාරම

(13.09.2019 – 20:43 +0530 – sinhala.adaderana.lk)

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේ ඇති පිහිණුම් තටාකය පාලනය වන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේයි.

ප්‍රදේශයේ සිටින ළමුන් ඇතුළු පිරිසගේ ක්‍රීඩා කෞෂල්‍ය දියුණු කිරීම සඳහා ඉදිකර ඇති මෙයින් පිහිණුම් තටාකය භාර නිලධාරියා හිතුමනාපෙට විවිධ පිරිස් යොදවා මුදල් අයකරගන්න බවට උකුස්සාට තොරතුරු අනාවරණ වුණි.

ඒ අනුව උකුස්සා සිදුකළ සොයා බැලීමේදී දැකගත හැකි වුණේ ළමුන් විශාල පිරිසක් මෙහි දෛනිකව පුහුණුවීම් සඳහා පැමිණෙන ආකාරයයි.

තවදුරටත් උකුස්සා සිදුකළ ගවේෂණයේදී දැකගත හැකිවුණේ මෙම ක්‍රීඩාංගණයයේ සේවය කරන පුද්ගලයෙකු විසින් පුහුණුවීම් සඳහා පැමිණෙන ළමුන්ගෙන් පැය දෙකකට රුපියල් 200 ක මුදලක් අයකරගන්නා බවයි.

මෙලෙස මුදල් අයකිරීම සම්බන්ධයෙන් අප තවදුරටත් ගවේෂණයේ යෙදුණි.

එහිදී අනාවරණය වූයේ මෙම ක්‍රීඩංගණයේ තවත් ස්ථානයක මේ සඳහා ටිකට්පත් නිකුත් කරන ස්ථානයක් ඇති අතර ටිකට්පතක් නොමැතිව පිහිණුම් තටාකයට ඇතුළුවිය නොහැකි බවයි.

කෙසේ වෙතත් පිහිණුම් තටාකය භාර නිලධාරියා විසින් අදාළ උපදෙස් තුට්ටුවකටවත් මායිම් නොකර රජයට ලැබිය යුතු මුදල් පෞද්ගලිකව ලබා ගන්නේ කෙසේද ?

මේ වංචනික නිලධාරීයාගේ වැඩපිළිවෙළට එරෙහිව බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන තෙක් අද දෙරණ උකුස්සා අවධානයෙන්ය.

https://www.youtube.com/watch?v=3etXjMLmDHo#t=6

***************************************

හිටපු නියෝජ්‍ය ඇමතිගේ නියෝගය ක්‍රියාත්මක නොකළ නිලධාරීන් 5 කට ස්ථාන මාරු

(13.09.2019 – 18:14 +0530 – lankadeepa.lk)

ඇල්පිටිය ප‍්‍රදේශයේ පාසල්වල විද්‍යාගාර විවෘත කිරීමේ උත්සව කිහිපයක් ඇතුළුව ගාලු දිස්ති‍්‍රක්කයේ පැවැත්වෙන උත්සව ආවරණය කරන මෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කළ නියෝගයක් ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රතික්ෂේප කිරිම හේතුවෙන් නිලධාරින් පස් දෙනෙකු දුෂ්කර පළාත්වලට මාරු කළ බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරින් පස් දෙනෙක් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.

පාසල්වල විද්‍යාගාර විවෘත කිරීම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විෂය පථයට අදාළ නොවන බැවින් මෙන්ම ඇල්පිටිය ප‍්‍රදේශය මැතිවරණ පූර්ව සමයක පවතින බැවින් එහි දේශපාලන මැදිහත්වීමකින් සිදුවන කටයුත්තක් ආවරණය කිරීම තමන් ප‍්‍රතික්ෂේප කළ බවත් මේ හේතුවෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පොලොන්නරුව, දඹුල්ල අනුරාධපුර ත‍්‍රීකුණාමලය හා වවුනියාව යන ප‍්‍රාදේශිය කාර්යාල වලට මාරුකළ බවට ද ඔවුහු පැමිණිලි කර ඇත.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ පාසල් සඳහා විගමනික ශ‍්‍රමික දරුවන්ට පාසල් උපකරණ බෙදා දීම් ආවරණය කරන මෙන් මුලින් නියෝග කොට තිබු බවත් එහි මැතිවරණයක් පැවැත්වෙන බැවින් වැඩි විස්තර දන්වන්නැයි ඉල්ලා සිටීමෙන් පසු පාසල් කිහිපයක නම් හා ඒවායේ විද්‍යාගාර විවෘත කිරීම් සිදුවන බවත් ඒවා ආවරණය කරන ලෙස නියෝග කරමින් විද්‍යුත් තැපෑලක් එවා තිබූ අතර ඊට විරෝධය පළ කිරීමත් සමඟම තමන් පස්දෙනා මාරු කර යවා තිබු බවත් ඔවුහු දන්වා ඇත.

මෙම උත්සව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සුභ සාධන අංශයෙන් හෝ එහි ගාල්ල දිස්ත‍්‍රික් කාර්යාලයෙන් සිදු කරන්නක් නොවන බව දැනගත් පසු ඒ පිළිබඳ වැඩි විස්තර සොයා බැලූ බවත් එය විදේශ රැකියා අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විසින් කළ නියෝගයක් බවත් එහි සිදුවන්නේ දේශපාලනික උත්සව බවත් දැනගැනීමෙන් පසු ඒවා ප‍්‍රතික්ෂේප කළ බව ද එම නිලධාරිහු මැතිවරණ කොමිසමට දන්වා ඇත.

එම විද්‍යාගාර විවෘත කිරීම් ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයේ පිහිටා ඇත පාසල් වන ඇත්කඳුර සීවලි මහා විද්‍යාලය, ගනේගොඩ මහා විද්‍යාලය, හත්තක මහාවිදයාලය, ඉඳිපලේගොඩ මහා විද්‍යාලය, යන පාසල්වල ද ඊට ආසන්න ප‍්‍රදේශවල ඇති හත්තක මහා විද්‍යාලය, පෝද්දිවෙල මහා විද්‍යාලය, මාපලගම මහා විද්‍යාලය, ගෝනදෙණිය මහා විද්‍යාලය, යටලමත්ත මහා විද්‍යාලය, වැලිදෙණිය කණිෂ්ඨ විද්‍යාලය, ඇතුළු පාසල්වල සිදුකෙරෙන බව එම විද්‍යුත් තැපෑලේ සඳහන් වන බව ද ඔවුහු මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා තිබේ ෴

***************************************

රජයේ විධායක නිලධාරීහු වැඩවර්ජනයකට සැරසෙති

(13.09.2019 – 22:34 +0530 – lankadeepa.lk)

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් රජයේ විධායක නිලධාරීහු ලබන 18 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර සිටිති.

නීති නිලධාරීන්ට පමණක් වැටුප් හා දීමනා ඉහළ නැංවීම මගින් අනෙකුත් සමාන්තර ශ්‍රේණිවල විධායක නිලධාරීන්ට අසාධාරණයක් හා වැටුප් විෂමතාවයක් මතුව ඇතැයි චෝදනා කරමින් විධායක නිලධාරීහු පවසති.

රජයේ දීපව්‍යාප්ත සේවාවල සහ සමාන්තර දෙපාර්තමේන්තුගත සේවාවන් වල විධායක නිලධාරීන් 30,000 කට පමණ මෙම අසාධාරණය සිදුව ඇතැයිද රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා පැවසීය ෴

***************************************

බන්දුල ගුණවර්ධනට දයාසිරි ජයසේකර ගැන සැකයක්

(13.09.2019 – nethnews.lk)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට කිසිදු සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාදුක්ක ප්‍රදේශයේදී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

***************************************

උතුරේ ඉඩම් හිමි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ආණ්ඩුකාරවරයාගෙන් දැනුම් දීමක්

(13.09.2019 – nethnews.lk)

උතුරේ ඉඩම් හිමි, මේ වනවිට විදෙස්ගතව සිටින පුද්ගලයින්ට තම ඉඩම්වල අයිතිය තහවුරු කෙරෙන ලියකියවිලි ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ඉල්ලීමක් කර සිටිනවා.

ඔහු පැවසුවේ ඊට අදාළ අයදුම්පත np.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා මේ බව කියා සිටියේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ පැවැත්වූ, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉඩම් නිදහස් කරගැනීම සඳහා වූ පළමු හමුවට එක්වෙමින්.

උතුරු පළාතේ ආරක්ෂක අංශ විසින් භාවිත කරනු ලබන පෞද්ගලික ඉඩම් නිශ්චිතව හඳුනාගැනීම සඳහා කමිටු පත් කිරීමට ද ආණ්ඩුකාරවරයා එහිදී උපදෙස් ලබාදුන්නා.

මාධව කුලසූරිය -වවුනියාව

***************************************

සිය පෙම්වතා සමග සිටින විඩියෝවක් අන්තර්ජාලයට දැමීම ඌරු කොටුවේ නීතියට පටහැනියැයි තරුණියක් මරා දමයි

(12.09.2019 – Today Colombo)

සිය පෙම්වතා සමග සිටින විඩියෝවක් අන්තර්ජාලයට එක් කිරීම ඌරු කොටුවේ නීතියට පටහැනි බව පවසා 21 වියැති පලස් ජාතික තරුණියක් ඇයගේ පියා සහ සොහොයුරා විසින් අමානුෂික ලෙස මරා දමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඇයට නිවැසියන් විසින් පහරදී ඇති අතර අනතුරුව ඇය ජීවත්වූ නිවසේ දෙවන මහලේ සිට බිමට වැටීමෙන් පසුව අසල සිටි පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි ඇයට යලිත් වතාවක් රෝහලේදී ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඊට දින කිහිපයකට පසු මියගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

– Al Meda

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *